මුණිදාසගේ මරණය
Posted on December 5th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

මුණිදාස මට හමු වූයේ 1993 වසරේදී ඔක්තෝබර් මාසයේදීය​. අවුරුදු 24 පමණ වූ මුණිදාස වයසට වඩා මහළු වූ ගිලන්ව සිටියි. පුරා වසර පහක  කාලයක් නොකඩවා කසිප්පු පානය කිරීම නිසා ඔහුගේ බඩ ඉදිමී තිබේ. කළුබෝවිල රෝහල හෙවත් දකුණු කොලඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අංශයේ වාට්ටුවක ඇඳක් මත ඔහු වැතිරී සිටියි.

මුණිදාසට ප්‍රතිකාර කරන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එස්. ඩී ෆොන්සේකා මහතා සහ කායික රෝග ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ගාමිනී දිසානායක මහතාය​. තදබල ලෙස සිරෝසිස් රෝගයෙන් පෙලෙන මුණිදාස ගේ අක්මාව ක්‍රමක් ක්‍රමයෙන් අක්‍රියව යයි. විශ සහිත රසායණිකයන් ගෙන් පෙරණ  කසිප්පු පානය කිරීම නිසා ඔහුගේ ශරීරයේ අනෙකුත් ජීව ඉන්ද්‍රියන්ටද හාණි සිදුව තිබේ.  ඔහුට සිදු කොට තිබෙන රුධිර පාරවිළනය නිසා මඳක් සහන ගතියක් ඔහු කෙරෙන් දිස් වූවද ඔහුගේ ජීවිතය අවදානම් ය​. බීමත්කමට යොමුවූ තවත් යෞවනයෙකුගේ ජීවිතයක් මිළින වෙමින් පවතියි.

Munidasa

මම මුණිදාසට කතා කලෙමි. කිරි හරක් ඇති කරන ඔහු  ගම්බද දුප්පත් තරුණයෙකි. මිතුරන් ගේ සමාගම නිසා ඉතා තරුණ වයසේ සිට ඔහු මත්පැන් පානයට යොමු වී තිබේ. මේ ඔහු රෝහල් ගත කොට තිබෙන තුන් වන අවස්ථාවයි. රෝහලෙන් ප්‍රතිකාර ගෙන නිවසට ගිය මුණිදාසට නොබී සිටීමට නොහැකි විය​. අත පය වෙව්ල ද්දීත් ඔහු අසීරුවෙන් නැගිට ගොස් කසිප්පු පානය කොට තිබේ.

මුණිදාස පුරා මාස දෙකක් පමණ කළුබෝවිල රෝහලේ සිටියේය​. ඒ මුළු කාලය පුරා දිවා රෑ ඔහුගේ පියා ඔහුගේ ඇඳ අසල සිටියේය​. ඔහු ඉවතට ගියේ වැසිකිලි යාම සඳහා පමණි. සායම් ගිය කමිසයක් සහ සරමක් ඇඳ සිටි මැදි වියේ දුප්පත් මිනිසා තම පුතාගේ ඉරණම දැන සිටියේය​. එහෙත් එම ඉරණම ඉදිරියේ ඔහු අසරණ විය​. නමුත් සුසුමක් පවා නොහෙලමින් වාට්ටුවේ කොට බිත්තියට හේත්තුවී ඔහු තම පුතා දෙස බලා සිටියේය​.

අක්මාව ක්‍රමක් ක්‍රමයෙන් අක්‍රිය වීම නිසා රුධිරයට එක් වන විශ සහිත ද්‍රව්‍ය වල බලපෑමෙන් ඔහුගේ සිහිය පවා ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් වන්නට විය​. ඔහු අසිහියෙන් දෙඩවූයේය​. මෙම තත්වය Hepatic Encephalopathy  ලෙස වෛද්‍යවරු අනුමාන කළහ​.

දිනෙන් දින දුර්වළ වී යන සිය පුතු දෙස අසරණ දුගී පියා බලා සිටියේය​. එහෙත් ඔහු කඳුළු සැලුවේවත් සුසුම් හෙලුවේවත් නැත​. දරිද්‍රතාව නිසා ජීවන සටනට නිබඳව මුහුණ දීමෙන් ලත් පීඩන වලින් හෙම්බත්ව සිටි මේ මිනිසා දෛවයේ පහරදීම් වලට උපේක්ශා සහගතව මුහුණ දුන්නේය​. ඔහු අැඳ අසල තිබූ කෙටි බිත්තියට ශරීරයේ බර දී තම පුතු දෙස බලා සිටියේය​. ඔහුගේ දෙනෙත් වලින් ඉතා දුක්බර කතාවක් කියවීමට හැකි විය​. දශක එක හමාරකට පමණ පසුද ඔහුගේ වෙහෙසට පත් වූ දුක්බර දෙනෙත් මට අමතක නැත​. එම දෙනෙත් වලින් පියෙකුගේ හදවතේ තිබෙන  පුත්‍ර සෙනෙහස කියා පෑවේය​.

ඔහු කෑම ගත්තේ අසල කඩයකින් විය හැක​. බනිස් ගෙඩියක් කා කහට කෝප්පයක් බී සාගිනි නිවාගෙන තම පුතාගේ ඇන අසල සිටීම ඔහුගේ දෛනික චර්‍යාව විය​. නමුත් වෛද්‍යවරු රෝගියා අසලට එන විට ඔහු වහා ඉවත් වෙයි. හෙදියන් ගේ සහ උපස්ථායකයන් ගේ කෑගසීම් සහ විධාන වලටද ඔහු අතිශයින් කීකරු විය​. එය බලය රහිත දුගී මිනිසෙකුගේ යටහත් පහත්කම සංකේතවත් කලේය​.

දිනපතා මුණිදාසගේ සුව දුක් විමසීමට මම පුරුදුව සිටියෙමි. සිහිය ඇති අවස්ථා වලදී ඔහු ඉතා අහිංසක ලෙස අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. ඔහුගේ දෙතොල් වියළිය​. මුහුණ සුදුමැළිය​. අතපය කෝටු දෙකකි. බඩ ඉදිරියටම නෙරා තිබේ. සුරාවට ධූර්තවීම කොතෙක් දුරට ඔහු තුලින් වර්ධනය වී තිබේද යත් දැන් ඇඳෙන් නැගිට යාමේ හැකියාව තිබුනහොත් ඔහු එලියට ගොස් කසිප්පු වඩියක් බී එනු ඇත​. සෞඛ්‍ය අධ්‍යාපනය නොව සාමන්‍ය අධ්‍යාපනයද ඉහලට ලැබීමේ වරම අහිමි වූ මුණිදාස මරණ ආශය කරා යොමු වීම අරුමයක් නොවීය​. එහෙත් ඔහුගේ පියාගේ හද තුල දැවෙන ගින්න ඔහු දැන සිටියේද යන්න ප්‍රශ්නාර්ථයකි. ආදරය සෙනෙහස කිසිදින නොපෙන්වූවත් පියා පුතා දෙස බලා සිටි අයුරින් ඔහු තුල තම පුතා කෙරෙහි තිබූ සෙනෙහස මහමෙරක් තරම් විය​.

සිකුරාදා දිනෙක මම මුණිදාස සමග වචන කිහිපයක් කතා කලෙමි. ඔහුගේ තත්වය වඩාත් බරපතලය​. සති අන්තය නිවාඩු ගොස් සඳුදා මම යළි පැමිනියෙමි . මුණිදාස සිටි ඇඳේ වෙනත් රෝගියෙකි. අර දයාබර පියාද දකින්නට නැත​.

“මුණිදාසට මොකද උනේ ? මම නේවාසික වෛද්‍ය සබේශන් ගෙන් ඇසුවෙමි.

“මුණිදාස ඉරිදා රෑ මැරුනා “ඔහු මට පිළිතුරු දුන්නේය​.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress