සිරිසේනලා රණ විරුවන් පාවා දුන් හැටි.
Posted on November 4th, 2015

ලසන්ත වික්‍රමසිංහ යුතුකම සංවාද කවය

අපි වෙනුවෙන් අපි අපිට එරෙහිව අපි

 සිරිසේන මහතා ජිනීවා ගියේ නැත. ඔහු තමාගේ ආදරණීය පුත්‍ර රත්නයද කැටුව ගියේ ගියේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සැසිය සඳහායි. එහිදී ලංකාවට එරෙහි චෝදනා සාකච්ඡා වුයේ නැත. ලංකාවට එරෙහි ක්‍රියාදාමය සිදු වූයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය තුළය. නමුත් සිරිසේන ලංකාවට එන විට රට පුරා පෝස්ටර කටවුට් ගසා තිබුනේ “රණ විරුවන් බේරාගත් ජනපති” කියාය. මේ පච ආණ්ඩුව අපව ගොනාට අන්දවන්න දරන වෑයම එයින්ම මනාවට පැහැඳිලි වේ.

බොරුව අද මේ රටේ ප්‍රධානතම දේශපාලන උපක්‍රමය බවට පත් වී තිබේ.  ‘තාජුඩීන් ඝාතනය’, ‘භූගත මන්දිර’, ‘ආයුධ නැව්’ ආදී තවත් ව්‍යාජ ජවනිකා ඉදිරියට ගෙන එමින් අද අප මුහුණ දී තිබෙන සැබෑ ව්‍යසනය අපගෙන් වසන් කරමින් තිබේ. ලෝකයේ කිසිදු රටක් නොකරන ආකාරයේ ගොන් කමක් වන ලංකාවට එරෙහි යෝජනාවක් ලංකාව විසින්ම ගෙන එමින් නිවට දීන ලෙස ඇමරිකානු සහ බටහිර ඉදිරියේ දණ ගසමින් රණ විරුවන් සහ රට පාවා දෙමින් එම පාවා දීමම “බේරා ගැනීම” ලෙස ප්‍රදර්ශනය කිරීම තරම් ජඩ වැඩක් තවත් ඇත්ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරයාගේ වාර්තාවේ අපගේ රණ විරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ පහත සඳහන්  බරපතල චෝදනා ඔබම කියවා බලන්න. අපගේ රජය් විසින්ම (ඇමරිකාව සමඟ එක්ව) මේ චෝදනා එල්ල කරන්නේ දශක තිහක කුරිරු යුද්ධයක් නිමා කරමින් ලංකාවේ දමිළ දරුවන්ගේ බෙල්ලෙන් සයනයිඩ් කරල ගලවා ඔවුන් පාසල් වෙත යන දිනක් උදා කළ වීරෝධාර ජයග්‍රාහී හමුදාවකට එරෙහිවය. මේ රාජපක්ෂගේ හෝ සිරිසේනගේ හමුදාව නොව, අපේ හමුදාවය. අපි වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ හමුදාවයි.
රජය විසින් අපගේ හමුදාවන්ට එල්ල කර ඇත්තේ ආරක්ෂක හමුදාවකට එල්ල කළ හැකි භයානකම චෝදනා බව ඔබට වැටහී යනු ඇත. වසර විස්සක් යන තුරු සාක්ෂි කරුවන් අනාවරණය නොකෙරෙන මේ සියළු අභූත චෝදනා කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව ඉතා සාදරයෙන් අපගේ රජය විසින් පිළිගෙන, එම යෝජනාවන්හි පාර්ශව කරුවෙකු බවට පත්වීම ඇමරිකානු යටත්විජිතය පාමුල බිම වාඩි ඔවුන්ගෙන් තොණ්ඩුව ඉල්ලා ගෙන ගෙල ලා ගැනිමකි.

ලංකා රජය සාදරයෙන් පිළිගෙන ඇති හමුදාවට සහ රටට එරෙහි බරපතල චෝදනා

  • නීති විරෝධී මිනීමැරුම්
  • ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය
  •  බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම්
  • වධ හිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්
  • සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම
  • මානුෂීය ආධාර වැළැක්වීම
  • විවෘත නොවු කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම

මේ සියළු චෝදනා නඟා ඇත්තේ හමුදාව අතින් සිදු වූ විනය කඩවීමේ සිද්ධීන් ලෙස නොව, ශ්‍රී ලංකා හමුදාව යුධෝපක්‍රම ලෙස මෙම අපරාධ කළ බව පෙනී යන පරිදිය. ඒ බව පැහැදිලිවීම සඳහා ඉහත ඇතැම් චෝදනා ජිනීවා වාර්තාවන්හි නඟා ඇති ආකාරය එලෙසම පරිවර්තනය කළහොත් ඒ මෙසේය.

සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම:

“යුද්ධයේ අවසාන අවදියේ දි සිදු කරන ලද බොහෝ ප්‍රහාර සටන් කිරීම පිළිබඳ අන්තර්ජාතික මානුෂීය නීතියේ මූලධර්ම වලට, විශේෂයෙන්ම වෙනස් කොට හැදින ගැනීමේ මූලධර්මවලට අනුකූල නොවු බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. රජය විසින්ම ‘සටන් මුක්ත කලාප” (No Fire Zones ) ලෙස ප්‍රකාශයට පත් කළ එල්ටිටීඊයේ පාලනය යටතේ පැවති අධික ජන ගහණයෙන් යුත් ප්‍රදේශවල මානුෂීය පහසුකම්වලට සහ රෝහල් වලට රජයේ හමුදා දිගින් දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කළ බව වාර්තාවේ සදහන් වේ. පොදු ස්ථානවලට සහ/හෝ ගැටුම්වලට සෘජු සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂිය නිතිය බරපතල උල්ලංඝණය කිරීමක් වන අතර යුද අපරාධ සේ සැලකිය හැකිය. ගැටුම්වලට කෙළින්ම සම්බන්ධ එල්ටීටීඊ සාමාජිකයන් වැඩි වශයෙන්ම සිවිල් ජනතාව සිටින ප්‍රදේශවල සිටීම සහ ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටීමට සිවිල් ජනතාවට බල කිරීමේ එල්ටීටීඊ ප්‍රතිපත්තිය ද අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමක් විය හැකිය. අන්තර්ජාතික මානුෂීය නිතියට රජයන් ගරු කිරීම විරුද්ධ පාර්ශ්වයේ හැසිරීම මත රඳා නොපවතින අතර එය විරුද්ධ පාර්ශ්වයේ හැසිරිම මත තීරණය ‍වන්නක් නොවේ.”

(300, 000 කට අධික දෙමළ සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් හා ඔවුන්ව බලහත්කාරයෙන් අඟල් එදිකිරීම වැනි යුද කටයුතු සඳහා යොදවමින් එල්ටීටීය සිදු කළ මනුෂ්‍යත්වයට එරෙහි දරුණු අපරාධවලින් ඔවුන්ව නිදහස් කරමින් තම අතපය හා ජීවිතද පුදා ඉන් 290,000කට අධික සිවිල් වැසියන් මුදාගත් වීරෝධාර හමුදාව යුද අපරාධකරුවන් කර ඇති අයුරු!)

විවෘත නොවු කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම:

“එල්ටීටීඊයේ හිටපු සටන්කරුවන් සාමාන්‍ය ජනතාව‍ගෙන් වෙන් කිරීම සදහා කරන ලද පරික්ෂා කිරිමේ ක්‍රියාවලිය අන්තර්ජාතික ප්‍රමිතීන් සැපිරීමට අපොහොසත් වූ අතර නරක ලෙස සැලකීම සහ අපහරණය පහසු කරවීය. විවෘත නොවු අභ්‍යන්තරව අවතැන් වුවන්ගේ කඳවුරුවල පැවති තත්වය සෞඛ්‍ය, හා ජලය හා සනීපාරක්ෂාවට ඇති අයිතිය ඇතුළත් මානව අයිතිවාසිකම් ගණනාවක් උල්ලංගනය කිරීමකි. 300,000 පමණ වන අභ්‍යන්තර අවතැන් වූවන් අන්තර්ජාතික නීතිය අනුව පිළිගත් කාලසීමාවට වඩා කඳවුරුවල රඳවා ගැනීම ඔවුන්ගේ නිදහස අහිමි කිරීමකි. අභ්‍යන්තරව අවතැන් වුවන් ඔවුන්ගේ දෙමළ වාර්ගිකත්වය නිසා සැක කරුවන් ලෙස සලකන ලද බවටත් රඳවා ගත් බවටත් විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. මෙය වෙනස් කොට සැලකිමේ සහ පීඩාවට පත් කිරීමේ මානුෂිකත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකිය හැකිය.”

(එල්.ටී.ටී.ඊ. ය විසින් බිම් බෝම්බ උතුරු පළාත පුරා වළලා සිදු කොට තිබූ යුද අපරාධ වසන් කරමින් නැවත පදිංචි කරන ජනයාගේ ආරක්ෂාවට ඒවා ඉවත් කරීමට රජයට ගතවූ කාලය අපරාධයක් බවට පත් කර ඇත.)

ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය:

“විමර්ශනයේ දී ඔවුන් කම්පාවට පත් කළ සොයා ගැනීමක් වූයේ රැඳවුම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද අතිශයෙන් කුරිරු ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වයයි. එම වින්දිතයන් අතර ගැහැණුන් මෙන්ම මිනිසුන්ද වේ. සම්මුඛ සාකච්ඡා කරන ලද ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වූ වින්දිතයන් 30 කගේ කම්පාවට පත් කෙරෙන සාක්ෂිවලින් පෙනි යන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් හුදකලා ක්‍රියා නොව සිතාමතාම වද හිංසා පැමිණවීමේ දී අනුගමනය කරන සමාන රටාවක සහ සමාන ක්‍රම යොදා ගැනීමේ ප්‍රතිපත්තියේ කොටසකි යන්නයි. එම වාර්තාවේ, ප්‍රශ්න කිරීමේ අවස්ථාවේ දි සිදු කරනලද ලිංගික වද හිංසා සහ බොහෝ විට ප්‍රශ්න කිරීම් සිදු නොවන අවස්ථාවලදි සිදු වූ බව පෙනෙන දූෂණය කිරීම් රටාවන්ද සඳහන් වේ. ගැටුම් පැවති සමයේ හා ඉන් පසුව විවිධ ආරක්ෂක හමුදා විසින් රැඳවුම් මධ්‍යස්ථාන ගණනාවක දී ලිංගික වධ හිංසා සිදු කර ඇත. සන්නද්ධ ගැටුමට අදාල කාලයේ දි සිදු කරන ලදැයි සැලකෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් එකක් හෝ සම්බන්ධයෙන් නීතියෙන් වැරදිකරුවන් කර නැත.”

(ලිංගික ප්‍රචණ්ඩත්වය පවා හුදකලා සිද්ධීන් ලෙස නොව උධ උපායන් ලෙස යොදා ගත් බවට පෙන්වීමට උත්සාහ ගෙන ඇති අයුරු)

මෙම විමර්ශන වාර්තාවේ සඳහන් සියළුම චෝදනා සුපරික්ෂාකාරීව කියවා බලන විට පෙනී යන ඉතාම වැදගත් කරුණක් වන්නේ මේ සියළු වැරදි කිසියම් රටාවක් හඳුනාගත හැකි පරිදි ක්‍රමානුකූලව සැලසුම්සහගතව  සිදු කරන ලද අපරාධ බවට පෙන්වීමට ගන්නා උත්සාහයයි. එහි යටි අරුත වන්නේ මේ අපරාධවලට වගකිවයුත්තේ ඒවාට අණදුන් ඉහළ නිළධාරීන් සහ දේශපාලන අධිකාරිය බවයි.

මෙම සමුළුවෙන් පසුව ගුවන් විදුලියේ ‘සුභාරතී’  වැඩ සටහනට සහභාගී වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ “අපේ අරමුණ හමුදා සොල්දාදුවන් දඩයම් කිරීම නෙමෙයි. ඔවුන්ට අණ දුන් අය හොයලා ඒගොල්ලන්ව අල්ල ගන්න ඕනා. මුලින්ම ඒගොල්ලන්ව අල්ල ගෙන, ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒගොල්ලන්ට මොකක්ද කරන්නේ කියලා.” යනුවෙනි. ඉහත චෝදනා එල්ල කර ඇති ආකාරයත් මංගල සමරවීර මහතාගේ පැහැඳිලි කිරීමත් මනාව නොපෑහේද්? මොවුන්ගේ ඉලක්කයේ ප්‍රමුඛතාවය ඇත්තේ සේනාධිනායකයා ඇතුළු ආරක්ෂක අංශයන්හි ඉහළ නිලධාරීන් බව පැහැඳිලිය.

මෙලෙස අසමජ්ජාති ලෙස තමන්ගේ රටේ රණ විරුවන් ලෝකය ඉදිරියේ ගර්හාවට සහ බරපතළ චෝදනාවට ලක් කරමින් “අපිට එරෙහිව අපි” සංකල්පය මත වැඩ කරන අතර ලංකාවේ ලයිට් කණු වල මුන් එල්ලී සිටියේ රණ විරුවන් බේරා ගත්තා යැයි කියමිනි. අපි බොරුව ප්‍රෝඩාව දැක ඇත්තෙමු. නමුත් මෙවැනි හිවල් ගණයේ නීච ප්‍රෝඩාවන් අප මීට පෙර කතාන්දරයකවත් අසා තිබේද?
[යුතුකම සංවාද කවය විසින් බෙදාහරින  “බිල්ලො ඇවිත්: ඔබ මේ අනතුර ගැන දැනුවත් ද? ” පත්‍රිකාව ඇසුරෙන්  ]

-ලසන්ත වික්‍රමසිංහ

යුතුකම සංවාද කවය

One Response to “සිරිසේනලා රණ විරුවන් පාවා දුන් හැටි.”

  1. Hiranthe Says:

    Face Book boys and girls voted for Yama Palanaya can not understand the gravity of this. They are living in a fantacy world.

    However, if these things are published in the main stream media at least the army families will see them and realise that they are false. Why the media do not publish these??

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress