කුකුළ්ලු නොමරා කුකුළ් මස් කෑම හෙවත් යහපාලනයේ ඇවන්ගාඩ් චාරිකාව
Posted on November 15th, 2015

-විමුක්ති වනිගසේකර යුතුකම සංවාද කවයwww.yuthukama.com

 පසුගිය සතියේ දේශපාලනයේ වූ සුවිශේෂම සිදුවීම යහපාලනය විසින් ඇවන්ගාඩ් නැව දියත් කිරීමයි. ප්‍රවීන නීතිවේදීන් වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන සමගින් ඇමති හරීන් ප්‍රනාන්දු එක් පසකිනි. යහපාලන රජයේ හොරණාවන් ලෙස ක්‍රියාත්මක වන කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න, ඇමති ඉංජිනේරු පාඨලී චම්පික රනවක සහ අනුර කුමාර දිසානායක අනෙක් පසිනි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද අත්වැල අලලා සිටී. නැව දියත් වී ඇත. අපි වෙරළේ සිට බලා සිටිමු.

කිරි පැණි, රං රස ළෙසින් එක්වී සිටි මේ පිරිස එක්වරම මෙළෙසින් දෙකට බෙදී කොහෙවත් ඇති නැවක් වෙනුවෙන් කා කොටා ගැනීමේ අර්ථය කුමක්ද? මෙය යහපාලනය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන, තම ඇමති තනතුරු පවා කෙළ පිඩක් මෙන් ඉවතලීමට බලා සිටින සත් ගුණවතුන්ගේ එම කැපවීමේ ප්‍රකාශමාන වීමක්ද? එසේත් නැතිනම් රාජිත, විජේදාස, පාඨලී ආදීන් අතර ඇතිවූ පෞද්ගලික කෝන්තරයක් පමනක්ද? යහපාලන දීගය මෙතනින් ඉවරද? නැත්නම් මෙය ඇවන්ගාඩ් සමාගමට පවරා තිබූ කොන්ත්‍රාත්තුව ඉන් ඉවත්කර වෙනත් ගජමිතුරු සමාගමකට පැවරීමට කරන උප්පරවැට්ටියක්ද? හෙට අනිද්දාම මෛත්‍රීපාලටසහ රනිල්ට අකුලාගෙන ගෙදර යාමට සිදු වේවිද? එසේත් නැතිනම් විදේශ අධිකරණ, කොටින්ව නිදහස් කිරීම, පළාත් සභා බලාත්මක කරමින් බෙදුම්වාදය ශක්තිමත් කිරීම වැනි රජයේ අව ක්‍රියා වසාගැනීමට විපක්ෂ මතය යටපත් කිරීමට රඟන රංගනයක් පමනද?

මේ හදිසි පිපිරීමට ඉහත සඳහන් කළ සියළු කාරනාවල යම් බලපෑමක් ඇත්තේ වී නමුදු මෙම සිදුවීමේ දේශපාලන අර්ථය ඒ කිසිවක් හෝ නොවන බව මගේ වැටහීමයි. මෙය යහපාලනය වැඩ ආරම්භ කර ඇති බවට වන ප්‍රබල සඥාවකි. පාක්ෂිකයන්ට අවි අතට ගන්නා ලෙසත්, විරුද්ධවාදීන්ට සූදානම් වන ලෙසත් වන ප්‍රබල පණිවිඩයකි.

ඇවන්ගාඩ් සමාගම හරහා පසුගිය රජය සිදුකළ ක්‍රියාකාරකම්හි නීතිය හමුවේ ප්‍රබලව අභියෝග කළ හැකි වරදක් සිදුවී නැති බව පැහැදිළිය. එසේ වුවත් එය අඬබෙර ගසා රටට කීමට විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ යහපාලන ඇමතිවරුන්ට ඇති තදියම කුමක්ද? එමගින් හෑල්ලුවට පත් වන්නේ තමන්ම මීට මාස කිහිපයකට පෙර රාජපක්ෂවරුන්ට එරෙහිව ගොඩනැගූ ප්‍රබල මතය බව ඔවුන්ට නොතේරෙන්නේද? ඔවුන් මේ සිදු කරන්නේ යහපාලන සිහින මාළිගාව ගොඩ නැගූ භූමියම කෙප්ප ගුහාවක් බව හෙළි කිරීමයි. එමගින් ගිලා බසින්නේ ඔවුන්ගේම සිහින මාළිගාව නොවන්නේද? මේ විජේදාස රාජපක්ෂ, තිලක් මාරපන, හරීන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් ඒ සරළ කරුණ නොතේරෙන අඳ බාලයන් විය නොහැකිය. එබැවින්ම ඔවුන්ගේ මේ රාජපක්ෂවරුන් නිවැරදි කිරීමට ගසන අඬබෙරය අස්වාභාවික වූවකි. ව්‍යාජයකි. ඔවුන් කළ යුතුව තිබුනේ ඇවන්ගාඩ් පිටුපස වරදක් සිදුවී නැතිනම් එයට එරෙහිව කිසි සේත් නඩු පැවරිය නොහැකිනම් එම සිදුවීම කාටත් හොරෙන් යටපත් වීමට ඉඩ සැළැස්වීමයි. එය ඔවුන්ට නුහුරු දෙයක් නොවේ. අද වන විට දින 100 වැඩපිළිවෙළට සිදුවුනු දෙයක් කිසිවෙකුත් නොදනී. වෙබ් අඩවි සකසා දින ගනණින් පැය ගණනින් යහපාලන ප්‍රගතිය සමාලෝචනය කළ අතීතය අද කිසිවෙකුට මතක නැත. දේශපාලකයන් මහජනතාව තමන්ට අවැසි මං පෙත් ඔස්සේ දක්කාගෙන යන ආකාරය වටහාගැනීමට එම දින සීයේ සිට වෙනස ඉදිරියට ගෙනයාම අලුත් රටක් ගොඩනැගීම හරහා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුම් දීම තෙක් සටන්පාඨ ගලාගෙන යාම අධ්‍යනය කරන ලෙස පාඨක ඔබට ඇරයුම් කරමි. එහෙවු රටක මේ ඇවන්ගාඩ සිද්දිය කාලයත් සමග යට ගැසීම අපහසු දෙයක් නොවේ. නමුත් යට ගැසීම වෙනුවට ඔවුන් එය උදේ හවා උඩ දැමීම තෝරාගන්නේ ඇයි. අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනපති සිරිසේන මේ කිසිවක් නෑසූ කන්ව මේ ඇමතිලාට තම එදිරිවාදිකම් පිරිමසාගෙන ගුටි ඇනගැනීමට ඉදදී බලා සිටින්නේද? එම බලා සිටීමද අස්වභාවික වූවකි.

අනෙක් පසින් පාඨලී චම්පික, රාජිත සේනාරත්න සහ අනුර කුමාර දිසානායක වැන්නන්ගේ හැසිරීමද අස්වාභාවිකය. දැන් මේ කිසිවෙක් ජනවාරි 8 ට පෙර කියමින් සිටි රත්තරන් අශ්වයන් ගැන කියවන්නේ නැත. සීයට දෙසීයකින් කොමිස් ගැසූ රත්තරන් වලින් හැදූ අධිවේගී මං ගැන ප්‍රශ්න කරන්නේ නැත. ඒ ඒවා ඔවුන්ට අමතක වී ඇති නිසාද නැතිනම් ඡන්ද කාලයට ගෙතූ එම බොරු ජනතාවට අමතක වීමට ඉඩ දී බලා සිටීම ඇඟට ගුණ නිසාද?

සටන් පාඨ යට ගසා පළපුරුදු ඔවුන්ට මෙම ඇවන්ගාඩ් සම්බන්ධවද එයම කිරීමට නොහැකියාවක් නැත. තමන්ට අවශ්‍ය රාජපක්ෂවරුන්ට එරෙහි සටන්පාඨනම් ජනපති මැදුරේ භූගත බංකරයේ සිට ඒවා දුසිම් ගනනින් ආලාපාළු ආර්ථිකය වැනි පොත් වල ඇත. එසේ තිබියදී තම රජයේම දේශපාලන මිතුරන් සමඟ කා කොටා ගනිමින් මේ ප්‍රශ්නය උඩ දැමීමට වුවමනාවක් තිබිය හැකිද? එසේ වුවමනාවක් තිබේනම් එය තමන්ට සන්තෝශම් ලබාදෙන ගජමිතුරු සමාගමකට මෙම කොන්ත්‍රාත්තුව භාර දීමට ගෙනයන අරගලයක් පමනද? එවන් කූඨ වුවමනාවක් තිබුනද එය මෙළෙසින් රෙදි ගලවාගෙන හත් පොලේ ගාගෙන කළ යුතු දෙයක්ද? නැත. ඔවුන්ගේ හැසිරීමද අස්වාභාවිකය. එයද ව්‍යාජයකි.

ඇමති තනතුරු අහිමි කරගෙන, රෙදි ගලවාගෙන, මඩ නාගෙන ඔවුන් කරන මේ ව්‍යාජ රංගනයේ අරමුණ කුමක්ද?

එය වටහාගැනීමට සුළුවෙන් නමුත් යහපාලන රජයේ මෙම කෙටි අතීතය සිහිපත් කළ යුතුය. ඔවුන්ගේ දින 100 වැඩපිළිවෙළේ කෑලිවත් දැන් නැත. පරාජිතයන්ට මන්ත්‍රී තනතුරු ඇමති තනතුරු දීම, අගවිනිසුරු ඉවත් කිරීම, තමන්ම සම්මත කළ 19 වැනි ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ඇමති වරු සිය ගණනින් පත් කිරීම වැනි දේ හරහා ඔවුන් තමන්ව පත් කළ ජනතාවට කොකා පෙන්වූ වාර අනන්තය. හොයපු හොරෙකුත් නැත. ආර්ථිකය කඩා වැටී ඇත. සියළු සංවර්ධන ව්‍යාපෘතීන් නතර වී ඇත. බොහෝ පිරිසකට ජීවන වෘතිය අහිමි වී ඇත. තේ, රබර්, පොල් වැනි වැවිළි භෝග වල මිළ පහත වැටී ඇත. නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. නිහඬ බවක් ප්‍රකට කළද මේ නොපනත්කම් ජනතාවට දැනෙන බව ඔවුහුහොඳාකාරවම දනිති.

මේ අතර එංගලන්තය ප්‍රමුඛ රටවලින් එන බලපෑම් දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී. මුළින් අතට අතදී, පසුව දෙකට නැවී, දන ගසා එම අභියෝග කළමනාකරනය කළ හැකියැයි පාරම් බෑවද අද ඔවුන්ගේ දෙපතුල් ලෙවකන තත්ත්වයට ආණ්ඩුව තම තත්ත්වය පහත හෙළාගෙන ඇත. රාජපක්ෂ රජය ජාත්‍යන්තර තලයේ රැකගෙන සිටි අවම ස්ථාවරය හෝ රැක ගැනීමට මෙම රජය අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් ක්‍රමයෙන් දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් තීව්‍ර වෙමින් පවතී. දැන් ජාතික ගීය ගී දෙකක් වී ඇත. ජනතාව බලා සිටියි. විග්නේශ්වරන් හමුදාව යුධ අපරාධ කළ බවට යෝජනාවක් සම්මත කලේය. රජය නිහඬව සිටි අතර ජනතාව බලා සිටියි. රජය එම විග්නේශ්වරන්ගේ යෝජනාව ජිනීවහිදී ඉස් මුදුනින් පිළිගෙන ආවේය. ජනතාව බලා සිටියි. දැන් කොටි ත්‍රස්තයන් නිදහස් කරන ලෙසට නැගෙන ප්‍රබල හඬකි. රජය එම හඬට කන් දීමට සූදානම් වුවද පොදු මහ ජනතාව ඔවුන් දෙස බලා සිටියි. මේ ජනතාවගේ බලා සිතීම රජයට හිස රදයකි. හිස රදය වඩාත් දරුණු වන්නේ මහින්ද රාජපක්ෂ සමඟින් පොදු විපක්ෂයද එක් තැනක ස්ථානගත වී සිටින නිසාවෙනි.

මෙම රජය තමන් ඉටුකරන බවට සපත කළ යහපාලන නියමයන් අමු අමුවේම උල්ලංගනය කරයි. එය බහුතර ජන ප්‍රජාවගේ ඉල්ලීම නොවේ. ඔවුහු විදේශීය අධිකරන ස්ථාපිත කිරීමට පොරොන්දු වී සිටිති. දරුණු ගනයේ අපරාධ කළ කොටින් නිදහස් කිරීමට ක්‍රියා කරමින් සිටිති. අලුත් අධිකරන සදා නව නීති අතීතයට බලපාන ලෙසින්ද සකස් කර හමුදාව යුධ අපරාද කළ බවට කරුණු සකසා හමුදාවට දඬුවම් කිරීමට ක්‍රියාත්මක වෙමින් සිටීති. ඔවුන්ට ඡන්දය දුන්නෝ එවැන්නක් බලාපොරොත්තු වූවෝද? මේවා බහුතර ප්‍රජාවගේ ඉල්ලීම්ද? නීතිය යුක්තිය කුමක් වුවද සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් හිටපු ජනාධිපතිවරයා කළේ නොකළ යුත්තකි. එය නොකළ යුත්තක් වන්නේ දේශපාලන අරුතිනි. රටේ බහුතර ජනතාව එම තීන්දුව සමග එකඟ නොවිනි. අදටද එකඟ නැත. එනම් එය ප්‍රජාවගේ ඉල්ලීමක් නොවිනි. එතුමාට අදටත් එම ක්‍රියාව ජනතාව ඉදිරියේ සාධාරනීකරනය කර ගැනීමට නොහැකි වී ඇත. ජනතාව කල් යල් බලා ඒවාට පිළිතුරු දෙයි. මෙම රජයටද එය පොදුය. ඔවුන් ප්‍රජාව අමතක කරමින්, රටේ බහුතරය අමතක කරමින්, බහුතර හද ගැස්ම අමතක කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපා යන මෙම ගමන ජනතාව බලා සිටියි. ඔවුහු කල් යල් බලා එයට පිළිතුරු දීමට පසුබව නොවෙති.

නමුත් තම ගමන්මග වෙනස් කිරීමට රජය සූදානම් නැත. රජය පවත්වාගෙන යන එයට අත් උදවු සපයන බටහිර රටවල්, ඉන්දියාව මෙන්ම රට තුළ සිටින බටහිර ගැති, දෙමළ බෙදුම්වාදී සංවිධානද රජයට මෙම මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ නොදෙන බව පැහැදිළිය. එසේනම් කළ හැකි එකම දෙය රජය මෙන්ම විපක්ෂයද සියතට ගැනීමයි. එමගින් ජනතාවගෙන් එන පීඩනය කෙටි කාලයකට හෝ වල් මත් කර වෙනතකට හැරවීමට හැකියාව ලැබේ. සම්බන්ධන් විපක්ෂ නායක කර, අනුර කුමාර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කර, විජිත හේරත් ව්‍යවස්ථාදායක සභාවට පත් කර ඔවුන් සිදුකළේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සියතට ගැනීමයි. නමුත් එසේ කළ පමනින් ජනතාව එම ව්‍යාජ විපක්ෂය පිළිගන්නේ නැත. මෙම ආන්ඩුවේ අවකල් ගමන පිළිබඳ කළකිරෙන ජනයා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු විපක්ෂය සමඟින් සිට ගැනීම වැළැක්විය නොහැකිය.

මහින්ද රාජපක්ෂ සහ පොදු විපක්ෂයේ ක්‍රියාධරයන් මර්ධනය කිරීමට ගත් ක්‍රියා මාර්ගද මේ වන විට බොහෝ දුරට අසාර්ථක වී ඇත. මහින්දව අත් අඩංගුවට ගත නොහැකිනම් තමන් ඇමති තනතුරු දැරීමේ ඇති වැඩේ කුමක්දැයි වරෙක පාඨලී චම්පික ඇමතිවරයා විමසා තිබුනේ එබැවිනි. අවශ්‍ය නීතිය, යුක්තිය නොව ප්‍රතිවාදියා මර්ධනය කිරීමයි. යහපාලනය හෝ කුමන නමකින් හැඳින්වුවද එය දේශපාලනයයි. නමුත් එම ව්‍යායාමයද අසාර්ථක වන විට ඉතිරිවන්නේ තමන්ම පාරට බැසීමේ විකල්පයයි.

දැන් පාඨලී චම්පික රනවක, රාජිත සේනාරත්න, අනුර කුමාර දිසානායක ඇතුළු යහපාලන කණ්ඩායම පොදු විපක්ෂයට එරෙහිව පාරට බැසීමට සූදානම්ව සිටිති.අරමුණ රටේ සැබෑ ප්‍රශ්න, රජයේ අවකල් ගමන අභියෝගයට ලක් කරන ජනතාවට ආමන්ත්‍රණය කරන සැබෑ විපක්ෂය යටපත් කිරීම වුවද ඔවුන් ජනතාවට පවසන්නේ තමන්ද මේ රජයට එරෙහිවම පාරට බසින බවකි. නමුත් එයට පෙරාතුව ඔවුන් රජය නියෝජනය කරන්නන්ය යන් මතය වෙනස් කරගත යුතුය. රජයට එරෙහි අනන්‍යතාවයක් ගොඩනගාගත යුතුය. නමුත් එසේ ගොඩනගාඇනීමේදී එම අනන්‍යතාවය රජය සැබැවින්ම රටේ කරන්නට යන දෙයට බාධාවක් නොවිය යුතුය. යුධ අධිකරන පිහිටුවීම, විදේශීය විනිසුරන් ගෙන්වීම, පළාත්සභා බලාත්මක කිරීම, කොටි සාමාජිකයන් නිදහස් කිරීම, කොටි සාමාජිකයන්ට වන්දි ප්‍රදානය කිරීම, දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුධය වැනි සැබෑ ප්‍රශ්න ඔවුන්ගේ සටන් පාඨ නොවන්නේ එබැවිනි. එම ප්‍රශ්නවලට සාපේක්ෂව වැඩකට නැති, පදනමක් නැති,රජයට අභියෝගයක් නොවන ඇවන්ගාඩ් ප්‍රශ්නය ඔවුන් තෝරා ගෙන ඇත්තේ රජයට හානියක් නොකරමින් තම අනන්‍යතාවය ගොඩනගා ගැනීමට හෙවත් කුකුළ්ලු නොමරා කුකුළ් මස් කන්නටය.

පාඨලීලා, අනුරලා මේ පස සිට පහර දෙන්නට සූදානම් වන විට අනෙක් පසින් පන්දු යවන්නන්ද සිටිය යුතුය. විජේදාසලා, තිලක් මාරපනලා අපූරුවට ක්‍රීඩා කරමින් සිටිති. මේ පස ප්‍රබල දොස්තරලාය, ඉංජිනේරුවෝය, විප්ලවවාදියෝය. අනෙක් පස ජනාධිපති නීතීඥවරුය. ඇල්මැරුණු ස්වභාවයකින් තොරව උනුසුම් ක්‍රීඩාවක් නැරඹීමට ප්‍රේක්ෂක අපට අවස්ථාව උදා වී ඇත.

තරඟය දෙස බලා ජනතාව කුමන පැත්තට හුරේ දැම්මත් කමක් නැත. මන්ද දෙපැත්තම ඔවුන්ගේමය. මෙම නාටකයේ අවසානයේදී පාඨලී, අනුර කුමාර ආදීන් ආණ්ඩුවේ ප්‍රබල විවේචකයන් ළෙසින් සමාජගතකළ හැකිනම් ඔවුන් ජයග්‍රාහකයන් වනු ඇත. නමුත් ජනතාවට සිදුවනු ඇත්තේ මේ කෙප්ප රජුන් දෙස බලමින් අත්පුඩි ගසමින් රටේ සැබෑ ප්‍රශ්න අමතක කර වතුර රත්වන තුරු කකුළුවන් ළෙස ප්‍රීති වීමටය. ඇවන්ගාඩ් නැව තුළ මේ කළ එළි බසින්නේ “ඔයාල කරගෙන යන්න. අපි විරුද්ධ වෙන්නම්” නාටකයේ දෙවන ජවනිකාවයි.අපි බලා සිටිමු. ජනතාව සැමදාම රැවටිය නොහැක.

-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress