ආණ්ඩුවේ පරාජය
Posted on December 28th, 2015

නලින් ද සිල්වා

2016 වසර සඳහා වූ අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ බව අපට පෙනෙන්නට ඇති කරුණ ය. එහෙත් එසේ සම්මත වූයේ මුදල් ඇමති රවි කරුණානායක ඉදිරිපත් කළ අයවැය නො වේ. ඒ අයවැය යෝජනා දියවන්නාවට විසි කෙරිණි. සම්මත වූයේ ඒකාබද්ධ විපක්‍ෂයේ විරුද්ධත්වය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ විසින් සංශෝධනය කෙරී ඉදිරිපත් කෙරුණු අයවැයකි. මුල් අයවැය මුළුමනින් ම මෙන් සංශෝධනය කිරීමට සිදුවීම රනිල් මෛත්‍රිපාල අවුල් ආණ්ඩුව ලත් පරාජයකි. අවුල් ආණ්ඩුවට මුල් අයවැය අකුළා ගැනීමට සිදුවිය. ආණ්ඩුව අයවැය පරාජය වූ බව පිළිගෙන ඉල්ලා අස්විය යුතුව තිබිණි. ඒකාබද්ධ විපක්‍ෂය ද ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකර යුතුව තිබිණි. එහෙත් තවමත් මුූදල් ඇමති සංශෝධිත අයවැය නිසි පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ඉදිරිපත් කරවීමට උද්ඝෝෂණය කළ යුතු ය.

 අයවැය විවාදයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ සාඩම්බර ප්‍රකාශයක් කෙළේ ය. ඔහු කියා සිටියේ ආණ්ඩුව බලයේ රැඳී සිටීම සඳහා ජනප්‍රිය ප්‍රතිපත්ති අනුගමනය නොකරන බව ය. එය ඔහුගේ හා 1948 සිට එ ජා පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට එකඟ ය. 1953 රනිල් වික්‍රමසිංහගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනගේ අයවැය යෝජනා පවත්වාගෙන යෑම සඳහා එයට විරුද්ධව කෙරුණු හර්තාලයට කන්නොදී  නවදෙනකු මරා මැඩපැවැත්වූයේ මහා ප්‍රජාතන්ත්‍රවාාදියකු යැයි කියන ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව මගිනි. එහෙත් රනිල් වික්‍රමසිංහ මෙවර කෙළේ කුමක් ද? ඔහු පැහැදිලිව ම බලයේ රැඳී සිටීම සඳහා මර්දනයකට නොගොස් අයවැය යෝජනා දිගට හරහට සංශෝධනය කෙළේ ය. අද ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණ ද පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් නැත. අද ඔවුන්ට හැත්තෑහතට පෙර මෙන් මර්දනයට ද යෑම අපහසු ය. ඔවුන්ගේ ඊනියා සම්මුතිවාදය ජනබලයට යටවීමකි. මේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය දෙමළ ජාතිවාදයට යම් යම් වරප්‍රසාද ලබාදීම සඳහා ය. මෙවර අයවැය විවාදයේ දී වැඩියෙන් ම කතාකළ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ විය හැකි ය. ඔහු අද පාර්ලිමේන්තුවේ අගමැති පමණක් නො වේ. ඔහු තත්වාකාරක (de facto) කතානායක ය. ඔහු විටෙක අනෙක් මන්ත්‍රීවරුන්ට වාඩිවෙන්නට කියයි. තවත් විටෙක යන්නට කියයි. ඔහු හැසිරෙන්නේ අගමැතිවරයකුට සුදුසු ආකාරයකට නො වේ. තත්වාකාරක කතානායක වීම මදිවාට ඔහු තත්වාකාරක මුදල් ඇමති ද වෙයි. එපමණක් නො වේ. ඔහු තත්වාකාරක ව වෙනත් ඇමතිවරුන් ලෙස ද ක්‍රියාකරයි. ඔහු තත්වාකාරක ජනාධිපති ලෙස ද ක්‍රියාකරන අවස්ථා එමට ය.
නීති ප්‍රකාර (de jure) මුදල් ඇමති රවි කරුණානායක අයවැය ඉදිරිපත් කිරීමට පෙර තත්වාකාරක මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මුදල් ප්‍රතිපතතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේ ය. අයවැය විවාදයේ දී අනෙක් අමාත්‍යංශවල අයවැය සම්බන්ධයෙන් ද අදාළ නීති ප්‍රකාර ඇමතිවරයාට වඩා තත්වාකාරක ඇමති රනිල් වික්‍රමසිංහ විවාදයට මැදිහත් විය. ආණ්ඩුව නම් රනිල් ය, රනිල් නම් ආණ්ඩුව ය යන අදහස ජනතාවට ඇතිවිණි නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. සම්මත වූයේ රනිල්ගේ සංශෝධිත අයවැය ය. එයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බීර බද්ද වැඩිකිරීමට යෝජනා කෙළේ ය. ආප්ප සෝඩාවල බද්ද වෙනස් කිරීමට කිසිවකු යෝජනා කෙළේ නැත.
 
රනිල් වික්‍රමසිංහ කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකළත් ඔහු ක්‍රියා කරන්නේ හොඳින් හෝ නරකින් හෝ බලයේ රැඳී සිටීමට ය. බලයේ රැඳී සිටීම සඳහා ජනප්‍රිය ප්‍රතිපත්ති අනුගමනය නොකරන බවට කී පුරසාරමට සිදු වූයේ කුමක් ද? ඔහු මුල් අයවැය අකුළා ගත්තේ ඇයි? ඔහුට අද අධ්‍යාපන ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් කළ මර්දනයට යෑම අපහසු ය. ඔහු බලයේ රැඳී සිටිම සඳහා ජනප්‍රිය වේ යැයි සිතූ ක්‍රියා මාර්ග කිහිපයක් ගත්තේ ය. එහෙත් ඔහුගේ ක්‍රියාමාර්ගවලින් රැවටීමට හැකිවූයේ ඔහුගේ පක්‍ෂයට හිතවත් වෘත්තීය සමිති නායකයන් පමණ ය. ඒ වෘත්තීය සමිති නායකයෝ වැඩවර්ජන කරන බවට බොරු ගෝරනාඩුවක් කළහ. ඔවුන්ට එසේ නොකර සිටීමට නොහැකි වූයේ වෙනත් වෘත්තීය සමිති නායකයන් හා ඒකාබද්ධ විපක්‍ෂය අයවැයට විරුද්ධ ව නැගී සිටි බැවිනි, එකී බොරු ගෝරනාඩු කාරයෝ අයවැය සංශෝධනයෙන් පසු තම ඊනියා සටන අත්හැරියෝ ය. මොවුන්ට අවශ්‍ය වූයේ ආණ්ඩු විරෝධය ද හැකිනම් තමන් අත ම තබා ගැනීමට ය. එහෙත් එය අසාර්ථක විය. ගෝරනාඩුකාරයෝ හෙළිදරවු වූහ.
 
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති වූ බැංකු සේවක සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආදිය ගෝරනාඩුකාරයන්ගේ ගැටයට හසු නො වීය. මේ ආණ්ඩුවට අප කලින් ලිපියක  සඳහන් කළාක් මෙන් ප්‍රාග්ධනය නැත. විශාල ප්‍රාග් ධනයක් නොමැති ලංකාවේ හිඟන ධනපති පංතියට රට සංවර්ධනය කිරීමට ද නො හැකි ය. විදේශීක ආයෝජකයෝ ද මෙරටට නො පැමිණෙති. ආණ්ඩුව චීනය දෙසට හැරුණොත් ඒ වැළැක්වීමට බටහිර රටවල් සොච්චමක් දීමට ඉඩ ඇත. බටහිර රටවල් වඩා උනන්දුවන්නේ හමුදාව හා පොලිසිය ඊනියා ප්‍රතිසංවිධානයකට ලක්කර ඔවුන්ගේ ධෛර්යය හා දේශප්‍රේමීත්වය බිඳ දැමීමට ය. බටහිරයෝ තමන්ට අවශ්‍ය ආකාරයට රට මෙහෙයවා ඊනියා යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ ආදර්ශී රටක් ලෙස ලංකාව හඳුන්වාදීමට උත්සාහ කරති. බිස්වාල් නිතර නිතර ලංකාවට පැමිණෙන්නේ මේ ව්‍යාපෘතිය සාර්ථක” කරගැනීමට ය. ඇය ද ලංකාව චීනය පැත්තට හැරේවිය යන බියට සොච්චම් මුදලක් දීමට ඉඩ ඇත. එහෙත් ඒ සොච්චම් රට බටහිර ක්‍රමයට සංවර්ධනය කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නො වේ.
 
ආණ්ඩුවට විශාල ප්‍රාග්ධනයක් තබා වියදම් පියවීමටවත් මුදල් නැත. ඔවුහු තවමත් දහනවවැනි සියවසේ මුල ජීවත්වෙති. ඔවුහු තවමත් පෞද්ගලික (කුඩා) ධනපතියන් කෙරෙහි විශ්වාසය තබති. ඔවුහු රාජ්‍ය ධනවාදය දෙසට නො හැරෙති. (මෙයින් අදහස් වන්නේ මා රාජ්‍ය ධනවාදය අගයන බව නො වේ. අපට අපේ ම වූ සංවර්ධන ආකෘතියක් තිබිය යුතු ය.) කෙසේ වුවත් ආණ්ඩුව වෘත්තීය වේදීන්ට එරෙහිව ක්‍රියාකරයි. සීපා ගිවිසුම නැතත් වෙනත් නමකින් ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ඉන්දියාව සමග සාකච්ඡා පවත්වයි. ඒ ගිවිසුමෙන් ප්‍රධාන වශයෙන් ම පහර වදින්නේ මෙරට වෘත්තීයකයන්ට ය. වෘත්තීයකයන් මුළුමනින් ම යහපත් පිරිසක් යැයි මම නො කියමි. එහෙත් ආණ්ඩුව ඉන්දියාවෙන් වෘත්තීයකයන් ආනයනය කිරීමට උත්සාහ නොකර මෙරටින් පිටට සිදුවන බුද්ධි ගලනය නැවැත්වීමට කටයුතු කළ යුතු ය. බුද්ධි ගලනය නැවැත්වීමට අද ඇති එකම විසඳුම (ස්වෙච්ඡාවෙන් රටෙහි නතරවන වෘත්තීයකයන් ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් එවැන්නෝ විරල වෙති) වෘත්ීීයකයන්ගේ වැටුප්, වේතන, දීමනා හා වෙනත් වරප්‍රසාද වැඩි කිරීම ය. එය යහපත් නොවූවත් අද සමාජයෙහි වෙනත් කළහැකි දෙයක් නැත. එහෙත් ආණ්ඩුව කරන්නේ එහි අනෙක් පැත්ත ය. වෘත්තීයකයන්ගේ වරප්‍රසාද නැතිකිරීමට ආණ්ඩුව ක්‍රියාකරයි.
 
මා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ක්‍රියා හා ප්‍රතිපත්ති අනුමත නොකළත් ඔවුන්ගේ ඇතැම් ඉල්ලීම් බුද්ධිගලනය පැත්තෙන් බැලූ විට සාධාරණ යැයි සිතමි. අසූවේ දශකයේ සිට 1993 දක්වා ( අද ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටින ගාමිණී ලක්‍ෂමන් පිරිස්, විමලසේන ඈපාසිංහ ආදීන් එකතු වී මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස්කරන තෙක්) විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් හෝ සභාපති ව හෝ සිටි මට බුද්ධිගලනය (මෙය යටත්විජිතවාදී අධ්‍යාපනය හා බටහිර දැනුම් හා ආර්ථික ආධිපත්‍ය නිසා සිදුවන්නකි. එය නැවැත්විය හැක්කේ අධ්‍යාපනය වෙනස් කිරීමට දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමෙනි. එහෙත් ආණ්ඩුවේ හෝ විපක්‍ෂයේ හෝ වත්මන් දේශපාලනඥයන් එයට සූදානම් යැයි මම නො සිතමි) අවම කිරීමට ගත් පියවර පිළිබඳ අත්දැකීමක් ඇත. අද ද විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රයෙහි ක්‍රියාත්මක වන වැටුප් කේත 1993 දී ඇතිකළ ඒවා බව ද අද ගෙවන දීමනා බොහොමයක මුල එකල වෘත්තීය සමිති අරගලවල ප්‍රතිඵල බව ද බොහෝ ඇදුරන්ට අමතක ය. එහෙත් එදා ජී එල් පිරිස් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයට රැස්වීමට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය ලබාදීම ප්‍රතික්‍ෂෙප කළ බව මට අමතක නො වේ. විශ්වවවිද්‍යාලයීය සේවයෙන් අස්කරනු ලැබූ මට වැඩිකළ වැටුප් හා ලබාදුන් දීමනා අහිමිවිය!
 
රජයේ වෛද්‍යවරුන් වාහන බලපත්‍ර ඉල්ලන්නේත් රාජ්‍ය වැටුප් පිළිබඳ 1ඃ4 අනුපාතය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන්නේත් බුද්ධි ගලනය පැත්තෙන් බලා යැයි මම සිතමි. ඔවුහු රුපියල් 2500ක් රජයේ සේවකයන්ගේ වැටුපට එකතු කිරීමට විරුද්ධ නො වෙති. එහෙත් ඔවුන් කියන්නේ ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් දසදාහකින් වැඩිකළ යුතු බව ය, වෛද්‍ය විශේෂ’ඥයන්ගේ වැටුප් ද සුදුසු අනුපාතයකින් වැඩි කළ යුතු බව ය. එහි වරදක් ඇතැයි මම නො සිතමි. මෙරට බටහිර වෛද්‍යවරුන් දක්‍ෂයන් බව මම අත්දැකීමෙන් දනිමි. ඔවුන් තම වෙදකමේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය ගැන උදම් නොවී, සිංහල වෙදකම මිථ්‍යාවක් යැයි නොකියා, අපේ වෙදකමේ දියුුණුවට අත දෙන්නේ නම් මැනවි.
 
ආණ්ඩුවට ඔළුවිල් ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න ගැන ද අවබෝධයක් නැත. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක් ලබා නොමැති ලක්‍ෂමන් කිරිඇල්ලට මේ ප්‍රශ්න නො තේරෙයි. ඔහු කියන්නේ ඉංජිනේරු පීඨයට අවශ්‍ය ආචාර්යවරුන් ලබා දී ඇති බව ය. ආචාර්යවරුන් සඳහා මුදල් වෙන් කිරීම එකකි. ආචාර්යවරුන් බඳවා ගැනීම තවත් එකකි. ඔළුවිල්හි ඉංජිනේරු පීඨයක් පිහිටුවනු ලැබුයේ ඒ පළාතේ ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් සතුටු කිරීමට ය. ඒ රාජපක්‍ෂ ආණ්ඩුව කළ අනුවණ ක්‍රියාවකි. ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඡන්දවත් සංධානයට නො ලැබිණි. ඔළුවිල් පීඨයට ආචාර්යවරුන් බඳවා ගැනීම පහසු කටයුත්තක් නො වේ. බාහිර කථිකාචාර්යවරුන් ඔළුවිල්වලට කැඳවා ගැනීම ද අපහසු ය. අද කළ යුත්තේ මේ සිසුන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි පිහිටුවීමට යන ඉංජිනේරු පීඨයෙහි ආදළ වසරවලට අනුයුක්ත කිරීම ය. එසේත් නැත්නම් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ඉංජිනේරු පීඨයක් ඉක්මණින් ඇතිකර සිසුන් එයට අනුයුක්ත කිරීම ය. අද විවිධ ක්‍ෂෙත්‍රවල ආණ්ඩුවට ඇත්තේ පරාජයක් පමණකි. ආණ්ඩුව අද ඉංදියාවට හා බටහිරට ගැති වී නව ව්‍යවස්ථාවක් ඇතිකර දෙමළ ජාතිවාදයට හා ඉන්දියාවට රට පාවාදීමට කටයුතු කරයි. තව තවත් රට අවුල් නොකර අවුල් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු ය.
 
නලින් ද සිල්වා
 
2014 දෙසැම්බර් 24

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress