නැති මම හා ඇති ලෝකය
Posted on December 12th, 2015

නලින් ද සිල්වා

 ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහචාර්ය අශෝක අමරතුංග මහතාගේ ලිපිවල ඇති පරස්පර හා අවුල් කතා ගැන ලිවීම මගේ ලිපිවල තේමාවට බාධාවක් නමුත් යම් ප්‍රමාණයකට වුවත් ඒ ගෙනහැර දැක්විය යුතු ය. එහි දී ඒ මහතාගේ ලිපිවලින් කොටස් උපුටා දැක්වීම අත්‍යවශ්‍ය වන්නේ අමරතුංග මහතාට කෙසේ වෙතත් පාඨකයාට ඒ කොටස් තමන්ට ම කියවා එහි ඇති දෝෂ දැනගැනීමට අවස්ථාව සැලසීමට ය. 2015 අගෝස්තු 15 ලිපියෙහි ඒ මහතා මෙසේ සඳහන් කරයි. සැම දේ ම අනිත්යා බව බුදුන් දැන ගත්තේ අත්දැකීමෙනි. නැත හොත් ආනුභාවිත මාර්ගයෙනි. ආත්මය පිළිබඳ විශ්වාසයෙන් යුතු ව කතා කළ උපනිෂද් තුළින් ඉදිරිපත් වූයේ ආත්මය යථාර්ථය ය යන අදහස ය. ලොවෙහි ඇත්තේ ආත්මය පමණක්‌ නම් ලොවෙහි යථාර්ථය ආත්මය වන්නේ ය. බුදුන් පැවසුවේ ලොවෙහි සැම දෙයක්‌ ම අනිත්යණ නිසා එහි කිසිවක ආත්මයක්‌ තිබිය නොහැකි බව ය. ලොවේ සැම දෙයක්‌ ම අනිත්ය  බව ද අනාත්ම බව ද පැවසීම එහි යථාර්ථයක්‌ නැතැයි පැවසීම ද?” 
මේ කොටස මා ඉදිරිපත් කරන්නේ එක් පැත්තකින් බුදුන් වහන්සේගේ ඊනියා ආනුභාවික ක්‍රමය කුමක් දැයි අමරතුංග මහතාගෙන් දැනගැනීමට ය. අනෙක් පැත්තෙන් අනාත්ම, අනිත්‍ය හා යථාර්ථය ගැන යමක් පැවසීමට ය. ආනුභාවික ක්‍රමයක් ගැන බුදුන් වහන්සේගේ කාලයෙහි කතාවක් නො තිබුණේ ය. එය එම්පිරිකල් යන ඉංගිරිසි වචනයේ සිංහල පාරිභාෂික ශබ්දයයි. මේ අනුභවය කෙරෙන්නේ පංචෙන්ද්‍රිය මගිනි. ආනුභවික ක්‍රමය පංචෙන්ද්‍රිය ගෝචර සිද්ධි මත පදනම් වෙයි. එහි දී මනස ද යොදා ගැනෙන බව බටහිර දාර්ශනිකයන්ට කෙසේ වෙතත් සිංහල බෞද්ධයනට අමුතුවෙන් කිවයුතු නො වේ. බුදුන් වහන්සේ සෑම දේ ම අනිත්‍ය බව දැනගත්තේ ආනුභාවික මාර්ගයකින් ද? ඒ එසේ යැයි සිතමු. දැන් බුදුන් වහන්සේ ආත්මයක් තිබිය නොහැකි බව (අනාත්ම) දැනගත්තේ කෙසේ ද?    
අමරතුංග මහතාට අනුව බුදුන් වහන්සේ ඒ බව දැනගෙන ඇත්තේ ආනුභාවික ක්‍රමයකට නො වේ. අමරතුංග මහතාට අනුව බුදුන් වහන්සේ පවසා ඇත්තේ ලොවෙහි සෑම දෙයක් ම අනිත්‍ය නිසා එහි කිසිවක ආත්මයක් තිබිය නොහැකි බව ය. සෑම දෙයක් ම අනිත්‍ය නිසා ඒ කිසිවක ආත්මයක් තිබිය නොහැකි ය යන්න ආනුභාවික ක්‍රමයකට ලබාගත්තක් නො වේ. අනිත්‍ය වූ පමණින් අනාත්ම යැයි ගම්‍ය වන්නේ ද? එසේ නම් අමුතුවෙන් අනාත්ම කතාවක් අවශ්‍ය ඇයි? අනිත්‍ය පමණක් ඇත. අනිත්‍ය යන්නෙන් අනාත්ම යන්න ගම්‍යකර ගත හැකි ය. ත්‍රිලක්‍ෂණ වෙනුවට දෙලක්‍ෂණ පමණක් ප්‍රමාණවත් නොවන්නේ ද? බුදුන් වහන්සේ අනිත්‍ය යන්නෙන් අනාත්ම යන්න ලබාගත් ආකාරය පැහැදිලි කිරීමට අමරතුංග මහතාට හැකි ද? එහි දී යොදා ගැනෙන න්‍යාය (logic) කුමක් ද? තර්ක කවරේ ද?
අනිත්‍ය යනු වෙනස්වීම යැයි අමරතුංග මහතා සිතන්නේ ද? ලොවෙහි පවතින්නේ යැයි කියන සියළු දේ වෙනස්වන බව තේරුම් ගැනීම එතරම් අපහසු කරුණක් නො වේ. එහෙත් එය පවා හුදු ආනුභාවික කටයුත්තක් නො වේ. අප කලිනුත් අසා ඇති පරිදි වෙනස්වන යමක් පවතී ද? අමරතුංග මහතාට අනුව නම් වෙනස්වන යමක් පවතියි. අමරතුංග මහතාගේ පහත සඳහන් පාඨය ඉහත සඳහන් ලිපියෙන් ම ය. අප ඒ බව කලින් ද උපුටා දක්වා ඇති නමුත් සමස්ත කතාව තේරුම් ගැනීම සඳහා අපි එය නැවත සලකා බලමු. පැවැත්ම (existence) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සුත්ර්යෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේ කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්යක වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාශ්වතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත.”
සෑම දෙයක් ම නොපවතී යන්න අන්තවාදයක් බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. එය යම් සන්දර්භයක් තුළ දේශනා කරන ලද්දක් බව අප මින් ඉහත දී සඳහන් කර ඇත. එහෙත් සෑම දෙයක් ම ශූන්‍ය බව ද උන්වහන්සේ දේශනා කර ඇත. අපේ ප්‍රශ්නය වන්නේ මේ ශූන්‍ය යනු කුමක් ද යන්න ය. සියල්ල නොපවතී යැයි දේශනා නොකර උන්වහන්සේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා ශූන්‍ය යැයි දේශනා කළහ. මෙයින් කියැවෙන්නේ පෘථග්ජනයන් පවතින්නේ යැයි සිතන, කියන දේ ශූන්‍ය බව ය. ඒ අනාත්ම වෙයි. සියල්ල අනාත්ම නම් පවතින්නේ කුමක් ද? ලෝකයේ අප දකින්නේ වෙනස් වීමකි. එය ද සම්මුතියකි. වෙනස්වීම පංචෙන්ද්‍රිය ගෝචර ය. එහෙත්  අනෙක් අතට අප කලින් ද කියා ඇති පරිදි සෑම දෙයක් ම වෙනස් වෙමින් පවතී යනුවෙන් අදහසක් බුදුන් වහන්සේ දේශනා කර නැත. කලින් ද කියා ඇති පරිදි කිසිවක් නොපවතී යන්න උච්ඡෙදවාදය නොව නාස්තිකවාදය ය. යමක් පැවතී නැතිවීම උච්ඡෙදවාදය ලෙස හැඳීන්විය හැකි ය. වෙනස්වෙමින් දිගට ම පැවතීම ද ශාස්වතවාදයකි. වෙනස්වන දෙයක් සදාකාලික ව ඇතැයි ගැනීම ශාස්වතවාදයකි. වෙනස්වන දෙයක් ටික කාලයකට පමණක් පවතින්නේ යැයි ගැනීම උච්ඡෙදවාදයකි. 
වෙනස්වීම යන්න බුදුන්වහන්සේ ආනුභවික ව දැනගත්තේ යැයි අමරතුංග මහතා පවසයි. එහෙත් ආනුභවික ව දැන ගත හැක්කේ කුමක් ද? කාලයක් තිසසේ නිරීක්‍ෂණය කළ විට පුටුවක් දිරාපත් වනු දැකි ය හැකි ය. එය ආනුභවිකව හා මනසින් නිර්මාණය කිරීමෙන් ලබාගන්නා අත්දැකීමකි. එහෙත් බුදුන්වහන්සේ අනිත්‍ය යනුවෙන් දේශනා කරන්නේ පුටුවක් දිරාපත්වීම වැනි වෙනස්වීමක් ගැන නො වේ. කුඩා කළ ළදරුවන් ව ළමුන් ව සිටි අපි දැන් විවිධ වයස්වල පසුවෙමු. ඒ බව නිරීක්‍ෂණය කිරීම පහසු කටයුත්තකි. ඕනැම බටහිර විද්‍යාඥයකුට ඒ කළ හැකි ය. එහෙත් ප්‍රශ්නය වනුයේ වෙනස්වන දෙයක් නැති බව දැනගැනීම ය. ආත්මයක් සහිත ව වෙනස්වන පුද්ගලයකු නිරීක්‍ෂණය කිරීම අපහසු කටයුත්තක් නො වේ. එය මනස මුල් කරගත් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් හා මනසේ නිර්මාණයකි. එහෙත් වෙනස් වන්නකු, වෙනස්වන දෙයක් නොමැතිව වෙනස්වීම යන්න මනස මුල් කරගත් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වේ. එය කිසිසේත් ම ආනුභවික අත්දැකීමක් නො වේ. බුදුන් වහන්සේ දේශනා කරන අනිත්‍ය අනාත්ම සමග බැඳී ඇත. අමරතුංග මහතා ඊනියා අනිත්‍යයෙන්, එනම් මනස මුල් කරගත් පංචෙන්ද්‍රිය ගෝචර වෙනස්වීමකින් අනාත්ම ගම්‍ය කරයි. ඒ  කිසිම න්‍යායක් හෝ තර්කයක් හෝ නැතිව අපෝහනය කිරීමකි. අමරතුංග මහතාට අනිත්‍ය යන්නෙන් අනාත්ම ලබාගන්නා ආකාරය පැහැදිලි කළ හැකි ද? 
අපි මෙය තවදුරටත් විභාග කරමු. පුටුවක් වෙනස්වීම (දිරා පත්වීම) අනිත්‍ය නො වේ. මෙහි දී වැදගත් වන්නේ වෙනස්වන පුටුවක් ඇතැයි සැලකීම ය. එහි භායානක ම නිගමනය නම් පුටුවක් ඇතැයි ගැනීම ය. අපි අමරතුංග මහතාගෙන් හා බටහිර විද්‍යාවේ හසළ දැනුමක් ඇති වෙනත් එවැනි අයගෙන් ප්‍රශ්නයක් අසමු. පුටුව ආනුභවික ද? පුටුව පංචෙන්ද්‍රිය ගෝචර ද? අප කලින් ප්‍රශ්න කර ඇති පරිදි පුටුව ගෝචර වන්නේ පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියට ද? පුටුව යන්න පංචෙන්ද්‍රිය ගෝචර යැයි බොහෝ දෙනා සිතා සිටිය ද එය පංචෙන්ද්‍රිය ගෝචර මනස මුල් කරගත් වස්තුවක් නො වේ. එය මනස විසින් ගොතනු ලැබ ඇති සංකල්පයකි. පුටුවේ වර්ණය ඇසට ගෝචර වන්නේ යැයි යමකුට කිව හැකි ය. එහෙත් එය ඇසට පමණක් ගෝචර වන්නක් නො වේ. මනස නොමැතිව ඇසට පමණක් පුටුවේ පාට යන සංකල්පය දැනගත නො හැකි ය. සියළු දැනුම් මනස මුල් කර ගත්තේ වෙයි. කැමරාවකට (ඩිජිටල් වුව ද) පුටුවේ පාට ගැන දැනුමක් නැත. එහෙත් පුටුවේ පාට එහි ඇත.   
තවදුරටත් විශ්ලේෂණය කිරීමේ දී මෙය ද වැරදි ඉදිරිපත් කිරීමක් බව පැහැදිලි වනු ඇත. අපට පුටුවේ පාට යනුවෙන් කිව නො හැකි ය. එසේ කීමේ දී අපි පළමුවෙන් පුටුව යනුවෙන් දෙයක් (වස්තුවක්) ඇතැයි උපකල්පනය කර දෙවනුව එහි පාටක් ගැන කතා කරමු. එහෙත් මූලික ප්‍රශ්නය පුටුව ගෝචර වන්නේ මනසට හා පංචෙන්ද්‍රියවලින් කිනම් ඉන්ද්‍රියකට ද යන්න ය. අප කරන්නේ පාට, හැඩය, රළුබව ආදිය එකතු කර ඒ ගුණ සියල්ලෙහි අයිතිකරු ලෙස පුටුවක් සිතෙන් නිර්මාණය කිරීම ය. පුටුව යන්නවත් ආනුභවික නැත. එය පංචෙන්ද්‍රියවල සෘජු ආධාරයක් නොමැති ව, පාට ආදී ආනුභවික ගුණ මත පදනම් ව මනස විසින් පමණක් නිර්මාණය කෙරෙන බොරුවකි.  පාට යන්න ද ඇස හා මනස එකතු වී නිර්මාණය කරන බොරුවකි. පුටුව හා පාට යනු දෙක ම බොරු වුව ද පාට මනස හා ඇස එකතු වී නිර්මාණය කරන අතර පුටුව පංචෙන්ද්‍රියවලින් කිසිම ඉන්ද්‍රියයක් සෘජුව යොදා නොගෙන මනස පමණක් විසින් නිර්මාණය කෙරෙන බොරුවකි. පුටුවක් කියා දෙයක් නැත. ඒ ශූන්‍ය වෙයි. එහෙත් එය මගේ ව්‍යවහාරය අනුව පට්ටපල් බොරුවක් නො වේ. මා පට්ටපල් බොරු යැයි කියන්නේ බොරු තේරුම් කිරීම” සඳහා මනස විසින් ගොතන වියුක්ත කතන්දරවලට ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවන්නේ එබැවිනි.  
දහනවවැනි සියවසේ ප්‍රධාන වශයෙන් වියනාව මුල් කරගෙන ජීවත් වූ අර්නස්ට් මාක් යථානුභූතවාදයෙක් (positivist) විය. ඔහු සුප්‍රසිද්ධ වියනා කවයෙහි සාමාජිකයෙක්  විය. එමෙන් ම ඇතැමුන්ට අනුව ඔහු තර්කානුසාරී යථානුභූතවාදයෙහි (logical positivism)  පියා විය. ඔහු භෞතික විද්‍යාඥයෙක් ද විය. ශබ්දයෙහි වේගය හා සම්බන්ධ මාක් සංඛ්‍යාව (Mach Number) පිළිබඳ ව මෙන් ම ලුඩ්විග් බෝල්ට්ස්මාන් සමග ඇති කරගත් විවාද සම්බන්ධයෙන් ද ඔහු ප්‍රසිද්ධ ය. මාක් යථාර්ථය ලෙස සැලකුවේ පංචෙන්ද්‍රිය ගෝචර දේ (වස්තු) පමණ ය. ඔහු පරමාණුවල පැවැත්ම ප්‍රතික්‍ෂෙප කෙළේ ය. එමෙන් ම අවස්ථිති සමුද්දේශ රාමුවල පැවැත්ම ද ඔහු ප්‍රතික්‍ෂෙප කෙළේ ය. තරුණ අයින්ස්ටයින්ට සාධාරණ සාපේක්‍ෂතාවාදය නිර්මාණය කිරීමේ දී මාක්ගේ මේ අදහස් බලපෑවේ ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි නිව්ටෝනීය අවස්ථිති රාමු නැත. එබැවින් එහි ඊනියා ගුරුත්වාකර්ෂණය ද නැත. නිව්ටන්ට අනුව ගුරුත්වය යටතේ චලනන වන වස්තු අයින්ස්ටයින්ට අනුව නිදැල්ලේ චලනය වෙයි. යා දෙක නොරත රත  සමග පෑහීමක් නැතැයි කීවාක් මෙන් අයින්ස්ටයින්ගේ සාධාරණ සපේක්‍ෂතාවාදයේ නැති ගුරුත්වාකර්ෂණය හා ක්වොන්ටම් භෞතිකය එක් කළ නො හැකි ය. අද බටහිර භෞතික විද්‍යාඥයන් උත්සාහ කරන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය හා ක්වොන්ටම් භෞතිකය එක් කිරීමට ය. 
මාක් බෞද්ධයකු ලෙස ජීවත් වූ බව සඳහන් වෙයි. ඔහු ගාල්ලේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ නමක සමග ලිපි ගනුදෙනුවක් ද කර ඇති බව කියැවෙයි. ඔහුට පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ හි පැවැත්ම ප්‍රතික්‍ෂෙප කිරීමට යථානුභූතවාදය මෙන් ම  බුදුදහම ද ඇතැම් විට බලපාන්නට ඇත.  ඒ එසේ වුවත් නැතත් මාක් පංචෙන්ද්‍රිය ගෝචර දේ (වස්තු) පවතින්නේ යැයි සැලකීම ද බුදුදහමට එකඟ නො වේ. පංචෙන්ද්‍රිය ගෝචර වස්තු ද මනසෙහි නිර්මාණ පමණ ය. ඊනියා යථාර්ථයක් නැත. එහෙත් මෙරට සිටින බටහිර විද්‍යාඥයන්ට (ඔවුන් අළුතෙන් ඉදිරිපත් කර ඇති හරිහමන් සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ නැති වුවත් අපි ඔවුන්ට ද විද්‍යාඥයන් යැයි කියමු!) අනුව බුදුන් වහන්සේගේ ධර්මයෙහි යථාර්ථයක් ගැන සඳහන් වෙයි. අපි අමරතුංග මහතාගේ උක්ත ලිපියෙන් ම තවත් කොටසක් උපුටා දක්වමු. මේ නයින් බලන කල පෙනී යන්නේ අඥෙයවාදය හැර බුදුන් හෝ උන්වහන්සේ ගේ සම කාලීන දර්ශනිකයන් හෝ අප සංජානනය කරන ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි පවසා නැත. අප ගේ ඉන්ද්රිනය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි පවසා නැත.” 
බුදුන් වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන් ද ලෝකයේ යථාර්ථයක් නැතැයි ද අපගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්වායත්ත වූ ලෝකයක් නැතැයි ද පවසා නැතැයි අමරතුංග මහතා කියයි. ලෝකයේ යථාර්ථයක් ඇතැයි හෝ නැතැයි හෝ අමරතුංග මහතා කියන්නේ කෙසේ ද? ලෝකය යන්න ම පවතින්නේ ද? ලෝකය යනුවෙන් අමරතුංග මහතා අදහස් කරන්නේ කුමක් ද? ඒ ලෝකයට වස්තු අයත් නො වේ ද? අමරතුංග මහතා සඳහන් කරන්නේ වස්තු සත්ත්වයන්, විකිරණ ආදිය නැති ලෝකයක් ද? අප අමරතුංග මහතා වචන පාවිච්චිය ගැන සැලකිලිමත් නොවන බව උදාහරණ මගින් පෙන්නා දී ඇත. ඒ කෙසේ වෙතත් යථාර්ථයක් ඇතැයි බුදුන්වහන්සේ දේශනා කර ඇති තැනක් අමරතුංග මහතා දන්නේ ද?
මනසින් තොර ව ලෝකයක් නැති බව නොපිළිගන්නා අමරතුංග මහතාගේ දැනගැනීම සඳහා කිව යුත්තේ මනසින් තොර ව මනස ද නැති බව ය. මනස ද මනසෙහි නිර්මාණයකි. (සිංහල බෞද්ධ මනස මැයෙන් ඇති ලිපියෙහි මේ බව සාකච්ඡා වෙයි.) මේ සියල්ල ඇතිවන්නේ ත්‍රිලක්‍ෂණය පිළිබඳ අවිද්‍යාව නිසා ය. අමරතුංග මහතා 2015 දෙසැම්බර් 02 වැනි දා ලිපියෙහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරයි. අපි අදාළ කොටස උපුටා දක්වමු. තණ්‌හාව මනසේ හටගන්නා ගුණාංගයක්‌ මිස මනස විසින් තෝරාගැනෙන ගුණාංගයක්‌ නො වේ. එක්‌ ආශාවකින් තවත් ආශාවකට දිගින් දිගට මනස ගමන් ගන්නා නිසා එහි සීමාවක්‌ හෝ සම්පූර්ණ සංසිඳවීමක්‌, තෘප්තිමත් වීමක්‌ නැත. ලබාගැනීමක්‌, උසස්‌ වීමක්‌, වැජඹීමක්‌, භාව අවශ්ය්තාවක්‌ වැනි ආශාවන් මත මනස ක්රියාකාරී වන්නේ ය. මේ ආශාවන් ඇති වීම සඳහා මනස තුළ අවිද්යාකව නිසා ඇති වන මමත්වය “මම” යන හැඟීම තිබිය යුතු ය. මම යනුවෙන් දෙයක්‌ නැති බව බුදුන් පෙන්වාදී ඇත. එය ඇති වන්නේ අවිද්යාකව නිසා ය.”
තණ්හාව මනසෙහි හටගන්නා ගුණාංගයක් බව අමරතුංග මහතා පවසයි. තණ්හාව ද අනෙක් දෑ මෙන් ම මනසෙහි නිර්මාණයකි. යම් යම් ආශාවන් මත මනස ක්‍රියාකාරි වන්නේ යැයි අමරතුංග මහතා කියයි. ඒ ආශාවන් ඇති වන්නේ කොහේ ද? එසේත් නැත්නම් ඒ ආශාවන් නිර්මාණය වන්නේ කොහේ ද? අමරතුංග මහතා ඒ නොසැලකුවත් ආශාවන් ද මනසෙහි නිර්මාණ වෙයි. ඒ ආශාවන් ද මනසෙහි හටගන්නා බව අමරතුංග මහතා කියන්නේ නම් මා ඒ සමග එකඟ නොවුණ ද එයට ලකුණු දීමට මා සූදානම් ය. එහෙත් මෙහි වැදගත් ම කොටස වන්නේ මම යනුවෙන් දෙයක් නැතැයි බුදුන් වහන්සේ පෙන්වා දී ඇතැයි අමරතුංග මහතා පැවසීම ය. මම” ඇතිවන්නේ ද ත්‍රිලක්‍ෂණය පිළිබඳ අවිද්‍යාව නිසා ය. එපමණක් නොව ඊනියා ලෝකය ද ඇති වන්නේ ඒ අවිද්‍යාව නිසා ය. අමරතුංග මහතා මම නැතැයි යන්න පිළිගන්නේ දැයි නො දනිමි. ඒ මහතා කියන්නේ බුදුන් වහන්සේ ඒ බව පෙන්වා දී ඇති බව පමණ ය. මම යන්න යථාර්ථයක් දැයි ලෝකයේ යථාර්ථයක් ගැන කියන අමරතුංග මහතා අපට පැහැදිලි කරන්නේ ද? මම” නැතිව ලෝකය පවතින්නේ යැයි අමරතුංග මහතා කියන්නේ ද?
නලින් ද සිල්වා 
2015 දෙසැම්බර් 07

3 Responses to “නැති මම හා ඇති ලෝකය”

  1. Nanda Says:

    “මේ දේ මෙසේ සිදුවිය යුතුයි” කියන තණ්හාව කුමක්ද ? එසේම “මේ දේ මෙසේ සිදු නොවිය යුතුයි” කියාත් තණ්හාවක් නැද්ද​?
    මේ ආශාවල් ද්‍රව්‍ය වලට​, කෑම බීමට​, සැප පහසු කමට ඇති කෑදරකමටත් වඩා දුක් ගෙන​දෙන්නක් නොවේද ?

    “මගේ පුතා, දුව සිංහල බෞද්ධ කෙනෙක් විවාහ කරගත්තොත් හොඳයි”
    “අපේ රටේ දෙමලුන් කෑනොගහ හිටියොත් හොඳයි”
    “දේස පාලුවෝ අවංක විය යුතුය​”
    “සිංහලයා මහින්දටම චන්දය දිය යුතුය​”

    මේවා තණ්හාවන් නොවේද ? මේ වායේ එල්ලී ඉඳීමෙන් මිනිස්සු දුක් නොවිඳිත් ද ? සියලුම මිනීමැරුම් වලට මුල බොහෝවිට මෙවැනි තණ්හා නොවේ ද ?

    “මේ සුවය විඳිය යුතුයි” – කාම තණ්හාව
    “මේ දේ මෙසේ සිදුවිය යුතුයි” = භව තන්හාව
    “මේ දේ මෙසේ සිදු නොවිය යුතුයි” = විභව තන්හාව

    ලෙස අචාන් චාගේ පරපුරේ සමහර හිමිවරු අර්ථ කථනය කරති. මෙය ගැලපේ යයි සිතමි.

  2. Charles Says:

    Arguments in the article are difficult to follow: There is impermanance( anicca), unsatisfactoeriness(dukkha), and no self (anatma). These are the three signata( thri lakkhana). All conceptual things, are subject to change (impermanent), therefore unsatisfactory, and there is no self-I, Me or myself. Self is mind construct or mind made. The five clinging aggregates take for reality what is irreal. Mind through the eye contact of an external object sees a form, it gives rise to feeling, to perception, mental factors and consciousness. It is so with the ear, nose, tongue,body and mind. The mind gets attached to form, feeling,perception, creates mental factors and the consciousness creates a self outof the form and takes it for me, I, myself. for the eye object it sees is form, for the ear sound is form, to the nose smell is form ,to the tongue taste is form, for the body sensations are form and for the mind thoughts are form. These forms give rise to feeling, perception, mind factors and consciousness. The mind gets attached to form, feeling, perception, greate mental factors and the consciousness puts all together and makes a self who enjoys what it sees, hears,smells , t

    Form is like foam without substance, feeling is like water bubble which when bursts nothing remains, mental perception is like a mirage, mental factors are like a trunk of a plantain tree, and the consciousness like a magician. Therefore it is experiencing this irreality in meditation one sees the absence of a self.

  3. AnuD Says:

    Professors are professors only in their area of the subject and not in every thing even in that subject.

    This is in Abhidharma.

    Lord Buddha, during the first 49 days after the enlightenment, studied with his mental eye what the smallest thing in this universe was and what was it that could not affect by any other’s will or that did not change.

    then Buddha found something that had both material and energy properties as well as mind. Buddha also saw that every thing else in this WHOLE universe is made of that, it had a life time of in planck’s constant proportions. In other words, it was born and died so fast leaving nothing.

    That is how Buddha claimed that is impermanent, dukkha and asoul.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress