භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතියක්‌ ජනමාධ්‍ය ඇමැතිට ලැබුණේ කොහොමද! ගැටඹේ නාහිමියෝ ප්‍රශ්න කරති
Posted on January 14th, 2016

උපුටා ගැන්ම දිවයින

භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතියක්‌ ජනමාධ්‍ය ඇමැතිට ලැබුණේ කොහොමද! ගැටඹේ නාහිමියෝ ප්‍රශ්න කරති

සිරිල් විමලසුරේන්ද්‍ර

බුදුන්වහන්සේට මිස භික්‍ෂූ නීතියක්‌ පැනවීමේ අයිතිය භික්‍ෂුවකට නැතිව තිබියදී භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතිය ජනමාධ්‍ය ඇමැතිවරයාට ලැබුණේ කෙසේද යන්න විමතියට කරුණකැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති අති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ පැවසූහ.

භික්‍ෂු ක්‍රියාකාරකම් පාලනය සඳහා නීති පැනවීමේ පනතක්‌ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව කරුණු දක්‌වමින් අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ මෙසේද ප්‍රකාශ කරති.

එක්‌ එක්‌ කාලවලදී බොහෝ යෝජනා කාලෝචිතව ඉදිරිපත් වෙනවා. එහෙත් මෙම භික්‍ෂූන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක්‌. බෞද්ධ ශාසනික ප්‍රතිපදාව අනුව භික්‍ෂූන් සම්බන්ධ නීතිරීති  ඇතුළත් යෝජනා ඇමැතිවරයකුට ඉදිරිපත් කළ නොහැකියි. එවැන්නක්‌ කළ යුත්තේ උත්තරීතර සංඝයා වහන්සේගේ කමිටුවක්‌ මඟින් පමණයි. භික්‍ෂූන් පිළිබඳ විනය නීති සියල්ල බුදුන් වහන්සේ විනය පිටකයෙන් පනවා තියෙනවා. විනය නීතියක්‌ පැනවීමට භික්‍ෂුවකටවත් අයිතියක්‌ නැත. බුදු රදුන් පරමවේලයික නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

භික්‍ෂුවගේ සෑම නොමනා චරියාවකටම විනය නීති රීති පනවා ඇති හෙයින් හා දඬුවම් නියමකර ඇති හෙයින් විනය ප්‍රතිබලසම්පන්න සුපේෂල ශික්‍ෂාකාමී මහා සංඝයා වෙත ඉදිරිපත් කළ හැකිය. එවිට එම යෝජනා සම්මුති සංඝයා එක්‌වී බෞද්ධ නීතියට අනුගතව නීති ප්‍රතිපාදනය කොට කතිකාවතක්‌ ලෙස රාජ නීතියට ද අනුකූලව කතිකාවතක්‌ ලෙස. ඉදිරිපත් කළ හැකිය.

ඒ හැර භික්‍ෂූන් සඳහා නීති පැනවීමට ගිහියන්ට ඇති බවක්‌ හෝ ඉඩකඩක්‌ හෝ ඇති බවක්‌ ශාසන ඉතිහාසයේත් විනය පිටකයේත් සඳහන් වී නැත. ගිහියන් එක්‌වී සංගායනාවක්‌ද පවත්වා නැත.

මහනාහිමිවරුන්ගේ අනුමැතිය නැතිව අණ පනත් සම්මත කළොත් පාර්ලිමේන්තුව වටලනවා
– බෙංගමුවේ නාලක හිමි

සිරිල් විමලසුරේJද්‍ර

මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය නොමැතිව සංඝයා වහන්සේගේ විනය පිළිබඳව අණ පනත් සම්මත කළහොත් මහා සංඝරත්නය පාර්ලිමේන්තුව වටලනවා යෑයි රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මහනුවරදී පැවසූහ.

මල්වතු අස්‌ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දැක්‌වූ බෙංගමුවේ නාලක හිමියෝ සංඝයා වහන්සේගේ හැසිරීම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නීති රීති ඇතුළත් කථිකාවත් සම්මත කිරීමේ අයිතියක්‌ හෝ සදාචාරයක්‌ ගිහියන්ට හිමි නැතැයි ද පැවසූහ.

මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලාගේ ලිත අනුමැතියකින් තොරව මහා සංඝරත්නය පිළිබඳ විෂයයෙහි කිසිදු නීතියක්‌ හෝ අණපනත් සම්මත කිරීමකට අයිතියක්‌ නැති බැවින් එවැනි ශාසන විරෝධී ක්‍රියාවකට ඉඩදිය නොහැකි යෑයි ද උන්වහන්සේ පැවසූහ.

ත්‍රස්‌තවාදය පරාජය කිරීමට සහයෝගය හා කැපවීම ලබාදුන් රණවිරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ දශලක්‍ෂයක්‌ අත්සන් ලබාගැනීමේ වැඩසටහන පිළිබඳව මල්වතු අස්‌ගිරි මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට බෙංගමුවේ නාලක සහ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ඉත්තදෙමලියේ ඉන්දසර හිමිවරු වැඩම කර සිටියහ.

මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශවයේ අති පූජ්‍ය මහානායක ගලගම ශ්‍රී අත්ථදස්‌සි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමෙන් පසුව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්‌වමින් එසේ පැවසූහ.

කැලණිය රාජ මහා විහාරස්‌ථානයේදී ලබන 24 වැනිදා පැවැත්වෙන බෝධි පූජාවකින් අනතුරුව රණවිරුවන්ට මුහුණ පෑමට සිදුවන හිංසා පීඩා පාලනය කිරීම පිළිබඳ අත්සන් දශ ලක්‍ෂයේ පෙත්සමට අත්සන් ලබා ගැනීමේ කටයුතු කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්‌ථානයේදී ආරම්භ කරන බව මෙහිදී ප්‍රකාශ විය.

දිවයිනේ පළාත් සියල්ල ආවරණය වන පරිදි දිස්‌ත්‍රික්‌කයක්‌ පාසා අත්සන් ලබාගැනීම සිදු කරන බවද උන්වහන්සේ පැවසූහ.

අලුත් පනතට එරෙහිව ගලගොඩඅත්තේ හිමිගෙන් දැඩි තීරණයක්‌

සිරිමන්ත රත්නසේකර

ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්‍ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීම සඳහා තමන් වහන්සේට එරෙහිව අධිකරණයේ විභාග වන කිසිදු නඩු කටයුත්තකට මේ මොහොතේ සිට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (14 වැනිදා) අවධාරණය කළහ.

හිරගෙවල් සියයකට දැමුවද පොලිසියේ කුමන තරාතිරමක නිලධාරියකු පැමිණිය ද තමන් වහන්සේ අධිකරණය හමුවට නොපැමිණෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ සිංහල රටේ සංඝයා වහන්සේලාට දඬුවම් කළහැකි පනත් සම්මත කර ගැනීමට බොදු බල සේනාව විසින් ඉඩ නොතබන බව සඳහන් කළ උන්වහන්සේ මෙම පනතට පක්‍ෂව අත ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාංශුකූලයට හෝ මහා සංඝරත්නය වැඩම නොකරන බවත් කියා සිටියහ.

තමන් වහන්සේ නැවත උසාවිය හමුවට වඩිනු ලබන්නේ මෙරට සංඝාධිකරණයක්‌ ස්‌ථාපිත කළ පසුව බවත් ඥානසාර හිමියෝ කීහ.

ආණ්‌ඩුවට මෙවැනි පනතක්‌ ගෙන ඒමට අවශ්‍යව තිබුණේ නම් එය කළ යුතුව තිබුණේ මහා සංඝරත්නයට එරෙහිව නීතිරීති පැනවීමට පමණක්‌ නොව සියලු ආගමිකයන්ට පොදු පනතක්‌ ගෙන ඒම බවත් උන්වහන්සේ පැවසූහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress