Letter to president
Posted on September 18th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම ඇමෙරිකා එක්සත් ජනපදය

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති
ශ්‍රී ලංකා ජනරජය

ප්‍රිය ජනාධිපතිතුමණි,

සාමකාමී සහජීවනය හා රටේ තිරසර සංවර්‍ධනය උදෙසා බිම් මට්ටමින් ගතයුතු ප්‍රථම පියවර

සමාජයේ විනය ගරුක භාවය, සදාචාරය හා සාර ධර්‍ම ශීඝ්‍රයෙන් පිරිහී යාම; අඩු නොවන ජීවන බර, දරිද්‍රතාවය හා වැඩිවෙන ඇති-නැති පරතරය; සැලැස්මක් නැති හා  නොසැලකිළිමත් ක්‍රියා නිසා ස්වාභාවික පරිසරයට සිදුවෙමින් පවතින හානිය, යන මේ කාරණා ලංකාවට පමණක් සීමාවූ අර්බුද නොවේ. එසේ නමුත් ලෝකයේ වෙනත් බොහෝ රටවල් මෙන් නොව, ලංකාවට මේ ප්‍රශ්න ජයගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන වාතාවරණයක් 2009 මැයි 18 දායින් පසු උදාවුණත්, එය සාර්‍ථක ලෙස උපයෝගි කරගෙන නැතිබව රටේ චන්දදායකයින් විසින් දැන් දෙවරක්ම තක්සේරු කරදී ඇත.

1978 න් පසු බිහිකල විවෘත වානිජ ආර්ථික ක්‍රමය නිසාත්, තිස් අවුරුද්දක් තිස්සේ ත්‍රස්තවාදී බෝම්බ භීතිය යටිහිතේ කිඳාබැස තිබීම නිසා තමන් නොදැනම තමන් අසුවී ඇති දැඩි මානසික ආතතිය හා ඉන් ජනිතවන ද්‍ර‌ැඨ ආත්මාර්‍ථකාමීකම නිසාත්, ලංකා ජන සමාජයේ සිදුවී ඇති කොසොල් රජතුමාගේ සීන දාසැය යමෙකුට සිහිපත් කරවන ආකාරයේ පෙරළිය ඍජුවම දැනෙන්නේ රටින් පිට ජීවත්‌වී ආපසු රටට ආ කෙනෙකුටය. 2011-2012 කාලයේදී මාස අටක්ම ලංකාවේ ගතකල මා බස් වලින්, දුම්‍රියෙන් යමින් ගම්වල, නගරවල දුටුවේ, අත්‌වින්ඳේ එයය. මෙය මිනිසුන්ගේ වරදක්වත්, රටේ වරදක්වත් නොව, 1978 දී මා ගැලවී ගිය රටේ දේශපාලන-සමාජ ක්‍රමයේ වරදක් බව ඒ කාලයේ මෙන්ම දැන්ද මගේ ශාස්ත්‍රීය නිගමනයයි. අරාබි රටවල කුලී වැඩ සඳහා මිනිසුන් යෑමෙන් පවුල් විනාශයක් හා කාමුක සමාජයක් ගම් මට්ටමින් බිහිවී ඇත. ටෙලිවිෂන් නාට්‍ය කාමය අවුස්සන දෛනික විෂබීජයක් වී ඇත. කුඩු ජාවාරම්කරුවන් එය පෝෂණය කරයි.

ලංකාවේ බංකොලාත් දේශපාලන ක්‍රමයෙන්ම මතුව ආ ඔබ, මා මෙන්ම, උඩුගංබලා පීණූ කෙනෙක් සේ මම සලකමි. සිංහල මාධ්‍යයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගිය මා ඉන් පසු අවුරුදු හතක් පුරා රටට සේවය කිරීමේ සටනින් පැරදී, රක්‍ෂාවෙන් ඉල්ලා අස්වී, සංචාරක වීසාවකින් ඇමෙරිකාවට ගොස් ඒ රටේ විශ්ව විද්‍යාලයක ගුරුවරයෙක් වීමට සමත්‌වූයේ උත්සාහය හා, සුදුස්සාට සුදුසු තැනදීමේ රීතිය ඒ රටේ ක්‍රියාත්මක වන නිසාය. ලංකා දේශපාල නායකයින්ගේ ඉතිහාසය ගැන සිතන විට, නියමම ගම්බද, රජරට, දුප්පත්, තෙම්පරාදු කළු සුද්දෙක් නොවන අයෙක් වශයෙන් ජනාධිපතිවී ඇත්තේ ඔබ පමණය. අඩුතරමින් ඔබේ පියා මන්ත්‍රීවරයෙක්, පරිපාලන නිලධාරියෙක්, උසාවි-කාරයෙක් හෝ උපාධිකාරයෙක් වත් නොව වියළි කලාපයේ රාජ්‍ය ගොවි ජනපදයක සාමාන්‍ය ගොවියෙකි. මේ පසුබිම නිසා සම්මුතිවාදී දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කර පක්‍ෂ දේශපාලනය නමැති විෂබීජය සමාජයෙන් තුරන්කර දැමීමේ ශක්තිය හා කැපවීම ඔබතුමාට ඇත යන මගේ විශ්වාසය නිසා මෙම සංදේශය මෙසේ එවීමට සිතුවෙමි.

මෙම සංදේශය ආරම්භ කරමින් සඳහන් කළ අර්බුද වලට අමතරව ලංකාවේ තිබෙනවා යයි සමහර දේශපාලකයින් විසින් පුන පුනා කියන්නේ, “දේශපාලන විසඳුමක් දිය යුතු ජාතික ගැටළුවක්” නොහොත් “නැෂනල් ක්‌වෙස්චන්” එකක් ගැනය.  මේවා මාක්ස්වාදය හා සම්බන්‌ධ බර වචන මිස ජාතක කතාවල දැකිය හැකි බෞද්ධයින් දන්නා වචන නොවේ.  මෑතකදී ඔබතුමා සඳහන් කල ධර්‍මපාල චින්තනයේ හෝ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ කතාවල හෝ බොදු බල සේනාවේ ජාතික කතාවල සුළු ජන වාර්ගිකයින්ට හානි හෝ වෙනස්කම් කිරීමේ ජාතිවාදී අදහස් නැත්තේ ඒ නිසාය. කෙසේ වෙතත් රටේ සමාජ ආර්ථික ප්‍රශ්න හා මේ “ජාතික ගැටළුව” යන ප්‍රශ්නය එකිනෙකට බැඳී ඇති නිසා ඒවා විසඳිය හැක්කේ කොටස් වශයෙන් සළකා නොව සියල්ලම සමස්ත වශයෙන් (හොලිස්ටික්) සළකාය. උදාහරණයක් වශයෙන්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා පොදුවේ මුහුණ දෙන්නේ භූමීය අසමානාත්මතාවයකට (ස්පේෂියල් ඉනික්‌විටි) හෙවත් ඒ නිසා සැමට සමාන ඉඩ ප්‍රස්ථා (ඊක්වල් ඔපර්චුනිටි)  නොලැබීයාම නමැති භූමිකාවකටය, ක්‍රියාවලියකටය (ෆෙනොමෙනන්, ප්‍රොසෙස්).

බුද්ධාගමේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් මේ අර්බුදවලට ඉතා පහසුවෙන් විසඳුම් ලබාගත හැකි බව පෙනේ. මෙම මාර්‍ගය ඇමෙරිකාවේ ප්‍රශ්න සඳහා යොදාගත හැකි අන්දම ගැන, අන්‌දමන්‌ද වූ හිපියෙකු ලෙස ඉන්දියාවට ගොස් දලයිලාමා හමුවී පසුව බුද්ධාගම පිළිඹඳ මහාචාර්යවරයෙකුවූ රොබර්ට් තර්‌මන් විසින් 1999 දී ලියූ “ඉනර් රෙවොලූෂන්” නම් කෘතියක් මා කියවා ඇත. ලෝකයේ ප්‍රශ්නවලට විසඳුම් බුද්ධාගම ආශ්‍රයෙන් ලබාගත හැකි යයි ඉන්දීය ජනාධිපති ධූරය දැරූ  දෙදෙනෙක්ම (අබ්දුල් කලාම් හා ප්‍රතිභා පටිල්) පැවසුවේද මේ නිසා වියයුතුය.  බුද්ධාගමේ හරය වන මධ්‍යම ප්‍රතිපදාව, බටහිර නීති විද්‍යාවේ (ජුරිස්ප්‍ර‌ැඩන්ස්) උගන්වන රීසනබල්නස් ඩොක්ට්‍රින් එකමය.

පොළෝ තලය මතුපිට විවිධත්‌වයත්, පරිසරය හා මිනිසා අතර සිදුවන අන්නොන්‍ය්‍ය සම්බ‌න්‌දයත් නිසා, භූමියේ හටගන්නා ස්ථානගත අසමානකම් (ස්පේෂියල් ඩිෆරන්සස්) හදාරණ හා විග්‍රහකරණ විෂය වන භූගෝල විද්‍යාව මගින්, යම් තැනක හා/හෝ වේලාවකදී (ස්පේස් & ටයිම්) රීසනබල් වෙනදේ හා නොවෙනදේ කවරේදැයි එළිදරව් කරයි. මේ නිසා යමෙක් ජීවත්‌වන ස්ථානය ආශ්‍රිතව ඇතිවිය හැකි යැයි පෙනෙන අසාධාරණකම් හෝ අසමානාත්මකකම් (ස්පේෂියල් ඉන්ජස්ටිස්/ස්පේෂියල් ඉනික්‌විටීස්), ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන් නම් නීතිමය තර්‍කයක් මගින් සාධාරණීකරණය කරන ආකාරය දැනට ඕස්ට්‍රේලියාවේ වාසය කරණ දේවදාසන් නේසයියා, එම නමින් ලියා ඇති ඔහුගේ පොතේ (1997) කදිම ලෙස විග්‍රහ කර ඇත.

භූගෝල විද්‍යාවේ හා ඊට අදාල පරිසර විද්‍යාව හා ජල විද්‍යාව (ඉකොලොජි & හයිඩ්‍රොලොජි) උපකාරයෙන් රටේ ජනාධිපතිතුමා වශයෙන් ඔබතුමාට ගත හැකි සරල තීරණයක් නම් දැනට පවතින, ආර් ප්‍රේමදාස මහතාගේ කාලයේදී 4,000 සිට 14,000 දක්‌වා වැඩිකල, ග්‍රාම සේවක වසම්, පරිසර නිර්‍ණායක අනුව මායිම් ලකුණුකර නැවත බෙදීම සළකා බැලීම සඳහා, බී එල් පණ්ඩිතරත්න, ජී එච් පීරිස්, සී එම් මද්දුම බණ්ඩාර යන විශ්‍රාමලත් භූගෝල විද්‍යා මහාචාර්යවරුන්ද ඇතුලත්‌වන දේශපාලන පක්‍ෂ භේදයකින් තොර පර්යේෂණ කොමිටියක් පත්කිරීමය. මෙය රජයේ නිලධාරීන්ට පමණක් භාරදිය හැකි ආකාරයේ වගකීමක් නොවේ. විද්‍යාත්මක පදනමක් අනුව මායිම් ලකුණු කලවිට බිහි වන වසම් සංඛ්‍යාව 14,000 ට අඩුවනු නිසැකය (පාර්ලිමේන්තු මැතිවරණ සඳහා යොදාගන්නා චන්ද මධ්‍යස්ථාන (පොලින් ස්ටේෂන්ස්) 12,314 ක්ද ඇති අතර ඒවා හා ග්‍රාම සේවක වසම් අතර සම්බන්‌ධයක් ඇතැයි මම නොසිතමි).

මා මෙසේ යෝජනා කරන්නේ ඇයි?

1. මේ සඳහා -දේශපාලක-නිලධාරිතැන-එන් ජී ඕ කරු- යන ගම් මට්ටමේ සිට රට මට්ටම ද‌ක්වා වසාගෙන පැතිරී ඇති ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය යයි හැඳින්විය හැකි භූමිකාව නිසා මතුවී ඇති අනේක විධ උභතෝකෝටික “දේශපාලන” ගැටළුවලට මුහුණ දීමට ඔබතුමාට සිදුනොවේ.

2. දිවයිනේ පහලම රාජ්‍ය සිවිල් පරිපාලන ඒකකය ග්‍රාම සේවක වසමය. 4,000 ක් 14,000 කරමින් මේ වසම්වල  සීමා මායිම් තීරණය කර ඇත්තේ කෙසේදැයි මම නොදනිමි.  නමුත් අප දන්නා කරුණක් නම් මේ වසම් ලංකාවේ පලාත් නවයේ බෙදුමේ පහලම අඩිය බවය.

3. යම් පලාතකට දිස්ත්‍රික් කීපයක් ඇතුලත් වේ. එම දිස්ත්‍රික්වල මායිම් තීරණය කර ඇත්තේ කෙසේද? බස්නාහිර හා උතුරු පලාතෙන් ගම්පහ හා මුලතිව් දිස්ත්‍රික් සැදුවේ කුමණ මායිම් නිර්‍ණායක යොදාගෙනද? රට පලාත් නවයකට බෙදා ඇත්තේ රටේ භූගෝල විද්‍යාව හා පරිසර සාධක අනුව නොවන බව නම් අපි දනිමු.

4. ලංකාවේ පලාත් නවයේ මායිම් හා ඒ අනුව කර ඇති දිස්ත්‍රික්, ඩී ආර් ඕ ප්‍රදේශ හා ග්‍රාම සේවා වසම්වල මායිම් හිතුවක්කාර හා කෘතිම මායිම් ය. ඉඳහිට ස්වභාව ධර්‍මයට, භෞතික පරිසරයට අනුව පරිනාමයවූ පරණ ගම්මානයක්, ගඟක්, ඇලක්, දොලක්, ඔයක්, වැවක් මෙහිදී සැළකුණා වෙන්නට පුළුවන. එහෙත් බෙදීම් වල අරමුණවූයේ අදායම් බදු එකතුකර ගැනීමට භූමි ඒකක වෙන්කර ගැනීමය.

5. මේ ක්‍රියාවලියේ ආරම්භය 1832 දී කෝල්බ්‍ර‌ෑක් කොමිසම මගින් සිදුවිය. මේ නිසා ඊට කෝල්බ්‍ර‌ෑක් සූත්‍රය යයි කිව හැකිය. ඊට කලින් යටත් විජිතයේ තිබූ ප්‍රදේශ 16 වෙනුවට රට පලාත් පහකට බෙදුවේ ඒකීය පාලනයක් (මුහුදුබඩ හා උඩරට යන ද්‌වන්‌ධ ක්‍රමය වෙනුවට) හා වියදම් අඩුකර ගැනීමට කියාය. නමුත් වැදගත්ම හේතුව වූයේ උඩරට ගැමියා කෙරෙහි නිලමේලාට තිබූ බලය අවම කිරීමය. මධ්‍යම පලාත කෙට්ටු පඹයෙක් සේ සිහින් විය,

6. ලංකාවේ පලාත් නවයේ මායිම් ලංකාවේ ගංඟා පෙන්වන සිතියමක් උඩ ලකුණු කලොත් ඒ ගංඟා දෙකට තුනට කඩමින් මේ මායිම් දුවන හැටි පෙනේ. ජලය හා ඉඩම් සඳහා බලතල සහිත ප්‍රාදේශීය ඒකක බිහිකලොත් දැනට දකුණු ඉන්දියාවේ සිදුවෙනවා මෙන්, ගෝලීය දේශගුණය උණුසුම් වුනත් නැතත්, නියංකාලයේ දී “වතුර යුද්ධ” (වෝටර් වෝර්ස්) හට නොගනීවිද?

7. නිව්සීලන්තය වැනි රටක ලෝකල් ගවර්න්මන්ට් ප්‍රදේශ (ඒකක) සැදිය හැක්කේ ගංඟා නිම්න අනුව පමණය. පරිසරය රැක ගැනීමේ සටනක මුල් පියවර එයය. අද ප්‍රශ්න වලට මුහුණ දී නැති ගඟක් ලංකාවේ තිබෙනවාද? ශ්‍රී පාද අඩවියේ ආගමික වැදගත් කම නිසා නොවේ නම් ඒ වනාන්තරද ඒ කාලේ කෝපි හා තේ වගාවට එලිකර, මහවැලි, කැළණි, වලවේ හා කළු ගංඟා වියළිවී යන්නට හොඳටම ඉඩ තිබුණි.  මේ නිසා ලංකාවේ ගංඟා ද්‍රෝණි රැක ගැනීමේ මුල් පියවර වන්නේ ග්‍රාම සේවක වසම් නිව්සීලන්තයේ නීතිය මෙන් ජල ද්‍රෝණි වශයෙන් මායිම් කිරීමෙනි.

8. අළුතෙන් මායිම් ලකුණු කල ග්‍රාම සේවා වසම් (එකක්, දෙකක් හෝ තුනක්) උපයෝගීකර ගනිමින් ජන සභා සංකල්පය ක්‍රියාවේ යෙදවිය හැකිය. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ කියා ඇත්තේ ගම් මට්ටමින් ජනයාට බලය පවරන ලෙස ය. දේශපාලකයාගේ මැදිහත්‌වීමෙන් තොරව ගැමි දිරිය නම් වැඩ සටහනක් ඉතා හොඳින් ගම් මට්ටමින් ක්‍රියාත්මකවූ බවත්, බැසිල් රාජපක්‍ෂ මහතා එය වසා දැමූ බවත් මෙහිදී සඳහන් කල යුතුව ඇත. ජන සභා ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ඩිරෙක්ටර් ජෙනරාල් කෙනෙක් පවා පත් කල නමුත් ඒ වෙනුවට දිවි නැඟුමක් කරට ගෙන ඔහු නොමග යෑම රටේ අවාසනාව විය.

9. මෙසේ ජන සභා සංකල්පය ක්‍රියාවට නැගීමෙන් විශේෂයෙන් රටේ දෙමළ හා මුස්ලිම් ජන කොටස්වලට දහස් ගණන් ජන සභා මඟින් “ස්වයංතීරණ” ගැනීමේ විශාල අවස්ථාවක් උදාවේ. එසේ ගන්නා තීරණ සිංහල ජනයා තුල, රට දෙකඩ කැඩේ යන බියක් ඇති නොකරන්නේ,  ජන සභා ඒකක ආගම හෝ භාෂාව අනුව මයිම් කර නැති නිසාත්, මේ ඒකක (උතුරු හා නැඟෙනහිර පලාත් දෙක එකතු කලා මෙන් නොව) කුඩා භූමි ඒකක වන නිසාත් ය.

ජන සභා මගින් ඉටු කර ගන්නේ මිනිසුන්ගේ එදිනෙදා පුද්ගලික අවශ්‍යතා හා ආශාවන් ය (නීඩ්ස් & ග්‍රීවන්සස්). බොහෝ ජන සභා ජන වර්‍ග මිශ්‍රව සිටින ඒකක වන නිසා යම් ඒකකයක් හිතුවක්කාර හා අසාධාරණ අභිලාශ (ඇස්පිරේෂන්ස්) ලබා ගැනීමට සිතා ක්‍රියාකිරීමට සැදුවොත්, ඒ ඒකකයට එහි අසල්වැසි හා වෙනත් ජන සභාවලින් එන බලාපොරොත්තුනොවූ අහිතකර ආනිශංසවලට මුහුණ දීමට සිදුවනු නිසැකය.

10. සිංහල ජනයාට ඇති සාධාරණ බියක් නම් දෙමළ නායකයින්ට වරින් වර හා එක දිගට දෙන “සහන” හරියට පිළිකාවක් පෝෂණය කරනවා වගේ නොවේද යන්නය. උදාහරණයක් වශයෙන් ටී එන් ඒ එක එකඟවන්නේ ඒකීය නොව එක්සත් ලංකාවක් තුල උපරිම ලෙස බලය බෙදීමකට යයි ඒබ්‍රහම් සුමන්තිරන් මහතා ජීනීවාහිදී මංගල සමරවීර මහතාගේ කතාව ඉදිරියේ කියා සිටින්නේ ඇයි? ඊට කලින් ඔහු ඉල්ලා සිටියේ “ආපසු ගන්න බැරි දේවල් දෙන ලෙසය.” ටී එන් ඒ එකේ 2015 අගෝස්තු චන්ද ප්‍රකාශණය 1985 තිම්පු ප්‍රකාශනයට වෙනස්ද යන ප්‍රශ්නය ඉතා වැදගත් ය.

මේ නිසා බෞද්ධ ක්‍රමය වියයුත්තේ, ලිච්චවි ක්‍රමය වියයුත්තේ, මීට පෙර එසේ නොසිතීම නිසා වෙස්සන්තර වෙන්නට ගොස් සිරි සංඝබෝ වී නිමවු ජනාධිපති ධූරය දැරූ තුන් දෙනා ලෙස (මරණය, ඇසක් නැතිවීම හා පරාජය) නොව බොදු ජන පෙරමුණේ චන්ද සළකුණවූ නාගයාගේ ක්‍රමය අනුගමනය කිරීමය. මොනදේ දුන්නත් රට දෙකට කැඩීමේ ව්‍යාපාරයට නම් ඉඩක් නැති බව තහවුරු කිරීමය. මෙම තහවුරු කිරීමේ අන්තිම අවස්ථාව දැන් ඇත්තේ ඔබතුමා අතය. සිංහල ජනයාට සාධාරණය ඉටුකිරීම හා විද්‍යාත්මක පදනමකින් කටයුතු කිරීම, දෙමළ හෝ අන් වර්‍ගයකට අසාධාරණයක් කිරීමක් නොවන බව ඔබතුමාට ඒත්තු ගිය යුතුය. යමෙක් සර්‍වාගමික භක්තිකයෙක්ද එසේ නැත්නම් බහුජාතිවාදිකයෙක්ද යන කාරණා මෙහිදී අදාල නොවේ.

සිංහල, මුස්ලිම් ජනයාට නැති දෙමළ ජනයාට පමණක් විශේෂවූ දුෂ්කරතා, මැසිවිලි මොනවාදැයි ටී වී විවාදයකදී මාදුළුවාවේ සෝභිත හිමියන්, කුමාර් පොන්නම්බලම් මහතාගෙන් ඒ කාලයේ විමසූ විට, මොහොතක් තත්පරවීමෙන් පසු ඔහුගෙන් පිටවූයේ “දෙමළ ජනයාට ඔවුන්ගේමවූ අභිලාශ ඇති බවය.”  අයිතිවාසිකම් හා දුෂ්කරතා (රයිට්ස් & ග්‍රීවන්සස්) යනු යමෙකුගේ පුද්ගලික ආශා හා උවමනා එපා කම් ය. නමුත්  අභිලාශ (ඇස්පිරේෂන්ස්) යනු ඊට වඩා වෙනස් කතාවකි. අභිලාශ යනු ලෝකයේ දේශපාලකයින් විසින් තම ජීවනෝපාය සඳහා අහිංසක ජනයා රවටමින් කරගෙන යන ව්‍යාපාරයකි. මේ අභිලාශ එකිනෙක හා ගැටී ලෝක යුද්ධ, රටවල්තුල ලේ වැගිරීම් ආදිය සිදුවිය.

ලංකාවේ මේ දෙමළ දේශපාලකයින්ගේ අභිලාශය, විසඳිය යුතුව ඇති ලංකාවේ “ජාතික ප්‍රශ්නය” (නැෂනල් ක්‌වෙස්චන්) කියා දැන් ලංකාවේ විදේශ ඇමති විසින්ම ජීනිවාහිදී ප්‍රකාශකර ඇත. මදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්‍ෂකයා වශයෙන් යෝජනා කල කුමාර් ඩේවිඩ් නම් මාක්ස්වාදී මහතා, සම්බන්‌ධන් මහතා විසින් ලංකාව පලාත් තුනකට හෝ පහකට බෙදන ලෙස කල යෝජනාව අනුව යමින් රට පහකට බෙදා පෙන්වා දී ඇත (සන්ඩේ අයිලන්ඩ්, සැප්. 13, 2015). ඒ අනුව උතුරු නැගෙනහිර පලාත් සහිත විශාල දෙමළ ප්‍රදේශයකුත්, ඔළුවිල් ප්‍රකාශනයට ඉඩකුත්, කඳුරට මලයනාඩුවකුත් බිහිවන ආකාරයේ සිතියමක් ඔහු සාදා ඇත.

මෙම කුමාර්ගේ පලාත් පහේ බෙදුමත්, 2000 අගෝස්තුවේ චන්ද්‍රිකා මැතිණිය හා ජී එල් පීරිස් මහතා ඉදිරිපත්කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ රට බෙදා ඇති ප්‍රදේශ 7, 8 හෝ 9 ත්, 13 වන සංශොධනය අනුව කල බෙදීමත්, 1832 කෝල්බ්‍ර‌ෑක් සූත්‍රය අනුවම කල බෙදීම් ය. මෙම කෝල්බ්‍ර‌ෑක් පදනම වෙනස් කල යුත්තේ මෙවැනි මායිම් අනුව, සුමන්තිරන් මහතා කියන ආකාරයේ ආපසු ගන්නට බැරි දේ දුන්නොත් මායිම් යුද්ධ, වතුර යුද්ධ ඇතිවීම වැලැක්‌වීමට නොහැකිවන නිසාය.

එසේ නම් බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ගත යුතු විසඳුම කුමක්ද? රටේ සිදුවන සදාචාර, සාමාජික හා ආර්ථික පරිහාණි සඳහා ජන සභා ක්‍රමය මගින් බිම් මට්ටමෙන් බොහෝ විසඳුම් ලබාගත හැකිවන පරිදි, ඉකොලොජි අනුව මායිම් බෙදූ ග්‍රාම සේවා වසම් ක්‍රමය ඉදිරියට ගෙන යෑමය. දැනට පවතින කෘතිම පලාත් හා දිස්ත්‍රික් මායිම් වෙනුවට, මෙම අළුත් ග්‍රාම සේවා වසම් එකතු කිරීමෙන්, ආගම හෝ භාෂාව අනුව නොවන මායිම් සහිත පරිපාලන ඒකක සදාගැනීමය. එවැනි ප්‍රදේශ මඟින් මෙම කෘතිම ජාතික ප්‍රශ්නයටද විසඳුමක් ලබාගත හැකිවේ.

ගසක අතුමෙන් කුඩා ජල පාරවල්, උල්පත්, ඇල දොළ වී විශාල ගංඟා ද්‍රෝණි බිහිවන නිසා (මෙවැණි ද්‍රෝණි 103 ක් දිවයිනේ ඇත), එම සාධක අනුව සීමා නිර්‍ණය කල ග්‍රාම සේවා වසම් එකතු කර ක්‍රමයෙන් මුහුද දෙසට පහළට යමින් දිස්ත්‍රික්ක හා පලාත් සදාගත හැකිය. මේ හැම දිස්ත්‍රික්කයක් හා පලාතක්ම ස්වභාව ධර්‍මයට අනුකූල පරිසර ඒකකයක් වේ. එයට ආගමක් හෝ භාෂාවක් හෝ නැත්තේ එම කාරණා නොසලකා භෞතික (නැචුරල්) සාධකයක් උඩ මායිම් ගලපා ඇති නිසාය. උදාහරණයක් වශයෙන්, ගිනිගත්‌හේන පොලිසියේ වහලේ එක පැත්තකට වැටෙන වැහි වතුර කැළණි ගඟටත්, අනිත් පැත්තේ වතුර මහවැලි ගඟටත් යනවා කියන්නේ මේ නිසාය. එක පැත්තක මුස්ලිම් මිනිසුන් සිටිනවාද, අනිත් පැත්තේ දෙමළ ජනයා සිටිනවාද යන්න අදාළ නොවේ.

මේ අනුව යමින් ලංකාව ගංඟා නිම්න හතකට බෙදූ සිතියමක් මෙහි පහතින් ඇත. මෙහි ඇති යාල්පානම් නිම්නය ලංකාවේ දෙමළ දේශපාලන නායකයින්ගේ සංස්කෘතික අභිලාශ සඳහා හොඳටම සෑහේ. එහෙත් එම ප්‍රදේශය දෙමළ ජනයා සඳහා ලෝකයේ වෙනම රටක් යන අභිලාශය සඳහා ඉණිමඟක් කර ගැනීමට මෙම සිතියම අනුව ඉඩක් නැත්තේ එය භාෂාව අනුව, ඉන්දියාවේ 1956 දී නේරු කලා මෙන් සැදූ භාෂා ප්‍රාන්තයක් නොවන නිසාය.

මුළු රටම බොහෝදුරට එක ප්‍රමාණයේ ප්‍රදේශ හතකට බෙදී ඇති අතර, මෙම සිතියම දුටු කලින් ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මට පෙන්වාදුන් පරිදි සෑම ප්‍රදේශයකටම මුහුදු මූණතක් ලැබී ඇත (මෙම සමස්ථ යෝජනාවට හා ග්‍රාම සේවා වසම් මට්ටමෙන් ඇට්ලස් එකක් පිළියෙල කිරීමට එතුමා කැමැත්තෙන් සිටියත් බැසිල් රාජපක්‍ෂ මහතාත්, ලලිත් වීරතුංග මහතාත් එය යටපත් කලේය).

ලංකාවේ ජන ව්‍යාප්ත සිතියම විවිධ ආගම් හා භාෂා ඉතාමත් මිශ්‍රව ඇති සිතියමකි. එය හරියට හොඳට හැඳිගැසූ බිත්තරයක් වැනිය (ස්ක්‍රැම්බල්ඩ් එග්). මොනෝ දෙමළ ප්‍රදේශයක් රටේ ඇතිකල නොහැකි මේ නිසාය. දෙමළ ජනයා වැඩියෙන් ජීවත් වන්නේ දකුණේ හා කොළඹය. දකුණේ මුස්ලිම් ජනයා ඉන්නේ සිංහල ගම් අසල ගම් වලය. මේ නිසා ඉහත යෝජනාකල ලෙස ග්‍රාම සේවා වසම් බෙදීමෙන් ඔවුන් වැඩිදෙනා වසන ජන සභා බොහොමයක් දකුණේ සිංහල ප්‍රදේශ වලද බිහිවේ. නමුත් වැදගත් කරුණ නම් ඒවා ආගම හෝ භාෂාව අනුව මායිම් කල ඒකක නොවීමය. මේ නිසා ආගම හා භාෂාව අනුව සිතීමට ඇති පෘථග්ජන ප්‍රවණතාව ක්‍රමයෙන් අඩුවී යනු ඇත.  භාෂාව අනුව ප්‍රාන්ත බෙදීමට නේරු එකඟවූයේ ආන්ද්‍ර ප්‍රදේශයේ නායකයෙක් මාරක උපවාසයක් කල නිසාය. තම තීරණය ගැන පසු කලෙක නේරු පශ්චාත්තාප විය.

wije13092015

යම් ජන සභා ඒකකයක් ආගම හෝ භාෂාව මතුකරගෙන ක්‍රියාකරන්නට සිතුවොත් ඒ සඳහා නීතීමය වශයෙන් පණවා ඇති බාධකවලට අමතරව අනිත් ඒකක විසින් ඔවුන්ගේ ආගමික හෝ භාෂා අනුව එකට එක කිරීමෙන් ප්‍රතික්‍රියා දැක්‌වීමට සිතුවොත් ඉන් අහිතකර, අමිහිරි ප්‍රතිඵල ඉස්මතුවීම නිසැකය.

11. මෙම නව ජලය ආශ්‍රිත මායිම් බෙදීමේ ක්‍රමය අනුව යමින් සදාගන්නා ග්‍රාම සේවක වසම් ක්‍රමය ලංකාවේ පොලිස්, අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා කළමණාකරණ ආදී දෙපාර්තමේන්තුවල පාලන ප්‍රදේශත්, ලංකාවේ කෘෂි පරිසර කලාපත් (ඇග්‍රෝ ඉකොලොජිකල් රීජන්ස්)  බෙදාගත හැකිය.

මේ සංදේශයට ඔබතුමාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණොත් වඩා දීර්‍ග, සවිස්තර, පියවරෙන් පියවර දැ‌ක්‌වෙන ක්‍රියාත්මක සැලැස්මක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි. විශේෂයෙන්, සෑම ග්‍රාම සේවා වසමකම තොරතුරු සංඛ්‍යා ලේඛන හා සිතියම් ලෙස පිළියෙල කිරීමත්, එක් ග්‍රාම සේවක වසමක් ලංකා සිතියමේ තිතක් ලෙස සළකා ජාතික මට්ටමින් සම්පත්, සමාජ-ආර්ථික තොරතුරු පෙන්වන ඇට්ලස් එකක් සැදීමත් පහසුවෙන් කල හැකිය. මෙහි එක් අරමුණක් වන්නේ ඩෙස්ක් ටොප් පරිගණකයක් මඟින් රටේ ඕනෑම ග්‍රාම සේවා වසමක ඕනෑම භූමි පරිභොග කරුණක් ගැන ක්‍ෂණිකව තොරතුරු දැනගැනීමට රටේ ජනාධිපතිට හෝ වගකිවයුතු නිලධාරීන්ට ඉඩ ලබාදීමය.

මෙයට විශ්වාසී,

මව් බිමේ යහපත ගැන සිතන,

චන්ද්‍රසිරි විජයවික්‍රම
ඇමෙරිකා එක්සත් ජනපදය
18-9-2015

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress