මහින්දගේ අධිවේග මාර්ගය සහ රනිල් ගේ අධිවේග මාර්ගය
Posted on November 14th, 2015

මතුගම සෙනෙවිරුවන්

මේ දිනවල පාර්ලිමේන්තුව මදක් උණුසුම්ය. අගමැතිවරයාට අවශ්‍ය ආකාරයට එය උණුසුම් කිරීමද සිසිල් කිරීමද සිදුවන බව පෙනේ. ඇවන්ගාඩ් පලහිලව්ව මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීම ආදී කරුණු රටේ ප්‍රමුඛ ජාතික ප්‍රශ්න බවට තල්ලු කොට ඇත්තේ කවුරුදැයි මෙම පාර්ලිමේන්තු සැසි වාර වලදී දැන ගත හැකිය. රටේ ප්‍රශ්ණ සහ ඒවාට සොයා යා යුතු විසදුම් ගැන ප්‍රයෝජනවත් සාකච්ඡා මතු කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබියදීත් කාලය කා දමමින් වට්ටි අම්මලා සේ කෑ කොස්සන් ගසමින් පාර්ලිමේන්තුවේ හැසිරෙන දර්ශනය සැබවින්ම ජුගුප්සා ජනකය. මේ අතර වාරයේ අධිවේග මාර්ග වල ටෙන්ඩර් සහ ඇස්තමේන්තු ගැන ද  මහහයියෙන් වාද විවාද කරනු පෙනේ. මහනුවර කොළඹ අධිවේග මාර්ගය සෑදීම ගැන ගිය ආණ්ඩුවේ කතා සහ මේ ආණ්ඩුවේ කතා අතර එතරම් වෙනසක් නැත. හදන්නේ කොන්ක්‍රීට්  වලින්ද රත්තරනෙන් ද යන්නද එතරම් වැදගත් නොවනවා විය හැකිය. චන්ද කාලයට පමණක් ජනතාව ඉදිරියේ පැවසීමට උණුසුම් මාතෘකාවක් අවශ්‍ය බැවින් කුණු බාල්දි ඇවිස්සීම මන්ත්‍රීවරුන්ගේ සිරිතවී තිබේ.

කෙසේ වෙතත් අධිවේගී මාර්ගයන් අවශ්‍ය ව තිබෙන්නේ කා හට දැයි යන ප්‍රශ්ණය මේ කිසිවෙක් අසා නොමැත. අත මිට මුදල් ඇත්නම් වාහනයක් ඇත්නම් අධිවේග මාර්ගයේ වේගයෙන් යන්නට ඕනෑම කෙනෙක් කැමතිය. එහෙත්  එකට දෙසීය ගණනේ පොලී ගෙවා මේ මාර්ග වල යන්නට කුවුරුත් කැමති නොවනවා නිසැකය. අධිවේග මාර්ග ප්‍රවිශ්ටයට ගෙවන්නේ රුපියල් දෙසීයද දෙසිය පණහද යන්නට වඩා ගෙවන පොලිය ගැන විමසිල්ලෙන් සිටිනවා නම් හොඳය. කොළඹ සිට මහනුවර යෑමට කුරුණෑගල හරහා යනවාට වඩා කටුනායක සිට මහනුවරට යෑම සියල්ලටම වඩා ලාභ යයි රනිල් වික්‍රමසිංහ අගමැති වරයා පවසයි. ඒ සැලැස්ම වෙනස් කර වෙනත් මගක් තෝරා ගෙන තිබෙන්නේ කොමිස් වැඩිපුර ගන්නට යයිද කියති. රාජපක්ෂ ආණ්ඩුව තනා නිම කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු කාලයේ ආරම්භ කරන ලද ව්‍යපෘතියක් බව කාහටත් දැන් අමතක ව තිබේ.

මෙම අධිවේග මාර්ග සංකල්පය අපේ දෙයක් නොවේ. එය එක්සත් ජාතීන් ගේ සංවිධානය හරහා ලෝක බලවතුන් මැදිහත් වී සාදන ලද සැලැස්මකි. ලෝකය ලිබරල්කරණයේදී නිදහස් වෙළෙද පළවල් හරහා දියුණු මාර්ග පද්ධතියක අවශ්‍යතාවය ඉලක්ක කර ගෙන  මෙම යොජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ රටවල් ගණනාවක් සමග සාකච්ඡා කිරීමෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිවරයා එම ගිවිසුමට අත්සන් තබන් ලද්දේ 2004 අප්‍රියෙල් මස 26 වනදාය. ඒ අනුව තලේ මන්නාරමෙ සිට දඹුල්හරහා කටුනායකටත් අනතුරුව කොළඹටත් පසුව මාතරටත් දඹුල්ල සිට මහනුවරටත්  මේ අධිවේග මාර්ග ජාලය පුළුල් කිරීමට මූලික සැලැස්මක් මත මේ ගිවිසුම අත්සන් කර ඇත.

ආසියානු අධිවේග මාර්ග ජලය පිළිබඳ කතාව 1959 වර්ෂය දක්වා පැරණිය. එම කාලයේදී රටවල් 15 ක් සමග එකඟතාවයට පැමිණ කි.මී. 65000 ක් සම්පූර්ණ කරන්නට දරණ උත්සාහයන් පිළිබඳ වාර්තා වෙයි. ඉන්පසුව 1960 -1970 දශක වලදී ආසියාවේ ප්‍රවාහන යටිතල පහුසකම් සැපයීමේ ව්‍යාපෘතිය (ALTID ) ලෙසට එය ඉදිරියට ගෙන ගොස් ඇත. පසුව එක්සත් ජාතීන් ගේ ආර්ථික සාමාජීය කොමිසම මගින් 1992 දී එහි 48 වන සැසියේදී සම්මත කරගත් පරිදි ආසියානු අධිවේග මාර්ග ජාලය පිළිබඳ කතිකාව පුළුල් කරන ලදී. ඒ මගින් යුරෝපය සහ ආසියාව ඉතා ලන්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ආසියාතික දුම්රිය මාර්ග පද්ධතියක් පිළිබඳවද මෙහිදී ඉදිරිපත් කරන ලද යෝජනාව ඔවුන් ගේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇත. මෙම (ESCAP)  ව්‍යාපෘතිය 2003 නොවැම්බර් 18 දින බැංකොක් නගරයේ පැවති සමුළුවේදී රටවල් 32 ක අනුමැතියෙන් සම්මත විය. ඒ අනුව 2004 අප්‍රියෙල් මස වන විට එම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට එම රටවල් වල නියේජිතයන්ට සිදු විය.එහි අවසාන අරමුණ ආසියාතික රටවල් රාශියක මහ නගර සම්බන්ධ කර කි.මී. 141000 ක මාර්ග ජාලයක් සම්පූර්ණ කිරීමයි. ඒ අනුව ලංකාවේ එවකට සිටි විදේශ අමාත්‍යවර ලක්ෂමන් කදිරගාමර් මහතා  විසින් එම ලියවිල්ලට අත්සන් කිරීම සිදු කර තිබේ. එම අවස්ථාවෙන් පසුව මාධ්‍යට නිවේදනයක් නිකුත්කළ එතුමා කියා සිටියේ ආසියානු නගර සම්බන්ධ කිරීමට වඩා ගැමියා ගෝලීයකරණට ලක් කිරීම මෙහි අදහස බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේදී පාර්ලිමේන්තුවේ කියන පරිදි මෙහි මුල් සැලැස්ම වී ඇත්තේ දඹුල්ලේ සිට කටුනායකටත් ඉන්පසු කොළඹටත් අධිවේග මාර්ග ජාලය සම්බන්ධ කිරීමයි. නමුත් චන්ද්‍රිකා ආණ්ඩු කාලයේදී ඇතිවූ විරෝධතා නිසා එය කළ නොහැකි විය. පසුව මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ පසු මුලින් මාතර කොළඹ අධිවේග මාර්ගයත් පසුව කටුනායක අධිවේග මාර්ගයත් අවසන් කරන ලදී. ඔහු ගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවරට ළඟා වීමයි. එයට අමරතව මුල් සැලස්මේ නොමැති මාර්ග කීපයක්ම නිර්මාණශීලී ලෙසට සකස් කර ගැනීමටත් එයට අවශ්‍ය මුදල් ලබා ගැනීමටත් සමත් විය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීම සඳහා කළ මැතිවරණ මෙහෙයුමේදී මේ අධිවේග මාර්ගයන්ට වැයවන අධික මුදල්කන්දරාව ජනතාව ඉදිරියේ ප්‍රශ්ණ කරන ලදී. මුදල් නාස්තිය ගැන ඔවුන් කී කතා ජනතාව විශ්වාස කරන්නට ඇත. යළිත් දැන් කොළඹ මහනුවර මාර්ගය ඉඳි කිරීමට චීනයෙන් මුදල් ලබා ගැනීමට සැලසුම් කරමින් සිටී. එහිදී ද වෙනසක් නැත. කිලෝමීටරයට වැයවන මුදල තවත් වැඩිවී තිබේ. මේ තත්ත්වය ජනතාවගෙන් වසන් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ රජයට දොස් පවරන්නේ කටුනායක සිට නුවරට මාර්ගය තැනුවා නම් මේ මුදල් නාස්තිය සිදු නොවන බව කියාපාමිනි. නමුත් ඇත්ත තත්ත්වය එය නොවේ. එය මෙහි මුල් සැලසුම් කියැවීමෙන් පසක් කර ගත හැකිය.

එක්සත්ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන දෙපිලම එකිනෙකා ගෙන් වෙනස් වන්නේ ඉතාමිත් සීමිත කාරණා කීපයකින් පමණි. හොරකම වංචාව ආදී දෙවල් වලින් දෙපිළම අඩු වැඩි වශයෙන් සමාන වෙති. ජාත්‍යන්තරය ඉදිරියේ දණ නැමීමේදී පුද්ගල පෞරුෂය මත වෙනස් වුවද විදේශ වලට අවශ්‍ය පරිදි ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීමේ දී ද දෙපිලම සමාන වෙති. ආසියානු අධිවේග මාර්ග ජාලයට මේ දෙපිරිසම එකඟවන්නේ මේ නිසාය. ඔවුන් දෙපිලම ගැමියා ගෝලීය කරණයට සූදානම්ය. ගැමියා සතු හර පද්ධතිය සුන් කරමින් ඔවුන්ගේ පරිසර පද්ධතියටද අර්බුද ඇති කරමින් බහුජාතික සමාගම් වලට අවශ්‍ය යටිතල පහසුකම් සූදානම් කරති.අධිවේග මාර්ග නිසා ලංකාවේ විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන් බවට පත් විය. මේ නිසා ගොවියන් කම්කරුවන් බවටද අවසාන වශයෙන් සමාගම්වල  වහලුන් බවටද පත් කරවීමේ ක්‍රියාදාමය දියත් කරවීමේ කොන්ත්‍රාත්තුව භාර ගෙන කටයුතු කරන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකයි. ඒ මගින් අතලොස්සක් වන දේශීය ධනවතුන්  සන්තර්පණය කිරීමද බලාපොරෙත්තුව බවට පත් වේ.

ධනුස්කොඩිය හරහා තලේමන්නාරමට පාලමක් දැමීම කලින් සැලසුමේ නැත. දැන් ඒ සඳහාද ඉන්දියාව යෝජනාවක් ගෙනවිත් තිබේ. එවිට ආසියානු අධිවේග මාර්ග ජලය සෘජුවම ලංකාවට සම්බන්ධ වේ. මේ මගින් ලංකාවේ විවෘත කළ නොහැකි දෙයක් ඉතිරි නොවනු ඇත. මේ ලෝක ප්‍රවණතාවයන්ට අප කෙසේ අනාගතයේ මුහුණ දෙන්නේද. එය අප ඉදිරියේ තිබෙන ප්‍රශ්ණයයි. පාර්ලිමේන්තුවේ  දිගහරින වට්ටිඅම්මලා ගේ කතා වලින් හෝ මාධ්‍ය සංදර්ශන මගින් රටේ අභියෝග ජය ගත නොහැකිය. අප කැමති වුවත් නැති වුවත් අධිවේග මාර්ග පිළිබඳ ජගත් සම්මුතියකට අත්සන් කර කබේ. අත්සන් කළ පුද්ගලයාද දැන් නැත. නමුත් අධිවේග මාර්ග වල අවශ්‍යතාවය රටට ඔරොත්තු දෙන ලෙසට සීමා කර ගන්නේ නම්ද රටෙ ස්වාධිනත්වය ආරක්ෂා වන පරිදි තව දුරටත් දූපතක් ලෙසට රට තබා ගැනීමට ප්‍රතිපත්තියක් ඇති කර ගන්නේනම් බෙහෙවින්ම සුදුසුය.අධිවේග මාර්ග පද්ධතියට වඩා ලංකාවේ වාරි ශිෂ්ඨාචාරය නැවත ගෙඩනැන්විය හැකි කුඩා වැව් අතුළත් එල්ලංගා පද්ධතිය නැවත ගොඩ නැන්වීම රටේ ස්වාධීනත්වයට බෙහෙවින් ඉවහල් වනවා නිසැකය. ගැමියා තනි පුද්ගලයෙකු වශයෙන් ගෝලීයකරණය නොකොට සමූහ වශයෙන් ලෝක ප්‍රවණතායන්ට මුහුණදීමට පුරුදු පුහුණු කළ යුතුය.මෙවැනි නව අදහස් ක්‍රියාත්මක කිරීම ලේසි පහසු නැත. රට වේගයෙන් විදෙස් හාම්පුතුන් ගේ ග්‍රහණයට අසුවෙමින් පැවතීම ඊට හේතුවයි.  නමුත් වෙනසක්කළ හැකිය.එයට පාර්ලිමේන්තුවේ මෙන්ම ජනතාව අතරද සංවාදයක් අවශ්‍ය වෙයි.

 

One Response to “ මහින්දගේ අධිවේග මාර්ගය සහ රනිල් ගේ අධිවේග මාර්ගය”

  1. Leela Says:

    අප පාසල් ගිය 50/60 දසකයේ ලංකාවේ ගමක පා පැදි තිබුනේ කිහිප දෙනෙකුට පමනි. අපේ ගමේ මෝටර් සයිකල් තිබුනේ සැන්ටිපා්ට්ටත් උප වතු සුපිරින්ටන්ඩන්ටත් සහ තවත් කිහිප දෙනෙකුටත් පමනි. ගමටම කාර් ලොරි තිබුනේ කිහිපයකි. අද ගමක පා පැදි විරලය නමුත් අනෙක් එ්වා කොල්ලො කුරැට්ටන්ටත් අැත. එ් කාලේ ගම් වල බොහෝ ගෙවල් වල ෆ්‍රිජ් එකක් තබා හොඳ පුටුවක් වත් තිබුනේ නැත. අද tv ෆ්‍රිජ් සහ රයිස් කුකර් වැනි දේ නැත්තේ කාටද? අසූව දසකයේ අග ප්‍රේමදාස මහතා සෙරෙප්පු නොදමන අයට සෙරෙප්පු දමන බලාපොරොත්තු දුන්නාය. සෙරෙප්පු දමන අයට සපත්තු දමන්න බලාපොරොත්තු දුන්නාය මේස් නොදා සපත්තු දමන අයට මේස් දමා සපත්තු දමන්න බලාපොරොත්තු දුන්නාය. එදා මිනිසුන්ගේ අවශ්‍යතාවය වූයේ සපත්තුය. ගිය සැරේ යූඑන්පිය බලය අැල්ලුවේ මොටර් සයිකලේ යන කෙනාට කාර් එකක් ගන්න බලාපොරොත්තු දීලාය. හන්සය දිනුව්වේ එහෙමය. දුන්න නොදුන්න එක වෙනම කතාවකි. එ් කියන්නෙ ගම ග්ලෝබල් වෙලාද නැතිනම් සුව පහුසුවෙන් ජිවත් වීම හැමෝගෙම අවශ්‍යතාවය වෙලාද?

    ලංකාවෙ හැමෝටම කාර් නැති උනත් උදේ අට වෙන කොට කොළඹට යන පාරවල් ඔක්කොම බ්ලොක් වෙලාය. ඉතින් කාර් දුවන්න අධි වේගී මාර්ග හදන්නෙ නැතිව එ්වා අහසේ පියාඹවන්නද? නමුත් හැමෝටම කාර් තියන අපට වැඩිය ජනගහනය අධික දියුනු රටවල නොයෙක් ක්‍රම සහ විධි යොදා ගෙන අැති නිසා මාර්ග තද බදය අඩුය. කෙසේ වෙතත් මොනෝ රේල් අන්ඩග්‍රවුන්ඩ් තියන රටවලත් පාරවල් බ්ලොක් වෙන ප්‍රශ්ණය සම්පූර්ණයෙන් විසඳන්න බැරිය.

    අපේ කෙල්ලන්ට රක්‍ෂාල් දෙන සහ ග්ලෝබල් සුද්දන්ට ජන්ගි මහන ෆැක්ටරි දුවන්න පමනක් නොව අර ෆ්‍රිජ් සහ රයිස් කුකර් දුවන්නත් අප මෙසේ ලියන අදහස් හුවමාරැ කරගන්නත් විදුලිය අවශ්‍යයය. මේ යන විදියට වසර 10 කින් අපේ විදුලි නිශ්පාදනය ඩබල් නොකොලොත් හවසට පැය කිහිපයක් විදුලිය කපන්න වෙනවා නියතය. විදුලිය පාවිච්චි කිරීම ගම ග්ලෝබල් කිරීමක්ද නැතිනම් මා අැතුලු හැමෝගෙම අවශ්‍යතාවයක් වෙලාද? සෝලර් පැනල් සවිකර මා විදුලි ප්‍රශ්ණය නම් විසඳා ගතිමි. නමුත් පොල්පොට් ක්‍රමයට ජිවත් වෙන්නවත් ප්‍රශ්ණ විසදන්නවත් බැරිය. ජපානය මෙන් අපිත් අපේ සංස්කෘතිය සහ ස්වාධීනත්වය අාරක්‍ෂා කරගෙන සාර්ථක රටක ක්‍රමයට අපිද නූතන ලෝකය සමග එක්විය යුතු බව මගේ අසහසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress