1832 දී ආරම්භවූ කෝල්බ්රෑක් මායිම් සූත්රය ලංකා පොළොවෙන් ඉවත් කිරීම
Posted on September 13th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

(ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්/මන්ත්‍රිණීන්ගේ අවධානය පිණිස ලියනු ලබන ශාස්ත්‍රීය ලිපි පෙළක 2 කොටස)

1 කොටස: සම්බන්‌ධන් මහතා ඉල්ලන “ඔක්කොම එකතුවෙන්න පුළුවන් හොඳ තීන්‌දුව”

මෙම ලිපි මාලාවේ ප්‍රථම කොටසෙන් අප සළකා බැලුවේ 1832 දී කෝල්බ්‍ර‌ෑක් කොමිසම විසින් දිවයිනේ භූගෝල විද්‍යාවට හා ඉතිහාසයට පටහැනිව යමින් රට කෘතිම පලාත් පහකට බෙදීමත්, ඉන්පසුව තවත් පලාත් හතරක් ඊට පෑස්සීමත්, මේ මායිම් සූත්‍රය වෙනස් කිරීමට හෝ එහි සුදුසු-නුසුදුසු බව සළකා බැලීමට 1948 න් පසුවවත් කාගේවත් අවධානය යොමු නොවීමත් ය (1960 දශකය අගදී එවකට තිබූ ඉන්ඩස්ට්‍රියල් ඩිවෙලොප්මන්ට් බෝඩ් එකේ සාමාන්‍යාධිකාරීව සිටි ලංකා සිවිල් සේවයේ ලැනරෝල් මහතා මේ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පිළියෙල කලාය කියා මා අසා ඇත. 1987 දී මේ සම්බන්‌ධයෙන් මුද්‍රිත රචනාවක් ප්‍රථම වරට ප්‍රසිද්ධවූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිංහල මාධ්‍යයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගොස් භූගෝල විද්‍යා මහාචාර්යවරයෙකුවූ සී එම් මද්දුමබණ්ඩාර ගෙන් ය).

wije13092015

ජල පාලනය හා කළමණාකරණය සම්බන්‌ධ රජයේ දෙපාර්තමේන්තු හා රාජ්‍ය සංස්ථා බොහෝ තිබුණු බවද මෙහිදී අමතක කල නොහැක. ඒ කෙසේ වෙතත් කෝල්බ්‍ර‌ෑක් සූත්‍රය වෙනස් කිරීමට යෝජනා ආවේ ශාස්ත්‍රීය හෝ විද්‍යාත්මක අංශයකින් නොව දේශපාලන උවමනාවක් වශයෙනි. 1920 ගණන් වලදී ඔක්ස්ෆර්ඩ් සිට පැමිණි  බණ්ඩාරනායක මහතා ලංකාව පහතරට සිංහල, උඩරට සිංහල හා දෙමළ කතාකරන වශයෙන් පෙඩරල් කොටස් තුනකට බෙදන්නට යෝජනා කළේ රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදත් තරුණයෙකු නිසාය. ඔහුත්, ඩී එස් සේනානායක මහතාත් උඩරට රදල පවුල් වලින් කසාඳ බැඳ ගැනීමත් සමඟ මේ යෝජනාවේ පදනමම නැතිව ගියේය. ඔහු විසින් පසු කාලයක දිවයිනේ අගනුවර අනුරාධපුරයට ගෙනයාමේ අදහසක් දැරූ බව වැදගත්‌ වන්නේ, 1869 අග සූවස් කැනෑල් එක විවෘත වීමත් සමඟ 1870 ගණන් වල ගාල්ලේ සිට කොළඹට පාලන කටයුතු මාරුවීමත් එතැන් සිට කොළඹට කිරි, අපිට කැකිරි නම් ක්‍රියාවලිය, කොළඹ ක්‍රමය (කලම්බු පැරඩයිම්) එක තදින්ම දියත්‌වූ නිසාය. හැම අතින්ම “දියුණු” කොළඹක් හා “නොදියුණු” පසුබිම් යනුවෙන් ලංකාවල් දෙකක්  බිහිවිය. දැන් 2015 දී මීගමුවේ සිට බේරුවලට මෙගා කොළඹක් හදන්නට යතත්, ගමට යෑම, ගම නඟා සිටුවීම හැම දේශපාලන පක්‍ෂයක්ම ජප කල මන්තරයක් විය.

1832 පළාත් පහ, පසුව පළාත් නවයක් වූයේ කොළඹ සිට නොව මුල් පලාත් පහේ දිසාපති කච්චේරියේ සිට තිබුණු දුර නිසාය. මේ පලාත් වලට පහලින් තිබූණේ පලාත බෙදූ දිස්ත්‍රික්කය. මෑතකදී ගම්පහ හා කිලිනොච්චිය මෙසේ බිහිවිය.  බස්නාහිර පලාතේ කොළඹ හා කළුතර දිස්ත්‍රික් දෙකෙන් කොළඹ දෙකට කඩා ගම්පහ දිස්ත්‍රික්කය සදන ලදී. මෙහිදී කෝල්බ්‍ර‌ෑක් සූත්‍රය එසේම පැවතින. 1987 දී ජේ ආර් ජයවර්‍ධන ක්‍රමය මඟින් පලාත් නවය පලාත් අටකට අඩු වූයේ උතුරු හා නැඟෙනහිර පලාත් දෙක එක් කල නිසාය. එසේ වුවත් කෝල්බ්‍ර‌ෑක් සූත්‍රයේ පලාත් මායිම් සැදීමේ පදනමේ වෙනසක් නොවීය.

එම පදනම කෘතිම පදනමක් වුවත්, මැලේසියාවේ භූමි පුත්‍ර ව්‍යාපාරය නිසා, මැලේසියාවේ උපන්නත්, ලංකාවට සංක්‍රමණය වූ චෙල්වනායගම් මහතා, උතුරේ යාපනය කොටසේ හා නැඟෙනහිර මුහුදුබඩ තීරයේ ඒකරාශීව සිටි දෙමළ කතාකරන ජනගහනය අනුව යමින් ඒ පලාත් දෙක ලංකාවේ දෙමළ නිජභූමිය යයි දේශපාලන උපාය මාර්‍ගයක් දියත් කල අන්දම ඔහුගේ දුවගේ සැමියාවූ ජයරත්නම් විල්සන් විසින් මාමණ්ඩියගේ දේශපාලන ජීවිත කතාව ගැන 1994 දී ලියා ඇති පොතේ උඩින් හා යටින් පෙන්වා දේ. වන්නියේ හිස් ඉඩම්වල දකුණු ඉන්දියාවෙන් මලබාර් ජනයා ගෙන්වා පදිංචි කරවීමේ බ්‍රිතාන්‍ය සැලැස්මත්, නැඟෙනහිර මුහුදු තීරයෙන් ඔබ්බට ගොඩබිමේ දෙමළ හෝ මුස්ලිම් ජනයා පදිංචිවීමත් වැළැක්‌වූයේ ඇනෝපිලිස් මැලේරියා මදුරුවා බව මේ ප්‍රදේශවල පුරාණ සිංහල ගම් ගැන ඇති ඉංග්‍රීසි සිවිල් නිලධාරීන්ගේ වාර්තා කියවා පර්යේෂණ කල භූගෝල විද්‍යා මාහාචාර්ය ජී එච් පීරිස් පෙන්වා දේ. මෙහිදී සඳහන් කළයුතු තවත් වැදගත් දෙයක් නම් 1800 ගණන් වලදීත් ඉංග්‍රීසි පාලකයින් ද්‍රවිඩ ජනයා හැඳින්වූයේ මලබාර් (දකුණු ඉන්දියාවේ මලබාර්, කේරළ) කියා බවය. දෙමළ කියන නම ද්‍රවිඩයින්ට ලැබුණේ සිංහල මහාවංශයේ දමිළ යන වචනයෙනි. කලින් මැඩ්‍රාස් ප්‍රොවින්ස් මෑතකදී  ටැමිල් නාඩ්වී ඇත්තේ එසේය.

ශිරාණි බණ්ඩාරනායක මැතිණිය නඩුකාරවරියක් වීමට පෙර අවධියේදී ඇය විසින් ලියන ලද ලංකාව ප්‍රදේශ පහකට හෝ හයකට බෙදන්නට කල යෝජනාවක් මම දැක ඇත්තෙමි. මොන පදනම යටතේ එසේ බෙදනවාද කියා සාකච්චා කරන්නට තරම් ලංකාවේ ඉතිහාසය හෝ භූගෝල විද්‍යාව ගැන සෑහෙන දැනුමක් ඇයට තිබුණා යයි මම නොසිතමි.  දැන් අළුතින්ම, මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්‍ෂකයා ලෙස මුලින්ම යෝජනා කල කුමාර් ඩේවිඩ් ලංකාව ප්‍රදේශ පහකට බෙදීමට යෝජනා කර ඇත (ද සන්ඩේ අයිලන්ඩ්, සැප්තැම්බර් 13, 2015). එසේ බෙදීම සඳහා මේ මාක්ස්වාදී විදුලි ඉංජිනේරුවරයා විසින්ද කිසිම විද්‍යාත්මක පදනමක් ඉදිරිපත් කර නැත. (1) උතුරු පලාත හා නැඟෙනහිර පලාතෙන් කොටසක් (නැෂනල් ක්‌වෙස්චන් හෙවත් තමන්ගේම කියා වෙනම ඒකකයක් ලබාගැනීමට දෙමළ ජනයාට ඇති ආශාව සපුරාලීමට) (2) දකුණු පලාත හා රත්නපුර, මොනරාගල දිස්ත්‍රික්ක (3) මධ්‍යම පලාත හා බදුල්ල, කෑගල්ල දිස්ත්‍රික්ක (4) උතුරු මැද හා වයඹ පලාත් දෙක හා (5) බස්නාහිර පලාත යනුවෙනි. මෙහිදී ත්‍රිකුණාමල වරායට කරන දේ ගැන හා මුස්ලිම් ජනයාට ඉන්දියාවේ පොන්ඩිචෙරි මොඩලය මෙන් යමක් කරනවාද යන කාරණා දෙකක්ද ඔහු මතු කරයි.

කුමාර් ඩේවිඩ්ගේ යෝජනාවේ මූලික තර්‌කය වනුයේ “ජාතික ප්‍රශ්නය” විසඳිය හැක්කේ දෙමළ ජනයාට වෙනමම කොටසක් දීමෙන් බවය. මේ මූලික අරමුණ ඉෂ්ට කරගැනීම සඳහා ඔහු කෝල්බ්‍ර‌ෑක් සූත්‍රයම යොදා ගනිමින් රට කොටස් පහකට කැබලි කරයි. හාමුදුරුවරු (බොදු බල සේනාව?) දේශපාලනයට එනවාට විරුද්ධවූ මාක්ස්වාදීන් හා ධනවත් ක්‍රිස්තියානීන් ගෙන් කෙනෙක් වූ ඔහු සෝභිත හාමුදුරුවන්ගේ සිවුරේ එල්ලුනා මෙන් (ඇමෙරිකානු තානාපතිනී මිචෙල් සිසන්ද අටපිරිකර රැගෙන නාග විහාරයට ගියාය), මේ කාරණයේදීද ඔහු හෙමින් සීරුවේ ලිස්සා යෑමක් කරයි. ඒ නැඟෙනහිර පලාතට කරන්නේ කුමක්ද යන ප්‍රශ්නයේදීය. ඔහු කියන “දෙමළ” පලාතට එකතු කරන නැඟෙනහිර පලාතේ කොටස කුමක්ද? එය ත්‍රිකුණාමළය, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්වල මොන කොටස්ද යන්න ගැන ඔහු නිහඬය. ඇත්තවශයෙන්ම බලනවා නම් ඔහු කර තිබෙන්නේ, ලංකාවේ ඉතිරි කොටස හතරකට කඩා පරණ ඊලම් සිතියම නැවත ඉදිරිපත් කිරීමය!

කුමාර්ගේ මේ යෝජනාව 1990 හා 2000ස් ගණන් වල චන්ද්‍රිකා මැතිණියගේ නීලන්-ජී එල් පැකේජ් ඩීල්ස් සිහියට ගෙන එයි. යුනියන් ඔෆ් රීජන්ස් යනුවෙන් පෙඩරල් ක්‍රමයක් ඔවුන් තිදෙනාගේ ව්‍යවස්ථා කෙටුම්පත් වලින් ඉදිරිපත් කරණ ලදී. ප්‍රදේශ ගණන හතක් හෝ අටක්දැයි මට මතක නැත. එක දෙයක් නම් මට මතකය. එය නම් ඒ කාලයේ එකට එකතුකර තිබූ උතුරු නැඟෙනහිර පලාත් දෙක ඇතුලත සිංහල හෝ මුස්ලිම් ඒකක ඇතිකරනවාට නීලන් තිරුචෙල්වම් එකහෙලාම විරුද්ධවූ බවය. පොන්ඩිචෙරි මොඩල් කියන්නේ ටැමිල් නාඩ් තුල ඇති ස්වාධීන ඒකක කිහිපයටය.  පොන්ඩිචෙරි ඉන් එකකි. උතුරු නැඟෙනහිර මොනෝ දෙමළ කලාපය තුල ස්වාධීන සිංහල හා මුස්ලිම් සුළු කලාප ඇති කිරීම නිසා කාවුන් කෑවා වැනි හිල් සහිත සිතියමක් ඇතිවන බව ඔහුගේ අදහස විය. මෙම කතාව කුමාර් ඩේවිඩ් දන්නේ නැතැයි මම නොසිතමි. පැකේජ් ඩීල් ද කෝල්බ්‍ර‌ෑක් සූත්‍රය එහෙට මෙහෙට තල්ලු කිරීමක් පමණක් මිස කිසි ශාස්ත්‍රීය හෝ විද්‍යාත්මක පදනමකින් තොර විය. දේශපාලකයින් විසින් තමන්ගේ වාසියට අටවන්නට සැදූ හුට පටයක් මිස, එය අඩුම තරමින් එක රටක් තුල රටවල් දෙකක් හෝ තුනක් බිහිවීමට ඇති අවකාශය ලොප් කරන්නක්වත් නොවීය.

හිතුවක්කාර කෝල්බ්‍ර‌ෑක් පලාත් නවය ඉවත් කලයුත්තේ ඒ වෙනුවට විද්‍යාත්මක පදනමකින් යුත් ප්‍රදේශ බෙදීමක් ලංකා පොළොවට ආදේශ කිරීමකින් මිස, කෝල්බ්‍ර‌ෑක් සාමි වටේ කැරකීමෙන් නොවේ. මෙම අළුත් බෙදීම මඟින්, කුමාර් ඩේවිඩ් ඉල්ලන ආකාරයේ දෙමළ ජනයාගේ ආශාවටද ඉඩ ලැබෙනවා නම් එය කදිමය. නමුත් ඔහු කියන අන්දමේ මායිම් සහිත පලාත් පහක් සදන්නේ ඒ ආශාව ඉෂ්ට කර දෙන්නේ කෙසේද යන්න මූලික කරගෙන නම් ඒ අරමුණ තරයේම ප්‍රතික්‍ෂේප කල යුතුය. අපේ අරමුණ වියයුත්තේ මේ ලිපි මාලාවේ පලවෙනි කොටසේ අග සඳහන් කලාවූ ප්‍රශ්නවලටද විසඳුම් සැපයෙන හා සිංහල-දෙමළ දේශපාලන නායකයින්ගේ බල තන්හා ගැටුමට විසඳුම් සැපයෙන පොළොව බෙදීමේ ක්‍රමයක් සොයා ගැනීමය. ලංකාවේ දෙමළ ජනයා වෙනම රටක් හෝ වෙනම ප්‍රදේශයක් ඉල්ලන්නේ නැත. එය මතුකර අහිංසක දෙමළ මිනිසුන් කුලප්පු කරමින් වැජඹෙන්නේ දෙමළ දේශපාලකයින් අත්ලොස්සක් ය.

1920 ගණන් වන විට කොළඹ දෙමළ දේශපාලකයින්ට පෙනී ගිය කරුණක් නම් වැඩිකල් නොගොස් කොළඹ නායක/පාලක පුටු වලින් තමන් තල්ලුවී යන නිසා, කොළඹ වෙනුවට යාපනයේ තමන්ටද නායකකම් ලබාගතහැකි මගක් පාදා ගතයුතුවන බවය. මේ නිසා ඔවුන් අසාධාරණ ලෙස සිංහල-දෙමළ ගැටුමක් මවා ගත්තේය. එසේ නැත්නම් අනුරාධපුරයේ පැරණි නඟරය ආරක්‍ෂා කිරීමට ආණ්ඩුවෙන් යම් සුළු මුදලක් වැයකිරීම දෙමළ ජනයාට වෙනස්කම් කිරීමක් ලෙස මේ දෙමළ දේශපාලකයින් සෝල්බරි කොමිසමට මැසිවිලි කරයිද? අවාසනාව නම් කොළඹ වංක සිංහල නායකයින්, ඔවුන්ට එය වවා ගන්නට ඉඩ ප්‍රස්ථා සලසා දීමය. පොරොවෙන් (කාලතුවක්කුවෙන්) කැපිය යුතු ගහක් වවාදීමය. ඒ මදිවාට අද තිබෙන පුදුමය නම් මේවාට විසඳුමක් අපේ ඇස් ඉදිරිපිටම තිබියදී එය නොදැක්කා සේ දේශපාලකයින් හැසිරීමය. මා විසින් මේ විසඳුම් ක්‍රමය අන්තර්‌ජාලය ඔස්සේ ලෝකයට ඉදිරිපත් කල විට කිසිදු දෙමළ පුද්ගලයෙක් ඊට විරුද්ධව මා සමඟ තර්‍ක නොකල අතර, ඊට විරුද්ධවූයේ රටේ ඓතිහාසික නම වූ සිංහලේ යන්නේ තේරුම වරදවා වටහාගත් උග්‍ර සිංහලයින් අතලොස්සක් පමණය.

කුමාර් ඩේවිඩ් විසින් දැන් කියන්නේ කුමාර් පොන්නම්බලම් විසින් කලකට පෙර කියා සිටි ටැමිල්ස් හෑව් ඇස්පිරේශන්ස් (දෙමළ ජනයාට ඔවුන්ගේ අභිලාශ ඇත) යන කතාවමය. අභිලාශ යනු පොදු ආශාය. අයිති‌වාසිකම් යනු පුද්ගලික ආශාය. යම් ජන වර්‍ගයකගේ පොදු ආශා, තවත් ජාතියකගේ පොදු ආශා සමඟ ගැටීම බොහෝ විට සිදුවන්නකි. උදාහරණයක් වශයෙන් යුරෝපා සංගමයට ඇතුල්වීමට බලවත් පොදු ආශාවක් තුර්කියට ඇත. එහෙත් යුරෝපා සංගමය සුදු ක්‍රිස්තියානි ඒකකයක් ලෙස තබා ගැනීමේ පොදු ආශාවක් ප්‍රංශයට ඇත. මේ නිසා අප විසින් කල යුත්තේ කුමාර්ලාගේ පොදු ආශා සඳහා සත්‍යය විකෘති කිරීම හෝ අවිද්‍යා පසු පස යෑම (රටේ ජන සංඛ්‍යා විද්‍යාව හෝ භූගෝල විද්‍යාවට පටහැනිව ක්‍රියා කිරීම) හෝ කෝල්බ්‍ර‌ෑක්ගෙන් රටට වුන වරදට පැලැස්තර දැමීම හෝ නොව, බුද්ධාගමේ මධ්‍යම ප්‍රතිපදාව හා ඒ සඳහා බටහිර රටවල් භාවිතාකරණ රීසනබල්නස් නම් රීතිය අනුගමනය කිරීමය. මෙය අප කල යුත්තේ සාමාන්‍යයෙන් හා ස්වාභාවිකව මිනිසාගේ ක්‍රියා පථය සීමවන වන ගම, නගරය, ටවුම යන කුඩා ප්‍රදේශ (හියුමන් ස්කේල්) වලින් එය ආරම්භ කිරීමෙනි.

මේ සඳහා මුලින්ම අප විමසා බැලිය යුත්තේ ලංකාවේ ජනගහණ ව්‍යාප්තිය පෙන්වන සිතියමය. ජනගහණය අසම ලෙස විසිරී ඇත. නගර ජනාකීර්‌ණය. ගම් ප්‍රදේශවල ජනයා විසිරී ඇත. කර්‍මාන්ත හා කෘෂිකර්‍මය මගින් ඔවුන් ජීවත්වේ. එහෙත් මෙම සිතියමෙන් නොපෙනෙන දෙයක් නම් ආගම, භාෂාව හෝ ජාතිය අනුව බලනවිට මේ විවිධ මිනිසුන් කෙතරම් මිශ්‍රව ජීවත්‌වෙනවාද යන්නය. ලංකාවේ ජන වර්‍ග ව්‍යාප්තිය හොඳට මිශ්‍රකල බිත්තරයක් වගේ කියන්නේද මේ නිසාය. එය ආපසු සුදු හා කහමදය වශයෙන් වෙන් කර ගත නොහැකිය. මා මින් අදහස් කරන්නේ විග්නේශ්වරන් පුත්තු දෙන්නා කොළඹ සිංහල ස්ත්‍රීන් හා ලේ මිශ්‍ර කර ගැනීම නොවේ. 1815 න් 1848 න් පසු උඩරට ගම්වලට පහතරට මිනිසුන් වෙළදාමට ගොස් බින්න බැස්සා වගේය. වහාබි ශාරියාකරණයේ බලපෑමක් වශයෙන් මොනෝ මුස්ලිම් ගම්මාන ස්වාභාවිකව නොව යම් බලවේගවල මැදිහත්‌වීම නිසා පිහිටුවීම ගැන මිනිසුන් විරුද්ධ වන්නේ මේ නිසාය.

මෙම මිශ්‍රව ජීවත්‌වීම (අසල්වාසීන් ලෙස ජීවත්‌වීම) කෙතරම් ප්‍රචලිතද යත්, උතුරේ හා නැඟෙනහිර ජීවත්‌වන දෙමළ ජනයාට වඩා විශාල දෙමළ ජනකායක් ඉන් පිට පලාත්‌වල වාසය කරයි. මීට හේතුව එම ප්‍රදේශ භෞතික, ස්වාභාවික, පරිසර හා භූගෝලීය සාධක අතින් ජීවත්‌වීමට වඩා පහසු වාතාවරණයක් සැපයීමය.  ලංකාව වැනි කුඩා දිවයිනක දක්ණට ලැබෙන භෞතික පරිසරයේ විවිධත්‌වය එහි වැසියන්ට ලැබී ඇති අනගි දායාදකි. විවිධ විචිත්‍ර මධ්‍යම කඳුකරයක සිට වටේට රට පුරා ගලා යන ගංඟා, මුහුදුබඩ තැනිතලා හා ඒ අතරට මැදිවුන හෙල් කඳු වැටි නිසා ලංකාවේ හඳුනාගත් පරිසර කලාප (ඉකෝ ෂොන්ස්) 4- ම ඇත. බටහිර සංචාරකයින්ගේ පැත්තෙන් බලනවිට කොළඹ සිට හැතැම්ම 70 ක් යනවිට ඔවුන්ට පුරුදු සෞම්‍ය සිසිල් දේශගුණයක් හමුවේ. ලංකාවේ ඇත්තේ ගංඟා 103 ක් පමණක් වුවත් හා ඊට පහළින් ඇති ඇළ, දොළ, ඔය ආදියේ හා වැව් පොකුණු දිය ඇළි ආදියේ සංඛ්‍යාව අති විශාලය. අතීත ලංකාවේ ත්‍රිත්‌වය ගම-වැව-දාගැබ කියන්නේ මේ නිසාය. ජලය ආශ්‍රිත “මාකට් ගාර්‌ඩන්ස්” යාපන ප්‍රදේශයේත් රජරටත් තිබී ඇති හැටි හා ගංඟා හරහා බැමි බැඳ වැසි කාලයේදී උස් ගොඩබිම් ජලයෙන් යටකරගත් ආකාරය ඩී එල් ඕ මෙන්‌ඩිස් නම් අවුරුදු අනූවකට වඩා වයසැති සිවිල් ඉංජිනේරුවරයා විසින් පොත් ලියා පෙන්වාදී ඇත. ලෝකයේ වෙනත් රටවල මෙන් භූගත ජල ද්‍රෝණි හඳුන්වා දීමක් ලංකාවේ නැතත්, යාපනයේ පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවල ලිං ජලය කර්‍මාන්ත හා ගොවිතැන සඳහා යොදා ගැනේ.

ජනගහණය හා භූමි පරිසරය පිළිඹද ඉහතින් කී කරුණු අනුව යමින්  සිතන විට කෝල්බ්‍ර‌ෑක් ක්‍රමය මත කර ඇති පොළොව බෙදීම් දෙකක් ගැන සඳහන් කල හැකිය. එකක් නම් පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) සඳහා සදා ඇති මැතිවරණ බල ප්‍රදේශය (සීට්, කොට්ඨාශ).  මේ එක් එක් බල ප්‍රදේශයේ (පානදුර, මොරටුව, මුල්කිරිගල) චන්ද මධ්‍යස්ථාන (පොලින් ස්ටේෂන්ස්) ඇත. දැනට මුළු රටේම මේවා 12,314 ක් ඇත. අනිත් පොළොව බෙදීම නම් සිවිල් රාජ්‍ය පාලනයේ පහලම ඒකකය වන ග්‍රාම සේවක වසමය (විධායකය). කලින් 4,000 ක් පමණක්‌වූ මේවායේ සංඛ්‍යාව ආර් ප්‍රේමදාස අගමැති/ජනාධිපති කාලයේදී 14,000 දක්වා වැඩි කරණ ලදී. එසේ වැඩිකලේ කුමන පදනමක් මත දැයි විස්තර කෙරෙන ලිපියක්වත් මා දැක නැත.

මෙම ග්‍රාම සේවා වසම් 14,000 පරිසර නිර්‍ණායක අනුව, ජලය අනුව (ඉකොලොජි, හයිඩ්‍රොලොජි) මායිම් ලැබෙනසේ නැවත බෙදිය හැකිද? 4,000 සංඛ්‍යාව 14,000 කිරීම ආර් ප්‍රේමදාස යුගයේදී නිහඬව සිදුවුනාසේ, ගඟක් (ගංඟා), ඇළක්, ඔයක්, දිය උල්පතක්, භූගත ජලාශයක් හෝ වැවක්(වැව්) පදනම් කරගෙන නැවත බෙදීම සලකා බැලීම සඳහා ඊට අදාළ විශේෂඥයින්ගෙන් සමන්විත පර්යේෂණ කොමිටියක් පත් කිරීමට රටේ ජනාධිපතිතුමාට හැකිය (අවශ්‍යනම් මෙසේ අළුතින් මතුවන ග්‍රාම සේවා වසම් වලට අනුකූලව චන්ද මධ්‍යස්ථාන 12,314 ද නැවත හරිගැස්සීම ඉතා සුළු කාර්යයකි). මේ මඟින් රටට ලැබෙන්නේ රට, ජාතිය, ආගම හෝ භාෂාව අනුව නොව ස්වභාවික පරිසරය අනුව මායිම් සැදූ ග්‍රාම සේවක වසමක් ය. ලෝකයේ බොහෝ රටවල මෙසේ මතුපිට ජලය හෝ භූගත ජලය අනුව ඇතිකල පරිපාලන/කළමනාකරණ ඒකක (පොළොව බෙදීම්) ඇත. කුඩා දූපත් දෙකක් වන නිව්සීලන්තයේ කුඩා පරිපාලන ඒකක සදා තිබෙන්නේ ජල ද්‍රෝණි අනුවය. එය ඒ රටේ නීතියය.

මෙසේ අළුතින් මායිම්කල ග්‍රාම සේවක වසමකට ජන සභාවක් හෝ පංචයාත් සභාවක් හෝ දිවි නැඟුම හෝ සමෘධි ඒකකයක් හෝ කියා නම් කර ගන්නට හෝ නොගන්නට පුළුවන. වැදගත් වන්නේ ලංකාවේ තිරසර සංවර්‍ධනය සඳහා, මිනිසා, පරිසරය හා සංවර්‍ධනය යන කරුණු/සාධක තුනේ සමබරතාවයක් ලබාගැනීමට හේතු උපකාරවන, කෘතිම ඒකක නොවන, පරිසරයට අනුකූලවන ඒකක මේ මඟින් ලැබීමය. මෙම ඒකක අනුව, ලංකාවේ වනාන්තර, ජල, පස් යනාදී කාරණා භාර දෙපාර්තමේන්තු වලට පමණක් නොව පොලිස්, අධ්‍යාපන, සෞඛ්‍ය යනාදී දෙපාර්‌තමේන්තු වලටද ඒවායේ පරිපාලන ඒකක බෙදාගත හැකිය.

මෙවැනි ව්ද්‍යාත්මක බෙදීමක් කුමාර්ලා කියන ආකාරයේ දෙමළ ආශාවන් ඉටු කර ගැනීම සඳහාත් යොදාගත හැකිද? බුද්ධාගමේ මධ්‍යම ප්‍රතිපදාව හා සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටි කාලයේ පැහැදිළි කල “සුළු ජන වාර්ගික කොටස් අසාධාරණ ඉල්ලීම් (අන්‍රීසනබල් ඩිමාන්ඩ්ස්) නොකළ යුතුය” යන ප්‍රකාශයත් අනුව සිතා බැලීම මෙහිදී අත්‍යාවශ්‍යය. දෙමළ ජනයාට නොව දෙමළ දේශපාලකයින්ට ජීවන ක්‍රමයේ අවශ්‍යතාවයක් ඇත. වෙනම ප්‍රදේශයක්, ස්වයංපාලන අයිතියක් සහිත පෙඩරල් ක්‍රමයක් (මෙය ආනන්දසංගාරී මහතා ඒ කාලයේ කිව් ඉන්දියන් මොඩල් එක නොවේ, ඉන්දියාවේ ප්‍රාන්තවලට එවැනි අයිතියක් නැත)  ඉල්ලන්නේ මේ නිසාය. මේ හැරුණු විට ටැමිල් නාඩ් වලින් හා ලෝක දෙමළ සංවිධානවලින් ලෝක සිතියමේ දෙමළ රටක් සඳහා ගෙනයන ව්‍යාපාරය ඒ සඳහා හොඳම කෙටිම පාර ලංකවේ මරා ගන්නා සිංහල දේශපාලකයින් හා ඔවුන්ට හවුල්ව අන්ද මන්දව ක්‍රියා කරණා සමහර භික්‍ෂූන් හරහා වැටී ඇතැයි විශ්වාස කරයි.

මේ නිසා උතුරු නැඟෙනහිර පලාත් දෙක එකතු කර කුමාර් ඩේවිඩ් විසින් කරණ ලංකා පොළොව පහට කැඩීමේ යෝජනාව ඩබල් අනතුරක් ගෙන එන්නකි. එක අතකින් රටින් විශාල කොටසක් දිග මුහුදු තීරයක් සමඟ දෙමළ දේශපාලකයින්ට හිමිවේ. අනිත් අතට ඉතිරිවන දකුණු කොටස විකාරයක් වන හතරකට බෙදී යයි. ඔහු මධ්‍යම පලාත මායිම් කර ඇත්තේ වතුකරයේ දෙමළ ජනයා ගැන සිතේ තබා ගෙන මිස අඩු තරමින් මහවැලි ගඟ ගැනවත් සලකා නොවේ. ඔහු විසින් ඔහුගේ සිතියමේ, දෙමළ නිජ භූමිය, මලයනාඩු හා ඔළුවිල් ප්‍රකාශනය යන වචන එකක්වත් නොකියා ඒවා ඇති කරදී තිබේ! පාලමක් හෝ බිංගෙයක් ඇතුව හෝ නැතුව ලංකාව ටැමිල් නාඩ් දෙමළ සංක්‍රමණයකට ගොදුරුවී, සිංහලයාට ලෝකයේ ඇති එකම ඉඩමේ ඔවුන් හිරකාරයින් වේද, පලස්තීනයේ මෙන් වේද යන බිය නැතිකිරීමට කුමාර් කරන්නේ කුමක්ද?

මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් වන්නේ දේශපාලකයින්ගේ පටු හා ආත්මාර්‍ථකාමි ඇසෙන් මේ දෙස බැලුවොත් ය. ඉහතින් කී පරිසරය අනුව ලංකා බෙදීමෙන් නැති නැෂනල් ක්‌වෙෂ්චන් එකකට නොව දෙමළ ජනයාටත් දෙමළ සංස්කෘතිය නැතිවීයයිද යන බියක් නැතිව ජීවත් විය හැකිවන ඒකකයක් ඇතිකල හැකි වන්නේ පහලම ග්‍රාම සේවක වසම් මට්ටමෙන් කරණ බෙදීම ක්‍රමයෙන් ඉහළට ගෙන යාමෙන් ලංකාව ගංඟා ද්‍රෝණි හතකට බෙදිය හැකි නිසාය. මීට හේතුව ගංඟා වල් ඉහළ සිට (කන්ඳක සිට) පහළට (මුහුදට) ගලන්නේ හරියට ගහක අතු එකතුව ගහේ කඳ හා මුල හැදෙනවා වගේ වීම නිසාය. මේ නිසා අවශ්‍යතාවයට අනුව, ග්‍රාම සේවක වසම් එකතුකර දැන් පවතින පලාත්, දිස්ත්‍රික්, මැතිවරණ බල ප්‍රදේශ ආදිය වෙන් කරගත හැකිය. ඒ විශාල හැම ඒකකයක්ම ස්වාභාවික පරිසරයට එකඟ බිම් කොටස් වන්නේය. මෙහි පහතින් දැක්‌වෙන්නේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමට ශාක්‍ෂි වශයෙන් ඉදිරිපත්කල ගංඟා ද්‍රෝණි හතේ සිතියමය.  මේ අනුව යාල්පානම් හා දීඝවාපී යනුවෙන් ද්‍රෝණි දෙකක් ඇත. නැඟෙනහිර පලාතේ මුහුදු තීරය කොටස් තුනකට කැඩේ. මේ නිසා උතුර හා නැඟෙනහිර එකතුවී ලංකාව දෙකඩ කරාවී යන බිය සිංහල මනසෙන් තුරන් වේ.  සෑම ඒකකයකටම මුහුදු වෙරළක් ලැබේ. ඒකක එකිනෙකට සමාන වන අන්දමේ භූමි ප්‍රමාණයක් සහිතය. එක ඒකකයකට ඉතාමත් විශාල මුහුදු තීරයක් නොලැබේ. මේ සියල්ලම  කෝල්බ්‍ර‌ෑක් ක්‍රමය අතහැර, ග්‍රාම සේවා වසම් ඉකොලොජිකල් සාධක අනුව මායිම් කිරීමේ ඍජු ප්‍රතිඵලය.

1832 කෝල්බ්‍ර‌ෑක් කොමිසමත්, 1931 ඩොනමෝර් කොමිසමත් ලංකාවේ බලවත්, තීරණාත්මක වෙනස්කම් ඇතිකලේය. මෙවැනිම වෙනසක් ලංකාවේ ඇතිකිරිමේ ව්භවය  සංහිඳියා කොමිසමටද තිබුණේය. එය නම් මෙහි විස්තර කළ ක්‍රමය පැහැදිලි ලෙස නිර්දේශ කිරීමය. ඔවුන්ට එවැනි දෙයක් කිරීමට, දැනුමක්, ශක්තියක් හෝ කැපවීමක් නොවීය. ඔවුන්ට කල හැකිවූයේ ගම්මට්ටමින් මහජනතාවට බලය පවරා දෙන ලෙස කීම පමණය. මේ අරමුණින් ජන සභා දෙපාර්තමේන්තුවක්ද පසුගිය රජයෙන් පිහිටුවන ලදී. එහෙත් අභාග්‍යයකට මෙන් හදිසියේම එය හකුලා දිවි නැඟුමක් පෙරට ආවේය.

මෙම ගංඟා ද්‍රෝණි අදහසට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ද අනුමැතිය ලැබුණත් ඔහු යටතේ සිටි දෙයාකාරයක “නිලධාරීන්” එය  යට ගැසුවේය. ඒ අය විසින් ගැමි දිරිය නම් මීට සමාන, සාර්‌ථක ලෙස දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීමෙන් තොරව ගම් මට්ටමින් ගෙන ගිය වැඩ සටහනද කඩාකප්පල් කර දැම්මේය. යාපනේ හා වන්නියේ ජනයාට මෙහි රස බලන්නට ඉඩ දුන්නා නම් චන්ද ප්‍රතිපල පවා වෙනස්වීමට ඉඩ තිබුණා කියා මට සිතේ. මෙම අදහස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවේයයි බලාපොරොත්තු වෙමි. මේ මඟින් සිංහල, දෙමළ හා මුස්ලිම් සැමටම සාධාරණය හා යුක්තිය ඉෂ්ටවේ. අළුත් ග්‍රාම සේවා වසම් බිම් ප්‍රදේශ, ජන සභා ඒකක වශයෙන් නීතියෙන් හඳුනාගෙන, පක්‍ෂ දේශපාලනයෙන් තොරව මහජනයා විසින් තෝරා පත්කරගන්නා කමිටු පිහිටුවා, ඒවාට මහජනයාට බලපාන එදිනෙදා කටයුතු කර ගැනීමේ බලතල මාරුකිරීමෙන්, දැන් පවතින බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට මධ්‍යම රජයට හැකිවේ. එය කරන ආකාරය මීළඟ ලිපියේ සාකච්චා කරමු.

චන්ද්‍රසිරි විජයවික්‍රම
13-9-2015

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress