කරුවලගස්‌වැව කළුවර අතරින් අංජනම් එළිය සොය ගිය ගමන – II
Posted on October 9th, 2015

ජයසූරිය උඩුකුඹුර Courtesy Island
මෙහි මුල් කොටස ඊයේ පළවිය
දේවගැති මෑණියන් දේවාරූඪයෙන් මට කී කාරණා පටිගත කර ගැනීමටද මම වග බලා ගත්තෙමි. ඇය මා හට සඳහන් කළ තොරතුරු අනුව දරුවා කැලේට ගොස්‌ ඇත්තේ කම්පනයකින් සිත තුළ ඇති වූ බියකින්ය. නමුත් අසිහියෙන් නොවේ. කැලේදී ඇය අසනීපව ඇති බවද පාන්දර 3.00 ට පෙර දරුවා සොයා ගැනීමට අපහසු වූයේ නම් දරුවා ජලය ලබා ගන්නට වැවට ගොස්‌ සතුන්ට බිලි වී විනාශ වන බව මෑණියෝ කියූහ.

මේ දේවාරූඪයෙන් කී ඇතැම් කරුණු පොලිස්‌ පරීක්‍ෂණවලට බාධාවක්‌ විය හැකි බැවින් මෙහි සඳහන් නොකිරීමට වග බලා ගත් නමුත් ඒ තොරතුරු මා පොලිසියේ බුද්ධි අංශය සමඟ කතාබහ කිරීමේදී ඔවුන් ද තහවුරු කිරීම පුදුම සහගතය.

අප දේවාලයේ ශාස්‌ත්‍ර කීම අසා යළිත් වනයේ අද්භූත සිදුවීම් ගැන කතා කළෙමු. මේ ඉන්දික කුමාර ජයලත් මහතා අපට කී කතාවය.

“ඔය සිද්ධියට මුහුණ දුන් දරුවා මගේ ඥති දියණියක්‌. මීට වසර 30 කට පමණ කලින් අපේ අම්මාගේ අම්මා කෙනෙක්‌ ද ඔය කැලේ අතරමං වෙලා තියෙනවා. අදටත් ඇය ගැන තොරතුරක්‌ නෑ. ඇය එදා වැවට නාන්න ගිහිsල්ල බඩේ අමාරුවකට ළඟ ගෙදරකට ඇවිල්ල වැසිකිළි යන්න වතුර ටිකක්‌ ඉල්ලලා. එදා ඒa ගෙදර අය ලොකු පොල්කට්‌ටකට වතුර ටිකක්‌ දීලා. ඒ පොල්කට්‌ට කහ දියර සකස්‌ කළ එකක්‌ලු. ඒ පොල් කට්‌ටට වතුරත් අරගෙන ගිය උන්දෑ අදටත් ආපසු ආවේ නෑ. කැලේ හොයල බලන කොට ඔය දියණිය හමු වූ තැනට එහායින් ඇති ගල්තලාව ළඟ තිබී පොල්කට්‌ට හම්බ වුණා කියලයි කියන්නේ.

තවත් රසවත් කතා කැලේ ගැන අතීතයේදී අහන්න ලැබුණාලු. ඔය කැලේ අතරමං වෙලා බඩගිනි උනාම පලතුරු ගස්‌ මැවිලා ඒ අයට පලතුරු කන්න ලැබෙනවාලු. පලතුරු කාලා බඩ පුරවා ගෙන ආපසු එන්න සුදු ඇඳගත්තු “ශාන්ත” සීයා කෙනෙක්‌ පාර පෙන්වනවාලු. මේ කතා දැන් අය දන්නෙ නෑ. මමත් අපේ සීයල කියල තියෙනවා අහලයි දන්නෙ.

ඒ අබිරහස්‌ කැලේ අතරමං වූ දරුවා දිනිති (සුද්දී) ගැන ද ඇතැම් කරුණු අබිරහස්‌ ය. ඇය ගමන් කර ඇති මාර්ගයේ හමුවන දිය කඩිත්තෙන් ඇය එගොඩ වූයේ කෙසේද? ඒ දිය කඩිත්ත සාමාන්‍ය වැඩුණු තරුණයකුගේ දණහිසට ඉහළින් ගැඹුරුය. එමෙන්ම ඇය ගිය මාර්ගයේ බැඳි තුවක්‌කු දෙකක්‌ එකට එකක්‌ ළඟින් තිබී ඇත. ඒවායින්ද බේරී ඇය ගියේ කෙසේද?

මළපොතේ අකුරක්‌ නොදන්නා දේවාලයේ දේව ගැති මෑණියන් හරියටම දියණියගේ ගමන්මඟ පවසා ඇය බේරා ගැනීමට පොලිසියටත් ගම්මුන්ටත් දුන් සහාය අවතක්‌සේරු කොට බැහැර කළ හැකිද?

මේ සියලු කාරණා සමඟ මෙවැනි සිද්ධියකින් පසුව ඇතිවන අතුරු කතාබහක්‌ ද පහරිය ගමේ දැන් අසන්නට ඇත. ඒ දේවාලයේ ද සහාය ඇතිව දියණිය අසිහියෙන් කැලයට රැගෙන ගොස්‌ නිධන් ගන්න උත්සාහයක්‌ ගෙන ඇති බවට පැතිර යන කතාවය. මේ කතාවට ගම්මු කෝප වී ඇති අතරම ඇතැම් මාධ්‍යයන් දිනිති දියණිය ගල් ගුහාවක සිට හමුව ඇති බවට වාර්තා කර තිබීම ගැන ද අප සමඟ දොස්‌ නැඟීය. ගම්මුනට දේවාලය ගැන ඇත්තේ විශාල විශ්වාසයකි. ඒ නිසා ඔවුන් දේවාලය ඉදිකර දෙන්නට සූදානම් වන බවද අප සමග කීවේය. එමෙන්ම මෙම සිද්ධියෙන් පසු දේවාලයේ දේව ගැති මෑණියන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින සමච්චල් කරන දුරකථන ඇමතුම් ලැබී ඇති බවද ඒවා පොලිසියට බාර දී පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටින බවද ඔවුහු කීහ.

කෙසේ වුවද මෙම දියණියගේ කැලෑ ගමනට හේතුව පවුලෙන් පිට ඥතීන්ගේ ආරවුලක්‌ නිසා බහින් බස්‌වීමක්‌ හා බැඳුණු සිදුවීමක්‌ බවට පොලිසියේ බුද්ධි අංශ දැනටමත් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

ඉතා අසරණ එක කාමරයක්‌ සහිත දොරගුළු නැති ගෙදරක ජීවත් වී ඇති දිනිති හා ඇගේ දෙමාපියන් ගමේ කිසිවකුටවත් කරදරයක්‌ නැති අහිංසක පිරිසක්‌ බව ගම්මු අපට කීවේ ඔවුන්ගේ දරුවා පැහැර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන බව පවසමිනි.

කෙසේ වුවද භෞතික අඩු පහසුකම් සහිත නමුත් එඩිතර පොලිසියේ ගෞරවය හා වගකීම මැනවින් ඉටු කරමින් දිනිති දැරිය බේරා ගැනීමට ගම්මුන් ද උනන්දු කරවමින් මහ රෑ වන සතුන් බහුල වනාන්තරයේ සැරිසැරූ කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් ඇගයීම පොලිස්‌පතිතුමා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ වගකීම යෑයි අපි අවධාරණය කරන්නේ සේයා දැරියගේ පරීක්‍ෂණවලදී පොලිසියට එකතු වී ඇති කළු පැල්ලමට තවත් කළු පැල්ලම් එකතු නොකර බුද්ධිමත්ව හා ක්‍රියාශීලීව දිනිති දැරිය පණ පිටින් බේරා ගැනීමට පොලිසිය පෙරමුණ ගැනීම නිසාය.

එමෙන්ම වයස 66 ක්‌ වයසැති වැන්දඹු කාන්තාවක්‌ වූ ඩී. එම්. ඒ. රම්මැණිකා මාතාව මහ රෑ තම වයස හා වෙහෙස නොබලා දේවාලයට පැමිණ දේව කාරිය ඉටු කරමින් දියණිය බේරා ගැනීමට සහාය වීම සංස්‌කෘතික අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතු කාර්යයක්‌ යෑයි ද අපි විශ්වාස කරමු. අතීතයේ මෙන්ම අදත් පවත්නා මේ ශාස්‌ත්‍ර කීම් විශ්වාස කිරීම හෝ නොකිරීම වෙනම කරුණකි. එහෙත් දිනිති දැරිය බේරාගැනීමට මඟ පෙන්වූ යථාර්ථය ඒ කිසිදු වාදයක්‌ නිසා අවලංගු නොවන්නකි.

මේ ගමනේදී අප දුටු තවත් ගැටලු කීපයක්‌ ද බලධාරීන්ගේ අවධානයට යොමු කරවීම ඒ ගැටලුවලට මුහුණ දී සිටින එගම්වැසියන්ට සාධාරණය ඉටු කරවා ගැනීමට මග පෙන්වීමක්‌ වනු ඇතැයි සිතමි.

පහරියගම පාරම්පරික ගම්මානයක්‌ නොව විවිධ ප්‍රදේශවලින් පැමිණි අය පදිංචි ගම්මානයකි. කරුවලගස්‌වැව සිට පහරිය හන්දිය දක්‌වා බස්‌ රථයකින් පැමිණිය හැකි නමුත් එතැන් සිට ගම තුළට කිලෝ මීටර් 16 ක්‌ පමණ පෞද්ගලික බස්‌ රථයක්‌වත් ධාවනය නොවන මාර්ගයකි. කොන්ක්‍රීට්‌ අතුරා සකස්‌ කර ඇති මේ මාර්ගයේ බස්‌ රථයක්‌ ධාවනය කළ හැකි බව පෙනේ. එසේ කළ හැකි නම් මේ ගම්මුන්ට එය මහත් අස්‌වැසිල්ලක්‌ වනු ඇත.

එමෙන්ම අලි වැට ඉදිකර එය රැක බලා ගැනීමට සිවිල් ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් යොදවා සිටිය ද අලි කරදර අඩුවක්‌ නැති බව ගම්මු කියති. අලි වැට ඉදිකිරීමට යොදා ගෙන ඇති කණු අලින් බිම දමන්නේ ඔවුන්ගේ කකුලෙන් තල්ලු කරමින් බව ද ඔවුහු කියති.

අලිමංකඩක ඉදිකර ඇති උදාගමක්‌ මේ වනවිට අලින් විනාශ කර දමා ඇති අයුරු අපි දැක්‌කෙමු. ගෙවල් කඩා බිඳ දමා ඇති මෙම නිවෙස්‌වල පදිංචිකරුවන් එම නිවාසවලින් ඉවත්වී ගොසිනි.

කරුවලගස්‌වැව පොලිසිය ද ගමේ ප්‍රජාශාලා ගොඩනැගිල්ලක්‌ බඳුය. “ලබුගෙඩියේ කංකාරිය” සේ මේ පොලිසියේ මහත්වරුන්ට සිය රාජකාරි සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව එහි යනෙන අයට මැනවින් පෙනෙන දෙයකි. ජල පහසුව පවා නොමැති මෙම පොලිසියේ සේවය කරන නිලධාරීන් මුහුණ දී ඇති අපහසුතා රැසක්‌ ඇති බව අපට නිරීක්‍ෂණය වූයේ අප මෙම පොලිස්‌ ස්‌ථානයේ බොහෝවේලාවක්‌ කල් ගත කළ නිසාවෙනි.

මේ පොදු ගැටලුවලට විසඳුම් ලබා දීමට ද බලධාරීන් මැදිහත් වන්නේ නම් එය මේ ප්‍රදේශයේ ජනතාවට මහත් අස්‌වැසිල්ලක්‌ බවද සඳහන් කරනු කැමැත්තෙමි.

මේ චාරිකාවේදී සහය වූ සැමට ස්‌තුතියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress