අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය – 1 නොනිමි මෙහෙවරක සටහන්
Posted on September 17th, 2015

මාගේ ජීවිතයේ මුල් යුගයේ අනුස්‌මරණ

මාගේ කේන්දරය අනුව මා ඉපදුනේ බුද්ධ පරිනිර්වාණයෙන් 2408 වැනි වර්ෂයෙහි සැප්තැම්බර් මාසයේ 17 වැනි ශනි දින කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පවුලකය. ක්‍රිස්‌තු වර්ෂයෙන් කියතොත් 1864 දීය. මා උපදින කාලයේදී නගරයේ බෞද්ධ සිද්ධස්‌ථාන නොතිබුණේය. පසළොස්‌වක්‌ පෝය දිනවල සැදැහැවත් බෞද්ධයන්ට උපෝසථ සීලය සමාදන් වීම සඳහා කොළඹින් සැතපුම් 10 ක්‌ ඈතින් පිහිටි කැලණියට යාමට සිදුවිය. කොළඹින් සැතපුම් 7 ක්‌ දකුණෙන් රත්මලානේද බෞද්ධ විහාරයක්‌ තිබුණි. එය උගත් වලානේ හාමුදුරුවන් නිසා ප්‍රසිද්ධියට පත්ව තිබුණේය. බෞද්ධ දෙ මවුපියන්ට කොළඹ දී උපන් දරුවන් ක්‍රිස්‌තියානි පල්ලියකට ගෙනයාමට සිදුවිය.

එහිදී දේවගැතිවරයෙක්‌ දෙ මවුපියන්ගේ නම් ද දරුවා උපන් දිනය ද සටහන් කරගෙන, දරුවාට බයිබලයේ සඳහන් නමක්‌ දුන්නේය. බ්‍රිතාන්‍යයට යටත් ප්‍රදේශවල පැවති නීතිය එය විය. බුදුන් වහන්සේ ගේ ආගම තහනම් කරනු ලැබූවක්‌ වූයේ ය. ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසීන්ගේ පාලනය යටතේ දී දිගටම පවත්වා ගෙන එනු ලැබීය. මේ සිරිත බ්‍රිතාන්‍ය පාලනය යටතේ දී දිගටම පවත්වා ගෙන එනු ලැබීය. මේ සිරිත 1884 දී අවලංගු කරන ලද්දේ බෞද්ධ කටයුතු පිළිබඳව ලන්ඩනයට දූත මෙහෙවරක යෙදී, බෞද්ධයන් වෙනුවෙන් යටත් විජිත ලේකම්ට සෙන්පති ඕල්කට්‌තුමා විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙනි. ළදරු කාලයේදී මම පිටකොටුවේ පිහිටි බාලිකා පාසලකට යවනු ලැබීයෙමි.

එහි ලන්දේසි තරුණියන් විසින් ඉංග්‍රීසි උගන්වනු ලැබීය. මගේ වයස අවුරුදු හයක්‌ වූ පසු, පිටකොටුවේ කතෝලික පාඨශාලාවට මම යවන ලද්දෙමි. එය දැන් ශාන්ත මේරිගේ පාසල යන නමින් හඳුන්වනු ලැබේ. පිටකොටුව ඒ කල ලන්දේසි පවුල්වල ද ධනවත් බෞද්ධ සිංහල පවුල්වලද නිවාස පිහිටා තිබුණ ප්‍රදේශ වීය. අද දකින්නට ඇති පරිදි එ කල එහි විදේශිකයෝ බෙහෙවින් නොසිටියෝය. ලන්දේසි පවුල් නගරය අසල ප්‍රදේශවල පදිංචිය සඳහා දැන් ගොස්‌ ඇත. සිංහලයන්ද එයම අනුගමනය කර ඇත්තේ ය. කොළඹ නගරය දැන් දකුණු ඉන්දියානු දෙමළුන්ගෙන් ද මුසලිමයන්ගෙන්ද මලයාලින්ගෙන්ද පිරී පවතී. එය දැන් වඩාත් සමාන වන්නේ ඉන්දියානු නගරයකටය. සෞන්දර්යාත්මක පක්‌ෂය මුළුමනින්ම අතුරුදන් වී ඇත. සුන්දර වැව අභාවයට ගොස්‌ ඇත්තේය. මලින් ද සෙවණින් ගහන වෘක්‌ෂලතාදියෙන් ද පිරී පැවති පිටකොටුව සුන්දර උයන, දැන් හාල් ගුදම්වලට පරිවර්තනය කර ඇත. මුදල් උපයා ගැනීම සඳහා ලංකාවට එන බ්‍රිතාන්‍ය වෙළෙන්දන්ට එහි ස්‌වභාවික සුන්දරත්වය ගැන වුවමනාවක්‌ නැත. ඔවුහු ලන්දේසින්ට වඩා වෙනස්‌ය.Anagarikadharmapala1

කොටහේන අවට ප්‍රදේශයෙහි පන්සල් දෙකක්‌ තිබුණි. එකක්‌ පරමානන්ද විහාරය යන නමින්ද අනෙක දීපදුත්තම විහාරය යන නමින්ද හඳුන්වනු ලැබීය. එක්‌ එක්‌ විහාරයට අධිපති වශයෙන් සිටියේ එක්‌ සාමණේර භික්‌ෂුන් වහන්සේ නමක්‌ පමණි. මගේ වයස අවුරුදු දහය වනතුරු මම පිටකොටුවේ සිටියෙමි. ඊට පසුව මම මාගේ පියාට අයිතිව තිබුණු කොටහේනට ගියෙමි. මගේ අට වැනි වර්ෂයේ සිට දසවැනි වර්ෂය දක්‌වා කාලය තුළදී පුද්ගලික සිංහල පාසලකට මම යවනු ලැබීමි. එහිදී ලංකාවේ පන්සල්වලදී මෙන් මට සිංහල පාඨ ග්‍රන්ථ වලින් උගන්වනු ලදී. මාගේ සිංහල ගුරුවරයා විනය නීති රීති තදින්ම පිළිපදින්නෙක්‌ වීය. සෑම දෙයක්‌ම පිරිසිදුව තබා ගැනීමේ ද කායික පවිත්‍රතාව පවත්වා ගැනීම සඳහා ජලය බෙහෙවින් ආධාර වූයේය. මා පිටකොටුවේ සිටි කාලයේදී කසාවත් හැදි බෞද්ධ භික්‌ෂූන් වහන්සේ නමක්‌ දුටුවේ ඉතා කලාතුරකිනි. ළදරු පාසලේ ගුරුවරු ලන්දේසි කාන්තාවෝ වූහ. ශාන්ත මේරිගේ පාසලේදී මාගේ ගුරුවරයා වූයේ රෝමානු කතෝලික මරක්‌කලයෙකි. කතෝලික බිෂොප් වූ හිලේරියන් සිලානි පාසලට ආ වතාව මට මතකය. එදින ඔහු ඇඟිල්ලේ පැළඳගෙන සිටි මුද්ද මට ඉඹීමට කියනු ලැබීය. ඔහු ඉදිරියේ දණ ගසා ගෙන එසේ කිරීමට මට සිදුවූයේය. එසේ කරන ලෙස මට කීවේ මන්දැයි මම නො දනිමි. මා අණට කීකරු ව මාගේ දණ නැමූ විට, බිෂොප් ඔහුගේ අත සිඹීමට මා වෙත දිගු කළේය. ඉන් නොබෝ දිනකට පසුව ශාන්ත මේරීගේ පාසලෙන් අස්‌ වූ මම සිංහල පාසලකට ගියෙමි. එහිදී පළමු වන පාඩම මට උගන්වන ලද්දේ පැරණි සිංහල චාරිත්‍ර අනුවය. ඒ නම් ගුරුතුමාට බුලත් අතක්‌ පිළිගන්වා වැඳීමෙන් පසුවය. ඒ අවුරුදු දෙක තුළ දී මා උගත් සෑම දෙයක්‌ ම ඉතා වටී. පළමුවන වරුවේ දී උදේ අටට පාසලට ගිය මම, දිවා ආහාරය සඳහා 11 ට ගෙදර ආවෙමි. ඉක්‌බිතිව දෙවැනි වරුවේ දී ප.ව 1 ට පාසලට ගිය මම 5 වන තුරු එහි නතර වී සිටියෙමි. එහිදී සිංහල හැරෙන්නට අන් කිසි ම විෂයක්‌ නූගන්වන ලද්දේය. ඒ පාසලින් මා උගත් දේ පසු කාලයක දී මට ඉතා ප්‍රයෝජනවත් වී ය. සිංහල පාසලින් අස්‌ කරනු ලැබූ මම, ඊට පසුව ශාන්ත බෙනඩික්‌ ආයතනයේ පහළ ම පන්තියට දමනු ලැබීමි. එහි සිංහල ගුරුවරයා කතෝලිකයෙක්‌ වී ය. මාස කිහිපයකට පසුව උසස්‌ පන්තියකට මම දමනු ලැබීමි. එහිදී මගේ ගුරුවරයා වූයේ ගුරු සොහොයුරු නමකි.

Anagarikadharmapala2

සෑම අඩ පැයක දීම කන්‍යා මේරී තුමියට ප්‍රශංසා කරමින් පන්තිය කෙටි යාච්ඥාවක්‌ කළ යුතු වූයේය. මා දිනපතා ම බුදුන් වැන්ද නමුදු මම කතෝලික ක්‍රමයට පුරුදු වීමි. මා බෞද්ධයෙකු වූ හෙයින් බ්‍රහස්‌පතින්දා දිනවලදී සොහොයුරු නමක විසින් මෙහෙයවන ලද විශේෂ පන්තියකට සහභාගි වීමට මට සිදුවීය. මාගේ ගුරුවරුන් වශයෙන් ඕගස්‌ට්‌, ඩැනියෙල්, ජොෂුවා, සහ කැෂියොන් යන සොහොයුරෝ කටයුතු කළහ. ඒ පාසලේ සිටි අවුරුදු දෙකක කාලය තුළදී මම සොහොයුරු නමවල් කිහිප දෙනෙකුත් පුද්ගලිකව දැන හඳුනාගතිමි. මාගේ පියාගේ උයනෙහි සුවඳවත් මලින් පිරුණු ගස්‌ බොහෝ තිබුණි. මම උත්සව දිනවලදී ඒ මල් පාසලට ගෙනයාමට පුරුදුව සිටියෙමි. එක්‌ දිනෙක ගරු පියතුමෙක්‌ මා කතෝලිකයෙකු නොවිය යුත්තේ මන්දැයි මගෙන් ඇසීය. පුදුමයට කාරණය නම්, කතෝලිකාගම කොළඹ ඒ තරම් තදින් පැතිර තිබියදී මා කතෝලිකයෙකු නොවීමයි. බෞද්ධ පරිසරය තුළ මා තබාගැනීමට මගේ දෙමවුපිය මුතුන් මිත්තන්ගේ බලපෑම ඉතා අධික වීය.

මගේ නව වැනි වර්ෂයේදී මගේ පියා විසින් පන්සලේ දී බ්‍රහ්මචාරි ව්‍රතය මට සමාදන් කරවනු ලැබීය. බ්‍රහ්මචාරියා දෙන ලද දෙයක්‌ ආහාර පිණිස ගත යුතු යෑයි ද අඩුවෙන් නිදා ගත යුතු යෑයි ද එදින මගේ පියා මට උපදෙස්‌ දුන්නේය. ඒ ව්‍රතය සමාදන් වූයේ 24 පැයකට පමණි. එය මගේ ළපටි සිතෙහි ස්‌ථිර අන්දමේ බලපෑමක්‌ ඇති කළේය. 1886 මැයි මාසයේදී කතෝලික පාඨශාලාවෙන් අස්‌ කරනු ලැබූ මම, කොළඹින් සැතපුම් හයක්‌ ඈතින් පිහිටි කෝට්‌ටේ ක්‍රිස්‌තියානි නේවාසික පාඨශාලාවට ඇතුළු කරනු ලැබීමි. එය ක්‍රිස්‌තියානි මිෂනාරි පාඨශාලාවක්‌ වීය. දිනපතා යාච්ඤා කිරීමටද ක්‍රිස්‌තියානි ධර්ම ග්‍රන්ථ ඉගෙන ගැනීමටද, මිෂනාරි ගීත ගැයීමටද මට සිදුවිය. මම අවුරුදු දෙක හමාරක කාලයක්‌ මුළුල්ලේ මිෂනාරි වාතාවරණයක කල් ගත කළෙමි. එහිදී බුද්ධ ධර්මයට පහරදීම අරමුණු කරගත් දේවගැතිවරුන් බුද්ධාගමට දුන් පහරවල් විඳ දරා ගැනීමට සිදුවිය. දිනපතාම මට පල්ලියේ දේව මෙහෙයට උදේ 6.30 ට යැමට සිදුවූයේය.

මතු සම්බන්ධයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress