ගන’ඳුර බිඳින මහ මැතිවරණයක අනාවැකි
Posted on August 14th, 2015

ධර්මන් වික්‍රමරත්න

ඡන්ද සටන ඉතා උණුසුම්ය. “මැකෝ” කැත්තට පොල්ල මෙනි. පක්ෂ විපක්ෂ සමීක්ෂණ වාර්තා 7ක් නිකුත්වී ඇත. සමස්ථයක් ලෙස මැතිවරණය සාමකාමී බව රෝහණගේ පැෆරල් සහ කීර්තිගේ කැෆේ නිරික්ෂක සංවිධාන පෙන්වා දේ.  මහ මැතිවරණය 17වන සඳුදාය. මේ ගන’ඳුර බිඳිමින් අරුණළු ගෙන එන මහ මැතිවරණයක අනාවැකිය. මෙම සටහන පදනම් වී ඇත්තේ අගෝස්තු 13වැනිදා වන විට නිකුත්ව තිබූ පිළිගත් ජාතික සහ ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා 7ක සමීක්ෂණ ප්‍රතිඵල විශ්ලේෂණයට ලක් කිරීමෙනි.

මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තු මහා මැතිවරණයයි. පරිපාලන දිස්ත්‍රික් 25ක් නියෝජනය කරන මැතිවරණ දිස්ත්‍රික් 22ක් සඳහා තෝරා පත්කල යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196කි. ජාතික ලැයිස්තුවෙන් තවත් 29කි. දෙකම එකතු වූ විට මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225කි. ඡන්දදායකයෝ 15,041,492 හෙවත් ලක්ෂ 150කි.

අදාල දිස්ත්‍රික්කයන්ගෙන් පත්වන මන්ත්‍රීවරුන් 196දෙනා බෙදී යන්නේ මෙසේය. කොළඹ 19, ගම්පහ 18, කුරුණැගල 15, මහනුවර 12, කළුතර 10, රත්නපුර 11, ගාල්ල 10, කෑගල්ල 9, අනුරාධපුර 9, මාතර 8, බදුල්ල 8, පුත්තලම 8, නුවරඑළිය 8, හම්බන්තොට 7, දිගාමඩුල්ල 7, යාපනය 7, වන්නි 6, මඩකලපුව 5,  මාතලේ 5,  පොළොන්නරුව 5, මොණරාගල 5 සහ ත්‍රිකුණාමලය 4 වේ.  ඉකුත් 2010 පැවති මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් එක්සත් ජනතා නිදහස් සන්ධානයට 144ක්ද එක්සත් ජාතික පක්ෂයට 60ක්ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට 7ක්ද දෙමළ සන්ධානයට 14ක්ද හිමිවිය.

DharmanW1402

ඉතිහාසයේ කෙදිනකටත් වඩා මෙවර දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් මගින් කාන්තාවන් 556ක් තරඟ බිමට පිවිස තිබේ. වැඩිම කාන්තාවන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අතර එය 147කි. අඩුම කාන්තා නියෝජනය වූ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කරන කාන්තාවන් ගණන 3කි. ශ්‍රි ලංකාවේ පවුල් ලක්ෂ 52න් කාන්තා මුලික කරගත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 11කි. රටේ ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන්ය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ කාන්තා දේශපාලන සහභාගිත්වය ක්‍රමයෙන් වැඩිවූවද ජයග්‍රාහී අපේක්ෂකයින් අතරට කාන්තාවන් එක්වන්නේ සුළු වශයෙනි.

ඉකුත් 2010 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ජනතා ඡන්දයෙන් පත්වූ වනිතා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10කි. ජාතික ලැයිස්තුවෙන් චිට් මන්ත්‍රීවරු තිදෙනෙකු වශයෙන් සන්ධානයෙන් මාලනී ‍ෆොන්සේකා සහ කමලා රණතුංගද, එජාපයෙන් පශු වෛද්‍ය අනෝමා ගමගේද පත් කරන ලදී. සන්ධානයෙන් සහ එජාපයෙන් මෙවරද එම ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 10 දෙනා අතරින් තරඟ කරන රත්නපුරේ නිතිඥ පවිත්‍රා වන්නිආරච්චි, මොණරාගල සුමේධා ජයසේන, දිගාමඩුල්ලේ නිතිඥ ශියානි විජේවික්‍රම, ගම්පහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, හම්බන්තොට නිරූපමා රාජපක්ෂ සහ එජාපයෙන් රත්නපුරේ නීතිඥ තලතා අතුකොරල, අනුරාධපුර චන්ද්‍රානි බණ්ඩාර, ‍කොළඹ රෝසි සේනානායක, යාපනය විජේකලා මහේෂ්වරන් ජයග්‍රාහී අපේක්ෂකයින් අතර පෙරමුණේ සිටී. නවක අපේක්ෂිකාවන් වශයෙන් සන්ධානයෙන් සහ එජාපයෙන් මෙවර ඉදිරිපත්වී සිටින කොළඹ ෆෙරෝසා මුසාමිල් සහ කාන්ති කොඩිකාර, ගම්පහ කෝකිලා ගුණවර්ධන සහ චිනාරි ගුණවර්ධන, ගාල්ල ගීතා කුමාරසිංහ, කුරුණෑගල දර්ශනී වික්‍රමසිංහද පෙරමුණේ සිටී.

ශ්‍රි ලංකාවේ දේශපාලනයට කුල අභියෝගය වර්තමානයේ කිසිවෙකුගේ විශේෂ අවධානයකට යොමුව නැත. එහෙත් එය උතුරේ යම් තරමකට විදහා පානු ලබයි. මෙවරද අපේක්ෂකයින් තිදෙනෙක් පමණ සිය ඥාති මිත්‍රාදීන්ගේ කණ්ඩායම් රැස්වීම් කිහිපයක් පැවැත්වූ බවට වාර්තා විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණයට ඉකුත් මැතිවරණය මෙන් කුලය මෙවරද එම ප්‍රජාව අතර වැඩි ගෞරවයට හේතුවී තිබේ. එයට හේතුවී ඇත්තේ එම කුලයේ නායකයෙකු ලෙසින් ඔහුගේ ප්‍රජාව ඔහු පිළිගන්නා බැවිනි.

මහ මැතිවරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ මෙහෙයුම් නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය අතර දිස්ත්‍රික් මට්ටමින් ඇත්තේ තියුණු තරගයකි. කරට කර සටනකි. පාර්ලිමේන්තු මැතිවරණයකදි ඕනෑම දිස්ත්‍රික්කයක ජයග්‍රහණය සමස්ථ ප්‍රතිඵලය ‍කෙරෙහි තීරණාත්මකව බලපානු ලබයි.

DharmanW1403

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 19කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,586,598කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 162,459කි. මෙවර එජාපයට මන්ත්‍රීධූර 9ක්ද සන්ධානයට මන්ත්‍රීධූර 8ක්ද ජවිපෙට මන්ත්‍රීධූර 2ක්ද හිමිවනු ඇත. එජාප අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, පාඨලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, ෆෙරෝසා මුසම්මිල්, මනෝ ගනේෂන්, මුජිබර් රහුමාන් පෙරමුණේය. ඉතිරි මන්ත්‍රීධූර දෙක සඳහා එස්.එම්. මරික්කාර්, සුජීව සේරසිංහ, රෝසි සේනානායක, ආචාර්ය හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න අතර තියුණු තරඟයකි. සන්ධාන ජයග්‍රාහී අපේක්ෂකයින් වනු ඇත්තේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත, නීතිඥ උදය ගම්මන්පිල,  බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකු‍ගේ සහ ජගත් කුමාරය. ඉතිරි මන්ත්‍රීධූර  සඳහා ඇත්තේ තියුණු සටනකි. ජවිපෙන් අනුර කුමාර සහ ලාල් කාන්තය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර  18කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,637,537කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 4,660කි. මෙවර  සන්ධානයට මන්ත්‍රීධූර 10ක්ද එජාපයට මන්ත්‍රීධූර 7ක්ද ජවිපෙට මන්ත්‍රීධූර 1ක්ද හිමිවනු ඇත. සන්ධානයේ ජයග්‍රාහී අපේක්ෂකයින් වනු ඇත්තේ ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, ඩුලිප් විජේසේකර, කෝකිලා ගුණවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ලසන්ත අලගියවන්න, චිනාරි ගුණවර්ධනය. ඉතිරි මන්ත්‍රීධූරය සඳහා ජයනාත්, සරත් ගුණරත්න, උපුල් මහෙන්ද්‍ර අතර උණුසුම් තරඟයකි. එජාපයෙන් රුවන් විජේවර්ධන, හර්ෂණ රාජකරුණා, රංජන් රාමනායක, ජොන් අමරතුංග, අජිත් මාන්නප්පෙරුම, ජෝසප් මයිකල් පෙරමුණේය. ජවිපෙන් විජිත හේරත්ය. බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග ලක්ෂ 4කට ආසන්න මනාප සංඛ්‍යාවක්ද  පළාත් අමාත්‍ය නිමල් ලන්සා ලක්ෂ 2කට ආසන්න මනාප සංඛ්‍යාවක් ලබාගනු ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 10කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 897,349කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 46,486කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 6කි. එජාපයට 3කි. ජවිපෙට 1කි. සන්ධානයෙන් පෙරමුණ ගෙන ඇත්තේ කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, පළාත් සභා මන්ත්‍රී පියල් නිශාන්ත, ලලිත් එල්ලාවල, විදුර වික්‍රමනායකය. එජාපයෙන් වෛද්‍ය රාජිත සේනාරත්න, පාලිත තෙවරප්පෙරුම සහ අජිත් පී පෙරේරාය. ජවිපෙන් වෛද්‍ය නලින් ඉන්ද්‍රතිස්සය.

මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 12කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,049,160කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 88,409කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 6කි. එජාපයට 5කි. ජවිපෙට 1කි. සන්ධානයේ ජයග්‍රාහිකයින් අතර මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.බී දිසානායක සිටී. එජාපයෙන් හරින්ද්‍ර දුණුවිල, නීතිඥ රාවුෆ් හකීම්, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, ආනන්ද අලුත්ගමගේය. ජවිපෙන් ගයාන් හේරත්ය. මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 5කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 379,675කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද 12,952කි. මන්ත්‍රීධූර සන්ධානයට 3කි. එජාපයට 2කි. නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, රෝහණ දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන් සන්ධානයෙන්ද රංජිත් අළුවිහාරේ සහ දඹුල්ලේ ප්‍රියාන් විජේරත්න එජාපයෙන්ද පෙරමුණේ සිටී.

DharmanW1405.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 534,150කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 127,266කි. මෙවර මන්ත්‍රීධූර එජාපයට 5කි. සන්ධානයට 3කි. එජාපයෙන් පලනි දිගම්බරම්, වේලුසුමනේ රාධක්‍රිෂ්නන්, නවීන් දිසානායක, තිලකරාජ්, ජයලත් දිසානායකද සන්ධානයෙන් ආරුමුගන් තොන්ඩමන්, මුත්තු සිවලිංගම්, අනූෂා සිවිරාජා පෙරමුණේය. හිටපු සන්ධාන  මන්ත්‍රීවරුන්වූ  නිමල් පියතිස්ස සහ සී.බී රත්නායකද එජාපයේ පී. රාජදුරේ, ආර්. යෝගරාජන් යන අයද අවසානය දක්වාම තියුණු තරඟයක් ලබාදෙනු ඇත.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 10කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 819,666කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 83,132කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 6කි. එජාපයට 3කි. ජවිපෙට 1කි. සන්ධානයෙන් චන්දිම වීරක්කොඩි, වෛද්‍ය රමේෂ් පතිරණ, නිශාන්ත මුතුහෙට්ටිගම, ගීතා කුමාරසිංහ, මනූෂ නානායක්කාර, මොහාන් සිල්වාද එජාපයෙන් වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, විජේපාල හෙට්ටිආරච්චිද පෙරමුණේ සිටී. ජවිපෙන් රත්න ගමගේය. 

මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 623,818කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 85,388කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 5කි. එජාපයට 3කි. ඉදිරියෙන් සිටින්නේ සන්ධානයේ මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජධීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කාංචන විජේසේකරද  එජාපයෙන් සාගල රත්නායක, බුද්ධික පතිරණ සහ මංගල සමරවීරය. ජවිපෙ සුනිල් හදුන්නෙත්තිද උණුසුම් සටනක් දෙන අතර ජවිපෙ ආසනයක් දිනා ගතහොත් එජා‍පයේ මන්ත්‍රීධූර 3න් එක් මන්ත්‍රීධූරයක් අහිමිවීමේ අවදානමකට ලක්වී තිබේ. සන්ධානයේ නිරෝෂන් ප්‍රේමරත්නද තරුණ පරපුරේ  ආකර්ෂණය දිනා ගැනීමට ඉහළින්ම සමත්වී තිබේ.

දකුණු පළාතේම හම්බන්තොට  දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 7කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 462,911කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 104,587කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 5කි. එජාපයට 2කි. සන්ධානයෙන් නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, තංගල්ලේ අජිත්, නිරූපමා රාජපක්ෂද එජාපයෙන් සජිත් ප්‍රේමදාස සහ දකුණු පළාත් සභාවේ නිලමේ තෙන්නකෝන් පෙරමුණේ සිටිති. හිටපු එජාප මන්ත්‍රීවරුන් වූ ආනන්ද වෙදආරච්චි සහ ආනන්ද කුලරත්නද ජයග්‍රහනය සඳහා තියුණු සටනක නිරත වී සිටී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 15කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,266,443කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 80,266කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 10කි. එජාපයට 5කි. ජයග්‍රාහී අපේක්ෂකයින් අතර සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ, ටී.බී. ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, දයාසිරි ජයසේකර, අසංක නවරත්න, තාරනාත් බස්නායකද එජාපයෙන් අකිල කාරියවසම්, ජේ.සී. අලවතුවල, නලීන් බණ්ඩාර, ගාමිණී ජයවික්‍රම සිටිති. සන්ධානයේ මෙහෙයුම් නායක මහින්ද රාජපක්ෂ මනාප ඡන්ද ලක්ෂ 5කට වඩා ලබාගෙන ශ්‍රී ලංකාවේ මහා මැතිවරණයක වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා බවට පත්වනු ඇත.  

පුත්තලම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 553,009කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 4,322කි. මෙවර මන්ත්‍රීධූර  එජාපයට 5කි. සන්ධානයට 3කි. එජාපයෙන් නිරෝෂන් පෙරේරා, පාලිත රංගේ බණ්ඩාර, දොන් හෙක්ටර්, මොහොමඩ් නස්මිද සන්ධානයෙන් ප්‍රියංකර ජයරත්න, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දුද පෙරමුණේ සිටී. ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන පුත්තලම නගරාධිපති බායිස් තියුණු සටනක් මෙහිදී ලබාදුන්නද ජයග්‍රහණයට දැන් ඇති ඉඩකඩ සීමිතය.

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 09කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 636,733කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 42,754කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 5කි. එජාපයට 3කි. ජවිපෙට 1කි. පෙරමුණේ සිටින්‍නේ සන්ධානයෙන් එස්.එම්. චන්ද්‍රසේන, තිස්ස කරළියද්ද, දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, ෂෙහාන් සේමසිංහද එජාපයෙන් චන්ද්‍රානි බණ්ඩාර, පී. හැරිසන් සහ චන්දිම ගමගේය. ජවිපෙන් වසන්ත සමරසිංහය.

පො‍ලොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 5කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 307,125කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 42,334කි. මෙවර මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප නායකයා බැවින් සන්ධානයේ ඉහත ජයග්‍රාහි මන්ත්‍රීධූර සංඛ්‍යාව 4ක්ද විය හැකිය. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 3කි. එජාපයට 2කි. සන්ධානයෙන් රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, කිංස්ලි නෙල්සන්ද එජාපයෙන් වසන්ත සේනාරත්නද පෙරමුණේ සිටි. එජාපයේ නාලක කො‍ලොන්නේ, සිඩ්නි ජයරත්න සහ අන්සාර් අතර එජාප ජයග්‍රාහී ලැයිස්තුවට එක්වීමට තියුණු සටනකි. වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2කට අයත් මහවැලි ග‍ඟෙන් එගොඩපත්තුවේ ගම් 53කට අයත් ඡන්දදායකයින් 87,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක සහාය හිමිවන්නේ ගමේ අයෙකුවූ මෛත්‍රීපාල ජනාධිපතිවීමෙන් පසු පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රී ජයසිංහ බණ්ඩාරටය. ඇතැම් විට සන්ධානයට ආසන 4ක් ලැබුණහොත් ජයසිංහ බණ්ඩාර පත්වීමේ සම්භාවිතාව ඉහළින්ම ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 4කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 256,852කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 88,227කි. මෙවර මන්ත්‍රීධූර එජාපයට 2කි. සන්ධානයට 1කි. දෙමළ සන්ධානයට 1කි. එජාප‍යෙන් පත්වන්නේ එම්.එස්.තවුෆික් සහ ඉෆ්රාම් මහරුෆ්ය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් සමඟින් ජයග්‍රහණය කරන්නේ හිටපු ඇමති සුසන්ත පුංචිනිලමේය. දෙමළ සන්ධානයෙන් ජයගන්නේ එහි නායක ආර්. සම්බන්ධන්ය.

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 7කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 529,239කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 179,120කි. මෙවර මන්ත්‍රීධූර දෙමළ සන්ධානයට 4කි. එජාපයට 2කි. ඊ.පී.ඩී.පී සංවිධානයට 1කි. වන්නි දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 6කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 253,058කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 107,040කි. මෙවර සන්ධානයට සහ එජාපයට මන්ත්‍රීධූර 1 බැගින්ද  සෙසු පක්ෂවලට මන්ත්‍රීධූර 4කි. මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 5කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 365,167කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 167,791කි. මෙවර මන්ත්‍රීධූර එජාපයට 2ක්ද සන්ධානයට 1ක්ද සෙසු පක්ෂවලට 2ක්ද වේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 7කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 465,757කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 112,333කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 4කි. එජාපයට 2කි දෙමළ සන්ධානයට 1කි. ඉදිරියෙන්ම සිටින්නේ සන්ධානයේ විමලරත්න දිසානායක, ඒ.එම් අතාවුල්ලා, සරත් වීරසේකර සහ නීතිඥ ශ්‍රියානි විජේසිංහය. එජාපයෙන් මන්සූර් සහ පී. දයාරත්නය. දෙමළ සන්ධානයෙන් නේරුය. ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ පක්‍ෂයද දිගාමඩුල්ලට වෙනම තරඟ කරන අතර එහි අපේක්ෂකයින් අතර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි මජීඩ්, නැගෙනහිර සරසවියේ හිටපු උපකුලපති ඇතුළු පිරිසක් තරඟ කිරීමෙන් එජාපයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් ඇතිවීම සන්ධානයේ මන්ත්‍රීධූර 4 ජයග්‍රහණයට හේතුවි තිබේ.  

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 620,486කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 281කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 4කි. එජාපයට 3කි. ජවිපෙට 1කි. සන්ධානයෙන් නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත්, තේනුක විදානගමගේ, උදිත ලොකුබණ්ඩාරද එජාපයෙන් හරීන් ප්‍රනාන්දු, වඩුවෙල් සුරේෂ්, උපාලි සමරවීරද ජවිපෙන් සමන්ත විද්‍යාරත්නද පෙරමුණේ සිටි. සන්ධානය වැඩි ඡන්දයෙන් බදුල්ල ජයගනු ලබන්නේ ආසනයක් ලබා ගැනීම සදහා ඡන්ද ප්‍රමාණයක් ජවිපෙට ආකාර්ෂණ කර ගැනීමට සමන්ත විද්‍යාරත්න සමත්වන බැවිනි. මොණරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 5කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 339,797කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 67,469කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 3කි. එජාපයට 2කි. ජයග්‍රාහී අපේක්ෂකයින් අතර සන්ධානයේ සුමේධා ජයසේන, විජේමුණි සොයිසාද එජාපයෙන් රංජිත් මද්දුම බණ්ඩාරද ඉදිරියෙන් සිටී. සෙසු මන්ත්‍රීධූරය සදහා දෙපාර්ශයෙන්ම තියුණු තරඟයකි.

රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 11කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 810,082කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 86,539කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 7කි. එජාපයට 4කි. සන්ධානයෙන් ප්‍රේමලාල් ජයසේකර(චොකා මල්ලි), ආනන්ද වක්කුඹුර, පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සොයිසා, ජෝන් සෙනෙවිරත්න, වාසුදේව නානායක්කාර, සනී කොඩිතුවක්කුද එජාපයෙන් නීතිඥ තලතා අතුකෝරාල, දුනේෂ් ගන්කන්ද පෙරමුණේ සිටී. එජාපයේ ඒ.ඒ. විජේතුංග සහ කරුණාරත්න පරණවිතාන අතර සටන උණුසුම්ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 9කි. ඡන්ද දායකයින් සංඛ්‍යාව 649,878කි. ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 25,597කි. මෙවර මන්ත්‍රීධූර සන්ධානයට 5කි. එජාපයට 4කි. සන්ධානයේ ඉදිරියෙන්ම ඩබ්ලිව්.ඒ. පද්මසිරි, කනක හේරත්, රංජිත් සියඹලාපිටිය, ලලිත් දිසානායක, අනුරුද්ධ පොල්ගම්පොලද එජාපයෙන් කබීර් හෂීම්, රුක්මන් සේනානායක, චම්පිකා ප්‍රේමදාසද පෙරමුණෙ සිටී. ජවිපෙ ගාමීණී රත්නායක ඉහළ ඡන්ද ප්‍රමාණයක් ගැනීමට සමත්වූවහොත් එජාප ආසන සංඛ්‍යාව 3ක් වනු ඇත.

සන්ධානය මෙවර ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට,    කුරුණැගල, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල,  දිගාමඩුල්ල, කෑගල්ල සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක 15ක් ජයගන්නා අතර එජාපය කොළඹ, නුවරඑළිය, පුත්තලම, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක 5 ජයගනු ඇත. කොළඹ, මහනුවර, පුත්තලම සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ඇතිවන්නේ කරට කර සටනකි. දෙමළ සන්ධානයට යාපනය සහ වන්නි  දිස්ත්‍රික්කයන් 2 බලය හිමිවනු ඇත.

ඉකුත් ජනවාරි 8 ජනාධිපතිවරණයේ ඡන්ද අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිස්ත්‍රික්ක 10ක් වැඩි ඡන්දයෙන් ජයගත් අතර එම දිස්ත්‍රික්ක නම් හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, කුරුණෑගල, මාතලේ, මොණරාගලය. මහින්ද රාජපක්ෂ බදුල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 281කින්ද, ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 4,660කින්ද, පුත්තලම දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 4,332කින්ද පරාජය වී තිබුණේ සුළු ඡන්ද ප්‍රමාණයකිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කය 42,334කින් ජයගත් අතර ඔහු ශ්‍රිලනිප නායකයා හෙයින් මෙවර පොලොන්නරු දිස්ත්‍රික්කය සන්ධානයට හිමිවනු ඇත. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ වෙනම මුස්ලීම් ප්‍රබල කණ්ඩායමක් තරඟ කිරීම නිසා එහි වාසිය හිමිවනුයේ සන්ධානයටය.

මෙවර මැතිවරණයේ  සන්ධානය සහ එජාපය පවසනුයේ තමන් ජයගන්නා බවය එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ එජාපය ආසන 120ක් ලබාගත්තද තමන් පිහිටුවන්නේ “ජාතික” ආණ්ඩුවක් බවය. සන්ධානයේ මෙ‍හෙයුම් නායක මහින්ද රාජපක්ෂ පවසන පරිදි ආසන 117කට වැඩි බහුතරයක් ලබාගෙන තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවය.

ඉහත සමීක්ෂණ වාර්තාවන්හි සම්පීඩනය අනුව සමස්ථයක් ලෙස සන්ධානය දිස්ත්‍රික්ක 15ක් ජය ගන්නා අතර හිමිවන ආසන සංඛ්‍යාව ජාතික ලැයිස්තුව සමගින් සන්ධානයට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව 114කි. එජාපය දිස්ත්‍රික්ක 5ක් ජය ගන්නා අතර ජාතික ලැයිස්තුව සමගින් එජාපයට හිමිවන මන්ත්‍රීධූර  85කි.  දෙමළ සන්ධානය ජයගන්නා දිස්ත්‍රික්ක සංඛ්‍යාව 2ක් වන අතර දෙමළ සන්ධානයට ජාතික ලැයිස්තුව සමගින් හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව 14කි. ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුව සමගින් හිමිවන මන්ත්‍රීධූර ආසන 10කි. ඊ.පී.ඩී.පී සංවිධානයට හිමිවන මන්ත්‍රීධුර සංඛ්‍යාව 1කි. සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මන්ත්‍රී 1 ධුරයක් හිමිවන්නේනම් ඒ ජාතික ලැයිස්තුවෙන් පමණි. සෙසු කුඩා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට එකදු ආසනයක්වත් හිමි නොවනු ඇත.  

දැනට නිකුත්වී ඇති සමීක්ෂණ වාර්තා කුමන මට්ටමේ උපකල්පන ගොනුකර තිබුණද මහා මැතිවරණය සම්බන්ධයෙන් අගෝස්තු 17වැනිදා ජනතාව‍ගේ ජනමතය ප්‍රකාශ කිරීමේ සැබෑ ස්වරූපය දැකගත හැකිවන්නේ අගෝස්තු 18 ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුවය.

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

2 Responses to “ගන’ඳුර බිඳින මහ මැතිවරණයක අනාවැකි”

  1. Christie Says:

    ඉන්දියානු ජඩයින්ට සින්හල අපි සක්කිලි (Dalit)යන්ය . උන් එදාත් අදත් අපේ සතුරාය. එක්වන්න මහින්ද වටා රොක්වන්න ඉන්දියානු ජඩයන්ට හා ජඩවාදයට එරෙහිව නැගී සිටින්න
    For Indian Imperialists we are Dalits. Indians are our enemies todaya and yesterday. Unite with Mahinda and stand up to Indian Empire and Indian imperialism.

  2. sarathk Says:

    ලංකා දු පුතුනි අප මෙය දත යුතුය
    නිමකළ යුතුය යමපාලන පර රජය
    රැක ගන්නට අපේ හෙලබොදු රට සමය
    සෙන් පති මහින්දට චන්දය දිය යුතුය

    උපතින් මෝඩයෙකු බඳු වූ රනිල් හොරා
    මහ බැංකුවට කල මගඩිය මුදල් ගරා
    නිමකරවන්න සිංහල ජාතියම මරා
    අර අදිනවා පරගැති ගති හිසින් දරා

    නැණවත් සියලු ලක් වැසියනි දැනගන්න
    රනිල්- චන්ද්‍රිකා උගුලෙන් ගැලවෙන්න
    එක්සත් සිහල බොදු ගති රට රැක ගන්න
    රට රැකි මහින්දට යලි චන්දය දෙන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress