ජනාධිපති මෛත්‍රී ඒකාධිපති දත් විලිස්සයි..! කැබිනට්ටුවටත් නොදන්වා, ගැසට් නිවේදනයක් හෝ නොමැතිව ව්‍යාපාර හමුදාවට පවරා ගනී..!! ව්‍යාපාරික සමාජය තිගැස්සේ
Posted on November 16th, 2015

උපුටා ගැන්ම ලංකා ඊ නිව්ස්

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.14, පෙ.ව.9.30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇවන්ට් ගාඩ් සමාගම කෙරෙහි ගන්නා ලද ක්‍රියාමාර්ග සමස්ථ ව්‍යාපාරික සමාජය තිගැස්මකට ලක් කර තිබේ. ආරක්ෂක ලේකම් වරයාගේ ලිපියක් සමග ඊයේ(13) නාවික හමුදාව එම සමාගමේ නෞකා වෙත පැමිණ ඔවුන් සතු අවි සහ උපාංග බාර ගනිමින් සිටී. පුද්ගලික වෙළඳ සමාගමක් රටක හමුදාව බාරයට ගැනීම ඉතාමත් බරපතල ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් අදාල සමාගමට ලිඛිතව කිසිදු දැනුම් දීමක් සිදුකර නැති අතර ගැසට් නිවේදනයක් හෝ නිකුත් කර නැත.

ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග ගැන ජනමාධ්‍ය හෝ වගකිව යුතු පුද්ගලයන් හෝ කතා නොකරන්නේ කතා කරන පුද්ගලයා ඇවන්ට් ගාඩ් සමාගමෙන් මුදල් ලබාගෙන කතා කරනවාය යන අවලාදය සමාජ ගත කර තිබෙන බැවිනි. ලංකා ඊ නිව්ස් ඇවන්ට් ගාඩ් සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම හෙලි කරන ලද මාධ්‍ය වන අතර අපට එම සමාගම සුද්ධ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. එමෙන්ම අප අවලාද වලට බියවන්නෝද නොවෙමු. අප පෙන්වා දෙන්නේ එම සමාගම කෙරෙහි නීත්‍යාණුකූල පරීක්ෂණ නිසි ලෙස සිදුනොවුනා නම් ඒ වෙනුවට ජනාධිපති වරයා ගනිමින් සිටින ක්‍රියාමාර්ග ඊටත් එහා කිසිදු නීතියකට නැති බව පෙන්වා දීමත් ඉන් රටට සිදුවන අති විශාල හානිය පෙන්වා දීමටත් ය.

මෙහි ආසන්න ආරම්භය මෙසේය.

පොලිසිය බාර ඇමැතිවරයා ඉල්ලා අස්වීමත් සමග ජනාධිපතිවරයා කියා සිටියේ ඇවන්ට්ගාඩ්  ‘පරීක්ෂණ‘ තමා යටතට ගන්නා ලද බවයි. පරීක්ෂණ මිස සමාගම ගන්නා බවක් කීවේ නැත. ඊට පසුදා එනම් 11 වෙනිදා මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට කියා ජනාධිපතිවරයා පිරිසක් කැඳවීය. ඒ පිරිස අතර  විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, චම්පික රණවක සහ අර්ජුන රණතුංග ඇමැතිවරුන් සිටි අතර නාවික හමුදාපතිවරයා පොලිස්පතිවරයා නීතිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා යන නිලධාරීන් වූහ. ඇමැති අර්ජුන රණතුංග පැමිණ සිටියේ කිසිදු ආරාධනාවක් නැතිවය.

ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කරමින්ම කියා සිටියේ මේ සාකච්ඡා මාධ්‍ය වලට නොදිය යුතු බවත් මෙය තමන්ට කරුණු දැන ගැනීම සඳහා කැඳවූ අභ්‍යන්තර සාකච්ඡාවක් බවත්ය. මෙය අභ්‍යන්තර සාකච්ඡාවක් බව ජනාධිපතිවරයා දෙවතාවක්ම පැවසුවේය. ඉන්පසු රාජිත සේනාරත්න සහ චම්පික රණවක ඇමැතිවරුන් ඇවන්ට්ගාඩ් සමාගමේ වැරදි ගෙන හැර පෑ අතර නිලධාරීන් ඇවන්ට්ගාඩ් කාරයාගෙන් මුදල් සහ ගෑණුන් ලබාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතැයි කියනවාත් සමග නීතිපතිවරයාටත් පොලිස්පතිවරයාටත් කේන්ති ගියෝය.

නීතිපතිවරයා කියා සිටියේ තමන්ද රජයේ නිලධාරියෙක් බවත් තමා ඇතුලු කිසිවෙක් කාගෙන්වත් මුදල් ගෑණු අරන් නැති බවත්ය. මේ කතාව ඇදුනු නිසා කියන්නම් කියා නීතිපතිවරයා කියා සිටියේ ඇවන්ට් ගාඩ් පරීක්ෂණ නිමාවී ද නැති ආරම්භක කාලයේදීම උපුල් ජයසූරිය මහතා නීතිපති හමුවීමට සති දෙකක් තිස්සේම පැමිණ මේ කේස් එක මත ගෝඨාභය අත් අඩංගුවට ගන්නැයි බල කළ බවයි. එලෙස එක්වරම කරන්න බැහැයිද කේස් එක අධ්‍යයනය කිරීමට අවශ්‍ය යැයි නීතිපතිවරයා උපුල් ජයසූරියට කී විට උපුල් ජයසූරිය කියා ඇත්තේ තමා එවන ලද්දේ අගමැතිවරයා බවයි. අගමැතිවරයාට මට යමක් දැන්වීමට අවශ්‍ය නම් ඔහුගේ ලේකම් මගින් එය දැනුම් දෙන බවත් ඒ සඳහා උපුල් ජයසූරියව නොයොදවන බවත් නීතිපතිවරයා පවසා ඇත. ඉන් ටික දිනකට පසුව නීතිපතිවරයා මගුල් ගෙදරක සිටි අවස්ථාවකදී අගමැතිවරයා හමුවීමට අරලියගහ මැදුරට එන්නැයි කරන ලද දැනුම් දීමක් අනුව නීතිපතිවරයා එහි ගිය විට එහි අගමැතිවරයා පමණක් නොව ඇමැති වරුන් 50ක් පමණ දෙනා රැස්වී සිටි බවත් ඇමැතිවරු තමාගේ ඇඟට කඩා පැන්න අතර තමාට කිසිවක් කතාකරන්නටවත් ඉඩ නොදුන් බවත් ඒ අතර එදිනද මේ ආකාරයටම කඩා පැන්නේ රාජිත සහ චම්පික බවත් නීතිපතිවරයා කීවේය. තමන් නීතියට අනුව ක්‍රියා කරනවා මිස කාගේවත් වුවමනා එපාකම් වලට අනුව කටයුතු නොකරන බවද නීතිපතිවරයා පැවසීය.

නීතිපතිවරයාගේ කතාවෙන් පසුව පොලිස්පතිවරයාද ආවේගයෙන් චම්පික රණවකට පිලිතුරු දෙමින් කියා සිටියේ අපි සල්ලියි ගෑණුයි අරන් වැඩ කරනවා යැයි අවලාද නොකියන ලෙසයි තමා කිසිවෙකුගෙන් සත පහක් අරගෙන නැති අතර ඇවන්ට් ගාඩ් හිමියා කළුද සුදුද කියාවත් නොදන්නා බවත් ඔහු කවදාකවත් තමාට දුරකථනයෙන් හෝ කතා කර නැති බවත් පොලිස්පති පැවසීය. පොලිසිය මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ නීත්‍යානුකූලව බවත් පසුගියදා එම සමාගමේ නැවක් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී වන අතර ඒ සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු කළ නොහැකි බව රහස් පොලිසිය දැනුම් දී ඇති බවත් පොලිස්පතිවරයා කීය.

මෙහිදී ජනාධිපති මෛත්‍රී මේ ව්‍යාපාරය නාවික හමුදාවට අරගෙන කරන්න බැරි ඇයිදැයි විමසා සිටි අතර නාවික හමුදාපතිවරයාත් අර්ජුන රණතුංගත් එක්වරම කීවේ නාවික හමුදාවට පුළුවන් බවයි. නමුත් මේ සම්බන්ධයෙන් ගිවිසුම් තිබෙනවා යැයි නාවික හමුදාපතිවරයා කී අතර ආරක්ෂක ලේකම්ගේ කටින් පැන්නේ මෙම ව්‍යාපාරය කරගෙන යෑමට තවත් සමාගම් 4 ක් අයැදුම් පත් ඉදිරිපත් කර ඇති බවයි. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ මෙය නාවික හමුදාවට කළ හැකිනම් එම සමාගම සමග ඇති ගිවිසුම් අධ්‍යයනය කර තමාට දන්වන ලෙසයි. සාකච්ඡාව නිමා වූයේ ඒ ආකාරයෙන් ය.

නමුත් සාකච්ඡා කරුවන් තම තමන්ගේ වාහන වලට නැගීමටත් පෙර එස්එම්එස් නිව්ස් ඇලර්ට් එකකින් කියා සිටියේ ඇවන්ට් ගාඩ් සමාගම සමග තිබූ ගිවිසුම් අවලංගු කර එය නාවික හමුදාවට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයා තීන්දු කළ බව රාජිත සේනාරත්න ඇමැතිවරයා පැවසූ බවයි.

රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් නිවැරදි නොකරන ලද අතර පසුදාම ආරක්ෂක ලේකම් වරයා ඇවන්ට් ගාඩ් සමාගම නාවුක හමුදාවට පවරා ගන්නා බවට ලිපියක් නිකුත් කර තිබිණ.

ඒ අනුව ඊයේ (13) සිට නාවික හමුදාව එම සමාගමේ නෞකා වෙත පැමිණ ඔවුන් සතු අවි සහ උපාංග බාර ගනිමින් සිටී.

මෙහිදී පැන නගින නීතියේ ආධිපත්‍යය සම්බන්ධ බරපතල කාරණා රැසකි.

ජනාධිපතිවරයා 11 දා කැඳවූයේ කැබිනට් රැස්වීමක් නොවේ. එහි කැබිනට් ඇමැතිවරු සිටියේ සිව් දෙනෙක් පමණි. අගමැතිවරයා හාංකවිසියක් දන්නේවත් නැත. එම රැස්වීම ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ද නොවේ. අනෙකුත් හමුදාපතිවරුන් හෝ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් සිටියේ නැත. ඒ අනුව 11 දා ජනාධිපතිවරයා කැඳවූයේ නිලධාරීන් කිහිප දෙනෙක් සහ තමන්ට හිතවත් ඇමැතිවරුන් තිදෙනෙකු (රාජිත චම්පික අර්ජුන එම තිදෙනාගෙන් දෙදෙනෙකුම මෙම ව්‍යාපාරය අත්පත් කර ගැනීමට වැර වෑයම් කරන දෙදෙනෙකි) සහිත කණ්ඩායමකි. රැස්වීම අවසානගේ රාජිත ඇමැතිවරයා මාධ්‍යයට පවසන්නේ රැස්වීමේදී ගත් තීන්දුවක් නොවන නමුත් ජනාධිපති වරයා එම ප්‍රකාශය අනුව පසුදා සිට ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව පැහැදිලිව තේරුම් යන්නේ ක්‍රියාත්මක වීමේ තීන්දුව රැගෙන ඊට වෙනයම් ආවරණයක් සැලසීම පිණිස මෙකී රැස්වීම සූදානම් කළ බවකි.

කැබිනට් එකවත් නොදැන අගමැතිවරයාවත් නොදැන රටක ව්‍යාපාරයක් එරට හමුදාව විසින් අත්පත් කර ගැනීම මෙවැනි තක්කඩි ආකාරයෙන් කළ හැකිනම් එරට නීතියේ ආධිපත්‍යයක් නැත. රටේ හදිසි නීතිය නැත. ඒ අනුව හදිසි නීතිය යටතේ ව්‍යාපාරයක් පවරා ගැනීමක් සිදුවී නැත. අඩුම ගණනේ මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් හෝ නිකුත් කර නැත. ජනාධිපතිවරයා පරීක්ෂණ තම යටතට ගන්නවා යැයි කීවා නම් ඒ පරීක්ෂණ වල වාර්තාවක් අනුව මෙම පවරා ගැනීම කළ යුතුය. එවැන්නක් ද නැත.

අන්තිම නරක පාලනයක් ගෙන ගිය මහින්ද රාජපක්ෂ එදා දයා ගමගේ මහතාගේ දිනකට කෝටි 35 ක පිරිවැටුමක් සහිත සෙවනගල සීනි සමාගම රජයට පවරා ගත්තේ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික අංශයට පවරා දුන් පසු ඒවා නිසි ලෙස කරගෙන යන්නේ නැතිනම් යලි රජයට පවරා ගැනීමට ඇති නීතිමය තත්ත්වය දඩමීමා කරගනිමිනි. මහින්ද රාජපක්ෂට දඩමීමා කර ගැනීමට හෝ නීතියක් තිබූ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යාපාරයක් නාවික හමුදාවට පවරාගෙන ඇත්තේ කිසිදු නීතියක් පෙන්වන්නේ නැතිවය. මෙය ඉතාමත් දරුණු තත්ත්වයකි.

මෙහි ඇති වඩාත් දරුණු තත්ත්වය නම් මාධ්‍ය හමුවක් පවත්වා තම සමාගම සම්බන්ධයෙන් ඔවුන්ගේ පැත්තෙන් කියන්නට ඇති දේ කියන්නට ඇවන්ට් ගාඩ් සමාගම ඊයේ උත්සාහ කර ඇති විට ජනාධිපතිවරයා ඔවුන් අමතා මාධ්‍ය හමුව පැවැත්වීම සිදු නොකරන ලෙසටද තර්ජනය කර තිබීමයි. ඒ අනුව ඔවුන් එම මාධ්‍ය හමුව පවත්වා නැත. මෙවැනි බරපතල තත්ත්වයකට කියන්නේ ඒකාධිපතිත්වය කියා නොවේ නම් යහපාලනය කියාද?

මේ ආකාරයටම මැලිබන් සමාගම හෝ වෙනත් සමාගමක් හෝ යුද හමුදාවට පවරා නොගනීවි යැයි ව්‍යාපාරික සමාජයට ඇති විශ්වාසය කුමක්ද? මැලිබන් බිස්කට් වල වස විස ඇතැයි ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරවා, රාජිත චම්පික අර්ජුන වැනි ඇමැතිවරුන් ඔව් ඔව් මැලිබන් වල වස තියෙනවා යැයි පවසා, ඊට විරුද්ධව කතා කරන අයට මැලිබන් අයිතිකරුවන් පගාව දෙනවා යැයි අවලාද නගා, මැලිබන් සමාගම හමුදාවට රැගෙන කරගෙන යා නොහැකිදැයි විමසා හමුදාපතිවරයා ‘පුළුවන්‘ යැයි කී පසු ආරක්ෂක ලේකම් වරයා ලියුමක් ගසා මැලිබන් සමාගමද මේ ආකාරයටම පවරා නොගනීවි යැයි විශ්වාස කළ හැක්කේ කාටද? මාධ්‍ය හමුවක් තියන්නවත් නොදේ නම් එවිට කුමන දෙවියන්ට කියන්නද?

දැන් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාය, නීතියේ ආධිපත්‍යය තිබෙනවාය, කියමින් ලංකාව විදෙස් ආයෝජකයන්ට අත වනමින් සිටී. නමුත් මේ ලෙස කිසිදු නීතියකට යටත් නොවී කැන්ගරු නීතියවත් නොමැතිව ඒකාධිපති ලෙස ලාංකික ව්‍යාපාර හමුදාවට පවරා ගන්නේ නම් ලංකාවට එන ආයෝජකයා මොකාද? මෙවැනි තත්ත්වයකදී ආයෝජකයෙක් ලංකාවට එනවා නම් ඔහු පිස්සෙක් විය යුතුය.

එබැවින් මෙය ඉතාමත් බරපතල කාරණයකි. ඇවන්ට් ගාඩ් සමාගම වැරදි කරන්නේ නම් ඒ ගැන පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවා කර තීන්දු ගත යුතුය. එදා දයා ගමගේ මහතාගේ සෙවනගල සීනි සමාගම පවරා ගැනීම වරදක් සේ දුටු අය මෙය ඊටත් වඩා බරපතල වරදක් ලෙස දැකිය යුතුය. යමෙක් එසේ නොදකින්නේ නම් එය යහපාලනය යන වචනයට මුවා වී ජනාධිපතිවරයාවත් ගොනාට අන්දවා ගෙන කූඨකයන් පිරිසක් රටට සිදුකරන විශාල හානියකට උඩ ගෙඩි දීමකි. තම ආත්ම ලාභය තකා ක්‍රියා කිරීමට ගොස් ලංකාවේ මත්ස්‍ය අපනයනයට යුරෝපීය තහංචි කැඳවා ගෙන කෝටි ප්‍රකෝටි ගණනින් රටට පාඩු සිදුකළ ඇමැතිලාගේ උපදෙස් මත ජනාධිපතිවරයා ක්‍රියා කරයි නම් ජනාධිපතිවරයාටත් රටටත් අබ සරණය.

-විශේෂ ලියුම් කරුවෙකු විසිනි-

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress