බත් දුන් මාතාවන්
Posted on December 11th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග

බත් අම්මලා ලෙස හඳුන්වන බත් උයා දෙන කාන්තාවන් බත් දුන් මාතාවන් ලෙස මම නම් කරමි. කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන්ට උයා දීමට සිටියේ මැගිලින් නම් කාන්තාවකි. අප වාට්ටු වල වැඩ කොට මහන්සිවී බඩගින්නේ චමරියට ගිය විට මැගිලින්ගේ බත් පිඟාන අමෘතයක් විය​. ඇයගේ කරවල බැදුම ඉතා රසය​. වෛද්‍යවරු බොහෝ දෙනෙක් ඇයගෙන් කෑම ගත්හ​. අප සතියකට වරක් කාපු කෑම වලට ඇයට මුදල් ගෙව්වෙමු.

මාතලේ රෝහලේ ඉවීම සඳහා පූර්ණා නම් ද්‍රවිඩ කාන්තාවක් වූවාය​. ඇයගේ මාළු මිරිස් බැදුම පාන් සමග අප අශාවෙන් කෑවෙමු. මාතලේ රෝහලේ සිටියදී මට පොඩි ජර්මානු ශෙපර්ඩ් (ඇල්සේෂන්) බල්ලෙකු සිටියේය​. බල්ලා මිදුලේ සෙල්ලම් කිරීමට දමා මම කෑමට ගියෙමි. බොහෝ විට මිදුලේ සිටින බළු පැටියා බලා ගන්නා ලෙස මම පූර්ණාට කීවෙමි එවිට ඇය ” ඔන්දයි මාතියා ගිහින් කන්න මම පල්ලාව පලා ගන්නම් ” කියන්නීය​.

සමහර දින වල පූර්ණාගේ කෑම රස නැත​. එවැනි දින වල අප මාතලේ අරුණාලෝක හෝටලයෙන් කෑම ගෙන්වා ගත්තෙමු. අප සමග සිටි වෛද්‍යවරියක වූ නිශාගේ නාසය නිතරම බරවී තිබුනු නිසා ඇය කතා කලේ නාසයෙනි වරක් ඇය පූර්ණාගේ කෑම ගැන පැමිණිල්ලක් ශල්‍යාගාරයේදී අනකුත් වෛද්‍යවරුන් ඉදිරියේ කලාය​. ” අනේ ඊයේ පූර්ණා තක්කාලි හොද්දක් හදලා තිබ්බා කටේ තියන්න බැහැ ” නිශා මෙසේ කී විට වෛද්‍යවරු කිසිවක් නොදොඩා මුහුණට මුහුණ බලා ගත්හ. නමුත් පූර්ණා දිගටම ඉවීම් කලාය​.

හලාවත රෝහලේදී මහළු කාන්තාවක් සහ ඇයගේ දියණිය ඉවීම් කලහ​.  ඔවුන් රාත්‍රියටත් උයා කෑම පිඟන් වලට බෙදා කෑම වසා පිටත්ව යති. වේලපහින් එන ඇත්තන් මදි පාඩු බෙදා ගන්නේ අනෙක් පිඟන් වලිනි. එම නිසා වාට්ටුවල කඹුරා බඩගින්නේ රාත්‍රියේ එන වෛද්‍යවරු සමහර විට කෑවේ බත් සහ හොදි පමණි. එම නිසා ලෙඩුන් මළත් සමහරු වේලපහින් විත් රාත්‍රී ආහාරය කටට දෙකට කා අදාල වාට්ටු වලට දිව්වෝය​.

තෙන්නේ අප සමග සිටි විනෝදකාමී වෛද්‍යවරයෙකි. වරක් තෙන්නේ යාලුවන් කීප දෙනෙකු සමග තම කාමරයේ මත්පැන් සාදයක් පැවැත්වීය​. අතර මගදී ඔවුන්ට බයිට් මදි විය​. තෙන්නේ බයිට් එකක් ගෙන එන්නට සූදානම් විය​. මේ රෑ කොහෙන් ද බයිට් හොයන්නේ කියා සමහර මිතුරන් ඔහුව අධෛර්‍යමත් කලහ​. ඔවුන්ට පිළිතුරු නොදුන් තෙන්නේ හිස් සිලි සිලි බෑග් එකක් ගෙන කාමරයෙන් පිට විය​.

ටික වේලාවකින් තෙන්නේ පැමිනියේ තම්බපු බිත්තර​, මාළු සහ කුකුල් මස් කෑලි පුරවාගත්   සිලි සිලි බෑග් එක සමගිනි. මේවා ඔහු කෑමට වසා තිබුණු පිඟන් වලින් එකතු කරගෙන තිබුණි. තෙන්නේගේ සාදය ජයටම ගියේය​. නමුත් රාත්‍රියේ කෑමට පැමිණි වෛද්‍යවරු මවට සහ දුව​ට දෙහි කපමින් බත් සහ හොදි කෑවෝය​.

(2009 වසරේ මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කරන විට හලාවතට ගොස් මේ කාන්තාවන් දෙදෙනා හමු වීමට ගියෙමි. මට හමු වූයේ දියණිය පමණි. අම්මා නිතර අසනීපෙන් පසු වන නිසා දැන් නොඑන බවත් ඇය තනියම වෛද්‍යවරුන්ට ඉවීම් කටයුතු කරන බවත් කීවාය​. ඇයගේ මවට දෙන ලෙස කියා මම නෝට්ටු කීපයක් ඇය අත තැබුවෙමි)

One Response to “බත් දුන් මාතාවන්”

  1. Raj Says:

    අප්පා කරවල බැදුම මතක් උනාම කටට නිකම්ම කෙල ඉනුවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress