පොලිස් ප්‍රහාර රණවිරුවෝ හා නෛතික මත
Posted on November 15th, 2015

නලින් ද සිල්වා

 මේ ආණ්ඩුවේ ආයුකාලය අවසන් වෙමින් ඇත. තමා පළාත් පාලන මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයට නායකත්වය දෙන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුව හෙවත් එ ජා ප – මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ දීගය අවසන් වෙමින් පවතින බව සනිටුහන් කරමිනි. අප කියා ඇති පරිදි ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව විසින් මේ ආණ්ඩුව පිහිටුවන ලද්දේ ප්‍රධාන වශයෙන් ම දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට මිස වෙනත් දෙයකට නො වේ. 
 
ජනවාරි 8 වැනි දා පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ද අප කියා සිටියේ ප්‍රධාන මාතෘකාව විය යුත්තේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම හා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග බවත්, එහෙත් සෝභිත හිමියන්, ඊනියා සිවිල් සමාජය හා විවිධ මාක්ස්වාදීන් ඇතුළු වෙනත් අය දූෂණය හා භීෂණය ගැන කතාකර ප්‍රශ්නය යටගසන බවත් ය. ඒ ගැටයට  ශ්‍රී ල නි ප’ක්‍ෂය ද හසුවිය. රාවණගේ ඊනියා භීෂණයට විරුද්ධව විභීෂණ කෙනකු මෙරටින් (පවුලෙන්) ම තෝරාගත් ආකාරයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඊනියා භීෂණයට හා දුෂණයට එරෙහි නූතන විභීෂණ කෙනකු මෙරටින් (පක්‍ෂයෙන්) ම සොයා ගැනීමට විජාතික බලවේගවලට හැකි විය. එසේ වුවත් රනිල් – මහින්ද අවශ්‍යතාවල හා මතවාදවල ඇති විසංවාද නැතිකිරීමට ඔවුන්ට නො හැකි ය. එදා රාජපක්‍ෂ භීෂණය ගැන කතා කළ අය (පසුගිය දා අපවත් වූ සෝභිත හිමියන් ද ඇතුළුව) රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කෙළේ ඔහුගේ හා එ ජා පක්‍ෂයේ අතීතය නො දැන ද? බටලන්ද හා 1987-92 භීෂණය ඔවුන්ට අමතක වී ද? (1987 -92 කාලයෙහි වූ ඝාතන සම්බන්ධයෙන් ඊනියා විශේෂ අධිකරණ පිහිටුවීමට බටහිරයන් කතා නොකරන්නේ ඇයි?) ඔවුන්ට බටහිරට හා ඉන්දියාවට සේවය කිරීම සියල්ලට ම වඩා වැදගත් විය. අද ඔවුන් සිදු වු ඊනියා වෙනස ගැන අසතුටු නමුත් එය නිසි ලෙස කීමට මැළිවෙති. අනාගතය ගැන තරමක්වත් නිවැරදිව දැකිය නොහැකි සංවිධාන වෙනත් අයගේ අතකොළු වෙයි.
 
ශ්‍රී ල නි ප නායකයෝ අප කී බොහෝ දෙයට ඇහුම්කන් නොදුන්හ.  ඒ වෙනුවට ඔවුහු සමහර අවස්ථාවල අපට විරුද්ධ වූහ.  අප ආසනික් ගැන කියන විට ඇතැම් ශ්‍රී ල නි ප නායකයන් කීවේ බත් කෑම නැති කිරීමට අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන ඇති බව ය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාවාදීම් හමුවේ අගෝස්තු 17 වැනි දා පැවති මැතිවරණයට, ඔහුගේ නායකත්වයෙන් ඇති පක්‍ෂයෙන් ඉවත් වී වෙනම පක්‍ෂයක් හෝ ඒ බැරි නම් කණ්ඩායමක් හෝ ලෙස ඉදිරිපත් විය යුතු යැයි අප කී විට ඔවුහු මෛද්‍රිපාල –- මහින්ද එකතුව ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වූහ. අද සන්ධානයේ ඒකාබද්ධ විපක්‍ෂය එදා අපේ බසට සවන් දුනි නම් එක්කෝ ආණ්ඩු පක්‍ෂය බවට නැත්නම් ප්‍රධාන විපක්‍ෂය බවට පත්වීමට තිබිණි. එසේ නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද ඒකාබද්ධ විපක්‍ෂයට දුර්වල කතානායක ඇතුළු පාර්ලිමේන්තුව ඉදිරිපිට පාසල් මැරයකු (බුලි) ලෙස හැසිරෙන අගමැතිගේ සමච්චලයට භාජනය වීමට සිදු වී ඇත. ඒකාබද්ධ විපක්‍ෂයට අද ඇති ප්‍රශ්නය නම් මන්ත්‍රී ධුර ද රැකගෙන ඊනියා ජාතික ආණ්ඩුවට හෙවත් අවුල් (හවුල් වුවත් අවුල් ය) ආණ්ඩුවට විරුද්ධ වන්නේ කෙසේ ද යන්න ය. පෙරටුගාමීන් රකිමින් පොලීසිය විවේචනය කරමින් ඒ කළ නො හැකි ය. ඔවුන් නැවත වරක් මෛත්‍රීපාල –- රනිල් දුස්සංයෝගය කැඩීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එකතු වීමට ද ඉඩ ඇත. ඔවුන් නොකළ යුත්තේ ද එයයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන කිසිම විශ්වාසයක් තැබිය හැකි නො වේ. පාර්ලිමේන්තුවෙන් පිටත ඇති ඒකාබද්ධ විපක්‍ෂය අඩු තරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ල නි පක්‍ෂ එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සමග ඔහුගේ් නයකත්වය යටතේ වෙන ම පක්‍ෂයක් හෝ කණ්ඩායමක් හෝ ලෙස පළාත් සභාවලට තරග කර මෛත්‍රිපාල කණ්ඩායම තුන්වැනි තැනට පත්කිරීමට කටයුතු කළ යුතු ය. අප නැවතත් විශීෂණලා දේවත්වයට පත්කළ යුතු නො වේ. එකාබද්ධ විපක්‍ෂය පළමුකොට රටේ ස්වෛරීභාවයත්  ආරක්‍ෂක භමුදාවල ගෞරවය රැකීමටත් ඉදිරිපත් විය යුතු ය.
 
ශිෂ්‍යයන්ගේ් අරගලය හා පොලිස් ප්‍රහාර ගැන අපේ අවධානය යොමු වන්නේ මෙහි දී ය. ඇතැම් රැකියා සම්බන්ධයෙන් ගණකාධිකරණය සඳහා වූ උසස් ජාතික ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමට 1990 දී රජය තීරණය කර ඇත. එය අදාළ ඩිප්ලෝමවට උපාධි තත්ත්වය ලබාදීමක් නො වී ය. එය ඇතැම් කරුණුවල දී ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමක් පමණක් විය. රාජපක්‍ෂ ආණ්ඩුව ඒ තත්ත්වය 2013 දී  නැති කර ඇත. මේ කරුණ වුව සහතික පත් අධ්‍යාපනයේ ව්‍යාජය හා හාස්‍යජනක බව හෙළි කරයි. මගේ මතකය නිවැරදි නම් 1990 දී තරම ගණකාධිකරණ ක්‍ෂෙත්‍රයේ උපාධිධාරීන්ට හිමිවිය යුතු ඇතැම් රැකියා සඳහා සුදුසුකම්ලාභීහු නො සිටියහ. ඒ අනුව උසස් ජාතික ඩිප්ලෝමාව ඒ රැකියා සම්බන්ධයෙන්් උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකිණි. එහෙත් 2013 වන විට විශ්වවිද්‍යාල මගින් කළමනාකරන, ගණකධිකරන ක්‍ෂෙත්‍රවල උපාධිධාරීන් බිහිකරනු ලැබීමත් සමග උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් ඒ තනතුරුවලට බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නො වූ බැවින් ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමක් අවශ්‍ය නො වී ය. අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය සමිති සම්මේලනයේ (අන්තරේ) පෙළපාලිවල යන කළමනාකරන හා ගණකාධිකරන උපාධි අපේක්‍ෂකයන් තමන් කරන්නේ කුමක් දැයි දන්නේ ද යන්න ගැන ඇත්තේ සැකයකි. එහෙත් මගේ මතකය වැරදි විය හැකි ය. මේ ගැන  වඩා හොඳින් දන්නා එස් බී දිසානායක මහතා මේ පිළිබඳ විස්තරාත්මක ප්‍රකාශයක් කරන්නේ නම් මැනවි.
 
ඒ කුමක් වුවත් මා මෙහි දී සැලකිලිමත් වන්නේ ඔක්තෝම්බර් 29 වැනි දින සිදු වූ පොලිස් ප්‍රහාරය ගැන ය. මම ඒ ප්‍රහාරය කිසිසේත් අනුමත නො කරමි. එහෙත් ප්‍රහාරයෙන්  මතුවන කරුණු කිහිපයක් ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පොලීසිය පසුගිය 3 වැනි දා පැවති පෙළපාලිය සම්බන්ධයෙන් උසාවි වාරණ දෙකක් ලබා ගෙන සිටියේ ය. එහෙත් ශිෂ්‍යයෝ වාරණ නියෝග නොතකා වාහන තදබදයක් ඇති කරමින් පෙළපාලි ගියහ. එය උසාවියට කරන ලද අපහාසයක් විය යුතු ය. පොලීසිය තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි වාරණ නියෝග ගෙන අධිකරණය හෑල්ලුවට ලක් නොකළ යුතු ය. අද අන්තරේ බලය ඇත්තේ පෙරටුගාමීන්ට ය. ඔවුන්ට නායකත්වය දෙන්නේ පසුගිය දා අත්අඩංගුවට ගැනුුණු කුමාර් ගුණරත්නම් ය. පෙරටුගාමීන්ට මෙහෙයවිය හැක්කේ සරසවි සිසුන් හා ඇතැම් උද්ඝෝෂණ කරුවන් පමණ ය.  සරසවි පෙළපාලි වැටලීම් ආදිය සිසුන් හා පොලීසිය ගැටෙන යුද පිටි බවට පත්වෙයි. සිසුන්ට ආයුධ තිබේ ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. තරුණ ජවය ම ආයුධයකි. දෙමළ ජාතිවාදයට ආවඩන පෙරටුගාමීන්ට අද අවශ්‍ය පොලිසිය සමග ගැටීම ය. ඔවුන් නිදහස් අධ්‍යාපනය ගැන කිසිම හැදෑරීමක් නොකර මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව තව තවත් පෙළපාලි යනු ඇත. (ඕනෑම ගොනකුට ඇමතියකු විය හැකි දැයි මම නො දනිමි. කෙසේ වුවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරන පරිදි නොව නිදහස් අධ්‍යාපනය එ ජා ප දුන් දෙයක්  නො වේ. හතළිහේ දශකය ආරම්භයේ දී එ ජා පක්‍ෂයක් නොතිබිණි. පසුව එ ජා පාක්‍ෂිකයන් බවට පත්වූ නායකයන්ගෙන් වැඩි දෙනෙක් නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූවා පමණක් නොව කන්නන්ගර මහතා මතුගම අසුනෙන් පරාජය කිරීමට ද වැඩකළහ.) ඒ සමග පොලීසිය හා හමුදාව තව තවත් අපකීර්තියට ලක්කිරීමට උත්සාහ දරණු ඇත. රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර විනිසුරුවන් ලවා පරීක්‍ෂණ පැවැත්වීමට ව්‍යවස්ථා විරෝධීව විශේෂ අධිකරණ පිහිටුවීමට උත්සාහ දරන මෙකල ඒකාබද්ධ විපක්‍ෂය පනින රිලවුන්ට ඉණිමං බැඳිය යුතු නො වේ. ඔවුන් පොලිස් ප්‍රහාරය පිටුපස සිටින ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවටත්,  කිරිඇල්ල හා මාරපන ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු බවටත් උද්ඝෝ’ණය කළයුතු ව තිබිණි.
 
රණවිරුවන්ට එරෙහිව තවත් ජාත්‍යන්තර හෝ දේශීය හෝ දෙමුහුන් හෝ පරීක්‍ෂණ අනවශ්‍ය බව අපි නැවතත් අවධාරණය කරමු. පරණගම කොමිසමේ ආරාධනයෙන් උපදේශකයන් ලෙස පත්කළ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, හිටපු මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් ආදීහු තම මත ප්‍රකාශ කරමින් ඊනියා ජාත්‍යන්තර නීතිය යටතේ හා හමුදා නීති යටතේ අප හමුදාව යුද්ධාපරාධ කර නැති බව ඉතා පැහැදිලි ව සඳහන් කරති. ඒ් මත දි අයිලන්ඩ් විද්‍යුත් පුවත්පතෙහි පසුගිය 18 වැනි දා පළකර තිබිණි. පරණගම වාර්තාවට අමුණා තිබුනේ හෝම්ස් මතය පමණකි. අනෙක් මත වාර්තාවට අමුණා නැත්තේ බලපෑමකින් ද? ඩෙස්මන්ඩ් ද සිල්වා මතය පිළිබඳ වැදගත් ලිපියක් දි අයිලන්ඩ් පුවත්පතේ පසුගිය 4 වැනි දා පලකර තිබිණි. ඒ ලිපියෙන් කියා තිබුණේ ඩෙස්මන්ඩ් ද සිල්වා මතය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම වැළැක්වීමට අගමැති ක්‍රියාකර ඇති බව ය. ඒ මත බෙදාහැරීමට විරුද්ධව ක්‍රියාකරන්නන්ට ආණ්ඩුව තර්ජනයක් කර ඇති බව ද  එහි සඳහන් වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ මත සිංහලට පරිවර්තනය කර, ආණ්ඩුව එකී මත ජෙනීවා හි දී හා අදාළ සංසදවල දී ඉදිරිපත් කරමින් හමුදාවේ නිරදෝෂිභාවය හෙළිදරවු කළ යුතු යැයි උද්ඝෝෂණය කළ යුතු ය.
 
නලින් ද සිල්වා
 
2015 නොවැම්බර් 08

One Response to “පොලිස් ප්‍රහාර රණවිරුවෝ හා නෛතික මත”

  1. Ancient Sinhalaya Says:

    We weren’t supposed to kill our tiger killing our people.
    Are the french supposed to kill their islamil tiger?

    Answers david silliband, bernard clownser please!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress