අරැන්ගෙට්රම් පුජාසනයෙන් නැඟූණු   ජාතික  සංහිඳියාවේ දෝංකාරය [Barathanatya Arangetram]
Posted on December 2nd, 2015

ආචාර්ය කොඩිසිංහ හේරත්.

ඕක්ලන්ඩ්වල ශීත ඉර්තුව නිමවී  ගිම්හානය උදාවී ඇත. මාස කීපයක්  නිද්රා ගතව  තිබුණු  ගස් වැල්  අතු පතර දැන් නැවුම් පත් හා මල් වලින් පිරී ඇත. ජීවයෙන් පිබිදී ඇති පරිසරයකින් වටවූ   ‘මේඩ්මන්ට් රඟහලේ ‘  පසුගිය දිනක සැන්දෑවක එළිදැක්වූ   භාරත නැටුම් – අරංගේත්රම් සංදර්ශනයක්  නැරඹීමට මමද  වාසනාවන්තයෙක් විමි.

භාරත නැටුම්  වනාහි කලාවක් මෙන්ම ඉතා පුළුල් හා ගැඹුරු විෂයක් ලෙස මා  අසා තිබුනද  ඒ පිළිබඳ  කිසිදූ  දැනුමක් මට නොතිබිනි. නැටුම් වනාහි  තවත් කලාවක් ලෙස පොදුවේ අගය කිරීමක් හැර මට ඒ පිළිබඳව වැඩි යමක් දැනගැනීමට අවශ්යතාවයක්ද  කිසිදාක නොතිබිණි.

හුදෙක්ම මෙදින මගේ සහභාගිත්වය සිදුවූයේ අන් කිසිවක් නිසා නොව ඉතා මෑතක මා  හඳුනාගත් මිතුරෙකුගේ ලාබාල දියණියක විසින් මෙම සංදර්ශණය ඉදිරිපත් කළ බැවින් ඒ මිතුරාගෙන් ලද ඇරයුම නිසාය.  නැටුම් රස විඳීම කෙසේ නමුත් මගේ පැමිණීමෙන් ශාලාවේ ඇති හිස් ගෙඩි ගණන වැඩිවීමට හෝ දායක වෙනු ඇතැයි මම සිතුවෙමි

මා සිතුවට වඩා කලින්ම ශාලාව නරඹන්නන්ගෙන් පිරී ගියේය. ලංකාවෙන්  මෙහි පැමිණ වේදිකා ගතකරණ සිංහළ නාට්යක් හෝ  සංගීත රාත්රියක් රස විඳීමට රොක්වෙන පිරිස මට හොඳට හුරු පුරුදුය. බොහෝවිට ඔවුන් එදිනෙදා මඟ -තොට හමුවී කතා බහ කරණ එසේත් නැතිනම් දන්නා හඳුනන අය නිසාදෝ මෙලෙස රැස්වෙන  මොහොතක එහි අමුත්තක් මට දැනී නැත. එහෙත් අද මේ ශාලාව තුල රැස්ව සිටින පිරිස අතර වෙනසක් මම දුටුවෙමි.

නළල මත තැබූ  ලොකු- රතු මොට්ටුව හා දැකුම් කළු වර්ණවලින් නිමවූ සාරි විලාසිතාවන්ගෙන් සැරසුණ කාන්තාවන්ද ඔවුන්ගේ පුරුෂයින් හා පවුල්වල උදවියද අද ශාලාවේ තැනින්  තැන අසුන්ගෙන ඇත. 

තිස් වසරකටත් වඩා වැඩි කාලයක් ශ්රී ලංකාවෙ පැවති කුරිරු යුද්ධය විසින්  ජනතාව පිඩාවට පත්කලා පමණක් නොව ඔවුන්  සිංහල හා දෙමළ කථාකරණ මිනිසුන්  වශයෙන් වෙන්කර  සදහටම  ඔවුනොවුන් ඈත්කර, තබන මානසිකත්වයක් හා පරිසරයක් නිර්මාණය කර ඇත

අපේ පාසැල් යුගයෙ  කෝවිලේ මංගල්යට සිංහල අපි ගියා වගේම ගමේ පන්සලේ  උත්සව හා සංදර්ශනවලට දෙමළ  උදවිය පැමිණිම එදා සාමාන්ය දෙයක් විය. නමුත් අද මේ තත්වය වෙනස් වී ඇත

ඒ මුසල යුද්ධය දැන් නිමවී ඇතත් සිංහල හා දෙමළ මිනිසුන්  ස්වේච්චාවෙන් එකට එක්වී එකම වේදිකාවේ එළිදැක්වෙන සංදර්ශනයක් රසවිඳින අවස්ථා ගැන තවමත් අපට සිතාගත නොහැකිය.

නමුත් එවැනි හමුවක් අද  තම මව්බිමෙන් බැහැරව සිදුවී ඇත. ශාලාව තුල රැස්ව සිටි අතලොස්සක් හැර අනෙක් සියලුම දෙනා සිංහළ හෝ දෙමළ කථාකරණ ශ්රී ලාංකිකයන්ය.

අපි සියළු දෙනා වේදිකාව දෙස නොඉවසිල්ලෙන් බලාසිටියෙමු. වේදිකාව ඉතාමත් සරලය. ඇස් නිලංකාර කරණ  වර්ණවත් විදුලි බුබුළු වෙනුවට එහි තිබුණේ  මඳ එළියක් පමණි.

චාම් ඇඳුමෙන් සැරසුණු දකුණූ ඉන්දීය සම්භවයකින් හෙබි කලා කරුවෝ තිදෙනෙක් හා ඊටම සරිලන  පැහැපත්  ඇඳුමෙන් සැරසී  ගත්  නැටුම් ගුරු තුමිය වේදිකාවේ පසෙක අසුන් ගෙන සිටියෝය. පසුව අසා දැනගත් පරිදි මෙම ගුරුතිමිය යාපනයේ උපන් දෙමළ කථා කරණ ශ්‍රී ලාංකීය මාතාවක්ය.

මොහොතකින් පණ ගැන්වුණු වයලීනයෙන්ද, ම්රින්දන්ගම් බෙර හඬින්ද  අපේ දෙසවන් රිද්මගත වෙද්දී  නිහඬව සිටි ගායකයා සිය කට හඬ අවදි කළේ අප ඔහුගේ කට හඬට වශීකෘත කරමින්ය. ඔහුගේ මඳුර මනෝහර  කට හඬ විටෙක ගැඹුරුය, විටෙක වේගවත්ය.   තවත් විටෙක ඒ හඬ සිහින්ය, සියුම්ය,  නොනැවතී අනන්තය දෙසට  අපත් කැටුවම ඇදී යන සුළුවිය.

අඩ අඳුරේ තිබූ වේදිකාවට පිවිසි ඒ කුඩා නාට්ය ශිල්පිනිය ආලෝකයේ තිර්වතාව වැඩිවෙත්ම කාගේත් නෙත් හා ගැටින. ඇය නැටුමට සරිලන විවිද වර්ණයන්ගෙන් නිමවුණු  වස්ත්රාබරණයෙන්  සැරසී සිටියාය. වේදිකාව සිසාරා දුවමින් ඇය අපේ නෙත් යුහුසුළු කළාය. අඩ අඳුරේ නිසලව අසුන්ගෙන සිටි අපගේ සවන් හා නුවන් වශයෙන් සතර ඉඳුරන් ප්‍රමෝදයේ උච්චස්ථාන ගතවීම චිත්තක්ෂණයකින් සිදුවිය.

වයලීනයේ තත් හඬ, ම්රින්දන්ගම් බෙරයේ ගිගුම් හඬ හා තාලම්පොටේ රිද්ම හඬ අතරට එක්වූ ද්රවිඩ භාෂාවේ  ගී හඬ අපේ දෙසවන් කුල්මත් කරද්දී එම ධ්වනි තරංග  එකින් එක වේදිකාවේ  රඟන දියණියගේ ගත හා වෙලෙමින්  ජීවයක් ලබන්නටත්,  ඒ ජීවයෙන් සපිරුණු  දර්ශණීය  ඉරියව් හා  රූ – රටා අපේ නෙත් අභියස මැවෙන්නටත් විය.

මෙහිදී සවනින් ඇසුණු  සබ්ද හා නෙතින් දුටු දසුන්  එකවර මනස තුල දෝලනය වෙමින් මුසපත්ව සිටි මා අත්දුටුවේ හුදෙක්ම නැටුම් සංදර්ශනයක අසිරියට වඩා ඉන් ඔබ්බට ගිය කිසියම් මනස්කාන්ත තලයක මා ස්ථානගතවවී සිටි මොහොතක් ලෙසය.

තවත් විදියකින් කිවහොත් අපි අපේ සාමාන්‍ය කයෙන් බැහැරව  මනෝමය කයකින් එහි රැඳී සිටියා යැයි  කිව හැකිය.  එසේ  වූවානම් එය අපේ ජීවිතවල කදිම අත්දැකීමකි. නැටුම වනාහි ශරීරය හා ආත්මය සම්බන්ද කරන්නක්ය යන කියමන මෙහිදී සනාථ වී ඇත

ප්රේක්ෂක අපට එවැනි  අත්දැකීමක් අත්කර දීම පිළිබඳව සෙත්මිණි රණසිංහ දියණියටත් ඇගේ ගුරු මාතාව වූ රේණුකා කෙතීසන් මත්මියටත් හා ඉන්දීය කලා  කරුවන්ටත් අපගේ ගවුරවය හිමිවිය යුතුය

උපන් පවුල් පරිසර හා වත – ගොත අනුව ගුරු තුමිය හා ශිෂ්යාව පිලිවෙලින් දෙමළ හා  සිංහළ වශයෙන් හඳුනා ගත්තාවුවද  ඔවුන් දෙදෙනාම ශ්රී ලාංකිකයන්ය . මේ ගුරු-ගෝල යුවල  මහත් පරිශ්‍රමයකින් එළි දැක්වූ අරංගේත්රම් වැඩ සටහණ අගනා නැටුම් දර්ශනයක් වුවද ඒ තුළින් පීටාර ගිය තවත් පණිවිඩයක් ඇත. ඒ  අනෙකක් නොව,  දෙමළ – සිංහළ සංහිඳියාව තුළින්  කොතෙක් නම්  අගය කළහැකි අධ්යාත්මික  ගුණවගාවන් ඔස්සේ අපේ බාල පරම්පරාව යොමු කළහැකිද යන්න ඔවුන් විසින් ඔප්පුකර පෙන්වා දීමය. මෙය ශ්‍රී ලංකාව තුළ ජාතික සංහිඳියාව ගැන පට්ටන්දර දෙසා බාන උදවියට පුර්වාදර්ශයක් වියයුතුය.

දේශපාලනමය උන්මත්තකයින් විසින් ඉතිහාසයේ කලින් කල ව්‍යසනයන් ඇතිකලද ඒ ගැටුම් අස්සේ වුවත් මිත්‍රශීලිව ජිවත් වූ  දෙමළ හා සිංහළ මින්සුන් කවදත් සිටියෝය. ඔවුන් තුල යටපත්ව ඇති අද්යාත්මික ගුණ සමුදායන් යලි මතු කළ යුතුය

මිනිසුන් අතර තිබිය යුතු  ආධ්‍යාත්මික ගුණවගාවන් තුට්ටුවකට නොතකා ඔවුනොවුන් මරා ගත්  පසුගිය අඳුරු යුගය තුල  ශ්‍රී ලාංකීය   දු-පුතුන් දස – දහස් ගණනින් ළමා සොල්දාදුවන්  හා මිනීමරුවන් බවට පත් කලෝය. ඒ රටේම තවත් පැත්තක මේ හා සමාන දරුවන් සිය  -දහස් ගණනින් පාසැල් යන අතර මඟ බෝම්බවලට හසු කොට අකාලයේ මරා දැමුවෝය

ශීත ඉර්තුව නිමවී ගිම්හානය උදාවන්නාක් සේ අශුභ යුගයන්  පිටු දැක ශුභවාදී කාලයක් උදාකල හැකි ජාතික සංහිඳියාව ගොඩනැගෙනු ඇතැයි ප්රාර්ථනය කරමු.

[Acknowledgement to Sai Natyalaya –Auckland, Smt.Renuka Ketheesan, Indian Artists- Shri Bhavani S Kishore Kumar (Vocal), Shri Kundail Kesavan Narayan (Mridangam) and Shri N Veeramani (Violin) and student artist Sethmi Ranasinghe] – Dr. HM Kodisinghe

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress