ලංඩන් මහකොමසාරිස් සංගක්කාර: ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය -වැසිකිළි දුර්‌ඝන්‌ධය නොහොත් ලොවින් එකෙක් එක් දෙයකට සමත් වීම
Posted on August 29th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

මාරියෝ පෙරේරා විසින් ලංකාවෙබ් අඩවියට සංගක්කාර මාතෘකාව යටතේ ලියන ලද ලිපියක් කියවූ පසු මෙම සටහන ලිවීමට මට සිතුනේ එය ලංකාවේ දුෂ්ට ත්‍රිකෝණයට අදාල කදිම උදාහරණයක් වන නිසාය. විශේෂයෙන් 1978 ට පසු වසංගතයක් ලෙස බෝවී ඇති දුෂ්ට ත්‍රිකෝණය යනු -නිලධාරියා-දේශපාලකයා-එන් ජී ඕ කාරයා- යන තුන් කොටස එකතුව ලංකාවේ කරගෙන යන දූෂණ හා විනාශයය. කුමාර් සංගක්කාරත් මේ උගුලට අසුවේවිද?

කුඩා කාලයේදී කඳුරු බෝල හා පොල්පිති බැට් වලින් වෙල අයිනේ ක්‍රිකට් ගැසුවාට වඩා එහාට යාමට නොහැකිවූ මා ඇමෙරිකාවේදීටත් වඩා ලංකාවේ ක්‍රීඩකයින් අද ධනපතියන් වී සිටිනවා පමණක් නොව ඊට අදාල ආයතන හා නිලධාරීන්ද ධනය හා බලය ලබාගෙන ඇති සැටි විමතියෙන් බලා සිටිමි. එක අතකින් මෙය පුදුමයට කරුණක් නොවන්නේ අරාබි කුවායිට් ගෙවල්වල කක්කුස්සි සේදීමට හා ඩුබායි පාරවල් අතුගෑමට යන මිනිසුන්ගේ ලේ දහඩියෙන්, සල්ලි වලින්, ලංකාවේ රක්‍ෂා ඒජන්තලා හා ආණ්ඩුවේ රක්‍ෂා නිලධාරීන් වැජඹෙන ආකාරය නිසාය. ඒ සල්ලිවලින් දේශපාලන බලයට සම්බන්‌ධ සුළු කොටසක් ජොලි කරමින් සිටී. නිල් කොළ රතු හෝ යහපාලන, හොර පාලන වෙනසක් මෙහිලා නැත.

මාරියෝගේ ලිපියෙන් සංගක්කාරට දුන් අවවාදය නම් දේශපාලකයන්ට ගෑවී තමන්ගේ චරිතය විනාශකර නොගන්නා ලෙසය. මීට පක්‍ෂව හා විපක්‍ෂව පාඨකයින් අදහස් දක්වා තිබුණි. මෙවැනි මාතෘකාවකින් අපට ඉගෙනගතහැකි දේ බොහෝය. ඊට පෙර සඳහන් කලයුතු දෙයක් නම් ජනාධිපති සිරිසේන මහතාගේ දුර දිග සිතා නොබලා ගන්නා ක්‍ෂණික තීරණ ගැනය. ක්‍රිකට් ගැසීම හා ඉංගිරිස් කතා කිරීම ලංඩන් වැනි තැනක තානාපතිකමකට සුදුසුකමක් නොවේ. මෙවැනි තීරණ ගැන ප්‍රථමයෙන් ප්‍රසිද්ධියේ එළිකිරීමද නුසුදුසුය. ජාතික ගීය දෙමළෙන් ගැයීමේ සිද්ධියේදීද එතුමා සිතා නොබලා මනෝ ගනේශන්ගේ ඉල්ලීමට හිටුවනම එකඟවිය. දෙමළ භාෂාවට සංස්කෘත කලවම් නිසාත් මාතා යන වචනය සිංහල වචනයක් නොවන නිසාත්, තාන්තෙයි යන දෙමළ වචනය වෙනුවට නමෝ නමෝ මාතා යන වචනයම දිගටම තබා ගන්නට හැකිබව ඒ ගැන සොයා විමසා බලා තීරණයක් ගන්නට සිතුවා නම් එතුමාට පෙනී යනවා නොවේද? මුලින්ම මාතා වෙනුවට තාන්තෙයි ආරූඪ කලේ යම් මාක්ස්වාදී හෝ ක්‍රිස්තියානි පෙඩරල් කළු සුද්දෙක් විය යුතුය.

මංගල සමරවීරගේ විදේශ අමාත්‍යාංශයේ සේවකයෙක් වීම හා ක්‍රිකට් ගැසීම අතර වෙනස වන්නේ සංගක්කාරගේ කේන්දරයේ ඒරාෂ්ටකයක් තිබීම විය යුතුය. නැත්නම් හත පාස් සජීන් වාස් වැනි හොරෙක් විදේශ සේවාව බාරව නොසිටීම විය හැකිය. ඔක්ස්ෆර්ඩ් ආචාරියෙක් ඇමති පරඬැලක් නොවීම විය හැකිය. එහෙත් සංගක්කාර අමාරුවේ වැටෙනවිට බේරාගන්නට ජනාධිපතිතුමාට හැකිවේද යන්නද සැකයකි. කෙසේ වෙතත් මෙම සංගක්කාර සිද්ධියෙන් එලිවන කරුණක් නම් ලංකා රාජ්‍ය සේවය මොන තරම් දුරට දේශපාලන බලපෑමට යටවී තිබේද යන්නය. කිසි ලැජ්ජා බයක් (බුද්ධාගමේ හිරි ඔත්තප්ප) නැතිව එවැනි ඔෆර් එකක් රටේ ජනාධිපති විසින් කරන්නේ  ඒ නිසා නොවේද? මහ බැංකුවට කබ්‍රාල් දැමීම, මහේන්ද්‍රන් දැමීම, පී බී ජයසුන්දරට නැවත භාණ්ඩාගාරය බාරදීම  ප්‍රසිද්ධ උදාහරණය.  මේ මඟින් ඒවායේ කාලයක් සිට ඉන්නා යහපත් අවංක නිලධාරීන්තුල ඇතිවන කළකිරීම කොතරම්ද? මේ හැර මෙවැනි යර්ස්මෙන් ලා රටට කරන හානියද සුළුපටු නොවේ. තරුණ නිලධාරියෙක් වශයෙන් රාජ්‍ය සංස්ථාවක සිටියදී සිදුවූ මෙවැනි හානි මට හොඳින් මතකය

මා ලඟදී ලංකාවට ගිය විට අසන්නට ලැබුණ එක් රසවත් කතාවක් මෙසේය.  පරි පාලන සේවා විභාගය පාස්වී අළුත බඳවාගත් නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙන පුහුණු කිරීමේ පාඨමාලවලදී එක් නිලධාරියෙක් ඒකාකාරීව හැම අවුරුද්දේදීම දෙන අවවාදය මෙසේය. එය ඉඩම් කච්චේරි හා සම්බන්‌ධය. මන්ත්‍රී දේශපාලකයා ඉඩම් කට්ටි බෙදීමේ දී මුදුනා ලෙස හැසිරේ. ඔහු එය භාර නිලධාරියාට කියන කතාවක් නම්, “මහත්තය, මහත්තයත් ඔන්න ඔය කෑල්ලකට නම දාගන්නකො” කියාය. අර පුහුණුව දෙන නිලධාරියාගේ අවවාදය නම් මේ මන්ත්‍රී උගුලට අසු නොවන ලෙසය. කෑදර කමට එසේ නම දාගත් නිලධාරීන් සදාකාලිකවම මන්ත්‍රීගේ ගිරයට අසුවුණු පුවක් ගෙඩියක් වේ. මන්ත්‍රී කියන ඕනෑම බලු වැඩක් කිරීමට ඔහුට සිදුවේ. ලොකු රබර් ඉඩම් ආදිය කෑලි වලට කඩා විකුණන බ්‍රෝකර්ලාද මෙසේ නිලධාරීන්ට ලාබෙට ඉඩම් කැබැල්ලක් දී රාජ්‍ය අංශයේ නීති රීති වලින් එන ප්‍රමාද කිරීම් වලක්වා ගන්නා හැටි එසේ ඉඩමක් ගත් මගේ යාළුවෙක් මට කිව්වේය.

මේ ආකාරයට රාජ්‍ය සේවය පිරිහීම තදින්ම ආරම්භවූයේ 1964 දී සම සමාජ කාරයින් මිසිස් බී සමඟ සභාග ආණ්ඩුවක් හදාගත් පසුවය. ෆිලික්ස් ඩයස් ජයා පතිරණ නම් කුරුණෑගල දේශපාලකයාව සුප්‍රිම් කෝට් නඩුකාරයෙක් කලේ මේ කාලයේමය. දැන් යහපාලන බණ දේශනාකරන අධිකරණ ඇමති ෆිලික්ස්ගේ ලේකම්වූ නිහාල් ජයවික්‍රමට නඩුකාරයින්ගේ ඉස්සරහ පේලියෙන් පසු පස ආසනයකට යන්නට අග විනිසුරු නියෝග කලේද මේ කාලයේය. මහ බැංකුවේ මාණ්ඩලික රක්‍ෂාවල් ඉල්ලන ආර්ථික විද්‍යා ගෞරව උපාධිධාරීන්ටත් ගමේ මන්ත්‍රීගෙන් ලියුමක් ගෙන එන්නට නියම කලේ මාක්ස්වාදී හා නිල් සභාග කාලයේය. පසුව කොළ එවුන්ද එය උපරිම ලෙස පාවිච්චි කලේය. ඩී බී අයි එස් සිරිවර්‍ධන වැනි අපක්‍ෂපාත අවංක නිලධාරීන් ලෙස කලින් නම් දැරූ අය පවා යූ එන් පී පක්‍ෂ ලැයිස්තු අනුව පරිපාලන නිලධාරීන්ට වෙනස්කම් කලේය.

අද රාජ්‍ය සේවය බල්ලාටම ගොස් ඇත. මේ පරිහානිය පටන් ගත් හැටි පක්‍ෂ මාරු කිරීමේ පප්පා කෙනෙක් වූ රොනී ද මැල් කල කතාවකින් පැහැදිලිවේ. පරණ සිවිල් සේවා විභාගයෙන් පාස්වූ ඔහු පානදුරේ බස් කොම්පැනි අයිතිකරු ලියෝ ප්‍රනාන්දුගේ එකම දරුවා (දුව) කසාද බැන්ඳේය. සිවිල් සේවය ඔහුගේ මාමන්ඩිටත් බිරිඳටත් ඔටුන්නක් වගේ දෙයක් විය. දිසාපතිලා වැනි අයට රෙස්පෙක්ට් එකක් බලයක් තිබිණ. නිලධාරීන්ගේ බලය නැතිව හම්පඩ මන්ත්‍රීලා බලවතුන් වෙන බව, ඔවුන් දිසාපතිලාට ඕඩර් දෙන්නට යන බව, රට වෙනස්වෙමින් යන බව කල්තියා වටහාගත් රොනී සිවිල් සේවයෙන් අස්ව දේශපාලනයට ඒමට සිතුවේය. එහෙත් ඔහුගේ ධනවත් බිරිඳ ඔහුට ඊට ඉඩදුන්නේ නැත. මන්ත්‍රීලා කෙරුමන්වී නිලධාරියා සොක්කන් වෙමින් යන බව අන්තිමේදී බිරිඳටද තේරුම් ගියේය. රොනීට කෙතරම් සතුටක් ආවේද කියතොත් ඔහු විශ්‍රාම වැටුපත් එපා කියා රාජ්‍ය සේවයෙන් අස්විය. දේශපාලනය රොනීට ලොකු සේවයක් කලේය.

සමෘධි හා ග්‍රාම සේවක තනතුරුවල සේවය දෙස බලනවිට සිතෙන්නේ ඒ රක්‍ෂාවල් ඇතිකර ඇත්තේ මහජනයාට සේවය කිරීමට නොව යම් පිරිසකට රක්‍ෂාවල් සැපයීමට නිසාය වගේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට කදිම නීතියක් ඇත. එහි නිලධාරියෙකුට කොළඹට මාරුවක් ලැබුණොත් කොළඹ ලොකු ඉස්කෝළයකට ඔහුගේ දරුවන් දමා ගත හැකිය.  උදාහරණයක් වශයෙන් රාජකීය විද්‍යාලයේ පන්තියක ඉඩ නැත්නම් අළුතින් පුටුවක් හා ඩෙස්ක් එකක් දමා හෝ ලමයාව ගනී! මෙසේ ඒ කාලයේ වුවද වරප්‍රසාදලත් පන්තියට හැමවිටම මල්ල කරේය. මා දන්නා අයෙකුගේ බිරිඳට පුත්තලමේ (දුෂ්කර පලාතක) සිට කොළඹට ගුරු මාරුවක් ගැනීමට අවශ්‍යවිය. ඒ සඳහා ඔහු එකල තිබූ රාජ්‍ය සේවා කොම්ෂමේ සාමාජිකයෙකුවූ පානදුරේ උපාලි දියෙස් මහතා හමුවුයේ වෙනත් කෙනෙකු මඟින් ය.  මේ ගැන උපාලි දියෙස් කියා තිබෙන්නේ එසේ හමුවීම නිසා යම් සිදුවිය හැකිවූ අසාධාරණයක් වලක්වා ගත හැකිවන බවය. මාරුව ලැබුණේය!

නිලධාරීන්ගේ අසාධාරණ ක්‍රියා වලට විරුද්ධව දේශපාලකයා මැදිහත්‌වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයකි. ඇමෙරිකාවේ මෙය නිතරම සිදුවේ. එහෙත් ලංකාවේ මෙන් ආණ්ඩු වෙනස්වීමත් සමඟ රාජ්‍ය සේවයේ හරය, අරටුව, ප්‍රතිපත්තිය වෙනස්වීමක් බටහිර රටවල සිදුනොවේ. උදාහරණයක් වශයෙන් ලංකාව ගැන ඇති ඇමෙරිකන් හෝ එංගලන්ත ප්‍රතිපත්ති මූලධර්‍ම දේශපාලකයා වෙනස්වීම සමඟ වෙනස් නොවේ. ඊරියගොල්ල මහතaාධ්‍යාපන ඇමතිව සිටියදී සිදුවු දෙයක් මෙසේය. ගෑණු ට්‍රේනින් කොලේජ් ප්‍රින්සිපල් තනතුරට නොතේරුණු කෙනෙක් ඇමතිව වෙනත් නිලධාරියෙකුගේ මගින් හමුවිය.  ඇය තුන්වන තැනට ආ කෙනාය. රක්‍ෂාව දී තිබෙන්නේ දෙවන තැනට ආ අයටය. අදාල ඉහල නිලධාරීන් කැඳවා ඇමති විමසුවේ පලවෙනි තැනට ආ එක්කෙනාට පත්‌වීම නුදුන්නේ ඇයි කියාය. තත්පරවූ නිලධාරීන් අතරින් එකෙක් කිය සිටියේ, “සර්, ෂී ඉස් ෂොර්ට්” යනුවෙනි (ඇය කොටයි). විමතියෙන් තරහෙන් පිපුරූ  ඇමති කෑ ගැසුවේ “තමුසෙලා මේ අය තෝරන්නේ හැමනෙන්නද?” කියාය. ඒ වනවිටත් වැරදි පත්‌වීම දී හමාර නිසා ඇමතිට කල හැකි දෙයක් නොවීය.

දුෂ්ට ත්‍රිකෝණයේ දේශපාලකයින් ගැන මෙහිදී ලියන්නට ඉඩ නැත. කිවයුතු විශේෂයෙන් 1978 ට පසු ලංකාව විනාශ කලේ මේ හැත්ත බව පමණය. ඔවුන්ම ඒ බව පිළිගැනීමත් එහෙත් ඊට විසඳුමක් නොදීමත් රටේ පුදුම අවාසනාවක් නොවේද? බයිලා සිංදු ගායක සුනිල් පෙරේරා කියන ආකාරයට තමන් නොදන්නා බව නොදන්නා පිරිසක් පාර්ලිමේන්තුවේ, පලාත් සභා නම් සුදු අලියාගේ හා ප්‍රාදේශීය සභාවල බලය අල්ලාගෙන හොරකමින්, දූෂණයෙන් රජකරයි. මන්ත්‍රීන් 225 න් 100 කට වඩා ඕ ලෙවල් වත් පාස් නැත. මෝඩයින් දේශපාලනයට නොගාවන ලෙස ඇරිස්ටෝටල් කියා ඇත. මේ හොරුන් රැළ නිසා කොසොල් රජතුමා දුටු සීන දා සැය අද සැබෑවී නැද්ද?

දුෂ්ට ත්‍රිකෝණයේ ඩොලර් කාක්කන් වන එන් ජී ඕ කාරයින්ට දැන් 2015 ජනවාරිවලට පසුව ඉතා හොඳ කලක් ලබා ඇත. ප්‍රභාකරන්ගේ කාලයේ උතුරේ සිටි එන් ජී ඕ කාරයින් ඒ පලාතට කිසි යහපතක් නොකර සල්ලි ගසා කා ඇති බව එලිවුනේ යුද්ධ හමුදාව ඒ ප්‍රදේශ අල්ලාගත් පසුවය. එන් ජී ඕ වලට සල්ලිදීම පිටරටවල් ආරම්භකලේ ආණ්ඩුවලට දෙන සල්ලි දේශපාලකයින් හොරකම් කරගන්නා නිසාය. දැන් ඒ විසඳුමම ප්‍රශ්නය වී ඇත.

සුදුස්සාට සුදුසු තැන ලැබෙන ක්‍රමයක් දේශපාලන විප්ලවයකින් තොරව ලංකාවට ලැබේද? කාර්‍ය්‍යාල පියුන්ගේ සිට රටේ අගවිනිසුරු දක්වාම මේ වෙනස සිදුවියයුතු නොවේද? රජයේ රක්‍ෂාවලට තේරීමේදී දේශපාලකයාට සියේට විස්සක කෝටා එකක්දී ඉතිරි අසූව ලොතරැයි ඇද දිය යුතුය. පුරප්පාඩු ඇත්තේ 50 ක් නම් තනතුරට සුදුසුකම් ලැබූ හැමෝම ලොතරැය්‌යට දැමිය යුතුය. දේශපාලකයාගේ ලැයිස්තුව වුනත් අවම සුදුසුකම් ඇති අයගෙන් විය යුතුය. මේ මඟින් දේශපාලකයා නිසා මියගිය කෙනෙකුගේ පවුලේ අයෙකුට රක්‍ෂාවක් දීම වැනි දෙයකට ඉඩක් ලැබේ. ජන සභා ක්‍රමය මඟින් පරිපාලනය හැකිතාක් ගමටම දීමෙන් රාජ්‍ය සේවයට විනය හා කාර්යක්‍ෂමතාවය ලබා දිය හැකිය.

දැන් පවතින ක්‍රමය අනුව රටට සිදුවන දේ ගැන සත්‍ය කතාවක් මෙසේය. මෙය කියපු මගේ යාළු ඉතා ඉහල නිලධාරියා මන්ත්‍රී කෙනෙක් සමඟ එක් පාසැලකට ගියේය. පාසැල් වත්තට අඩිය තිබ්බ මොහොතේ සිටම ඔවුන්ව පිළිගත්තේ අධික වැසිකිළි දුර්‌ගන්‌ධයකින් ය. මේ ගැන මන්ත්‍රී විදුහල්පතිගෙන් ඇසූවිට ඔහු කීවේ ඒ සඳහා ඉන්නා කම්කරුවා ඒ ලෙවල් පාස් නිසා වැසිකිළිය පිරිසිදු කිරීම ප්‍රතික්‍ෂේප කරණ බවය (මන්ත්‍රීගේ මිනිහා නිසා ඔහුට විරුද්ධව විනයානුකූලව ක්‍රියාකිරීමට විදුහල්පති බය බව නිලධාරියා කල්තියාම දැන සිටියේය). “හා හා ඔව් මේ ගැන නම් මාත් වරදකරුවෙක්, මම ඔහුව මේ කම්කරු රක්‍ෂාවට එව්වේ වෙනත් සුදුසු රක්‍ෂාවක් එනතෙක් මේ රක්‍ෂාව කරගෙන ඉන්නා ලෙසයි. ඒත් ඔහු ඔහුගේ මේ රක්‍ෂාව හරිහැටි නොකරන බව මා දැන සිටියේ නෑ” කියා මන්ත්‍රී කියා සිටියේ ය.

පාසැලේ ලමයින් හා අවට ගමේ මිනිසුන් මන්ත්‍රීගේ හා විදුහල්පතිගේ වරදට වන්දිගෙවන්නේ ඇයි. මේ තුන් දෙනාටම පඩි ගෙවන්නේ ගැමියන් නොවේද? එක්කෝ මන්ත්‍රී නැත්නම් විදුහල්පති ඒ වැසිකිළිය පිරිසිදු කල යුතු නොවේද?  මගේ මේ කතාව විශ්වාසකරන්නේ නැත්නම් කොළඹ ඉන්නා කෙනෙක් ගුවන් විදුලි සංස්ථාව අසල ඇති පරිපාලන නිලධාරීන් පුහුණු කරණ මධ්‍යස්ථානයට ගොස් බලන්න. රටේ දිසාපතිලා, ඉහල නිලධාරීන් පුහුණුවට එන මේ බිල්ඩිම වැසිකිළි ගඳෙන් වැසී ඇත.  ඇමෙරිකාවේ සිට ගොස් මම එය වින්ඳෙමි. මේ රස කොළඹ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ බිල්ඩිමේදීද භුක්තිවිඳීමට ලැබුණි. ලංකාවේ මන්ත්‍රීන්ට මොළයක් හා නිලධාරීන්ට නාස් ද නැතිබව මින් තහවුරුවේ.

චන්ද්‍රසිරි විජයවික්‍රම
29-08-2015

3 Responses to “ලංඩන් මහකොමසාරිස් සංගක්කාර: ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය -වැසිකිළි දුර්‌ඝන්‌ධය නොහොත් ලොවින් එකෙක් එක් දෙයකට සමත් වීම”

  1. Dr.K Says:

    සංගක්කාර යනු අති විශිස්ට පිති කරුවෙක් මෙන්ම ඒහා සමානම දක්ෂ පන්දු රකින්නෙක්ද බව ජනාදිපති සිරිසේන මහතා ඔහු වෙත එවූ පන්දුවට මුහුණ දුන් ආකාරයෙන් පෙනියන්නේය. ඔහු ක්‍රිකට් ලෝකයේ දිදුළන තාරකාවකි. එය ජරාවෙන් වසා නොදැමිය යුතුය.

  2. SenaD Says:

    Adding some milk to a pot of cow dung will only waste the milk and it will not make the pot of cow dung pure!

    On another subject: it is rumoured that the ex president is leaving it to the current president who is the chairman of the SLFP to make it a success for SLFP at the forthcoming local govt. elections. As the ex-president is a mere MP now his decision gives a good opportunity for the people to gauge the leadership quality of the president. If the president scores a resounding win for the SLFP, it would enhance his reputation and on the other hand if he fails that would contrast the quality of the two leaders.

    The cases that were framed previously are being withdrawn one by one, confirming that they had been brought purely to provide topics for the politicos to shout from the roof tops.

  3. Independent Says:

    එක්‌නැලිගොඩ සිද්ධියට
    තවත් බුද්ධි නිලධාරියෙක්‌ අද සී අයි ඩී ය හමුවට

    සමන් ගමගේ

    එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට අද (31 දා) රහස්‌ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

    ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීම සඳහා මෙම කැඳවීම කර ඇත.

    එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය වෙත කැඳවන ලද යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ හයවන හමුදා නිලධාරියා මොහු වේ.

    ඉකුත් බ්‍රහස්‌පතින්දා මෙම නිලධාරියා රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර යළි මෙසේ අද පැමිණෙන ලෙස එක්‌නැලිගොඩ විමර්ශනය සිදුකරන රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම විසින් දැනුම් දෙන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress