ලයිට් බාස්ගේ ඩිස්කෝ
Posted on December 13th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

මාතලේ රෝහලේදී සීමාවාසික වෛද්‍යවරු සාදයක් සූදානම් කලහ. මේ සඳහා ඩිස්කෝ ලයිට් අවශ්‍ය බව සමහර වෛද්‍යවරියන් කී නිසා ලයිට් බාස් කෙනෙකුට කියා පාට බල්බ් වැලක්ද එල්ලුවෙමු. ලයිට් බාස් රෝහලේ ලයිට් වැඩද කලේය​. ඔහු කඩුගන්නාව පැත්තේ අයෙකි. මැදි වයසේ සිටි බොනපාට් කෙනෙකි. ඔහු නිතරම සිටියේ බීමත්වය.

ඔහු සාදය ආරම්භ වන තෙක් ලයිට් වැල් අදිමින් අපට උදව් කල නිසා වෛද්‍ය සුජීව දහනායක විස්කි ටිකක් අසෝක වීදුරුවකට වත් කොට  ඔහුට දුන්නේය​. කලින්ම බඩේ තිබූ හැලි අරක්කු උඩට විස්කි ඉතා හොඳ බව සිතූ ඔහු එය එක පහරින් ගිල දමා කෙල පාරක් ගසා සර් තව ශොට් එකක් යැයි කීය​. මේ නිසා සුජීව ඔහුට තවත් විස්කි වීදුරු භාගයක් දුන්නේය​. ඉන් පැය භාගයකට පමණ පසු ඔහු යලිත් යාප්පු වී වෙනත් සීමාවාසී වෛද්‍යවරයෙකුගෙන් තවත් කාලක් ලබා ගන්නා ලදි.

මේ වන විට මඳක් අඳුර වැටී සාදය පටන් ගෙන තිබුනි. රිද්මය සහිත ඩිස්කෝ සංගීතයට වෛද්‍යවරියන් කිහිප දෙනෙකු ඩාන්ස් කරමින් සිටියහ​. මේ අස්සේ පදමට වැදී සිටි ලයිට් බාස් ඔවුන් අතරට වැදී තම සරම මඳක් දණහිස ලඟට ගෙන අමුතු අන්දමේ ඩිස්කෝ නැටුමක් දමමින් සිටියේය​. සාදයට පැමිණ සිටි විශේසඥ වෛද්‍යවරු අන්දමන්ද වී සිටියහ​.

මේ විකාර බලමින් ලයිට් බාස් ගෙන් මිදෙන්නේ කෙසේද යැයි අප දහ අතේ කල්පනා කරමින්   සිටින විට පේරාදෙනිය වෛද්‍ය පීඨයේ දුලිප් මෙන්ඩිස් ලෙස හඳුන්වන ධම්මික රත්නායක ආවේය.​අප ධම්මිකට අපේ ගැටළුව කීවෙමු. හරි අපි මේකට වැඩක් කරමු ඔහු කීවේය​.

ධම්මික ලයිට් බාස්ට බෝතල පෙන්වා අතින් සන් කලේය. නටමින් සිටි ලයිට් බාස් වහාම ධම්මික වෙත දිව ආවේ තවත් විස්කි පාරක් අපේක්‍ෂාවෙනි.

” බාසුන්නැහැ”  ධම්මික ඔහුව ඇමතුවේය​. “අපිට බෝතල් ටිකක් මදි පොඩ්ඩක් මේ මහත්තයෙක් එක්ක වාහනේ ගිහිල්ලා බෝතල් ටිකක් ගේනවද ?”

ඔහු එක පයින් එයට එකඟ විය​. අපගේ වෛද්‍යවරු දෙදෙනෙක් ලයිට් බාස්ව වාහනයක දමාගෙන මාතලේ අලුවිහාරේ පැත්තට ගියහ​. ඉන් පසු එක් නිවසක් පෙන්වා එම නිවසට යන ලෙසත් එම නිවසට ගිය විට විස්කි බෝතල් තුනක් ලැබෙනු ඇති බවත් ඒවා වාහනය වෙත ගෙන එන ලෙසත් කීවේය​.

ලයිට් බාස් වෙරි මරගාතෙන් අදාල නිවස දෙසට ගියේය​. ඒ අතරවාරයේ දොස්තරලා දෙන්නා වාහනය පණ ගන්වාගෙන හිමින් සීරුවේ යළි රෝහල වෙත පැමිණ සාදයට එක් වූහ​. ඉන්පසු ලයිට් බාස්ගේ කරච්චලයෙන් තොරව සාදය මධ්‍යම රාත්‍රිය වෙන තෙක් පවත්වන ලදි.

පසුදා මටත් සුජීවටත් ලයිට් බාස් ඕවසියර් කාමරය අසල මුණ ගැසුනි.

“අර මහත්තුරු දෙන්නා මට කොලොප්පමක් නේ කරලා තියෙන්නෙ “ඔහු කීවේය​.

“ඇයි බාසුන්නැහැ මොකද උනේ ? අපි අැසුවෙමු.

“මට විස්කි බෝතල් ගේන්න කියලා මාව යවලා තියෙන්නෙ ඇලික් අලුවිහාරේ මහත්තයගෙ බංගලාවටනේ” ලයිට් බාස් කීවේය.

අප දෙදෙනා සිනහ තද කර ගනිමින් වාට්ටුවට ගියෙමු.

වෛද් රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress