අදින් වසර 510ට පෙර (1505) මෙරටට ගොඩබට පෘතුගීසි නාවික බලකාය
Posted on October 20th, 2015

චානක බණ්ඩාරගේ

 15/10/2015 දින මෙම වෙබ්අඩවියේ පළවූ ‘15/10/1505 (510 years ago to date) is the day that the Portuguese first landed in Colombo, Sri Lanka’ යන ලිපියේ සිංහල පරිවර්තනය

1505 වසරේ ඔක්තෝබර් මස මැද සමයේ කපිතාන් ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුත් යුධ නැව් 9ක් ඉන්දියාවේ කල්කටාවෙන් සහ ඉන්දියන් සාගරයේ මාලදිවයින් දුපත් වලින් තම නැව් සඳහා අවශ්‍ය කරන නාවික කඹ සොයා ගත නොහැකිව නැවත පෘතුගාලය වෙත යාමට තීරණය කරන ලදී. ශ්‍රී ලංකාව පිළිබඳව අල්මේදා දැන සිටියේ නැත. මාලදිවයිනේ සිට ආපසු යන ගමනේදී ඈත ක්ෂතිජයේ තද කොළ පැහැති ගස් කොළන් සහිත දිවයිනක් ඔහුගේ නැවියෝ දුටුහ. එම දිවයින (ශ්‍රී ලංකාව) වෙත ඉතා ඉක්මනින් ගිය නැව් පංතිය ගාලු වරායට සෙන්දුවී එහි නැන්ගුරුම් ලා ගත්හ.

මෙම සිද්ධියට පරම්පරා දෙකක කාල පරිච්චේදයකට පෙර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිය පරෙවි සංදේශයේ 84වැනි කවියෙන් ගාලු පුරය වර්ණනා කර තිබුනේ එහි සාප්පුවල මුතු, මැණික්, රත්‍තරන් ප්‍රදර්ශනයට තබා තිබු අයුරින් කෙනෙකුට සිතෙනුයේ මුළු මහත් මුහුදු පත්ලම හරා ඇද්දෝයි කියායි.

ගාල්ලේ නැන්ගුරුම්ව තිබියදී නැව් වලට අවශ්ය අලුත්වැඩියා කටයුතු කරගන්නා ලදී. තමනට අවශ්‍ය නාවික කඹද පෘතුගීසිහු ගාල්ලෙන් සොයා ගත්හ. දින ගනණාවක් සඳහා අවශ්‍ය ආහාර පාන සහ ජලය ඔවුහු එක්රැස් කර ගත්හ. මේ සිය නව ගමන් මාර්ගය උදෙසායි. ඒ, ශ්‍රී ලංකාවේ කොලොම්තොට (කොළඹ) කරා යාත්‍රා කිරීමයි.

කොළඹ වෙත ගොඩබිමට කිට්ටුවෙන්ම ඔවුහු යාත්‍රා කළහ. මෙම අපුරු දිවයිනේ චමත්කාරජනක දර්ශනයෙන් ඔවුහු මවිතයටත්, සතුටතත් ඔවුහු පත් වුහ. ඔවුන් මාලදිවයිනේ සහ කල්කටාවේ දුටුවේ වියලි, කර්කෂ භුමින්ය. නමුත් ශ්‍රී ලංකාව අසිරිමත්, සාරවත් දේශයක් බව ඔවුහු දුටුහ. මුහුද දෙසට නැමුණු පොල් ගස් වලින් නික්මුණු ප්‍රනීත සුවඳ ඔවුහු ආශාවෙන් ආශ්වාස කළහ. සැම තැනකම තද හරිත වර්ණ වෘක්ෂ, සහ වනාන්තරද, කඳු මත ගොඩ නගා ඇති සුදෝ සුදු බෞද්ධ චයිත්‍යයන්ද ඔවුහු ආශාවෙන් නැරඹුහ. අප දිවයිනට ඒමට පෙර ඉමහත් දුර්මුඛ මානසිකයෙන් හෙබි පෘතුගීසීහු අප දිවයින දැකිමෙන් නව ජීවයක් ලබා ගත්හ. මේ සුන්දර, රමණිය දිවයින සොයා දීම ගැන සිය දෙවියන්ට ඔවුහු ස්තුති පුද කළහ.

1505 ඔක්තෝබර් 15 දින පෘතුගීසි නාවික බලකාය කොළඹ වරායට සේන්දු වුහ.

කොළඹ මෝදර මුස්ලිම් පල්ලි දෙකක් පෘතුගීසින් දුටුහ. පිරිමි සහ ගැහැණු ළමුන් ධීවර ගී ගයමින් මසුන් පිරි දැවැන්ත මාදැලක් අදිනු ඔවුහු දුටුහ. කොළඹ වරායේ නවාතා තිබු නැව් රාශිය දැක පෘතුගීසීහු විශ්මයට පත්වුහ. නැව් වලට සපයන අපනයන භාණ්ඩ අතර දළ ඇතුන්, කොප්පරා, අලුත් පොල් (ගෙඩි), කුරුඳු සහ වටිනා දෑව වර්ග ආදිය විය.

කෝට්ටේ එවකට සිටි ධර්ම පරාක්‍රමබාහු රජතුමාට (8වන පරාක්‍රමබාහු) සුදු හමැති පෘතුගීසීන්ගේ නැව් පංතියේ පැමිනීම එසැනින්ම සැල විය. ඔහුගේ චර පුරුෂ සේවයට අනුව පැමිණි ආගන්තුකයන් නරක අයවුන් නොවිය. තමන්ගේ පැමිනීම ගැන අල්මේදා රජතුමාට දැන්වීමට සැලැස්විය. මේ පැමිණ සිටින්නේ පෘතුගාල රජුගේ දුතයන් බවත් කපිතාන් අල්මේදා යනු එවකට ඉන්දියාවේ (කල්කටාවේ) සිටි පෘතුගීසි රජුගේ ප්‍රථම නියෝජිතයාගේ පුතා බවටත් රජතුමාට දැනගැනීමට ඔවුහු සැලස්වුහ. තමනට රජතුමා හමුවීමට අවැසි බව ඔවුහු අවධාරණයෙන් සැල කර සිටියහ. තමා හමුවීමට අවස්ථාව දෙන ගමන්, කොළඹ වරාය තුල ජලය සහ දර සෙවීමට සිංහල වැසියන් පෘතුගීසින්ට කරන ලද අවහිරතා පිළිබඳව රජතුමා තම කණසල්ල පෘතුගීසින් වෙත පිරිනැමිය. ඒ අතරම, පෘතුගීසි නැව් වල තිබු කාලතුවක්කු පෙන්වා සිය රට වැසියන් නැවත බිය නොවද්දන මෙන් ඉල්ලීමක්ද රජතුමා පෘතුගීසින්ගෙන් කර සිටියේය.

රජු හමුව සඳහා අල්මේදා තම දුතයා වූ ෆ්රැන්කෝ කොට්‍රින්ව යැවිය. රජ මාලිගය වෙත ඔහුව ගෙන ගියේ ගංගා, කඳු, තරණය කර දින 3ක් ගෙවා, අති දුරස්ථ වූ දුෂ්කර මාර්ගයකිනි. ඇත්ත හැටියෙන් නම් ඒ ගමන පැයකින් කල හැකිව තිබුණි. ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’ යන පිරුළ අප අතර ඇත්තේ එබැවිනි.

මෙවැනි ධීර්ග මාවතක් තෝරාගැනීමට හේතුව රජතුමා සහ රාජධානිය ගැන විස්තර පෘතුගීසින්ගෙන් වසං කර තැබීමටයි.

පැවතී සාකච්චාවලදී පෘතුගිසි නියෝතවරයා රජතුමාට සැලකර සිටියේ ඔවුහු රජතුමා සමඟ වෙළඳ සහ වාණිජ කටයුතු සිදු කිරීමට කැමති බවයි. එසේ කිරීමට නම් රජතුමා තම පෘතුගාලයේ සිටින රජතුමා වෙත පඩුරු/ත්‍යාග යැවිය යුතු බව හේ පැවසිය. තම රජුද එවැනි පඩුරු/ත්‍යාග ඉන්පසුව එවන බවද දැන්විය. තමන්ගේ යෝජනා රජතුමා පිළිනොගත හොත් ඔහුට දඩුවම් කිරීමට සිදුවියහැකියයි තර්ජනයක්ද කළේය. පෘතුගාල නාවික හමුදාව එවක ලොව සිටි ප්‍රබලතම නාවික හමුදාවක් බවත් රජතුමා තමන්ගේ යෝජනාවලට එකඟ වුවහොත් රජතුමාට අවශ්‍ය මුහුදු ආරක්ෂාව තමනට ලබා දිය හැකි බවද පෘතුගාල නියෝජිතයා රජතුමාට සැල කර සිටියේය.

 කපටිකමින් අනුන වූ පෘතුගාල දුතයා රජුට පෙන්වුයේ තමන්ට ශ්‍රී ලංකාව අයිති කරගැනීම පිළිබදව කිසිම ආශාවක් නැති බවත් තමන්ගේ එකම උවමනාව ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සහ වාණිජ කටයුතු පටන් ගැනීමත් ඉන්දියාව සමඟ (කල්කටා) තමන්ගේ දැනට පවත්නා විශාල පරිමානයේ වෙළඳ සහ වාණිජ කටයුතු සඳහා ශ්‍රී ලංකාව තාවකාලික නාවික නැවතුම් පලක් බවට පත් කර ගැනීමත් බවය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් (treaty) අත්සන් කල යුතු බවද හේ පැවසිය.

රජතුමා මේ සමන්ධව සිය ඇමති මණ්ඩලය සමඟ (එයින් හතර දෙනෙක්ම ඔහුගේ සොහොයුරෝ වුහ) සාකච්චා කළේය. එහිදී තීරණය වුයේ මෙම රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම එකෙහිනිම අත්සන් තැබිය යුතු බවයි. ඒ අනුව ගිවුසුමට ඔවුහු අත්සන් තැබුහ. ගිව්සුම ප්‍රකාරව රජතුමා වසරකට කුරුඳු අති විශාල ප්‍රමාණයක් (රාත්තල් ලක්ෂ 2ක් පමණ) පෘතුගාලය වෙත තුටු පඳුරු ලෙස සැපයිය යුතු වීය.

ගිවුසුම අත්සන් කිරීමෙන් පසුව පෘතුගාල නියෝජිතයා තම නැව් වෙත රැගෙන ගොස් බැහැරන ලදී.

සාකච්චාවන් වලින් ලද අති සාර්ථක ප්‍රතිපල ගැන අල්මේදා අති මහත් ප්රීතියට පත් විය. ලැබූ ජයග්‍රහණය සමරනු වස් සිය නැව් වල කාලතුවක්කු වලින් අහසට වෙඩි තබනු ලැබිය. වෙඩි හඬ ඇසුණු කොළඹ වැසියෝ අති මහත් භීතියට පත්ව අවට ඇති කැළයන්හි සැඟ වුහ. කොළඹවාසින් එයට පෙර කිසිදාක කාලතුවක්කු වෙඩි හඬවල් අසා නොතිබුණි.

අල්මේදා ඉතා විගසින් ශ්‍රී ලංකාවට අදාළව තානාපතිවරයෙක් පත් කළේය. ඔහු පයෝ ද සුසා විය. මෙම තානාපතිවරයා රජතුමා වෙත යැවිමට අවශ්‍ය බව ඔහු කීය. තානාපතිවරයා රැගෙන යාමට රජතුමා අලි ඇතුන් එවිය. මෙවරද රජ මාලිගයට ගියේ දින 3ක් ගෙවා දුර බැහැර මාර්ගයෙනි. නමුත් කොළඹ වරායේ නවත්වා ඇති තම නැව් වල කාලතුවක්කු වෙඩි හඬ කෝට්ටේ රජවාසලට ඇසීමෙන් රජතුමා තමන් රැවටු බව තානාපතිවරයා දැන ගත්තේය. මෙම වෙඩි තැබීම කෝට්ටේ එවිට සිටි තානාපතිවරයාට ඇසේදැයි බැලීමට අල්මේදා විසින් කරන ලද්දකි.

රජතුමා සමඟ ඉතා සුහද සාකච්චා තානාපතිවරයා පැවැත්විය.

කෝට්ටේ රාජධානිය සතු ධනය සහ එහි සශ්‍රීකභාවය පිළිබඳව තානාපතිවරයා විශ්මයට පත්විය. ඔහුගේ දෑසින් දුටු මැණික්, රත්‍තරන් සහ වෙනත් ස්වර්ණාභරණ ඔහුටම ඇදහිය නොහැකි තරම් විය. රජතුමා තානාපතිවරයාවෙත රනින් කල අක්තපත්‍රයක් පිළිගැන්විය. එහි අකුරු ලියා තිබුනේ සිංහලෙනි.
ආපසු නැවට පැමිණි තානාපතිවරයා අල්මේදා විසින් ඉතා හොඳින් පිළිගැනුණි. ඔහුව රැගෙන ආ සිංහල රාජ සේවකයන්ද ඉතා හොඳින් පිළිගැනුණි, ඔවුන් වෙත විශේෂිත භෝජන සංග්‍රහයක්ද පැවැත්විණ. භෝජන සංග්‍රහයට පාන් සහ රතු වයින් අඩංගු විය. සිංහලයෝ මෙවැනි ආහාර වැළඳු ප්‍රථම අවස්ථාව මෙය විය. පරන්ගීහු ගල් කා ලේ බොන බව සිංහලයා එදා කිවේ එහෙයිනි.

පොරොන්දු වූ කුරුඳු තොගය එදිනම පෘතුගීසි නැව් වලට පැටැවිණි. කෝට්ටේ රජුගෙන් පෘතුගාල රජ වෙනුවෙන් ඇත් පැටවූ 2ක් ත්‍යාග වශයෙන් පිරිනැමුණි. මුහුදු ගමනේදී ආහාර පිණිස ජීවත්වෙන කුකුලන් රාශියක් නැව් වලට පැටැවිණි. පිරිසිඳු පළතුරු විශාල ප්‍රමාණයක් (කෙසලේ, අඹ, අන්නාසි, තැඹිලි ආදිය) නැව්වලට පැටැවිණි. පෘතුගීසීන්ගේ ඉල්ලීමට ඉඩ දෙමින් ඔවුනට තම රජතුමාගේ නිල මුද්‍රාව සහ ක්‍රිස්තු කුරුසය කොළඹ වරාය තුල ගලක කෙටීමට ඉඩ දෙනු ලැබිය (කොලඹ වරායේ මේවා අද දවසටත් දක්නා ඇතැයි කියත්). පිටත්වීමට කලින් ඒ ස්ථානයේ කුඩා කතෝලික දේවස්ථානයක් සාදා එහි කතෝලික පුජාවක් පැවැත්වීමටත් අනුමැතිය ලැබුණි. මේ, ශ්‍රී ලංකාවේ පැවැත්වූ ප්‍රථම දිව්‍ය පුජාව විය හැකයි. පල්ලියට අසලින් කුඩා කර්මාන්තශාලාවක් සැදීමත් එහි ස්ථිර මට්ටමින් පෘතුගිසි සේවකයන් කිහිප දෙනක් නවත්වා තැබීමටත් අවසර ලැබුණි.

නැව් සමුහය පෘතුගාලයේ ලිස්බන් වරායේදී වීරවරයන් මෙන්, මහත් වූ හරසරයෙන් පිලි ගනු ලැබුහ. නැව් කාණ්ඩයේ අති මහත්වූ සාර්ථක ප්‍රතිපල පිළිබඳව පෘතුගාලය තුල ඒ වනවිට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී තිබුණි. ලොරෙන්සෝ ද අල්මේදා අද්මිරාල් තනතුරට උසස් කරන ලදී. ත්‍යාග කරන ලද දළ ඇතා (එක් ඇතෙක් මුහුදු ගමනේදී මියගොස් තිබුණි) පෘතුගාලයට පා තැබූ ප්‍රථම අලියායි.

පෘතුගාලයේ මැනුවෙල් රජතුමා (1495 – 1521), පුද්ගලිකව සහභාගී වූ දේව මෙහෙයක් ලිස්බන්හි දී 21/12/1507 දින පැවැත්විණි. එහිදී දෙවියන් වහන්සේ විසින් එරටට ලබාදුන් අනගි ත්‍යාගය (ශ්‍රී ලංකාව) පිලිබඳ තුති පිදීමක් විය. මැනුවෙල් රජතුමා 1507 වසරේදී එවකට සිටි පාප්තුමා වූ පාවුළු ජුලියස් II තුමාට (1443 – 1513),තම රටට ලැබුණු මහඟු ත්‍යාගය ගැන ලියා දැන්විය.

කෝට්ටේ රාජධානිය තුල යුධ කඳවුරක් සහ කොළඹ නගරය තුල කොටුවක් (fort) තැනිය යුතු බව පෘතුගාල රජතුමා අණ කළේය. එවකට ඉන්දියාවේ (කල්කටාවේ) සිටි පෘතුගීසි රජුගේ ප්‍රථම නියෝජිතයා (ලොරෙන්සෝ අල්මේදාගේ පියා, ෆ්රැන්සිස්කෝ අල්මේදා) මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සිට තම කටයුතු කල යුතුයයි පෘතුගාල රජතුමා නියම කළේය. පෘතුගාල රජයේ ඉදිරි ආසියාව සම්බන්ධවූ වැඩපිළිවෙලවල් ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවිය යුතු යයි අන්ග්යාවක් දෙනු ලැබිය.

ශ්‍රී ලංකා රජු වෙත සුදුසු තුටු පඩුරක් යැවිය යුතු බවට පෘතුගාල රජතුමා නියම කළේය.

කෝට්ටේ රාජධානිය සහ පෘතුගාලය අතර පැවතී මේ පුදුමාකාර, තදබල මිත්‍රත්වය රඳා පැවතියේ මාස කිහිපයක් පමණි.

පෘතුගීසි හමුදා විසින් කොළඹ වරායෙන් පිටවන සියලු නැව් තම පරික්ෂාවට භාජනය කරවිය. මෙයට මුස්ලිම් නැව් හිමියෝ සහ සිංහල වෙළදුන් විරෝධය පෑහ.

ශ්‍රී ලංකා සමාජය ක්‍රිස්තියානිකරණය වීම සහ බුද්ධාගමට පෘතුගීසින්ගෙන් ඇතිවූ තර්ජන සහ ඔවුන්ගේ අයහපත් කල් ක්‍රියා නිසා සාමාන්‍ය වැසීයන්ට පෘතුගීසින් එපාවී තිබුණි.

1518දී පෘතුගීසින්ට කොළඹ කොටුවක් සැදීමට රජතුමා අවසර දුන්නේය.

1519දී ධර්ම පරාක්‍රමබාහු රජතුමා මිය යනවිට පෘතුගීසීහු ශ්‍රී ලංකාවේ සිය පියවර මැනවින් සටහන් කරගෙන තිබුණි. ධර්ම පරාක්‍රමබාහු ට පසුව රජවුයේ ඔහුගේ සොහොයුරු විජයබාහුයි. ඔහු 1521 වෙනතුරු රජකම් කළේය.  

1521දී විජයබාහු රජුගේ පුතුන් තිදෙනා සිය පියා ඝාතනය කර කෝට්ටේ රාජධානිය තම තමන් අතර බෙදා ගත්හ (‘විජයබා කොල්ලය’ නවකථාව කියවන්න). වැඩිමහලු, බුවනෙකබාහු කෝට්ටේ රජකමටත් සෙසු සහෝදරයන් දෙදෙනා සීතකවක සහ රයිගම රාජධානිත් සාදාගත්හ. බල පරාක්‍රමයෙන් සහ දක්ෂකමින් අග තැන්පත් සීතාවක රජවූ මායාදුන්නේ බුවනෙකබාහුගේ කෝට්ටේ රාජධානියෙන් කොටස් වරින්වර අල්ලා ගත්තේය. මේ අනුව ආරක්ෂාව පතා බුවනෙකබාහු පෘතුගීසින් කරා බෙහෙවින් යොමු විය. මේ අනුව, දිගින් දිගටම පෘතුගීසින් වෙත කුරුඳු ත්‍යාග පිරිනැමීමටත් වෙනත් තුටුපඳුරු පිරිනැමීමටත් ඔහුට සිදු විය. පෘතුගීසි බලය මැඩිමට මායාදුන්නේ එවකට කල්කටාවේ පෘතුගීසින් සමඟ සටන් වැදී සිටි සැමොරියන්වරුන්ගෙන් උදවු උපකාර ලබා ගත්තේය.

මායාදුන්නේ සහ පෘතුගීසින් අතර දැවැන්ත සටන් ඇති විය. මායාදුන්නේගේ පුත්, රාජසිංහ (සීතාවක රාජසිංහ) පියා මෙන්ම දක්ෂ රණ ශූර රජෙක් විය.

මුහුදු නාවුක ශක්තිය නොමැතිවීම කොට්ටේ සහ අවට රජවරුන්ට තිබු බලවත් අඩුපාඩුවක් විය.

ක්‍රමානුකුලව පෘතුගීසින් මුළු කෝට්ටේ සහ ඒ අවට කුඩා රාජධානි අත් පත් කර ගත්හ.

1565දී ඔවුහු සිය රාජධානිය කෝට්ටේ සිට කොළඹට ගෙන ගියහ.

බුවනෙකබාහුගේ අභාවයෙන් පසු ඔහුගේ මුනුබුරු ධර්මපාල කුමරා (දොන් ජුවන් ධර්මපාල) රජ විය (1551 – 1597).   ධර්මපාල කුමරුට සහාය දෙනමෙන් බුවනෙකබාහු 1543දී පෘතුගීසින් සමඟ සම්මුතියකට එළඹී තිබුණි. ධර්මපාල රකින බවට පෘතුගීසින් කැප වුහ. නාම මාත්‍ර රජෙක් වූ ධර්මපාල සැබවින්ම පෘතුගීසින් විසින් පාලනය කරන ලද ‘පඹ රජෙක්’ විය. ෆ්රැන්සිස්කන් වරුන් විසින් අධ්‍යාපනය ලබා දුන් ධර්මපාල කතෝලික භක්තිකයෙකු ලෙස බවුතිස්ම ලැබුවේය. ශ්‍රී ලංකාව පාලනය කල එකම සහ අවසාන කතෝලික රජතුමා ධර්මපාල විය. ඔහුගේ සහකාරියක් වූ, දෝන කැතරිනා, පසුව කෝනප්පු බණ්ඩාර හා විවාහ විය. මොහු, පසුව විමලධර්මසුරිය නමුන් උඩරට රාජධානිය පාලනය කළේය (‎1592–1604).

1559දී ඇතිවූ මුල්ලේරියාව සටන (මායාදුන්නේ සහ පුත් රාජසිංහ එකමුතුව) සහ 1594දී ඇතිවූ දන්තුරේ සටන සිංහලයන් විසින් පෘතුගීසින් වෙත විශාල හානි සිදුකල සටන් වේ. මුල්ලේරියා සටනින් එහි වගුරු බිම් ලේ පැහැ විය. දන්තුරේ සටනින් මුළු පෘතුගීසි හමුදාවක්ම සමුලඝාතනය කිරීමට සිංහලයෝ සමත් වුහ. දන්තුරේ (මහනුවර නගරයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි ගම්මානයකි – අද, ගන්නොරුව) සටන පැරදුනි නම් කන්ද උඩරටද අල්ලා ගැනීමෙන් පෘතුගීසින්ට මුළු ශ්‍රී ලංකාවම අල්වා ගතහැකි වනු ඇත. මේ සටන මෙහෙයවුයේ විමලධර්මසුරිය රජතුමායි.

මුළු රටම (ශ්‍රී ලංකාවම) අල්වා ගැනීමේ පෘතුගීසි සිහිනය කිසිදා සැබෑ නොවිය.

1658දී ලන්දේසි සහයෙන් පෘතුගීසින් මෙරටින් පනවා දමනු ලැබීය.

බ්‍රිතාන්‍යයන් (1798- 1948) මෙන් නොව, රටේ ආර්ථිකය සරු කිරීමට පෘතුගීසීහු මුකුත් නොකළහ. ඔවුන්ගෙන් මෙරටට ලැබුණු ප්‍රධානතම ලැබීමක් නම් කතෝලික දහමයි. මෙය ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ට මහඟු දායාදයක් බව නොරහසකි.

නමුත්, මේ දායාදය පෘතුගීසින් මේ රටට පිරිනැමුවේ ශුද්ධ වූ කතෝලික ධර්මතාවන්ට අනුව නොවේ. කතෝලික ආගම ව්‍යාප්ත කිරීම සඳහා පෘතුගීසීහු බෞද්ධ පන්සල්, පිරිවෙන්, පුස්ථකාල රාශියක් ගිනිතබා විනාශ කළහ. වෙරළාසන්න බෞද්ධයන් හට නොයෙක් අයුතු ලාබ ප්‍රයෝජන ලබා දී ඔවුන්ව කතෝලික ආගමට හරවා ගත්හ. උදාහරණයක් ලෙස කතෝලික වූ බෞද්ධයන් සහ පෘතුගීසි නම් ගත් සිංහලයන් පෘතුගීසි ආණ්ඩුව වෙත ගෙවිය යුතු නොයෙක් බදු , ආදායම් බදු ආදිය ගෙවීමෙන් නිදහස් කළහ.

මෙම සිංහල පරිවර්තනය මුල් ඉංගිරිසි ලිපියේ කතුවරයා විසින්ම වේ

පසු සටහන්:

සිංහලයන්ගේ අහිංසකත්වයෙන් සහ ආගන්තුක සත්කාරයෙන් පෘතුගීසීහු අයුතු ප්‍රයෝජන ගත්හ.

ලොරන්සෝ ද අල්මේදාගේ ක්‍රියාවන් විමර්ශනය කිරීමේදී විද්‍යාමාන වන්නේ ඔවුන් නාවික භටයන්ට වඩා මුහුදු කොල්ලකරුවන්ට සමාන කල හැකි පිරිසක් බවයි. ඉන්දියන් සාගරයේදී, මැද පෙරදිග සහ අපරදිග බලා යාත්‍රා වූ සහ එහි සිට පැමිණි නැව්, විශේෂයෙන්ම මුස්ලිම් නැව්, මේ අය කොල්ලකන ලදැයි සැක කරන කරුණු සාධක ඇත.

නැව් 9කින් පමණක් පැමිණ මේ තරම් ලේසියෙන් රාජ්‍යයක් කොල්ල කෑමට ඔවුනට හැකි වීමෙන් පෙන්වන්නේ (ක්‍රමානුකුල, කාලාන්තරයක් තුල බව සත්‍යකි) එවකට සිටි කෝට්ටේ රජු කොතරම් අඥයානවන්ත රජෙක්ද යන්නයි.

වෙරළබඩ බෞද්ධ සිද්ධස්ථාන කැඩීමෙන් ලැබුණු ගල්, කොළඹ කොටුව සැදීමට යොදාගත් බව ‘16th Century Clash of Civilizations” නමැති ග්‍රන්ථයේ සඳහන් වන බව පැවසේ.

ලන්දේසින් සහ බ්‍රිතාන්‍යයන් මෙන් නොව පෘතුගීසින් සාමාන්‍ය ශ්‍රී ලංකික වැසියන් සමඟ කුළුපග ආශ්‍රයක් ඇතිව ජීවත් වුහ (සාමය පැවති සමයන්හි). බොහෝ පෘතුගීසින් සිංහල කාන්තාවන් විවාහ කර ගත්හ. මෙයට පෘතුගාල රජය කෙලින්ම අනුබල දුන්නේය. මේ නයින් ‘බර්ගර්’ නමින් වූ නව ජාතියක ආරම්භය මේ රටේ ඇතිවිය.

 

4 Responses to “අදින් වසර 510ට පෙර (1505) මෙරටට ගොඩබට පෘතුගීසි නාවික බලකාය”

  1. S.Gonsal Says:

    Very colourful. Thank you Bandarage.
    When we read this, we get the feeling of history repeating. Having a foolish king made us bloody fools of Indian ocean.

  2. Independent Says:

    “තමන්ගේ යෝජනා රජතුමා පිළිනොගත හොත් ඔහුට දඩුවම් කිරීමට සිදුවියහැකියයි තර්ජනයක්ද කළේය.”

    “රජතුමා මේ සමන්ධව සිය ඇමති මණ්ඩලය සමඟ (එයින් හතර දෙනෙක්ම ඔහුගේ සොහොයුරෝ වුහ) සාකච්චා කළේය. ”

    “කෝට්ටේ රජුගෙන් පෘතුගාල රජ වෙනුවෙන් ඇත් පැටවූ 2ක් ත්‍යාග වශයෙන් පිරිනැමුණි.”

    මුග්ධ රජතුමා තමන් ගේ පුක බේරාගැනීමට කල​ ගොන් වැඩ නිසා රටම අමාරුවේ වැටින​.
    ලොරෙන්සෝ අද මෙන්ම් එදාත් සිංහලයා රවටා ඇත​. පරිස්සම් වන්න.

  3. Independent Says:

    Reading this, it can be concluded that having NO king is 1000 times better than having foolish king.

    Current buggers have already started the loot. Foolish king gone, trying to come back somehow using a non existing Tamil issue. . We need a group of leaders who work cohesively eradicate corruption, the main Enemy now. We have a short time only. The best opportunity.

  4. Chanaka B Says:

    Independent, true corruption is an enemy, but, ‘the main Enemy now’ (as you put it) is the separatist

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress