ලංකා අධිකරණ යාන්ත්‍රණයක බලය යටතේ ‘වගවීම‘ රටක් ලෙස ලැබූ ජයග්‍ර‍ණයකි. අවංක, අපක්ෂපාතී ස්වාධීන අධිකරණය සැමගේ බලාපොරොත්තුවයි.
Posted on September 28th, 2015

පුවත්පත් නිවේදනය කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවේ 6 වන ක්‍රියාන්විත ඡේදය මගින් ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය වඩාත් දේශීයකරණය වූ යාන්ත්‍රණයක් තුල සිදු කිරීමට අවස්ථාව සැලසීම පිළිබද කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සතුට පළ කරයි.  ශ්‍රී ලංකා අධිකරණ  යාන්ත්‍ර‍ණයක බලය යටතේ  ‘වගවීම‘ පිළිබද ක්‍රියාකාරකම් ගොනු කිරීම තුල අවස්ථාවාදී බලවේග වෙත ජිනීවා යෝජනාව තම දේශපාලන බල ව්‍යපෘතියට යොදා ගැනීමට ඇති හැකියාව අවම කොට ඇත.

‘අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් විසින් මෙහෙයවනු ලබන අධිකරණ ක්‍රියාවලියක්‘ මෙරට නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වන සෑම කණ්ඩායමක දීර්ඝ කාලීන ප්‍රාර්ථනය සහ සිහිනය විය.  වත්මන් රජයට දේශපාලනිකව අභියෝග කරන බොහෝ පාර්ශවයන් ද එකගවන සහ තර්ක කරන පොදු කරුණ නම් මෙරට අපරාධ විමර්ශනයට, චෝදනා ගොනු කිරීමට සහ අධිකරණ ක්‍රියාවලියට පසුගිය කාල සීමාව පුරාම විවිධ බලපෑම් එල්ල වී තිබු බවයි.  මුල්‍ය අපරාධ චෝදනා යටතේ පරීක්ෂණ සදහා දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ද මේ කරුණ නැවත නැවත මතු කරනු ලබති.

අප විසින් නැවත නැවත පෙන්වා දී ඇත්තේ විදේශීය විනිසුරුවන්, නීතීඥයින්, පැමිණිල්ල මෙහෙයවන්නන් ගෙන් සමන්විත ‘විදේශීය ස්වරූපයක් සහිත‘ අධිකරණ යාන්ත්‍ර‍ණයක් තුල යුක්තිය පසිදලීමට වඩා වැදගත් වන්නේ ‘දේශීය යාන්ත්‍ර‍ණයක් තුල‘ එය සිදු කිරීමේ අවශ්‍යතාවය යි. එල්එල්ආර්සී කොමිෂන් සභාවේ සියලුම සැසිවාර නිරීක්ෂණය කළ අප සංවිධානය ආරම්භයේ දී දැරූ ස්ථාවරය මෙයයි.   අනෙක් අතට කල් ගත වී හෝ ද්‍ර‍විඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍ර‍ය වැනි දේශපාලන පක්ෂ පවා පැමිණ සිටීම සතුටට කරුණකි.

අනෙක් අතට මේ වන විට රට තුල ගොඩ නැගී ඇති ළමා අපරාධ, දුෂණ හා වංචා සම්බන්ධයෙන් ද විධිමත් විමර්ෂණ සිදු කිරීම, නඩු පැවරීම හා ‘අවංක හා අපක්ෂපාතී පුද්ගලයින් විසින් මෙහෙයවනු ලබන අධිකරණ ක්‍රියාවලියක්‘ ස්ථාපනය කිරීම වැදගත් වේ.  එවිට ළමා අපචාර, ඝාතන, මුල්‍ය අපරාධ ඇතුළු සියලු කේෂ්ත්‍ර‍න් සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතු අධිකරණ ක්‍රියාදාමයකට ඉඩ ප්‍ර‍ස්ථාව සැලසෙනු ඇත.

ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍ර‍ණයක බලය යටතේ විමර්ශණ සිදු කිරීම රජය ලැබූ ජයග්‍ර‍ණයක් වන්නේය.  එය සමස්ථ ශ්‍රී ලාංකිකයින් ලබන ජයග්‍ර‍ණයක් වන්නේ සැබෑ සත්‍ය ගවේශණයකටත්, වගවීමකටත් අවසානයේ සෑම ජාතියක් අතරම සංහිදියාව ඇති කිරීමට ත් එය සමත් වන්නේ නම් පමණී.  රජය, මෙරට සියලු දේශපාල පක්ෂ, සිවිල් සංවිධාන පමණක් නොව සෑම පුරවැසියෙකුම ඒ සදහා එක් කර ගැනීම අතිශයින් වැදගත්ය.

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress