ටොයියාගේ තියරිය
Posted on September 18th, 2015

ධර්මන් වික‍්‍රමරත්න

ඉකුත් ජනවාරි 8 දින ආරම්භවී අගොස්තු 17වැනිදා විකසිතවූ දේශපාලන ‘විප්ලවය’ ප‍්‍රතිවිප්ලවකාරී බලවේගයන්ගෙන් රැක ගනිමින් ඉදිරියට ගෙනයා යුතු යැයි එම ජයග‍්‍රහණයට දායකවූ පක්ෂ නායකයෝ, එන්.ජී.ඕ සිවිල් සංවිධාන නිරතුරුව පවසති. එම විප්ලවය වනාහි පරාජයට පත් රාජපක්ෂ ආණ්ඩුවට ආවේනිකව පැවැතිනියැයි කියන දූෂණය, ප‍්‍රචණ්ඩත්වය, ඒකාධිපතිත්වයට එරෙහිව උද්ගත වූ ජනතා ප‍්‍රවාහයක ප‍්‍රතිඵලයක් සේ ඔවුන් විසින් හුවා දක්වති. ටොයියාගේ තියරිය එය වේ. එයට එරෙහි වන්නෝ බයියෝය.

dharman1809205

වෙලේ මාළු ඇලට ඇවිත් ඇලේ මාළුන්ට කියන්නේ අපි හිටියේ වැවේ කියලාය. කැපුවත් අපි මහින්ද‍ගේ මිනිස්සු යැයි කිවූ අය ෆුල්, ස්ටේට් හෝ හාෆ් ඇමතිකම් ගන්නේ ඒ අනුවය. රාජපක්ෂ ආණ්ඩුවේ සිටියේ එවැනි ඇමතිවරු 91කි. මේ ආණ්ඩුවේ 93කි. තවත් කැබිනට් ඇමතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරු  4 දෙනෙක් ඉදිරියේදී පත්කරනු ඇතැයි කියති. එවිට 98කි.  ජනතා විමුක්ති පෙරමුණේම යෝජනාවක් අනුව පාර්ලිමේන්තුවේදී ලබාගත් විවාදයකදී වැඩි ඡන්ද 61කින් සම්මතවූ යෝජනාවකි. මාදුළුවාවේ සෝභිත නාහිමිගේ රොටිය පිච්චීමට තැටිය තවමත් රත් නොවීම නිසා එහි වරදක්ද නැත. මාර්තු 12 ව්‍යාපාරයට අනුව පිරිසිදු දේශාපලනයක් දැන් ඡන්දයට නියම වටිනාකමක් ලැබී ඇත්දැයි ඔවුන්ම කිව යුතුය.

dharman1809201

රාජපක්ෂ ආණ්ඩු‍වේ ජම්බෝ කැබිනට් මණ්ඩලය වෙනුවට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව පත්කරන බව කියූ කැබිනට් මණ්ඩලය මෙගා ජම්බෝ කැබිනට්ටුවකි. කොහොම ගසට කරවිල වැල ගියා වගේ වැඩකි. කැබිනට්ටුවේ 32ක් එජාපයේය. 16 ශ්‍රිලනිපයේය. ඒ අනුව ජනපතිවරණයේදී ලංගම බස් ගැනීමෙන් සිදුවූයේ යැයි කියන රුපියල් කෝට් 14 මුදල් ගෙවීම් පැහැරහැරීමට උත්තර බැදිය යුත්තේ ශ්‍රිලනිප ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා ප්‍රවාහන ඇමතිවරයාය. කැබිනට්ටුවේ තනතුරු අවශ්‍යනම් පෙම් හසුනක් මෙන් හුවමාරු කරගතද හැක.

අමුතුම මාදිලියේ ඇමතිකම් කීපයක් දක්නට ඇත. ඉන් එකක් නම් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමතිකමය. යහපාලන ආණ්ඩුව ස්ථාපිත කරන්නට වෙහෙසුණු මධ්‍යම පාන්තික ජනතාව බෙහෙවින්ම ජීවත් වන කොළඹ ගම්පහ ආදී නගර වැසියන්ට නම් මෙය සුභාරංචියකි. මුස්ලීම් කටයුතු නියෝජ්‍ය ඇමති තනතුර ගම්පහ ඩුලිප් විජේසේකරට දීම පංකාදුය. විද්‍යාත්මක ක්‍රමවේදය අනුව එයදී ඇත්තේ මල්වාන සහ තිහාරියේ ජාතික සමගිය වැඩිදියුණු කිරීමට විය හැකිය. බියගමින් දැන් රටටම ආදර්ශයක් දිය හැකිය.

dharman1809202.

හවුල අවුල්ද? නැත. වෙනස සැපද? ඔව්ය. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්ය. යහපාලන මාරය. රට හමාර නැත. විපක්ෂයේද කශේරුකාවක් ඇති මන්ත්‍රී පිරිසක්ද සිටින බව රට දැන ගත්තේය. මාතෘකාව විපක්ෂය නම් තහනම් වචනය විපක්ෂ නායකකමය. සන්ධානයේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීව‍රයෙක් එහි ප්‍රතිපත්තිවලට එරෙහිව කථා කලහොත් ආසන සංවිධායකකම අහෝසිවීමට ඉඩ ඇත. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන් දැන් දළඹුවන් බව සැබෑය. දැක්කම කැතය. ගෑවුනාම කසනවාය. එහෙත් ඔවුන් කවදා හෝ සමනල්ලු වී ඉගිලෙන දිනයක්ද උදාවනු ඇත.

පක්ෂයක සාමාජිකත්වය ගෙන එහි ක්‍රියාකාරිකයෙකුවීම ප්‍රේම කිරීම වැනිය. එය බසයක යනවා වැනි වැඩකි. අකමැති නම් ඕනෑම මොහොතක බසයෙන් බැස යා හැකිය. එහෙත් ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අනුව හෝ 19වැනි සංශෝධනය යටතේ වුවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුවීම විවාහය හා සමානය. එය ගුවන්යානයක යනවා වැනි වැඩක්ය. එහිදී අකමැති වුවද බැස යා නොහැක. හදිසි අනතුරකදී බසින්නේනම් එයද පැරෂුට්ටුවකින් පමණක් බව සන්ධානයේ මන්ත්‍රීවරුන් දැනගත යුතුය. වවුලාගේ මඟුල් ගෙදර ගියානම් පුටු බලාපොරොත්තු විය නොහැකි සේම කොකාගේ ඇට්හෝම් ගෙදර ගියානම් පිඟන්ද බලාපොරොත්තු විය නොහැක. වර්තමානයේ සිදුවන්නේ අසත්‍ය සිය වංචනික බව සඟවා ගැනීමට හඬ නැගීමය. සත්‍ය නිහඬව ඒ දෙස බලා සිටී.

dharman1809204

රෝයල් ගියත් ඉබ්බාගමුවේ සෙන්ටල් ගියත් ලයිසියම් ගියත් ජපුර හෝ පේරා ගියත් කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් ගියත් ඔවුන්ට මෙන්ම අටපාස් සෑම පුරවැසියෙකුටම ලංකාව අයත්ය. සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පාඩම් උගත හැකි ආකාර දෙකකි. එකක් ඉතිහාසය හැදෑරීමෙනි.අනෙක අත්ඇකීමට බෙල්ල දීමෙනි. දැන් සිදුවන්නේ දෙවැන්නය. පණිවිඩය පමණක් නොව පණිවිඩකරුවා හා ඔහුගේ අරමුණු පිළිබඳවද ඉදිරියේදී කල්පනාකාරී විය යුතුය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවුල ඉඩම් ආරවුලක් මෙනි. ඔප්පුවේ අයිතිය ඇත්තේ ශ්‍රිලනිප නායකයාටය. භුක්තිය ඇත්තේ සන්ධානයේ මන්ත්‍රීවරුන්ටය. භුක්තිය අයිතිය දක්වා පෙරළා ගන්නා තෙක් විසදුමක් නැත. ලබන මාර්තු මස පැමිණෙන පළාත් පාලන ඡන්දයේදී තෙවන විනිසුරු  එනතෙක් සීරු මාරුවෙන් සිටිය යුතුය. සන්ධානයේ ඡන්ද දෙකට කැඩුන විට එහි වාසියද එජාපයටය.

යුක්තිය පසඳලීමට තජුඩීන්ගේ සිරුර ගොඩ ගත්තේය. එහෙත් සරසවි සිසුන් වන ජනක සහ සිසිරට තවම යුක්තිය ඉටුවූයේ නැත. ඊයේ යාපනයේ විද්‍යාය. අද මිනුවන්ගොඩ සේයාය. ගම්පහ රතුපස්වල ජලය ඉල්ලූ මිනිසුන්ට වෙඩි තැබීමට අණදුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තුර්කියේ සිට ඉකුත් 15වැනිදා ආවේය. රතුපස්වල තෙරිපැහැ සිරිධම්ම හිමියෝ මාධ්‍ය සංදර්ශනයකට මගී පර්යන්තය ඉදිරිපිට වැඩ සිටියහ. විශ්‍රාමික බ්‍රිගේඩියර් ප්‍රභූ පර්යන්තය ඔස්සේ නිවස බලා පිටව ගියේය. තමන් කළ වරදට දෙව්දත් අපායේ දුක්විඳින බවනම් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.

එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් වාර්තාව අනුව 2002 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබදව ජත්‍යන්තර ‘හයිබ්‍රිඩ්’ අධිකරණයක් අවශ්‍ය බව නිර්දේශ කර ඇත. එය ශ්‍රී ලංකා‍ව විසින්ම ඉල්ලාගෙන කෑමකි. අනුන්ගේ පිහියකින් අපේ බඩ කපා ගැනීමකි. වසර 2002 කඩඉමක් වන්නේ අගමැති රනිල් සහ බෙදුම්වාදී නායක ප්‍රභාකරන් අතර අත්සන් කල ගිවිසුම නිසාය. එම වාර්තාවට අනුව දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සටන්කරුවන්ය. ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ අරගල එකිනෙකට වෙනස්ය. මේ අනුව ඉදිරියේදි සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකාව දංගෙඩියට යෑවීමය.

සීපා අත්සන් කළොත් රටත් ජනතාවත් බංකොලොත්ය. 1815 ගිවිසුම සහ 2002 සටන් විරාම ගිවිසුම කාලයේ වැලිතලාවට අහෝසිවී ගියද 1987 ජුලි අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුම අවලංගු කිරීමට ප්‍රායෝගිකව නොහැක. සීපා ගිවිසුමෙන් ලාංකීය ඉතිහාසයේ අත්සන් කිරීමට යන භයානකම ගිවිසුම වේ. ඉන්දීය ආර්ථිකයට වාසිවන අන්දමට වසර 15කට පෙර සකස්කල එම ගිවිසුම කලින් කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළේය. ඉකුත් කාලය තුළ ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇත්තේ ඩොලර් දසලක්ෂ 580ක වටිනාකමක් ඇති භාණ්ඩ ප්‍රමාණයක් පමණි. නමුත් ඉන්දියාවෙන් ආනයනය කල ප්‍රමාණය ඩොලර් දසලක්ෂ 600 සිට ඩොලර් දසලක්ෂ 3,730 දක්වා වැඩිවී තිබිණි. ඉන්දියාවට ගිය රනිල් වික්‍රමසිංහ ඉන්දීය රාජ්‍ය නායකයින් සමඟ කල සාකච්ඡාවට ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් සහභාගිකර නොගත්තේය. ඒ ඉකුත් මහ මැතිවරණයේදී පොරොන්දුවූ ගෞරවනීය රාජ්‍ය සේවයක් සඳහා වන්නටද බැරි නැත.

ජයග්‍රහණය වෙත යාමටනම් ජනයා කන්දිය යුත්තේ අතීතය ගැන කතාකරන අයට නොව අනාගතය ගැන කතා කරන අයටයැයි කියමනක් ඇත. ඒ අනුව බස්නාහිර මහ ඇමතිකමට පත්වූයේ කලින් වසර 25ක් තුළ දේශපාලනය කළද පළාත් ඇමතිකමක්වත් නොදැරූ ඉසුරු දේවප්‍රියය. ඔහු කාගේ කාගේත් හිත දිනාගත් හොද දේශපාලන මහත්තයෙකි. මහරගම ශ්‍රිලනිප සංවිධායකකමට පවා ඔහු සුදුස්සෙකි. හිටපු පළාත් ඇමති කොඩිකාරගේ නෝනාත් නගරාධිපතිව සිටියේය. උඩහමුල්ල ඩිපෝව ඉදිරිපිට ලොකු කටවුට් එකකින් ඉකුත් වසර 10 තිස්සේම කොඩිකාර යුවල සිනා සෙමින් සිටියහ. ඉහළ සහ පහළ මධ්‍යම පාන්තිකයන් බහුතරයක් සිටින මහරගම ඡන්දදායකයෝ මේවාට සිනාසුනේ පශ්චාත් භාගයෙනි. මහරගම සහ ඒ අවට ජනයාගේ විරෝධතා පිටාර ගැලුවේය. මහින්ද රාජපක්ෂ පැරදීමට එවැනි කරුණුද ඉවහල් විය. බස්නාහිර නව මහඇමති ඉසුරු දේවප්‍රිය පිළිගැනීමේ කටවුට් විශාල ප්‍රමාණයක් දැන් ගජරාමෙටය. මේවා මසකට පසුව හෝ ගලවා දැමීමට මහඇමති ඉසුරු කටයුතු නොකල‍හොත් ඔහුද වැටෙන්නේ කොඩිකාර වලේමය.

ඌවේ මහඇමතිකමට පත්කළේ සැබෑ ජනතා පුත්‍රයකි. ඔහු‍ම ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් ප්‍රකාශ කර තිබූ පරිදි ‍කුඩා කල කෝච්චියේ වඩේ විකුණූ කොල්ලෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඡන්දයෙන් දිනුවද ඔහු දිවුරුම් දි සිටියේ නැත. අවම වශයෙන් දිවුරුම් දී එක් දිනක් හෝ මන්ත්‍රී මායාදුන්නේ මෙන් සිටියානම් මියගිය පසු පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශයක් සම්මත කර ගැනීම හෝ සිදුවනු ඇත. ලලිත් සහ ගාමිණී සමඟ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙනආ මහියංගනයේ ලක්ෂ්මන් සෙනෙවිරත්නට පාර්ලිමේන්තුවට යාමට දැන් හැකිවී ඇත.එය ඔහුට මෙන්ම රටටද සතුටකි. කැප්ටන් සෙනෙවිරත්නගේ පුතාවූ ලක්ෂ්මන් කලින් කැබිනට් සීනි ඇමතිය. එහෙත් රටට දුක යහපාලන ආණ්ඩුවට තවත් නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බර දැරීමට සිදුවීමය.

මෙරට ආර්ථිකය මුහුණ දී සිටින ඉතිහාසයේ බරපතලම විදේශ විනිමය හුවමාරුවේදී රුපියලේ අගය බිඳ වැටීම මේ වනවිට සති දෙකක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.දැන් ඇමෙරිකානු ඩොලර් එකක් සඳහා විකිණුම් මිල රුපියල් 142.15 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.ආණ්ඩුව පසුගියදා සඳහන් කර තිබුණේ රුපියලේ අගය පාවීමට ඉඩ හැරිය බවය. එනම් ඉල්ලුම සහ සැපයුම අනුව එය තීරණය වීමය. එජාපය මැතිවරණයට පෙර සඳහන් කර තිබුණේ ඔවුන්ගේ ආර්ථික කළමණාකරන උපාය මාර්ග අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන බවය. මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් කරන ලෙස බයියන් කොතෙක් උඩුබිරුවද තවලම ඉදිරියට යනු ඇත. රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයා වෙනුවට දැන් වෙනත් චරිත ආදේශ වෙමින් පවතී.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කාලානාරූපීව අභියෝගවලට එරෙහිව සටන් වැදුනු ජාතික ව්‍යාපාරයකි. ඒඒ අවස්ථාවල විවිධ නායකයන් යටතේ එය මෙහෙයැවිණි. බටහිර අධිරාජ්‍යවාද හමුවේ වුවද එය එසේම විය. මේ නිසා ජාතික ව්‍යාපාරය යනු තමන්ට ඇති ප්‍රධානතම අභියෝගය බවද බටහිර අධිරාජ්‍යවාදීහු අවබෝධකරගෙන සිටියහ. දැන් සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට සහ ජාතිමාමකයින්ට කීමට සිදුවී ඇත්තේ චිකාගෝ බන්ධනාගාරයේ එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඇමරිකානු කම්කරු නායක ඕගස්ට් ස්පයිස් විසින් ජාත්‍යන්තර විප්ලවවාදීන්ගේ ගීතය වන මාසෙල්ස් ගීතය ගයමින් පොරක භූමියට පැමිණ කියා සිටි මෙම ප්‍රකාශය වේ. “අපේ නිශ්ශබ්දතාවය, අද ගෙල හිරකොට මරා දමන අපගේ කටහඩවල් අභිබවා බලගතුව නැගෙන කාලය ඉදිරියේදී එ‍ළඹෙනු ඇත”.

බයියෝ කැමති වුවද අකමැති වූවද දැන් ටොයියෝ සමඟ එක්වී ගී ගයමු. ඒ “මේ දූපත අපගේ රටයි…. අප ඉපදෙන මැරෙන රටයි…. මුළු ලොව මේ රටට යටයි.” කියමිනි. එයට පසුව අවශ්‍යනම් ආගමික සමගිය උදෙසා බුදු දහම අනුව සාදු කියා හෝ කිතු දහම අනුව ආමේන් කියා හෝ ඉස්ලාම් දහම අනුව ආමීන් කියා කීවාටද වරදක් නැත.  ටොයියාගේ තියරිය කියන්නේ මේවාටය. (The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress