මිනිසාට අමතක වී ගිය පූජනීය වස්‌තුව- වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා
Posted on December 2nd, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග

වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා මට මුල් වරට හමු වන්නේ 1999 දී පමණ කාලයේදීය​. අධ්‍යාත්මික වෛද්‍ය විද්‍යාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගත යුතු බව එතුමා ඒ කාලයේ සිටම අවධාරනය කලේය​. මම වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා මහතාගේ මතයට එකඟ වෙමි. 2004 වසරේ මා විසින් පළ කරන ලද Psychoanalysis with Clinical Evidence  කෘතිය පිළිගැන්වෙන්නේත් එතුමාටය​.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඊ. එම්. විඡේරාම සමරු දේශනය විශේෂඥ වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා මහතා විසින් ඔක්‌තෝබර් මස 28 වැනිදා අනුරාධපුර මහ රෝහලේදී පවත්වන ලදී. මේ එම දේශනයයි. 

වරෙක ඇල්බට්‌ අයින්ස්‌ටයින් මෙසේ පවසා ඇත. “අපගේ යටි සිත අපට ලැබී ඇති පූජනීය වස්‌තුවකි. උඩු සිත යනු විශ්වාසවන්ත සේවකයෙකි. අප නිර්මාණය කර ඇත්තේ පූජනීය දෙය අමතක කර සේවකයාට සලකන සමාජයකි” මා ඔබට මේ ලිපියෙන් අවධාරණය කරන්නට බලාපොරොත්තු වන්නේ අයින්ස්‌ටයින් විසින් සඳහන් කරන ලද අපට අමතක වී ඇති පූජනීය වස්‌තුව හෙවත් යටි සිත (Intuitive Mind) පිළිබඳවත් එය නිසා අයුරින් අවබෝධ කර ගැනීම මගින් අපට ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳවයි.

මා මෙම ලිපියෙන් විස්‌තර කිරීමට බලාපොරොත්තු වන භාවමය සහ ආධ්‍යාත්මික බුද්ධිය මෙම යටි සිතේ ක්‍රියාවන් නිසා ඇතිවන ප්‍රතිඵලයන් බැවින් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් වේ.

බුද්ධිය, (Intelligence) යනු කුමක්‌ද? මෙම වචනයේ තේරුම ග්‍රහණය කිරීම පිණිස බුද්ධිය යනු නිපුණතාවයන් ලෙස සැලකීම සුදුසු වේ. අවශ්‍ය නව සුදුසු නිපුණතාවයක්‌ අවශ්‍ය වේලාවට යෙදවීමට හැකිවීම බුද්ධිය ලෙස අර්ථ ගැන්විය හැක.

බුද්ධිය ගැන කතා කරන විට බුද්ධි වර්ග හතරක්‌ පිළිබඳව අපි කතා කරමු.

ඒවා පිරමීඩයක ස්‌ථර ලෙස තැබුවහොත් පහතම ස්‌ථරය වන්නේ භෞතිකය බුද්ධියයි. (Physica Intelligence) මෙය ඉතාම ප්‍රාථමික වර්ගයේ බුද්ධියකි. මනුෂ්‍යයාට පමණක්‌ නොව සතුනටද මෙම බුද්ධිය පොදුවේ. බඩගිනි වූ විට කෑම සොයා යැම නිදිමත වූ විට නිදාගැනීම ආදී මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවශ්‍ය අවශ්‍ය වන බුද්ධිය මෙය වේ. මීට ඉහළින් ඇත්තේ අප සියලු දෙනාම බුද්ධිය ලෙස සලකන බුද්ධිමය (තාර්කික) බුද්ධියයි. (Intelligence quotient) මෙය ඉංග්‍රීසියෙන් IQ ලෙසින් හැඳින්වේ. අප හට ඇති විශ්ලේෂණාත්මක හෝ ගණිතමය හැකියාවන් අයත් වන්නේ මෙම බුද්ධියටයි. මා මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන භාවමය සහ ආධ්‍යාත්මික බුද්ධීන් පිහිටා ඇත්තේ මේ පිළිවෙළින් මීට ඉහළ ස්‌ථිර දෙකෙහිය.

මේ දක්‌වා පිළිගෙන ඇති සම්මතය වූයේ බුද්ධීන් අතුරෙන් වඩා වැදගත් වන්නේ තාර්කික බුද්ධිය හෙවත් IQ ලෙසටයි. ඊට හේතුව අපගේ ජීවිතයේ එදිනෙදා කටයුතු කිරීම පිණිස මෙම බුද්ධිය අත්‍යවශ්‍ය බැවිනි. එබැවින් මෙම බුද්ධිය සම්මත බුද්ධිය ලෙසද හැඳින්විය හැක. මේ නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ හෝ රැකියා ක්‍ෂේත්‍රයේත් මේ දක්‌වා වැඩිපුරම විමසා බැලුවේ යම් අයෙකුගේ මෙම සම්මත බුද්ධි මට්‌ටම හෙවත් IQ ප්‍රමාණයයි. ඒ සඳහා විභාග ප්‍රතිඵල ප්‍රධාන වශයෙන් උපයෝගී කරගනු ලැබිණි. මීට හේතුව වූයේ යම් අයෙකුගේ මෙම බුද්ධි මට්‌ටම අනාගත හැකියාවන්ගේ ප්‍රධාන නිර්ණායකය ලෙස සැළකීමයි. නමුත් පසුගිය දශක කිහිපය තුළ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලවලින් අනාවරණය වූයේ යම් අයෙකුගේ අනාගත සාර්ථකත්වයට මෙම IQ ලෙස දක්‌වන බුද්ධි මට්‌ටම කෙළින්ම සමානුපාතික නොවන බවයි. එනම් උපරිම ලෙස IQ බුද්ධිය ඇති අයෙකු අනිවාර්යයෙන්ම ඊට වඩා අඩු බුද්ධි මට්‌ටමක්‌ ඇති අයෙකුට වඩා සෑම විටම ජීවිත සාර්ථකත්වය ලබා නොගැනීමයි. මෙයින් ගම්‍ය වූයේ යමෙකු යම්කිසි බුද්ධි මට්‌ටමකට පැමිණි පසු (එය උපරිම විය යුතු නැත) ජීවිත සාර්ථකත්වය සඳහා මෙයින් ඔබ්බට ගිය බුද්ධියක්‌ තිබිය යුතු බවයි. එසේ නම් එම බුද්ධිය කුමක්‌ විය යුතුද?

භාවමය බුද්ධිය නම්වූ සංකල්පය ඉදිරියට පැමිණියේ මෙම හිඩැස පිරවීම පිණිසයි. වසර 1995 දී ඩැනියෙල් ගෝල්මන් විසින් රචිත “භාවමය බුද්ධිය” පිළිබඳ කෘතිය මගින් මෙම සංකල්පය වඩාත් ප්‍රචලිත විය. භාවමය බුද්ධියෙන් අදහස්‌ කරන්නේ තමාගේ හෝ අන්‍යයන්ගේ භාවයන් තෝරා බේරා ගැනීමේ හැකියාව සහ ඒවා නිසි අයුරින් කළමනාකරණය කර ගැනීම මගින් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීමයි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට ලබාදී ඇති අර්ථ කථනය මෙසේයි. “Ability to make healthy choices based on the ability to recognize, understand and manage, your own feelings and feelings of the others”

අපගේ භාවයන් (Emotions) අප පරිණාමයේදී පැවැත්ම සඳහා උපකාරී වූ දෙයකි. ඉතා ප්‍රාථමික අවධියේදී අපගේ මස්‌තිෂ්කයන් (Neo cortex) වර්ධනය වී නොතිබුණ අවධියේදී මෙම භාවයන් අපගේ පැවැත්ම සඳහා ඉවහල් විය. අපගේ හැසිරීම් ඒ අවධියේදී එම භාවයන් මත ර¹ පැවතිණි. පරිණාමයත් සමඟම මිනිස්‌ මොළයේ මස්‌තිෂ්කය වර්ධනය විය. අප සිතීමට හැකි වූයේ මෙමගිනි. එබැවින් එය අපි සිතීමේ මොළය හෙවත් Cognitive or thinking brain ලෙස හඳුන්වමු. මේ නිසා විය යුතුයි දැනටමත් මිනිස්‌ මොළයේ භාවමය මොළය (Emotional brain) පසුව වර්ධනය වූ මස්‌තිෂ්කයට පහළින් පිහිටා ඇත්තේ. අපට සිතීමේ හැකියාව ලැබීමත් සමඟම යම් දුරකට අපට අපගේ භාවයන් පාලනය කිරීමට හැකියාව ලැබිණි. ඊට හේතුව නම් මෙම භාවමය මොළය සහ සිතීමේ මොළය අතර ඉතා කිට්‌ටු සම්බන්ධතාවන් තිබීමයි. අපට භාවමය බුද්ධිය හට ගන්නේ අපගේ සිතීමේ මොළය මගින් භාවයන් හඳුනාගැනීමටත් ඒවා පාලනය කිරීමටත් අපට ලැබුණු හැකියාව නිසයි.

සාමාන්‍ය වහරේදී අප භාවයන් (Emotions) ගැන කතා කරන විට ඒවා සම්බන්ධ කරන්නේ අපගේ දියුණුවට බාධා කරන සාධක ලෙසටයි. උදාහරණයක්‌ ලෙස ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ රංගන ශිල්පියෙකුගේ ඉදිරිපත් කිරීම තමා තුළ ඇතිවන ආතතිය මගින් යම් දුරකට ගුණාත්මක බවින් අඩුවිය හැක. එසේම දරුවකු විභාගයකට මුහුණ දෙන විට ඇතිවන බිය නිසාද මෙවැනි බාධා ඇතිවිය හැක. නමුත් භාවමය බුද්ධිය යනුවෙන් අප දකින්නේ ඉතාමත් ධනාත්මක දෙයකි. ඊට හේතුව භාවයන් හඳුනා ගැනීමට ඇති හැකියාවත් ඒවා තමාට වාසි වන අයුරින් හසුරුවා ගැනීමට ඇති හැකියාවත් මෙම බුද්ධියට අයත් බැවිනි.

සිතේ ක්‍රියාකාරීත්වය දෙස බලන විට උඩු සිත මෙන් කිහිප ගුණයක්‌ යටි සිත විශාල යෑයි යන මතය දැනට පිළිගෙන තිබේ. උඩු සිතේ ක්‍රියාකාරීත්වය සම්මත බුද්ධිය (IQ) ලෙස අපට ප්‍රකට වේ. එය යම් ආකාරයකට මැනිය හැක. නමුත් භාවමය සහ ආධ්‍යාත්මික බුද්ධීන් පිළිබඳව අපට අවබෝධයක්‌ නොතිබුනේ ඒවා යටි සිතේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධව ඇතිවන බැවිනුත් ඒ සඳහා යම් මිනුම් දඬු ඉදිරිපත් නොවීමත් නිසාය. සිතේ ස්‌වභාවය අප සමාන කරන්නේ මුහුදේ පාවෙන අයිස්‌ කන්දකටයි. (Iceberg) එහි වතුර උඩින් පෙනෙන කුඩා කොටස සම්මත බුද්ධියටත් (IQ) ලෙසටත් වතුර යට ඇති නොපෙනෙන විශාල කොටස භාවමය සහ ආධ්‍යාත්මික බුද්ධියටත් සමාන කළ හැක. හොඳ බුද්ධිමතෙකුගේ ලක්‍ෂණය නම් අපට ප්‍රකට වන තාර්කික බුද්ධියත් නොපෙනෙන භාවමය සහ අධ්‍යාත්මික බුද්ධීන් අතර හොඳ තුලනයක්‌ ඇති අයෙකි. නමුත් අප මේ දක්‌වා බුද්ධිමතුන් වශයෙන් සැලකුවේ තාර්කික බුද්ධි ප්‍රමාණය ගැන පමණක්‌ සලකා එය උපරිම වශයෙන් ඇති අයයි. මෙය වැරදි බව දැන් අපට පෙනී ගොස්‌ ඇත්තේ ජීවිත සාර්ථකත්වය ගැන සැලකීමේදී වඩා වැදගත් වන්නේ මේ බුද්ධීන් අතර ඇති තුලනයයි. තාර්කික බුද්ධිය යම් ප්‍රමාණයකට පිහිටා ඇති අයට යම් ප්‍රමාණයකට භාවමය සහ ආධ්‍යාත්මික බුද්ධියක්‌ ඇත්නම් එවැනි අයෙකු ඉතා ඉහළ තාර්කික බුද්ධියක්‌ ඇති එහෙත් අනිත් බුද්ධි දෙකේ ඌනතාවයක්‌ ඇති අයෙකුට වඩා සාර්ථක වන බව දැන් පිළිගත් මතයයි.

භාවමය බුද්ධිය (Emotional intelligence)
ගෝල්මන් විසින් භාවමය බුද්ධිය නිපුණතාවයන් හතරකට බෙදා විස්‌තර කර ඇත. එනම් යම් අයෙකුගේ භාවමය බුද්ධිය යනු මේ නිපුණතාවයන් හතරේ සංකලනයක්‌ ලෙස ඔහු විස්‌තර කර ඇත. මෙම නිපුණතාවයන් හතරෙන් විවිධ පුද්ගලයන් හට ඇති හැකියාවන් විවිධ වේ. දැන් මේ නිපුණතාවන් හතර කුමක්‌දැයි බලමු. මේවායින් නිපුණතාවයන් දෙකක්‌ තමාගේ භාවයන් පිළිබඳ වන අතර අනිත් දෙක අන්‍යයන්ගේ භාවයන්ට සම්බන්ධ වේ.

දැන් අපි මුල් නිපුණතාවයන් දෙක සලකා බලමු. මෙයින් පළමුවැන්න නම් තමාගේ භාවයන් හඳුනාගැනීමේ හැකියාවයි. මෙය ඉංග්‍රීසියෙන් Recognition of own emotions ලෙස හඳුන්වයි. උදාහරණයක්‌ ලෙස තමාට තරහ ආ විට තමාට දැන් තරහ ගොස්‌ ඇති බව වැටහීමයි. එය භාවමය බුද්ධියේ කොටසකි. දෙවැනි කොටස වන්නේ තම භාවයන් පාලනය කර ගැනීමට ඇති හැකියාවයි. (Impulse control) මෙම නිපුණතාවය හෝ හැකියාව නොමැති නිසා අද සමාජයේ ඇතිවී ඇති ව්‍යසනය ගැන විස්‌තර ලිවීම අවශ්‍ය නොවේ. ක්‍ෂණික කේන්තිය පාලනය කරගත නොහැකිව සිදුවන මිනීමැරුම් ගැන දිනපතා පුවත්පත්වල ප්‍රවෘත්ති ඇත. මෙම දෙවැනි නිපුණතාවය වර්ධනය කර ගැනීමට නම් අනිවාර්යයෙන් පළවෙනි නිපුණතාවය වර්ධනය කරගත යුතුය. අපට තරහ පැමිණ ඇති බව දැකගතහොත් පමණි ඒ සඳහා අපට යමක්‌ කළ හැක්‌කේ.

දැන් අපි භාවමය බුද්ධියේ තුන්වැනි සහ හතරවැනි නිපුණතාවයන් දෙස යොමුවෙමු. අන්‍යයන්ගේ භාවයන් පිළිබඳව තමාට ඇති නිපුණතාවයන් මෙයින් විස්‌තර කෙරේ. තුන්වැන්න නම් අන්‍යයන්ගේ භාවයන් හඳුනාගැනීමට යම් අයෙකුට ඇති හැකියාවයි. මෙය ඉංග්‍රීසියෙන් Empathy යනුවෙන් හඳුන්වයි. මෙය භාවමය බුද්ධියේ ඉතා වැදගත් අංශයකි. විශේෂයෙන් අන්‍යයන් සමඟ කටයුතු කරන ව්‍යාපාරික හෝ වෙනත් ආයතනයක සේවයේ යෙදෙන අයට මෙය විශේෂයෙන් වැදගත් වේ. උදාහරණයක්‌ ලෙස ව්‍යාපාරයක්‌ සාර්ථකව කරගෙන යැමේදී තම සේවාලාභීන්ගේ භාවයන් හඳුනාගැනීම ඉතා වැදගත් වේ. තම සේවා ලාභියාට කේන්ති ගොස්‌ ඇති බව හඳුනාගත හැකි වුවහොත් පමණි. එම ව්‍යාපාරිකයාට ඒ සඳහා යමක්‌ කළ හැක්‌කේ. හතර වන නිපුණතාවය නම් අන්‍යයන්ගේ භාවයන් සමනය කිරීම සඳහා ඊට සුදුසු පියවර ගැනීමට ඇති හැකියාව හෝ කළමනාකරණයට කර ගැනීමට ඇති හැකියාවයි. සමාජ නිපුණතාවය හෙවත් Social Skills යනුවෙන්ද මෙම සිවුවන නිපුණතාවය හඳුන්වයි. මෙම හැකියාව ව්‍යාපාර සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වේ. මෙම නිපුණතාවය ඇති අයට ඇති ලක්‍ෂණ කිහිපයක්‌ නම් ඔවුන් සන්නිවේදනයේ දක්‍ෂ වන අතර කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීමේදීද දක්‍ෂතාවයන් පෙන්නුම් කරයි. බොහෝවිට ප්‍රමුඛයන් ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය වන්නේ මෙවැනි හැකියාවන්ය. එබැවින් ඒවා Leadership skills යනුවෙන්ද හඳුන්වයි.

මෙලෙස භාවමය බුද්ධිය සහ ව්‍යාපාර සාර්ථකත්වය අතර ඇති සම්බන්ධතාවය පෙනෙන්නට පටන්ගත් විට නිරායාසයෙන්ම භාවමය බුද්ධිය පිළිබඳව ව්‍යාපාර ලෝකයේ කථා කරන්නට පටන් ගැනින. විධායක නිලධාරි මට්‌ටමේදී අත්කර ගන්නා සාර්ථකත්වයෙන් 90% ක්‌ම භාවමය බුද්ධිය නිසා බවයි දැන් පිළිගැනීම. යම් අයෙකුගේ සාර්ථකත්වය සඳහා මෙම භාවමය බුද්ධිය, තාක්‍ෂණය පිළිබඳව ඇති නිපුණතාවයන්, තාර්කික බුද්ධියත් මෙන් දෙගුණයක්‌ වැදගත් බව දැන් පිළිගෙන ඇත. ඇමරිකාව වැනි දියුණු රටවල්වල ව්‍යාපාරයන් තම සේවකයන්ගේ තාක්‍ෂණික දැනුම දියුණු කරවීම පිණිස නිරන්තරයෙන් ඩොලර් මිලියන ගණන් වියදම් කරයි. මෙය සාම්ප්‍රදායික තත්ත්වයයි. නමුත් දැන් මෙම තත්ත්වය තරමක්‌ වෙනස්‌ වී තම සේවකයන්ගේ භාවමය බුද්ධි වර්ධනය සඳහාද විශාල මුදලක්‌ වැය කරයි. එබැවින් දැන් භාවමය බුද්ධි වර්ධනය සඳහා පාඨමාලා සහ වැඩමුළු සංවිධානය කිරීම විශාල කර්මාන්තයක්‌ බවට පත්ව ඇත. මේ සඳහා වංලගු භාවමය බුද්ධි පරීක්‍ෂාවන් සකස්‌ කර ඇති අතර එමගින් යම් අයෙකුගේ කුමන භාවමය බුද්ධි පැතිකඩක්‌ දුර්වලදැයි දැනගත හැක. එසේ කළ පසු එම බුද්ධි කොටස දියුණු කිරීම සඳහා විශේෂ මාර්ගෝපදේශයන් ලබාගත හැක. ඔබට භාවමය බුද්ධි මට්‌ටම පරීක්‍ෂා කර ගැනීමට අවශ්‍ය නම් අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියකට පිවිසිය හැක. මෙමගින් ඔබගේ භාවමය බුද්ධිය පිළිබඳව දල අවබෝධයක්‌ ඔබටම ලබාගත හැක.

ව්‍යාපාර ලෝකයේ සාර්ථකත්වයට භාවමය බුද්ධිය මෙතරම් බලපාන්නේ නම් වෛද්‍ය වෘත්තිකයන් වන අපටද එය ප්‍රයෝජන වේ යෑයි සිතීමට අපහසු නැත. වෛද්‍යවරුන් වන අප නිරන්තරයෙන් ප්‍රතිකාර කරන්නේ විශේෂිත භාවමය අවශ්‍යතාවයක්‌ ඇති මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ වන රෝගීන් වෙනුවෙන්ය. එබැවින් ඔවුන්ගේ භාවයන් හඳුනා ගැනීමත් ඒවාට නිසි ප්‍රතිචාර දැක්‌වීමට ඇති හැකියාවේ වැදගත්කම ගැන තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද මේ පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කර ඇත.

ඉව හෙවත් Gut feeling (Intuition)
ඉව ගැන කතා කරන විට අපට බොහෝ විට මතක්‌ වන්නේ සතුන්ය. නමුත් මනුෂ්‍යයන් වන අපටද එවැන්නක්‌ ඇත. නමුත් අවාසනාව වන්නේ බොහෝ දෙනකු එවැන්නක්‌ ඇති බව හෝ නොදනී. ඊට හේතුව අපේ භාවමය බුද්ධියේ ඇති දුර්වලකමයි. වැදගත් තීරණයක්‌ ගැනීමේදී අප බොහෝ විට කරන්නේ සිතීමේ මොළය (ඉදිරිපස මස්‌තිෂ්කය) භාවිත කර කල්පනා කර විශ්ලේෂණය කර එවැනි තීරණයක්‌ ගැනීමයි. නමුත් සමහර විට එවැනි තීරණ වැරදි බවට අපට යටි සිත ඉඟිකරන අවස්‌ථා ඇත. ඉව ලෙස අප දක්‌වන්නේ මෙම යටි සිත කරන ඉඟියයි. බොහෝවිට එවැනි ඉඟියක්‌ අපගේ විශ්ලේෂණාත්මක තීරණයට වඩා නිවැරදි වන අවස්‌ථා ඇත. අවාසනාව වන්නේ අපේ භාවමය බුද්ධියේ ඇති දුර්වලකම නිසා අපට එවැනි ඉඟියක්‌ නොලැබීමයි. මෙය භාවමය ඌනතාවයක (Emotional deficiency) ලෙස හඳුන්වයි.

ලෝකයේ ඉතා සාර්ථක වූ ඇපල් කොම්පියුටර නිර්මාතෘ ස්‌විට්‌ ජොබ් නැමැත්තා ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ නව නිපැයුම් වල රහස නම් මේ ඉඟිය මගින් ලැබූ පන්නරය බවයි. හාවඩ් සරසවියේ පාඨමාලාව අතරමග හැර දමා ගිය ලෝකප්‍රකට මයික්‍රොසොµaට්‌ මෘදුකාංග ව්‍යාපාරයේ නිර්මාතෘ වන බිල් ගේට්‌ස්‌ගේ කථාවද එවැන්නකි. ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගියෙකු ශල්‍ය කර්මයකට භාජනය කළ යුතුද, නැද්ද යන්න ඉතාම තීරණාත්මක අවස්‌ථාවක ශල්‍ය වෛද්‍යවරයා තමාගේ භාවමය බුද්ධිය මගින් ලබාදෙන ඉගිය හෙවත් Gut feeling භාවිත කරන අවස්‌ථාවන් අප බොහෝ විට දැක. එසේ ගන්නා තීරණ සමහර විට අපට මතුපිටින් පෙනෙන සාධක අනුව ගත යුතු තීරණයට විරුද්ධ වේ. එහෙත් ඔවුන් එසේ ගන්නා තීරණ මගින් රෝගීන්ගේ ජීවිත බේරාගත් අවස්‌ථා මා අත්දැකීමෙන් දැක ඇත.

අපි දැන් භාවයන්ගේ විද්‍යාත්මක පැත්ත සලකා බලමු. භාවයන් ඇති කරන්නේ මොළයේ ඇතිවන රසායනික ක්‍රියාවලියක්‌ මගින් යන්න පිළිගැනීමයි. එහෙත් නව සොයාගැනීම් අනුව මෙය රසායනික ක්‍රියාවලියක්‌ මෙන්ම භෞතික ක්‍රියාවලියක්‌ ලෙසත් අර්ථකථනය කරයි. ඊට හේතුව සාම්ප්‍රදායික පිළිගැනීම නම් භාවයන් ඇති කරනු ලබන්නේ මොළයේ හටගන්නා භාවමය පෙප්ටයිඩ (Emotional peptides) නම්වූ ඇමයිනෝ අම්ල කිහිපයක්‌ එක්‌ව සෑදුනු කුඩා දම්වැල් කොටස්‌ වැනි රසායනයන් මගින් බවයි. උදාහරණයක්‌ ලෙස එක්‌ඩොµsන් නම්වූ රසායනය දැක්‌විය හැක. අපට සතුට දැනීමට මෙම පෙප්ටයිඩය ඉවහල් වන බව පෙන්වාදී ඇත. එබැවින් මෙතෙක්‌ පිළිගෙන තිබුණේ භාවයන් ඇති වන්නේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌ ලෙසටයි. නමුත් මෑතකදී කළ පරීක්‍ෂණ මගින් අනාවරණය වූ ආකාරයට අපට පෙනෙන්නේ මෙම රසායනික ක්‍රියාවලියට අමතරව සෛලවල යම් කම්පනයක්‌ (Vibration) ඇති කරන බයයි. එමගින් යම් කම්පන තරංග නිකුත්වන බව සොයා ගෙන ඇත. මෙය අපට අලුත් මාතෘකාවකට යොමු කරයි. එනම් සෛලවල කම්පනයයි. (Cell vibration) අප ශරීරයේ ඇති සෑම පරමාණුවක්‌ම අනුවක්‌ම ඇත්තේ නිරන්තර කම්පන තත්ත්වයකි. මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක්‌ නොවේ. විද්යුත් චුම්බක ඉංජිනේරු විද්‍යාඥ නිකොලා ටෙස්‌ලා වරක්‌ පැවසුවේ විශ්වයේ ඇති සියල්ල කම්පන තත්ත්වයේ පවතින ශක්‌තීන් බවයි. අප තුළ ඇතිවන විවිධ භාවමය තත්ත්වයන්වලදී සිදුවන මොළයේ සෛල වල කම්පන එකිනෙකට වෙනස්‌ වේ. උදාහරණ වශයෙන් සතුට සැනසුම වැනි ධනාත්මක භාවයන්වලදී කම්පන සංඛ්‍යානය ඉතා වැඩිබවත් දුක බිය වැනි සෘණාත්මක භාවයන් වලදී ඇති වන කම්පන සංඛ්‍යාතය අඩු බවත් පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

මෙම සංඛ්‍යාත පරාසය හර්ට්‌ස්‌ 20-700 අතර වේ. අප කතා කළ භාවමය බුද්ධියේ පැතිකඩක්‌ වන එම්පති Empathy නමින් හඳුන්වන අනුන්ගේ භාවයන් හඳුනාගැනීමට ඇති හැකියාව කම්පන සිද්ධාන්තය මගින් අපට විස්‌තර කළ හැකි දැයි මෙහිදී අනුමාන කළ හැක. එවැනි අයට අනුන් නිකුත් කරන කම්පන සංඛ්‍යාතය ග්‍රහණය කිරීමට හැකියාවන් ඇතැයි උපකල්පනය කළහොත් මෙවැනි හැකියාවන් විද්‍යාත්මකව විස්‌තර කළ හැක. අනුන්ගේ සිත් කියවීමේ හැකියාව ඇති අය අප අතර කලාතුරකින් සිටින බව ඔබ දන්නවා ඇත. එසේම අපගේ භාවයන් සමඟ බද්ධ වී ඇති අන්‍යයන්ට පින් පැමිණවීම වැනි ආධ්‍යාත්මික කටයුතුවලදී ද මෙවැනි කම්පන තරංග ක්‍රියාත්මක නොවෙනවා යෑයි කිසිවෙකුට කිව නොහැක. මෙය මෙතෙක්‌ අප නොදුටු අධ්‍යාත්මික සංසිද්ධීන් හා නවීන විද්‍යාවේ ගැළපීමකි.

ආධ්‍යාත්මික බුද්ධිය (Spiritual intelligence)

මෙය එක්‌තරා අයුරකින් අප දැනට කතා කළ භාවමය බුද්ධියේ දිගුවකි. අප කතාකළ බුද්ධි පිරමීඩයේ භාවමය බුද්ධියට ඉහළින් මෙය තබා ඇත. අප මෙය සලකන්නේ මනුෂ්‍යයාට ළඟාවිය හැකි උපරිම බුද්ධිය ලෙසයි. භාවමය බුද්ධිය මෙසේ අර්ථකථනය කර ඇත. කුමන තත්ත්වයන් යටතේ හෝ යමෙකුට තම අභ්‍යන්තරික සහ බාහිර ශාන්ත ස්‌වභාවය පවත්වා ගනිමින් කරුණා සහගතව සහ ප්‍රඥවන්තව හැසිරීමට හැකිවීම ආධ්‍යාත්මික බුද්ධිය ලෙස අර්ථ ගන්වා ඇත. ඔබට මෙම අර්ථ කථනය අනුව හැසිරීමට හැකිදැයි සිතා බලන්න. එසේ හැකිනම් ඔබටද ආධ්‍යාත්මික බුද්ධියක්‌ ඇත. අවාසනාවකට මෙන් අප සියලුදෙනාටම එසේ කළ නොහැක. අද ලෝකයේ ඇති අවුල් වියවුල් යුද්ධ ආදිය සලකන කල අපට එවැනි බුද්ධියක්‌ තිබේදැයි සැක සහිතයි. ඔබ දන්නා අය අතරින් මෙවැනි ආධ්‍යාත්මික බුද්ධියක්‌ ඇති පුද්ගලයකු ගැන සිතන්නය කිවහොත් ඔබේ සිතට එන්නේ කවරෙක්‌ද? එක්‌තරා අධ්‍යයනයකදී මෙම ප්‍රශ්නය අසන ලදී. එහිදී බොහෝදෙනා නම්කර තිබුණේ තම තමන්ගේ ආගමික ශාස්‌තෲවරුන්ගේ නම්ය. මෙම බුද්ධියට ආධ්‍යාත්මික යනුවෙන් පටබැඳුනේ මේ නිසාදැයි මට සැක පහළ වේ. ප්‍රඥවේ සහ කරුණාවේ මූර්තියක්‌ ලෙස එවැන්නක්‌ ගැන සිතීම පුදුමයක්‌ නොවේ. අභ්‍යන්තරික සහ බාහිර වශයෙන් ඔවුන් ශාන්ත වේ.

භාවමය සහ ආධ්‍යාත්මික බුද්ධිය වෙනස්‌ වන්නේ අභ්‍යන්තරික ශාන්ත බවෙනි. භාවමය බුද්ධිය මගින් යමෙකුට තම බාහිර ශාන්ත බව රඳවා ගැනීමට හැකිවේ. උදාහරණ වශයෙන් භාවමය බුද්ධිය පමණක්‌ ඇති වෙළෙඳ ආයතනයක සේවකයකුට සේවාලාභියකු බැණ වැදෙන අවස්‌ථාවක නම බාහිර ශාන්ත භාවය රඳවා ගනිමින් තම සේවාලාභියාට මුහුණ දීමට හැකිවේ. එහෙත් ඔහුගේ අභ්‍යන්තරික ශාන්තභාවයක්‌ බලාපොරොත්තු විය නොහැක. නමුත් ආධ්‍යාත්මික බුද්ධිය ඇති අයෙකුට තම බාහිර සහ අභ්‍යන්තරික ශාන්ත භාවයන් දෙකම රඳවා ගනිමින් මෙවැනි අවස්‌ථාවන්ට මුහුණ දිය හැක. එබැවින් යමෙකු භාවමය බුද්ධියේ සිට ආධ්‍යාත්මික බුද්ධිය දක්‌වා පැමිණෙන විට ඇතිවන ප්‍රධාන වෙනස නම් අභ්‍යන්තරික ශාන්ත බව ඇති කර ගැනීමයි. එවැනි අය හඳුනා ගැනීමට පහසු වේ. ඔවුන් බොහෝ විට කලබල නොවන නිවුන කරුණාවන්ත පුද්ගලයන් වේ. එවැනි අයගේ ශරීර සෞඛ්‍යය පවා හොඳ බව සොයාගෙන ඇත. ඔවුන් තම සේවා ස්‌ථානයන්ගේ කාර්යයන් අනන්‍යයන්ට වඩා හොඳින් ඉටුකරයි. අන්‍යයන් සමඟ ගැටුම් අඩුවේ. එසේම ගෙදරදීද ඔවුන්ගේ හැසිරීම මේ ආකාරයෙන්ම තිබේ. මෙන්න මේ කරුණ නිසා තමයි මෑතක සිට ව්‍යාපාර ලෝකයේද ආධ්‍යාත්මික බුද්ධිය ගැන කතා කරන්නේ. එවැනි බුද්ධියක්‌ ඇති සේවකයන් සිටින ව්‍යාපාර වඩා සාර්ථක වන බවත් දැන් පිළිගැනීමයි.

යමෙකුට තම ආධ්‍යාත්මික බුද්ධිය වර්ධනය කරගත හැකිද? පිළිතුර වන්නේ ඔව් යන්නයි. ආධ්‍යාත්මික බුද්ධිය ජානමය සහ වෙනත් සාධක මතද ර¹ පවතින නමුත් එය පුහුණුව මගින් වර්ධනය කළ හැකි බව දැනට ඇති පිළිගැනීමයි. ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව මෙසේ පළකර තිබුණි. ආධ්‍යාත්මික සාරධර්ම සහ නිපුණතාවයන් වෛද්‍යවරුන්ගේ සායනික කටයුතුවලදී ඉතා අවශ්‍ය අංගයක්‌ ලෙස පිළිගනිමින් පවතී. අධ්‍යාත්මික බුද්ධිය පියාපත් දෙකක්‌ ඇති කුරුල්ලෙකුට සමාන කළහොත් එම පියාපත් දෙකෙන් පෙන්නුම් කරන්නේ කරුණාව (Compassion) සහ ප්‍රඥවයි (Wisdom). මේ දෙක එක්‌වූ විට ඇතිවන ප්‍රතිඵලය නම් මුළු විශ්වාසටම ඇති ආදරයකි. මෙම ගුණයන් දෙක අභිබවා යන වෙනත් මනුෂ්‍ය ගුණයන් ගැන ඔබට සිතිය හැකිද? ආධ්‍යාත්මික බුද්ධිය මනුෂ්‍යයාගේ ඉහළම බුද්ධිය ලෙස අප සලකන්නේ එබැවින්ය. කරුණාව වැඩිවීමට පුරුදු වීමට එක්‌ ක්‍රමයක්‌ නම් ඔබගේ ආගමික ශාස්‌තෲවරුන්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීමයි. ප්‍රඥව යනු තමා පිළිබඳව ඇති ඉතා උච්ච දැනුවත් ස්‌වභාවයකි. (Heightened inner awareness) මේ තත්ත්වයට ළඟාවීමට නම් තමා විසින්ම අභ්‍යාස කළ යුතුයි. ඒ කුමන අභ්‍යාසයන්ද? පිළිතුර වන්නේ භාවනාවයි. අප තුළ ඇති අභ්‍යන්තරික ශාන්තිය නැති වන්නේ නිරන්තරයෙන් අපේ සිතීමේ මොළය (Cognitive or
thinking brain) මගින් ඇතිවන සිතිවිලි මගිනි. අපට ශාන්තිය ළඟාකර ගැනීමට නම් මෙම සිතිවිලි යම් ආකාරයකට අවහිර කළ යුතුයි. භාවනාව පුහුණු කිරීම මගින් මෙය කළ හැක. ඒ බව දැන් එම්. ආර්. අයි. ස්‌කෑන් පරීක්‍ෂාව (f-MRI) මගින් පැහැදිලිව පෙන්වාදී ඇත. භාවනාවේ යෙදෙන විට මොළයේ ඉදිරිපස කොටස්‌ ඇති සිතීමේ මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවන බව මෙම නවතම ස්‌කෑන් පරීක්‍ෂාවන් මගින් පෙන්වාදී ඇත. සිතීමේ මොළයේ ක්‍රියාකාරීත්වය මගින් අපගේ අභ්‍යන්තරික ශාන්තිය නැතිවන ආකාරය උදාහරණයක්‌ ගෙන පැහැදිලි කරමු. ඔබට යමෙක්‌ බැන්නා යයි සිතන්න. එවිට සාමාන්‍යයෙන් අපට ඇති වන්නේ තරහකි. නමුත් ඔහු බැන්නේ ඔබට නොව වෙනත් අයෙකුට යෑයි සිතන්න. එවිට පෙර පරිදිම අපට තරහ නොයයි. ඊට හේතුව අප තුළ ඇති මමත්වයයි (Ego) මමත්වය අපේ යටි සිත සමඟ සම්බන්ධ ක්‍රියාවලියකි. එය පෙර සඳහන් කළ මොළයේ ලිම්බික පද්ධතිය (Limbic system) නම් වූ කොටසට අයත් කාර්යයකි. භාවනා කරන විට මෙම කොටසේ ක්‍රියාකාරිත්වයද අඩුවන බව එම්.ආර්.අයි. ස්‌කෑන් පරීක්‍ෂාව මගින් පෙන්වා දී ඇත. එනම් භාවනාවේදී මොළයේ සිදුවන ක්‍රියාවලිය දැන් අපට විද්‍යාත්මකව පැහැදිලි කළ හැක. භාවනාව පුහුණු කළ විට ක්‍රමානුකූලව අප තුළ ඇති මමත්වය තුනී වී යයි. එවිට පුද්ගලයාට ක්‍රමානුකූලව ප්‍රඥව පහළ වේ. ඒ සමඟ තමා ජීවත්වීමේ අරමුණ කුමක්‌දැයි සෙවීමේ වුවමනාව ඇතිවේ. ඔබටත් මෙවැනි අරමුණක්‌ අවම වශයෙන් යන්තම් හෝ පහල වූ අවස්‌ථාවන් ඇත්ද? එසේ නොවේ නම් අපගේ උත්සාහය විය යුත්තේ එම තත්ත්වයට ළඟාවීමයි. ඒ සඳහා භාවනාව පුහුණු කිරීම කළ යුතුයි.

මස්‌ලෝ නම් වූ විශිෂ්ට ඇමරිකානු මනෝ විද්‍යාඥයා විසින් මිනිසාගේ අවශ්‍යතාවයන් වර්ගීකරණය කොට පිරමීඩයක ස්‌ථිර ලෙස සකස්‌ කරන ලදී. පහතම ස්‌ථරය නම් අපගේ මූලික භෞතික අවශ්‍යතාවයන් වන ඇඳුම්, ආහාර, නිවාස ආදියයි. මෙයට උඩින් ඇති ස්‌ථරය නම් ආරක්‍ෂාවය. තුන්වැන්නට ඇත්තේ සාමාජීය අවශ්‍යතාවයයි. ඊට උඩින් ආත්මාභිමානය ලෙසත් (Self esteem) ඉහළම මුදුන ආත්ම පරිපූර්ණත්වය (Self actualization) ලෙසත් දක්‌වා ඇත. ඔහුගේ මතය අනුව අප සෑම විටම එක්‌ තලයකට ළඟාවූ විට ඊළඟ තලයට ළඟාවීමට උත්සාහ කරන බවයි. මා ඔබට කලින් සඳහන් කළ බුද්ධි වර්ගීකරණ පිරමීඩය මතකයට නගාගන්න. එයද එක්‌තරා ආකාරයකට මස්‌ලෝගේ අවශ්‍යතා පිරමීඩයට යම් සමාන කමක්‌ දක්‌වන බවත් ඔබට නොපෙනේද? එහි මූලික බුද්ධිය වන භෞතික බුද්ධිය අපට මෙන්ම සතුනටද පොදුවේ. එහි ඉහළම ඇත්තේ ආධ්‍යාත්මික බුද්ධියයි. අපගේ අවසාන අවශ්‍යතාවයන් මෙය නොවේද? මස්‌ලෝ තම අවශ්‍යතා පිරමීඩය විස්‌තර කරන අවධියේදී ආධ්‍යාත්මික බුද්ධි පිළිබඳ සංකල්පය ප්‍රචලිත වී නොතිබුන නමුත් එවැන්නක්‌ තිබෙන බවට අනුමාන කර එය අවශ්‍යතාවයක්‌ ලෙස ඇතැම් විට එම පිරමීඩයේ ඉහළම ස්‌ථරයේ තැබුවා විය හැකි නොවේද? මිනිසාගේ අවසාන ඉලක්‌කය විය යුත්තේ මරණයට පෙර මෙම උපරිම බුද්ධි තලය හෙවත් ආධ්‍යාත්මික බුද්ධියට ළඟාවීමයි. එය අපහසු කාර්යයක්‌ නොවේ.

අවසාන වශයෙන් අයින්ස්‌ටයින් විසින් කළ ප්‍රකාශය ඔබට නැවතත් සිහිගන්වමි. ඔහු වසර සියයකට වැඩිකලක්‌ උඩදී කියූ දේ අදටත් කොතරම් වලංගු දැයි බලන්න!

 
(මෙම දේශනය  දිවයින පුවත් පතේ පළවූවකි )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress