දැයෙන් සමුගන්‍නා ජාතික සටනේ ගිනිසිළුව මාදුළුවාවේ සෝභිත මා හිමියෝ
Posted on November 12th, 2015

ධර්මන් වික්‍රමරත්න

සිංහල බෞද්ධ සමාජයට අද්විතීය නායකත්ව‍යක් ලබාදෙමින් ජාතික සටනේ පුරෝගාමී යතිවරයෙක් වෙමින් දැවැන්ත සමාජ කාර්යයක නියළුනු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩවිසූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජොත්සවය නොවැම්බර් 12වැනිදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී සිදුවේ. මෙම ලිපිය ලියන ලියුම්කරු උන්වහන්සේගේ දායක පවුලක සාමාජිකයෙක් ව‍ශයෙන් 1970 සිට කටයුතු කර ඇති අතර අසූව දශකයේ සෝභිත හිමියන් නියැළුනු දැවැන්ත සමාජ කාර්යභාරයේදී සමීපතමව ඇසුරුකල මාධ්‍යවේදියෙකුද වේ.   

ගැමි ගොවි යුවලකට දාව මාදුළුවාවේ සෝභිත හිමියන් 1942 මැයි 29 උපත ලැබීය. ගිහි නම පී.ඩී. රත්නසේකරය. අම්මා කරලිනාහාමිය. පියා පතිරගේ දොන් අප්පුහාමිය. ‍වැඩිමහල් සොහොයුරෙක් සහ කණිටු සොහොයුරියක්ද විය. උපන් ගම හෝමාගම මාදුළුවාවය. එය සුන්දර ගමකි. එදා මාදුළුවාව ගම ප්‍රසිද්ධ වූයේ මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවෝ සහ රටම පිළිගත් නැකත් කේන්ද්‍රකරුවෙකු වන පොඩි ගුරුන්නාන්සේ නිසාය. මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හිමියෝ සෝභිත හිමියන්ගේ බාප්පාය. කොටා රෝඩ්හි ජයවර්ධනාරාමය ගොඩනැගුවේ ඉන්ද්‍රජෝති නාහිමියෝය. වර්තමානයේ මාදුළුවාව ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන් නිසාය.

dharman121102සිංහල බල මණ්ඩලයේ 1982 ජුලි 22 රැස්වීමේදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රට මැරයින් පහරදී කානුවකට ඇද දමා සෝභිත හිමියන්ටද පහරදිමට එරෙහිව උන් වහන්සේ එදිනම කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කල ආකාරය.

ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හෝමාගම මාදුළුවාව පාසැලේදීය. වයස අවුරුදු 13දී එනම් 1955 මැයි 9වැනිදා පැවිදි වියට ඇතුළත් විය. උන්වහන්‍සේ ශ්‍රී නාග විහාරයට 1954දී සම්බන්ධවන්නේ මුල්ලේරියාවේ රේවත නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේය. උපසම්පදා පදවියට පත්වූයේ මෙයට වසර 53කට ප්‍රථම 1962දීය. අනතුරුව විද්‍යාලංකාර පිරිවෙනේදී අධ්‍යාපනය ලැබුවේ යක්කඩුවේ පඤ්ඤාරාම හිමි, බඹරැන්දේ සිරි සීවිලී හිමි, වල්පොල රාහුල හිමි, කොටහේනේ පඤ්ඥාකිත්ති හිමි වැනි ප්‍රඥාවන්ත හිමිවරුන් යටතේය. වැඩිදුර අධ්‍යාපනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලබාගත් උන්වහන්සේ ඉතිහාසය පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවටද වරෙක පත්වූයේ සෝභිත හිමියන්ය.

මම උන්වහන්සේ හදුනා ගත්තේ 1970දීය. ඒ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ විදුහල්පති වශයෙන් 1960 සිට 1964 දක්වා කටයුතු කල මාගේ පියාවන ගුණපාල වික්‍රමරත්න මගිනි. කෝට්ටේ ස්ථීර පදිංචියට 1971 පැමිණීමත් සමඟම අපේ ගමේ පන්සල වූයේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයයි. සෝභිත හිමි ප්‍රධාන ශ්‍රී නාග විහාරයේ හාමුරුවන් සඳහා 1976 සිට සෑම මසකම 23වැනිදා හීල්දානය පිරිනැමුනේද අපේ නිවසෙනි. කෝට්ටේ ඕනෑම අයෙක් ‍සෝභිත හිමියන් නමෙන් හඳුනයි. දුප්පත් පොහොසත් භේදයකින් තොරව කෝට්ටේ සිය දායකයින්ගේ නිවසකට බණට, පිරිතට දානයට පමණක් නොව ලෙඩදුකට මෙන්ම අවමඟුලටද සෝභිත හිමිගේ සහභාගිත්වය ‍උන්වහන්සේ රෝගාතුර වන තෙක්ම අඛණ්ඩව සිදුවිය. ජාතික තලයේ කුමන වැඩ කලද  උන්වහන්සේ සහ පන්සලේ දායකයෝ අතර සම්බන්ධය ගසට පොත්ත මෙනි. නාගවිහාර සංඝාවාසය ගොඩනැගීම සඳහා රුපියල් 10ක ටිකට් පතක් අළෙවි කර 1976දී මහා පෙරහැරක් සංවිධානය කල සෝභිත හිමියෝ දෙමහල් සංඝාවාසය ගොඩනැගුවේ ඇසිපිල්ලන් ගසන සැණිනි.

dharman121103.එජාප රජය මගින් 1987 මැයි දින තහනමට එරෙහිව සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයේ පැවති මැයි 01 පැවති රැස්වීම. මෙහිදී පොලිස් වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරමුවට පත්විය.

ඇතුල්කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පිරිවෙන, කුඩාතුඩුවේ නාලන්දා පිරිවෙන සහ නුගේගොඩ සුභද්‍රාරාමය ඇතුළු පිරිවෙන් වල කථිකාචාරවරයෙකු වශයෙන් කටයුතු කල සෝභිත හිමි මසකට සහභාගිවන ආගමික කටයුතු සංඛ්‍යාව 100කට අධික විය. කලක් මැදපෙරදිග සහ යුරෝපීය ශ්‍රී ලංකික‍යින් අතර ජනප්‍රියතම ධර්ම කථිකයෙක් විය. පානදුරේ අරියධම්ම හිමි සහ ගංගොඩවිල සෝම හිමිට පසුව මෙරට වැඩිම ධර්මදේශනා පැවැත්වූ භික්ෂුව වන්නේද මාදුළුවාවේ සෝභිත හිමියන්ය.

ජනාධිපති‍ ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එජාප ආණ්ඩුවේ 1980 සිට 88 දක්වා ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව එළිපිටම ජනතාවාදී ක්‍රියාකාරකම්වලට නායකත්වය දුන් ජාතික සටනේ පුරෝගාමී යතිවරයා උන්වහන්සේය. එම වකවානුවේ ජනතාවාදී සටන් වෙනුවෙන් අපමණ දුක්ගැහැට,  ගැරහුම්, අවමන් වලට ලක්වූවද සෝභිත හිමියෝ ඒවාට නොසැලී, නොවැටී, නොබියව මුහුණ දුන්හ. අසූව දශකයේදී ශ්‍රී ලංකාවේ ජනතාවාදී භික්ෂූන්ගේ සංකේතය බවට පත්වූයේ මාදුළුවාවේ සෝභිත හිමියෝය. එකල එම දශකය පුරාම මම උන්වහන්සේ සමීපව මාධ්‍යවේදියෙකු ලෙස ඇසුරු කළෙමි.

dharman121104.සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් මව්බිම සුරකීමේ ව්‍යාපාරය මගින් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටු‍වේදී 1987 ජුලි 28වැනිදා පැවැත්වූ අති දැවැන්ත උපවාසයේදී පොලිස් වෙඩි තැබීමෙන් එම ස්ථානයේදීම මියගිය 21දෙනාගෙන් ප්‍රථමයාවූ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඩ් පෙරේරා මියගොස් සිටි අයුරු(පහළ) සහ ඔහුගේ ඡායාරූපය(ඉහළ)

සිංහල බල මණ්ඩලය 1981දී සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් පිහිටුවූයේ බ්‍රිතාන්‍යයේ ගාමිණී කීර්තිචන්ද්‍ර, ඩග්ලස් වික්‍රමරත්න ඇතුළු කිහිප දෙනෙකුගේ දායකත්වයෙනි. එහි ප්‍රථම රැස්වීම 1982 ජුලි 21වැනිදා බෞද්ධාලෝක මාවතේ සමස්ථ ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදි පැවති අතර සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් උනන්දුවක් දක්වන 2,000ක් පමණ එයට රැස්ව සිටියහ. සුපුරුදු පරිදි මඩි‍හේ පඤ්ඤාසිංහ නාහිමියෝ එදිනව ගිලන්ව සිටි අතර මුලසුන දරුවේ ඉත්තෑපානේ ධර්මාලංකාර හිමියෝය. රැස්වීමේ ප්‍රධාන සංවිධායකයා වූ සෝභිත හිමියෝ පිළිගැනීමේ කථාව කිරීමෙන් පසු මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන් කියා සිටියේ සිංහල සංස්කෘතියේ පිරිහිමට හේතුව රජයේ විවෘත ආර්ථිකය බවය.

“අඩෝ සරච්චන්ද්‍රයා බිමට බැහැපිය කියා” මැරයින් වේදිකාවට පැන සරච්චන්ද්‍රට පහරදී බිම දමා ඔහුගේ මුහුණට සහ පපුවට පයින් ගසමින් දෙපයින් අල්ලා එලියට ඇදගෙන ගොස් කානුවට ඇද දැමූ අතර එය බේරීමට ආ සෝභිත හිමියන්ටද පහර දුන්නේය. සෝභිත හිමි ඉන් අධෛර්යමත් වූයේ නැත. සිංහල වීර විදාන හරහා එම වැඩසටහන ඉදිරියට ගෙන ගියේය. යුද්ධයෙන් අනාථවූ උතුරු නැගෙනහිර සිංහල ජනයාට නිවාස තනවා දුන්‍නේය.

dharman121105.1987 හෙදි වර්ජනය විසදන ලෙස ඉල්ලමින් තුන්මුල්ලේදී උපවාසකල භික්ෂූන් පැහැර ගැනීමට එරෙහිව විරෝධය පලකරමින් සෝභිත හිමියන් නායකත්වය දුන් සත්‍යග්‍රහය.

ගම්පහ සාම විහාරාධිපති ආචාර්ය ධරමිටිපොල රතනසාර හිමියන්ගේ පැවිදි හඬ සම්මන්ත්‍රණයට සහ කොල්ලුපිටියේ පොලිසිය ඇතුළතදී විවියන් ගුණවර්ධනට පහර දීමට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී මුල්පෙලේ සිටි ක්‍රියාකාරිකයෙකු වූයේ සෝභිත හිමියෝය. මහනුවර ගැටඹේ ලබුදූව සිරිධම්ම හිමියන්ගේ රාජෝපාරාම පන්සලට ආණ්ඩුව කටු කම්බි ගැසිමට මුලින්ම එරෙහිවුයේ උන්වහන්සේය. එවිට ආණ්ඩුව ක‍ළේ ශ්‍රේෂ්ඨාධිකරණය දඩ නියම කල පොලිස් නිලධාරින්ට එම වන්දිය රජයෙන් ගෙවා උසස් වීම් ලබාදීමය.  80 ජුලි වර්ජනයේදී වර්ජකයින්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටි උන්වහන්සේගේ නාග විහාරය එකල දිස්වූයේ සටන් බිමක් ලෙසිනි.

දෙමළ බෙදුම්වාදීන්ට සහ ඉන්දීය ආක්‍රමණිකයින්ට රටපාවාදුන් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කල මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ නායකයෙකු වූයේද සෝභිත හිමියන්ය. කොටුව බෝගහ අසළදී 1988 ජුලි 28වැනිදා 20,000කට අධිකව සහභාගිවූ උද්ඝෝෂණයට නායකත්වය දුන්නේද සෝභිත හිමියන්ය. එම ස්ථානයේදීම පොලිස් වෙඩි තැබීමෙන් 21ක් මියගිය අතර රටපුරා එයට එරෙහි උද්ඝෝෂණ ඇතිවිය. පසුව තරුණයින් 60,000ක් පමණ තිරස්ථීන ලෙස ඝාතනය කරද්දී එයට එරෙහිවද සෝභිත හිමියන් හඬ නැගුවේය. හිමිවරුන් 724ක් ධර්මචක්‍රයේ දමා වධදී ඝාතනය කර ගංගාවල පාකර යවද්දී සහ ටයර් සෑවල අවසන් ගමන් යද්දී ඇතැම් හිමිවරුන් ආරක්ෂිතව රැකබලා ගත්තේද විදේශවල රැකවරණයට යෑමට මඟ පෙන්නුවේද උන්වහන්සේය.

ලෝක කම්කරු දිනය සැමරීම 1987 මැයි 1 රජය මගින් තහනම් කල විට එම තහනම කඩා බිඳ දමමින් නාරාහේන්පිට අභයාරාමයේදී ලංකාවේ එකම ප්‍රසිද්ධ මැයි දින රැළිය පවත්වන ලද්දේද සෝභිත හිමියන්ගේ නායකත්ව‍යෙනි. එහිදී දෙදෙනෙකු මරමුවට පත්විය. හෙද සටන 1986 දින 26ක් අඛණ්ඩව ඇදී යද්දී ඒ පිළිබද මර්ධනයට එරෙහි ජනමතය පෙළ ගස්සවන්නට තුම්මුල්ල හංදියේ බුදුරුව ඉදිරිපිට මාරාන්තික උපවාසයට නිරත හාමුදුරුවෝ 11 දෙනා මහ රෑ 12ට පැහැරගෙන ගොස් බොරැල්ල කතන්තේ මිනී වලවල් මත තබන ලදී. මෙයට එරෙහිව පොලිස් බාධක සහ ඇදිරිනීතියද නොතකා පන්දහසකට ආසන්න ජනයා සමඟ සෝභිත හිමියෝ යෝධ පවුරක් ගොඩනැගූහ.

dharman121106.ජනතා සටන්වලදී සෝභිත හිමිට අයෝමය ශක්තියක් 1985 සිට 1990 දක්වා ලබාදුන් යතිවරුන් කිහිපදෙනෙක්(වමේ සිට) මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නාහිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි සහ ආචාර්ය විලේගොඩ අරියදේව නාහිමි.

අසූව භීෂණ සමයේදී රටේ කැලඹිලි සිදුකරන බවට චෝදනා කර සෝභිත හිමියන් 1987 අගෝස්තු 1වැනිදා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදා පැමිණිමේදී නාගවිහාරයේ ඝංඨාර නාදය දසත පැතිරී ගිය අතර දායකයෝ සිය ගණනක් උන්වහන්සේ ගෙනයෑමට ඉඩ දුන්නේ නැත. පන්සලේ කටයුතු ගෙනයෑම එහිදී සෝභිත හිමියන්ගේ දෙවැනියාවූ වතුරවිල සුජාත හිමියන්ට පවරා නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක හමුදාවන්ට ඉඩදෙන්නැයි උන්වහන්සේ පවසා සිටියහ. මසකට ආසන්න කාලයක් පොලිස් අත්අඩංගුවට පත්වූ උන් වහන්සේ ඉන් තව තවත් පන්නරය ලබා තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයන් ඇතුළු බොහෝ පිරිසක් උන්වහන්සේට ශක්තියක් වූහ. අනූව දශකයේදී සංඝ භේදයකින් තොරව භික්ෂූන් වහන්සේලා ජාතික සංඝ සභාව හරහා ඒකරාශී කිරීමට හැකිවූයේද සෝභිත හිමියන්ගේ කැපවීම මතය.

පොදුජන එක්සත් පෙරමුණ රජය 1994දී බලයට පත්වූ අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ආගමික වතාවත් සිදුකිරීමට ප්‍රථමවරට පැමිණියේ ශ්‍රී නාග විහාරයටය. කොටි ප්‍රශ්නය නිමකර රට ඉදිරියට ගෙන යෑමට චන්ද්‍රිකා රජයට නොහැකි බැවින් රජය සමඟ හිතවත්කම අත්හැරි බව උන් වහන්සේ කියා සිටියේය. මේ සියළු කරුණු වලදී සෝභිත හිමියන්ට යෝධ බලයක් සහ අයෝමය ශක්තියක් සැපයූයේ උන් වහන්සේ වටා සිටි සිංහල ජාතිකවාදි පුද්ගලයින් සහ බලවේගයන්ය.

dharman121107.සෝභිත හිමියන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී

අසූව දශකයේදී සෝභිත හිමියන් මව්බිම සුරකීමට සහ ප්‍රගතිශීලි සටන්වලට එඩිතරව නායකත්වය දුන් සටන්කාමී භික්ෂුවකි. උන්වහන්සේ එදා අයත් වූයේ උඩකැන්දවල සරණංකර හිමි‍, කොටගම වාචීස්වර හිමි සහ මැදගොඩ සුමනතිස්ස හිමිගේ පරපුරටය. ගෞරවණීය සාමයක් වෙනුවෙන් එදා සෝභිත හිමියෝ පෙනි සිටියහ. බලකාමය. ධනකාමය සහ අවස්ථාවාදය අළුයම ලූ කෙල පිඩක් සේ බැහැර කළේය.

නාග විහාරයේ බණ මඩුව 1988දී විවෘත කළේ සෝභිත හිමියන්ගේ මව විසිනි. ඇය 2003දී මියගිය පසු අවසාන කටයුතු නිමවන තෙක් ඇගේ දේහය තබා තිබුනේද එම බණ මඩුවේය.

ඉකුත් වසර 2ක පමණ කාලයක් තුළ මාදුළුවාවේ සෝභිත හිමියෝ දේශපාලන ක්ෂේත්‍රය අභියෝගාත්මක භූමිකාවක් රඟ දක්වනු ලැබීය. ඒ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණු කිහිපයක් පෙරදැරිවය. ඒ යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, රාජ්‍යයේ යහපාලනයක් ඇති කිරීම, ඇමති තනතුරු 30කට අඩුකිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, වංචා සහ දූෂණ හෙළිදරව් කර ඒවාට දඬුවම් කිරීම වැනිදෑය. ඒ යටතේ විභේදනයට පත්වී තිබූ දේශපාලන බලවේග රැසක් ජනප්‍රිය ජාත්‍යන්තර සටන්පාඨ කිහිපයක් ඔස්සේ ඒකාබද්ධ කිරීමට උන්වහන්සේ සමත් විය. උන්වහන්සේගේ උත්සාහය ජයග්‍රහණය කලද උන්වහන්සේ අපේක්ෂා කල පොදුජන අපේක්ෂාවන් වසරකට ආසන්න කලක් ගතවූවද ඉටුවූයේ නැත. සෝභිත හිමියන්‍ගේ පරමාදර්ශී ප්‍රතිරූපයට ඉන් සිදුවූ බලපෑම පිළිබද අවංක තක්සේරුවක්ද උන්වහන්සේ තුළ විය.

අවසාන වශයෙන් මා සෝභිත හිමියන් හමුවූයේ ඉකුත් සැප්තැම්බර් 9වැනිදා පෙරවරුවේද හමුවිය. පසුව කොළඹ රජයේ සහ පෞද්ගලික රෝහලකද දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ගැනිමෙන් අනතුරුව සිංගප්පූරුවේ මවුන් එලිසබට් රෝහ‍ලේදී 2015 නොවැම්බර් 8වැනිදා සදහටම දැයෙන් සමුගත්හ. ඒ වන විට උන්වහන්සේ 74හැවිරිදි වියේ පසුවිය. වසර කිහිපයක් දියවැඩියාව රෝගයෙන් සහ මාස කිහිපයක් කොන්දේ වේදනාවෙන් විටෙන් විට පීඩාවට පත්ව සිටි උන්වහන්සේ හදවත් සැත්කමකටද භාජනය කර තිබිණි.

ජනතාව මතවාදිව හැඩගැස්වීමෙහිලා භික්ෂූහු ඉතිහාසය ආරම්භයේ සිට මේ දක්වා  තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබේ. මෑත කාලීන ඉතිහාසයේ අධිරාජ්‍යයට එරෙහිව හෝ මව්බිමේ නිදහස පතා විප්ලවය ඇරඹුණේ පන්සලෙනි. ශ්‍රී ලංකාවේ 19වැනි සියවසේ සිදුවූ ගොවිජන කැරළි පිළිබඳව අරගලයට නායකත්වය දුන්නේ පන්සලෙනි. 1816 සහ 1818 කැරළිවලදී ප්‍රධාන වැඩ කොටසක් කැරළි නායකයින් සමඟ ඉටුකරනු ලැබුවේ ඉහළගම රතනපාල ඇතුළු භික්ෂූන් විසින් පන්සල මුල්කර ගනිමිනි. නරාවිලි ධර්මරතන සහ දුම්බර පාලිත යන හිමිවරුන් ගොවි ජනතාව වෙනුවෙන් දේශපාලන වැඩකළේ  පන්සලෙනි. සෝභිත හිමියන්ද නියෝජනය ක‍ළේ එම පරපුරය.

එදා සෝභිත හිමියෝ 30,000ක් පමණවූ ලක් සඟ සසුණේ නායකත්වයක් හිමිවූ සංඝ පීතෘවරයෙකි. දැවැන්ත සමාජ කාර්යයක නියැලුණේය. ලාංකීය ප්‍රගතිශීලි ව්‍යාපාරයට නාග විහාරය ක්ෂේම භූමියක් විය. සෝභිත හිමියෝ කල්ප රුක්ෂයක් බදු විය. දැයෙන් සමුගන්නා ජාතික සටනේ ගිණිසිළුව බවට කළෙක පත්ව සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවායි සැමගේ පැතුම වනු ඇත.

 

6 Responses to “දැයෙන් සමුගන්‍නා ජාතික සටනේ ගිනිසිළුව මාදුළුවාවේ සෝභිත මා හිමියෝ”

  1. Independent Says:

    ඔබවහන්සේ ඇමරිකන් මුදල් ගෙන රජසැප වින් දේ නැත​. ඔබවහන්සේ රැස්කල දෙයක් ද නැත​.
    ඔබවහන්සේ කිසිවකුට මඩගැසුවේත් නැත​. ඔබවහන්සේ සත්‍යය දුටුවාහුය​.
    නියම බුද්ධ පුත්‍රයක්වූ ඔබවහන්සේ ට නිවන් සැප ලැබේවා !
    හාමුදුරුවන්ට ම්ලේච්චලෙස අවමන් කර ලංකාවෙබ් මෝඩ මිනිසුන් ට ඇස් ඇරේවා.

  2. Leela Says:

    හරි හෝ වේවා වැරදි හෝ වේවා, සෝපිත හිමි ජීවිතේම කලේ පවතින රජය කල වැඩට විපක්‍ෂ උන එකය්. ජප්පො වගේ අරක දියව් මේක දියව් කියල ඉල්ලීම් ඉදිරිපත් කොරන එක හරිම ලේසිය්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක දින 100 න් ‘ජනාධිපති තනතුර අහෝසි කරනව’ කියන පොරොන්දුව ඉටු කරන්න නෙවය් පොඩි වැඩක් හරි කොරන්න අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය රඳව ගන්න එක ලේසි නැහැ කියල සිරා/රනිල ගෙ ‘යහපාලන’ අච්චාරැවෙන් පෙන්නල තියනව. මොන විධායක බලය තිබුනත් මහින්ද මහත්තය යුද්දෙ ඉවර කලේ ජාතියන්තරය සහ රනිල වගේ උන්ගෙ මොන තරම් කෙනෙහිලිකම් මැදද කියන එක පැත්තක තියමු මහින්ද යුද්දෙ කොරන්න සහ ඊට පස්සෙ රට සංවර්ධනය කොරන්න අවශ්‍ය පාර්ලිමේන්තු බහුතර බලය හදා ගත්තෙ කොච්චර අමාරැවෙන්ද කියලවත් සෝපිත උන්නාන්සෙ අවසාන දවස් වල තේරැම් ගත්ත බව නම් “අපිට වැරදුනා මහත්තයො” යයි ලෙඩ අැදේ සිට මහින්දට පනිවිඩ යවා ගෙන්වා මහින්දටම කීමෙන් පැහැදිලි වෙනවා යයි මට සිතේ.

  3. Independent Says:

    ලීලානන් ද​,

    ඔබගේ වදනින් සියලුම උපකපන ඉවත්කරන්න​.
    1.“අපිට වැරදුනා මහත්තයො” යයි කිවුවා
    2. මහින්ද මහත්තය බලවත් උවමානවටම යුද්දෙ ඉවර කලා (2005 මැතිවරණ ප්‍රකාශ්‍ය බලන්න)​
    3. දින 100 න් අපාය දෙව්ලොවක් කලහැක​

    මෙවිට ඉතුරු වන්නේ ශුන්‍ය බව පමණි.

    සෝභිත හාමුදුරුවන් ගේ අපණ කතා ලෙහෙසියෙන්ම අස්ත හැක​. ඒවා අසා උන්වහන්සේ අසාධාරණ එක දෙයක් කියා ඇත්නම් එය අපට දැනගැනුම පිනිස කියන්න​.

  4. NeelaMahaYoda Says:

    ඔබවහන්සේ ඇමරිකන් මුදල් ගෙන රජසැප වින් දේ නැත​. ඔබවහන්සේ රැස්කල දෙයක් ද නැත​
    නමුත් අවසානයේදී සමාන්‍ය පුරවැසියෙකුට නොලැබෙන රාජ්‍ය ගෞරව සහිත ආදාහන පූජෝත්සවයක් වත් ලැබුනා. ඒ මදෑ

  5. Christie Says:

    Can the writer tell me about the Indian Merchants who are Dayakayaas of this monk?

  6. Independent Says:

    Christie,
    On behalf the writer I can tell you that there were many statues of great Indians in his temple. He used to worship there Indians and even the people coming to the temple do exactly that.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress