ලොකු වැඩකරන පුංචිනිලමේගේ මන්ත්‍රී දිවියට අගෝස්තු 16ට වසර 21යි
Posted on August 13th, 2015

සමන් ලියනගේ

බර්ට්‍රන්ඩ් රසල් කියන පරිදි මිනිසාගේ ජීවන පරිසරය විශාල ලෙස සැපවත් කිරීමට අවංක අභිලාෂයක් ඇති සැම කෙනෙකුම පළමුව සමච්චලයටත් දෙවනුව වධ හිංසාවටත් තෙවනුව චාටුවෙන් පෙළඹවීමටත් ගොදුරු විය හැකිය. මේ ත්‍රිවිධ පරික්ෂාවෙන් අනතුරක් නොවී ගැලවී සිටිය හැකි ඉතා සුළු පිරිස අතර හිටපු ඇමති සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ හැදින්විය හැකිය.

තමන් අපේක්ෂා කරන අවසාන අරමුණ වූ දරිද්‍රතාවයෙන් පීඩා විදින ත්‍රිකුණාමල දිස්ත්‍රික් ජනතාව නඟා සිටුවීම සඳහා පැහැදිලි අවබෝධයක් සහිත භක්තිමත් අධිෂ්ඨානයකින් යුතුව පුංචිනිලමේ සිය ප්‍රතිපත්ති ගරුක දේශපාලනයෙන් කටයුතු කළේය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැහැබර අනාගතයක වරුණ මතුකර ගැනීමට ජනතාවගේ වැහැරී ගිය ශ්‍රමය යළි පුනර්ජීවනය කරන චින්තනයට ඔහු අඩිතාලම දැම්මේය. වැලලී ගිය සම්පත් යළි උදා කරගැනිමේ සංකල්පය ගොඩ නැගුවේය. ගැමි ජනතාවගේ සැඟවුණු හැකියාවන් ප්‍රතිඋද්දීපනය කිරීමේ ප්‍රාර්ථනාවන් යළි මල්පල ගැන්වීය.

මල්වානට පැණි රඹුටන් සේ කළුතරට මැංගුස් මෙන් මැණිකට නම් දැරූ රත්නපුර මිණිපුරය ඔහුගේ නිජබිම විය. එහි දසතින් නෙත ගැටුනේ ළාහිරු රැසින් රිදී තැටියක් සේ දිලිසෙන කුඹුරු යායක් සහ පෙන බුබුළු නංවමින් ඇදී යන දොල පහරකි. ගැමියන්ගේ හදවත් පෑදුනු දියත්තක් බදුය. වැඩබලන සෞඛ්‍ය ඇමති සහ සබරගමු පළාත් මහ ඇමති වශයෙන් කටයුතු කල ජී.වී. පුංචිනිලමේ ඔහුගේ පියාය. ප්‍රකට දේශපාලන පවුලකින් සමාජ සේවයට පිවිසි හෙතෙම ප්‍රසිද්ධ දේශපාලනයට 1988දී පිවිසෙන්නේ එවකට ජනාධිපති ජයවර්ධනගේ ආරාධනයක් අනුවය. පසු කලෙක වෘක්ෂයක් සේ දළුලා සරුවට වැඩෙන ජනතාවාදී දේශපාලඥයෙකුගේ තිඹිරිගෙය එය විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ඉල්ලීමකට අනුව 2006දී දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සදහා පුංචිනිලමේ එක්සත් ජනතා නිදහස් සංධානයට එක්වන්නේ 2006දීය. සියළු දිය සිරාවන්ගෙන් පෝෂණය ලබන ගඟ ඉනික්බිතිව ගඟක්ම විය. එසේමුත් උල්පතකින්, දොළ පහරකින් ලත් උදව් උපකාර නිරතුරුව ආවර්ජනය කරන ගඟක් මෙන් මහින්ද රාජපක්ෂයන් ජනපතිවරණයේදී ඉකුත් 8වැනිදා ලත් පසුබෑමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා පසුපස සිටි නැගෙනහිර පළාතේ අයෝමය ශක්තිය ඔහු විය. නුගේගොඩින් ආරම්භ වූ අනාගතයට සහතිකයක් පෙරවදන සපයන නායකයා වෙනුවෙන් වේදිකාවට ගොඩවූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුංචිනිලමේ, මහින්ද සුළඟ දසත සිසාරා යද්දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඒ වෙනුවෙන් පෙරට පැමිණි සහ ක්‍රියාකාරීව කටයුතු කල එකම දේශපාලන සෙන්පතියාද වූයේය.

සුසන්ත පුංචිනිලමේ ආත්ම විශ්වාසය සහ බැදුණු අසමසම පෞරුෂයකින් යුත්තය. සුවපහසු රත්නපුරය අතහැර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සිය මූල කඳවුර ලෙස තෝරා ගත්තේ ත්‍රිකුණාමල සංවර්ධනය ප්‍රබෝධමත් කර එහි ජනයා‍ගේ සැගවුණු සම්පත්වලට නව පණක් දීමටය. ත්‍රි’මලේ ජනතාව කෙරෙහි නොපෙනී, නොඇසී, නොදැනී අක්‍රීයව පවතින ශක්තිය උළුප්පවා ඒකරාශි කොට ඵලදායි මාර්ගයක් කරා යොමු කිරීමට පුංචිනිලමේ සමත්විය. පාර්ලිමේන්තුවට හාපුරා 1994 මනාප 57,029ක් ගෙන පැමිණි ඔහු 2000දී මනාප 77,198ක්ද 2001දී මනාප 110,030ක්ද 2004දී මනාප 96,591ක්ද රත්නපුරයෙන් ලබාගත්තේය. ශ්‍රිලනිප නියෝජනය කරමින් 2010 මැතිවරණයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ත්‍රිකුණාමලයෙන් ඔහු පාර්ලිමේන්තුවට පත්වූයේ ශ්‍රිලනිපයේ තවත් අයකුටද පාර්ලිමේන්තුවට තවත් අයෙකුටද යෑමේ වරමද ලබාදෙමිනි. පුංචිනිලමේගේ අපරාජිත පාර්ලිමේන්තු මන්ත්‍රී දිවියට අගෝස්තු 16වැනිදාට වසර 21කි.

සිය දේශපාලන ජීවිතයේදී කුඩා පරිමාන වතු සංවර්ධන ව්‍යාපෘති ඇමති ලෙසත්, ජනතා වතු කළමනාකරන සහ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙසත්, ධීවර සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය තනතුර ඔහු දරණු ලැබීය. නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම් නියම්ගම් පුරා දියත්වූ සංවර්ධන කටයුතු වලට මුළුමනින්ම වාගේ නායකත්වය දුන්නේ සුසන්තය. එමගින් දිළිදුකම පිටුදැකීම, මූලික සමාජ සේවා සැපයීම, භූමිය සහ සම්පත් නිසියාකාරව බෙදාහැරීම, රැකියා උත්පාදක වැඩසටහන් තුළින් සමාජ සංවර්ධනය එමගින් උදා විය. මිනිසුන්ගේ විවිධත්වය සහ සංකීර්ණත්වයේ අත්දැකීම්වලට ඇහුන්කන්දීම මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නව අරුණාලෝකයකට මඟ පෑදීය. එතෙක් නොනැසී තිබූ දුප්පතුන්ගේ හඬ අදියරින් අදියර දැන් සමුගනිමින් තිබේ.

ත්‍රිකුණාමලයේ කරදිය සහ මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කරමින් ධීවරයින් දහස් ගණනකට අත්වැල සැපයුවේය. අධ්‍යාපනය සඳහා සුවිශේෂි පියවර ගණනාවක් මගින් පාසැල්වල පහසුකම් වැඩිදියුණු කෙ‍රිණි. සාමාන්‍ය පෙළ සමත්වූ සිසුන්ට දිරිගැන්විමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් සරසවි ප්‍රවේශය සඳහා ඇතුළත්වන ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වැඩිදියුණුවක් ඇතිවිය. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදින්ගෙන් විනාශයට පත්වූ ආගමික ස්ථාන වැඩිදියුණු කළේ රජයෙන් දෙන මුදලට පමණක් සීමාවීමෙන් නොව දානපතින්ගේද උදව් උපකාර වලිනි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයාද වූයේ ඔහුය. දිස්ත්‍රික්කයේ විදුලිය ‍නොමැති නිවාස සියයට 95කට ආසන්න ප්‍රමාණයකට විදුලිය ලබාදිමටද ඔහු සමත්විය.

වැවි බැදි රාජ්‍ය ලෙස නම් ‍‍‍නොකෙරුවද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වැව්, අමුණු, ඇළ‍වේලි ඇතුළු වාරි කර්මාන්තයට වැඩි නැඹුරුතාවයක් දක්වයි. ත්‍රි’මලේ දිස්ත්‍රික්කයේ ලොකු කුඩා වැවි 455ක් ඇති අතර ඉන් ‍ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති වැවි 428ක්ද මධ්‍යම ප්‍රමාණයේ වැවි 18ක්ද මහවැව ඇතුළු වැව් 9ක්ද නඩත්තුවූයේ ඇමති පුංචිනිලමේගේ සෘජු අධීක්ෂණයෙනි. පරෙව්පඤඤං වැවේ සිට සාලියපුර දක්වා ජලය රැගෙන යන ඇල මාර්ගයේ මුළුමනින් අලුත්වැඩියා කිරීම තුළින් ගොවි පවුල් දහස් ගණනකට සෙත සැදිණි. කන්තලේ ඇල අමුණ පමණක් නොව ඉදිවැව ඇතුළු වැවි අමුණු ගණනාවක්ම ප්‍රතිසංස්කරණයට ලක්විය.

චීන ආධාර යටතේ බිලියන 35ක ආයෝජනයකින් යාන්ඔය ජලාශ්‍ර ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ විසින් ආරම්භකල අතර ඒ සදහා මුල්වූ කිහිප දෙනා අතර ඔහුද පෙරමුණේ විය. ඒ යටතේ ත්‍රි’ම‍ලේ නිසරු බිම් අක්කර දස දහස් ගණනක් ගෝනෑව වාරි ව්‍යාපෘතිය තුළින් ඉදිරියේදී සරු කෙත්බිම් බවට පත්වනු ඇත. පුංචිනිලමේගේම යෝජනාවක් අනුව පන්කුලම ඔය හරහා ඉදිවන අමුණ තුළින් අක්කර 4,981කට දියවර සපයනුයේ බෙත්තෑව වැව ඇතුළු වැවි 14ක් ජලයෙන් පෝෂණය කරමිනි. දිස්ත්‍රික්කයේ වාරි කර්මාන්තය නඟා සිටුවීමට ඔහුකල සැපයීම සුවිශේෂීය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අග්‍බෝ යුගයෙන් පසු පුරං කුඹුරු පවා අස්වද්දමින් වාරි කර්මාන්තයේ පුනරුදයක් ඇතිකල යුගය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කාලය වූ අතර එහි පෙරගමන්කරුවා වූයේ පුංචිනිලමේය.

දැයේ දු දරුවන්ට යහපත් හෙටක් තන්නට තම පාර්ලිමේන්තු දිවියේ වසර 21ක් අපරාජිතව කටයුතු කල හිටපු ඇමති සුසන්ත පුංචිනිලමේ නොයෙක් නව මංපෙත් තව තවත් එළි පෙහෙළි කිරීමට සහ නැවුම් පැතිකඩකින් සංවර්ධනය දෙස බැලීමට ගෙන ඇති ප්‍රයත්නය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනයාගේ නොමද සතුටට හේතුවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress