දේශ අහිතෛෂී චිත්‍රපටියක්
Posted on September 17th, 2015

චානක බණ්ඩාරගේ

‘ඔබ` නැතුව ඔබ එක්ක’ නමින් චිත්‍රපටියක් මේ දිනවල ප්‍රදර්ශනය වේ.  මේ චිත්‍රපටිය බටහිර රටවල ජාත්‍යාන්තර සිනමා උළෙලන්හිදී සම්මාන පිට සම්මාන ලබා ඇතැයි මේ චිත්‍රපටියේ නිෂ්පාදකවරු පවසති.  ඒ කථාව ඇත්තය. ඉදිරියේදී තවත් බටහිර ජාත්‍යාන්තර සිනමා උළෙලන්හිදී සම්මාන පිට සම්මාන මෙම චිත්‍රපටය විසින් ලබාගනු නිසැකය.

මේ චිත්‍රපටිය දේශ අහිතෛෂී එකකි. ඒ මන්ද?

මේ චිත්‍රපටියේ කතාව පදනම්ව ඇත්තේ අපගේ හමුදා විසින් අහිංසක දෙමළ වැසියන්ට හිරිහැර කිරීම පිළිබඳවයි.

සිංහල හමුදාව යනුවෙන් අපේ හමුදාව හඳුන්වා එය කෘර, ම්ලේච්ච එකක් බව ලෝකයට පෙන්වීමට බෙදුන්වාදීන් සැම විටම උත්සහ කරත්.

අපේ හමුදාව තුල දෙමළ වැසියන්ට කෲර දේ සිදුවෙන බව පෙන්වන චිත්‍රපට තැනීමෙන් එකී නිෂ්පාදක වරුන් කරන්නේ එවන් උත්සාහයන්ට අත දීමකි.

මෙහි කතාව අනුව සිංහල තරුණයෙක් දෙමල තරුණියක්ව විවාහ කර  ගනී. දෙදෙනාම අනෙකාගේ පසුගිය අතීතය ගැන කිසිවක් නොදනී.

සැමියා හමුවීමට එන ඔහුගේ මිත්‍රයෙක්ගෙන් සැමියා කලක් හමුදාවේ සිටි කෙනෙක් බවට බිරියට දැනගන්ට ලැබේ.

සැමියා නිතරම් ‘කික් බොක්සින්’ (ත්‍රාස ජනක) රූපවාහිනී වැඩ සටහන් බලයි.

සැමියා ළඟ පිස්තෝලයක් ඇති බව බිරිඳ වටහා ගනී.  දිනක් ඇය පිස්තෝලය ගෙන ඇගේ නිදා සිටී සැමියාගේ හිසට මාන කර ආපසු ගෙන ගොස් එය තබයි.

සැමියා බිරිඳට බෙහවින්ම  ආදරය කරයි.  එහි කිසුදු සැකයක් නැත. බිරිඳ වෙනුවෙන් තම නුවර එළියේ උකස් බඩු සාප්පුවද  විකුණා දමා ඇය සමග ඉන්දියාවේ ජීවත් වීමට යාමට ඔහු කටයුතු කරයි.

නමුත් සැමියා ඔහුගේ හමුදා අතීතය විවාහයට පෙර තමන් වෙත නොපැවසීම බිරිඳගේ මහත් මානසික ආතතියට හේතු වේ.  සැමියා යුද හමුදාවේ සිටි බව තමා දන්නේ නම් ඔහුව නොබඳින බව ඇය පවසයි.

චිත්‍රපටයට අනුව සැමියා හමුවට එන මිතුරා හිටපු හමුදා සෙබළෙකි (හැඩි දැඩි ස්වභාවයක් ඔහුට දී ඇත).  හමුදාවේදී ඔහු සහ ඔහුගේ සගයන් පිරිසක් අහිංසක දෙමළ තරුණියක් දුෂනය කර ඔවුන් පසුව ඇයව මරා දමයි.  සැමියා ඉදිරිපත්ව බොරු සාක්කි කියා මිතුරන්ව බේරා ගනී.

දෙමළ තරුණිය කියන පරිදි ඇගේ සොහොයුරන් දෙදෙනක් හමුදාව විසින් ඔවුන් දෙමළ වූ නිසා මරා දමයි (ද්‍රවිඩ තරුණියට අනුව ඔවුන් කොටින් නොවිය).

තමන් අහිංසක දෙමළ වැසියන්ව හමුදාවේ සිටියදී නොමරු බව සැමියා පවසයි.  නමුත් බොරු සාක්කි දී මිතුරන් බේරා ගත් බව සැමියා පිළිගනීයි.

දෙමළ තරුණිය මානසික අසහනයට පත් වන්නේ මේ කරුණු සංකලනය නිසාය.

අවසානයේදී සිද්ධීන්ගෙන් ඉමහත් සේ කැලභෙන බිරිඳ සිය දිවි නසා ගනී.

හමුදා අපරාධ පිලිබඳ සිද්ධීන් රූප රාමුවලින් නොව දෙබස් වලින් පමණක් පැවසේ.

මෙවැනි කථා ප්‍රභන්ද කර, ඉංග්‍රීසි වැකි සමඟ  චිත්‍රපටය නිපදවීමෙන් මේ අය බලාපොරොත්තුවන්නේ කුමක්ද?

මෙවැනි චිත්‍රපට බටහිර රටවලට යවා හමුදාව මඟින් ශ්‍රී ලංකාවට  අවමන් කර, ජාත්‍යන්තර සම්මාන උළෙලවල්වලදී උපරිම සම්මාන දිනා ගැනීමයි.  2012 සිට මේ චිත්‍රපටය විදේශ චිත්‍රපට උළෙලල්වල් අති විශාල ගණනක ප්‍රදර්ශනය පිණිස යවා ඇත.

මෙවැනි චිත්‍රපටවලට සම්මාන දීමට පුල  පුලා බලා සිටින චිත්‍රපට සම්මාන උළෙලවල්  ඇත.

නමුත් තම රටත්ජාතියත් පවා දීමෙන් ලබා ගන්න සම්මානවලින් ඇති පලය කුමක්ද?

අපේ විරෝධාර රණවිරුවෝ ඉතා උසස් අයුරින් යුද්ධය කළහ.  වෙනත් හමුදා සමඟ සසඳන කල්හි ලොව ඉතාම විනය ගරුක යුද හමුදාවක් සිටියේ ශ්‍රී ලංකාවෙයි.  සිවිල් දෙමල වැසියන් ආරක්ෂා කිරීමට ගොස් දිවි නැතිකරගත් රණවිරුවෝ බොහෝයි.  මොවුන් ගැන, මේ සත්‍ය සිදුවීම් අලලා චිත්‍රපට නොසාදන්නේ ඇයි?

කථා ප්‍රභන්ධ කර මෙවැනි චිත්‍රපට නිපදවීමෙන්, අනියමින් මේ අය පෙන්වන්න හදන්නේ කුමක්ද? – ශ්‍රී ලංකාවට විරුද්ධව ඇති යුධ අපරාධ චෝදනා සත්‍යය  විය හැකි බව නොවේද?  අපේ හමුදාව දෙමල වැසියන් 40,000කට නොවැඩි ගණනක් (TNA මන්ත්‍රීවරයෙකුට අනුව 70,000 ක්) මැරූ බවට අභූත බොරු චෝදනා එල්ලවී ඇති මෙවැනි සමයක ප්‍රභන්දනාත්මකව හෝ මෙවැනි, හමුදාවට නරක නමක් එන චිත්‍රපට හැදීම නොකළ යුතුයි.  එය උපන් රටට ද්‍රෝහී වීමකි. රට බෙදීමට වෑයම් කරන්නන් සහ මෙවැනි චිත්‍රපට නිෂ්පාදකයන් අතර එතරම් වෙනසක් නැත.

සියළු ශ්‍රී ලාංකික රජයන් ජාතින් අතර සංහිදියාවට ගොඩ නැගීමට ඉමහත් වෙහෙසක් දරයි.  මෙවැනි  චිත්‍රපට එවැනි වැඩවලට බාධාවකි. ජාතින් දෙක අතර විරසක ඇති කරයි.

Denazification සංකල්පය යටතේ යුරෝපිය රටවල නාද්සිවරුන් විරුවන් ලෙස පෙන්වා පොත් පත් ලිවිම, චිත්‍රපට හැදීම තහනම්ය.

නමුත් අප රටේ විරෝධාර රණවිරුවන් බරපතල අපරාධකාරයින් කර චිත්‍රපට හැදිමට ඉඩ දී ඇත. ජනතාව මේ චිත්‍රපට බලා මෙවැනි සිද්ධීන් සත්‍යය සිද්ධීන් ලෙස මනසින් ධාරනය කර ගන්නවා ඇත.  කුඩා ළමුන් මේ මඟින් නොමගට යැවීම ඉතා පහසුය.

දෙවන ලෝක  යුද්ධයේදී ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය බොහෝ යුධ අපරාධ කළහ. නමුත් මේ පිළිබඳව බටහිර රටවල් (හොලිවූඩ් ඇතුළු) චිත්‍රපට නිෂ්පාදනය නොකළහ.  ඔවුන් ඔවුන්ගේ රටවල්  ‘ආරක්ෂා කලේ’ එලෙසිනි. නාද්සි සහ ජපන් යුධ අපරාධ පිළිබඳව නම් බොහෝ චිත්‍රපට නම් තැනුහ. 

මෙවැනි සත්‍යය සිද්ධීන් IPKF සමයේ සිද්ධ නොවුවා නොවේ. නමුත් මෑත කාලයේදී  (IPKF ගිය පසු) අප දන්නා තරමින් සිදු වුයේ නැත.බොහොමයක්ම, හමුදාවෙන් සිද්ධ වුයේ මානුෂිය මෙහෙවරකි; අහිංසක ජනයා මුදා ගැනීමකි.   ඒ නිසා නොවුණු සිද්ධීන් පිළිබඳව, ප්‍රභාන්දනාත්මක කතා ගොතා, මෙවැනි චිත්‍රපට සැදීම සාධාරණ නොවේ.

ශ්‍රී ලංකා රජයේ හමුදා භටයන් කාණ්ඩායම් වශයෙන් හොරෙන් ගොස්, සැලසුම් කර, ද්‍රවිඩ ස්ත්‍රීන් දුෂණය කිරීමක් සිදු වුයේ  නැත.  හමුදා විනය ඉතා තදබල ලෙස ක්‍රියාත්මක විය.  යම් හමුදා භටයෙක් කලාතුරකින් හෝ එවැන්නක් කර තිබුනා නම් (ස්ත්‍රී දුෂණයක්) නීතියේ රැහෙනෙන් මිදීමට ඔවුනට කොහෙත්ම ඉඩ ලැබෙන්නේද නැත.

කොටි ත්‍රස්තවාදීන් නොවන ද්‍රවිඩ තරුණයන් දෙදෙනෙක් (මේ යුවතියගේ සොහොයුරන්) හමුදාව විසින් ඔවුන් දෙමල වූ  පමණක් නිසා මරාදමුවෙයයි  කියා කතාවක් නිර්මාණය  කිරීම රටේ බහුතරය වන සිංහල ජනතාවට පහර ගැසීමකි, අවමන් කිරීමකි.

කාන්තාවක්දුෂණය කිරීම අපරාධ නීති පොතේ දෙවැනි වන්නේ මිනීමැරුමකට පමණි.  ශ්‍රී ලංකාවේ හමුදාව තුල සංවිධානාත්මකව  භට පිරිස් විසින් ද්‍රවිඩ කාන්තාවන් දුෂණ කරන බවත් එසේ කොට, අසුවූ පසු, බොරු සාක්කි කියා, නඩුවලින් ඒ භටයන්ට නිදහස් විය හැකි බවත් මේ චිත්‍රපටියෙන් බටහිරට දෙන සුක්ෂමවූ පණිවුඩයයි. එසේම, අහිංසක අසරණ ත්‍රස්තවාදී නොවන දෙමල තරුණයන් හමුදාව විසින් අමු අමුවේ මරා දමන බව මේ චිත්‍රපටයෙන් බටහිරට සුක්ෂම ලෙස දෙන දෙවන පණිවුඩයයි.

අපේ රටේ අයට බොහෝවිට මේ සැඟවුණු සුක්ෂම පණිවුඩ නොපෙනේ.

මෙවැනි චිත්‍රපට තහනම් කලයුතුයයි මේ ලියුම්කරු නොකියයි.  ප්‍රජාතාන්ත්‍රික සමාජයක ඔවුනට ඒ දේ කිරීමට අයිතිය ඇත.

නමුත්, චිත්‍රපට නිපදවන්නෝ තමන් උපන් දේශයට සහ ජනතාවට (සිංහල/දෙමල දෙජාතියටම) සාධාරණ විය යුතුයි.  ඔවුන් කරන්නේ හරි දෙයක් දැයි ඔවුන් විසින්ම තම හදවතට කථා කර ඇසිය යුතුය.

චිත්‍රප ටියේ එක් තැනක නව යුවල විවාපත් වීමෙන් පසු පෙන්වන ලිංගික දර්ශන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චිත්‍රපටයකට සුදුසු නොවේ. බටහිර චිත්‍රපටියක වුවද මෙවැනි දර්ශන වැඩිහිටියන්ට පමණක් සීමාවූ දර්ශනයි.  නමුත්, මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටියක්ද නොවේ, මේ ලියුම්කරු දන්නා පමණින්.

චිත්‍රප ටියේ එක් තැනක ද්‍රවිඩ යුවතිය සිංහල තරුණයාට සිය දෙමල ජාතියට සිංහලුන්ගෙන් මහත් හානි සිදුවූ බව වැනි වදන් ප්‍රකාශ කරයි (චිත්‍රපටියේ හැටියට ඇය යාපනයේ උපන් කාන්තාවකි).  මේ ප්‍රකාශය ඇය කරන්නේ උඩරට වතුකරයේ සිටය.

වතුකරයේ දෙමල ජනතාව සිංහලයන් ගැන එවන්  අකාල්පයක් නොදරයි.  ජාතින් දෙක ඉතා හොඳ මිත්‍රත්වයෙන් පසු වෙත්. ලක්ෂ ගණනක් වූ වතුකරයේ දෙමල ජනයා නැවත ඉන්දියාවට නොයවා ඔවුනට පුරවසිභාව ලබා දුන්නේ ශ්‍රී ලාංකික රජයන්ය.

ජාත්‍යාන්තර සම්මාන ලබා ගැනීමේ පටු ආසාවෙන්, තමා උපන් මව්බිමට ද්‍රෝහී වන චිත්‍රපට නොසාදන ලෙස සිංහල චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් ඉල්වා සිටින කාලය එළෙඹ ඇත.  සිංහල ජනතාවගේ සහ හමුදාවේ හොඳ පැත්තද පෙන්වා දිය යුතුය.  උදාහරණයක් වශයෙන් 1983 කෝලාහල වලදී සිය දෙමළ සොහොයුරන්ට/සොහොයුරියන්ට  පිහිට වුයේ සිංහලයන් නොවේද? 1983න් පසු කිසිම දෙමල කෝලාහලයක් අප රටේ ඇති වුයේ නැහැ නේද? මේවා ගැන චිත්‍රපට නොසාදන්නේ ඒවාට ජාත්‍යන්තර සම්මාන නොලැබෙන නිසා නේද?

TNA ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරයෙක් 2013 ඕස්ත්‍රේලියාවේ කැන්බරා නගරයට පැමිණ මෙවැනිම අභූත චෝදනා එල්ල කළේය. ඕස්ත්‍රේලියානු  ජාතික විශ්ව විද්‍යාලයේ (ANU)  සුදු ජාතික සහ බෙදුම්වාදීන්ගෙන් පිරි සභාවක් ඉදිරියේ දේශනයකදී  ‘හඬා වැටුන’ එතුමා කිවේ සිංහල හමුදා දෙමල කාන්තාවන් අතෝරක් නොමැතිව දුෂණය කරන බවත් හමුදාව විසින් දෙමල මිනිසුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගන්නා බවත්ය.  ඔහුගේ කථාව අනුව 2013ද ශ්‍රී ලංකාවේ උතුරේ මෙවැනි තත්වයක්  පැවතුනේය.  සුද්දෝ මොහුගේ කථාව අසා සිටියේ ඇස් වල කඳුළු දල්වාගෙනය.  මේ ලේඛකයා TNA මන්ත්‍රීවරයාව මුහුණට මුහුණ දී කොටු කර ප්‍රශ්ණ කලේ TNA මන්ත්‍රීතුමා ශ්‍රී ලංකාවේ සිට ඕස්ත්‍රේලියාවට පැමිණ මේ නගන්නේ අමුලික පට්ටපල් බොරු නොවේද කියායි.  ඔහුගේ බොරු චෝදනාවලට සාක්කි ඉදිරිපත් කරන මෙන් ඉල්වු විට ඔහු බිම බලා ගත්තේය, පැටලෙන සුළු උත්තර දුන්නේය.  මේවා ලංකාවේදී පාර්ලිමේන්තුවේදී හෝ මාධ්‍යය  වෙත හෙළි නොකළේ මන්දැයි කියා ප්‍රශ්න කරන විට උත්තර දී ගත නොහැකි විය.  පොලිසියට මෙවැනි අපරාධ වාර්ථා කලේදැයි ඇසුවිට උත්තර දී ගතහැකි නොවීය. තමාගේ බොරු කථා හකුලා ගැනීමට එතුමාට එදා සිදු විය. සිය දේශනයේ  ස්වභාවය වෙනස් කරන්නට සිදු විය. මෙතුමා බොරු කිවූ බව සුද්දන්ට වැටහිණි, ඔවුහු අප සමඟ කතාවට වැටුණි.  මේ ලේඛකයාට අනෙක් දේශප්‍රේමින්ගෙන්ද නොමඳ සහාය එදා රැස්වීමේදී ලැබුණි.  පසුදින උදයේ TNA මන්ත්‍රීවරයා කැන්බරා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලට ගොස් මහා කොමසාරිස් තුමාගෙන් සමාව අයැද සිටි බව මහකොමසාරිස්වරයා මේ ලේඛකයා සමඟ කිය (මහකොමසාරිස් තුමා මොහුට දුර කථනයෙන් කථා කර කැඳවා තිබුණි) .

අද ජාතික ලැයිස්තුවෙන් පත්වී සිටින සිංහල මන්ත්‍රීවරයක්ද මෙසේම  2012  වසරේ කැන්බරාහි ඕස්ත්‍රේලියා ජාතික විශ්ව විද්‍යාලයට (ANU) පැමිණ ශ්‍රී ලංකාවට විරුද්ධව කථාවක්  පැවැත්විය. ශ්‍රී ලංකාවේ  ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම දෙමළ ඊලාම් රාජ්‍යය ලබා දීම බව ඔහු නොකියා කිය.  ඔහුවද මේ ලේඛකයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමෙන් අනතුරව තම දේශනයේ සැර ඔහු  බාල කරගත්තේය.  තවත් දේශප්‍රේමින්ද ඔහුගෙන් ප්‍රශ්න කළහ. ඊට පසු දින කැන්බරා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලට ගොස් මහා කොමසාරිස් තුමාගෙන් සමාව අයැද සිටි බව බව මහකොමසාරිස්වරයා මේ ලේඛකයා සමඟ කිය (මහකොමසාරිස් තුමා මොහුට දුර කතනයෙන් කථා කර කැඳවා තිබුණි).

ජාත්‍යාන්තර නිතී , වෙළඳ සහ මානව හිමිකම් නීති පිලිබඳ නීති විශාරධයෙක් වන කතුවරයා ඔස්ත්‍රේරෙලියාවේ කැන්බරා සහ සිඩ්නි නුවරන්හි පිහිටි සිටි ෆස්ට් සොලිසිටර්ස් සහ බැරිස්ටර්ස් (City First) නීතිඥ ආයතනයේ වසර ගණනාවක් එහි අධිපති සහ ප්‍රධාන බැරිස්ටර්වරයා විය.  මොහු විසින් දිනාදී ඇති නඩු (අපරාධ සහ සිවිල්) දහස්  ගණනකි.  වසර ගනානාවක් චීනයේ බෙයිජිනයේ සිරගෙදරක සිර ගතව සිටි, ඔස්ත්‍රේලියානු රජයට නිදහස් කරගත නොහැකිවූ ඔස්ත්‍රේරලියා ජාතික සිරකරුවා නිදහස් කරගත්තේ මොහුයි.  මෙය එකල ඔස්ත්‍රේලියාවේ ප්‍රධානතම පුවත විය. ඒ පිළිබඳව සිඩ්නි නුවර ජාත්‍යන්තර සම්මානයක් හිමි විය.  1997 දී සංක්‍රමණ පන්ති නඩු හඳුන්වා දීම නිසා (Ruddockv Gamini Wasantha, Ruddockv Neomal Fernando)සංක්‍රමණ පන්ති නඩු පියා (father of immigration class action) යන විරුදාවලියෙන් සිඩ්නි නුවර නීතිඥ ප්‍රජාව අතර ප්‍රසිද්ධ විය. කැන්බරාහි නීතිඥ සමිති වල උසස්  නිලතල හෙබවිය. ඔස්ත්‍රේලියාවේ  පිළිසිඳගත්, ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායමේ ( අද දීපව්‍යාප්ත) (Sri Lanka Support Group) හි වත්මන් සභාපතිවරයාය

2 Responses to “දේශ අහිතෛෂී චිත්‍රපටියක්”

  1. Independent Says:

    චානක​,
    පිටරට වල ඉන්නා ඔබ වැනි සිංහලයෝ විශාල සටනක් දෙති. මෙහි සැකයක් නැත​. එසේම අපි අවංකවම සාධාරණ ලෙස කතා කරමු. එහෙත් අපටත් ලැජ්ජා වෙන අන් දමට හිරි ඔත්තප්ප නැත්තා සේ ලංකාවේ නායකයෝ හැසිරෙන විට සිදුවන්නේ කුමක් ද ?
    හිටපු තානපති ලිබරල් ආණ්ඩුව සමග ලොකු සේවයක් කලා. මැල්කම් ටර්න්බුල් කොහොම වෙයි ද දන්නේ නෑ. කෙසේ වෙතත් රටෙ පාලකයෝ විනය පවත්වාගැනීම අත්‍යවශ්‍යය​.

  2. Chanaka B Says:

    බෙදුම් වාදයට විරුද්ධව පසුගිය 20 වසර තුල සැම දිනකම මොකක් හෝ වැඩක් කරන්න ඇති. ඒ ගැන නිහතමානිවූ ආඩම්බරයක් ඇත. මැරෙනතුරු එය එසේමයි
    48න් පසු අපට සිටියේ හොඳ නායකයෝ අතේ ඇගිලි ගානටයි. අපේ සහ රටේ අවාසනාව
    ඇබට් හොඳ දක්ෂ නායකයෙක් විය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress