හඬාවැටෙන දඹරැල්ලයි  සත්‍යපාල වන්නිගමයි
Posted on December 5th, 2015

ධර්මන් වික්‍රමරත්න

පෘතුගීසින් සිංහල හමුදාවන්ට පහරදී 1505දී මුහුදුබල ප්‍රදේශ අත්පත්කර ගත්හ. පෘතුගීසින්ගේ පාලනයෙන් පීඩාවට පත් සිංහලයෝ පෘතුගීසින්ට එරෙහිව සටන් කරන්නැයි එකල ශ්‍රී ලංකාව පාලනය කර දෙවන රාජසිංහ රජුට දැඩි බලපෑම් කළෝය. රාජසිංහ රජු තම සේනාංක වලින් පහරදී පෘතුගීසින් පරාජය කල නොහැකි බව තේරුම් ගෙන ලන්දේසින් සමඟ ගිවිසුම් සම්මුතියක් ඇතිකර ගත්තේය. ගිවිසුමට අනුව පෘතුගීසින්ට පහරදී අල්ලාගත් සෑම බලකොටුවක්ම රාජසිංහ රජුට භාරදීම ලන්දේසින් විසින් සිදුකල යුතුය. ලන්දේසින්ට නිදහසේ වෙළදාම් කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම රාජසිංහ රජුගේ ගිවිසුම විය.

Dharman Wickremaratne2
ධර්මන් වික්‍රමරත්න විසිනි

මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත් ලන්දේසින් අල්ලාගත් ප්‍රදේශ රජුට භාර නොදී සිය බලය පතුරන්නට විය. මාතර බලය අල්ලාගත් ලන්දේසිහු තංගල්ලට මදක් ආසන්නවූ කටුවන කළුගලින් ශක්තිමත් බලකොටුවක් ඉදිකළේය. කටුවන බලකොටුව පිහිටවූ ලන්දේසින්ගේ ඊලඟ ඉලක්කය උඩරට විය. සබරගමු නායකයින්ගේ ඉල්ලීම අනුව උඩරටින්, සබරගමුවෙන් සහ රුහුණින් යුධ සේනාව  එක්කර කටුවන බලකොටුවට පහරදීමට ශ්‍රී වික්‍රම රාජසිංහ තීරණය කළේය. සිංහල යුධ සේනාවේ නායකත්වය දරණු ලැබුවේ සබරගමු දිසාවේය. කටුවන බලකොටුව ලන්දේසි බලය යටතේ සල්මිල්ටන් හා බර්නාවුඩ් පාලනය කළෝය.

රත්මලේ කන්ද රණහඬින් දෝංකාර දෙමින් 1761 පෙබරවාරි 8 වැනිදා සිංහල සේනාවෝ කටුව බලකොටුවට සිවිදෙසින් පහර දුන්හ. රණගී කියමින් කොටුව තුළට කඩා වැදුණු සිංහල යුධ සේනාවෝ කටුවන කොටුව බිමට සමතලා කළෝය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එයට සම්බන්ධවූ සෙන්පතියන් සහ සෙබළුන්ට ගම්වර ඇතුළු විවිධ උපහාර පුද කළහ. පසු කලෙක ලන්දේසින් යළි ප්‍රහාර එල්ල කරමින් අවට ගම්මාන ගිනිබත් කරමින් මිනිසුන් මරා දමමින් විනාශ කළහ. එම ගිනි රස්නය පැමිණියද එම ගින්නට අසු නොවූ එක් ගමක් විය. එය අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි තංගල්ල ආසනයේ කාරියමඩිත්තහි දඹරැල්ල ග්‍රාමය නම් වේ.

Dharman05121502.සත්‍යපාල වන්නිගමගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්.

අසූව දශකයේ අවසාන භාගයේදී ජවිපෙ 2වැනි කැරැළි සමයේදී දඹරැල්ල ග්‍රාමය යළිත් කථාබහට ලක්විය. එවකට එනම් 1987දී දඹරැල්ල ගමේ පවුල් 304කට අයත් 2,417ක් ජනයා වාසය කළෝය. වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනය. අතීත සටන්කාමින්ට උරුමකම් කියන දඹරැල්ලේ උගතෙකුවූ සත්‍යපාල වන්නිගම මෙන්ම එහි වැසියන් 28 දෙනෙකුද අසූව දශකයේ  භීෂණ සමයේදී ඝාතනයට ලක්විය. ඉන් 19 දෙනෙකු ඝාතනයට ලක්වූයේ 1989 නොවැම්බර් 19වැනිදා සෙවණගල හමුදා කඳවුරෙන් පැමිණ අත්අඩංගුවට ගැනීමෙන් පසු එකම දිනකදීය. එමෙන්ම දඹරැල්ල නිවැසියන් 151 දෙනෙකු වරින්වර අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්හ. ඇතැමුන් බූස්ස සහ පැලවත්ත වැනි කඳවුරු වලින් නිදහස්වී පැමිණියේ වසර දෙක තුනකට පසුවය.

Dharman05121503.වන්නිගම උපන් සහ හැදීවැඩුණු දඹරැල්ලේ මහගෙදර

ඉකුත් 1989 නොවැම්බර් 19 වැනිදා ඝාතනයට පත්වූ ඒ.බී.කේ. පියසිරි මියවන විට දෙදරු පියෙකි. ඔහුගේ දියණියන් දෙදෙනා වූ සෙව්වන්දි සහ සුදර්ශි පසු කළෙක පේරාදෙණිය සහ ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරින් බවට පත්විය. පියසිරිගේ වැන්දඹු බිරිඳ චන්ද්‍රිකා කළු ආරච්චිගේ(51) ලියුම්කරුට වසර 26කට පෙර සිදුවූ එම අමිහිරි මතකය ආවර්ජනය කලාය. දෙදරු මවක්වූ කොස්ගහගොඩගේ පියසිලි(59) සිය සැමියාවූ බින්තැන්න ලියනගේ සිරිපාල ඇතුළු 19 දෙනෙක් එකම දිනකදී ඝාතනය වූ සිදුවීම සිහිපත් කළාය. පුතුන් වන පුෂ්ප තරංග සහ සුගත් තාරක සමඟ දිවියට මුහුණදුන් යකඩ ගැහැණියක් බවට ඇයද දඹරැල්ලේ වැන්දඹු මව්වරුන් සමඟ පත්ව සිටියාය. එක්දරු මවක් වූ කරුණාවතී කළුආරච්චි සුමනාවතී කියා සිටියේ එවකට 26 හැවිරිදි සිය සැමියාවූ ආරියදාස පැහැරගෙන යාමෙන් පසුව ඝාතනය වූ අන්දමය. ඇයගේ එකම දරුවාවු අරවින්ද වර්තමානයේ විද්‍යා පීඨයක ඉගෙනුම ලබන බවය.

ඇඹිලිපිටිය සෙවණ යුධ හමුදා කඳවුරේ නිලධාරින් විසින් 1989 නොවැම්බර් 19වැනිදා දඹරැල්ලේදී රැගෙන යාමෙන් අනතුරුව එකම දින ඝාතනයකල අය අතර කේ.එච්.ඒ. ප්‍රේමදාස, කරුණාසේන විජේසිංහ, කේ.ඩබ්ලිව්.ඒ. ගුණසේන, කෝලිත දහනායක, ඒ.බී.කේ. පියසිරි, ප්‍රේමරත්න ගමගේ, ලියනාරච්චි, ඩඩ්ලි දිසානායක, ඇඩ්ලින් වීරක්කොඩි, සිරිල්, ගාමිණී දහනායක, කේ.එල්.ඒ. සිරිසේන, චමින්ද, බින්තැන ලියනගේ සිරිපාල, නිශාන්ත, කේ.ඒ. සරත් විමලසේන, කරුණාසේන විජේසිංහ, සරත් විමලසේන, කේ.එච්. ගාමිණී ඇතුළු 19 විය.


Dharman05121504පියාවන වන්නිගමගේ දොන් පේදිරිස්, මව ජාසිංආරච්චිගේ සිරිහාමි, වන්නිගම ඝාතනයට එරෙහිව හඬ නැගූ වැඩිමහල් සොහොයුරාවූ කරුණාදාස, වන්නිගම පැහැරගැනීම ප්‍රථමවරට මාධ්‍ය මගින් හෙළිකල ලියුම්කරු වන්නිගමගේ දඹරැල්ලේ නිවසට 1988 ජනවාරි 25වැනිදා ගිය අවස්ථාවේදී වන්නිගමගේ මව වන  එවකට 78 හැවිරිදි සිරිහාමි සිය කැමරාවට හසුකරගත් අයුරු.(වමේ සිට) 

නව සමාජයක කඳුල බීජය මිහිමත රෝපනය කිරීම සඳහා දඹරැල්ල වැසියෝ සටන් වැදුණෝය. ඔවුන්ගේ එම පරමාර්ථයන් මිහිමතදී එදා යථාර්ථයක් නොවූවද මෙදා පෙරමඟට මඟ කියන පහන් තාරකා බවට වර්තමානයේද පත්වෙමින් තිබේ. ඉකුත් වසර 26 මුළුල්ලේම සෑම නොවැම්බර් 19වැනිදාකම මුළු දඹරැල්ල ගම්මානයම වාගේ ඔවුහු සමරති. දඹරැල්ල යනු දකුණේ ගිරුවාගම් 12,000න් එකකි.

සත්‍යපාල වන්නිගම යනු දඹරැල්ලෙන් බිහිවූ බුද්ධිමතෙකි. ඔහු උපන්නේ 1950 මාර්තු 23වැනිදා දඹරැල්ල කැටකාල ගහවත්තේය. පියා වන්නිගමගේ දොන් පේදිරිස්ය. මව ජාසිං ආරච්චිගේ සිරිහාමිය. එම දෙපලගේ දරුවන් වූයේ කරුණාදාස, ජිනදාස, සත්‍යපාල වන්නිගම, නන්දාවතී සහ කමලාවතීය.


Dharman05121505.වන්නිගම පැහැරගැනීමට එරෙහිව 1988 ජනවාරි 22වැනිදා සංකේත වර්ජනයකට එක්වූ ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරු ආචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමි සහ සහාය මහාචාර්ය ගතාරේ ධර්මපාල හිමිවරුන්ගේ නායකත්වයෙන් සරසවිය වටා පෙලපාලි ගිය අන්දම(ඉහල) ඝාතනයකර පුළුස්සා මරාදැමූ වන්නිගමගේ සිරුර 1988 පෙබරවාරි 14වැනිදා ස්‍රා සංවිධානය වගකීම භාරගනිමින් පෝස්ටරයක්ද සමගින් අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේදී දමාගොස් තිබූ අන්දම(පහල)

දකුණු හම්බන්තොට වැව්ගම පලාතේ කාරියමඩිත්තෙහි කරුණා නිවසේ පදිංචි වන්නිගම දඹරැල්ල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය.  වයස 10දී පැවිදි දිවියට ඇතුලත් වූයේ දඹරැල්ලේ ඉන්ද්‍රරතන හිමි නමිනි. තංගල්ලේ ඓතිහාසික විහාරස්ථානයන් වන කහඳාව සහ ගලේගොඩ පුරාණ විහාර, වගේගොඩ රන්කොත්මළු විහාරය සහ කුරුදුපොකුණ ජයසුන්දර විහාරයේ ඉතිහාසය හැදෑරිමෙන් ඉන්ද්‍රරතන හිමියන් තව තවත් පන්නරය ලැබීය.

දඹරැල්ල මහ විදුහලේ 1974 විදුහල්පතිවූ ඒ.ඩී. ගුණසිංහ පවසන අන්දමට පාසැලේ අපොස උසස් පෙල පන්තිවල නිර්චේතනව ඉගැන්වීම කල සත්‍යපාල වන්නිගම දඹරැල්ල  විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ලෙසද කලක් කටයුතු කළේය.  කුල පීඩනයට එරෙහිව සටන්කල නායකයෙකු වූ වන්නිගම එය නිර්දය ලෙස විවේචනය කරමින් ගින්නෙන් උපන් මිනිස්සු නමින් වේදිකා නාටයක්ද තැනීය. ඔහුට උදව් කලේ ගමේ පාසැ‍ලේ බුද්ධදාස මාස්ටර්ය.

Dharman05121506.වන්නිගම උපන් දඹරැල්ල ගම්වැසියන් 28 දෙනෙකු 1989දී ඝාතනයට ලක්වූ අතර ඉන් 19 දෙනෙකු ඝාතනය කරන ලද්දේ ඇඹිලිපිටිය සෙවණ යුධ හමුදා කඳවුරේ නිලධාරින් විසින් 1989 නොවැම්බර් 19වැනිදා දඹරැල්ලේදී රැගෙන යාමෙන් අනතුරුවය. මෙසේ රැගෙන ගොස් එකම දින ඝාතනයකල අය අතර කේ.එච්.ඒ. ප්‍රේමදාස, කරුණාසේන විජේසිංහ, කේ.ඩබ්ලිව්.ඒ. ගුණසේන, කෝලිත දහනායක, ඒ.බී.කේ. පියසිරි, ප්‍රේමරත්න ගමගේ, ලියනාරච්චි, ඩඩ්ලි දිසානායක, ඇඩ්ලින් වීරක්කොඩි, සිරිල්, ගාමිණී දහනායක, කේ.එල්.ඒ. සිරිසේන, චමින්ද, බින්තැන ලියනගේ සිරිපාල, නිශාන්ත, කේ.ඒ. සරත් විමලසේන, කරුණාසේන විජේසිංහ, සරත් විමලසේන, කේ.එච්. ගාමිණී ඇතුළු 19 වේ.

ගාල්ල මහමෝදර කෝවිල ගොඩැල්ල විහාරයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලත් ඉන්ද්‍රරත්න හිමියෝ පේරාදෙණිය සරසවියට 1969 ඇතුළත්ව 1973දී දර්ශනය පිළිබදව ගෞරව උපාධිධාරියෙක් විය. පේරාදෙණිය සරසවියට ඇතුලත් වීමෙන් පසු ජවිපෙට සම්බන්ධවූ අතර 71 කැරැල්ලෙන් දේශපාලනය ප්‍රායෝගිකව උගත්තේය. වසර 1974දී ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා ගන්නා ලදී. ඉන්ද්‍රරත්න හිමියෝ 1972 උපැවිදිවී යළි සත්‍යපාල වන්නිගම විය.

ගමට පැමිණි පසු හේනක් කපා වගා කල වන්නිගම රැකියාවක් ලැබෙන තුරු දඹරැල්ල පාසැලේ සිසුනට ස්වෙච්ඡාවෙන්ම උගැන්වූයේය. ඔහුට ජේෂ්ඨ ගුරු පත්වීමක් ලැබුණද එය දේශපාලන කතුරට හසුවිය. ඔහු රැකියාවක් ලබා ගැනීමට දේශපාලඥයින් පසු පස යෑම වෙනුවට එම සමාජ ක්‍රමය වෙනස් කිරීමට පේරාදෙණිය සරසවියේදී තමා සම්බන්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ මගින් ගමේ තරුණයින් සංවිධානය කරන්නට විය. එක් හිමිනමක් ටයිම්ස් ආයතනයේ රැකියාවක් ලබාදීමට කටයුතු කලද ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ඔහු පේරාදෙණිය සරසවියේ දර්ශන දෙපාර්තමේන්තුවේ සහාය කථාකාචාර්යවරයෙකු ලෙස 1974 සිට සේවය කළේය. එහි ඉතිහාසය පිළිබද ආචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර 1974 දෙසැම්බර් 10 වැනිදා ලිඛිතව සඳහන් කළේ විශිෂ්ඨ චරිතයකින් හෙබි වන්නිගම තමන්ට අයිති කාර්යන්හි වගකීම පිළිබද උසස් හැගීමක් ඇති බැවින් වගකීම් වලින් යුත් ධූරයක් දැරීමට ඉතා සුදුස්සෙකු බවය. රුහුණු සරසවිය ආරම්භ කිරීමෙන් පසු වන්නිගමට සහාය කථිකාචාර්ය තනතුරක් හිමිවූ අතර එය භාරගත්තේ සතුටිනි.

Dharman05121507.(වමේ සිට) සත්‍යපාල වන්නිගමගේ කිට්ටුතම ඥාති පුත්‍රයාවු සෙවනගල මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යා ගුරුවරයෙකු වන නිරෝෂන වන්නිගම(37), මෙයට 26 වසරකට පෙර ඝාතනයවූ සිය සැමියාවූ ආරියදාස සිහිකරන සුමනාවතී කළුආරච්චි(52), ඝාතනයවූ සිය සැමියා පියසිරි සිහිපත්කරන කළුආරච්චිගේ චන්ද්‍රිකා(51), ඝාතනයවූ සිය සැමියා සිරිපාල ආවර්ජනය කරන කොස්ගහගොඩගේ පියසීලි(59) සහ සමාජ සේවක චානක ප්‍රනාන්දු(38)

හැත්තෑව දශකය අග භාගයේ සිට ජවිපෙ ඉහළ පෙළේ ක්‍රියාකාරිකයෙකුවූ වන්නිගම 1981 වසරේ අතුරු මැතිවරණවලදීද 1982 වසරේ සංවර්ධන සභා මැතිවරණවලදීද ජවිපෙ වෙනුවෙන් මැතිවරණ වේදිකාවලදී කථා කළේය. විවෘතව ඒ වෙනුවෙන් පෙනී සිටියේය. ජවිපෙ නායකයින්වූ උපතිස්ස ගමනායක, පියදාස රණසිංහ, නන්දතිලක ගලප්පත්ති, විජේදාස ලියනාරච්චි ඇතුළු අය සමඟ සමීපව ඇසුරු කළේය. අසූව දශකය මුල්භාගයේදී ඔහු මානව හිමිකම් සුරකීමේ වැඩසටහන්වලට ක්‍රියාකාරිව දායක විය.

කොටි ත්‍රස්තවාදීන් විසින් 1983 ජුලි 23වැනිදා හමුදා භටයින් 12 දෙනෙකු උතුරේ ඝාතනය කිරීමත් සමඟම 1983 ජුලි ජාතිවාදී කෝලාහල ආරම්භ විය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැලසුම් සහගතව සිදුවූ දෙයක් ලෙස දෙමළ නායකයින් එය හැදින්වු අතර ඉන් මරුමුවට පත්වූ ද්‍රවිඩ ජාතිකයින්ගේ සංඛ්‍යාව නිල වශයෙන් 471කි. තුවාල ලැබූ ද්‍රවිඩයින්ගේ සංඛ්‍යාව 3,769කි. දෙමළ සංහාරයට මුවාවී ජනාධිපති ජයවර්ධන විසින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් 1983 ජුලි 31වැනිදා තහනම් කරන ලදී. ජවිපෙ රහසිගත දේශපාලනයකට තල්ලු කරන ලදී.

Dharman05121508.සුනිල් මාධවගේ දිවයිනේ 8වැනි පිටුවට  සුසිල් වික්‍රම නමින් වන්නිගම 1987 ජනවාරි 24වැනිදා ලියන ලද සටහනක අත්අකුරු.

ජවිපෙ 1983 ජුලි තහනමින් පසු කෙටි විරාමයකදී නිවසට පැමිණි සත්‍යපාල වන්නිගම 1983දී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඉන්පසු ජිනදාස ඇතුළු පවුලේ අයට මසකට පසු ඔහු දැකගන්නට ලැබූණේ කොටුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 4වැනි තට්ටුවේදීය. මාස 6ක් පමණ සැකපිට රඳවා ගත් වන්නිගම කිසිදු චෝදනාවක් නොමැතිව නිදහස් කරන ලදී.

ලියුම්කරු සත්‍යපාල වන්නිගම හඳුනාගත්තේ 1986දීය. එවකට ඔහු දිවයින පුවත්පතට සුසිල් වික්‍රම යන ආරූඩ නාමයෙන් කාලීන ප්‍රශ්ණ පිළිබදව ලිපි සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කල දිවයින පුවත්පතේ 8වැනි පිටුව නැමති ජනප්‍රිය විශේෂාංගයට ලීවේය. සුසිල් වික්‍රම යනු ජවිපෙ 1971 කැරැල්ලේ මධ්‍යම කාරක සභිකයෙකු සහ මාතර දිසා ලේකම් වශයෙන් කටයුතු කල නායකයෙකු වන අතර අප්‍රේල් 5වැනිදා මාතර පොලිසියට පහරදීමේදී ඝාතනයට ලක්විය. ඔහු අනුස්මරණය කිරීමක් වශයෙන් තමා මෙම නම පරිහරණය කරන බව වන්නිගම කියා සිටියේය. වන්නිගම නොමැති අවස්ථාවන්හිදී එම ලිපි දිවයිනට ගෙන ආවේ නාකුළුගමුවේ ප්‍රේමරත්නය.  ඊයේ අද සහ හෙට කෙටි කථාව 1986 දෙසැම්බර් 28වැනිදා අපි දිනන්නෙමු කෙටි කථාව 1987 ජනවාරි 24වැනිදාද තවත් කෙටි කථා ගණනාවක්ද වන්නිගම දිවයිනට යොමුකර තිබිණි. හෙතෙම  දක්ෂතා ඇති නිර්මාණ ශිල්පියෙකි.  සුසිල් වික්‍රම නමින් 1987 මැයි ‍02වැනිදා  වන්නිගම ලියූ සත්‍යය, ගහලයා සහ යුද්ධය නැමති දීර්ඝ විශේෂාංග ලිපියේ සඳහන් වූයේ සත්‍යය දැරීමේ හේතුවේ ඵලය මරණය විය හැකි වූවද සත්‍යය සදාකාලිකව පරාජය කිරීමටවත් විනාශය කිරීමටවත් කිසිවෙකුට නොහැකි බවය. එය ශාන්ත කේ හේරත්ගේ සිතුවමකින්ද හැඩ ගැන්වීමටද අප සමත් වූයෙමු.

Dharman05121509.වන්නිගමගේ ඝාතනයෙන් පසු රුහුණු විශ්ව විද්‍යාලය එහි සිසුන් විසින් 1988 ජුනි මස සත්‍යපාල වන්නිගම සරසවිය ලෙස නම්කල අවස්ථාව.

වන්නිගමගේගේ පෙම්වතිය වූයේ කිරිබත්ගොඩ ගාල හන්දියේ පදිංචි නීතිඥවරියකි. වසර 1986 සැප්තැම්බර් මස වන විට ඔවුන්ගේ සම්බන්ධය මෝදු වෙමින් තිබිණි. එහෙත් ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නැගීමත් සමඟම පෙම් සබදතා පසෙකලා ඔහු දේශපාලනයට මුල්තැන දුන්නේය.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සටන් කල සරසවි සිසුන් විශාල පිරිසක් 1987 අගභාගය වන විට අත්අඩංගුවට ගෙන සිටි අතර ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් රටපුරා සරසවි සිසුවෝ 1987 සැප්තැම්බර් 12වැනිදා ප්‍රධාන නගරවල වීදි පෙළපාලි පැවැත්විණි. රුහුණු සරසවියේ සිට මාතර දක්වා පැමිණි පෙළපාලිය සරසවි සහ පාසැල් සිසුන් 5,000කට අධික සහභාගිත්වයෙන් සිදුවිය. එම පෙළපාලිය මාතර නගරයට පැමිණීමෙන් පසු එය අමතා ප්‍රධාන කථාව සිදුකලේ රුහුණු සරසවියේ සහකාර කථිකාචාර්ය වන්නිගමය. එම පෙළපාලිය සංවිධානය කරමින් නායකත්වය දෙන ලද්දේ රුහුණු සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ නායක කේ.ටී. නිමල්සිරිය. ඔහුද පසු කලෙක ඝාතනයට ලක්විය. එමෙන්ම පෙළපාලියට නායකත්වය දුන් රුහුණු සරසවියේ විද්‍යා පීඨයේ දෙවන වසරේ ආර්. ඩී. පතිරණ 1989 මාර්තු 2වැනිදා හබරාදූව බෙරගලදී ඝාතනයට ලක්විය.

Dharman05121510.1988 පෙබරවාරි 14වැනිදා ඝාතනයට පත්වූ වන්නිගම සහ දඹරැල්ලේදී ඝාතනයට පත්වූ 28 දෙනෙකු වෙනුවෙන් 2015 නොවැම්බර් 19වැනිදා දඹරැල්ලේ පැවති සමරු උත්සවයකදී ඔවුන් සිහිපත් කල අවස්ථාවක්

ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි මස අත්සන් කිරීමෙන් පසු දකුණ ඇතුළු රටපුරා දැඩි නොසන්සුන්තාවය දිනෙන් දින උග්‍රවිය. එමෙන්ම මර්ධනකාරි තත්ත්වයක්ද පැන නැගිණි. සිය නිවසට 1987 නොවැම්බර් 13වැනිදා උදෑසන 9ට පමණ පැමිණි සත්‍යපාල වන්නිගම යළි නිවසින් පිටත්ව පස්වරු 1ට පමණ බස් රථයට නැග යද්දී බස් රථය දඹරැල්ල සමූපකාරය ලඟදී නතරකල ආරක්ෂක හමුදා වාහනයක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඩග්ලස් නැමති රියදුරා විසින් පදවන රථයෙන් මිද්දෙණිය පොලිසියට ගෙන යන ලදී. එදින රාත්‍රී මිද්දෙණිය පොලිසියේදී ඥාතින්ට වන්නිගම පෙන්වන ලද්දේ පොලිස් ස්ථානාධිපති චන්දන ගලප්පත්ති විසිනි. තංගල්ල සහ හුංගම පොලිසි වලටද අනතුරුව මාදුනාගල කඳවුරට සහ අගුණුකොළපැලැස්සේ ප්‍රකට වධකාගාරයටද වන්නිගම ගෙන යන ලදී. ඔහුගේ වැඩිමහල් සොහොයුරාවූ කරුණාදාස මිද්දෙණිය පොලිසියට කල පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගන්නා විට වන්නිගම හැද සිටියේ සුදු කමිසයක් සහ කලුපාට දිග කලිසමකි.

වන්නිගමගේ පැහැර ගැනීම ප්‍රථමයෙන් ලියුම්කරුට දැන්වූයේ නාකුළුගමුවේ ප්‍රේමරත්නය. ඒ පිළිබදව දිවයින පුවත්පත මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලදී. එකල විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා වූයේ විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච් ශ්‍රියානන්දය. සරසවි ආචාර්යවරුන්ගේ අරගලය ප්‍රභූවරුන්ගේ අරගලයක් නොවිය යුතුය යන මතවාදය ප්‍රථමවරට ගෙන ආවේ මහාචාර්ය ශ්‍රියානන්දය. එය නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලයේම කොටසක් විය යුතු බව ඔහුගේ ස්ථාවරය විය. ඒ අනුව සරසවි ශිෂ්‍ය මර්ධනයට එරෙහිව මහාචාර්ය ශ්‍රියානන්දගේ නායකත්වය යටතේ සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය පෙනී සිටියේය.

Dharman05121511.දඹරැල්ලේ කාරියමඩිත්තේ පිහිටි වන්නිගම පුස්තකාලය වර්තමානයේදී.  

සත්‍යපාල වන්නිගම ගේ පැහැර ගැනීමට එරෙහිව සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය කොළඹ විජේරාම මාවතේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් ශ්‍රවණාගාරයේදී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් 1988 ජනවාරි 07වැනිදා පවත්වන ලදී. අනතුරුව සත්‍යපාල වන්නිගම පිළිබදව තොරතුරක් ලබාදීමට රජය මැදිහත්විය යුතු බවට බලකරමින් 1988 ජනවාරි 22වැනිදා රටපුරා සරසවි ආචාර්යවරුන්ගේ සංකේත වැඩ වර්ජනයක් සිදුකර සත්‍යග්‍රහ, උද්ඝෝෂණ, රැස්වීම්, වීදි පෙළපාලි පැවැත්වූහ. උසස් අධ්‍යාපාන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ පොලිස්පතිගෙන් කල ඉල්ලීමකට පිලිතුරු ලෙස පොලිස්පතිවරයා කියා සිටියේ කිසිදු පොලිසියක් මගින් වන්නිගම අත්අඩංගුවට ගෙන නොමැති බවය.

සත්‍යපාල වන්නිගම ගේ නිවසට ලියුම්කරු 1988 ජනවාරි 25වැනිදා ගිය අතර එහිදී ඔහුගේ මව වන ජේ.ඒ. සිරිහාමිද(78)හමුවිය. ඇය අංශභාග රෝගයට ඒ වන විට ගොදුරුවී සිටියාය. වන්නිගමගේ වැඩිමහල් ‍සොහොයුරා වන කරුණාදාස වන්නිගමගේ දියණියක් වන නිර්මලා වන්නිගම විසින් හබයාකෝපූස් පෙත්සමක්ද 1988දී අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ඒ වෙනුවෙන් පෙනී සිටියේ සනත් ජයතිලක ඇතුළු නීතිඥයන් පිරිසකි. වන්නිගමගේ පැහැරගැනීමට අදාල සියළු තොරතුරු රැගෙන නඩුව සඳහා නිතිඥයින් හමුවීමට කොළඹ පැමිණෙමින් සිටියදී කේ.එච්.ඒ. පියදාස අත්අඩංගුවට ගෙන තංගල්‍ල බන්ධනාගාරගත කරන ලදී. පසුව නඩුව පැවරීමට මුල්වූයේ රුහුණු සරසවියේ ආචාර්ය සංගමයයි. හබයාකෝපූස් පෙත්සම එහි ප්‍රතිඵලයකි.

සත්‍යපාල වන්නිගම ඝාතනයට ලක්කල ඔහුගේ පුළුස්සා දැමූ සිරුර අගුණකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේදි 1988 පෙබරවාරි 14වැනිදා හමුවිය. ඒ අසලම එම ඝාතනයේ වගකීම භාරගනිමින් ස්‍රා සංවිධානය මගින් කල පෝස්ටරයක්ද විය. ස්‍රා යනු එකල දකුණේ ආරක්ෂක හමුදා යටතේ ක්‍රියාත්මකවූ අර්ධ මිල්ටරි කණ්ඩායමකි. දකුණේ භීෂණය පිළිබඳව වාර්තාවක් සැකසීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම දිනවල සැරිසැරූ දිවයින දකුණු පළාත් මාණ්ඩලික වාර්තාකරු සුගතපාල මෙන්ඩිස් විසින් එම ඡායාරූපය සිය කැමරාවේ සටහන්කර ගැනීමට සමත්විය. සත්‍යපාල වන්නිගම අනුස්මරණය කිරීම සදහා රුහුණු සරසවි ක්‍රියාකාරි කමිටුව මගින් 1988 ජුනි මසදී රුහුණු සරසවියේ නිල නාමය සත්‍යපාල වන්නිගම සරසවිය ලෙස නිල නොවන මට්ටමින් නම් කරන ලදී.

ඝාතනය වන විට 37 හැවිරිදි වියේ පසුවූ අවිවාහකයෙකුවූ රුහුණු සරසවියේ සහාය කථිකාචාර්ය සත්‍යපාල වන්නිගම වෙනුවෙන් මරණ සහතිකයක් හම්බන්තොට වැව්ගම්පලාතේ මරණ ලියාපදිංචි කිරීමේ ලේකම් ඩී.ජේ. දිසානායක විසින් 1996 ජුනි 30වැනිදා නිකුත් කරන ලදී. වන්නිගමගේ මරණය පිළිගෙන ඇත්තේ 1995 අංක 2 දරණ මරණ ලියාපදිංචි කිරීමේ(තාවකාලික විධිවිධාන)යටතේය. රජය වෙනුවෙන් අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඒ. ආරියරත්න විසින් 1996 ජුලි 24වැනිදා එය පිළිගෙන තිබේ.

සත්‍යපාල වන්නිගම වෙනුවෙන් අනුස්මරණ පුස්තකාලයක්ද 2003 වසරේ සැප්තැම්බර් 6 වැනිදා විවෘත විය. එහි අරමුණ වුයේ දඹරැල්ල සහ ඒ අවට නූතන පරම්පරාවේ දරුවන්ගේ නිම්වලලු පුළුල් කිරීමය. ඒ සඳහා පර්චස් 14කින් යුත් ඉඩම නොමිලේ පරිත්‍යාග කළේ බ්‍රිතාන්‍ය රාජකීය පාබල හමුදාවේ සෙබලෙකු ලෙසද ක්‍රියාකල දඹරැල්ල අලුත්කඩේ දොන් බස්තියන් කොඩිතුවක්කු ලියනආරච්චිය. ග්‍රන්ථ දහසකින් සමන්විත එහි සාමාජිකයින් 273කි. එම පුස්තකාලය මසකට පරිශීලනය කරන සංඛ්‍යාව දහසකට අධිකය. පුස්තකාල පාඨකයින් දඹරැල්ල, තඹලපැලැස්ස, හිදර, තලාව, කැන්දකැටිය, රන්මල්වල ඇතුළු අවට ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. එහි පාලනය සිදු කරනුයේ දඹරැල්ල ශ්‍රී ස්වර්ණතිස්ස සුභසාධක සමිතිය මගිනි. සුභසාධක සමිතියේ මුල් නාමය දඹරැල්ල ග්‍රාම සංවර්ධන සමිතිය වන අතර එය 1983 පෙබරවාරි 12වැනිදා පිහිටුවා ගැනීමේදී සමාරම්භක සභාපතිවරයා වූයේද සත්‍යපාල වන්නිගමය. එහිදී ආරම්භක ලේකම් ලෙස ඩී.එම්. ගමගේ සහ භාණ්ඩාගාරික අමරසේන විජේසිංහ පත්විය. සත්‍යපාල වන්නිගම පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කරන ලෙස එහි බලධාරිහු පරිත්‍යාගශීලි ජනතාව ගෙන්ද ඉල්ලා සිටිති.

හැත්තෑ එකේ කැරළි ඇසුවෙමු. අසූව දශකයේ කැරළි දැක්කෙමු. අරමුණ කෙරෙහි එකඟ වුවද, එකඟ නොවූවද ඔවුහු කල පරිත්‍යාගශීලි කැපකිරීම් කිසිදා මතකයෙන් බැහැර නොවනු ඇත. විඩාබර රැහැයි නද අතර සත්‍යපාල වන්නිගම ඇතුළු දඹරැල්ලෙන් සමුගත් 28 දෙනා පමණක් නොව දස දහස් ගණනකගේ රුව සැඟව ගොස් ඇත. යෞවනය මරණයට හිමිකමක්වූ බිමක සිප් සතද තුරුළු කොට හිස් වා ගැබේ ඔවුහු එදා නික්ම ගොස්ය. වත්මන් පරපුර නෙතු ඇර එය කියවිය යුතුමය. (The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384)

 

ඡායාරූප විස්තර

  1. ධර්මන් වික්‍රමරත්න විසිනි.
  2. සත්‍යපාල වන්නිගමගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්.
  3. වන්නිගම උපන් සහ හැදීවැඩුණු දඹරැල්ලේ මහගෙදර
  4. පියාවන වන්නිගමගේ දොන් පේදිරිස්, මව ජාසිංආරච්චිගේ සිරිහාමි, වන්නිගම ඝාතනයට එරෙහිව හඬ නැගූ වැඩිමහල් සොහොයුරාවූ කරුණාදාස, වන්නිගම පැහැරගැනීම ප්‍රථමවරට මාධ්‍ය මගින් හෙළිකල ලියුම්කරු වන්නිගමගේ දඹරැල්ලේ නිවසට 1988 ජනවාරි 25වැනිදා ගිය අවස්ථාවේදී වන්නිගමගේ මව වන එවකට 78 හැවිරිදි සිරිහාමි සිය කැමරාවට හසුකරගත් අයුරු.(වමේ සිට)
  5. වන්නිගම පැහැරගැනීමට එරෙහිව 1988 ජනවාරි 22වැනිදා සංකේත වර්ජනයකට එක්වූ ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරු ආචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමි සහ සහාය මහාචාර්ය ගතාරේ ධර්මපාල හිමිවරුන්ගේ නායකත්වයෙන් සරසවිය වටා පෙලපාලි ගිය අන්දම(ඉහල) ඝාතනයකර පුළුස්සා මරාදැමූ වන්නිගමගේ සිරුර 1988 පෙබරවාරි 14වැනිදා ස්‍රා සංවිධානය වගකීම භාරගනිමින් පෝස්ටරයක්ද සමගින් අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේදී දමාගොස් තිබූ අන්දම(පහල)
  6. වන්නිගම උපන් දඹරැල්ල ගම්වැසියන් 28 දෙනෙකු 1989දී ඝාතනයට ලක්වූ අතර ඉන් 19 දෙනෙකු ඝාතනය කරන ලද්දේ ඇඹිලිපිටිය සෙවණ යුධ හමුදා කඳවුරේ නිලධාරින් විසින් 1989 නොවැම්බර් 19වැනිදා දඹරැල්ලේදී රැගෙන යාමෙන් අනතුරුවය. මෙසේ රැගෙන ගොස් එකම දින ඝාතනයකල අය අතර කේ.එච්.ඒ. ප්‍රේමදාස, කරුණාසේන විජේසිංහ, කේ.ඩබ්ලිව්.ඒ. ගුණසේන, කෝලිත දහනායක, ඒ.බී.කේ. පියසිරි, ප්‍රේමරත්න ගමගේ, ලියනාරච්චි, ඩඩ්ලි දිසානායක, ඇඩ්ලින් වීරක්කොඩි, සිරිල්, ගාමිණී දහනායක, කේ.එල්.ඒ. සිරිසේන, චමින්ද, බින්තැන ලියනගේ සිරිපාල, නිශාන්ත, කේ.ඒ. සරත් විමලසේන, කරුණාසේන විජේසිංහ, සරත් විමලසේන, කේ.එච්. ගාමිණී ඇතුළු 19 වේ.
  7. (වමේ සිට) සත්‍යපාල වන්නිගමගේ කිට්ටුතම ඥාති පුත්‍රයාවු සෙවනගල මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යා ගුරුවරයෙකු වන නිරෝෂන වන්නිගම(37), මෙයට 26 වසරකට පෙර ඝාතනයවූ සිය සැමියාවූ ආරියදාස සිහිකරන සුමනාවතී කළුආරච්චි(52), ඝාතනයවූ සිය සැමියා පියසිරි සිහිපත්කරන කළුආරච්චිගේ චන්ද්‍රිකා(51), ඝාතනයවූ සිය සැමියා සිරිපාල ආවර්ජනය කරන කොස්ගහගොඩගේ පියසීලි(59) සහ සමාජ සේවක චානක ප්‍රනාන්දු(38)
  8. සුනිල් මාධවගේ දිවයිනේ 8වැනි පිටුවට  සුසිල් වික්‍රම නමින් වන්නිගම 1987 ජනවාරි 24වැනිදා ලියන ලද සටහනක අත්අකුරු.
  9. වන්නිගමගේ ඝාතනයෙන් පසු රුහුණු විශ්ව විද්‍යාලය එහි සිසුන් විසින් 1988 ජුනි මස සත්‍යපාල වන්නිගම සරසවිය ලෙස නම්කල අවස්ථාව.
  10. 1988 පෙබරවාරි 14වැනිදා ඝාතනයට පත්වූ වන්නිගම සහ දඹරැල්ලේදී ඝාතනයට පත්වූ 28 දෙනෙකු වෙනුවෙන් 2015 නොවැම්බර් 19වැනිදා දඹරැල්ලේ පැවති සමරු උත්සවයකදී ඔවුන් සිහිපත් කල අවස්ථාවක්.
  11. දඹරැල්ලේ කාරියමඩිත්තේ පිහිටි වන්නිගම පුස්තකාලය වර්තමානයේදී.

One Response to “හඬාවැටෙන දඹරැල්ලයි  සත්‍යපාල වන්නිගමයි”

  1. Nanda Says:

    ඉතාම ශෝචනීයයි.
    මේ ගමෙන් 1%ක් නඩු නොඅසා “රණ විරුවන්” මරාදාල ?
    එහෙත් ලිවුම් කරු මෙය පාට කොට ඉදිරිපත් කොට ඇත​.

    1.”රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැලසුම් සහගතව සිදුවූ දෙයක් ලෙස දෙමළ නායකයින් එය හැදින්වු අතර ඉන් මරුමුවට පත්වූ ද්‍රවිඩ ජාතිකයින්ගේ සංඛ්‍යාව නිල වශයෙන් 471කි.”

    මෙසේ කීම අපේ රටට හොඳද ? දෙමළ ජාතිවාදීන් හැරෙන්නට රටට ආදරය ඇත්තෙක් මෙසේ කියයිද ? මෙය ඔප්පු කල හැකි ද​? මෙසේ ලිවීමට හේතුව කුමක් ද ?
    මට හිතෙන හැටියට රටට හෙණගැහුවත් UNP එකට පහර ගැසීම් ඔහුගේ අදහස බව පෙනේ.

    2.”දෙමළ සංහාරයට මුවාවී ජනාධිපති ජයවර්ධන විසින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් 1983 ජුලි 31වැනිදා තහනම් කරන ලදී. ජවිපෙ රහසිගත දේශපාලනයකට තල්ලු කරන ලදී.”

    මෙය සත්‍යයකි. එහෙත් නැවතත් අභිප්‍රාය එකමය​.

    එසේනම්, ජ​.වි.ප​. නමැති දරුවා තල්ලු වී ඇත​. මෙතැනදී ලිවුම් කරුට ජ​.වි.ප​. හොඳය​. එහෙත් ජ​.වි.ප​. කල ඝාතන උවා දක්වමින් චායාරූප දමමින් ජනතාව බියවැද්දීමට මේ ලිවුම් කරුම පසුගිය කාලයේ උපරිම උත්සාහයක් ගත්තේය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress