නයි පොළගුන් පිරි තබ්බෝව මහ වනය මැදට දිනිති රැගෙන ගියේ අද්භූත බලවේගයක්‌ද?
Posted on October 9th, 2015

හේමන්ත රන්දුණු Courtesy Divaina

“සුදු දුවේ උඹට මොකද වෙලා තියෙන්නෙ. උඹ මොකාට හරි බය වුණාද, එහෙමත් නැතිනම් උඹට අසනීපයක්‌ද?”

පුංචි දිනිතිගේ හැසිරීමේ කිසියම් වෙනසක්‌ දුටු ඇගේ මව ඒ පිළිබඳව ඇගෙන් විමසුවාය. එහෙත් දියණියගෙන් ඊට පිළිතුරක්‌ නැත. ඇය එදින කාලය ගත කළේ කිසියම් චකිතයකින්ය. වෙනදා මෙන් ඇය කෙළි සෙල්ලම් කළේද නැත

butha2

වරක්‌ ඇය නිවස තුළ වූ පැදුරු ගොඩේ සැඟවී සිටියාය. තවත් වරෙක නිවස අසල මල් පඳුරක්‌ යට වකුටු වී උන්නාය. දිනිතිගේ මේ හැසිරීමෙන් දෘශ්‍යමාන වූ වෙනස ගැන සොයා බලන්නට තරම් දැනීමක්‌ ඇගේ මවට තිබුණේ නැත.

 buta3  buta4

තබ්බෝව කරුවලගස්‌වැව පහරිය ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිති අහිංසා දැරිය තුන් හැවිරිදිය. සොහොයුරියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්‌සී වුණේ දිනිතිය. පවුලේ කවුරුත් ඇයට සුරතලයට කීවේ සුදු බබා කියාය.

දිනිතිගේ පියා ලලිත් හර්ෂ කුමාර කරුවලගස්‌වැව ප්‍රදේශයේ කුෂන් වැඩපළක සේවය කළේය. දරු තිදෙනා බලා කියාගෙන නිවසට වී සිටි දිනිතිගේ මව රැකියාවක්‌ නොකළාය.

ලලිත් හර්ෂ කුමාර මහා ලොකු ආදායමක්‌ නොලැබුවද මේ පවුල කාලය ගත කළේ බොහොම සතුටින්ය. පුංචි දිනිති තම පියාට දැඩි ලෙන්ගතුකමක්‌ දැක්‌වූවාය. ඇය නින්දට ගියේද පියා සමඟය. නිවසේ සිටින වේලාවෙන් වැඩි කාලයක්‌ දිනිති සමඟ ගත කිරීමට ලලිත් හර්ෂ කුමාරට සිදු වූයේ ඇය තමන් කෙරෙහි දැක්‌වූ දැඩි ලෙන්ගතුකම නිසාය.

දිනිතිගේ පුංචි නිවහන තිබුණේ තබ්බෝව රක්‍ෂිතය ආසන්නයේය. වන අලින්ගෙන් ගහන වූ තබ්බෝව රක්‍ෂිතය තුළ සවස 4.00 න් පසු කිසිදු ගම්වාසියකු ඇතුළු වුණේ නැත.

පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා උදේ කාලය ගෙවී ගියේ සාමාන්‍ය ලෙසය. එහෙත් දිනිතිගේ හැසිරීම අසාමාන්‍ය විය. එදින සවස 3.30 පමණ වන විට දිනිතිගේ මව රාත්‍රි ආහාර පිළිsයෙල කරමින් උන්නාය.

රැකියාව නිමකර නිවසට පැමිණි ලලිත් හර්ෂ කුමාර පහරිය වැව දෙසට ගියේ රාත්‍රි බතට මසුන් අල්ලාගෙන එන බලාපොරොත්තු ඇතිවය.

පුංචි දිනිති නිවස ඉදිරිපිට මිදුලේ නිසොල්මන්ව සිටියාය. ලලිත්ගේ වැඩිමහල් සොහොයුරු පදිංචිව සිටියේ ඔහුගේ නිවසට යාබදව දකුණු පසින් වූ නිවසකය.

ඔහුට සිටියේද අවුරුදු 11 ක දියණියකි. පුංචි දිනිති තම නිවස ඉදිරිපිට වැලි පාර ඔස්‌සේ තනිවම ගමන් කරන අයුරු දුටු ඇගේ ලොකු අම්මා ඒ ගැන විමසිලිමත් වූවාය.

දුවේ සුදු බබා තනියම පාරේ යනවා. ගිහින් එයාව කැන්දගෙන වරෙන්. දිනිතිගේ ලොකු අම්මා තම දියණියට කීවාය. ඒ සැණින් ඇය දිනිති ගිය මාර්ගය දෙසට දිව ගියාය. එහෙත් දිනිති මාර්ගයේ පෙනෙන්නට නැත. ඇය සිය ඥති සොහොයුරිය පිළිබඳව විපරම් කළාය.

අම්මේ දිනිති නංගි පේන්න නැහැ. ඒ ටිකට එයා අන්ත්‍රස්‌දාන වෙලා.

ඥති සොහොයුරිය සිය මවට කීවාය. ඉන් කලබලයට පත්වූ දිනිතිගේ ලොකු අම්මා නිවසින් පිටතට පැමිණ ඇය ගිය මාර්ගය පිරික්‌සන්නට වූවාය. එහෙත් ඇය ගැන කිසිදු සේයාවක්‌ නැත.

නංගියේ සුදු බබා මේ පාර දිගේ ගියා. අපි එයාව බලන්න ආවා. ඒත් එයා ගිය දිසාවක්‌ සොයා ගන්න නැහැ.

පහරිය ගම්මානය ගිනි ගත්තේ එතැන් සිටය. සුදු බබා සොයමින් ගම්මුන් පහරිය ප්‍රදේශය පීරන්නට වූහ. මාළු ඇල්ලීමට වැවට ගිය ලලිත් හර්ෂ කුමාර නිවසට එන්නේ අසිහියෙන්ය.

“අනේ මගේ රත්තරන් දුවට මොකද වුණේ. කවුද මගේ කෙළි පැටික්‌කි අරගෙන ගියේ.”

දිනිතිගේ පියා ගම දෙවනත් කරන්නට වූවේය. එදින රෑබෝවන තුරුම පහරිය ගම්වාසීන් දිනිති සොයන්නට වූහ. එහෙත් ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ නැත.

butha1

දිනිතිගේ පියා පොලිසියේ උදව් උපකාර ගන්නට කරුවලගස්‌වැව පොලිසිය වෙත දිවයන්නේ ඉන් පසුවය.

අනේ බුදු සර් මගේ දරු පැටිය හොයල දෙන්aන. මට මේ දරුව නැතිව ජීවත් වෙලා වැඩක්‌ නැහැ.

ලලිත් හර්ෂ කුමාර කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා ඉදිරියේ වැඳ වැටුණේය. පුංචි දිනිතිගේ හදිසි අතුරුදන්වීම ඇසූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ද අන්දුන්කුන්දුන් වුණේය.

පසුගිය කාල සීමාව පුරාම රටේ අසන්නට ලැබුණේ කුඩා දරුවන්ට අත්වූ ෙ€දනීය සිදුවීම් පිළිබඳ තොරතුරුය.

“ඔයා කිසි දේකට බය වෙන්න එපා. මම පුංචි දරුවව කොහොම හරි හොයලා දෙන්න පොරොන්දු වෙනවා. අපි දැන්මම ක්‍රියාත්මක වෙනවා….

පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා දිනිතිගේ පියා සනසමින් කීවේය. කරුවලගස්‌වැව සහකාර පොලිස්‌ අධිකාරිවරයා ලෙස කටයුතු කළේ ජයන්ත නානායක්‌කාරය.

දිනිතිගේ අතුරුදන්වීම පිළිබඳව ස්‌ථානාධිපතිවරයා තම ජ්‍යෙෂ්ඨ නිලධාරියා දැනුවත් කළේය.

ඔයා ටීම් එකක්‌ අරගෙන වහාම පහරිය ගමට යන්න. අපි පමා වෙන හැම තප්පරයක්‌ම දරුවාගේ ජීවිතේ අනතුරට ලක්‌ වෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් ඉක්‌මනට සර්ච් ඔපරේෂන් එකක්‌ පටන් ගන්න ඕනෙ.

සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත නානායක්‌කාර මහතා දැරිය සෙවීමට අවශ්‍ය සියලු උපදෙස්‌ නුවන් පෙරේරාට ලබා දුන්නේය. ඒ වන විට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නීතිඥ සෙනරත් සඳුන්ගහවත්ත ද මේ බව දැන සිටියේය. දැරිය සෙවීමේ කටයුතු වහාම ක්‍රියාත්මක කරන ලෙසද ඔහුගෙන් උපදෙස්‌ ලැබුණේය. පොලිස්‌ නිලධාරීන් පහරිය ගම්මානයට යද්දී ගම්වාසීන් දෙතුන් සියයක්‌ දිනිතිගේ නිවස අසල රැස්‌ව සිටියහ.

“සර් අපි මුළු ගමම පීරුවා. ඒත් දරුව ගැන කිසිම හෝඩුවාවක්‌ නැහැ. දැන් ඉතිරිවෙලා තියෙන්නෙ තබ්බෝව රක්‍ෂිතය බලන එක විතරයි. ඒත් මේ වෙලාවෙ කැලේට යනවා කියන්නෙ මරණය දෝතින් අරගෙන යනව වගේ වැඩක්‌.

ගම්වාසීන් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලිකර දුන්හ.

“දරුවා තාත්තා එක්‌ක නිතර නිතර වැව ළඟට යන්න පුරුදු වෙලා හිටිය නිසා එයා වැවට ගියාද දන්නෙ නෑ. කෝකටත් අපි මේ මොහොතෙ ඉඳලමදරුවා හොයන වැඩේට බහින්න ඕනෙ. එක තත්පරයක්‌වත් අපතේ අරින්න බැහැ.

ස්‌ථානාධිපති නුවන් පෙරේරා ගම්වාසීන් උනන්දු කරමින් කීවේය. එහෙත් දැරිය සොයා තබ්බෝව රක්‍ෂිතයට ඇතුළුවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.

සර් සවස හතරෙන් පස්‌සෙ වන අලි සැරිසරනව. අලි හැට හැත්තෑවක්‌ මේ අවට ඉන්නවා. ඒ මදිවට නයි පොළොන්ගු විමානෙ. හැම තැනම පිඹුරො ඉන්නව. දඩයක්‌කාරයො තුවක්‌කු බැඳලා… රාත්‍රි කාලයේ තබ්බෝව රක්‍ෂිතයට ඇතුළුවීමේ භයානක කම ගැන ගම්වාසීන් පැහැදිලිs කරන්නට වූහ.

අපි කණ්‌ඩායම් තුනකට බෙදිලා තුන් පැත්තකින් දරුව සොයමු. මේ වැඩේ ඉක්‌මන් නොකළොත් හෙට උදේ අපිට හොයාගන්න වෙන්නෙ දරුවගෙ මළකඳ.

නුවන් පෙරේරා ගම්වාසීන් පිරිසක්‌ ද කැටිව පහරිය වැව ප්‍රදේශය පරීක්‍ෂා කරන්නට පිටත් වූහ.

පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන අමිල දිසානායක, කරුණාරත්න, දයාරත්න ඇතුළු ගම්වාසීන් පිරිසක්‌ තබ්බෝව වනාන්තරයට ඇතුළු වුණේ කෙසේ හෝ දරුවා සොයා ගන්නා බලාපොරොත්තු ඇතිවය.

මම වැව පැත්ත සර්ච් කරලා ඒ පැත්තෙන් කැලෑවට ඇතුළු වෙන්නම්. මට ලොකු සැකයක්‌ තියනවා ළමයා තාත්තා හොයාගෙන වැව ළඟට යන්න ඇති කියලා. එහෙම වුණොත් ලොකු විනාශයක්‌ වෙන්නෙ.

ස්‌ථානාධිපති නුවන් පෙරේරා තම නිලධාරීන් සහ ගම්වාසීන් සමඟ දැරිය සෙවීමේ මෙහෙයුම ආරම්භ කළේය.

තබ්බෝව රක්‍ෂිතය රාත්‍රි කාලයේදී අති බිහිසුණුය. කැලෑ කැපිය හැකි ගන අන්ධකාරය ඒ බිහිසුණු බව දෙගුණ තෙගුණ කරයි. එහෙත් ඒ සියල්ල අමතක කළ පොලිස්‌ නිලධාරීන් සහ ගම්වාසීන් පුංචි දිනිති සොයා කැලෑව පීරන්නට වූහ.

ගන අන්ධකාරය මැදින් තබ්බෝව රක්‍ෂිතය තුළට ගමන් කිරීම අති දුෂ්කරය. ඉදිරියට තබන සෑම පියවරක්‌ම බිහිසුණුය.

සර්… සර්.. මේ ඇළ ඉවුර දිගට පොඩි දරුවකුගේ අඩි සලකුණු තියෙනවා.

ගැමියකු ප්‍රීතියෙන් කෑගසන්නට වූවේය. පුංචි දිනිති දැරිය ගමන් කළ බවට සැකකරන පා සලකුණු තබ්බෝව වනය මධ්‍යයේ පිහිටි ඇළ ඉවුරක වැලි පොළොවේ කදිමට සටහන්ව තිබුණේය. දැරිය පිළිබඳව කිසියම් හෝඩුවාවක්‌ සොයා ගැනීමට ලැබීම කාගේත් සිත්වලට ගෙන දුන්නේ සතුටකි. නව ජවයකින් යුතුව ඔවුන් සියලු දෙනා ඒ අඩි සලකුණු ඔස්‌සේ ඉදිරියට ගමන් කරන්නට වූහ.

සර් දරුවා ඇළෙන් එගොඩ වෙලා තියෙනවා. ඇළෙන් එහා පැත්තේ වැලි පොළොවෙ දරුවගේ අඩි සලකුණු තියෙනවා.

ගම්වැසියකු පොලිස්‌ නිලධාරින්ට කීවේය. සියලු දෙනා ඇළ තරණය කරන්නට වූහ. ඇලේ ජල මට්‌ටම පොලිස්‌ නිලධාරීන්ගේ දණහිසෙන් ඉහළ කොටස දක්‌වා සටහන් විය.

දරුවා මේ ඇළ හරහා කොහොම ගියාද? අඩුම ගානෙ එයාගෙ කරවටක්‌ වතුරෙ ගිලෙනවා.

ගන වනාන්තරය මැදින් රාත්‍රි කාලයේ දැරිය ගමන් කළ ආකාරය ගැන කිසිවකුටත් සිතාගත නොහැක. දැරියගේ පා සලකුණු ඔස්‌සේ ගමන් ගත් පොලිස්‌ නිලධාරීන් සහ ගම්වාසීන් ගල් තලාවක්‌ අසල නතර වූහ. ඇතැම් ස්‌ථානවලදී දරුවා දිවගිය බවට පා සටහන් සලකුණු දක්‌නට ලැබිණි.

මෙතැනින් එහාට දරුව ගිය දිශාව හොයා ගන්න අමාරුයි. අපි දැන් මොකද කරන්නෙ.

මහා වනාන්තරය තුළ අතුරුදන් වූ පුංචි කෙළි පැටික්‌කිය සොයන ආකාරය ගැන කවුරුත් කල්පනා කරන්නට වූහ.

දැරියගේ පා සටහන් හමුවූ බවත් ඒ ඔස්‌සේ තවත් ඉදිරියට ගමන් කරන බවත් පොලිස්‌ නිලධාරීන් කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරාට දැනුම් දී තිබුණි.

ගන වනාන්තරය තුළ ජංගම දුරකථන පණිවුඩ හුවමාරුව ක්‍රියාත්මක වීම මහත් භාග්‍යයක්‌ විය. ඒ තොරතුරු මත වැව ඉවුරේ දැරිය සෙවීමේ කටයුතු නතර කළ නුවන් පෙරේරා ඇතුළු පිරිස තබ්බෝව වනාන්තරය තුළට එන්නට පිටත් වූයේ දැරිය කෙසේ හෝ සොයා ගන්නා අරමුණ ඇතිවය.

ඒ වන විට මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබිණි. දැරිය සෙවීමේ භාරධුර වෙහෙසකර කාර්යයට එක්‌ව සිටි පිරිස දැඩි සේ විඩාවට පත්ව සිටියහ.

මේ කැලේ කොහේ කියල දරුවා සොයන්නද? අපි ආපහු ගිහින් හෙට උදේ ඇවිත් හොයමු. අනික මේ කැලේ ඇතුළෙ දරුවා ජීවතුන් අතර ඉන්නවා කියලා හිතන්නත් අමාරුයි.

ගම්වාසීන් පිරිසක්‌ දිනිති දැරිය සෙවීමේ කටයුතු අතරමග නතර කර දමා ආපසු පහරිය ගමට එන්නට පිටත් වූහ.

ඒ වන විට පහරිය ගම්මානයේ තවත් පිරිසක්‌ අදෘශ්‍යමාන බලවේගවල සහාය සොයා යමින් සිටියහ.

පහරිය කාලි දේවාලය වෙත ගිය පිරිසක්‌ එහි සිටින මෑණියන් ලවා අතුරුදන් වූ දැරිය පිළිබඳව හෝඩුවාවක්‌ ලබා ගන්නට උත්සාහ කරන්නට වූහ.

මෙවැනි සිදුවීම්වලදී බොහෝ විට යොදා ගන්නේ අංජනම් බැලීමය. කාලි දේවාලයේ මෑණියන් අංජනමක්‌ යවමින් දැරිය පිළිබඳ තොරතුරු සොයන්නට වූවාය.

දරුවා කැලෑව ඇතුළෙ ඉන්නවා. ඒත් එයාගෙ ජීවිතේ අනතුරේ. ප්‍රමාද වුණොත් එයාව බේරගන්න ලැබෙන එකක්‌ නැහැ. කැලේ ඇතුළෙ ගල් තලාවක්‌ තියෙනවා. ඒ ගල් තලාවට නැගෙනහිර පැත්තට කිලෝ මීටර් දෙක තුනක්‌ යනකොට වැවක්‌ හම්බවෙනවා. ඒ වැව ආසන්නයේ කටු පඳුරක්‌ ළඟ දරුවා ඉන්නවා.

අංජනම බැලූ දේවාලයේ මෑණියන් දිනිති දැරිය සිටින ස්‌ථානය පිළිබඳ කියන්නට වූවාය.

හැබැයි කාන්තාවක්‌ මේ දරුවා ළඟට යන්න ඕනෙ. පිරිමි කෙනෙක්‌ ගියොත් එයාව ගන්න ලැබෙන එකක්‌ නැහැ. දැනටමත් ප්‍රමාද වැඩියි.

අංජනම අනුව වහාම ක්‍රියාත්මක වූ ගම්වාසීන් දිනිති දැරිය සොයා එම ප්‍රදේශයට යන්නට සූදානම් වූහ. දැරිය සොයා යන පිරිසගේ ආරක්‍ෂාවට දේවාලයෙන් මැතිරූ පොල් ගෙඩියක්‌ සහ දෙහි ගෙඩි කීපයක්‌ද ලැබී තිබිණි.

මේ අතර වනාන්තරය තුළ සිටින පිරිසට ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාගත් ගම්වාසීන් අංජනමෙන් ලැබුණු තොරතුරු කියන්නට වූහ.

ඔය කියන ගල් තලාව ළඟ තමයි අපි ඉන්නෙ. අපේ කණ්‌ඩායමේ කාන්තාවෝ කීප දෙනෙක්‌ ඉන්නවා. අපි ඒ අයත් එක්‌ක දරුවා ඉන්නව කියන ඉසව්වට යන්නම්.

පොලිස්‌ නිලධාරීන් පහරිය ගම්වාසීන්ට කීහ. ගල්තලාවේ සිට නැගෙනහිර දිසාවට කිලෝ මීටර් දෙක තුනක්‌ ගමන් ගත් කණ්‌ඩායම ඒ අවට ප්‍රදේශය පරීක්‍ෂා කරන්නට වූහ.

පුදුමයකි. ගන වනාන්තරය මධ්‍යයේ වූ කටු පඳුරක්‌ යට නිසොල්මන්ව සිටගෙන සිටින දැරියගේ ඡායාව විදුලි පහන් එළියෙන් පිරිස දුටුවෝය.

“අනේ දෙවියනේ දෙවියන්ට ස්‌තුති වන්ත වෙන්න ඕනෙ. කෙල්ල නිරුපද්‍රිතව ඉන්නවා.

ගම්වාසීන් දෙවියන්ට පිං දෙන්නට වූහ. පැය දොළහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ තමන් ගෙවා දැමූ අති දුෂ්කර ගමනේ වෙහෙස මොහොතකින් දුරුව ගොස්‌ තිබිණි.

කණ්‌ඩායමේ සිටි එක්‌ කාන්තාවක්‌ ඉදිරියට ගොස්‌ සුදු බබා සුදු බබා යනුවෙන් ආමන්ත්‍රණය කළාය.

ඒ සැණින් දැරිය “ඕහ්” යනුවෙන් ඊට පිළිතුරු දුන්නාය.

සුදු බබා අපි ආව ඔයාව හොයාගෙන. මෙහාට එන්න.”

දිනිති දැරියට කතා කළ කාන්තාව ඇය අසලට ගියාය. ඒ සැණින් දැරිය ඇය වෙත පැමිණ ඇයට තුරුළු වූවාය. දැරිය සෙවීමේ භාරධුර කාර්යයට සම්බන්ධ වී සිටි කොයි කාගේත් දැස්‌ කඳුළින් තෙත්ව ගොසින්ය. ඒ සතුටු කඳුළුය. කාගේත් හදවත් තුළ සිරවී තිබූ මහා බරක්‌ සැහැල්ලුවක්‌ මෙන් දැනෙන්නට විය. කවුරුත් සුසුම් හෙළා හද සැහැල්ලු කර ගත්හ.

ඒ වන විට කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා ඇතුළු කණ්‌ඩායමද එම ස්‌ථානයට පැමිණ සිටියහ. පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පුංචි දැරිය තුරුළු කරගත්තේ මහා ජයග්‍රහණයක්‌ ලැබූවකු ලෙසය.

පුතේ ඔයා කොහෙද මේ ආවේ.

නුවන් පෙරේරා පුංචි දිනිතිගේ හිස අතගාමින් විමසුවාය.

“තාත්තව සොයාගෙන ආවා. ඇය උත්තර දුන්නාය. “ඔයාව කවුද එක්‌කගෙන ආවෙ. ඔයා කොහොමද මේ කැලෑව ඇතුළෙ තනියම සිටියේ”

පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා දැරියගෙන් තවත් ප්‍රශ්න කීපයක්‌ විමසුවද ඒවාට කිසිදු පිළිතුරක්‌ නැත. දැරිය තුෂ්නිම්භූතව සිටින ආකාරයක්‌ පෙනෙන්නට විය.

පොලිස්‌ නිලධාරීන් සහ ගම්වාසීන් ආපසු පහරිය ගමට එන්නට පිටත් වුණේ පුංචි දිනිතිගේ ජීවිතය බේරා ගැනීමට ලැබීමේ මහා ප්‍රීතිය බුක්‌ති විඳිමින්ය.

“අනේ මගේ රත්තරන් දුවේ උඹ කොහෙද අපිව දාලා ගියේ. මගේ සුදු දුවේ උඹ නැතිව කොහොමද මම එක මොහොතක්‌ ජීවත් වෙන්නෙ”

දිනිතිගේ පියා ඇය තුරුළු කරගෙන හඬන්නට වූවේය. ඒ වන විට 30 වැනිදා අලුයම 4.00 පසුවී තිබිණි. දිනිති දැරිය නිවසේ සිට කිලෝ මීටර් 15 කට වැඩි දුරක්‌ රක්‍ෂිත වනාන්තරය තුළ ගමන් කර තිබිණි.

නුවන් පෙරේරා මහතා දැරියගේ පාද පරීක්‍ෂා කළේය. පුදුමයකි. එහි කිසිදු තුවාලයක්‌ හෝ සීරිමක්‌ නැත. දැරිය මේ තරම් දුර පාවහන් යුවළක්‌ නොමැතිව ගමන් කළද කිසිදු සීරීමක්‌ හෝ නැත.

ඒ මොහොතේම දිනිති කරුවලගස්‌වැව රෝහලට ඇතුළත් කරන්නට පොලිසිය කටයුතු කළේය. පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කළාය.

දැරිය සොයා මහ වනාන්තරයට ගිය පොලිස්‌ නිලධාරීන් සහ ගම්වාසීන් කැලෑව තුළ අන්දමන්දව සිටියදී ඇය සිටින ස්‌ථානය පිළිබඳව නිවැරැදි තොරතුරු ලබා දුන්නේ පහරිය දේවාලයෙන්. මේක අපට හිතා ගන්නටවත් බැහැ. ඒත් ඇත්ත ඒකයි.

කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා කීවාය. සැබැවින්ම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම පහරිය ගම්වාසීන් මහා අභියෝග භාරගෙන කළ ක්‍රියාවට පිංසිදු වන්නට දිනිති දැරිය අද ජීවතුන් අතරය.

එහෙත් තුන් හැවිරිදි දැරිය තබ්බෝව රක්‍ෂිතය තුළ රාත්‍රි කාලයේ මේ තරම් දුරක්‌ ගමන් කළේ කෙසේද යන්න වූ ගැටලුවට තවමත් පිළිතුරක්‌ නැත.

ළමයා කැලෑවට ගියේ බූතාවේෂයකින්. ඔය ළමයාගේ ආච්චිත් මීට අවුරුදු 35 කට 40 කට උඩදී ඔය කැලෑවට ගිහින් අතුරුදන් වුණා. අද වෙනකල් ඒ මනුස්‌සයා ගැන තොරතුරක්‌ නැහැ.

ගම්වාසීන් පැරණි මතකයන් නැවත මෙනෙහි කරන්නට වූහ. දිනිති දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිඡ්වේ ආර්යා රෝහලට ඇතුළු කළාය.

නවීන ලෝකය අංජනම් විශ්වාස කරන්නේ නැත. එහෙත් පොලිසිය සහ ගම්වාසීන් පවසන්නේ පහරිය දේවාලයේ මෑණියන් යෑවූ අංජනම නිසා දැරිය බේරා ගැනීමට හැකිවූ බවයි.

දරුවා කිසියම් අද්භූත බලවේගයක්‌ ඔස්‌සේ වනාන්තරයට රැගෙන යන්නට ඇති බවද ගම්වාසීහු පවසති. එයද තහවුරු කිරීමට සාක්‍ෂියක්‌ නැත.

එහෙත් ගන වනාන්තරය තුළ රාත්‍රි කාලයේ තුන් හැවිරිදි දැරියකට නිරුපද්‍රිතව මේ තරම් දුරක්‌ ගමන් කිරීම කෙසේවත් විශ්වාස කළ නොහැක. ඇය එසේ ගමන් කළේ කෙසේද යන්න සොයා ගන්නා තුරු අද්භූත බලවේගයක්‌ දැරිය රැගෙන ගිය බවට පවතින මතය බැහැර කළ හැකිද?

දැරිය අතුරුදන් වීම පිළිබඳව පැමිණිල්ල ලද සැණින් ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නීතිඥ සෙනරත් සඳුන්ගහවත්ත, සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත නානායක්‌කාර, කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා ඇතුළු නිලධාරීන්ගේ කැපවීම නොවන්නට දිනිති දැරිය ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress