මහා ඝාතන රැල්ලකට හසුකර, මරා දමා අන්තර්ධාන්‍ය කල පසුවත්, සමර, සමරා මරා දමන “ඉල්මහා විරුවෝ “
Posted on November 13th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අද 2015 නොවැම්බර් මස 13 වෙනිදාය, රෝහණ විජේවීරයානන් ඝාතනය කොට වසර 26ක් සම්පූර්ණ වෙයි. රෝහණ විජේවීර චරිතය හා ඔහු අනුගමනය කල දේශපාලන ප්‍රතිපත්ති කුමක්දැයි වටහා ගැනීමට, අපට ඔහුගේ දේශපාලන පන්ති වලටවත්, දේශනවලට සහභාගී වීමට අවශ්‍ය නොවේ. මාක්ස්වාදීන් හා භෞතිකවාදීන් යයි කියා ගන්නා මහත්වරුන්ට නම්, තමන්ගේ පංති සතුරෙක් සිටී. ඒ පංති සතුරා යනු ගමේ ගොඩේ මිනිසුන්ට සිටින සතුරා මෙන් අද හරමානිස්, හෙට පොඩි අප්පුහාමි හා අනිද්දාට සිරිබිරිස් යනුවෙන් වෙනස් වෙන්නේ නැත. එදා කාල්මාක්ස් හා ෆෙඩ්රික් ඒංගල්ස් දුටු ඒ පංති සතුරාම අදද ඒ ආකාරයෙන්ම මේ සමාජය තුල වැජඹෙමින් සිටී. ඒ මාක්ස්වාදයට හා භෞතික වාදයට අනුවය. ඒ පංති සතුරා 1977දී තමන්ට ඇවැසි ආකාරයට මෙරට පාලන බලය ලබාගෙන බඩපිනුම් ගැසීම ආරම්භ කලේ විශ්මිත ආකාරයකටය. ඒ අවස්ථාවේදී එම පංති සතුරාට එරෙහිව රෝහණ විජේවීර ප්‍රමුඛ දේශපාලන බලවේගය, සිදුකල සමාජමය දේශපාලන ගනුදෙනුවේදී සතුරා ඔහු කෙරේ ක්‍රියා කල ආකාරය ගෙනහැර පාන්නේ එදා රෝහණ විජේවීරයන් ප්‍රමුඛ බලවේගය ඉටුකල සමාජ මෙහෙවරේ සාධාරණ භාවයයි.

රෝහණ විජේවීර යනු එකල පැවති රජයට විරුද්ධව සටන් වැදීමට ජනතාව ඒකරාශී කර සටන් මෙහෙයවූ පුද්ගලයා වශයෙන් දකිනවාට වඩා, ස්වභාවය විසින්, එදා පැවති ඓතිහාසික සමාජ තත්වයන්ට මුහුණදීම සඳහා නිර්මාණය කර ඉදිරිපත් කරන ලද ප්‍රගතිශීලී බල සම්ප්‍රයුක්තය යයි හැදින්වීම වඩා උචිතය.  එදා මෙරට ප්‍රගතිශීලි බලවේගය ඉදිරියට මෙහෙය වීමට තිබුණ එකම ක්‍රමවේදය බලය පාවිච්චි කිරීම වූ අතර, ඔහු ප්‍රමුඛ ඒ බල වේගය එදා එම කාර්යය කොතරම් අපූරුවට කලේද යත්, ඩී. එස් . සේනානායක රජයේ පටන්ම මෙරට තිබූ සියළුම රාජ්‍යයන්ට වින කටිමින්, තමාගේ රජය අපූරු අමරණීය රාජ්‍යයක් යයි යන සිතුවිලි දාමයක් තුල නැංගුරම්ලා සිටි මෙරට ද්‍රෝහී පාලකයකු වූ ජේ. ආර්. ජයවර්ධනට මෙරට රාජ්‍ය පාලනය එපා කර දේශපාලන බිමින් පලා යන්නට සලස්වන්නට හැකිවීමම එම බලවේගය එදා මෙරටට උදාකල අපූරු යුග මෙහෙවරයි.  ඔහු ගරු කල මාක්ස්වාදී දේශපාලන දර්ශනයට හා භෞතිකවාදයට මහත් ගරුත්වයක් දැක්වු අතර, ඒ හරහා ඔහු හඳුනාගත් පංති සතුරා මනාව හඳුනා ගෙන සිටියහ. තම පංති සතුරාට පුජාතන්ත්‍රවාදී ප්‍රවාහයේදීවත් මිතුරෙකු වශයෙන් සැලකීමට ඔහුට අවශ්‍ය නුවුන අතර, තමන් මුහුණ දුන් එකම ජනාධිපතිවරණයේදී ඔහු වෙත පිරි නමන ලද, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ උපන්දින කේක් කෑල්ල පවා ප්‍රතික්ෂේප කිරීමට තරම්ම වෛරයක් ඔහු තුල සිය පංති සතුරා සම්බන්ධව ගොඩනැංවී තිබිණ. හරි හෝ වැරදි වේවා ඒ ඔහු සිය පංති සතුරා සම්බන්ධව අනුගමනය කල ප්‍රතිපත්තියේ ස්වරූපයයි.

අධිරාජ්‍යවාදයට විනාශය – ජනතාවට විමුක්තිය යන සටන් පාඨය යටතේ ආරම්භයේදී පටන්ම මරණය තෙක්ම සිය සටන මෙහෙය වූ රෝහණ විජේවීරයන්ට පුනරුත්තාපනය වූ අධිරාජ්‍යවාදී කඳවුරක් පෙනුනේම නැත. දුටුවේද නැත. ඔහු අමුතුම මාක්ස්වාදියෙක් විය. ඔහු තමන් මේ මෙහෙයවන්නේ, එදා මේ රටේ විරු පරපුර අඛණ්ඩව ඉටු කරගෙන ආ දේශප්‍රේමී විමුක්ති අරගලයේ වර්තමානයේ කලයුතු කාර්ය භාරය වශයෙන් විශ්වාස කල අතර, එය දිවි හිමියෙන් කිරීම තම සමාජ කාර්යභාරය වශයෙන්ද විශ්වාස කලහ. ඔහු ඉටු කරගෙන ආ ඒ සමාජ කාර්යභාරය නිම කිරීමට පෙර, ඔහු ආප්ක්ෂා කරගෙන සිටි මරණය ඔහු වෙත කුරිරු ආකාරයෙන් ලඟාවිය. එය එදා බොලීවියාවේදී චේ ගුවේරා සහෝදරයා වෙත ලඟා වූ ආකාරයෙන්ම ඔහු වෙත ලඝාවීම විශේෂිතම සිද්ධියයි. එදා චේ ගුවේරා සහෝදරයාව වහාම මරා දැමීම සඳහා එරට භාර ඇමරිකානු තානාපතිවරයා නියෝග නිකුත් කර තිබුණ අතර, අත් අඩංගුවට පත් රෝහණ විජේවීරන්ව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරීන්ව වහාම ඝාතනය කර දමන ලෙස මෙරට තුල ක්‍රියාත්මක වෙන විදේශීය හස්තයකින් නෑටවෙන අදිසි රජයක් මගින් නියෝග නිකුත්ව තිබුණි, මෙරට විධායක ජනාධිපති බලතලද ඉක්මවා ගොස් මෙම ඝාතනයන් මනාව ඉටු කරන ලදී.

ඇමරිකාව පුමුඛ බටහිර රාජ්‍ය පද්ධතියේ එකම අවශ්‍යතාවය වූයේ ඔහුගේ මල කඳයි. ඔහු වෙනුවෙන් සුදු කොඩි කථාවත්, ඔහු වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයවත් හඬා වැටුනේවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේඛම්තුමා, අත් අඩංගුවේ පසුවූ රෝහණ විජේවීරයානන් ඝාතනය කල ආකාරය සම්බන්ධව පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තර කමිටු පත්කලේවත් පත් කිරීමට උත්සහ කලේ වත් නැත. අත් අඩංගුවට පත් ලක්ෂ ගනනක් මිනිසුන් මර මරා මහා පාරවල් අයිනේ ප්‍රසිද්ධියේ පුළුස්සද්දීත් මුළු මහත් ශිෂ්ඨයයි තමන්ම තවරා ගත් ජාත්‍යන්තරයට මේ ඝාතනයන් සංවේදී කාර්යයක් නොවිණ. අද ප්‍රභාකරන්ගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධව වර්තමාන කොටි ජාලය ක්‍රියා කරන ආකාරය දුටු විට තදින්ම දැනෙන කාර්ය වන්නේ අඩුම තරමින් අත්අඩංගුවට පත් සිය නායකයාට සිදු කල මේ සාපරාධී අපරාධය සම්බන්ධව විදිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තරම් ජනතා විමුක්ති පෙරමුණටද කිසිදු උවමනාවක් නොතිබුණ බවයි.

මෙරට දේහපාලනාවලිය දෙස විමර්ශණාත්මකව බලන අයෙකුට පැහැදිලිව දිස්වන්නේ සුද්දා විසින් මෙරට පැල පදියම් කරන ලද කතෝලික හා අනිකුත් ක්‍රිස්තියානි ආගමික නිකායන් මෙන්ම මාක්ස්වාදයද බටහිර අධිරාජ්‍යවාදයට සේවය කිරීම සඳහා මනාව සකස් කර මෙරට තුල ස්ථාපනය කිරීම සඳහා එංගලන්තය හරහා මෙරටට එවන ලද මෙවලමක් ලෙසයි. නමුත් රෝහණ විජේවීරයන් විසින් කරන ලද කාර්යය වූයේ ඒ සුද්දා විසින් මෙරටට එවන ලද බටහිර හිතවාදී මෙවලම, කාල්මාක්ස්ලා අපේක්ෂිත ආකාරයට මෙරට තත්වයන්ට අනුකූලවන ආකාරයට බද්ධ කිරීමට වෙර දැරීම වුවද, එය කොතෙක් දුරට සාර්තකව ඔහුට ඉටු කරන්නට හැකිවීදැයි යන්නට හොඳම උදාහරණය වන්නේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණයි. මේ ජනතා විමුක්ති පෙරමුණ වසරක් පාසා සිය නායකයාව සමරණ අතර මෙවර එය 26 වන සැමරුම බවට පත්ව තිබේ. මෙම සැමරුම තම නායකයා හා මියගිය අනිකුත් සගයන්සැමරීම සඳහා, තමන් විසින් ගොඩනංවන ලද සමාරකයක් ඉදිරියේ පහන් දල්වා පසුව තමන්විසින්ම එම ස්මාරකය කඩා ඉවත් කරන තත්වයක සැමරුමක් බවට පත්ව තිබේ. තවද මෙරට සංස්කෘතික මූලයන් වූ පිරිත් සංඤඤායණාවක් පෙරදිනදී තම මියගිය සගයන් වෙනුවෙන් පවත්වා පසුදින මහාදානමය පුණ්‍ය කර්මයක් කරන ලෙස උපදෙස් දීමට තරම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ භික්ෂු සංවිධානවත් සිය පක්ෂයට යෝජනා නොකිරීමට තරම් පසුගාමී තත්වයක් මෙම පක්ෂය තුල තිබීම, පැරණි වාමාංශික ව්‍යාපාරය වූ සුද්දාගේ වාමාංශික ව්‍යාපාරය සිටි තැනටම ජනතා විමුක්ති පෙරමුණ පසු බැස ඇති බවයි. තමන්ගේ දෙමවිපියන්ගේ දූ දරුවන්ගේ හා ලඟම ඥාතීන්ගේ මරණයන්හිදී සියළුම බෞද්ධ වත් පිලිවෙත් ඉටුකරන මේ දේශපාලන පක්ෂ නායකයින්, තමන්ගේ නායකයා ප්‍රමුඛ අතීත සගයන්ගේ සැමරුම් සඳහා ආගමික වතාවත් සිදු නොකරන්නේ තමන් මාක්ස්වාදී, භෞතිකවාදී දේශපාලන දර්ශනයක් අනුගමනය කරන බැවින් බව කාලයකට පෙර ඉදිරිපත් කරන ලද තර්කණය විය.

එදා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පල්ලියේ හොර පූජක රැල ප්‍රමුඛ පාලක නඩය කුරුසය සිප ගනිමින්, එම කුරුසයම උන්වහන්සේට වදකාගාරයක වධක මෙවලමක් බවට පත්කර ගනිමින්, මුළු මහත් සමාජය ඉදිරියේම වධ බන්දන දෙමින් මරා විනාශකර දමා, තමන්ගේම සාස්තෘවරයාව ඝාතනය කිරීමට සතුරාට බෙහෙවින් උපකාර කල කුරුසයට වන්දනා මාන කරන අමන සමාජයක් ගොඩනැංවූවා සේම, වර්තමානයේදී  වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ එදා රෝහණ විජේවීර ප්‍රමුඛ බලවේගය විනාශ කල ඒ බලවේගය වන්දනාමාන කරන, ඒ යුගයේදී සිටි වධකාගාර පාලකයින්ව අදහන මාක්ස්වාදී, භෞතිකවාදී සමාජ කල්ලියක් බිහිකර ඇත.

මෑතක් වෙනතුරු ජනතා විමුක්ති පෙරමුණේ  මාක්ස්වාදීන් හා භෞතිකවාදීන්ට පංති සතුරෙක් සිටියහ. ඒද රෝහණ විජේවීරයානන් දුටු ආකාරයේම පංති සතුරා විය. අධිරාජ්‍යවාදය හා එහි ගැත්තන් හා ඒ ගැත්තන්ට උඩගෙඩි දෙන ඉත්තන් තම පංති සතුරා ලෙස  මෙම මාක්ස්වාදීන් වටහා ගෙන සිටියහ. ඒ අනුව 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා නොකරන පදනමක් යටතේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව සිය පංති යුතුකම ඉටු කලහ. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කලහ.

2005 නොවැම්බර් මස 18 වෙනිදා, මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට මහගු කාර්යයක් ඉටු කල ජනතා විමුක්ති පෙරමුණ, මෙරට සියළුම ජනතාවගේ සහය ඒ මහතාට ඇවැසි ඒ මොහොතේම, හරියටම අංශක 180 කින් කැරකී විරුද්ඩව සිට ගැනීම තරම් අති පහත් දේශපාලන ක්රියාවලියක් ලක් ඉතිහාසය පුරාම නැත. එම පහත් දේශපාලනයට උරදුන් සෝමවංශ අමරසිංහ හා අනුර කුමාර දිසානායක බල ඇණිය තමන් එදා බලයට පත්කල.මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන බලවේගයක් බවට පත්වීමට හේතු විද්‍යාත්මකව ඉදිරිපත් කල යුතු විය. එම පාහර දේශපාලන කටයුත්ත සාධාරණීය කරණය කිරීමට කිසිඳු මාක්ස්වාදියකුට හෝ භෞතිකවාදියකුට සිඳුකල නොහැකි දෙයකි. මෙම මෙම සිද්ධිය සම්බන්ධව එම පක්ෂය සවයං වීවේචනයක් කිසිදා කර නැත. අතර,
 මෙම සිඳුවීම මලවුන්ගෙන් නැගිටි රෝහණ විජේවීරයානන්ව නැවත්වරක් අමු අමුවේ ඝාතනය කිරීමක් හා සමාන වූ කටයුත්තක් බවට පත්ව තිබිණ.. මහින්ද රාජපක්ෂ මහතා, එදා රෝහණ විජේවීරයානන් දුටු අධිරාජ්‍ය විරෝධී හා ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි අරගලය, මේ රට තුල අභීතව ක්රියාත්මක කල එකම රාජ්ය නායකයා විය.

නූතන ජනතා විමුක්ති පෙරමුණ, තමන් වටා සිටි  දේශප්‍රේමී බලවේග මුලාවට පත්කර, අධිරාජ්යවාදීන් හා ඉන්දීය ව්යාප්තවාදීන් සමග බද්ධව, සිය උපාය උපක්‍රමද පාවිච්චි කරමින්  මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ දේශප්රේමී බලවේග අමු අමුවේ විනාශ කිරීමේ ප්රමුඛ බලකාය බවට මේ වනවිට පත්ව හමාරය..

මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ විසින් රෝහණ විජේවීර නම්වූ දේශපාලන චරිතය මහපාරේ දමා ඒ මතින් විශාල ගල් රෝලක් යවා චප්ප කර හමාරය. අද ඔවුන්ගේ සතුරා ඉල්මහ විරුවන්ගේ ප්රති පත්තින්ය. මිතුරන් වන්නේ අද අපට සැමරීමට ඉල්මහා විරුවන් නිර්මාණය කල දේශපාලන මිනීමරුවන්ය. තම නායකයාව මරා දමා සුන්නද්දූලි කල බලවේගය හා බද්ධවීම හරහා මෙරටට ප්‍රත්‍යන්ෂ කරවන්නේ අද 26 වෙනි ඉල් මහා සැමරුම පවත්වන්නේ ඉල්මහවිරුවන්ව ඝාතකාගාර වලට දැක්වූ බලවේගයන් බවය.

අප බෞද්ධයින් බැවින්, විශ්වාස කරන එක සිද්ධාන්තයක් තිබේ. එම සිද්ධාන්තයට අනුව එදා මියගිය ඉල් මහා විරුවන්ගේන් බහුතරයක් මේ වනවිට අවුරුදු 26ක පිරිපුන් තරුණයින් බවට යලිත් පත්ව සිටී. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයට, තමන් ඉටු කරමින් යන ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරයට තව ඇත්තේ බොහෝම පටු කාල පරාශයක් බව අප පැහැදිලිවම දන්නෙමු. ඔවුන් එදාට තම මියගිය අතීත ආත්මයන් හා සගයන් උදෙසා අමරණීය සිහිවටනයක් මේ මාතෘ භූමිය මත ඉඳි කරනු ඇත.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

One Response to “මහා ඝාතන රැල්ලකට හසුකර, මරා දමා අන්තර්ධාන්‍ය කල පසුවත්, සමර, සමරා මරා දමන “ඉල්මහා විරුවෝ “”

  1. Independent Says:

    අවාසනාව නම් නොමග ගිය අපරාධ කරුවන් කිසිදාවත් විරුවන් නොවීමයි.
    ඔවුන් මෙලොවත් පරලොවත් දුකටම පත් වෙති.

    ඉධ සෝචති පෙච්ඡ සෝචති පාපකාරී උභයත්ථ සෝචති
    සෝ සචති සෝ විහඤ්ඤති දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ… වශයෙන් බුදුරජුන් පැවසුවේ මේ සත්‍යයම වේ.

    එසේ නොවේනම් අභීත සටන් කරුවකු වන දීපන් වැන්නන් ශ්‍රී ලාංකික විරුවන් වනු වැත​. විරුවකුට වඩා නිවටයකු ලෙස විජේවීර පිදුම් ලැබිය යුතුය​. දහස් ගනන් උගත් අසරණ තරුණයින් නොමග ගොස් අමානුශික ලෙස ඝාතන කරද්දී මොහු උලපනේ නීචයකු සේ සැඟවී සිටියේය​.

    මේ ලිවුම් කරුවනට හොඳ නරක තේරුම් ගත නොහැකි ද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress