EXCLUSIVE : මෙන්න.. අනුර දිසානායක අරක හංගාගෙන මේකෙන් ගහන හැටි.. ඇවන්ගාඞ් කතාවේ සුලමුල…
Posted on November 9th, 2015

lanka C news

සිදු කළ යුත්තේ, ‘රක්නා ලංකා – ඇවන්ගාර්ඞ්’ ඒකාබද්ධ මෙහෙයුම මගින් රටට ඩොලර් මිලියන ගණනින් විදේශ විනිමය රැගෙන ඒමට පාර කැපූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම නොව ඔහුට මල්මාලා දමා උපහාර දැක්වීම යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අවිස්සාවේල්ල මීපේ සිරිසේන රාජපක්‍ෂ අනුස්මරණ ශාලාවේදී පැවැති ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ යන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

‘‘මේ දසමාසයේ ආණ්ඩුව සිදු කළ මහ බැංකු බැඳුම්කර වංචාව රුපියල් කෝටි 700ක්. ඒ පිළිබඳව වගේවගක් නැති විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක උදේටත්, දවල්ට වගේම රැටත් ‘ඇවන්ගාර්ඞ්’ සිදුවීම පිළිබඳව දොඩවනවා. තිබෙන ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න අද පරණ සිදුවීම් උඩට ගන්නවා. මේ සිදුවීම් පිළිබඳව සරත් ෆොන්සේකා මහත්තයා විජේදාස රාජපක්‍ෂ මහත්තයාට චෝදනා කරනවා. දෙන්නට දෙන්නා මඩ ගහනවා. අද මේ අය මේ රට පිස්සන් කොටුවක ගානට ඇදලා දාලා තියෙන්නේ. අවසානයේ බලාගෙන ගියාම ‘ආණ්ඩුව කරන්නේ කවුද?’ කියලා හොයා ගන්න බැහැ.

‘ශ‍්‍රී ලනිපය දෙකඩ කරපු කෙනා’

මහ මැතිවරණ කාලයේදී ‘වස බෝතල් 05 පෙන්වපු කෙනා’ අද යූ.එන්.පී. ආණ්ඩුව ඇතුළට රිංගලා ඇමති කට්ටක් සූප්පු කරන ගමන් කියනවා ‘විමල් වීරවංශලා යූ.එන්.පීය සමග එකතු වෙලා ශ‍්‍රී ලනිපය දෙකඩ කරන්න හදනවෝ’ කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරපු හාදයටනේ අද සභාපති කරගෙන මල්පහන් පූජා කරන්නේ. ජනාධිපති සිරිසේන මහත්තයානේ ශ‍්‍රී ලනිපය දෙකඩ කළේ. එයානේ තිබුණු ආණ්ඩුව පැරැද්දුවේ, පසුගිය මහ මැතිවරණයෙන් එජනිසට මන්ත‍්‍රී ආසන 117ක් ලැබෙන එක වැළැක්වූයේ, ‘තුට්ටු දෙකේ’ වැඩ කරලා. එහෙම අයත් එක්ක එකතු වෙලා කියනවා ‘ශ‍්‍රී ලනිපය බේරා ගන්න නම් එජාපය සමග එකතු වෙන්න ඕනෙ’ කියලා. ඒක හරියට ‘නරියාට කුකුල්ලූ භාර දුන්නා’ වගේ වැඩක්.

‘අනුර දිසානායකගේ කොන්ත‍්‍රාත්තුව’

මෙවැනි වැදගැම්මකට නැති කතාවලින් අද ප‍්‍රවෘත්ති විකාශන පිරිලා තියෙන්නේ. ඒත් ජාතියේ ඉරණම පිළිබඳව තීරණය වන වැදගත්ම ප‍්‍රශ්නය මේ සියලූ කතාවලින් වැහිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි තීරණය කළේ ඒ ප‍්‍රශ්නය පිළිබඳව ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ දේශන මාලාව මගින් මේ විදිහට ඔබ සැම එකතුකර ගෙන කතා කරන්න. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමාට භාරදී තිබෙන ‘කොන්ත‍්‍රාත්තුව’ තමයි ජාතිය හමුවේ වන කේන්ද්‍රීය ප‍්‍රශ්නය මත දේශපාලන පොර පිටිය බෙදෙන එක වළක්වලා පරිධියේ ප‍්‍රශ්නවලින් කේන්ද්‍රීය ප‍්‍රශ්නය යට ගහන එක.

‘ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්වෙන රහසිගත සාකච්ඡාව’

අද(08) මේ මොහොත වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කමිටු ශාලාවක බරපතළ සාකච්ඡාවක් සිදු කෙරෙනවා. එතැන ඉන්නවා, ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිතයෙක්, කැනඩාවේ නියෝජිතයන් 02ක් සහ දකුණු කොරියාවේ නියෝජිතයෙක්. මේ අය සාකච්ඡුා කරන්නේ මේ රටේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුණු යෝජිත දෙමුහුන් යුද අපරාධ අධිකරණය පිහිටුවීමට අදාළව. ඒ පිළිබඳව සොයා බලලා ශ‍්‍රී ලංකා රජයට අවශ්‍ය බලපෑම සහ මෙහෙයවීම සිදු කරන්නයි මේ අය සූදානම් වන්නේ. මේ අයගේ පැමිණීම ආණ්ඩුව විසින් ප‍්‍රසිද්ධියට පත් කළේ නැහැ. මේ සාකච්ඡාවට රජයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ නිලධාරීන් සහභාගී වෙනවා. යුනිසෙප් ආයතනයෙන් තමයි ඒ කමිටු ශාලාව වෙන්කර ඇත්තේ, පිටතට යන්න දෙන්නේ නැහැ. ‘මෙතැන දෙමුහුන් යුද අපරාධ අධිකරණය පිළිබඳව සාකච්ඡාවක් සිදු වෙනවා’ කියන එක.

මේ පොළොව දෙපලූ කරලා නීතිවිරෝධී ත‍්‍රස්ත ව්‍යාපාරයකට අපේ ඇස් පනාපිටම වෙනම පාලනයක් නිර්මාණයකර දීමට මේ රටේ ඇතැම් පාලකයන් උත්සාහ කළා. 2005දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත් නොවුණා නම් අද තියෙන්නේ පාලනතන්ත‍්‍ර දෙකක්, රාජ්‍ය දෙකක්. මේක 2005 වන විට ඒ ඉරණමට ඇද දමා තිබුණු රටක්. කවර ජගතකුට වුවත් ඒ ත‍්‍රස්ත බලයට අභියෝග කිරීමට නොහැකිවයි තිබුණේ. ඒ පරාජිත මානසිකත්වයෙන් ජාතිය නැගිට්ටවලා මුළුමහත් රටේම ආරක්‍ෂාව පිළිබඳ වගකීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගත්තා. 2005දී බලය ආපු මහින්ද රාජපක්‍ෂ පාලනය 2009 මැයි 19 වැනිදා වන කොට ‘ලෝකයේ කුරිරුතම ත‍්‍රස්තවාදය’ අවසන් කොට තිබුණා.

යුද්ධය පැවැති අවසන් කාලපරිච්ඡ්‍ෙදයේ එවකට බි‍්‍රතාන්‍යයේ විදේශ අමාත්‍ය ඬේවිඞ් මිලිබෑන්ඞ් සහ ප‍්‍රංශයේ විදේශ අමාත්‍ය බර්නාඞ් කුෂ්නර් ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්‍ෂ මහත්තයාට කීවා, ‘කරුණාකරලා යුද්ධය නවත්වන්න’ කියලා. ඒ විදිහට එදා ‘යුද්ධය නතර කරන්න’ කියලා බටහිර බලවතුන්ගෙන් එකපිට එක බලපෑම් ආවා. ඒ බලපෑම්වලට අවනත නොවී එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජාතියට අවශ්‍ය ජයග‍්‍රහණය වෙනුවෙන් තීරණ ගත්තා. 2009 මැයි 19 වැනිදා ජාතික කොඩියට පණ ආවා. එදා කිසිදු භේදයකින් තොරව මුළු රටම කිරිබත්, කැවුම් උයාගෙන ඒ විජයග‍්‍රහණය සමරන්න පාරට බැස්සා.

‘ප‍්‍රදීප් එක්නැලිගොඩට කොටි සංවිධානය මාසික වැටුපක් ගෙව්වා’

දැන් ඒ විජයග‍්‍රහණය ආපස්සට ගෙන යමින් තිබෙනවා. අද හිටපු හමුදා ප‍්‍රධානීන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට, බරපතළ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති කොමිසමට ගෙනහින් ප‍්‍රශ්න කරනවා. රවිරාජ් මන්ත‍්‍රීවරයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නාවික හමුදා සෙබළුන් පිරිසක් සිරගත කොට තිබෙනවා. ‘ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කළා’ කියලා මේ රටේ රහස් පොලීසිය අධිකරණයෙන් නියෝගයක් අරගෙන හමුදා කඳවුරක් පරීක්‍ෂාවට ලක් කළා, ඉතිහාසයේ ප‍්‍රථම වතාවට. කවුද මේ ප‍්‍රදීප් එක්නැලිගොඩ? ප‍්‍රදීප් එක්නැලිගොඩ කියන්නේ කොටි සංවිධානයේ කොළඹ බෝම්බ පිපිරවීමේ ක‍්‍රියාධරයන් සමග එකට සම්බන්ධ වෙලා කටයුතු කරපු සිංහල කොටියෙක්!, ජනමාධ්‍යවේදියකු ස්වරූපයෙන් කටයුතු කළ සිංහල කොටියෙක්!. ඔහුට කොටි සංවිධානයෙන් මාසික වැටුපක් ගෙව්වා. ඒ සිංහල කොටියාගේ මරණය ගැන හොයන්නයි රහස් පොලීසිය හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගත්තේ ගිරිතලේ හමුදා කඳවුර පරීක්‍ෂා කරන්න. කොටියාව ඉවර කරපු හමුදාවේ කඳවුරු, මේ දවස්වල පරීක්‍ෂා කරනවා කොටියාට සාධාරණ ඉටු කිරීම සඳහා. ඔන්න ජනවාරි 08 වැනිදා සිදු වුණු වෙනස.

‘යුද්ධය දිනවපු අයට හිරගෙවල් සූදානම් වෙනවා’

දීපවාලී උත්සවයට කලින් කොටි සැකකරුවන් 62ක් නිදහස් කරන්න සූදානම් වෙනවා. ඒ පළමු වටය. දෙවැනි වටයේදී තවත් පිරිසක් නිදහස් කිරීමට සූදානම්. නමුත් රවිරාජ් ඝාතනය කළා කියලා නාවික හමුදා සෙබළුන් හිරේ දමනවා. ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කළා කියලා හමුදා බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමනවා. හමුදා ප‍්‍රධානීන් බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට ගෙනහින් ප‍්‍රශ්න කරලා හිරේ දමන්න හදනවා. අද යුද්ධය දිනවපු අය හිරේ දමනවා. රට බෙදන්න ආයුධ අතට ගත්තු ත‍්‍රස්ත‍්‍රවාදීන් හිරගෙවල්වලින් එළියට දමනවා. බොරු කියලා, බොරු හදලා මාවත් හිරේට දමන්න බැලූවා. හිටපු ජනාධිපතිතුමා දැන් සතිපතා කැඳවනවා බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට. එතුමාට දාපු අවනඩුව තමයි, ‘ස්වාධීන රූපවාහිනියේ දැන්වීම්වලට ගෙව්වේ නැහැ’ කියන එක. මුලදී කීවේ මිලියන ගණනක් ගෙවන්න තියෙනවා කියලයි. පසුව බලපුවාම රටේ ජනාධිපතිවරයා විදිහට නිකුත් කළ ‘නත්තල් දින පණිවිඩයටත්’ ගණන් හදලා. මිලියන සිය ගණන් කියපු බිල දැන් මිලියන 03ට, ලක්‍ෂ 30ට බැහැලා තියෙනවා. මේ විදිහේ බොරු චෝදනා හද හදා මේ රටේ ජනතාවට මර බියෙන් තොරව ජීවත් වීමේ ඉඩකඩ හදලා දුන්නු නායකයා සහ ඒ වටා ඉන්න සෑම බලවේගයක්ම හිරේ දමන්න, යටත් කර ගන්න මේ ආණ්ඩුව බලනවා.

‘ඇවන්ගාර්ඞ් සුලමුල’

ඇවන්ගාර්ඞ් සිදු වීම පදනම්කර ගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාව අත්අඩංගුවට ගන්න සරත් ෆොන්සේකා, අනුර දිසානායක, වික‍්‍රමබාහු කරුණාරත්න, ආර් සම්බන්ධන් යන අයට ඕනෙ වෙලා තිබුණා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහත්තයා පවසා තිබුණා, ‘මෙතැන එහෙම අත්අඩංගුවට ගැනීමට නිමිත්තක් නැහැ’ කියලා. ඇවන්ගාර්ඞ් සිදුවීම, ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා අත්අඩංගුවට ගැනීමට නොවෙයි, මල්මාලා දමලා උපහාර පුදන්න ඕනෙ වැඩක්.

ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා මුල් වෙලා ‘රක්නා ලංකා’ නමින් රජයට අයිති ආරක්‍ෂක සමාගමක් හදනවා. ඒක හදන්න මහා භාණ්ඩාගාරයෙන් මිලියන 500ක මුදලක් ගන්නවා. එම මුදල මාස කිහිපයක් ඇතුළත ආපසු මහා භාණ්ඩාගාරයට ගෙවා තිබෙනවා. එහෙම ගත්තාම ‘රක්නා ලංකා’ රජයේ ආරක්‍ෂක සමාගම හදන්න රජයෙන් ගත 05ක මුදලක් අරන් නැහැ. එම ආරක්‍ෂක සමාගමින් රැකියා ලබා දුන්නේ ආරක්‍ෂක හමුදාවලින් විශ‍්‍රාම යන පිරිස්වලටයි. මේ කාලයේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඇතුළු පිරිස්වලින් ඒ අවට යාත‍්‍රා කරන නැව්වලට තර්ජන පැමිණෙනවා. ඒ මුහුදු කොල්ලකරුවන්ගෙන් එන තර්ජනවලින් ඒ නැව් බේරාගන්න මහා බි‍්‍රතාන්‍යය වැනි රටවල් සමුද්‍ර ආරක්‍ෂණ සේවාවන් පවත්වාගෙන යනවා. ඒ සමුද්‍ර ආරක්‍ෂණ සේවාවන්වල ඉන්න ආරක්‍ෂකයන්ගේ ආයුධ තාවකාලිකව ගබඩා කරලා තියාගන්න අපේ රටට කිට්ටු තැනක් ඔවුන්ට අවශ්‍ය වෙනවා. මුල් කාලයේදී ගාල්ලේ දක්‍ෂිණ නාවික හමුදා මූලස්ථානයේ අවිගබඩාවක් මේ සඳහා ලබා දෙනවා. ඒ ගබඩාව තුළ නීත්‍යනුකූලව අවි ගබඩා කරලා අවශ්‍ය වෙලාවට සමුද්‍ර ආරක්‍ෂකයන්ට ඒවා රැගෙන යන්න පහසුකම් සපයා දෙනවා. පසුව ආරක්‍ෂක ප‍්‍රශ්නයක් පැන නගිනවා. ‘නීතිවිරෝධී අවි පවා මේ විදිහට ගබඩා කිරීමට ඉඩ තිබෙනවා’ කියලා. එහෙම නීතිවිරෝධී අවි ගබඩා කර තිබිලා ඒවායෙන් යම් වරදක් වුණොත් ඒකට වගකියන්න වෙන්නේ ඒවා අවසන්වරට ගබඩා කරලා තිබුණු රටට, ශ‍්‍රී ලංකාවට.

ඒ නිසා ආරක්‍ෂක ලේකම්වරයා තීරණය කරනවා ‘මේ ක‍්‍රමය නවත්වන්න ඕනෙ’ කියලා. ඊට පසුව ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇතුළු රටවල් ගණනාවක තානාපතිවරු ඇවිල්ලා ආරක්‍ෂක ලේකම්වරයාට කියනවා ‘එහෙම කරන්න එපා. කරුණාකරලා මොකක් හරි වැඩපිළිවෙළක් මේකට හදන්න’ කියලා. එතකොට හිටපු ආරක්‍ෂක ලේකම්තුමා කියනවා ‘මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා මට වාර්තාවක් ලබා දෙන්න’ කියලා රක්නා ලංකා සමාගමට. රක්නා ලංකා ආරක්‍ෂක සමාගම මේ ගැන අධ්‍යයනය කරලා කියනවා ‘අපට පුළුවන් ලංකාවට අයිති මුහුදේ නැවක මේ ගබඩාව පවත්වා ගෙන යන්න’ කියලා. ඒ අනුව ගොඩබිම තිබුණු අවි ගබඩාව ගෙන යනවා මුහුදට. නමුත් ඒකට අවශ්‍ය ආයෝජනය කරන්න රක්නා ලංකා සමාගමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා හවුල්කරුවකු අවශ්‍ය වෙනවා. අවසානයේදී හවුල්කරුවා වන්නේ ‘ඇවන්ගාර්ඞ්’ කියන සමාගම. ලංකාවේ එවැනි ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය එකම සමාගම ‘ඇවන්ගාර්ඞ්’. ඒ වන විටත් එම සමාගම ජාත්‍යන්තර මුහුදේ එවැනි අවි ගබඩාවන් පවත්වාගෙන යනවා, අර මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්‍ෂා කිරීමේ කටයුත්තේ එම සමාගම නිරතව සිටිනවා.

ඇවන්ගාර්ඞ් ඇතුළු ලංකාවේ සමාගම් විසි ගණනක් නැව් ආරක්‍ෂා කිරීමේ මෙහෙයුමට බහිනවා. ඇවන්ගාර්ඞ් සමාගම කියනවා ‘මේ මෙහෙයුමේ මූලික පිරිවැය ඩොලර් මිලියන ගණනක් යනවා. අපි ඒක දරන්නම්’ කියලා. එතකොට ‘රක්නා ලංකා’ සමාගමට එතැනත් මුදල් වියදම් වෙන්නේ නැහැ. සමහරවිට අපි මේ මෙහෙයුමට අත නොගැහුවා නම් මාලදිවයින හෝ ඉන්දියාව අත ගහන්න තිබුණා.

අවසානයේදී මොකද වුණේ? ඇවන්ගාර්ඞ් සමාගම වියදම් කරලා නැවක් අරන් දැම්මා. රක්නා ලංකා සහ ඇවන්ගාර්ඞ් යන සමාගම් දෙක එකතු වෙලා මෙහෙයුමට උර දුන්නා. ඒ නිසා රක්නා ලංකා සමාගමටත් ආදායම ආවා. නාවික හමුදාව මේ මෙහෙයුම අධීක්‍ෂණය කළා. ඒ වෙනුවෙන් නාවික හමුදාවටත් ඩොලර් මිලියන ගණනක් ලැබුණා. මේ අනුව රටට විශාල විදේශීය විනිමය ප‍්‍රමාණයක් ආවා.

චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ සම්මත කළ පනතක් තිබෙනවා ‘පෞද්ගලික ආරක්‍ෂක සේවා නියාමන පනත’ කියලා. ඒ පනත අනුව රටේ ආරක්‍ෂක ලේකම්ට බලය තිබෙනවා, ‘පෞද්ගලික ආරක්‍ෂක සමාගමකට ලබා දිය යුතු ආයුධය, වර්ගය කුමක්ද?’ කියලා තීරණය කරන්න. රක්නා ලංකා සමාගමට අලූතෙන් ආයුධ ගෙනාවේ නැහැ. යුද්ධය අවසන් වුණු නිසා හමුදාවේ තිබුණු අතිරික්ත ආයුධයි අරගෙන දුන්නේ හමුදාවට අදාළ මුදල් ගෙවලා. කොමිස් ගැහුවා නම් පිටරටින් ආයුධ ගෙන්වලා රක්නා ලංකා සමාගමට දෙන්න තිබුණා.

‘විපක්‍ෂ සංවිධායකතුමා යටිගිරියෙන් කෑගහන හේ්තුව’

මේ මගින් රටට විශාල විදේශීය විනිමයක් හොයලා දුන්නා. හමුදාවෙන් විශ‍්‍රාම යන සෙබළුන්ට ඩොලර්වලින් වැටුප් ගන්න රැකියාවක් හදලා දුන්නා. මේක හොරකමක්ද? නැහැ. මෙතැන හොරකමක් නැහැ. මේ ව්‍යාපාරය අල්ලා ගන්න කට්ටියක් දැන් දගලනවා. මේ ව්‍යාපාරය අල්ලා ගන්න නම් දැන් මේ ව්‍යාපාරය කරන කට්ටිය එළවන්න ඕනෙ. එළවන්න නම් විපක්‍ෂ සංවිධායකතුමා යටිගිරියෙන් කෑගහන්න ඕනෙ. උදේටත්, දවල්ටත්, ?ටත් ‘ඇවන්ගාර්ඞ්’ කියන්න ඕනෙ. එහෙම කෑගැහුවාම රටේ මිනිස්සුන්ටත් හිතෙනවා ‘මෙතැන මොකක් හරි තියෙන්න ඕනෙ’ කියලා. දැන් ආණ්ඩුවේම ඇමතිවරු කියනවානේ ‘මෙතැන කිසිම වැරැද්දක් නැහැ’ කියලා. මම මේ කීවේ අතුරු කතාවක්. මේ විදිහට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත් හිරේ දාන්න පොටක් පාදා ගන්න බලනවා. ඒ වගේම හිටපු සේනාධිනායකවරයා, අප, උදය ගම්මන්පිල මහතා, හිටපු හමුදා ප‍්‍රධානීන් හිරේ දාන්න පොටක් පාදා ගන්න බලනවා. හැබැයි කොටි ටික එළියට එනවා. මේකට තමයි ‘වෙනස මාරයි – රට හමාරයි’ කියන්නේ.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

 

 

 

‘සිදු කළ යුත්තේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගැනීම නොවෙයි මල්මාලා දමා උපහාර දැක්වීමයි’ – ඇවන්ගාර්ඞ් සුලමුල අනාවරණය කරමින් විමල් කියයි

One Response to “EXCLUSIVE : මෙන්න.. අනුර දිසානායක අරක හංගාගෙන මේකෙන් ගහන හැටි.. ඇවන්ගාඞ් කතාවේ සුලමුල…”

  1. Hiranthe Says:

    Anura Kumara’s verbal diarrhea is stinking the whole society!!

    This type of liers will suffer in this life before going to the Hell because innocent people believe them and take up disruptive actions against their own Motherland.

    Karmic retribution is different to “Asathpurushaya” and “Asathpurusha tharaya”

    This fellow is a “Asathpurusha Tharaya” who has a following.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress