හයිබ්‍රිඩ් උසාවියේ තෝල්කවරු
Posted on September 17th, 2015

Editorial Divaina
අවසානයේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ. ඒ ලෙහන්නටත් පෙර මල්ල ඉරාගෙනය. කල් මරමින් සිටි ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව පෙරේදා ජිනීවාහිදී එළිදක්‌වා තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2002 වර්ෂයේ සිට 2011 දක්‌වා වූ කාලය අතරතුර සිදුවූවා යෑයි කියන මානව හිමිකම් කඩවීම විමර්ශනය කිරීමට විදේශ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කළ යුතු බව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් ප්‍රකාශ කර තිබිණි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කාර්යාලයක්‌ ද ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ.
2002 – 2011 කාලය අතරතුර මෙරට ආරක්‍ෂක අංශ හෝ ඔවුන්ට සම්බන්ධ පිරිස්‌ විසින් දෙමළ දේශපාලනඥයන්, මානුෂීය සේවකයන්, ජනමාධ්‍යවේදීන් සහ සිවිල් වැසියන් ඝාතනය කළ බව ද ඊයේ නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ. එපමණක්‌ නොව එල්. ටී. ටී. ඊ. ය විසින් ද ඉවක්‌ බවක්‌ නැතිව මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රහාර එල්ල කිරීමෙන් සහ බිම් බෝම්බ ප්‍රහාර වලින් රජයේ නිලධාරීන්, විද්වතුන්, විරුද්ධ මත දරන දමිළ දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් ද, සිංහල, මුස්‌ලිම් සාමාන්‍ය වැසියන් ද ඝාතනය කළ බවට මානව හිමිකම් කවුන්සිලයට වාර්තා වී ඇති බවත් ද සඳහන්ය. මෙරට ආරක්‍ෂක හමුදා හෝ ඊට සම්බන්ධ පිරිස්‌ විසින් ඝාතන සිදු කළා යෑයි අවධාරණය කරන ජගත් මානව හිමිකම් කවුන්සිලය එල්. ටී. ටී. ඊ. ය ද ඝාතන සිදු කළා යෑයි “වාර්තා” වන බවක්‌ ෂේප් න්‍යායෙන් කියයි. ගෙන ඒමට නියමිත ජාත්‍යන්තර උසාවිය මෙන්ම මේ ප්‍රකාශ ද “හයිබ්‍රිඩ්” ය.
ඇත්ත වශයෙන්ම සිහි කටයුතු ඇති අයෙක්‌ තේරුම්ගත යුත්තේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඊයේ මුණගැසෙන විටත්, මාස හයකට පෙරාතුව මේ වාර්තාව සකස්‌ කර අවසන්ව තිබූ බවය. වැඩේ යාන්තමින් ගැස්‌සී ගියේ මහින්දගේ ආණ්‌ඩුව බිඳවැටීමත් සමගය. මාස හයකට පෙර වැඩ අවසන් කර තිබූ වාර්තාව මේ සමුළුවට සහභාගි වූ මෙරට නියෝජිතයන්ට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය පවා අතහැර දමන්නේ වැඩේ සීරියස්‌ නිසා බව පෙනේ.
කෙසේ හෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් නීශා බිස්‌වාල් මෙරට කළ සංචාරය අවසානයේදී ප්‍රකාශ කළ “දේශීය යාන්ත්‍රණ” කතාව මේ වන විට යට ගොසිනි. (දේශීය යාන්ත්‍රණය පවා රට උගුලක පැටලවීමට ගන්නා උත්සාහයක එක්‌ පියවරක්‌ නිසා ඊට අපි එකඟ නොවෙමු.) එය වෙනත් කාරණයකි. එහෙත් දේශීය යාන්ත්‍රණය ගැන අපිටත් කලින් කලබල වූයේ ටී. එන්. ඒ. සහ උතුරු පළාත් මහ ඇමැතිවරයාය. “ජාත්‍යන්තර පරීක්‍ෂණයක අවශ්‍යතාව” ලෙස යෝජනාවක්‌ ද උතුරු පළාත් සභාවේදී සම්මත කර ගැනීමට ඔවුන් සමත් විය. දෙමළ ඩයස්‌පෝරාව පවා සිටියේ එවැනි ප්‍රතිපත්තියකය. ඒ නිසා මේ කිසිවක්‌ හුදකලා අහඹු සිදුවීම් නොව එකිනෙක ගැටගැසුණු ඒවා බව සිහිකටයුතු පුද්ගලයකුට වැටහේ.
යෝජනා කර ඇති වැඩපිළිවෙළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙනත් කිසිදු රටක්‌ සම්බන්ධයෙන් ගත් තීරණවලට වඩා වෙනස්‌ එකකි. මෙවැනි ක්‍රියාදාමයක්‌ වෙනත් කිසිදු රටකට අදාළව මෙහෙයවා නැත. විශේෂයෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉහළින් කතා කරන මානව හිමිකම් කවුන්සිලයේ මේ ක්‍රියාදාමය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය බලවත් ලෙස බිඳ දමන ආකාරයේ එකකි. මේ කියන හයිබ්‍රිඩ් (දෙමුහුන්) අධිකරණයේ ස්‌වභාවය හෝ එහි සාමාජිකයන් තෝරා ගැනීමේ සංයුතිය කවරේද යන්න නිසි සොයා බැලීමකින් තොරව එකඟතාවන් පළ කිරීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර දෙයකි. විශේෂයෙන් උතුරට විශේෂ වූ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ පිහිටුවීම තුළ එල්. ටී. ටී, ඊ. ය විසින් සිදු කළ දකුණේ ඝාතන ගැන විමර්ශනය කෙරෙන්නේ කවරාකාරයට ද යන්න පැහැදිලි නැත.
හුසේන් කුමාරයාගේ වාර්තාවේ තිබෙන පරිදි එල්. ටී. ටී. ඊ. යද ඝාතන සිදුකර ඇතැයි වාර්තා වේ.” යන්න විමර්ශනය කිරීම ආරම්භ කරන්නේ කොතැනින්ද? අප විශ්වාස කරන්නේ මෙවැනි කාරණා එකඟත්වයකට පෙර විස¹ගත යුතුව තිබුණු ඒවා බවය.
මානව හිමිකම් කවුන්සිලය යෝජනා කරන සංහිඳියාව ඇතිකරන්නට මේ උතුරට පමණක්‌ සුවිශේෂී වූ හයිබ්‍රිඩ් අධිකරණයකට හැකියාවක්‌ නැත. ජිනීවාහිදී මෙවැනි ප්‍රවණතාවක්‌ හටගන්නේ ඉතිරිව ඇති එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්, ඔවුන්ගේ ඉත්තන් හා දෙමළ ඩයස්‌පෝරාව සහ ත්‍රස්‌තවාදයට Rජුවම උදව් උපකාර කරන පිරිස ගෙන ගිය දිගුකාලීන ප්‍රචාරණය මත පදනම්ව වන බව කිව යුතුය. (ශ්‍රී ලංකා රජය ඊට සමගාමීව හරි දේ ප්‍රචාරණය නොකිරීමේ උදාසීන පිළිවෙතක සිටි බවද අපි අවධාරණය කරමු.)
ඇමරිකාව, ඊශ්‍රායලය වැනි යුද අපරාධවලට කප් ගැසූ රටවල්වල තවමත් හයිබ්‍රිඩ් උසාවි පිහිටුවීමට ජිනීවාවලට කල්පනා නොවන්නේ යෑයි කිසිවිටෙකත් නොසිතන්න.

One Response to “හයිබ්‍රිඩ් උසාවියේ තෝල්කවරු”

  1. Indrajith Says:

    අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ශාඛාවක් මිශ‍්‍ර අධිකරණයක් නමින් රට තුළ පිහිටුවා රට බේරාගත්, රටට සාමය හා නිදහස දිනා දුන් රණවිරුවන් දංගෙඩියට දැක්කීමට ඉඩදී නිහඩව සිටිය හැකිදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මුළුමහත් ජාතියෙන් විමසා සිටි.

    ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ විමසා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

    ‘‘2002-2011 කාලසීමාව තුළ ශ‍්‍රී ලංකාව තුළ සිදු වූවා යැයි කියන යුද අපරාධ පිළිබඳව තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් නිකුත් කළ මෙම වාර්තාවෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන්නේ. පිටු 261කින් සමන්විත මෙම වාර්තාවේ ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට තමයි බරපතළම චෝදනා ඉදිරිපත්කර ඇත්තේ.

    කොටි සංවිධානයට පමණක් අදාළ වන සේ එල්ල කොට ඇති එකම චෝදනාව වන්නේ, ‘දරුවන් යුද්ධයට සම්බන්ධකර ගැනීමේ චෝදනාව’ පමණයි. එම චෝදනාව පවා එල්ලකොට ඇත්තේ නැගෙනහිර පළාතේ හිටපු කොටි නායක, කරුණා අම්මාන්ගේ නම පවා සඳහන් කරමින්. කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ඇවිල්ලා ශ‍්‍රී ලංකා හමුදාවන්හි මෙහෙයුම්වලට උදව් කළ වාඩුව ගැනීමට ඒ චෝදනාව එල්ලකොට ඇති බවයි පෙනෙන්නේ. එහෙම නැතිව දෙපාර්ශ්වය කියන වචනය මෙම වාර්තාවෙහි ඇතැම් තැන්වල සඳහන් වුණාට ඇත්තෙන්ම මෙහි දෙපාර්ශ්වයක් නැහැ. දැනට ඉතිරි වෙලා ඉන්නේ එක පාර්ශ්වයයි. වේළුපිල්ලේ පිරබාහරන් ඇතුළු කොටි සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයන් කිසිවකුත් අද ජීවතුන් අතර නැහැ. මෙම වාර්තාව මගින් සැබෑ ලෙසම ඉලක්ක වී ඇත්තේ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් පමණයි.

    මෙම වාර්තාව මගින් අපේ ආරක්‍ෂක හමුදාවන්ට බරපතළ චෝදනාවන් ගණනාවක් එල්ල වී තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට එරෙහිව ලිංගික ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීම, බලහත්කාරී අතුරුදහන්වීම් සිදු කිරීම, වධහිංසා ඇතුළු කුරිරු අමානුෂික, අවමන් සහගත සැලකිලි දැක්වීම්, සාමාන්‍ය ජනතාවට බර අවි ප‍්‍රහාර එල්ල කොට ඝාතනය කොට තිබීම, ගැටුමට ලක්ව සිටි ප‍්‍රදේශවල ජනතාවට මානුෂීය ආධාර ලබාදීම අවහිර කිරීම ආදිය ඒ අතර වෙනවා. මෙවැනි චෝදනා ගණනාවක් ඉදිරිපත් කරලා මහ කොමසාරිස්වරයා නිර්දේශ කරන්නේ කුමක්ද? මිශ‍්‍ර අධිකරණයක්. මිශ‍්‍ර අධිකරණයක් කීවාට එය එසේ වන්නේ නැහැ. සුදුජාතික විනිසුරුවන්, තාක්‍ෂණ කටයුතුවලට අදාළ නිලධාරීන්, නීතිඥයන් ඇතුළු කණ්ඩායම් මීට ඇතුළත් වෙනවා. ඒ නිසා ‘රම්පෙ කරපිංචාවලට’ ශ‍්‍රී ලාංකික විනිසුරුවරුන් ඇතුළත් වුණාට මෙම අධිකරණය මෙහෙයවන්නේ සම්පූර්ණයෙන්ම ඔවුන්ට උවමනා ආකාරයට.

    මෙම අධිකරණය සඳහා මුදල් යොදවන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් බව මීට ඉහතදී ප‍්‍රකාශය වුණා. මේක පැහැදිලිවම අන්තර්ජාතික අපරාධ අධිකරණයේ අනු ශාඛාවක් බවට පත් වෙනවා. මෙම අධිකරණය ශ‍්‍රී ලංකා භූමිය තුළ ගොඩනැගිල්ලක ස්ථාපිත වුණාට මේක සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට(UNHRC) උවමනා ආකාරටයි.

    ‘සුද්දන් නඩු ඇහුවේ යටත්විජිත කාලයේ’

    දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයලා මහ උජාරුවෙන් කියනවා, ‘අපි රට ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් බේරා ගත්තා’ කියලා. ඒ අය ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් රට බේරා ගෙන නැහැ. ඔවුන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් රට තුළට රැගෙන ඇවිත් තියෙනවා. මේක මේ රට යටත්විජිත තත්ත්වයට ඇද දැමීමක්. සුදුජාතිකයන් නඩු ඇසුවේ යටත්විජිත යුගයේදීයි. මීට කලින් මෙහෙම ව්‍යුහයක් ඇති කරලා තියෙනවා කාම්බෝජයේ. එහෙම කළේ කාම්බෝජ රජයේ හමුදාවන් ගැන හොයන්න නොවෙයි. පොල්පොට්ගේ හමුදාවන් විසින් සිදු කළ අපරාධ ගැන සොයන්නයි.

    රටක් ත‍්‍රස්තවාදයෙන් බේරාගත්තු, සාමය සහ නිදහස රැගෙන ආපු කීර්තිමත් හමුදාවක් වැරදිකරුවෝ හැටියට අර්ථකථනය කරලා විදේශිකයන්ට නඩු විභාගයක් පැවැත්වීමට දැන් ඉඩකඩ සලසා දීලා තිබෙනවා. ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ පවතින නීති පද්ධතිය සංශෝධනය කිරීමට වත්මන් ආණ්ඩුව එකගවෙලා තියෙනවා. දණ්ඩනීති සංග‍්‍රහය සහ සාක්‍ෂි ආඥා පනත සංශෝධනය කරලා විදේශ විනිසුරුවන්ට නඩු අහන්න පුළුවන් විදිහට අපේ අධිකරණ පද්ධතිය සංශෝධනය කරන්නයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ. එවැනි නීති පද්ධතියේ වෙනසකට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍යයි. ඒකට ඇමතිකම් ‘හෝල් සේල්’ දෙන්න ඕනෙ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලහත්කාරයෙන් හෝ ගැට ගහලා තියා ගන්න ඕනෙ. මේක තමයි අද සිදු වෙමින් තිබෙන්නේ.

    මෙවැනි අන්තර්ජාතික අපරාධ අධිකරණයේ අනු ශාඛාවක් ඉදිරියේදී සාක්‍ෂි දෙන පිරිස් පිළිබඳව වසර 20ක කාලසීමාවක් යනතුරු දැන ගැනීමට විදිහක් නැහැ. කොටි සංවිධානය විසින් සිදු කළ අපරාධ පිළිබඳ කිසිඳු වගවිභාගයක් මෙමගින් සිදු වන්නේ නැහැ. අනෙක දෙමළ ජනතාව සාක්‍ෂි දේවිද, කොටි සංවිධානයට එරෙහිව? ඒ නිසා ඉතාම පැහැදිලියි මේ ක‍්‍රියාත්මක කිරීමට යන්නේ ආරක්‍ෂක හමුදා දඩුකඳේ ගැසීමේ මෙහෙයුමක්. ඒ නිසා මේකට එකගවීමට හෝ ඉඩ දීමට බැහැ.

    මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා මෙම මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවීමේ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී සිදු කළ තම කතාවේදී එකගතාව පළකොට තිබෙනවා.

    ‘සත්‍ය ගවේෂණය සඳහා, ව්‍යවස්ථාව මගින්, යාන්ත‍්‍රණ දෙකක්, ඇති කරනවා.

    (i) දකුණු අප‍්‍රිකාවේ නිසි බලධාරීන්ගේ උපදේශ යටතේ සත්‍යය, යුක්තිය, ප‍්‍රතිසන්ධානය, හා නැවත ඇති නොවීම සඳහා කොමිසමක් ඇති කිරීම.

    (ii) අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ විශේෂඥ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්වයන්ට අනුකූලව පවුල්වල දැනගැනීමේ අයිතිය යන මූලධර්මය මත පදනම් වූ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කටයුතු කරන කාර්යාලයක් ව්‍යවස්ථාව මගින් පිහිටුවීම. සිදු කෙරෙනු ඇත.’ කියලා ඔහු පවසනවා.

    දැනටමත් වජිර අබේවර්ධන ඇමතිවරයා, ‘අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක්’ ගෙනවිත් තිබෙනවා. මෙම කැබිනට් පත‍්‍රිකාව මහ මැතිවරණයට පෙර එවකට නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ස්වාමිනාදන් මහතා විසින් රැගෙන ආවා. එය ඡන්දය නිසා හකුළා ගත්තා. දැන් නැවතත් එය කරළියට ඇවිත් තිබෙනවා. කවුද මේ අතුරුදහන් වූවන් කියන්නේ? මේ රටේ ඒකීයභාවයට එරෙහිව ආයුධ සන්නද්ධව සටන් වැදුණු ත‍්‍රස්තවාදීන්ට. ආයුධ සන්නද්ධව සටන් වැදුණු ත‍්‍රස්තවාදීන් පිරිසක් ඇතුරුදහන් වූවන් සේ සලකා වන්දි ගෙවා ඇත්තේ ලෝකයේ මොන රටේද? නමුත් මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ පොරොන්දු වෙනවා මියගිය ත‍්‍රස්තවාදීන් අතුරුදහන් වූවන් සේ සලකා ඔවුන් වෙනුවෙන් වන්දි ගෙවීමට කාර්යාලයක් පවා ස්ථාපිත කරනවා කියලා.

    ‘මේ අරමුණ සඳහා ව්‍යවස්ථාදායක සභාවක්’

    ‘පරිපාලනමය මෙන්ම අධිකරණමය ප‍්‍රතිසංස්කරණ හා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම ඇතුළු පියවර ගණනාවක් අනුගමනය කල යුතුය. ද්වේෂ සහගත කථාව හා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම අපරාධයක් වශයෙන් හැදින්වීම සඳහා දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරීම ඇතුළු පියවර මාලාවක් ගැනීමට නියමිතය. නැවත ඇති නොවීම සඳහා වන හොඳම තහවුරුව නම් දමිළ ජනතාවගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදිය හැකි දේශපාලන විසඳුමක් ලබාදීම වේ. අප සිතනවා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම තුළින් අපට එය කළ හැකියි කියා. මෙම අරමුණ සඳහාම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවක් නුදුරේදීම පිහිටූවීමට නියමිතය.’ යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා තම ජිනීවා කතාවේදී පවසා තිබෙනවා.

    මේ ටික කරගන්න තමයි මේ ඊනියා ජාතික ආණ්ඩුව බලහත්කාරයෙන් අටවා ගත්තේ. 08 වැනි පාර්ලිමේන්තුවේ තියෙන්නේ අටවපු ආණ්ඩුවක්. ශ‍්‍රී ලනිපය සහ එජාපය අර එළ හරකයි, මී හරකයි වගේ එකට ඈඳලා තියාගෙන ඉන්නේ මෙන්න මේ කියන දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට ඕනෙ කරන ව්‍යවස්ථා වෙනස සිදු කරන්නයි.

    තවදුරටත් මංගල සමරවීර මහතා සිය කතාවේදී පවසා තිබෙනවා. ‘වාණිජ කටයුතුවලින් යුද හමුදාව ඉවත් කිරීම, ආරක්‍ෂක අංශයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම, විශේෂ ජාත්‍යන්තර නියෝජිතයන් හට 2015දී හා ඉන් මතු ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරාධනා කිරීම, වධ හිංසා පැමිණවීම, ස්ත‍්‍රී දූෂණය, ලිංගික ප‍්‍රචණ්ඩත්වය හා අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම තහනම් බව හා ඒවාට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා නිසි දඩුවම් ලබාදෙන බවට ආරක්ෂක හමුදාවල සියළු අංශ වෙත උපදෙස් ලබාදීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කර අවලංගු කිරීම ආදිය සිදු කරනවා’ කියලා. මේ කිසිවක් මේ අය මැතිවරණ කාලයේ කියපුවා නොවෙයි.

    ‘අප රටේ සන්නද්ධ හමුදා තම විනය හා වෘත්තීය විශේෂඥතාවය හේතුවෙන් අතීතයේ පිළිගැනීමට ලක්විය. නමුත් පසුගිය කාලයේ බලයේ සිටි කිහිප දෙනෙකු විසින් රට තුළ ඇති කරන ලද පද්ධතිය හා සංස්කෘතිය හේතුවෙන් එම කීර්ති නාමය පළුදු විය. කියලත් මංගල සමරවීර මහතා සිය කතාවේදී පවසා තිබෙනවා. මේ අනුව පෙනෙන්නේ කුමක්ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මේ ආණ්ඩුව පිළිගන්නා බවනේ. පසුගිය කාලය කියන්නේ මේ වාර්තාවේ සඳහන් කාලයනේ. මේ දෙගොල්ලො මේ වැඬේ කරන්නේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් බවනේ පෙනී යන්නේ.

    මේ ආණ්ඩුව වීරත්වය ආරෝපණය කරගන්න කියනවා, ‘අපි ජාත්‍යන්තර පරීක්‍ෂණයෙන් රට බේරාගත්තා’ කියලා. නමුත් ජාත්‍යන්තර පරීක්‍ෂණය, දැන් දේශීය ලේබලය ගහලා රට ඇතුළට ගෙනවිත් තිබෙනවා. මේ ආරම්භ කරන්න හදන්නේ රට බේරාගත්තු සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් සියලූ දෙනාට දඩුවම් කිරීමේ මෙහෙයුමයි.

    රාජිත සේනාරත්න ඇමතිවරයා බීබීසී පුවත් සේවයට කියනවා, ‘චෝදනා තිබෙනවා නම් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ඕනෑම කෙනෙක් මේ යුද අපරාධ අධිකරණය හමුවට අපි කැඳවනවා’ කියලා. ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ පරදවන්න මේ අය එකට එකතු වුණා. පරද්දලා මහ මැතිවරණයට කලින් මේ වාර්තාව දැම්මේ නැහැ. මේ වාර්තාව ආවාට පස්සේ මහ මැතිවරණය තිබ්බාම මහින්ද රාජපක්‍ෂට වඩා වාසි වෙයි කියලා මේ අය හිතුවා. ඒ නිසා උසස් පෙළ විභාගය කාලසීමාව තුළදීම ඉතිහාසයේ පළමු වතාවට මහ මැතිවරණයක් පැවැත්වූවා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා එක එක වෙට්ටු දාලා ඒ මැතිවරණය දිනා ගත්තා. දැන් මේ අන්තර්ජාතික අපරාධ අධිකරණය දාලා ඉතිරි ටික කරගන්න බලනවා.

    අපි අහනවා මේ රටේ සියලූ සිංහල, දෙමළ, මුස්ලිම් අම්මලාගෙන්, ‘ඔබ මේ අපරාධයට ඉඩ දෙනවාද?’ කියලා. ඔබේ දේශපාලන මතය කවරක් වුවත් මේ අන්තර්ජාතික අපරාධ අධිකරණය ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවලා මේ රට බේරාගත්තු, රටට සාමය හා නිදහස රැගෙන ආපු රණවිරුවන් දංගෙඩියට දක්කන්න ඔබ ඉඩ දෙනවාද? එවැන්නකට ඉඩ දෙනවා නම් අපි කෘතවේදීත්වය තිබෙන මිනිසුන් වෙන්නට බැහැ.

    ඔබ දන්නවා ශ‍්‍රී ලංකාවේ අවුරුද්දකට වරක් තිබෙනවා යුද අත්දැකීම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක්. මංගල සමරවීර කවරක් කීවත්, 2009 යුද ජයග‍්‍රහණයෙන් පසු මුළුමහත් ලෝකයම අපේ ආරක්‍ෂක හමුදාව කීර්තිමත් හමුදාවක් ලෙස පිළිගත් නිසයි එම සමුළුවට රටවල් විශාල ගණනක් සහභාගී වූයේ. දැන් මේ කරන්න හදන්නේ හමුදාව අපකීර්තියට පත් කරලා ඔවුන් දිනා දුන්නු සාමය භුක්ති විඳින ගමන් ඔවුන්ව බිල්ලට දෙන එකයි. මේ පොළොවට යාන්තමින් හෝ අදරයක් තිබෙන මිනිසකුට මේ අපරාධවලට ඉඩ දෙන්න බැහැ.

    අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරියේ මීට වසර කිහිපයකට පෙර උපවාස කළේ, මේ අය දිනුවොත් කොටියා නැගිටින යුගයක් ඇති වෙනවා කිව්වේ මේ තත්ත්වය කල් තියා වටහා ගෙනයි. නමුත් මේ රටේ ඇතැම් කොටස් එය අවශ්‍ය බරින් තේරුම් ගත්තේ නැහැ.

    බටහිර බලවතුන් විසින් හදාගත්තු මේ රූකඩ ආණ්ඩුව පාවිච්චි කරලා රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දාන මෙහෙයුම දැන් ආරම්භ වෙලා තිබෙනවා. මේ මෙහෙයුමට අදාළ අණ පනත් පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට සහාය නොදෙන ලෙස ඔබගේ ඡන්දයෙන් තෙරී පත් වූ මන්ත‍්‍රීවරුන්ට බල කරන්න. ජාතික අණ්ඩුවේ හිටියත්, නැතත් මේ රටට හතුරු ක‍්‍රියාවලියට සහාය නොදෙන්න කියලා ඔබගේ මහජන නියෝජිතයන්ට බල කරන්න. ඔබ එජාපයට ඡන්දය දුන් කෙනෙක් වුවත්, බුලත් කොළයට ඡන්දය දුන් කෙනෙක් වුවත් ඔබ පත් කළ මන්ත‍්‍රීවරුන්ට අදාළ බලපෑම කරන්න.

    ඒ ආකාරයට පාර්ලිමේන්තුව තුළ ඔබ පත් කරපු මහජන නියෝජිතයන්ට අදාළ බලපෑම සිදු කළහොත් මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවීමට අවශ්‍ය නීතිමය සංශෝධනයන් පාර්ලිමේන්තුව තුළ සම්මතකර ගැනීමට බැරි වෙනවා. එයයි ඔබ කළ යුත්තේ.

    ජාතික නිදහස් පෙරමුණ විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව රට පුරා පුළුල් දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. පළමු සම්මන්ත‍්‍රණය සැප්තැම්බර් 27 වැනිදා ජනකලා කේන්‍ද්‍රයේදී පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. රට තුළ වගේම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ සම්මන්ත‍්‍රණ මාලාව ඉදිරි මාස 02 තුළ පැවැත්වීමට අපි කටයුතු කරනවා. ‘රටට සාමය දිනා දුන්නු විරුවන්ට අත නොතබනු’ කියන සටන් පාඨය මත පදනම්ව සෑම ජන බලවේගයක්ම එකතුකර ගත් පුළුල් ජනතා ව්‍යාපාරයක් ඇරඹීමට අපි දැන් සාකච්ඡා කරමින් සිටිනවා. එම පුළුල් ජනතා ව්‍යාපාරයත් අපි නුදුරේදීම ආරම්භ කරනු ලබනවා’’

    මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද සහභාගී වූහ.

    – අනුරුද්ධ බණ්ඩාර- LankaCnews.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress