පොහොර හා වකුගඩු රෝගය
Posted on November 6th, 2015

නලින් ද සිල්වා  

කෘෂිකාර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සී අයි සී සමාගමේ පොහොර ගබඩාවකට මුද්‍රා තබා ඇත. එයට හේතුව වී ඇත්තේ එකී සමාගම විසින් ගෙන්වන ලද පොහොරවල කැඩ්මියම් ප්‍රතිශතය තිබිය යුතු කැඩිමියම් ප්‍රතිශත උපරිම මට්ටම මෙන් හතර ගුණයකට අධික වීම නිසා ය. මේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාට,  කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකමවරයාට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට අපේ ස්තුතිය පළ කළ යුතුව ඇත. 
එහෙත් ඒ සමගම කිවයුත්තක් වෙයි. උක්ත සමාගම මෙරට බලවත් සමාගමකි. ඇතැම් ජනමධ්‍ය දැනටමත් කෘෂිකර්ම අමාත්‍යංශයට හා දෙපාරතමේන්තුවට චෝදනා ඉදිරිපත් කරමින් සිටියි. බල පුළුවන්කාර කමින් මේ තහනම ඉවත්කර ගැනීමට ද කටයුතු කිරීමට බෙහෙවින් ඉඩ ඇත. කලින් වතාවක ග්ලයිෆොසේට් බහාළුම් තහනම ද නොතකා වරායෙන් පිටකර තිබිණි. එවැනි ඉරණමක් මෙවර අත් නොවේ යැයි පැතීමත් ජනතාවට යම් යම් කරුණු පැහැදිලි කිරීමත් හැර අපට වෙනත් දෙයක් කළ හැකි නො වේ. 
දැනට වසර කිහිපයකට ඉහත දී එවකට කැලණිය පර්යේෂණ කණ්ඩායම ලෙස ක්‍රියාත්මක වූ පිරිසක් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික් යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඒ කණ්ඩායමට මම ද අයත්වීමි. එහි දී අපට ප්‍රියන්තා සේනානායක මහත්මිය නාථ දෙවියන් නමින් හැඳින්වුණු මනුෂ්‍ය නොවන ප්‍රාණියකු සමග කරන ලද සන්නිවේදන ක්‍රියාවලියක් ආධාර විය. පසුව මෙය තවදුරටත් පැහැදිලි කරමින් එකී වකුගඩු රෝගයට හේතුව ආසනික් බවත් එහි දී කැඩ්මියම් උත්තේජයක් ලෙස ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශ කෙරිණි. ඉනුත් පසුව ග්ලයිෆෙසේට් දැලිසයේ කතාව හෙදළිදරව් කෙරිණි. 
අපි මෙහි දී සිංහලයන් අතීතයේ ද දැනුම ලබාගත් ක්‍රමයක් භාවිතා කළෙමු. රජරට සරවියේ එවකට පරිවාස කථිකාචාර්යවරයකු වෛද්‍ය චන්න ජයසුමන මහතා (අද ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහුගේ උසස් වීමට රජරට විශ්වවිද්‍යාලය මගින් ඔහු වකුගඩු රෝගය පිළිබඳ ව කරන ලද පර්යේෂණ මත ප්‍රදානය කරන ලද ආචාර්ය උපාධියක් හේතු විය.) මෙහි දී රෝගය පිළිබඳ ව අප දැනුවත් කළ අතර අපි ඒ මහතා ප්‍රියන්තා සේනානායක මහත්මිය කරා යොමු කළෙමු. අපේ හෙළිදරව්ව දෙබරයට ගල් ගැසීමක් විය. බටහිර විද්‍යාවේ උරුමක්කාරයෝ පොල්මඃකාරයෝ ආදීහු අපට විරුද්ධව අවි ගත්හ. අප ඊනියා විද්‍යාත්මක ක්‍රමය අනුගමනය නෙකළ බවත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් අප ලබාගත් දැනුම විශ්වාස කළ නොහැකි බවත් ඔවුහු කියා සිටියෝ ය. එමගින් ඔවුන් කෙතරම් දුරට අපේ ජාතික (දේශීය) දැනුම හා ඒ ලබා ගන්නා ආකාරයක් ප්‍රතික්‍ෂෙප කරන්නේ ද යන්නත් බටහිර දැනුම විසින් ඔවුන් මුළා කර ඇති අන්දමත් දැනගත හැකි විය. 
මෙරට සිටින බටහිර විද්‍යාඥයන් හරිහමන් නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් නිර්මාණය කර නැති නමුත් අපි ඔවුන්ගේ විවේචන බලාපොරොත්තු වූයෙමු. අපි රජරටින් එකතු කරන ලද විවිධ ද්‍රව්‍යවල ආසනික් ඇති බව බටහිර විද්‍යාවේ රසායන විද්‍යා පරීක්‍ෂා මගින් ම පෙන්වා දුන්නෙමු. (රසායන විද්‍යාව ගැන දැනුමක් නැති වුවත් මම මෙහි දී කණ්ඩායමට අවශ්‍ය යටිතල පහසුකම් එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ලෙස සැපයීමි. ඉන් එකක් වූයේ පට්ටපල් බොරුවක් වූ බටහිර විද්‍යාවට යටත් නොවීම ය. මා දැනට පිළිගන්නා දාර්ශනික මතය අනුව ප්‍රත්‍යක්‍ෂ නොවන වියුක්ත ප්‍රවාද මත රැඳෙන සියළු දැනුම් පද්ධති පට්ටපල් බොරු ය. ප්‍රත්‍යක්‍ෂ පට්ටපල් බොරු නොවූවත් බොරු ය! මගේ හැදෑරීම් මූලික වශයෙන් ඥානවිභාගයෙහි බව ද මෙහි දී සඳහන් කළ යුතු ය) අපේ පරීක්‍ෂා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය චන්න ජයසුමන මහතා හා තවත් කිහිප දෙනකු අතින් සිදු කෙරිණි. එහි දී අපට මහාචාර්ය මාලා අමරසිංහ මහත්මිය බටහිර උද්භිද විද්‍යාව යොදා ගනිමින් කරන ලද පරීක්‍ෂණ ද අතිශයින් වැදගත් විය. අපට පෙනී ගිය වැදගත් කරුණක් වූයේ අදාළ රෝගීන්ගේ මුත්‍රා, නිය, කෙස් ආදියෙහි ද ආසනික් බෙහෙවින් අඩංගු වූ බව ය. 
සී අයි සී සමාගම විසින ගෙන්වන ලද පොහොරවල කෙතරම් ආසනික් ප්‍රතිශතයක් අඩංගු දැයි අපි නො දනිමු. ඒ කෙසේ වුවත් ඇතැම් පොහොර වර්ගවල ආසනික් අඩංගු බව අපි දනිමු. එමෙන් ම අපේ කතන්දරයට අනුව ග්ලයිෆොසේට් ද මෙහි දී වැදගත් වෙයි. ආසනික් හා කැඩ්මියම් සමග ග්ලයිෆොසේට් එකතු වී දැලිසක් සාදයි. ආසනික් වකුගඩුවට ගෙන යනු ලබන්නේ මේ දැලිස මගිනි. ග්ලයිෆොසේට් ඇතැම් පලිබෝධනාශකවල අඩංගු වෙයි. මේ කතාව ප්‍රසිද්ධියේ කීම ප්‍රමාද කිරීමට අපට සිදුවූයේ චන්න ජයසුමන මහතාට ආචාර්ය උපාධියත් ඉන්පසු උසස්වීමත් ලැබෙන තුරු ඒ නොකිව යුතු යැයි අප තීරණය කර සිටි බැවිනි. මා පීඨාධිපති තනතුර හැර යෑමෙන් පසුව කැලණිය විශ්වවිද්‍යාලයත් බොහෝ බටහිර විද්‍යාඥයනුත් ඔහුට කළ හිරිහැර අපේ මතකය හැර නොයනු ඇත.  
මෙරට බටහිර විද්‍යාඥයෝ අපේ මතය පිළි නොගනිති. එහෙත් ඔවහු වකුගඩු රෝගයට හේතුව (හේතු) කවරේදැයි අද වන තුරු නො කියති. බටහිර ජෛවීය විද්‍යාඥයන්ට යම් ප්‍රපංචයකට හේතුව (හේතු) දැනගැනීම පහසු කාර්යයක් නො වේ. දැනගත්ත ද එය සම්භාවිතාවන්ට හා සංඛ්‍යානයේ කියැවෙන පරීක්‍ෂාවලට යටත් ය. එහෙත් අද සියල්ලන් ම පාහේ පිරිසිදු පානීය ජලය රෝගීනට ලබාදීමට එකඟ බව පෙනී යයි. පානීය ජලයෙහි බැර ලෝහ අඩංගු බව බටහිර විද්‍යාඥයෝද පිළිගනිති. පානීය ජලය පිරිසිදු කිරීමට විශාල ධනස්කන්ධයක් වැය වෙයි. මම එම ධනය වියදම් කිරීම ප්‍රශ්න නොකරමි. එහෙත් අප මූලික ප්‍රශ්නයට අතගසා නැති බව පැහැදිලි ය. 
පානීය ජලය අපිරිසිදු වීමට හේතුව කුමක් ද? පානීය ජලයට බැර ලෙ ා්හ එකතුවන්නේ කෙසේ ද? පානීය ජලයට බැර ලෝහ එකතු නොවන බවට අප වග බලාගන්නේ නම් ඒ පිරිසිදු කිරීමට විශාල ධනස්කන්ධයක් වියදම් කළ යුතු නොවේ. මෙහි දී කරුණු කිහිපයක් කෙටියෙන් සඳහන් කළ යුතු ය.  පානීය ජලයෙහි අඩංගු ආසනික් ප්‍රමාණය තිබිය හැකි උපරිම ප්‍රමාණයට අඩු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අපි එය පිළිගනිමූ. එහෙත්  ප්‍රශ්නය වනුයේ මෙම උපරිම ප්‍රමාණයන් නිර්ණය කර ඇත්තේ බටහිර මිනිසුන් සම්බන්ධයෙන් බව ය. බටහිර ඇතැම් උපරිම සීමාවන් රටෙන් රටට වෙනස් වෙයි. එංගලන්තයේ උපරිමය, ඇමරිකාවේ උපරිමයෙන් ද, ඒ දෙකම ඕස්ටේලියාවේ උපරිමයෙන් ද වෙනස්වන අවස්ථා ඇත. ලොවට ම පොදු මිනිසකු ගැන බටහිර වෛද්‍ය විද්‍යාවට කතා කිරීමට අවශ්‍ය වුවත් මෙහි දී ඔවුන්ට එය කළ හැකි නො වේ. පානීය ජලයෙහි ඇති ආසනික් ප්‍රමාණය සිංහල (හා දෙමළ) මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙරට බටහිර විද්‍යාඥයෝ නො දනිති. බටහිර ද මෙවැනි පරීක්‍ෂණ සඳහා යොදා ගනනේ මීයන් වැනි සතුන් ය. එවැනි පරීක්‍ෂණවලට මිනිසුන් යොදා ගැනීම ආචාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක් වෙයි. 
ඒ කෙසේ වෙතත් ලංකාවේ කෘෂිරසායනික වකුගඩු රෝගය වැළඳුන අයගේ නිය කෙස් ආදියෙහි ආසනික් වෙයි.  එපමණක් නොව මුත්‍රාහි ද ආසනික් අඩංගු ය. ඒ ප්‍රමාණය ජලයෙන් ලබාගන්නා ප්‍රමාණයට වැඩි ය. ඒ ආහාර මගින් ලැබෙන්නේ යැයි සිතිය හැකි ය. එබැවින් පානීය ජලය කෙතරම් පිරිසිදු කළත් ආසනික් ශරීර ගතවීම වැළැක්විය නො හැකි ය. ආසනික්, කැඩ්මියම්, ග්ලයිෆොසේට් ආදිය රසායනික පොහොර භාවිතය නිසා ම මිනිස් සිරුරට ලැබෙන බවට සැකයක් තිබිය නො හැකි ය. රජය මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා අතර ගොවි මහතුන් දේශීය ක්‍රමවලට යොමු කිරීම වැදගත් වෙයි. 
ඒ අතර කිවයුතු තවත්් කරුණක් වෙයි. ඉහත සඳහන් සියල්ල රෝගය වැළැක්වීම සඳහා ය. අප රෝගීන් ගැන කුමක් කළ යුතු ද? රජය අද සැලකිලිමත් වන්නේ බටහිර විද්‍යාවේ ක්‍රම පිළිබඳ ව ය.  බටහිර වෛද්‍ය විද්‍යාවට රෝගය සුව කිරීමට නොහැකි බව බටහිර වෛද්‍යවරු ම පවසති. එහෙත් අපි මහවිලච්චිය ප්‍රදේශයෙහි රෝගීන් කිහිප දෙනකු සිංහල වෙදකම යොදගෙන සිංහල වෙදමහතකු ලවා සුව කෙළෙමු. රජය ඒ දේශීය දැනුම ද යොදාගත යුතු ය. ඒ සඳහා පසුගිය රජයේ විශේ’ෂ ව්‍යාපෘති අමාත්‍යංශය හා වයඹ පළාත් සභාවේ එවකට සෞඛ්‍ය ඇමති මගින් වැඩ පිළිවෙළක් සකස් කර තිබූ නමුත් ආණ්ඩු පෙරළියත් සමග එය ද පෙරළී ගියේ ය. අපි ඒ කරුණ මේ රජයේ සෞඛ්‍ය ඇමතිවරයාටත් විද්‍යා හා තාක්‍ෂණ ඇමතිවරයාටත් අදාළ පළාත් සභාවලටත් යොමු කරමු. පොහොර ගබඩාව මුද්‍රා තැබීම කිසි විටෙකත් අවලංගු නොකරන අතර මේ දුර්දාන්ත වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා රජය නිසි පියවර ගත යුතු ය. 
වකුගඩු රෝගය පමණක් නොව අපට වැළඳෙන බොහෝ රෝග අපේ ජීවන රටාව සමග බැඳී ඇත. බටහිර දැනුමෙන්් වශීවී සිටින අපට ඒ දැනුම හා පරිසර දූෂණය අතර සම්බන්ධය නො පෙනෙයි. 
නලින් ද සිල්වා    
2015 නොවැම්බර්් 05

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress