ගින්දර ලෝ දිය යකඩ මතින් මතුවූ 2වැනි කැරැල්ලේ කුරුටු ගී
Posted on January 10th, 2016

ධර්මන් වික්‍රමරත්න

මේ දිග හැරෙන්නේ ජවිපෙ 2වැනි කැරළි සමයේ ලෙයින් තෙත්වූ යුගයක කථාවයි. මේ පණ පොවන්නේ 1986 සිට 1990 දක්වා ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කිරීමට නොහැකිවු යුගයක කථාවයි. මේ පන්නරය ලබන්නේ යහපත් හෙටක් වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව සිය ඇස්, ඉස්, මස්, ලේ සහ ජිවිතය දන්දුන් අයගේ කථාවයි. එව බලව, මේ ජවිපෙ 2වැනි කැරැලි සමයේදී අරගලයෙන් උපන් කුරුටු ගී වල කථාවයි. එය නිර්මාණශීලි සන්නිවේදනයක ඇත්ත ඉතිහාසයක එක් පරිඡේදයක කථාවද වන්නේය.

Dharman Wickremaratne2

 

 

 

 

 

 

 

 

ධර්මන් වික්‍රමරත්න විසිනි.

ජවිපෙ 2වැනි කැරැළි සමයේදී එයට එක්වූ පිරිස් එම වකවානුවේදී සාම්ප්‍රදායික මාධ්‍යයන් වෙනුවට විකල්ප සන්නිවේදන ක්‍රමයන්හි නිරත විය. එය සරසවි, පාසැල්, කම්හල්, වැඩබිම්, ගොවිබිම් හරහා තියුණු සන්නිවේදන ඡාලයක් ලෙස ක්‍රියාත්මක විය. විශේෂයින්ම 1987 මුල් භාගයේ සිට 1989 අගෝස්තු දක්වා ප්‍රධාන නගරයන්හි සිට ඈත ගම්දනව් දක්වා මෙම  නිර්මානශීලි සන්නිවේදන ක්‍රමවේදයන් භාවිතයට ගෙන තිබිණි. අගනගරයන්හි ප්‍රධාන ස්ථානයන්, රෝහල්, රජයේ කාර්යාල, පාසැල්, කාර්මික විද්‍යාල, සරසවි, සති පොලවල්, බස් සහ දුම්රිය නැවතුම් පොලවල් පමණක් නොව ඇතැම් ආරක්ෂක හමුදා කඳවුරු, පොලිස් ස්ථාන අසළද දුෂ්කර ගල් පර්වත වලද, පාලම් ඇදිවලද මේවා අලවා සහ ලියා තිබිණි. මෙය ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් සහිත  අපූර්ව සන්නිවේදන ඡාලයක් විය. එමෙන්ම වඩාත් හෘදය සංවේදී මාධ්‍යයක්වූ කැසට්පට මගින් විජේවීර නිරන්තරයෙන් ජනතාව ඇමතූ අතර රණහඬ නමින් දෙවන කැරැල්ල වෙනුවෙන් විකල්ප ගුවන් විදුලි සේවයක්ද ක්‍රියාත්මක විය. රෝනියෝ සහ ගල් අච්චුවේ මුද්‍රිත පුවත්පත් කිහිපයක්ද එකල නිකුත් විය. රජය මගින් 1983 ජුලි සිට ජවිපෙ නිල වශයෙන් තහනම් කලද ජවිපෙ හඬ තහනම් කිරීමට රජයට නොහැකි විය.

dharman09011602.මවිබිම වෙනුවෙන් දිවිපිදීම යනු සදාකල් ජීවත්වීමයි මැයින් පේරාදෙණිය සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මගින් 1989 ජුනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනය නිමිත්තෙන් දිවිදුන් සිසු විරුවන් සැමරීමේ පෝස්ටරයකි

එහෙත් 2වැනි කැරැල්ලෙන් මතුවූ යටිබිම්ගත නිර්මාණාත්මක සාහිත්‍යය 1971 කැරැල්ලේ අවසානයත් සමඟ කඳවුරු තුළ සිරවූ කැරළිකරුවන් ගෙන් මතුවූ සාහිත්‍යය තරම් ප්‍රචලිත නොවීය. පාලකයින්ට, මර්ධනයට සහ ඉන්දිය හමුදා ආක්‍රමණයට එරෙහිව 2වැනි කැරැල්ල වෙනුවෙන් ප්‍රචලිතව දක්නට ලැබුණු නිර්මාණයන් පහත පරිදිය.

පෙරදිග මිහිතලය සිපගෙන තදින් හැමූ

සැඩ ගොර කුණාටුව අතරේ රැඳෙන්නෙමූ

හෙළ වීරයන් සිය ගත රුහිරයෙන් තෙමූ

මව්බිම නැතොත් මරණය අපි දිනන්නෙමූ.

 

යන්නට අකුරු මියදෙන්නට වලපල්ලේ

සිප්කිරි උරා බිව් අප යනවද ලොල්ලේ

පාලක හැත්ත ඇය සිරකර ඇත මිල්ලේ

රැකුමට වරෙව්, ලක්මව් මරු වැල්ලේ.

 

රන් මිල මුදල් බොල් නිදහස දෙසට නැමී

සතුරා අසල නිවටෙකු ලෙස නොවැට වෙමී

සුන්කොට ගණ යදම් සිදබිඳ දරුණු බැමී

නොනැවතෙමි නොබියව පෙරට යමී.

 

කන් අඩි පැලෙන ලය පුපුරන වෙඩි සද්දෙන්

නොසැලෙන පිරිස පමණක් අප හා එද්දෙන්

යන්නට දෙපා පන නැති උන් නවතිද්දෙන්

ජයබිම කරා අපි යමු බාධක මැද්දෙන්.

dharman09011603.‘අයියණ්ඩි උඹ මැරිලා මහපාරේ, මම උඹේ මලයණ්ඩි, එදා අපිව මැරුවේ සුද්දෝ නේද, ඒත් අද?’ ආරක්ෂක හමුදා මගින් 1988 අගුණකොළපැලැස්සේදී ඝාතනය කරන ලද සිය සොහොයුරන් දෙදෙනා පිළිබඳ වියෝවෙන් තැවෙන පාසල් දරුවෙක්.

 

දැල්වූ නිදහසේ ඉගෙනුමෙ පහන් සිල

හොල්ලා නිවන්නට සැරසෙන අමන රැළ

පන්නා දමන්නට සටනට වැදුණ කළ

ඉල්ලන්නේ ලේද එහෙනම් ගනිව් බොල.

 

කඩා නටුවකින් දඩයම්කල මලක‍

සපා කෑ පියලි බිම ගිලිහෙන රැයක

නිදහස සිහිනයක්යැයි සිතෙනා ලෙසක

ඉතිහාසයම තිබුනේ දඩයම් බිමක.

 

ටයරය ගිණි දළුව යෞවන සිරුර මැඩ

දුටුවෙමු දකින්නෙමු බුරමින් නැගෙන හඩ

අවනීතියට එරෙහිව උන් නගන හඩ

යළි යළි ඇසෙයි ගිණි දළුවල සිරස මැඩ.

dharman09011604.ජයවර්ධනපුර සරසවියේ සුමංගල ශාලාවේ බිත්තියක 1989 මැයි මස ඇද තිබු කාව්‍ය සිතුවමක්

දේශප්‍රේමි සොයුරන් ගිනිගෙන දැවුණේ

පාසැල වෙත ගිය මල්ලිට වෙඩි වැදුනේ

නොසිටිය යුතුය තවමත් අප නිදි යහනේ

මුන් වනසන්න දැන් අවි එසවිය යුතුනේ.

 

එක් කොට එකට සමගිය මුළු බල ශක්ති

පෙන්නමු ලොවට වෛරය නිර්ධන පන්ති

මව්බිම නැතොත් මරණය විඳිනෙමු බුක්ති

අම්මේ අපට ලොකු නෑ හිරගෙයි බිත්ති.

dharman09011605.මැදිරිගිරිය ප්‍රාලේ කොට්ඨාශයට අයත් මීගස්වැව ගම ආශ්‍රිතව පවත්වාගෙන ගිය ඒකනායක වධකාගාරයේදී අත් පා වෙන්කරන ලද කැරලිකරුවෙකු. පල්ලියගොඩැල්ල, මැදිරිගිරිය, අඹගස්වැව, ගොඩපොත්ත, වඩිගවැව ආශ්‍රිතව ක්‍රියාත්මකවූ කඳවුරු වලට ගෙන එන ලද තරුණයින් දහස් ගණනක් අවසානයේදී විනාශකර දමන ලද්දේ කපිතාන් ඩයස් භාරකරුවූ මෙම ඒකනායක වලේ වධකාගාරයේදීය.

පොදු ජනතාව සූරන විට වසාගෙන

තව දුර සිටිනු නැත වක-කුද ගසාගෙන

ලෝකය නසන්නට මිනිසුන් ගසාකන

එහි රණබිමට හිරමැදිරිද කඩාගෙන.

 

අද අගනුවර බෝගම්බර පැලවත්ත

සිරකඳවුරු කඩාගෙන එඩිතර රොත්ත

නිදහස සෙයා එනවිට පවසමු ඇත්ත

සිහිවෙයි ප්‍රංශ බැස්ටිල් හිරගෙයි වත්ත.

dharman09011606.හෙටවත් රතුමල් පිපේදැයි බලමු’ මැයින් මරදාන කාර්මික විද්‍යාලයේ තිබූ පෝස්ටරයක්

බලාපන් නෙත්හැර

සත්‍යයේ පුළිගු

පුෂ්පය දිලෙන යුරු

වරෙල්ලා සඟයිනේ

ජය ලබා දිනන්නට

යුක්තියේ දේශයක්.

 

අප නැගූ හඬ නොමියෙනු ඇත

මතු කිසි දිනයක ජය දක්වා,

පැරදුම් පෙරමග ජය කණු කොටගෙන

නොසැසලවි ලයපා ලයපා,

රණ පෙරමුණ ඇවිලෙන සටනේ

විප්ලවීය ජය දද බැදුනේ,

අසිපත් ලෙලවමු –  සතුරන් වනසමු

යමු නොපැකිල ගමනේ.

dharman09011607.පෞද්ගලික නිවසක පිහිටි රහසිගත වධකාගාරයකදී දැස් සහ අත්පා බැද සිටින ජවිපෙ කැරළිකරුවන්ට 1989දී වධදී තොරතුරු විමසන ආරක්ෂක භටයින් පිරිසක්. ඔවුන් අත කිනිස්සක්, පොල්ලක් සහ ටී56 ගිනි අවියක්ද ඇත.

දෑත් කපා දැමුවද ලියන

ගෙල සිද දැමුවද ගයන

මරා දැමුවද ඉදිරියට යන

බිහිකරව් මිනිසුන් නොමියෙන.

 

නිවටයින්ගේ දෙපා අභියස

බියෙන් ඇකිලී නැවී යානම්

එවන් සිරසක් කුමකටද මට

ගෙලෙන් සඳ එය ඉවතලනු මිස.

 

මිතුරනි සීරුවෙන් හිඳිමු අපි

මේ උන්ගේ අවසාන රාත්‍රියයි

උදාවන්නේ අපේ ලෝකයයි

අපේ ගී හඬ ඇසෙන්නේ හෙටයි.

dharman09011608.දෙවන කැරැල්ල පරාජයෙන් පසු 1991දී මොරටු සරසවියේ ප්‍රදර්ශනය කර තිබූ  පුවරුවක්.

අහේනිය කරවටක්ය

එහෙත් ඔවුහු සටන් නොවදිති

බන්දේසි වලම ලැබෙනු ඇත

ඒ සිහින ඔවුන්ගේය

අරගලවලින් තොරව

කිසිවක් දිනිය නොහැක

ඒත්තු ගන්වන මාදිලියද

ආදර්ශයද දිය යුත්තේ අපමය.

 

දහසක් අවලාද මැද

අසීරුතම නිමේෂයක

ජනප්‍රිය දේ වෙනුවට

නිවැරදි දේ වෙනුවෙන්

පෙනී සිටින්නට

නුඹලා සතු දහිරිය

උරගා බලන නිමේෂයයි මේ.

dharman09011609ජයවර්ධනපුර සරසවියේ 1988/89 සෑම ශාලාවක්ම සටන් පාඨ වලින් දිස්වූයේ මෙසේය.

යෞවනය මරණයට

හිමිකමක්වූ බිමක

සිප් සතද තුරුළු කොට

හිස්ම හිස් වා ගැබේ

ඈත ඉම නෙතු යොමා

සිතු විමන වෙහෙස වන

පිය සබඳ,

බලාපන් නෙතු අයා

පරපුරෙන් පරපුරට

හද ගැහෙන රිද්මය

නොවෙද මේ.

dharman090116101987 මැයි 1 රණවක සිසු ඝාතනයට පසු රුහුණු සරසවිය පුරා මෙවැනි වැකි සිය ගණනක් සඳහන් වී තිබිණි.

2වැනි කැරළි සමයේදී ජන සමාජය මවිතයට පත්වූයේ පෝස්ටර් කලාවෙන්ම පමණක් නොවේ. රටපුරා විවිධ ස්ථානයන්හි නැවුම් සටන් පාඨ රතු හෝ කළු පැහැයෙන් ලියා තිබිණි. එම සටන් වැකි සහ උද්යෝග පාඨ කිහිපයක් මෙසේ දැක්වේ. මව්බිම වෙනුවෙන් දිවි පුදන්නෝ සදා අමරණීය වන්නෝය. මුග්ධ පාලකයිනි, විමුක්තියේ රණ කාහල නාදය සිපිරිගෙයින්, යදම් වලින් තොපට මොටකල නොහැක. ආදරණීය විරු සගයිනේ, දේශය පාවාදුන් මිනීමරු ධනපතියන්ගේ කුරිරු අඬුවලට හසුව ඇස්..ඉස්…මස්…ලේ.. දන් දුන්නේ ජීවිත කුසුම පූජා කළේ දේශයේ ජාතියේ නාමයෙනි. සහ ජාතියේ නාමයෙනි. සටන්කාමි සහ විප්ලවාදී නොවන්නෝ මේ යුගයේදී දේශප්‍රේමීන් නොවේ. අප මරා දැමුවද ජාතික විමුක්ති අරගලය නොනැවතී ඉදිරියටම ගමන් කරනු ඇත.

2වැනි කැරැල්ලේ විප්ලවීය චරිත පිළිබඳවද අභිමානයක් ගෙන දෙන කවි ලියවී ඇත. එහෙත් 1971 කැරැල්ලේ කුරුටු ගී මෙන් දිවි පිදූ පුද්ගල චරිත වටා නොවේ. දෙවන කැරැල්ලේ කාව්‍ය නිර්මාණ පොදුවේ සමුගත් සියළු දෙනා වෙනුවෙන් ලියවූවකි.

මියයන තුරාවට මවුබිම බෙදන්නට

බැහැ ඉඩදෙන්න කියමින් පෙරමුණේ සිට

විරු පුතුනේ නුඹලා නැගු රණ හඬ ලොවට

නැහැ අමතක වෙන්නේ ඉතිහාසේ පොතට.

 

රෝහණ-පද්මසිරි ගිය මග අකුල් රොද

ඉවතට දැමූ රණවක ඔබ කොයිද අද

ඔබ ඉදිරියට ගියෙ නැත්නම් රුපුන් බිද

මරණය ගේ තුලත් හොල්මන් කරයි අද.

 

නැගෙන හිරු රැසින් විසිරුණු දෙරණ මත

සබඳ නුඹේ පැතුමන් ඒ තුළම ඇත

නැගෙන ලොවට පෙරමග කියු සකිය සඳ

දිරිය ජවය ඔබමය අප හදවතට.

 

ගිනියම් පොළව මත අරගල කල දවසේ

ගැලූ ලේ කඳුළු වල ජය ඝෝෂාව ඇසේ

මල්වල පැහැය ලේ පැහැයෙන් ගත් දවසේ

තව තව කුසුම් පිපියන් මේ පියසේ.

 

දිරිය ඔබය පෙරඹර ලොව නගන්නට

සවිය අපට හදවත් තුළ රදන්නට

විරිය ගෙනා නුඹ අද සිහි කරන්නට

පිපෙනු නිසැක රතුමල් හෙට දෙරණ මත.

 

මලක්සේ දිලෙන්නට සිටියමුත් නුඹ රටට

මලක්සේ පරවුනේ කිමද පුද භූමියක

මලක්සේ මුදු නොවූ හදක් උන්සතු බැවින

මලක්සේ නුඹ පරව වැටී නටුවෙන් බිමට.

 

වේවැල් කැඩුන පුටුවේ වක ගසාගෙන

සුරතට ගත් පෑන පසෙකින් තබාගෙන

හද හොඳ නිසා එනවා ලේ ගලාගෙන

අපි ඉන්නවා නෙත කඳුලැලි පුරෝගෙන.

 

කෘර අධම ලෝකය සුණු කරන්නට

නුඹගත් දිරිය සමනැත වෙන කිසිවකට

අද මෙන් හෙටත් ඔබ පැතු ලොව සදන්නට

පෙරමග දිරිය ඔබමය සොයුරනි අපට.

 

රණබිම මැරුණ මා වෙනුවෙන් නොහඩන්න

ණයක් නොවී සටනකදීම මියයන්න

වහා ලොවට විරු සමගිය පෙන්වන්න

කපා හෙලු ගෙල ජයදද නංවන්න.

 

යුක්තිය නැතුව වැළපෙන ලක් දෙරණ මත

වල්පැළ පැලවෙලා වසඟව ඇත බලයට

රජකම් කරන උන් ඊයෙත් අද වගෙම හෙට

රතුමල් පොඩිකළද පැළ මියදෙන්නෙ නැත.

 

ඉතින් දිනක පලවා ගනඳුරු සීත

උතුම් හිරුමඩල බැබලෙන මතුදාක

මිටින් නොහෙළු පරපුර වෙත බැඳිප්‍රේම

තදින් වැලඳ සිපගමි ඔය විරු දෑත.

 

දමා පෙරට පණ නළ මව්බිම නමට

නිමානැති අඳුර පරදන සටනකට

පමානැතිව මඟ කිව් අරුණෝදයට

නමා සිරස නුඹගත් මඟ ගමි පෙරට.

 

දහසක් ඉපිද මියයන ලොව නැගි හසර

වෙනසක් නිතින් පතමින් වෙහෙසුණු සොයුර

වෙහෙසක් නොලැබ සතසක් සිත් තුළ රැඳෙන

තරුවකි සදා නුඹ සුපසන් මඟ කියන.

 

වෙඩි හඬ යකඩ ඇණ හිස හිල් කර යද්දී

ටයරය මතින් තම සොයුරන් අළු වෙද්දී

දැන දැන මරුවා හමුවන බව මඟ යද්දී

නොබියව ඔබ ගියා යායුතු මග නොසැලී.

 

කදුලින් ඉපිද රුහිරෙන් දිවි මග නිබඳ

ගෙවමින් කටුක දුක්ගිනි වැලදුව සබඳ

ගින්නෙන් නුඹෙ රුව උන් මැකුවා වුවද

මේ මවුබිමේ ඔබ ජීවත් වෙයි හෙටද.

 

දැවෙයි සොයුරන් නරුමයින්ගේ

ටයර් දර සෑයෙහි මෙදා,

කියයි ඉතිහාසයෙන් මේ ලෙස

ඔවුන් ජීවත්වෙයි සදා,

පිපෙයි තව රතුකුසුම් උන්ගිය

මගේ ජීවය ගෙන මෙදා,

දිනය නියතයි නුදුරු දිනකදි

සටන කල ජීවිත පුදා.

 

මල් බැම්මෙන් සමණලයෝ

වහන් වෙලා කොහිදගියා,

තෙල් බැම්මෙන් සොහොයුරු

හක්‍ෂ වියැකීලා සැගවගියා,

එක අත්තේ වහපු පැටවු

ගම් බිම් වල සැඟවගියා,

උන් එනතුරු සරසවි මවු

බලා හිදී  දෑස තෙමා.

 

රන් පත්‍ර දුම් සුසුම් සැනහී

ගල් සිසිල පිච්චුවෙද සිතැගී

සරසවිය වුව තවම ගොළුවී

නොමළ මිනිසුන් කොහෙද සොයතී.

 

රතුපැහැ පියලිගෙන වනමල් පිපෙනතුරා

එඩිතර ගතියගෙන දියඇලි ගලනතුරා

දෙරණත වසාගෙන රණහඩ ඇසෙනතුරා

අමතක නොවේ සොයුරනි ඔබ මැරෙනතුරා.

 

වෙනදා නැගුණු හිරු අහසේ නැත නැගුනේ

පෙරදා නැගුණු වෙඩිහඬ හා පණ නැහුණේ

රටදැය රකිනු මිස නුඹ නැත පෙම් බැදුනේ

නුඹටයි සොයුර අපගේ ආදරහද පිදුනේ.

 

මිහිලිය දවා ගිනිබත්කල යසුනු මතින්

මිනිසත්කම් සොයා ඔබ පියනැගුව බැවින්

උන් ලය පලා විසිරෙව් ලේපැහැය විසින්

රතුමල් පිපී ඇත දෙරනට බැදුනු පෙමින්.

 

රන් මල් හැලෙන කරුණාබර හිනාවට

පණ්ඩිතකමට යළි සිහි කල්පනාවට

තැන්පත්කමට රුපෙට වාසනාවට

මගේ පුතා අයියෝ නැති වුණා මට.

 

කදුළින් ඉපිද රුහිරෙන් දිවි මග නිබඳ

ගෙවමින් කටුක දුක් ගිනි වැළදුව සබද

ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා වුවද

දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද.

 

රටට පිපුණු මල් හැලුනත්
තවත් කැකුළු පිපේ
ලෙයින් තෙමුණු සටන් බිමේ
අලුත් ලොවක් තැනේ.

 

නිල් අහස දෙපළු කර

ඈත පෙරමඟ බලා

තටු ලමින් ඉගිල ගොස්

තිතක් වී නොපිනී ගිය

නුඹලගේ රූ තාම පෙනෙනවා.

 

නිවැරදි වූ හෙට දිනෙක

නව අරුණු දකිනට

ජීවිතය මුදාහල සොයුරනේ

නුඹලගේ දිවි සුවඳ

අපේ  හදවත්වලට දැනෙනවා

තනන්නට නව ලොවක්

අයුක්තිය පිරි

පොළෝ තලයේ

ලැබේවා දිරිය තව තවත්

සොයුරනේ සොයුරියනේ.

 

මුදුනෙන්ම පිපෙනවිට

කඩාගෙන බිමදමා

සුණු විසුණු කළ රතු මල

නුඹට සොහොනක් කුමටද

ජන හදවතේ පුදසුනක් ඇතිකොට.

 

සිරගෙය යනු විවේකයකි

ඔහු එම විවේකයේදී

වඩාත් හොඳින්

අභියෝගයන්ට මුහුණදීම උදෙසා

දැනුමින් සන්නද්ධ වේ.

 

විඩාබර රැහැයි නද අතර

සැඟව ගියා නුඹේ රුව

යළිත් නම් නොඑන ලෙස

සීතල මැදයමේ

දෑත පිටිතල හයා බැඳ

පෙරදා මූසල

උළමුන් හඬ සමඟ

මුසුව ආ මරණයේ අඬහැරය

හාදු දී පළිගන්න

බලා සිටියා නුඹ

ගතේ භෂ්ම පාර අද්දර

පූජනීයයි මට සැමදා

හද ගැබේ නිදන් කොට

සාදු දන පිදුම් දෙන.

 

පසළොස්වක සඳ

එපා නුඹ පායන්න

වෙනද වගේ සුදුම සුදු පාටට

එපා පුබුදන්න

දෑ සමන් සිනිද්ද කොඳ කැකුළු

අපේ මව්බිම අධිරදවාදි වහල් කඳවුරක්

ධනවැද්දන්ගේ වධක සුසානයක්

චෞරයින්ගේ පරාදීසයක්

පායාපන් රතුම රතු පාටින්

ගිනි ගුලියක් වගේ

නිදා සිටි නිදිකුම්බා පදුර

මැර බැහැපු තුරු සෙවන

ඉවසන්න බැරුව

රූට උන් ඇහැරෙනවා..

පුබදපන් ඒ නිදකුම්බා කැකුළු

මිහිකත සිපගත් විරුවන්ගේ

රුහිරෙන්

දළුලා වැඩෙනවා එරමිණිය ගස්

ඉක්මනට මුවහත් කරපන්

එකේ කටු.

 

සත්‍යයේ ශක්තිය වසා

බුද්ධිවාදයේ කඩතුරාව

අතුරා නොසිටපල්ලා

යුත්තියේ නාමයෙන්

අයුක්තිය හමුවේ

ටයරයයි

තෙල් ගැලුමයි මත

දැවෙන ජීවිත ගැන

තොපට නොපෙනේද

මිනිසුනි..

කුසීතව වැතිර

නොසිට වරෙව්

අතට අසුවන දේ රැගෙන

අයුක්තිය දමා

යුක්තිය දල්වන්න

නැගිටපල්ලා

දේශයේ නාමයෙන්.

 

1971 අප්‍රේල් කැරැල්ලෙන් බිහිවූ කවි කිහිපයක් ඉන් වසර 17කට පසුවද ජවිපෙ 2වැනි කැරැල්ලේදී සන්නිවේදන කලාව තුළ දක්නට ලැබිණි. ඒ අතර පහත කවි මුල් තැනක් ගනු ලැබීය.

පරවි ගියත් පිබිදුනු රතු මල් සියලු

පිබිදෙනු නියතමයි නැවතත් රතු කැකුලු

නිදහස පතා ඔබ හෙලූ දහඬිය කඳුලු

හරිබව කියනු ඇත මතු හදවත් සියලු.

 

පිපි මල් පරව විසිරී ඇත දෙරණ මත

විහිදු සුවඳ තව දුරටත් මියෙනු නැත

ඔපවත් කරන්නට එසුවඳ අපිරිමිත

සුවහස් ගණන් තව රතු මල් පිපෙනු ඇත.

මා මියගියත් මේ දෙරණේ අසමසම

රතු මල් පිපේවා පොහොරට රැගෙන ළැම

ලෝකය පිටු දකින දිනයක දිළිදුකම

නැගිටිමි ඇත්මයක් සමගින් එදින මම.

 

කන් හිරි වැටෙන ළය පුපුරන වෙඩි සද්දෙන්

නොසැලෙන පිරිසක් පමණක් අප හා එද්දෙන්

යන්නට දෙපා පණ නැතිවුන් නවතිද්දෙන්

ජයබිම කරා අපි යමු පෝරක මැද්දෙන්.

ජවිපෙ නිර්මාතෘ සහ නායකයාවූ 71 ප්‍රථම කැරැල්ලේද 1986/90  දෙවැනි  කැරැල්ලේද නියමුවාවූ රෝහණ විජේවීර පිළිබද 2වැනි කැරැල්ලේදී ප්‍රකාශිතවූ කාව්‍ය නිර්මාණයන් මෙසේය.

නල මුදු සුවද මැද දැයකට දෙන අබය

සලකුණු මැවේ මිහිමව පෙරමග සුබය

සැලමුතු පෙමින් මතුකළ උල්පත නිබය

එළඹුණු යුගය අභිබෙව් මිනිසා නුඹය.

 

එදා අඳුර දුරකල සඳ රෑ පාන

උදා තරුව මේ අලුයම නෙතපාන

එදා අද වගෙ හෙටටත් මගපාන

සදා කල් නුඹයි දිදුලන ඉරපාන.

 

බොල් මිහිතලය මත නව ජීවය පිරුව

මුල්වූ රටේ නිදහස යුක්තිය ගරුව

දැල්වූ පහන් ටැඹ මත දිදුලන තරුව

ඉල්මහ පිපෙන රතුමල් ඔබටයි විරුව.

 

ජවිපෙ 2වැනි කැරළි සමයේ බිහිවූ විකල්ප සන්නිවේදනයේ ප්‍රතිඵලයක්වූ කුරුටු ගී තුළ මුදු වචන මෙන්න රළු කටුක වදන්ද විය. රාජ්‍ය සහ අර්ධ මිල්ටරි දැඩි මර්ධනකාරි තත්වයන් යටතේ කැරළිකරුවන්ගේ විකල්ප සන්නිවේදන භාවිතය නිර්මාණශීලි වූවද එය විකල්ප ජනමාධ්‍යයක පුරෝගාමී මංපෙතක් ලෙස වසර 26කට පසුව වුවද මතුවූවේ නැත. එහි ස්වරූපය, ගුණය සහ හැඩය පිළිබදව මෙතෙක් ලිඛිත පුරෝකථනයක්ද සිදුකර නොමැතිවීම කණගාටුදායකය.(වසර 1986/90 ජවිපෙ දෙවන කැරළි සමයට අදාළ ඔබ දන්නා කාව්‍ය නිර්මාණ / රැදවුම් කඳවුරුවල කුරුටු ගී ඇත්නම් පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress