පැහැරගත් තරුණයා හිරුණිකාගේ කාර්යාලයට රැගෙන ගිය බව තහවුරු වුණා පොලිසිය උසාවියට දැනුම් දෙයි
Posted on January 2nd, 2016

ඉෂාර රත්නකාර උපුටාගැණීම අද මව්බිමෙන්…

දෙමටගොඩදී පැහැර ගත් තරුණයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පෞද්ගලික ආරක්ෂකයන් විසින් හිරුණිකාගේ පක්ෂ කාර්යාලයට රැගෙන විත් ඇය ඉදිරිපිටට පමුණුවා මුණගස්වා ඇති බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (31දා) දන්වා සිටියේය.

පැහැර ගැනීමට ලක්වූ තරුණයා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපිටට රැගෙන ආ බවට තහවුරු වී ඇත්තේ මෙම සිද්ධියේ 05 වැනි සැකකරුගේ දියණිය ලබා දී ඇති ප්‍රකාශය අනුව යැයි පරීක්ෂණයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. චන්ද්‍රතිලක මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.
ඉකුත් දෙසැම්බර් 21 වැනිදා මම තාත්තා සමඟ වැල්ලම්පිටිය පොලිසියට ගියා. පස්සේ හිරුණිකා මැඩම්ගේ කාර්යාලයට ගිහිල්ලා මැඩම් හම්බ වුණා. ඒ කාර්යාලයේ හිටපු කිහිප දෙනෙක් සමඟ කළුපාට ජීප් රථයක නැඟලා දෙමටගොඩ රෙදි කඩය වෙත ගියා. දෙමටගොඩ රෙදි කඩයේ තිබී රතුපාට ටී ෂර්ට් එකක් හැඳ සිටි අයකු තම අම්මා සමඟ සම්බන්ධයක් පවත්වන බවට තමා පෙන්වා දුන් බවත් ඊට පස්සේ පැමිණි පිරිස එම අන්කල් හිරුණිකා මැඩම් ළඟට ගෙන ගිය බවත්, 05 වැනි සැකකරුගේ දියණිය තමන් මුහුණ දුන් සිද්ධිය විස්තර කරමින් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
මේ සිද්ධියට අදාළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉකුත් දෙසැම්බර් 22 සහ 23 යන දෙදින මාධ්‍ය හමු පවත්වා ඇති බවත් එම මාධ්‍ය හමුවල දර්ශන ඇතුළත් සී. ඩී. පට ලබා දෙන ලෙස අදාළ ආයතනවලට නියෝග කරන මෙන් පොලිසිය ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය අදාළ මාධ්‍ය සාකච්ඡාවල සංස්කරණය නොකළ ප්‍රවෘත්ති ඇතුළත් සී. ඩී. තැටි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස අදාළ මාධ්‍ය ආයතනවලට නියෝග කෙළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress