ගීත, විනෝද ගමන් හා අයවැය 
Posted on December 1st, 2015

නලින් ද සිල්වා

 ව්‍යාජ සංඛ්‍යාලේඛන හා බොරු පුරසාරම් සහිත අයවැය කතාව ගැන සිතමින් මම පසුගිය 21 වැනි සෙනසුරාදා ඩ්‍රීම්ස්ටාර් වැඩ සටහන නැරඹීමි. ඉඩක් ලැබෙතොත් මා ඒ වැඩසටහන අවසන් අදියරේ දී නරඹන්නේ විනිසුරුවන්ගේ, විශේෂයෙන් ම දේශපාලන ඉවක් ඇති නදීක ගුරුගේ මහතාගේ, ප්‍රතිචාරවලට ද සවන් දී සංගීතය ගැන යමක් ඉගෙනීමට හැකි බැවිනි. ගුරුගේ මහතා මට එක දවසක්  මුණ ගැසී ඇති අතර අනෙක් දෙදෙනා කිසි දවසක මුණ ගැසී නැත. (විද්වත්හු මා ඇසුරු නො කරති) එහෙත් ඒ සෙනසුරාදා මගේ සිත වෙනතකට යොමු වූයේ මා කළු ද සුදු ද නොදන්නා වසන්ත දුක්ගන්නාරාළ මහතාගේ වදන් කිහිපයකිනි. එක්තරා ගීතයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා  වත්මන් පරම්පරාවේ ගීත  විනෝද ගමනක් යෑමේ දී ගායනය කළ නොහැකි බව සඳහන් කෙළේ ඒ ගීතවල දොසක් දැකීමට නො වේ. ඔහුට අනුව අප තවමත් චාරිකාවලදී ගයන්නේ සිරිපාදේ සමනළ කන්ද පෙනේ වැනි ගීත ය. ඒ මහතා එවැනි ගීතවලට ද අබමල් රේණුවක දොසක් නොකී බව සඳහන් කළ යුතු ය.
 
දැනට අවුරුදු තිහක පමණ කාලයක් තිස්සේ මම චින්තනයක් ගැන කියමි. බොහෝ දෙනාට අනුව කියවමි. ඒ අමරසේකර මහතා ඉදිරිපත් කළ ජාතික චින්තන අදහස නොවේ. චින්තනය යන්න පළමුවෙන් එළිදැක්කේ 1986 පළ වු මගේ ලෝකය කෘතියෙනි. (කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඒ කලින් දැනගත හැකි විය. එය කෙළවර වූයේ මා විශ්වවිද්‍යාලයෙන් විසිවීමෙනි) ඒ පොත කියවා ඇත්තේ සුළු පිරිසකි. අවුරුදු තිහේ ම චින්තනය ගැන කතා කෙළේ මා පමණ ය. එහි අතුරුපලයක් විවේචනය කළ අය සිටිය නමුත් ඔවුහු චින්තනය යන වචනය යොදා නොගත්හ. ඔවුන්ට ප්‍රශ්නය වූයේ මා දැනුම (සොයා නොගෙනී) ත්‍රිලක්‍ෂණය නොදැනීම (අවිද්‍යාව) නිසා සංස්කෘතියට, පංචෙන්ද්‍රියට හා මනසට සාපේක්‍ෂව නිර්මාණය කෙරෙන බව කීම ය.
 
දුක්ගන්නාරාළ මහතා නැගුයේ වැදගත් ප්‍රශ්නයකි. ඔහු කියා සිටියේ සාධාරණ වශයෙන් ගත්කල නව පරපුරේ ගායකයන් සමූහ ගීත ගායනා නොකරන බව ය. (මා සමුහ ගීයක් ලෙස හඳුන්වන්නේ කිහිප දෙනකුට එකතු වී ගැයිය හැකි ගීතයකි) හැටේ දශකයේ හා එයට පෙර සමූහ ගීත ගැයුණු අතර  හැත්තෑවේ දශකයෙන් පසුව (මේ සංඛ්‍යා ගැන වුවමනාවට වඩා සැලකිලිමත් නොවිය යුතු ය. මේ දළ සටහනක් පමණ ය.) එය අභාවයට යමින් ඇත. ජනගායනා, පමණක් නොව වන්දනාවේ යනවිට අප කී තුන්සරණය ද සමූහ ගායනා විය.  සුභාවිත ගීත නමින් හැඳින්වෙන ගීත අතරමැදි තත්ත්වයක් නිරූපණය කෙළේ යැයි සිතමි.
 
හැත්තෑහත මෙරට දේශපාලනයේ වැදගත් වසරකි. ඒ අවුරුද්දේ විවෘත ආර්ථිකය හඳුන්වාදෙනු ලැබිණි. ඒ සමග බොහෝ දෙනා නොසලකා හැරිය ද විවෘත සංස්කෘතිය ද ලැබිණි. විවිධ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා එහි ප්‍රතිඵලයකි. පෙර කල ගුවන් විිදුලිය (මාධ්‍යය) පාලනය වූයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත් පිරිසක් අතිනි. ඔවුන්ගේ අනුකාරක අධීක්‍ෂණය යටතේ දේශීය හා විදේශීය අර්ධ ශාස්ත්‍රීය හා විදග්ධ ගැමි කෘති ඉදිරිපත් විණි. හැත්තෑහතේ දරුවනට එය ප්‍රිය නො වී ය. ඔවුන්ට මාධ්‍යය, විශේෂයෙන් ම විද්‍යුත් මාධ්‍යය, ඊනියා ප්‍රජාතන්ත්‍රකරණයට ලක්කර ජාත්‍යන්තරයකට ගෙනයෑමට අවශ්‍ය විය.
 
අප බොහෝ දෙනාට ඇත්තේ යටත්විජිත මානසිකත්වයකි. ඒ අතින් ඊනියා උගත්තු, තරුණයෝ හා මධ්‍යම පංතිකයෝ පහළම තත්ත්වයක පසුවෙති. අපි අවුරුදු දෙදහසක් පමණ සෑම දෙයක් ම ඉන්දියාවෙන් හෝ බටහිරින් හෝ ගැනීමට පුරුදු වී සිටිමු. අපට ධනපති ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, බටහිර දැනුම, නූතන මතිමතාන්තර, විලාසිතා බොහෝමයක් බටහිරින් ලැබෙයි. අශෝක සංස්කෘතිය, රාගධාරී සංගීතය, සාරි, ඇතැම් කාන්තා විලාසිතා ඉන්දියාවෙන් ලැබිණිි. දැන් දැන් පිරිමි විලාසිතා ද ලැබෙන බව මෝදී ඇඳුමෙන් පැහැදිලි වෙයි. එක් අතකින් ගත්කල මේ සියල්ල අප විසින් අනුකරණය කෙරෙන විලාසිතා වෙයි. ඩ්‍රීම් ස්ටාර (රියැලිටි ෂෝ) ද අපේ දේ රැකගෙන අළුත් දේ අරගෙන යෑමක් නොව අනුකරණයකි.
 
සාමූහික චින්තනයෙන් පුද්ගලයා ඉස්මතු කෙරෙන පෞද්ගලික චින්තනයට හැරීම බටහිර ඇරඹුනේ පහළොස්වැනි සියවසෙහි ඉතාලියෙහි පිරෙන්ට්සි (ඉංගිරිසින්ට අනුව ෆ්ලොරන්ස්) නගරයෙහි ය. දාවින්චිලා මිචලාංජිලෝලා (ඉංගිරිසින්ට අනුව මයිකල් ඇංජිලො) ඇතිවුනේ මේ චින්තන විප්ලවයත් සමගම ය. පිරෙන්ට්සි නගරයෙහි ඇති දාවිත් ප්‍රතිමාව මේ විප්ලවයේ සංකේතය ලෙස මම දකිමි. එහෙත් මේ චින්තන විප්ලවය දේශපාලන විප්ලවයක් බවට පත්කරනු ලැබුයේ මාටින් ලූතර් පූජක තුමා විසිනි. එය වතිකානුවට විරුද්ධ ව ආපසු පොතට (බයිබලය යනු පොත ය) යෑමක් විය. දෙවියන් වහන්සේ පෞද්ගලිකව දැකිය හැකි බව පූජක තුමාගේ මතය විය.  කතෝලික (කැතලික් යන්නෙහි තේරුම සාමූහිකත්වය යන්න ය. වතිකානු පාප් මාලිගයෙහි පරාවලයික තාප්පය සියල්ලන් එකතු කිරීම වැනි අදහසක් දෙන්නේ යැයි සිතේ.) චින්තනය වෙනුවට යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ඉස්මතු විය. මේ විප්ලවයෙහි විද්‍යාව කොටස වර්ධනය වූයේ ගැලීලියෝ, නිව්ටන් ආදීන් අතිනි. ආගමින් කතෝලිකයකු වූ නමුත් චින්තනයෙන් ක්‍රිස්තියානි වූ ගැලීලියෝට එහි දී පාප්වහන්සේට විරුද්ධ වීමට සිිදුවිය. පළමු  යටත්විජිතවාදීන් වූ ස්පාඤ්ඤ හා පෘතුගීසි ජාතිකයෝ ද ආගමින් කතෝලිකයන් වූ නමුත් යටත්විජිත ගැන වූ චින්තනයෙන් ක්‍රිස්තියානි වූහ. මේ නව චින්තනය දකුණු යුරෝපයෙන් පටන්ගෙන ක්‍රමයෙන් ප්‍රංශය හරහා උතුරට ගොස් අටවැනි හෙන්රිගෙන් පසු එංගලන්තයේ ස්ථාපිත විය.
 
ධනපති ක්‍රමය, බටහිර විද්‍යාව ආදී සියල්ල නව චින්තනයෙහි ප්‍රතිඵල විය. එය සංගීතයට ද බලපෑවේ ය. සංද්ධවනි සංගීතය වෙනුවට පෞද්ගලික ගායනා මතුවිය. එහෙත් බටහිරයෝ කිසිවිටෙක ඉතිහාසය මුළුමනින් අමතක නො කළහ. එංගලන්තය පැරණි සංගීතය පමණක් නොව පැරණි රජපවුල ද යම් පමණකින් ආරක්‍ෂා කර ගත්තේ ය. අපි ද ඒ අනුකරණය කෙළෙමු. කුඩා පාසල් දරුවකු ලෙස දෙවැනි එලිසබෙත්්ගේ මෞලි මංගල්‍යය පිළිබඳ චිත්‍රපටිය අනෙක් සිසුන් සමග පාසල් කටයුත්තක් ලෙස රීගල් සිනමාහලේ නැරඹූ බව මට මතක ය. ඉන් අවුරුදු හැටකට පසුුවත් ඇයට අත්පළඳනා නැතිව අතට අත දීම අපි අගයමු.
 
එංගලන්තයේ ධනපති පංතිය මුල දී පෞද්ගලික ධනපතියන් වුවත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ට සමාගම්වල අගය තේරුම් ගියේ ය.  පසුව කම්කරු පක්‍ෂය රජසතු ව්‍යාපාර මගින් සාමූහික ප්‍රාග්ධනයක් එකතු කර දුන්නේ ය. කල්යෑමේ දී බහු ජාතික සමාගම් ද අවශ්‍ය විය. අද බටහිර ඇත්තේ ආරම්භයේ දී තිබූ පෞද්ගලික චින්තනය නො වේ. අගුවේ විද්‍යා පරීක්‍ෂණ කල ෆැරඩේලා අද දක්නට නැත. අද පට්ටපල් බොරු වූ භෞතික විද්‍යාවේ පමණක් නොව ජෛවතාක්‍ෂණයේ ද පරීක්‍ෂණ කෙරෙන්නේ සාමූහිකව ය. එතරම් සාර්ථකත්වයක් නැතත් ඒ පට්ටපල් බොරු සඳහා ඩොලර් කෝටි ගණන් වැයවෙයි. පර්යෙෂණ පත්‍රිකාවල විසි තිස් ගණන් කතෘවරු වෙති. කලාවෙහි ද මේ වෙනස දැකිය හැකි ය. කලා කෘතියක් යනු ඒක පුද්ගල නිර්මාණයක් නො වේ. බටහිර චින්තනය යුදෙවු ක්‍රිස්තියානි පෞද්ගලික චින්තනයක සිට නූතන සාමුහික චින්තනයකට මාරු වී ඇත. එය පැරණි කතෝලික සාමුහික චින්තනයෙන් වෙනස් ය. අපි නූතන බටහිර චින්තනය යුදෙවු ක්‍රිස්තියානි සාමූහික චින්තනය ලෙස නම් කරමු.
 
ලංකාවට සෑම දෙයක් ම මෙතෙක් බටහිරින් පැමිණියේ කාල පමාවක් සහිතව ය. අන්තර්ජාලයෙන් තොරතුරු කාලීනව ලබාගත හැකි වුව ද ඒ සමාජයට දිරවීමට තරමක කාලයක් ගතවෙයි. අපට සාමුහික ගීත වෙනුවට පෞද්ගලික ගීත පසුගිය දශක කිහිපයෙහි ලැබුණේ විවෘත සංස්කෘතියෙහි ප්‍රතිඵල ලෙස ය. නූතන බටහිර තාක්‍ෂණය හා සාමූහික චින්තනයෙන් කැඩුණු පෞද්ගලික නාලිකා එහි දී යම් කාර්යභාරයක් ඉටු කෙළේ ය. ටික කලෙකින් තරුණයන් යුදෙවු ක්‍රිස්තියානි සාමූහික චින්තනය අනුකරණය කරනු ඇත. ඔවුන් ඉන් මුදවා අපේ දැනුමක් ආර්ථිකයක් සහිත අපේ සාමුහික චින්තනයකට යොමු කිරීමට අවුරුදු තිහක් මා ගත් වෑයම අසාර්ථක වී ඇත. අද ජාතික ව්‍යාපාරය ද විද්‍යුත් මාධ්‍ය ද තරුණයෝ ද මා කොන්කරති.
 
මා ඩ්‍රීම් ස්ටාර් නැරඹුයේ අයවැය ගැන සිතමිනි. සාධාරණ වශයෙන් ගත්කල මෙරට ඇත්තේ සීමිත ප්‍රාග්ධනයක් ඇති හිඟන ධනපති පංතියකි. ඔවුන් ජීවත්වන්නේ දහනවවැනි සියවසේ ය. ඔවුන්ට බහු ජාතික සමාගම් යනු නොතේරෙන සංකල්පයකි. ඔවුන් තවමත් යුදෙවු ක්‍රිස්තියානි සාමූහික චින්තනයට පැමිණ නැත. ඔවුන් බොහෝ දෙනකු තවමත් කරන්නේ මිල දී ගෙන විකිණීම් (බයින් ඇන්ඩ් සෙලින්) ය. එ ජා පක්‍ෂය කෙතරම් බටහිර අනුකරණය කළ ද ඔවුන් තවමත් දහනවවැනි සියවසේ අගභාගයටවත් පැමිණ නැත. අයවැයෙන් පෞද්ගලික දේශීය හා විදේශීය ධනපතියන්ට සහන දී ඇත්තේ ඔවුන් ලවා ආර්ථිකය නංවාලීමට ය. එහෙත් දේශීය හිඟන ධනපතියන්ට විශාල ප්‍රාග්ධන නැත. විදේශිකයෝ කර්මාන්ත ඇතිකිරීමට මෙරටට නො පැමිණෙති. (ඔවුන් ද විසුරුණු දෙමළ ජනයා ද වැල්ල මිල දී ගැනීමට නම් පැමිණීමට ඉඩ ඇත.) හෙළ ගොවිකම නොසලකා හැර වස විස ආහාරවලට ඉඩ දී ඇත. ආර්ථිකය එක තැන පල්වෙයි. ශ්‍රී ල නි ප මධ්‍යම ප්‍රමාණයේ ප්‍රාග්ධන ණයට ගෙන රජසතු ව්‍යාපෘති ඇතිකරයි. එහි දී ඔවුන්ට ජාතිකත්වය යම් පමණකට බලපායි. විජාතික එ ජා ප රජසතු ව්‍යාපෘති හිඟන ධනපති පංතියට බෙදා දෙයි. තමන් පිහිටුවූ මේ රජයට ණය දීමටවත් බටහිර රටවල් සූදානම් නැත. එහෙත් බටහිරට අප පාලනය කිරීමට අවශ්‍ය වෙයි. ඒ කළ හැක්කේ දෙමළ ජාතිවාදයට ආධාර කිරීමෙන් හා එ ජා ප ප්‍රමුඛ ආණ්ඩුවක් බලයේ රඳවා ගනිමිනි. අද සමන්තා පවර් එන්නේත්, දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් උතුරේ හමුදා කඳවුරු විසුරුවා හැරීමට කියන්නේත්, තමන්ට ප්‍රභාකරන් සැමරීමට අවශ්‍ය යැයි කියන්නේත්, නාවික හමුදාවේ බුද්ධි අංශ පාවා දෙමින් ත්‍රිකුණාමලයේ නාවික කඳවුරට එක්සත් ජාතින්ගේ නියෝජිතයන් රිංගන්නේත්, කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේත්, රාජපක්‍ෂවරුන්ට දඬුවම් කිරීමට උත්සාහ කරන්නේත්, දෙමළ බෙදුම්වාදී සංවිධානවල තහනම අයින් කරන්නේත්, හිඟන ධනපති පංතිය නියෝජනය කරන, වයිෆයි ගැන කතාකරමින් වයිබර් තාක්‍ෂණය ගැන දොඩවමින් තවමත් දහනවවැනි සියවසේ මුල ජීවත්වන එ ජා ප නායකයන් බටහිරට ගැතිකම් කරමින් ඔවුන් කියන අයුරින් ඔවුන් වෙනුවෙන් මෙරට පාලනය කරන බැවිනි. තම තනතුරු රැකගැනීම සඳහා දෙමළ ජාතිවාදයට කප්පන් දීමට හිඟන ධනපති පංතියට හා ඔවුන්ගේ පක්‍ෂය වූ එ ජා පක්‍ෂයට සිදු වී ඇත. ඩ්‍රීම් ස්ටාර් සිට අයවැයට විනෝද ගමනක් නැත. එහෙත් පෞද්ගලික ගීතවලටත් අයවැයටත්් කාල පමාවක් සහිත එකම අනුකාරක චින්තනයක් ඇත.
 
නලින් ද සිල්වා
 
20015 නොවැම්බර් 26

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress