රාගම වෛද්‍ය සිසු උපාධි කඩය ජනසතු කල ‘රාජකීය’ නායකයා වෙද සිසුන්ගේ පරමාදර්ශය – වෙනුර එදිරිසිංහ
Posted on November 30th, 2015

ධර්මන් වික්‍රමරත්න

බැලූ බැලූ අත හිස් ගොඩකි. සටන් පාඨ වලින් දසත ගිගුම් දේ. මේ ඉකුත් නොවැම්බර් 23 සිට 27 සිකුරාදා දක්වා නුවර සිට කොළඹ දක්වා ඇදි ආ දස දහසක් පමණවූ සරසවි සිසු විරෝධතා පාගමනය. මාලඹේ  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස ඉල්ලමින් ඔවූහු හඬ නඟති. ‘අපි යන්නේ මොන පාරේ – වෙනුර, ත්‍රිමා ගිය පාරේ’ ඒ එක් ප්‍රබල සටන් පාඨයකි. පද්මසිරි ත්‍රීමාවිතාන ගැනනම් බොහෝ දෙනා දනිති. මෙයට 30 වසරකට පෙර රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවද මෙවැනි අරගලයක් දියත් විය. අවසානයේ වෛද්‍ය සිසුන් 34 දෙනෙකු ජීවිත වලින් වන්දි ගෙවමින් රාගම වෛද්‍ය පීඨය ජනසතු විය. අද එය කැළණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වේ. ‍වෙනුර එදිරිසිංහ යනු එම අරගලයට නායකත්වය දුන් නියමුවාය.

dharman28111502රාගම පෞද්ගලික වෙද විදුහලට එරෙහි සටනේ ජයග්‍රහණය ලබාදුන් සෙන්පතියාවූ වෙනුර එදිරිසිංහගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්.

අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණගසා සිටි මොහොතක, මිනිසුන් වහලුන් සේ දිවි ගෙවූ අදුරු කාල පරිච්ඡේදයක ඒ සියල්ලටම එරෙහිව පෙරට පැමිණියේ සරසවි සිසුන්ය. විවිධ ගැටලු සහ විරෝධතා අතර 1981දී ආරම්භ වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1987 වන විට සිසුන් 700ක් ඇතුළත් කරගෙන තිබිණි. ජාතික අර්බුදය, ශිෂ්‍ය මර්ධනය, නිදහස් අධ්‍යාපන කප්පාදුව, රාජ්‍ය භීෂණය ඇතුළු ගණනාවක් හමුවේ සංවේදීවූ මෙම සිසුන්ගෙන් බහුතරයක් නිදහස් අධ්‍යාපනය සුරකීම සඳහා ශිෂ්‍ය අරගලයට කොන්දේසි විරහිතව බද්ධ විය.

මෙම අරගලයට ක්‍රියාකාරිව මැදිහත් වූ කොළඹ වෛද්‍ය සිසුන් වන වෙනුර එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර ජයවර්ධන, පද්මසිරි ත්‍රීමාවිතාරණ, සුගත් අශෝක, නිශාන්ත එදිරිවික්‍රම, වසන්ත කුලතුංග, ලීල් සමරනායක ඇතුළු 9දෙනක්ද රුහුණු සරසවියේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ විපුල ඒකනායක ඇතුළු තිදෙනෙක්ද ඝාතනයට පත්විය.

dharman28111503පෞද්ගලික වෙද විදුහලට එරෙහි සටනේදී කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුන් 9දෙනා. ඉහළ වමේ සිට වෙනුර වර්ධිත එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, මැද වමේ සිට සිසිර කීර්ති ජයවර්ධන, පද්මසිරි ත්‍රීමාවිතාරණ,  සුගත් අශෝක ද සිල්වා, පහළ වමේ සිට නිශාන්ත සම්පත් එදිරිවික්‍රම, වසන්ත කුමාර කුලතුංග සහ ලීල් සමරනායක.

එමෙන්ම පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු සහ දන්ත යන පීඨයන්හි අධ්‍යාපනය ලබමින් සිටියදී ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 22කි. ඔවුන් නම් වෛද්‍ය පීඨයේ එච්.එම්. පොඩිබණ්ඩා, විමල් කුලතුංග, පාලිත සෙනෙවිරත්න, ජයශ්‍රී ජයසේකර, සිසිර කුමාර, නිශාන්ත තෙන්නකෝන්, උපාලි ජයසේකර, ඒ.එස්.එල්. අතපත්තු, උපුල් ඒකනායක, නීල් හේමන්ත ලියනගේ, සනත් ද සිල්වා, එම්.ඩී. ධර්මපාල, සුනිල් කුමාර, ප්‍රභාත් ආරියචන්ද්‍ර, රිෆ්ති සකාබ්, පූලස්ති ජයසේකර, සුනන්ද ජයවර්ධන, දන්ත වෛද්‍ය පීඨයේ ධර්මප්‍රිය ජයනන්ද ගජනායක සහ විපුල් පෙරේරා, පශු වෛද්‍ය පීඨයේ නිහාල් ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් රංජිත් අබේරත්න සහ ජනක සෙනෙවිරත්නය.

වසර 1980 ජුලි මස ඩේලි නිවුස් පුවත්පතේ පලවූ පුවතක් වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම සඳහා එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අනුමැතිය දුන් බවය. රජයේ තලගොල්ල රෝහල සහ එම රෝහල පිහිටි හෙක්ටයාර් 14ක ඉඩම ඉතාම අඩු බද්දකට පෞද්ගලික වෙද විදුහලට පවරා දීමටද එයට ඇතුලත් කරන සිසුන්ගේ සායනික පුහුණුව ජන සතු වස්තුවක් වන රාගම පිහිටි උතුරු කොළඹ මහ රෝහලේ ලබාදීමටද එමගින් අනුමැතිය හිමිවිය.රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූයේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 25වැනි ඡේදය යටතේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගෙන සිටි රජයේ වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ විභාගයෙන් අසමත් වූවන්ය. 1981දී ප්‍රථම කණ්ඩායමේ සිසුවෙකුගෙන් රුපියල් 69,000ක්ද සිව්වැනි කණ්ඩායමේ සිසුවෙකුගෙන් රුපියල් 125,000ක්ද අය කරගෙන තිබිණි.

dharman28111504
පෞද්ගලික වෙද විදුහලට එරෙහි සටනේදී පේරාදෙණිය සරසවියේ ඝාතනයට ලක්වූ වෛද්‍ය, පශු සහ දන්ත යන පීඨයන්හි වෛද්‍ය සිසුන් 22දෙනා මෙසේය. ඉහළ වමේ සිට වෛද්‍ය පීඨයේ එච්.එම්. පොඩිබණ්ඩා, විමල් කුලතුංග, පාලිත සෙනෙවිරත්න, ජයශ්‍රී ජයසේකර, සිසිර කුමාර, නිශාන්ත තෙන්නකෝන්, උපාලි ජයසේකර, මැද වමේ සිට ඒ.එස්.එල්. අතපත්තු, උපුල් ඒකනායක, නීල් හේමන්ත ලියනගේ, සනත් ද සිල්වා, එම්.ඩී. ධර්මපාල, සුනිල් කුමාර, ප්‍රභාත් ආරියචන්ද්‍ර, පහළ වමේ සිට රිෆ්ති සකාබ්, පූලස්ති ජයසේකර, සුනන්ද ජයවර්ධන, දන්ත වෛද්‍ය පීඨයේ ධර්මප්‍රිය ජයනන්ද, පශු වෛද්‍ය පීඨයේ නිහාල් ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් රංජිත් අබේරත්න සහ ජනක සෙනෙවිරත්න.(දන්ත වෛද්‍ය පීඨයේ 1987/88 කණ්ඩායමේ රත්නපුරයේ විපුල් පෙරේරාද ඝාතනයට ලක්විය. ඔහුගේ ඡායාරූපයක් ඇත්නම් අපවෙත යොමුකරන්නේනම් මැනවි)

විවිධ ගැටලු සහ විරෝධතා අතර 1981දී ආරම්භ වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1987 වන විට සිසුන් 700ක් ඇතුළත් කරගෙන තිබිණි. එහි ප්‍රථම කණ්ඩායටම සිසුන් 120ක් අයත් වූවද එම කණ්ඩායම අවසාන වසරට එළඹෙන විට ඉතිරිව සිටියේ 60 දෙනෙක් පමණි. එයට හේතුව වී තිබුණේ කොළඹ වෛද්‍ය සිසුන්ට පැවැත්වෙන මූලික විභාග වලදී සිසුන් 50ක් පමණ අසමත් වී තිබීමය. තම අධ්‍යයන කාලය සම්පුර්ණ කල පෞද්ගලික විදුහලේ ප්‍රථම සිසු සංඛ්‍යාව 1987 ජුලි 30 වැනිදා කොළඹ වෛද්‍ය සිසුන් සමඟ අවසාන විභාගයට පෙනී සිටීමට නියමිතව තිබිණි.

ශිෂ්‍ය උද්ඝෝෂණවලට සමගාමීව කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලයද 1987 මාර්තු 18වැනිදා රැස්වී එකම විභාගයක් පැවැත්වීමට තම විරෝධතාව ප්‍රකාශ කරන ලදී. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ භික්ෂු බල මණ්ඩලය මෙම අරගලයට තම නායකත්වය දෙන ලදී. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පුළුල් වී අන්තර වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවක් ගොඩනගන ලදී. එහි ක්‍රියාකාරි දායකත්වය සිදුකලේ කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුන්ය. වෘත්තීය නායකත්වය සැපවූයේ රජයේ දන්ත වෛද්‍ය සංගමයේ සහාය ඇතිව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මගිනි.  ලියුම්කරු 1984 සිට මෙම සටන වාර්තා කිරීමට ක්‍රියාකාරිව දායක වූ බැවින් සිදුවූ මුළු ක්‍රියාදාමය පැහැදිලිව දනී. මියගිය වෛද්‍ය සිසුන් බහුතරයම වාගේ ලියුම්කරුගේ වෘත්තීය මිතුරන්ය.

dharman28111505
වෙනුරගේ නායකත්වයෙන් යුත් අරගලයේදී ජනසතුවූ රාගම වෛද්‍ය විද්‍යාලය වර්තමානයේ(ඉහළ ඡායාරූපය) සහ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සතු වර්තමානයේ අලුතින් ඉදිකරන ලද රෝහල(පහල ඡායාරූපය)

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව වෙද සිසු හඬ නමින් පුවත්පතක්ද පලකර තම මතය ජනතාව අතරට ගෙන යෑම ආරම්භ කරන ලද්දේ 1987 සැප්තැම්බර් මසදීය. වෙද සිසු හඬ පුවත්පත සකස් කිරීමට දායක වූ වෙද සිසුන් හතකට පමණ දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහ සහ  ලියුම්කරු එක්වී මාධ්‍ය පුහුණුවක්ද ලබාදුන්නෝය. වෙද සිසු සටනට ආධාර ලබා ගැනීමට සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍යය වෛද්‍ය පීඨ ශාලාවේදී වේදිකාගත කළේද එකලය. එමගින් ලක්ෂ 5ක පමණ ලාභයක් ලබාගත හැකි විය.

රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 1987 ජුනි 27 වැනිදා මහා සභාවක් රැස්වී කලින් අප්‍රේල් 04වැනිදා ගත් තීරණ මහා සභාවේදී සම්මත කර ගත්හ. ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ කොළඹ සරසවිය අතර ඇති සම්බන්ධය ඉවත් කරගත යුතුය. පෞද්ගලික වෙද සිසුන් කොළඹ වෛද්‍ය පීඨයේ විභාගවලට පෙනී නොසිටිය යුතුය. පෞද්ගලික වෛද්‍ය සිසුන්ට වෙනම උපාධියක් පිරිනැමිය යුතුය. එනම් ඔවුන්ට කොළඹ එම්.බී.බී.එස්. උපාධිය නොදිය යුතුය. සීමාවාසික පත්වීම් දීමේදී රජයේ වෛද්‍ය සිසුන්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය. මෙම ඉල්ලීම් හතරට 1987 ජුලි 31ට පෙර විසදුම් ලබාදිය යුතු බවද එසේ නොවුනහොත් වර්ජන තීරණයක් ගැනීමටද දින 14ක කාලයක් බලධාරින්ට ලබා දෙන ලදී. 

dharman28111506
වෙනුරගේ දෙමාපියන් 1964 විවාහවූදා.

රජයේ වෛද්‍ය සංගමයට එවැනි ඓතිහාසික තීරණයක් ගැනීමට හැකිවූයේ එහි ප්‍රධාන ලේකම් වන්නිනායක මුදියන්සෙලාගේ සුනිල් රත්නප්‍රිය ගේ මැදිහත්වීම මතය. එවකට ඔහු නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරියෙකි. වෛද්‍ය පියරිසි ඇතුළු කාරක සභිකයෝද තරුණ වෛද්‍යවරු බහුතරයද ඒ වෙනුවෙන් ක්‍රියාශීලී වූහ. එකල රත්නප්‍රිය කොල්ලුපිටිය මුහන්දිරම් මාවතේ නැවතී සිටි අතර බොහෝ සාකච්ඡා රාත්‍රී වන තෙක්ම පැවැත්වුණේ එහි මූලස්ථානය වූ කුරුදුවත්තේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තික මධ්‍යස්ථානයේදීය. සටනට එක්වූ වෛද්‍යවරුන්, සිසුන් සහ වෘත්තීය සමිතිවල සෑම සාකච්ඡාවකටම පාහේ ලියුම්කරුද එක්විය.

රජය සමඟ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු පෞද්ගලික වෙද විදුහල පිළිබද තම ඉල්ලීම් ලබා ගැනීමට 1987 ජුලි 15වැනිදා සිට වැඩ වර්ජනයක් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කළේය. එයට සහාය පල කරමින් රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයද 1987 ජුලි 16වැනිදා සිට වර්ජනයට එක්විය. සියළු වෛද්‍යවරු සේවය අතහැර ගියා සේ රජය නිවේදනය කළේය. ජුලි 17වැනිදා එම වර්ජනයට ගාල්ල, පේරාදෙණිය සහ කොළඹ  වෛද්‍ය පීඨයන්හි ආචාර්ය මණ්ඩලය සහාය පල කළහ. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 17ක් මෙහිදී සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව ලෙස එකට පෙල ගැසිනි.

dharman28111507
වෙනුර‍ගේ පවුලේ අය 2015දී. පියා තිලකරත්න එදිරිසිංහ, මව ඥානවතී රාජකරුණා, කණිටු සොහොයුරා වසන්ත කුමාර සහ කණිටු සොහොයුරිය තුෂාරි ප්‍රියදර්ශනී.

වෛද්‍ය වර්ජනය වෙනුවෙන් ඉදිරිපත්කල ඉල්ලීම් ප්‍රතිපත්තියක් ලෙස පිලිගැනීමටත් කැබිනට් අනුකමිටුවක් ඒ සඳහා පත්කිරීමට රජය තීරණය කල බැවින් වෛද්‍යවරු අඛණ්ඩව ගෙන ගිය වර්ජනය 1987 අගෝස්තු 11වැනිදා සේවයට වාර්තා කරන ලදී. ඒ සමඟම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර සිසුන් සමඟ පරික්ෂණයට එකට පෙනී නොසිටීමට කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් තීරණය කිරීමත් සමඟම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියළු කටයුතු ඇණ හිටිනි. වෛද්‍ය පීඨයේ සිසුන් ශිෂ්‍ය සටන්වලට අවතීරණ කර ගැනීමට මුල් කාලයේ ඉතා අසීරු කරුණක් විය. ඒ සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත්වූ අතර සමස්ත අරගලයේම නායකයා වූයේ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකුවූ  වෙනුර එදිරිසිංහය.

වෙනුරගේ සීයාවූ එදිරිසිංහ ආරච්චිගේ කරෝලිස් අප්පුහාමි උපන්නේ නාත්තණ්ඩිය නාරාවිලය. ඔහුගේ බිරිඳ උඩවෙල පෙත්ම පෙරුම ආරච්චිගේ එලියාහාමිය. ගොවිතැන ජීවිකාව කරගත් එම දෙපලගේ දරුවන් 8 දෙනාගෙන් 7 වැනියාවූයේ 1936 අගෝස්තු 6වැනිදා උපන් එදිරිසිංහ ආරච්චිගේ තිලකරත්නය. පසුකළෙක වෘත්තියෙන් පාරම්පරික ආයුර්වේද ‍වෛද්‍යවරයෙකුවූ එදිරිසිංහ 1965 ජනවාරි 6වැනිදා අවාහ වූයේ ආණමඩුව සුරක්කුලමේදී 1946 ජනවාරි 26වැනිදා උපන් රාජකරුණා හේරත් මුදියන්සේලාගේ ඥානවතී සමගය. ඥානවතී සොයුරු සොයුරියන් 14දෙනෙකු සිටි පවුලේ 6වැනියාය.

dharman28111508.
වෙනුර හැදී වැඩුණු මාරවිල පිහිටි මහගෙදර.

තිලකරත්න එදිරිසිංහ සහ ඥානවතී රාජකරුණාට දරුවන් තිදෙනෙකි. ඒ 1966 සැප්තැම්බර් 8වැනිදා උපන් වෙනුර වර්ධිත, 1969 ජනවාරි 23 උපන් වසන්ත කුමාර සහ 1972 මාර්තු 3වැනිදා උපන් තුෂාරි ප්‍රියදර්ශනීය. වෛද්‍යාචාර්ය තිලකරත්න එදිරිසිංහ මාරවිල පහල හත්තිනියේ කැඩුම් බිදුම් ප්‍රතිකාර සඳහා ප්‍රකට විශේෂඥයෙකි. නාත්තණ්ඩිය, මහවැව පිහිටි ගොඩවල බෙහෙත් ශාලාවේ හිමිකරුය.

ඔහුගේ වැඩිමහල් දරුවාවූ වෙනුර වර්ධිත එදිරිසිංහ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මුදරන්කුලිය විදුහලේය. පළමු වසරේ සමත්විමෙන් පසු ඉහළ අධ්‍යාපන සුදුසුකම් මත තෙවන වසරට ඇතුළත් කරන ලදී. තෙවන වසරේද මාස 2ක් සිටීමෙන් පසු 4වන වසරට සමත් කරන ලදී. පස්වන වසරේ ශිෂ්‍යත්වය විභාග අංක ඉසෙඩ් 366 යටතේ 1976දී සමත්ව මිණුවන්ගොඩ ශාන්ත ජෝශප් කණිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කළේය. අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තෙක්  ත්‍රෛයිමාසිකව රුපියල් 225ක ශිෂ්‍යාධාරයක්ද හිමිවිය. මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි වෙනුර වර්ධිත විශිෂ්ඨ සම්මාන 8ක් ලබාගනිමින් වයඹ පළාතේම ප්‍රථමයාවූ අතර ශ්‍රී ලංකාවේම සිව්වැනියා බවට පත්විය. අපොස උසස් පෙළ සඳහා කොළඹ රාජකීය විදුහලට පැමිණියේය.

dharman28111509
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව සරසවි සිසුන් දස දහසකගේ සහභාගිත්වයෙන් 2015 ‍නොවැම්බර් 23 සිට 27 දක්වා පැවති දින 5 පාගමනේ  අවස්ථාවන්.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වූ කණ්ඩායමේ ඉහළම ලකුණු ලබාගත්තේද උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේ පළමුවැනියා වූයේද වෙනුරය. රාජකීය ‍විද්‍යාලයේ 1994 තැගි ප්‍රදානෝත්සවයේ විශිෂ්ඨතම ශිෂ්‍යයෙකු ලෙසින් අනුස්මරණ ත්‍යාගයන් 5ක්ද දිනාගත්තේ ඔහුය. ජේෂ්ඨ අංශයේ කලා තරඟයේදී කෙටි කථා සහ ගීත රචනා අංශයෙන් ප්‍රථමයාද. කාව්‍ය රචනා තරගයෙන් දෙවැනියාද වූයේ වෙනුරය. ඔහු ලියන ලද කළු වළාකුලේ කාව්‍ය රචනාව මෙසේය. “පිපාසයෙන් පීඩිත වී – මුව පොව්වන් මිරිඟු සොයා, දිව යනු දකිනා ඔබ ඉන් – සතුට සොයනවාදෝ…, පරවෙන මල් කැකුළු බලා – මැළැවුණු තුරුවැල් ගයනා, දුක් ගීතය කෙළෙසකවත් – ඔබට ඇසෙනවාදෝ, කළු වළාකුලේ//”. වෙනුර වර්ධිත ගායනයටද දක්ෂය. සිය මව ඉදිරියේ ඔහු ලයාන්විතව ගායනා කල ‘දණගාද්දි ඇවිදින්නට මට අත දුන්නා’ ගීතය තවමත් ඇයගේ මතකයෙන් බැහැරවී නැත. රාජකීය විද්‍යාලයේ සිසුවෙකුව සිටියදී වෙනුර වසර දෙකකට ආසන්න කාලයක් නැවතී සිටියේ සර් ඔලිවර් ගුණතිලකගේ ඥාතියෙකුට අයත් හෝර්ටන් පෙදෙසේ නිවසකය. එදිරිසිංහ පවු‍ලේ හිතවතෙකුගේ ඉල්ලීම අනුව නිවෙස් හිමියෝ ඒ සඳහා නොමිලේ නවාතැන් ලබාදුන්නේය.

වෛද්‍යාචාර්ය තිලකරත්න එදිරිසිංහ වෙනුර ඇතුළු සිය දරු පවුල සමඟ ප්‍රථමයෙන් වාසය කළේ ආණමඩුව මුදලක්කුලියේය. එහි විහාරස්ථානයක් වූ ථූපාරාමයේ අධිපති රඹෑවේ පියරත්න නාහිමියන් වෙතින් දහම් පාසලේ නිවේදකයෙකු වූ වෙනුර වර්ධිත කුඩා කලදීම කථික විද්‍යාව ප්‍රායෝගිකව ඉගෙන ගත්තේය. පසුව මාරවිල ‍ගොඩවෙල හන්දියේ පදිංචියට පැමිණි එදිරිසිංහ පවුල, 1985දී මාරවිල පහල හත්තිනියට පැමිණියහ.

dharman28111510
වෙනුරගේ දෙමාපියන්ගේ සැපදුක් ‍නිරතුරුව සොයන වෙනුරගේ සාමකාලීනයෙකුවූ මාරවිල රෝහලේ වෛද්‍ය ලාල් පෙරේරා සහ පුත්තලමේ ජනශ්‍රැති පර්යේෂක ශාන්ත නිමල් අහිංසක

 කොළඹ වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ වෙනුර වර්ධිතට රුපියල් 300ක් හිමිවන මහපොල ශිෂ්‍යත්වයක්ද ලැබිණි. එය පන්නල වික්‍රමසිංහ විදුහලේ උත්සවයකදී ප්‍රධානය කරන ලද්දේ ඇමති ලලිත් ඇතුළත්මුදලි විසිනි. නීති-වෛද්‍ය ශිෂ්‍ය සංවිධාන කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් ප්‍රථම වසරේදීම පත්වූ වෙනුර වෛද්‍ය පීඨයේ වොලිබෝල් කණ්ඩායම ඇතුළු ක්‍රීඩා කිහිපයක්ම නියෝජනය කළේය. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නායකයාය.

වෙද විදුහල් සටන වෛද්‍ය විද්‍යාල කමිටුව විසින් සිසු කම්කරු ඒකාබද්ධ රැස්වීම් ලෙස කළුතර, කොළඹ, මීගමුව, මහනුවර, ගම්පහ, බදුල්ල, රත්නපුරය ඇතුළු ස්ථාන 13කදී විශාල පිරිස්වල සහභාගිත්වයෙන් පැවති අතර ලියුම්කරු එම රැස්වීම් ගණනාවකට සහභාගි විය. සමස්ත ලංකා සරසවි සිසු දෙමාපිය සංගමයද වෙද සිසු සටනට සහාය පලකරමින් දිස්ත්‍රික්කයන් ගණනාවක උද්ඝෝෂණ කටයුතු සංවිධානය කෙරිණි.

කේරි විද්‍යාලයට යාබද කොළඹ වෛද්‍ය පීඨයේ බ්ලොම් නේවාසිකාගාරය ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්ගේ තාවකාලික නවාතැනක් සහ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් හැදින්වූවාට වරදක් නැත. එහි පළමු මහලේ වෙනුර, හේමන්ත, ත්‍රීමා ඇතුළු කිහිපදෙනෙක්ම සිටි අතර එහි කාමර තුන හතරක අන්තරේ සහ ජවිපෙ ඕනෑම අයෙකුට විවෘත විය. බ්ලොම්හි බහුතර ශිෂ්‍යයන්ද ආගන්තුකයින්ට හැකි අයුරින් සැලකූහ. හදිසි අවස්ථාවකදී හමුවූ එවැනි තවත් ස්ථානයක් වූයේ මානව හිමිකම් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ නිති ශිෂ්‍ය ගැමුණු යසස් සෙනෙවිරත්න  සිටි රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව ඉදිරිපිට වුට් ඉන් නීති ශිෂ්‍ය නේවාසිකාගාරයයි.තිරස්චීන ලෙස 1988 ඔක්තෝබර් 22වැනිදා රත්නපුරයේදී ඝාතනය කල ත්‍රීමා විතාරණගේ දේහය කොළඹ සරසවියේ තිබූ කාලය තුළ ලක්ෂයකට අධික පිරිසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.

dharman28111511
රාජකීය විදුහලේ 1983 කලා තරඟයේදී ජේෂ්ඨ අංශයේ කෙටි කථා, කාව්‍ය සහ ගීත රචනා ප්‍රථම ස්ථානය දිනූ වෙනුරගේ අත්අකුරු සටහනක්.

වෙනුර එදිරිසිංහ පසුව අන්තරේ කැදවුම්කරු වශයෙන් 1988 මැයි සිට 1989 මැයි දක්වා කටයුතු කරන ලදී. 1989 මැයි සිට මිය යන තෙක්ම ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කැදවුම්කරු වශයෙන් කටයුතු කළේය.

වෙනුර වර්ධිත අවසාන වශයෙන් නිවසට පැමිණියේ 1989 ඔක්තෝබර් 20වැනිදාය. මව පියා ඇතුළු නිවසේ සියලුදෙනා ආරක්ෂාව සඳහා යැයි කියමින් වෑන් රථයක නංවාගෙන හලාවත නිවසක නතරකල වෙනුර පසුදා අළුයම සිය මිතුරෙකු සමඟ හලාවත දුම්රිය ස්ථානයට ගොස් කොළඹට පැමිණියේය. කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් ද සොයියාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසට ගොස් පිටතට පැමිණෙමින් සිටියදී බම්බලපිටියේදී පැහැරගෙන ගියේ 1989 ඔක්තෝබර් 22වැනිදාය. පසුව‍ රේස්කෝස්හි පිහිටි වධකාගාරයට සහ හෙන්ද්‍රි ප්‍රේදිරිස් පිටියේ පිහිටි ‍වධකාගාරයට ගෙන ගොස් තිරස්චින වධබන්ධන වලට මුහුණ දුන්නද ඔහු කිසිදු තොරතුරක් අනාවරණය ‍නොකළේය. ඝාතනයට පෙර අවසන් වශයෙන් වධකයින්ට වෙනුර වර්ධිත කියා ඇත්තේ “මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා” යන්නය.

එදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවූ සියල්ලෝම ත්‍රස්තවාදීන් විය. එහි ප්‍රතිඑලයක් ලෙස 1986 සිට 1990 දක්වා සරසවි සිසුන් 396ක් ඝාතනයට ලක්වූ අතර තවත් සරසවි සිසුන් 227ක් අතුරුදහන් විය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් කල උද්ඝෝෂණයන්හි එක් ප්‍රතිඵලයක් වශයෙන් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයද ජනසතුවූ අතර දැන් එය කැළණිය විශ්ව විද්‍යාලය යටතේය. වාර්ෂිකව දැයේ දූ දරුවෝ 200කට අධික පිරිසක් දැන් එහි නිදහස් අධ්‍යාපනය ලබති.

dharman28111512
කොළඹ වෛද්‍ය පීඨයේ 1986 වොලිබෝල් කණ්ඩායම පීඨාධිපති මහාචාර්ය ඩැෆ්නි ආටිගල සමඟින්. දෙවන පෙළ සිටගෙන දකුණු පස මුළින් සිටින්නේ වෙනුරය.

වෙනුරගේ මව වන ඥානවතී එදිරිසිංහට ඉකුත් 26 වසර පුරාම නිදහස් අධ්‍යාපනය සුරකින සිසු විරුවන් සිහිකිරීමේ කොළඹ, කැළණිය(රාගම වෛද්‍ය පීඨය), ශ්‍රී ජයවර්ධනපුර සරසවියන්හිද මහජන පුස්තකාලය ඇතුළු බොහෝ ස්ථානයන්හිද ලියුම්කරුට හමුවිය. වෙනුරගේ මවගේ එකම ප්‍රාර්ථනය සිය පුතුගේ 50 වැනි ජන්ම දිනය යෙදෙන 2016 සැප්තැම්බර් 8 වැනිදා භික්ෂූන් 50 නමක් උදෙසා සාංඝික දානයක් පිරිනැමීමය. ඒ සඳහා කෘතගුණ දත් ජනයාගේ සහාය ඇයට නොමදව  හිමිවනු ඇත. ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ එන කියමනක් වෙනුරගේ සමකාලීන වෛද්‍ය මිතුරෝ අදද ආවර්ජනය කරති. එනම් “ඔහු මිනිස් ගුණයෙන් පිරි මිනිසෙකි. එවැන්නකු කිසිදිනෙක නොදිටිමි.”

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය වෙනුවෙන් වෛද්‍ය සිසු වෙනුර වර්ධිත එදිරිසිංහ ඇතුළු කොළඹ, පේරාදෙණිය සහ රුහුණේ වෛද්‍ය පීඨයන්හි වෛද්‍ය සිසුන් 34ක් වෛද්‍ය උපාධිය පසෙකලා තමන්ගේ හෙට දිනය දිවියෙන් කැප කලහ. බොහෝ මිනිසුන් සාමාන්‍ය ලෙස මෙලොව උපත ලබා කිසිදු හැලහැප්පීමකින් තොරව ජීවිතයේ කිසිදු සලකුණක් නොතබා මෙලොව හැරයති. නමුත් අතලොස්සක් දෙනා උල්කාපාතයක් සේ මහා හඬ නගමින් මිහිමතට කඩාවැටී පෘතුවියම දෙදරවා, මහා ආවාට දසත ඉතිරිකර, සැනෙකින් නිවී යති. ඔවුන් ජීවත්වන්නේ සැබවින්ම කුඩා නිමේශයක් වුවත් මිනිසුන්ගේ සිත් සතන් තුල ඔවුන් සදාදරණීය මතකයන් බවට පත් වේ. වෙනුර වර්ධිත ඇතුළු දිවිදුන් වෛද්‍ය සිසුන් 34 දෙනා තබාගිය පරමාදර්ශී සටහන් සමස්ත වෛද්‍ය පීඨ සිසුන්ගේ හදවත් තුළ ගැඹුරුම තැනක වර්තමානයේද ජීවමානය.(The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384)

 

 

ඡායාරූප විස්තර

  1. ධර්මන් වික්‍රමරත්න විසිනි.
  2. .

2 Responses to “රාගම වෛද්‍ය සිසු උපාධි කඩය ජනසතු කල ‘රාජකීය’ නායකයා වෙද සිසුන්ගේ පරමාදර්ශය – වෙනුර එදිරිසිංහ”

  1. cwije Says:

    Poor people cannot prevent rich people going abroad to get medical or other degrees. What is the reason for not allowing rich people getting them in SL?

    I hope someone could give reasons. Because I think this protest over private medical schools is stupid.

  2. Nanda Says:

    Fully agree with CWIJE.

    People are born with the baggage of Kamma. No point being jealous.

    If a bunch rich men want to set up a business of running a Medical College and it can provide degrees with international standard and if that can grow to a big business attracting foreign students , why not ?
    .

    Who are the people responsible for these deaths besides the killers ?
    It is the media people and politicians who mislead the youth.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress