මා දැන සිටි රිචඩ් සොයිසා
Posted on November 17th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

රිචඩ් සොයිසා මට හමු වන්නේ 1985 පමණ කාලයේදීය​. අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු ප්‍රතිඵල එන තෙක් එම කාලයේදී මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස සේවය කලෙමි.  එම කාලයේදී  රිචඩ් සොයිසාව දැන හඳුනා ගැනීමට මට ඉඩ ප්‍රස්ථාව ලැබිණි.

රූපාවාහිනී සංස්ථාවේ සිට සතියට දෙතුන් වරක් ගුවන් විදුලි සංස්ථාට ඒමට රිචඩ් පුරුදුව සිටියේය​. මට ඔහුව  ගුවන් විදුලි සංස්ථාවේ තැටි අංශයේ දී නිතර හමු විය. රිචඩ් ශාස්ත්‍රීය සංගීත තැටි සොයන අතර මම ඊගල්ස් , ඩීප් පර්පල් වැනි රොක් සංගීත කණ්ඩායම් වල තැටි සොයමින් විදුලි සංස්ථාවේ තැටි අංශයේ සේවය කරන ගුණසේකරව වෙහෙසට පත්  කලෙමි.  වරක්  රිචඩ් වැග්නර් ගේ ඔපෙරා සංගීතයක් සෙමෙන් වාදනය කරමින් ඊට සවන් දෙමින් සිටි අතර ඒ බව නොදත් මා ඩීප් පර්පල් සංගීත කණ්ඩායමේ ස්පීඩ් කිං නම් ගීතය මහ හඞින් වාදනය කලෙමි.  මේ කරච්චලය නිසා රිච්ඩ් වැග්නර්ගේ සංගීතය නවතා මා දෙස බලා සිනාසෙමින්යන්නට ගියේය. ඔහුට සිදුවූ බාදාවට රිචඩ් කෝප ගත්තේ නැත​.

RichardZoysa

රිචඩ් ශාස්ත්‍රීය සංගීතයට ආදරය කල අතර ඇතැම් විට විසිල් කලේද  ශාස්ත්‍රීය තාලයන්‍ ය​. එම තාලයන් අනුකරණය කොට විසිල් කිරීම පවා ඉතා අපහසු වීය​.  වැග්නර් , මෝසාට් ශෝපෑන් චයිකොව්ස්කි නිතරම ඔහුගේ මුවග තිබුනේය​.

රිචඩ් සොයිසා යසෝරාවය ටෙලිය / යුගාන්තය  චිත්‍රපටය රඟපෑ සමයේදී ඔහු ගුවන් විදුලියට පැමිණි විට  ඔහු කෙරෙන් මඳක් ලැජ්ජාශීලී ගතියක් පෙනෙන්නට තිබුණි. ඒ කාලයේදී පාරේ තොටේදී පවා මිනිසුන් යශෝරාවය ගැන කථා කල සමයක් විය​. ඒ නිසා රිච්ඩ් එන විට ගුවන් විදුලි සංස්ථාවේ විමසීම් කවුන්ටරයේ සිටි ධම්මිකා ඇතුළු රූපත් ළළනාවෝ ඔහු දෙස ඇසිපිය නොගසා බලා සිටියහ​. මේ නිසාදෝ රිච්ඩ් බිම බලාගෙන ගීතයක් උරුවම් බාමින් යන්නට පුරුදුව සිටියේය​.

රිචඩ් අන්තර්වර්ත ( Introverted ) චරිතයක් බව අද දිනයේ මට සිතේ. නළුවෙකු වූවද ඔහු තුල යම් ලැජ්ජාශීලී බවක් තිබුනේය​. ඒ නිසා ඔහු සෑම දෙනා සමග නිදහසේ කථා කිරීමට නොගියේය​. මේ හේතුවෙන් ඇතැමෙකු ඔහු ආඩම්බරකාරයෙකු ලෙස සිතූහ​. නමුත් එය වැරදි අදහසකි.  ඔහු සරල පුද්ගලයෙකු විය​.  පරණ හමගිය ඩෙනිම් කලිසමක් සහ නිල් පැහැති කොලරය සහිත ටී ශර්ට් එකක් වැනි කමිසයක් නිතරම ඇඳ සිටි ඔහු  හිංදි නළුවෙකු මෙන් කඩවසම් විය​.  ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවේ දිදුලන තරුව වූයේ රිච්ඩ්‍ ය​.

රිචඩ් සොයිසා බහු කුසලතා තිබූ පුද්ගලයෙකි.  ඔහු සුපිරි ඉංග්‍රීසි නිවේදකයෙකි. ඔහුගේ ඉංග්‍රීසි  උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබුණි. එසේම ඉංග්‍රීසි සාහිත්‍යය  පිළිබඳව ඔහුට තිබුනේ ප්‍රවීණ දැණුමකි. ඒ දැණුමට සම කළ හැකි අයෙක් එකල ගුවන් විදුලියේ පමණක් නොව රූපාවාහිනියේද නොවීය​.  රිචඩ් මිය ගොස් දශක දෙක හමාරකට වඩා අධික කාලයක් ගතවී තිබුනද රිචඩ් සොයිසා රැඩ්‍ ය​ඩ් කිප්ලින් ගේ පොතක ජේදයක් කියවන හඬ මට දැනුදු ඇසේ.   ඔහුගේ කටහඬ , වාග් ශක්තිය දැණුම ප්‍රතිභාවට සම කල හැකි කුසලතාවන් තිබු කිසිවෙකු මට පසුගිය දශක කිහිපය පුරා හමු වී නැත. රිච්ඩ් වැන්නෙකු බිහි වන්නේ සියවසකට වරකි. එම දුබල අවස්ථාව දැසින් දැකීමට සහ ශ්‍රවණය කිරීමට අප භාග්‍ය ලැබුවෙමු.  නමුත් එවැනි දුලබ මිනිසෙකු රැක ගැනීමට ලංකා සමාජයට නොහැකි විය​.

ඔහු සත්‍ය මිස අන් යමක් පරාවර්තනය නොකලේය​. සමාජ ක්‍රියාධරයකු , මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු  වූ රිචඩ් ගේ පෑන කගක් මෙන් තියුණු වූ අතර ඔහුගේ අදීන මිලදී ගත නොහැකි පෞරුෂත්වය ඉදිරියේදී ජනතා පීඩකයන් තැති ගත්හ.  ඔහුගේ මරණ වරෙන්තුව ලියැවුනේ ඒ නිසාය

රිච්ඩ් ගේ මරණය පිළිබඳ පණිවිඩය ලැබෙන විට මම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එතෙර ගොස් තිබුණි. එය ශීත සමය විය​. ඔහුගේ මරණය ගැන පුවත්පතකින් කියවූ මට රිච්ඩ් වැනි පුද්ගලයෙකු ඝාතනය කිරීමට පෙලඹුණු සමාජයක් කෙතරම් ප්‍රාථමිකද , අශිෂ්ටද සහ වගකීම් විරහිතද කියා සිතුණි. එසේම ඔහුගේ ඝාතනයෙන් පසු රිච්ඩ් ජේවීපීකාරයෙකු , කොටි හිතවතෙකු , සමකාමී ලිංගික විකෘතියෙකු බවට කථා පතුරවමින් ඔහුගේ චරිතයද ඝාතනය කිරීමට ඇතැමෙකු පෙලඹුනහ​. ඒ රිචඩ් නම් ප්‍රතිභාපූර්ණ මිනිසාගේ පෞරුෂය ඉදිරියේ හීනමානයෙන් පෙළුණු  පුද්ගලයින් ය​.

ඔහුව  මරා දමන ලද්දේ ඉතා කුරිරු ආකාරයටය​. වික්ටර් හාරාට මෙන් වධ බන්ධනයට ලක් කොට ඔවුන් නිරායුධ මිනිසෙකු මරා දැමූහ​.

1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ රිචඩ් සොයිසාගේ නිවසට  32 ශ්‍රී 4748 කොළපාට ජීප් රථයෙන් පැමිණි  පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ ඔහුව පැහැරගෙන යනු ලැබීය.  ඔහුව පැහැරගත් පිරිස රිච්ඩ්ට වද දී හිසේ පසුපසට සහ උගුරට වෙඩි තබා හෙලිකොප්ටරයකින් සිරුර ගෙන ගොස් මහ මුහුදට අතහැර තිබේ.  පසුව  ඔහුගේ මළ සිරුර  කොරළවැල්ල  කොරළවැල්ල මුහුදු තීරය  අසළට  ගොඩගසා තිබූණි.

ඔහුව ඝාතනය කරන ලද කුරිරු ආකාරය සහ රිච්ඩ් ගේ උගුරට වෙඩි තැබීමට මිනීමරුවන් පෙලඹීම ගැන ඔවුන් ගේ කෂ්ට මනෝභාවයන් ගැන වැටහීමක් අපට ලැබේ. විජය කුමාරතුංගගේ මුහුණට ඉරිසියා කළ ඝාතකයන් ඔහුගේ මුණට වෙඩි තබා විජයගේ මුහුණ විකෘති කලාක් මෙන් රිච්ඩ් ගේ රිදී ස්වරයට ඉරිසියා කළ ඝාතකයන් ඔහුගේ උගුරට වෙඩි තබා ඔහුගේ ස්වරාලය කුඩු පට්ටම් කළහ​.

රිචඩ් ද සොයිසාගේ මව වන වෛද්‍ය මනෝරානි සරවනමුත්තු තම නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමෙන් පසු එවකට සිටි මහෙස්‌ත්‍රාත්වරිය රෝහිනි පෙරේරා මහත්මිය වහාම රොනී ගුණසිංහ අත්ඩංගුවට ගන්නැයි නියෝග දුන් නමුදු රොනී ගුණසිංහ අතඩංගුවට ගැනීමෙන් වළකින්නැයි එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි රන්ජන් විඡේරත්න පොලිසියට නියෝග කරන ලදි.  රිචඩ් ගේ මරණයට ලංකා නීතිය මගින් යුක්තියක් ඉටු වූයේ නැත​. නමුත් ඔහුගේ මරණය අවස්ථාවාදී දේශපාලකයන්ට බලය ලබා ගැනීමට මහගු අත්වැලක් වූයේය​.

රිච්ඩ් මිය ගොස් බොහෝ කාලයක් ගතවී තිබේ. ඔහු මරා දැමීමට නියෝග දුන්නන්ද මරා දැමූ පුද්ගලයන්ද  නීතියෙන් බේරී ගියත් මේ වන විට ස්වභාව ධර්මයේ විනිශ්චයට ලක්වී අවසන්‍ ය. ඔවුන්ට රිච්ඩ් ගේ භෞතික ශරීරය විනාශ කළ හැකි වූවද ඔහු ගේ ප්‍රතිභාව විනාශ කිරීමට නොහැකි විය​. රිච්ඩ් අදටත් අමරණීයය​.

වෛද් රුවන් එම් ජයතුංග 

5 Responses to “මා දැන සිටි රිචඩ් සොයිසා”

  1. Ancient Sinhalaya Says:

    Which Buddhist killing machine was the best one invented by these alugosuwan?
    Thambi mudiyanselage junius one
    l k premadasa’s one or
    pol pot ponil’s one?
    They all had the option to severe heads or burn in used tyres.

    Come on Sinhalese who support these murderous inventors!
    You must have seen or heard at least one of those killing machines’ handy work.
    You must have been fast asleep (mara ninde) or have very very very very very short memories!

  2. Kumari Says:

    The average Sinhalese has a very short memory indeed.

    I remember living through the UNP regime in the eighties, we heard of a torturous death of a beloved personality on a weekly basis if not more.

  3. Lorenzo Says:

    LTTE did some good for SL too. Not only BAD. Even excreta can be useful in producing biogas. Ranjan, Ronnie, Premathasan and Rajiv were BOMBED TO PIECES on the ROAD by the LTTE. Just the same way they killed UNARMED CIVILIANS. That saved SL. SLs should be grateful for the LTTE for eliminating these horrendous war criminals and anti-SL killers.

    They killed the King of SL cinema Vijaya, most popular song writer Alwis and even the most popular singer Jothi by forcing him to do what he didn’t like after getting him drunk. This is CULTURAL GENOCIDE. Killed scores of UNARMED CIVILIANS.

    It was NOT mother nature that delivered justice, but the LTTE. Just imagine LTTE had NOT eliminated these people? They would have killed even more. May be still killing innocents.

    SLs lit crackers, danced on the road to the tune of ‘tarare tara podu da’, cooked paal soru on the road and celebrated DESPITE the curfew. Even some policemen joined in celebrations!!

    May Richard de Zoysa rest in peace and may there be many more like him.

  4. Independent Says:

    කතරගම රූමතියගේ ඝාතනය ලොවට හෙළි කළ ස්ටැන්ලිගේ වික්‍රමය

    ප්‍රේමවතී මනම්පේරි කතරගම අවුරුදු කුමරිය 1971 කැරැල්ල සමයේ රජයේ හමුදා නිලධාරීන් විසින් දූෂණය කරනු ලැබ නිරුවතින් කතරගම නගරයේ ඇවිද්දවා වෙඩි තබා මරා දමන ලද පුවත නොදන්නා කෙනකු ලංකාවේ නැත. එහෙත් එවැනි අවිචාර සමයක දිවයිනේ අෑත කෙළවරක වූ මෙම සිදුවීම එතරම් ඉක්මනින් රජයේ අවධානයට යොමු වන්නට හැකි වූයේ කෙසේද?

    Mawbima, 2015-11-14 02:05:00

    කතරගම රූමතියගේ ඝාතනය ලොවට හෙළි කළ ස්ටැන්ලිගේ වික්‍රමය

    ප්‍රේමවතී මනම්පේරි කතරගම අවුරුදු කුමරිය 1971 කැරැල්ල සමයේ රජයේ හමුදා නිලධාරීන් විසින් දූෂණය කරනු ලැබ නිරුවතින් කතරගම නගරයේ ඇවිද්දවා වෙඩි තබා මරා දමන ලද පුවත නොදන්නා කෙනකු ලංකාවේ නැත. එහෙත් එවැනි අවිචාර සමයක දිවයිනේ අෑත කෙළවරක වූ මෙම සිදුවීම එතරම් ඉක්මනින් රජයේ අවධානයට යොමු වන්නට හැකි වූයේ කෙසේද?
    තොරතුරු තාක්ෂණය ඉතාමත් නොදියුණු මට්ටමක පැවැති සමයක ජනසන්නිවේදනය ගුවන් විදුලියට හා පුවත්පත් කීපයකට පමණක් සීමා වූ අවධියක රාජ්‍ය මර්දනය තදින් නැඟී සිටි වකවානුවක මන්ම්පේරි තරුණියගේ ඝාතනය කඩිනමින් රටම දැනගත්තේ කෙසේද යන්න දන්නා උදවියද ඉතාම විරලය. එතකුදු නොව කතරගම වූ මෙම බිහිසුණු සිදුවීම කොළඹට ආරංචි වූයේ කෙසේද? 71 කැරලි සමයේ සිදුවූ තවත් ඊට නොදෙවැනි සිදුවීම් කොපමණක් කාලයේ වැලිතලාවේ වැතිරී යන්නට ඇත්ද?

    මෙතෙක් කිසිවකු අවධානය යොමු නොකළ එම සිදුවීම අද මම ඔබට කියන්නෙමි. එවකට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මඟින් මුද්‍රණය කළ “ඇත්ත” පුවත්පතේ කතුවරයා වූයේ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියකු වූ බී.ඒ. සිරිවර්ධන මහතාය. ටයිම්ස් සමාගම මුද්‍රණය කළ “ඩේලිමිරර්” පත්‍රයේ කතුවරයා වූයේද දක්ෂ ජනමාධ්‍යකරුවකු වූ ඊ.පී.ද සිල්වා මහතාය. ඇත්තේ සිරිවර්ධන මහතාත්, සිල්වා මහතාත් ගජ මිතුරෝ වූහ. “ඩේලිමිරර්” සිල්වා රාජකාරි හමාර වූ පසු කෙළින්ම යන්නේ සිරිවර්ධන වෙතය. ඔවුහු දෙදෙනා බොහෝ රෑ බෝවන තුරු අල්ලාප සල්ලාපයේ යෙදෙති.

    අප්‍රේල් මාසයේ ඔවුන්ගේ කතාවට බොහෝ විට මුල් වූයේ කැරැල්ල හේතුවෙන් රටේ සිවුකොන ගිනි ඇවිළී තිබීම සම්බන්ධවය. 71 අප්‍රේල් තුන්වැනි සතියේ දිනක සැන්දෑවේ කතාබහේ යෙදී සිටි සිල්වා මහතා සිරිවර්ධන මහතාගෙන් සමුගෙන යන්නට නැඟිටින ගමන් මෙන්න මේකෙ නිවුස් කෑල්ලක් තියෙනවා ඕන් නම් ගන්න අපිට ඒක හරියන්නේ නැතැයි මේසය මතට කුඩා ලියුම් කැබැල්ලක් දැම්මේය. සිරිවර්ධන මහතා ඒ ලියුම් කෑල්ල දෙස උකුසු ඇසින් බලා සිටියේය.
    අනතුරුව ඇත්තේ වැඩ කළ තරුණ මාධ්‍යවේදියකු වූ ස්ටැන්ලි සමරසිංහට කතා කළේය. ලියුම් කැබැල්ල ස්ටැන්ලි අත තබමින් බී.ඒ. සිරිවර්ධන මහතා කීවේ “ස්ටැන්ලි මේකෙ බර කතාවක් තියෙනවා. තමුසෙ මේක ෆලෝ කරන්න ඕන” කියාය. ස්ටැන්ලි මහතා ලියුම් කැබැල්ල ගෙන එතැනින් ඉවත් වූයේය.
    එහි සඳහන් වූයේ කතරගම නගරයේ තරුණියක් හමුදාව විසින් ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන ලද බව සඳහන් කෙටි ප්‍රවෘත්තියයි. එය කිසියම් මහත්මයකු විසින් “ඩේලිමිරර්” කතුවරයා වෙත ඉංගී්‍රසි අත්අකුරෙන් ලියා එවනු ලැබ තිබිණි.

    එම ලියුම් කැබැල්ල සාක්කුවේ රුවාගෙන ගෙදර ගිය ස්ටැන්ලි පසු දින උදෑසනම පිටකොටුවට පැමිණ කතරගම බලා යන බසයක අසුන් ගත්තේය. ස්ටැන්ලි කතරගමට ළඟාවන විට රෑ බෝවී තිබුණේය. තවමත් පැවැති භීෂණය හේතුවෙන් නගරය පාළුවට ගොස් තිබිණි. ස්ටැන්ලි එදින රාත්‍රිය රාමක්‍රිෂ්ණ මඩමේ නවාතැන් ගත්තේය.
    මඩම භාර දෙමළ මහතා සමඟ කතා බහ කොට ඔහුව හිතවත් කරගන්නට ස්ටැන්ලිට හැකි විය. තරුණියක් මරා දැමූ පුවතක් ගැන ඇති ආරංචිය සත්‍යයක් දැයි ස්ටැන්ලි මඩමේ කළමනාකරුගෙන් ඇසුවේය. ඒක නම් අහස පොළොව උහුලන්නෙ නැති අපරාධයක්. ඒ ගෑනු දරුව ඇඟේ නූල්පටක් නැතිව මේ පාරෙ ඇවිද්දවලා පස්සෙ වෙඩි තිබ්බා යනුවෙන් රාමක්‍රිෂ්ණ මඩම භාර තැනැත්තා කීවේ ඒ වන විටත් සැකයෙන් හා බියෙන් දෙපැත්ත බලමිනි.
    කතරගම ප්‍රදේශයේ රාජ්‍ය මර්දන යන්ත්‍රය ඒ වන විටත් දැඩිව ක්‍රියාත්මකව තිබුණේය. කිසිදු තරුණයකු නගරයේ ගැවසෙනු දකින්නට නොවීය. වන්දනා නඩ සිටියේද ස්වල්ප වශයෙනි. පසුදින උදෑසන වන විට ස්ටැන්ලි සමරසිංහ තවත් බොහෝ විස්තර සොයා ගත්තේය. ප්‍රේමවතී මනම්පේරි මෙනෙවිය වෙඩි පහර කා ඇද වැටුණු ගුණසිරි හෝටලය ඉදිරිපිට ස්ථානයත්, ඇය මිහිදන් කළ කතරගම ලංගම විශ්‍රාම ශාලාව පිටුපස වූ ස්ථානයත් ස්ටැන්ලි සලකුණු කර ගත්තේය. අනතුරුව ඔහු ගියේ දෙටගමුවේ පිහිටි මනම්පේරිගේ නිවෙසටයි. එහිදී ස්ටැන්ලිට ඇගේ මව සහ පියා හමුවීමට හැකි විය.

    වනජීවී දෙපාර්තමේන්තුවේ දඩයම් රැකවල්කරුවකු වූ ප්‍රේමවතීගේ පියා බොහෝ විස්තර හෙළි කළේය. ඇය කතරගම අවුරුදු කුමරිය වූ දිනයේ පටන් කතරගම පොලිස් ස්ථානාධිපති ඇය සමඟ සම්බන්ධයක් ඇතිකර ගැනීමට උත්සාහ කළ අයුරු ඒ තොරතුරුවලින් හෙළි විය.
    කතරගම පොලිසියේ නිලධාරීන් ඇය අත්අඩංගුවට ගත් ආකාරයත් වරද කුමක්දැයි ඇසූ විට වරද හොයන්න තමයි ගෙනියන්නේ යනුවෙන් පවසා ඇයව රැගෙන ගිය සැටිත් අම්මා කීවේය.
    ස්ටැන්ලි එම නිවෙසට යන විටත් ඔවුහු හැ¼ඩූ කඳුළින් පසු වූහ. සිමෙන්ති ගලින් බැඳ තිබූ නිවෙසේ ඉස්තෝප්පුවේ බිත්තියක ඡායාරූප කිහිපයක් එල්ලා තිබුණේය. ඊට ළංවී බැලූ විට ඉන් එකක් ප්‍රේමා අවුරුදු කුමරිය වූ දින ගන්නා ලද පින්තූරය බව දැකගත හැකි විය. ඇය පාසල් ඇඳුමින් සැරැසී මිතුරියක හා ගන්නා ලද ඡායාරූපයක්ද එහි වූයේය.
    “මට මේ පින්තූර දෙන්න. මම මේක පත්තරේ දමල දුවට වෙච්ච අපරාධය රටටම කියන්නම්” ස්ටැන්ලි ඉල්ලා සිටියේය.
    අපිට අපේ දරුවා නැති වුණා. දැන් ඕවා මොකටද? මහත්තයා. මේ අපරාදෙ කළ අයට දඬුවමක් දෙන්න. ඕන පින්තූරයක් ගන්නැයි අම්මා හඬන්නට වූවාය.
    ස්ටැන්ලි බිත්තියේ වූ රාමු කළ ඡායාරූප ගලවා අතට ගෙන ඉන් ප්‍රේමවතීගේ පින්තූර තුනක් ගෙන සාක්කුවේ දමා ගත්තේය.

    ප්‍රේමවතී මනම්පේරිගේ එම ඡායාරූප දෙක පසුව ලෝකය පුරා ප්‍රචලිත වූයේය. අදත් මාධ්‍යවල නිතර පළවන්නේ ස්ටැන්ලි සාක්කුවේ දමාගත් ඒ ඡායාරූප දෙකය.
    අණදෙන නිලධාරි ලුතිනන් ඇල්ප්‍රඩ් විජේසූරියගේ හමුදා අනු කණ්ඩය කතරගමට පැමිණ තිබෙන්නේ 1971 අප්‍රේල් මස 16 වැනිදාය. අප්‍රේල් 5 සිට 15 දක්වා කතරගම ප්‍රදේශයේ පාලනය ජනතා විමුක්ති පෙරමුණ භාරයේ තිබී ඇත. මනම්පේරි අත්අඩංගුවට ගත්තේ අප්‍රේල් 16 සවසය. එදින රාත්‍රියේ ඇල්ප්‍රඩ් විජේසූරිය ඇතුළු පොලිස් නිලධාරීන් විසින් හා තවත් සිවිල් පුද්ගලයන් විසින් ඇයව දූෂණය කරනු ලැබ පසු දින දහවල් ඇයව නිරුවත් කොට අත් ඔසවාගෙන පාරේ ඇවිද යන්නට නියෝග කොට ලුතිනන් ඇල්ප්‍රඩ් විජේසූරිය ඇය පසු පසින් පැමිණ ඔහුගේ සබ් මැෂින් තුවක්කුවෙන් ඇයට වෙඩි තැබීය.

    මේ සියලු විස්තර ස්ටැන්ලි අසා දැනගත්තේය. ඇයව වළ දමන්නට යද්දීත් ඇයට පණ තිබූ බවත් ඇගේ දෙකනේ වූ අරුංගල් ජෝඩුව ඇය වළ කැපූ විලී මාමාට දී අම්මා වෙත යැවූ බවත් හෙළි කරගත්තේය. පසුව හමුදා සෙබළකු ඇයට වළ අසලදී නැවැත වෙඩි තබා තිබිණ. ස්ටැන්ලි සියලු තොරතුරු රැගෙන එදිනම රාත්‍රි බසයේ කොළඹ පැමිණ සිය ගවේෂණයේ ප්‍රතිඵල බී.ඒ. සිරිවර්ධන මහතා අත තැබුවේය.

    ඊට පසු දින “ඇත්ත” පුවත්පතේ සිරස්තලය මේ සිදුවීම පොල්ගෙඩි අකුරෙන් පළ වූයේය. මනම්පේරි යුවතියගේ ඡායාරූපය මුළු රටම හඬවන්නට සමත් විය. එතකුදු නොව සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවද හෙල්ලුම් කෑවේය. “ඇත්ත” පත්තර කන්තෝරුවට දුරකතන ඇමතුම් ගලා එන්නට වූයේය.
    කැරලි මර්දනය නීතියේ සීමාව උල්ලංඝනය කරමින් තිබෙන බව අගමැතිනිය දැන ගත්තා පමණක් නොව එය ලෝකයටම හෙළි වූයේය. කැබිනට් මණ්ඩලය රැස් විය. වහාම මේ සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කරන ලෙස අගමැතිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධකරුවන් අධිකරණයට ගෙනෙන ලෙස උපදෙස් දුන්නාය.

    ප්‍රවෘත්තියේ සඳහන් නම ඔස්සේ සී.අයි.ඩීය ස්ටැන්ලි සමරසිංහ සොයගෙන කොටා පාරේ “ඇත්ත” කන්තෝරුවට පැමිණියේය. මේ වන විට ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ගැන දත් එකම පුද්ගලයා වූයේ ස්ටැන්ලි සමරසිංහය. සොලිසිටර් දෙපාර්තමේන්තුවේ අධි නීතිඥ කෙනත් සෙනෙවිරත්න මහතා ස්ටැන්ලිත් කැටුව කතරගමට ගියේය.
    1971 මැයි 24 වැනිදා විශාල ජනකායක් මධ්‍යයේ ප්‍රේමවතී මනම්පේරිගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා ගොඩ ගත්තේය. ලුතිනන් ඇල්ප්‍රඩ් විජේසූරියට සහ සෙබළ අමරදාස රත්නායකට විරුද්ධව ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සම්බන්ධව හම්බන්තොට මහෙස්ත්‍රාත් උසාවියේ නඩු පැවරිණි.
    ස්ටැන්ලි සමරසිංහ මාධ්‍යවේදියා මේ සියලු සිදුවීම් රටට හෙළි කළේය. අනතුරුව නඩුව ගාල්ල මහාධිකරණයට යොමු විය. දෙසතියක් පුරා නඩුව එක දිගටම විභාග වූයේය. මෙහිදී තවත් අපූරු දෙයක් සිදු විය. සෑම දිනකම උසාවි වැඩ අවසන් වන විට සවස් වූයේය. නඩු වාර්තාව පසුදින පත්‍රයට යවාගන්නට ක්‍රමයක් නැත. එය ස්ටැන්ලිට මෙන්ම අනෙක් පුවත්පත්වල වාර්තාකරුවන්ටද ප්‍රශ්නයක් වූයේය. එකල ගාල්ලේ සිට කොළඹට දුරකතන ඇමතුම් ලබා ගත නොහැකිය. කරන්නේ කුමක් දැයි කල්පනා කරමින් ඇවිදින ස්ටැන්ලිට තැපැල් කන්තෝරුව අසලදී දන්නා හඳුනන වෘත්තිය සමිති සහෝදරයකු හමු විය. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ හිතවතෙකි. ස්ටැන්ලි ප්‍රශ්නය ඔහුට කීවේය.
    හරි නියම වැඩක් කරන්න පුළුවන්. අපි ගාල්ලෙ ඇවිත් ඉන්නෙ විදුලි සන්දේශ කුලුනේ වැඩට දැන් හුඟක් දුරට වැඩ අවසානයි. සැරින් සැරේ ටෙස්ට් කරන්න කොළඹට කෝල් ගන්නවා. මහත්තයා කොළ ටික මට දෙන්න මම ඇත්ත කන්තෝරුවට ඒවා කියවන්නම්. නඩුව අවසන් වී පැයක් ඇතුළත ඇත්ත පත්තරේට නඩු වාර්තාව ගියේ ඒ අන්දමටය. උසාවි වැඩ අවසන් වන විට තැපැල් යාළුවා මෝටර් බයිසිකලයේ පැමිණ කොළ ටික ගෙන ගියේය.

    දිනමිණේ ඩී.සී. කරුණාරත්න ඔයා නඩු කොපි එදාම යවන්නේ කොහොමදැයි ස්ටැන්ලිගෙන් ඇසූ විට ඔහු කීවේ මෝටර් සයිකලයක් එනවා මම දෙනවා කියාය. ඩී.සී. කරුණාරත්නත්, දයා ලංකාපුරත් හිතුවේ මෝටර් බයිසිකල්කාරයා එක හුස්මට කොළඹ යනවා ඇති කියාය.
    මනම්පේරි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඇල්ෆ්‍රඩ් විජේසූරිය සිර දඬුවම් විඳිද්දී සිරගෙදරදී මිය ගිය අතර සිර දඬුවම් විඳ අවුරුදු ගණනාවකට පසු ගමට පැමිණි අමරදාස රත්නායක 1989 දී නොහඳුනන තැනැත්තන් විසින් පිහිවලින් ඇන මරා දමනු ලැබ තිබිණි. ඇයව දූෂණය කළ එක්තරා පොලිස් නිලධාරියකු නීතියේ රැහැනින් බේරී පොලිස් සේවයේම සිට විශ්‍රාම ගියේය. ඔහුට සොබාදහම දඬුවම් දුන්නා දැයි නොදනිමි.

  5. Naram Says:

    Most interesting discussion and raises few more questions.
    Someone can tell me whether at the time of Richard’s assassination were parliamentarians like Lalith A’mudali and Gamini G’nayake in the cabinet ?

    Of course to their credit those two left UNP appalled at the autocratic culture of R Premadasa, while the great democrat today, Ranil Wickramasinghe staunchly soldiered on and would have been privy to all the discussions on the cover up provided for Police chief Ronnie Gunasinghe.

    It is time Ranil made a full disclosure of his time under R Premadasa, perhaps more so as his son is becoming the new challenger.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress