නව ව්‍යවස්ථාව කුමක් සඳහා ද?
Posted on January 12th, 2016

නලින් ද සිල්වා

 තවමත් නව ව්‍යවස්ථාව ජනතාවට තබා පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට ආණ්ඩුවේ ඇමැත්තෝ විවිධ කතා මාධ්‍ය මගින් රටට කියති. අද ඇත්තේ මාධ්‍ය දේශපාලනයකි. ඇතැම් දේශපාලනඥයන් තම තමන්ගේ ජනමාධ්‍යවේදීන් නඩත්තු කරන බව ද රහසක් නො වේ. දේශපාලනය පමණක් නොව කලාව ද, සාහිත්‍යය ද, ආගම ද, ඉතිහාසය ද, මාධ්‍ය විසින් පාලනය කෙරෙය්. ජාතික ව්‍යාපාරය ද මාධ්‍ය විසින් මෙහෙයවනු ලැබෙයි. දර්ශනය ජනමාධ්‍යවේදීන්ට බොහෝ විට විෂය නොවුණත් එය ද ජනමාධ්‍ය විසින් පාලනය කෙරෙයි.  ඒ අතින් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඉතාමත් පක්‍ෂග්‍රාහී ය. අපක්‍ෂපාති මිනිසුන් සිටිය හැක්කේ සුසාන භූමිවල පමණක් වුවත් ජනමාධ්‍යවේදීන් ජඩමාධ්‍යවේදීන් වීම කණගාටුදායක ය. ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලින් හා බොහෝ මුද්‍රිත මාධ්‍යවලින් පිටමං කෙරුණු අප මේ ලිපිය හා තවත් ලිපියක් නොවන්නට ජීවත් ව සිටින බවවත් ජනතාවගෙන් සුළු පිරිසක් වුවත් නො දනිති. ජනතාවට ඒ දැනගැනීමට අවශ්‍ය ද යන්න ද ප්‍රශ්නයකි. සිංහලයෝ වත්මනෙහි ජීවත් වෙති.
 
ඒ කෙසේ වෙතත් ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධිය ලබාදෙන ජාතික ව්‍යාපාරයේ නායකයකු පසුගිය දා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව නව ව්‍යවස්ථාව ගෙන එන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය යටතේ බව ය. ඔහු අවිඥානික ව එමගින් ආණ්ඩුවේ ක්‍රියාකලාපය යුක්ති යුක්ත කෙළේ ය. මේ පඬිවරුන් අප ලියන දේ නොකියවනවා විය හැකි ය. එහෙත් නීතිය ගැන මෙලෝ හසරක දැනුමක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුදු ද කළු ද කියාවත් නොදැන කරන මෙවැනි ප්‍රකාශ ආණ්ඩුවට වාසිදායක වෙයි.  අප රිවිර පුවත්පත මගින් දෙවරක් ම කියා ඇත්තේ 75 වැනි වගන්තිය පාර්ලිමේන්තුවේ බලතල කවරේ දැයි පමණක් අර්ථදැක්වෙන වගන්තියක් බව ය. මෙහි වැදගත් ම වචනය වනුයේ පමණක් යන්න ය. පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ද ව්‍යවස්ථා සංශෝධනයට ද බලය ලැබෙන්නේ ඒ වගන්තියෙනි. එසේ වුව ද ඕනෑම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ දී 75 වැනි වගන්තිය ගැන සඳහන් නො කෙරෙයි. එසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ දී පමණක් 75 වැනි වගන්තිය ගැන සඳහන් කරන්නේ කුමකට ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ (වෙනත් ව්‍යවස්ථාවක් එයට ආදේශ කිරීම ද සංශෝධනය යටතේ අර්ථදක්වා ඇත) 75 වැනි වගන්තියේ ප්‍රකාර නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි පරිච්ඡෙදය අනුව ය. 12 වැනි ව්‍යවස්ථාවට පිටින් ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ව්‍යවස්ථා විරෝධී ය. එවැනි උත්සාහයක් වර්ජනය කිරීමට (එයට කිසි ලෙසකින්වත් සහභාගි නොවී) ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරනු දැකීමට කැමැත්තෙමි.
 
ඇතැම් සිංහල ජාතිකවාදීන්ට අනුව මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් නැත. ඇත්තේ (තිබුණේ) ත්‍රස්තවාදයක් පමණකි. එය දැන් පරාජය කෙරී ඇත. ඒ ජාතිකවාදීන් කෙසේ කීවත් මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් වෙයි. එය තවමත් ක්‍රියාත්මක වෙයි. නව ව්‍යවස්ථාව ද ජනවාර්ගික ප්‍රශ්නය නිසා ම ගෙන එනු ලැබෙයි. අප අවුරුදු විසිපහකට අධික කාලයක් කියා ඇති මුත් මේ ජනවාර්ගික ප්‍රශ්නය කුමක් දැයි සිංහලයන් විසින් හෝ ඔවුන්ගේ දේශපාලනඥයන් විසින් හෝ අවබෝධ කෙරී නැත. සමහරවිට අප වැරදි වීමට ද ඉඩ ඇත. කෙසේ වෙතත් අප කියන්නේ මේ ජනවාර්ගික ප්‍රශ්නය සිංහලයන් විසින් ඇතිකරන ලද්දක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය ලෙස පිළිගැනීමට විරුද්ධව දෙමළ ජාතිවාදීන් ඉංගිරිසින්ගේ අනුග්‍රහය යටතේ 1829 (අටසිය විසිනවය) පමණ සිටත් මුස්ලිම් ජාතිවාදීන් (ආගමිකවාදීන්) හැටේ දශකයේ පමණ සිටත් ක්‍රියා කිරීම බව ය. එහි අංග ලෙස සිංහල බෞද්ධයන් මෙරට නායකයන් විය නොයුතු ය යන්නත්, මෙරට ඉතිහාසය සිංහල බෞද්ධ යැයි නොපිළිගැනීමත්, මෙරට ඉතිහාසය හා සංස්කෘතිය සිංහල බෞද්ධයන් විසින් ගොඩනගනු ලැබ ඇත යන්න නොපිළිගැනීමත් ක්‍රියාත්මක වෙයි. ඉංගිරිසින් පළමුව මෙරට නායකයන් ලෙස පිළිගත්තේ බර්ගර්වරුන් ය. ඉන්පසු දෙමළ ජනවාර්ගිකයන් ය. එයට පසුව සිංහල ක්‍රිස්තියානින් ය. මේ ධුරාවලියෙහි අවසානයට සිටියෝ සිංහල බෞද්ධයෝ ය. 1931 සර්වජන ඡන්දය නොවන්නට නාමික සිංහල බෙද්ධයකුටවත් මෙරට නායකයා වීමට ඉඩක් නො තිබිණි.
 
දහනවවැනි සියවසේ ප්‍රභූන්ගේ පුතුන්ගේ පාසල වූයේ රාජකීය විදුහල ය. ඉන්පසු සිංහල බෞද්ධ ප්‍රභූ ගැමි නායකයන්ගේ පුතුන් සඳහා ද ශාන්ත තෝමස් විදුහල විවෘත විණි. ඒ විදුහල එකී ප්‍රභූ නායකයන්ගේ පුතුන්ට ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දුන්නේ ය. කොළඹ හතේ ජීවත් වූ සිංහල ක්‍රිස්තියානි ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකරුවකුගේ පුතකු වූ ජේ ආර් ජයවර්ධන රාජකීය විදුහලටත් මීරිගම බෝතලේ වලව්වේ පුතකු වූ සිංහල බෞද්ධ ඩී එස් සේනානායක ශාන්ත තෝමස් විදුහලටත් යවනු ලැබුයේ මේ රටාවට අනුකූලව ය. කුමාරි ජයවර්ධනගේ නෝබොඩීස් (නිකමුන්) සම්බොඩීස් ( වැදගතුන්) බවට පත්වූයේ මූලික වශයෙන් ශාන්ත තෝමස් විදුහල හරහා ය.  අවාසනාවකට 1886 දී පිහිටුවන ලද ආනන්ද විද්‍යාලයෙන් සිංහල පාසල් ගුරුවරුන් ආදී සාමාන්‍ය සිංහලයන්ගේ දරුවන්ට ලබාදුන්නේත් ක්‍රිස්තියානි අධ්‍යාපනයකි. (නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමෙන් පසු සාමාන්‍ය සිංහලයන්ගේ පුත්තු රාජකීය විදුහලේ ද අධ්‍යාපනය ලැබූහ.) ලෙඩ්බීටර්ලා ඕල්කට්තුමාලා දැන සිටි වෙනත් අධ්‍යාපනයක් නො වී ය. මේ පිළිබඳ කෙටි සටහනක් භීෂණ සමයෙහි 1989 සැප්තැම්බරයේ  දී පනස්හයේ දරුවන් නමින් මා පැවැත්වූ පළමු බණ්ඩාරනායක සමරු දේශනයෙහි ඇතුළත් වෙයි. මට එදා ඒ දේශනය ලැබුණේ භිෂණ සමයෙහි ශ්‍රි ල නි පක්‍ෂය පතුළට ම වැටි සිටි එකල වෙනත් අයකු ඒ සඳහා ඉදිරිපත් නොවුණු බැවින් යැයි සිතිය හැකි ය. එකල බණ්ඩාරනායක සමරු කමිටුවේ සභාපති ව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ගැන මට වඩා හොඳින් දන්නේ යැයි සිතමි. එකල ජාතික ව්‍යාපාරයට අප අවශ්‍ය වූ නමුත්  ඊනියා ජාතිකවාදීන්  සුලභ මෙකල ජාතික ව්‍යාපාරයෙන් අප කොන්කරනු ලැබී ඇත.
 
1829 දී පමණ ඉංගිරිසින් දෙමළ ජාතිවාදය යොදාගනිමින් ආරම්භ කළ සිංහල බෞද්ධ විරෝධී සටන තවමත් කෙළවර වී නැත. හිටපු ඉංගිරිසි අගමැතිවරයකු වූ ටෝනි බ්ලෙයාර් නිතර යාපනයට එන්නේ ඒ බව කියාපාමිනි. තමාගේ මානව විරෝධී කටයුතු පැත්තකින් තබා බ්ලෙයාර් අපේ හමුදාවේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන හිටපු විනිසුරු විග්නේෂ්වරන් සමග සාකච්ඡා කරයි. අද විග්නේෂ්වරන් ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ සිටින විසුරුණු දෙමළ ජනයා වෙනුවෙනි. එදා විග්නේෂ්වරන්ට ආවැඩුවන් අද නැත. ටෝනි බ්ලෙයාර් ඒ දෙමළ ජනයාගේ දේව පීතෘ වෙයි. ඒ අතර සම්බන්ධන්ලා ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටිති. ඇමරිකන් අවශ්‍යතාව දෙමළ ජාතිවාදයට ද සම්බන්ධ නමුත් ක්‍රියාත්මක වන්නේ වෙනත් පසුබිමක ය.
 
මේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ ඇමරිකාවේ ආධාරය ඇතිව ඉන්දියාව හා එංගලන්තය විසිනි. ඔවුන්ගේ මූලික අරමුණ දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීම ය. ඒ සඳහා බටහිරට හෝ ඉන්දියාවට හෝ යටත් නොවූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමට ඒ රටවලට අවශ්‍ය විය. (මෙරට සිවිල් සාමාජිකයන්ට ද අවශ්‍ය වූයේ එපමණ ය. අද රටේ පවත්නා තත්වයට ඔවුන් ද මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසුණු ජ වි පෙ ඇතුළු පක්‍ෂ හා කණ්ඩායම් ද වගකිව යුතු ය)  ඉන්දියාවට හා එංගලන්තයට ඇත්තේ එකම අභිලාෂයක් යැයි මෙයින් නො කියැවෙයි. ජෙනීවා යෝජනාවල හරය වනුයේ දෙමළ ජාතිවාදය පිනවමින් මෙරට ඒකීයභාවය නැතිකිරීම, සිංහලයට හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය අහොසි කිරීම ආදිය ය. ඉන්දියාව හා එංගලන්තය මේ අවුල් ආණ්ඩුව පිහිටුවූයේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව ය. ඒ අනුව 2015 ජනවාරි 8 වැනි දා සිදු වී ඇත්තේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිවිප්ලවයකි. නව ව්‍යවස්ථාව කෙසේ කෙටුම්පත් කෙරුණත් ඒ ඉන්දියාව හා එංගලන්තය වෙනුවෙන් දෙමළ ජාතිවාදය සඳහා ය. එය සිංහල ජනතාවගේ ද විපක්‍ෂයේ ද සහාය ඇතිව කිරීම යමපාලන අවුල් ආණ්ඩුවේ අභිප්‍රාය වෙයි.
 
ඒකාබද්ධ විපක්‍ෂයට තවමත් තිරසාර දැක්මක් හෝ නායකත්වයක් හෝ නැත. එහි ඇතැම්හු මෛත්‍රිපාල සිරිසේන සමග එකතු වී සංධානය පුළුල් කර එ ජා පක්‍ෂය පෑරදවීමේ සිහිනය දකිති. පළාත් පාලන ආයතනවල ඡන්දය කල්දැමුයේ ජනාධිපති විසිනි. එය එ ජා පක්‍ෂයේ කැමැත්ත ඇතිව කෙරුණක් නො වේ. රනිල් වික්‍රමසිංහ පසුගිය දා මහගෙදරට (එංගලන්තයට) ගිය අවස්ථාවේ දී  මෛත්‍රිපාල සිිරිසේන පළාත් පාලන ආයතන විසිගණනක ආයුෂ වැඩි කෙළේ ය. ඒ තමන්ගේ නමින් ඡන්දය ඉල්ලන අය පරදින බැවිනි. අද එ ජා ප හා මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයේ සිරිසේනගේ කණ්ඩායම අතර සීතල යුද්ධයක් ඇරඹී ඇත. මේ  සීතල යුද්ධය ක්‍රිකට් නිලවරණයේ දී ද දැකගත හැකි විය. තිලංග සුමතිපාල වැඩ භාරගැනීමටත් පෙර ක්‍රීඩා ඇමතිටත් නොදන්වා අමුතුම මාදිලියක කමිටුවක් ක්‍රිකට් සභාවටත් උඩින් අරලියගහ මන්දිරයෙන් පත්කෙරී ඇත. මෛත්‍රිපාල පන්නා දැමීමට එ ජා පක්‍ෂයට අවශ්‍ය අතර රනිල් වික්‍රමසිංහ පන්නා දැමීමට මෛත්‍රිපාල කණ්ඩායමට අවශ්‍ය වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම්හු මේ විරසකය මගින් ආණ්ඩු පිහිටුවීමට සිහින දකිති.
 
එහෙත් එහි දී එංගලන්තය හා ඉන්දියාව කෙසේ ක්‍රියා කරනු ඇත් ද? ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ  විරෝධී ව්‍යවස්ථාවකි. රනිල් වික්‍රමසිංහ එළවීම පැත්තකට දමා ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුනට ද සිදුවනු ඇත්තේ නව ව්‍යවස්ථාවට පක්‍ෂපාති වීම ය. ඒ සඳහා උප්රවැට්ටයක් ආණ්ඩුව සූදානම් කර ඇත. ඒ ව්‍යවස්ථා විරෝධී ආකාරයකට නව ව්‍යවස්ථාවක් දෙමළ ජාතිවාදය සඳහා සකස්කර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර නැවතත් ව්‍යවස්ථා විරෝධී ජනමතවිචාරණයකට යොමු කිරීම ය. ජනමතවිචාරණය එක් ප්‍රශ්නයකට පමණක් ගොනු කර, විධායකය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම ඉස්මතු කරමින් දෙමළ ජාතිවාදයට දෙන දොළ පිදේනි සඳහා ද ජනතා කැමැත්ත ලබාගැනීම ආණ්ඩුවේ සැලැස්ම වෙයි. ජනමතවිචාරණයේ දී අසන ප්‍රශ්නය ඉතා පැහැදිලි නිරවුල් එකක් විය යුූතු ය. ව්‍යවස්ථාවට කැමති ද නැද්ද යන්න එවැනි ප්‍රශ්නයක් නො වේ. ව්‍යවස්ථාවෙහි ජනතාව කැමති වගන්ති මෙන් ම අකමැති වගන්ති ද තිබෙනු ඇත. ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ සඳහන් ඒකීය රට වැනි කරුණු එකක්් එකක් ගෙන ප්‍රශ්න රාශියක් ජනතාවගෙන් ඇසිය යුතු ය. ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීම වනුයේ් මේ සියල්ල හෙළිදරවු කිරීමත් සිංහල බෞද්ධ විරෝධී ඊනියා ව්‍යවස්ථා සංශෝධනය වර්ජනය කිරීමත් ය.
 
නලින් ද සිල්වා
 
2016 ජනවාරි 07

2 Responses to “නව ව්‍යවස්ථාව කුමක් සඳහා ද?”

  1. Ratanapala Says:

    Catholic Tony Blair is the hidden hand of the Catholic Church. What he is trying to do in Sri Lanka is Catholic Church’s agenda for Sri Lanka – dismemberment and balkanization of Sri Lanka and the disempowerment of the Buddhists in Sri Lanka leading to another Dinh Diem Regime – this time in Sri Lanka.

    This government has more things to do other than dealing with a change of Constitution. This attempt at a change of the Constitution is a red herring to mask the failures of the Yahapalanaya to date. People must be aware of this and not get fooled.

    It is up to the people to react on unfulfilled promises of the Sirisena – Ranil Avula.

  2. Nanda Says:

    “ඇතැම් සිංහල ජාතිකවාදීන්ට අනුව මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් නැත. ඇත්තේ (තිබුණේ) ත්‍රස්තවාදයක් පමණකි. එය දැන් පරාජය කෙරී ඇත.”

    එය පරාජය කලේ “දැන්” නොව​, 2009 දීය​. මේ ලියන ලිවුම් ඔබතුමා එදා ලීවානම් සහ ඔබගේ රජතුමා ඔබකියන දේ ඇසුවානම් ඔබතුමාටත් අපිටත් මේ වා ලියන්න ඕනෑ නැත​. අපේ මහරජා මේවා නොකර අනවශ්‍ය නැටුම් නටා ඒ ජයග්‍රහනය විනාශ් කලහ​. “දැන්” 2004ටත් වඩා හපන්‍ ය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress