ජුන්ටා බලකොටුව සුණුවිසුණු කළ කැලණි සරසවියේ ස්පාටකස්ලා
Posted on January 16th, 2016

ධර්මන් වික්‍රමරත්න

කැලණිය සරසවියේ අතීතය 1875 දක්වා දිවයයි. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙන නමින් 1875දී පෑලියගොඩදී පිහිටවනු ලැබූ මෙම පිරිවෙන 1957 අංක 45 දරණ විද්‍යාදය විද්‍යාලංකාර විශ්ව විද්‍යාල පනත අනුව 1956 ජනවාරි 1 සිට ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ලෙස නම් කෙරිණි. පසුව 1972 අංක 1 දරණ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පනත මගින් සියළුම විශ්ව විද්‍යාල එකම විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු ලැබූ අවස්ථාවේදී විද්‍යාලංකාර මණ්ඩපය බවට පත්විය. කැලණිය විශ්ව විද්‍යාලය බවට පත්වූයේ 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත යටතේය.

වසර 1957දී ගිහි පැවිදි ශිෂ්‍යයින් පමණක් ආයතනයට අතුළත් කලද 1966 අංක 20 දරන ජාතික උසස් අධ්‍යාපන පනත ක්‍රියාත්මකවීමත් සමඟම ශිෂ්‍යාවන්ටද එයට ඇතුළත්වීමට හැකිවිය. පෑලියගොඩ පිරිවෙන් භූමියේ ඉඩකඩ මදිවීම නිසා වර්තමාන භූමිභාගයට 1975දී ගෙනඑන ලදී. කැලණිය සරසවිය වර්තමානයේදී පීඨ 6කින් සහ අධ්‍යයන අංශ 48කින් සමන්විතය. වසර 1971 කැරැල්ලේදී කැලණි සරසවි සිසුන් 10 ආසන්න පිරිසක් ඝාතනයට ලක්වූ අතර එය පසුව 71 කැරළිකරුවන් රඳවා තිබූ කඳවුරක් බවටද පත්විය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණගසා සිටි මොහොතක, මිනිසුන් වහලුන් සේ දිවි ගෙවූ අදුරු කාල පරිච්ඡේදයක ඒ සියල්ලටම එරෙහිව පෙරට පැමිණියේ සරසවි සිසුන්ය. රාජ්‍ය භීෂණය, ශිෂ්‍ය මර්ධනය, නිදහස් අධ්‍යාපන කප්පාදුව, ජාතික අර්බුදය, ඉන්දියන් හමුදා ආක්‍රමණය ඇතුළු කරුණු ගණනාවක් හමුවේ සංවේදීවූ මෙම සිසුන්ගෙන් බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) 2වැනි කැරැල්ලට සෘජුව සහ වක්‍රව බද්ධ විය. අවසානයේදී භීෂණ යුගය පැවති 1986 සිට1990 දක්වා මියගිය සරසවි සිසු සංඛ්‍යාව 396කි. අතුරුදහන් වූ සංඛ්‍යාව 227කි. කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 64 දෙනෙක් ඒ අතර විය. මින් බහුතරයක්ම වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු වශයෙන් ලියුම්කරු 1984 සිට ඇසුරුකර ඇත. වර්තමානයේ කැලණි සරසවියේ වෛද්‍ය පීඨය බිහිවූයේද කලින් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයවු එය ජනසතු කරන ලෙසට 2වැනි කැරැල්ලේදී සිසුන් ගෙන ගිය එක් අරගලයක ප්‍රතිපලක් වශයෙනි. ඒ වෙනුවෙන් කොළඹ, පේරාදෙණිය සහ රුහුණු වෛද්‍ය පීඨයන්හි වෛද්‍ය සිසුන් 34 දෙනෙකුට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය.

dharman16011602.කැලණිය සරසවියේ ප්‍රවේශය

ජවිපෙ 2වැනි කැරැල්ල සමයේ එහි දේශපාලන බල මණ්ඩල සභිකයෙකු සහ සන්නද්ධ අංශයේ නායකයාවූ සමන් පියසිරි ප්‍රනාන්දු, මධ්‍යම කාරක සභිකයින්වූ උපාලි ජයවීර, ගාමිණී විජේගුණසේකර සහ අරුණ විජේසූරිය කැලණි සරසවියේ උපාධිධාරින්ය.  හොරණ පෝරුවදණ්ඩේ පදිංචි සමන් පියසිරි ප්‍රනාන්දු උපත ලැබුවේ 1958 මාර්තු 23 වැනිදාය. ඔහු 1989 දෙසැම්බර් 29වැනිදා ඝාතනයට පත්විය. මොණරාගලදී 1957 ඔක්තෝබර් 19වැනිදා උපන් උපාලි ජයවීර කැලණි සරසවියේ මානව ශ්‍රාස්ත්‍ර පීඨයට ඇතුළත්වූයේ 1981 මාර්තු 2වැනිදාය. දෙවැනි කැරැල්ලේ ප්‍රබල භූමිකාවක් ඉටුකල ඔහු 1990 ජනවාරි 2වැනිදා අත්අඩංගුවට ගෙන 1990 මාර්තු 6 වැනිදා ඝාතනය කරන ලදී. ගම්පහ මුදුන්ගොඩ මැදවත්තේ පදිංචි ගාමිණී ගුණසේකර 1952 අගෝස්තු 20වැනිදා උපන් අතර 1974දී කැලණි සරසවියට ඇතුල්වූ අතර 1978දී ජන සන්නිවේදන ගෞරව උපාධිධාරියෙකු විය. ජවිපෙ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට 1981 සංවර්ධන සභා මතිවරණයට තරඟ කල ගාමිණී ජවිපෙ දේශපාලන මණ්ඩලයට විජේවීර ඝාතනයෙන් පසු 1989 දෙසැම්බර් මස උපාලි ජයවීර සමගින් පත්විය. ජවිපෙ වෘත්තීය සමිති නායකයකුවූ ඔහු 1990 මාර්තු මස ඝාතනයට ලක්විය. මොණරාගල උපන් අරුණ විජේසූරිය උපාලි ජයවීරගේ සමකාලීනයෙකු වූ අතර කැලණි සරසවියේ උපාධිධාරියෙකි. අරුණ 1989 සැප්තැම්බර් මස මහියංගනයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය.

dharman16011603.ජවිපෙ 2වැනි කැරැල්ලේ නායකයින් බවට පත්වූ කැලණි සරසවියේ ආදී විද්‍යාර්ථියීන්වූ ජවිපෙ සන්නද්ධ අංශයේ නායක සහ දේශපාලන මණ්ඩල සභික හොරණ සමන් පියසිරි ප්‍රනාන්දු, මධ්‍යම කාරක සභිකයින්වන මොණරාගල උපාලි ජයවීර සහ ගම්පහ ගාමිණී විජේගුණසේකර මෙහි වේ. මධ්‍යම කාරක සභිකයෙකු වූ අරුණ විජේසූරියද කැලණි උපාධිධාරියෙකි.(වමේ සිට)

එජාප ආණ්ඩුව 1977 ජුලි ජයග්‍රහණයෙන් පසු කැලණි සරසවිය පාලනය කළේ එජාපයේ සමවාදී ජුන්ටා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙනි. කර්මාන්ත ඇමති සිරිල් මැතිව්ගේ නායකත්වයෙන් පතාල නායක ගෝනවල සුනිල්ගේ මෙහෙයවීමෙන් ආණ්ඩුවට එරෙහි සිසු නායකයින්, සිසු සංගම් සහ උද්ඝෝෂණ මැර බලයෙන් යටපත් කරන ලදී. සිසුන්ට තාඩන පීඩන පහරදීම් කල අතර මැරයින්ගේ නිජබිමක් බවට කැලණි සරසවි භූමිය පත්වූයේ සමවාදී ජුන්ටා ශිෂ්‍ය පෙරමුණේ ආශිර්වාදයෙනි. කැළණි සරසවියට 1978 මාර්තු 16 වැනිදා පැමිණි පාතාල මැරයින් 40ක් පමණ පොලු සහ මුගුරු රැගෙන වාමාංශික දේශපාලනයේ නිරත කැලණි සිසු ක්‍රියාකාරිකයින්ට සහ සාමාජිකයින්ට එජාපයේ සමවාදී සිසු පෙරමුණේ මැදිහත්වීම මත පහර දුණි. ගැටුමේ අවසන් ප්‍රතිඵලය වුයේ පහරදීමට පැමිණි එජාප මැරයෙක් වූ ක්‍රිස්ටෝපර් ජයතිලක පොදු සිසුන් හමුවේ ජීවිතක්ෂයට පත්විමය. මැර නායක ක්‍රිස්ටෝපර් ජයතිලකගේ ඝාතනයට කැලණි සිසු බද්දේගම සමිත පසුව අත්අඩංගුවට ගනු ලැබුවද නිදහස් විය. ක්‍රිස්ටෝපර් ඇතුළු මැර පිරිස පලවා හැරීමට නායකත්වය දුන්නේ ජවිපෙ ගාමිණී විජේගුණසේකර ඇතුළු පිරිසකි.

එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සරසවියක් තුළ පිහිටුවූයේ 1973දී කැලණියේදීය. ඉමිතියාස් මාකර් එහි නායකත්වය ගත් අතර එය ගොඩනැන්වීමට කථිකාචාර්ය ඒ.ඒ. ජයසුරිය, ධර්මසිරි ද සිල්වා, සුනන්ද මද්දුමබණ්ඩාර, ඔස්ට්‍රින් ගුණරත්න සහ වලකන්දේ පියනන්ද හිමි සහාය විය. එහි ප්‍රථම ජයග්‍රහණය ලද්දේ 1976දී ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට කේ.එච්. විල්ෆඩ් පත්වීමෙනි. එක්සත් සමවාදී ශිෂ්‍ය පෙරමුණ 1970 දෙසැම්බර් පිහිටවූ අතර එය එජාපයේ නිල ශිෂ්‍ය සංවිධානය ලෙස පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද්දේ 1975දීය. එජාප මන්ත්‍රීවරයෙක් නිල වශයෙන් කැලණි සරසවියට 1978දී ගෙන්වා රැස්වීමක් පැවැත්වීමටද කටයුතු කරනු ලැබීය.

dharman16011604.එජාපය මගින් සරසවි තුළ ප්‍රථම වරට ශිෂ්‍ය සංගමයක් සමවාදී ශිෂ්‍ය පෙරමුණ ලෙස 1973දී කැලණි සරසවියේ ආරම්භ කල අවස්ථාවේදී එහි නිර්මාතෘවූ ඉමිතියාස් බාකීර් මාකර්(හිටපු ජනමාධ්‍ය ඇමති), සමවාදී ශිෂ්‍ය පෙරමුණ ගොඩනැංවීමට දායකවූ සුනන්ද මද්දුමබණ්ඩාර(වර්තමාන කැලණිය උපකුලපති) සහ එම ශිෂ්‍ය පෙරමුණේ පසුකාලීනව සභාපතිවරයෙකු වූ වානිජ විද්‍යා 81/82 කණ්ඩායමේ තිස්ස අත්තනායක(හිටපු සෞඛ්‍ය ඇමති). අසූවේ දශකයේ මුල් භාගයේදී එජාප බලය මුළුමනින් පරදවා කැළණිය සරසවියේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ බලය තහවුරු කිරීමට ජවිපෙට හැකිවිය. (වමේ සිට)

ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය කැලණි සරසවිය තුළ පොදු ශිෂ්‍යයිනගේද සහාය ඇතිව ජුන්ටා සමවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව බලවේගයක් ලෙස ගොඩනැගෙන්නේ 70 දශකය අගභාගයේදී සමන් පියසිරි ප්‍රනාන්දුගේ නායකත්වයෙනි. එයට පෙර ජවිපෙ ශිෂ්‍ය සංගමයේ කැලණියේ නායකයා වූයේ සුදර්ශන පොන්වීරය. මීරිගම මුද්දරගමදී 1978දී ජයතිලකගේ මෙහෙයවීමෙන් පැවති ජවිපෙ සත්දින අධ්‍යාපන කඳවුරට සහභාගිවූ සමන් පියසිරිගේ සහායට කමල්, සිරිමෙවන් ඇතුළු කිහිප දෙනෙක්ම එක්ව සිටියහ. උපාලි ජයවීර 1981 අවසාන භාගයේ කැලණි සරසවි ජවිපෙ ශිෂ්‍ය සංගමයට තීරණාත්මකව මැදිහත් වන අතර රජයේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව මහා පරිමාණ උද්ඝෝෂණ සහ අරගල දියත් කල අතර කැලණි සරසවි සිසුන් බහුතරයකගේ සහාය නිදහස් අධ්‍යාපනය සුරකීමේ අරගලයට දායක කර ගැනීමට සමත් විය. පාර්ලිමේන්තුව 1982 ජනවාරි 20වැනිදා වටකරනු ලැබුවේද අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිවය. කැලණි ශිෂ්‍ය සභාවේ සභාපති වශයෙන් 1981/82 ගාමිණී ප්‍රේමචන්ද්‍ර පත්වූ අතර එහි සුබසාධන ලේකම්වරයා වූයේ උපාලි ජයවීරය.

ඉන් පසු 1982/83 නිලවරණයේදී කැලණි ශිෂ්‍ය සභාවේ වැඩි බලය ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය සතුවූ අතර එහි සභාපතිවරයා ලෙසද පත්වූයේ තෙවැනි වසර සිසුවෙකු වු උපාලි ජයවීරය. අන්තරේ නායකයා ලෙස ජයවර්ධනපුර සරසවියේ මහින්ද පුෂ්පකුමාර කටයුතු කල අතර අන්තරේ දෙවැන්නා ලෙස පත්වූයේද උපාලි ජයවීරය. සිසුන්ගේ බහුතර කැමැත්ත මත කැලණි සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ 1983/84 වසර සඳහා නායකයාවූ උපාලි ජයවීර පසුව එම වසරේදී අන්තරේ නායකයා බවටද පත්විය. කැලණි සරසවියේ තුළ 1978 සිට ගෝනවල සුනිල්ගේ ආශිර්වාදයෙන් එජාපයේ සමවාදී ශිෂ්‍ය පෙරමුණ වාෂ්ප කිරීමට උපාලි ජයවීරගේ නායකත්වයට හැකිවූ අතර සමවාදී බලය මුළුමනින් සුණු විසුණු කිරීමට 80 දශකයේ අවසාන භාගයේ සේනාරත්න, රොනී සහ බලහරුවේ සෝම හිමිගේ නායකත්වයට හැකිවිය. වසර 1986 සිට 1988 දක්වා කැලණි සරසවියේ ජවිපෙ ශිෂ්‍ය අංශය භාරව සිටියේ එහි ශිෂ්‍යයෙකුව සිටි සමාජ විද්‍යා පීඨයේ 1981/82 කණ්ඩායමේ රංජිත් වීරවංශය. පසුව දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරය 1986 ජුනි 20 වැනිදා ආරම්භ කල විටද එහි අදිසි නායකයාවූ රංජිත් විරවංශ 1989 මැද භාගයේදී ශ්‍රී ලංකාවෙන් බැහැරවී තායිලන්තය හරහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් එහි දේශපාලන රැකවරණය ලැබීය. පසුව කැනේඩියානු සම්භවයක් සහිත ඇමරිකානු කාන්තාවක් සමඟ අවාහවී ඇමරිකාවේ ජීවත්වන රංජිත් වර්තමානයේ දෙදරු පියෙකි.

dharman16011605.කැලණි සරසවියේ එජාප සමවාදී ශිෂ්‍ය පෙරමුණ සමඟ එක්වී මැර බලයෙන් කැලණි සරසවිය පාලනයකල එවකට ආණ්ඩුවේ කර්මාන්ත ඇමති සිරිල් මැතිව්(වමේ) සහ කැලණියේ පතාල නායකයාවූ ගෝනවල සුනිල් පෙරේරා මෙහි වේ. කැලණියේ සමවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් පතාලය සම්බන්ධීකරණය කළේ වාණිජ පීඨයේ සපුගස්කන්දේ බාලසිංහ සහ ජයවික්‍රම විසිනි

කැලණිය සරසවිය රැඩිකල් භික්ෂූන්ට තෝ තැන්නක් විය. එය විද්‍යාලංකාර පිරිවෙනේ 40 දශකයේ අධ්‍යාපනය ලැබූ රැඩිකල් ඉන්දිය භික්ෂුන් වන ආනන්ද කෞශල්‍යාණ හිමි සහ රාහුල සංස්ක්‍රිත්තාන හිමිවරුන්ගේ ආභාෂයෙන් චිරාත් කාලයක සිට පැවත එන්නකි. ජවිපෙ 2වැනි කැරළි සමයේ මානව හිතවාදී භික්ෂු සංවිධානයේ නායකත්වය ඉසුලූ අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාමාධිපති ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ද කැලණිය සරසවියේ සිසුවෙකි. ජවිපෙ සමාජවාදී භික්ෂු සංගමයේ කැඳවුම්කරුවූ උඩවෙල ධම්මජෝති හිමි කැලණි සරසවි මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ 2වන වසරේ සිසුවෙකි.

කැලණියේදී 1987 මාර්තු 4 වැනිදා ආරම්භවූ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය තහවුරු වූයේ 1987 මාර්තු 17වැනිදා ඇරඹුණ කැලණිය සරසවි භික්ෂු නේවාසිකාගාර උද්ඝෝෂණයෙන් පසුවය. කැළණි සරසවියේ භික්ෂූන් 540ක් පමණ සටන ආරම්භ කල අතර පසුව බලහත්කාරයෙන් ගොඩනැගිල්ලක් අල්ලාගෙන එය නේවාසිකාගාරයක් බවට පත්කර ගත්හ. පේරාදෙණිය උපවාසය පැවති 1983න් පසු නැවත වතාවක් ශිෂ්‍ය පාලනයට නතු වූයේ මෙහිදිය. දේශපාලන අරමුණක් නොමැතිව අයාලේ යමින් සිටි රටපුරා සරසවි භික්ෂූන් එක පෙරමුණකට එක්කර පසු කළෙක ඓතිහාසික මෙහෙවරක් කල භික්ෂු බලවේගයේ ප්‍රථම මූලය මෙමගින් ඉදිවිණි. අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ප්‍රථම ජාතික නැගිටීම වූයේ 1987 අප්‍රේල් 21වැනිදා පිටකොටුවේ ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට එරෙහිව ඇදිරිනීතියද නොතකා භික්ෂූන් දහස් ගණනකගේ මෙහෙයවීමෙන් පැවති යෝධ පෙලපාලියයි. එය අවසානයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නායකත්වයෙන් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙස නිවසද වටලෑවේය. කැලණි භික්ෂු සටන මහා සටන් රැල්ලක ආරම්භය විය.

dharman16011606.කැලණිය ජවිපෙ ශිෂ්‍ය සංගමයේ මුල්පෙලේ ක්‍රියාකාරිකයෙකුවූ 82/83 කණ්ඩායමේ ශ්‍රාස්ත්‍ර පීඨයේ අජිත් කුමාර(පාර්ලිමේන්තු බෝම්බයේ ප්‍රධාන සැකකරු), ජවිපෙට සහ එජාපයට විකල්පයක් ලෙසින් බිහිවූ ශිෂ්‍ය කණ්ඩායම්වල නායකයින්වූ සමාජ විද්‍යා පීඨයේ 79/80 කණ්ඩායමේ ඩිලාන් පෙරේරා(වර්තමාන මහාමාර්ග රාජ්‍ය ඇමති), 83/84 කණ්ඩායමේ අජිත් දිසානායක(වර්තමානයේ කැලණියේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය) සහ මර්ධනයෙන් විනාශවී ගිය ශිෂ්‍ය ව්‍යාපාරයට යළි 1990දී ජීවය දුන් 85/86 කණ්ඩායමේ කළුපහන පියරතන හිමි(වර්තමානයේ සන්ධානයට අයත් දේශ විමුක්ති ජනතා පක්ෂයේ සභාපති)

සරසවි සිසු නායකයින් 310ක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඉන්දු ලංකා ගිවිසුමට පෙර 1987 ජුනි 22වැනිදා අළුයම එකවර ක්‍රියාත්මක විය. එසේ අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ලේඛනයේ සිටි 88 දෙනෙකු පමණි. හදිසි නීති රෙගුලාසි 87යටතේ රඳවා ගත් ඔවුන් අතර කැලණි සරසවියේ මොහාන්ලාල් වල්ගමගේ, රුවන් වසන්ත, බලහරුවේ සෝම හිමි, සේනාධීර, මාදම්පේ නන්දාරාම හිමි, දුනකවත්තේ ගුණරත්න හිමි, ගම්මාදගම ගුණසිරි හිමි ඇතුළු පිරිසක් විය. ඔවුන් නිදහස් කළේ මාස කිහිපයකට පසුවය.

අන්තරේ භික්ෂු බල මණ්ඩලයට නායකත්වය දුන්නේ එහි කැඳවුම්කරුවූ බලහරුවේ සෝම හිමිය. කැලණිය මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසර සිසුවෙකුවූ බලහරුවේ හිමි හම්බේගමුව, තණමල්විල උපන්නෙකි. නුගේගොඩ සුභෝද්‍රාරාම පිරිවෙනේ  උසස් අධ්‍යාපනය හැදෑරූ සෝම හිමි කැරැල්ල පරාජයෙන් පසු 1990 අවසාන භාගයේදී තායිලන්තය හරහා ස්වීඩනයේ දේශපාලන රැකවරණය ලබා ගත්තේය. පසුව උපැවිදිව සිසිර බවට පත්වූ ඔහු දැන් ස්වීඩනයේ ජීවත්වන දෙදරු පියෙකි. ජවිපෙ සන්නද්ධ අංශයට කාඩර්වරුන් බිහිකිරීම සඳහා 1986 ජුනි 20වැනිදා පිහිටවූ  දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම්වරයා වූයේද කැලණි සරසවියේ දෙවන වසරේ සිසුවෙකුවු තාරපේරියේ රතනජෝති හිමිය. එහි සභාපතිවරයා වූයේ ජයවර්ධනපුර සරසවියේ සිසු කඩවත ඇල්දෙණියේ පදිංචි කාරියප්පෙරුම අතුකෝරලාගේ රනිල්ය. දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ තේමාව වූයේ පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම යන පාඨයයි. තංගල්ලේ උපන් තාරපේරිය රතනජෝති හිමිද 1991 මුල් භාගයේදී තායිලන්තය හරහා ස්විඩනයේ දේශපාලන රැකවරණ ලබාගත් අතර වර්තමානයේ උපැවිදිවී සිරිවර්ධන නමින් බ්‍රිතාන්‍යයේ ජීවත්වන දෙදරු පියෙකි.

dharman16011607.කැලණි සරසවියේදී ඝාතනය වූ සහ අතුරුදහන්වූ සිසුන් 64දෙනා ගෙන් කිහිප දෙනෙක්.(වමේ ඉහළ සිට) අනුරාධපුරයේ බණ්ඩාගේ මච්චාගම සේනාරත්න, මාරවිල රොනී කුමාර, ගාල්ලේ ගැමුණු යසස් සෙනෙවිරත්න, බදුල්ලේ ජයසේන දිසානායක, රන්සෑගොඩ ධම්මාලෝක හිමි, වලල්ලාවිට චන්ද්‍රසිරි හිමි, සරණතිස්ස හිමි, මාතර උපාලි,  මාතලේ රත්නසිරි පුංචිබණ්ඩා, හඟුරන්කෙත බෝගහකුඹුර, ඊ.එම්. සෝමචන්ද්‍ර, පල්ලියගුරු, තිලක් ප්‍රසන්න, අම්පාර සනත් හෙට්ටිආරච්චි ඇතුළු 4ක්.

ජවිපෙ සමාජවාදී භික්ෂු සංගමයේ කැලණි සරසවි ක්‍රියාකාරින් රැසක් දෙවන කැරැල්ලේදී ප්‍රබල භූමිකාවක් ඉටු කලහ. ඔවුන් අතරින් ගණනාවක් මියගිය අතර කිහිප දෙනෙකු ජීවිතය බේරාගැනීමට සමත්විය. කැලණි සරසවියේ පනාවැන්නේ ගුණසිරි හිමි(85/86), නාරංගොඩ සීවිලී හිමි(85/86), දිත්දෙණියේ සරණවංශ හිමි(84/85), රන්නේ සෝමවංශ හිමි(84/85), දෙණියායේ ජයසුමන හිමි(83/84), පිටිපන ගුණසිරි හිමි(85/86), පද්දේතොට නන්දාරාම හිමි(85/86) ඒ අතර කිහිප දෙනෙකි. භික්ෂූන් ගණනාවක් අත්අඩංගුවේදී විවිධ වධ බන්ධන වලට මුහුණ දුන් අතර වධකාගාරවලටද කොටුවිය. සපුගොල්ලේ ඉන්ද්‍රවිමල හිමි කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන එහි අංක 5 පාරේ ලොකු පාලම අසළට ගෙනවිත් ඝාතනය කිරීමට සැරසෙද්දී ගඟට පැන දිවි බේරා ගැනිමට උන් වහන්සේ සමත් විය. මෙම භික්ෂූන්ගෙන් බොහෝ දෙනෙකු පසුව උපැවිදි විය. දෙණියායේ ජයසුමන හිමි උපැවිදි වීමෙන් පසු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද විය. සමාජවාදී භික්ෂු සංගමයේ ජාතික කමිටුවේ ඉතිරිවූ භික්ෂූන් වහන්සේලා 12 නමක් ගම්පහ යක්කල කෙහෙල්වතුගොඩ පන්සලේදී 1989 දෙසැම්බර් 26 සහ 27වැනිදා සිටියදී ගම්පහ මූලස්ථාන පොලිස් පරික්ෂක ගාමිණී සිල්වාගේ නායකත්වයෙන් 1989 දෙසැම්බර් 27 රාත්‍රී 11ට කෙහෙල්වතුගොඩ පන්සලට පැමිණි කණ්ඩායමක් හිමිවරුන් 11ක් අත්අඩංගුවට ගත් අතර බලහරුවේ සෝම, තාරපේරියේ රතනජෝති හිමිවරුන් ඇතුළු 7ක් නිදහස් කරන ලදී. එහිදී අත්අඩංගුවට ගත් 4 දෙනා පසුව ඝාතනයට පත්විය.

dharman16011608.අසූව දශකයේ අවසාන භාගයේ ක්‍රියාත්මකවූ මානව හිමිකම් සුරකීමේ ශිෂ්‍ය සංවිධානයේ අදිසි නායකයා වූ කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක, එම වකවානුවේදී ආණ්ඩුවේ මර්ධකාරි ක්‍රියාකලාපයට එරෙහිව රටපුරා වාම ක්‍රියාකාරිකයින්ට සහ ප්‍රගතිශීලී ව්‍යාපාරයට යෝධ ජවයක් ලබාදුන් කැලණිය විද්‍යාර්ථිකයෙකුවූ රෝහණ ලක්ෂ්මන් පියදාස(වර්තමානයේ කැලණියේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය) සහ එජාප මැරයෙකුවූ ක්‍රිස්ටෝපර් ජයතිලක 1978 මාර්තු 16වැනිදා කැලණි සරසවියේ ඝාතනය කිරීමට චෝදනා ලැබ පසුව නිදොස්වූ කැලණි උපාධි අපේක්ෂක බද්දේගම සමිත හිමි(වර්තමානයේ ආචාර්ය සමිත හිමි දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රීවරයෙකි)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) 1987 ජුනි සිට 1988 පෙබරවාරි දක්වා කටයුතු කල බණ්ඩාගේ මච්චාගම සේනාරත්නද කැළණි සරසවියේ මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ 83/84 කණ්ඩායමේ සමාජිකයෙකි. අනුරාධපුරයේ මැකිච්චාවල සිප්පුකුලම ග්‍රාමයේ උපන් සේනාරත්න වීරසූරිය සමරුව වෙනුවෙන් 1986 නොවැම්බර් 12 මහජන පුස්තකාලයේ පවත්වන ලද දැවැන්ත ප්‍රදර්ශනයේ සංවිධායකවරයාය. 1987 මැයි දින තහනමට එරෙහිව රැස්වීම අභයාරාමයේ සංවිධානය කිරීමට මුල්වූ කිහිප දෙනා අතර ඔහුද විය. පසුව එහිදී සිදුවන ඝාතනවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය උද්ඝෝෂණයක් මෙහෙයවීමට දායක විය. සේනාරත්න හබරණදී 1989 ජුලි මස අත්අඩංගුවට ගත් අතර ඔහුගේ සිරුර 1989 අගෝස්තු මස මොරටුව ගඟේ දක්නට ලැබුණු බව කියති. ඔහුගේ පෙම්වතිය වූයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ මරදන්කඩවල වලගම්බාහු පදිංචි ඉන්දුය.

dharman16011609.1986 මාර්තු කැලණි භික්ෂු සටනට නායකත්වය දුන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම හිමි(1991දී ආරක්ෂාවට රටින් බැහැරවී උපැවිදිව වර්තමානයේ ස්වීඩනයේ ජීවත් වන සිසිර දැන් දෙදරු පියෙකි), ජවිපෙ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම්වූ කැලණි සරසවියේ තාරපේරියේ රතනජෝති හිමි සහ උන්වහස්සේ 1991දී ආරක්ෂාවට රටින් බැහැරවී උපැවිදිව වර්තමානයේ බ්‍රිතාත්‍යයේ දෙදරු පියෙකු වශයෙන් ජීවත්වන සිරිවර්ධන(වමේ සිට)

කැලණිය විද්‍යා පිඨයේ 83/84 කණ්ඩායමේ රොනී කුමාර මියගියේ කටුනායක ගුවන් හමුදා කඳවුරින් අවි පැහැර ගැනීමට 1988 අප්‍රේල් 22වැනිදා ජවිපෙ කල කඩා වැදීමේදී ගරිල්ලා භටයෙකු ලෙසය. එහිදී රොනී සමඟ එහිදී මොණරාගල සුමිත් රණසිංහ, කාන්තා නායිකාවක් වූ මේධානිද මියගිය අතර ප්‍රහාරයට පැමිණි 46 දෙනාගෙන් 11 දෙනෙකු අත්අඩංගුවටද පත්විය. ඉහල ගුණාංග වලින් හෙබි රොනී සරසවියේ තම මිතුරන් වෙනුවෙන් පෙනීසිටි මාරවිල කටුනේරිය පදිංචිකරුවෙකි. පියා ගරාජ් හිමියෙකුවු අතර ගුරුවරියක වූ මව 2014 මිය ගියාය. සොයුරු සොයුරියන් 4 දෙනෙකි.

ගැමුණු යසස් සෙනෙවිරත්නද කැලණි විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ සාමාජිකයෙකුවූ අතර ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ගාල්ලේ වක්වැල්ලේ උපන් ගැමුණුගේ පියා ප්‍රකට නොතාරිස්වරයෙක්වූ අතර පවුලේ එකම පිරිම දරුවා වූ ඔහුට සහෝදරියන් තිදෙනෙකි. මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ සම්බන්ධීකාරකවරයා වූ ගැමුණු 1989 දෙසැම්බර් 10වැනිදා බොරැල්ල කොටා රෝඩ්හි ටර්නර් පාරේ නිවසක නැවතී උදෑසන පිටවී යනවිට පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය. නිති විද්‍යාලයේ ශිෂ්‍යයෙකුද වූ ඔහු රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව ඉදිරිපිට වුට් ඉන් නේවාසිකාගාරයේ නැවතී සිටියේය. විවේකී අවස්ථාවන්හි ඔහුගේ ගිටාරයෙන් සී.ටී. ප්‍රනාන්දුගේ ගීත වාදනය කල අන්දම ලියුම්කරුට තවමත් මතකය. බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර ක්වේකර් සාම සේවයේ සහායෙන් ජවිපෙ සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස උත්සාහ කල අතර එය බ්‍රිතාන්‍යයේදී ප්‍රින්ස් ගුණසේකර විසින්ද කොළඹදී ගැමුණුද එම සාම සේවයේ නියෝජිතයින් සමඟ 1989 මැදභාගයේදී  නිරතුරුව සම්බන්ධකම් පැවැත්වීය.

dharman16011610.ඝාතනයට ලක්වූ සරසවි සිසුවෙකු විප්ලවීය ආචාරය මැද 1989දී අවසන් ගමන් ගිය අයුරු

ජවිපෙ සාමාජිකයන් පිළිබදව ආරක්ෂක හමුදාවට ඔත්තුදීමේ සහ සහායදීමේ චෝදනාව මත කැලණි මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ 81/82 කණ්ඩායමේ පියරත්න යාපා බණ්ඩාර කැලණිය වේවැල්දූව බාහිර නේවාසිකාගාරයකදී 1988 පෙබරවාරි 10 ජවිපෙ මගින් වෙඩිතබා ඝාතනය කරන ලදී. යාපා බණ්ඩාර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරිකයෙකුවූ අතර එහිදී කැලණි සරසවි සිසුන්වු ශ්‍රී ලංකා මහජන ශිෂ්‍ය සම්මේලනයේ ලේකම් සහ මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ 83/84 කණ්ඩායමේ විපුල ගුණරත්න(වර්තමානයේ කැලණියේ ව්‍යාපාරික), ක්‍රිෂාන්ත ගුණවර්ධන(වර්තමානයේ මහාචාර්ය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල්), අරවින්ද ඉහලගම(පසුව නීති පීඨයේ කථිකාචාර්ය) යන තිදෙනා බරපතල තුවාල ලැබීය. විජය කුමාරතුංග අරඹන ලද ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයින් 117 දෙනෙකු භීෂණ සමයේදී මරණයට පත්වූ අතර ඉන් 7 දෙනෙකු ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරිකයින් වූහ. මහජන පක්ෂයේ මෙම ශිෂ්‍ය සම්මේලනය ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් 1,222ක් ඝාතනය කල ආණ්ඩුවේ අර්ධ මිල්ටරි සංවිධානයක්වූ ප්‍රා සංවිධානයේ ප්‍රබල පාර්ශවකරුවෙකු විය. මෙම වෙඩි තැබීමේදී ප්‍රා හිතවතෙකුවූ සරසවි ශිෂ්‍යයෙකු නොවූ හේරත් මුදියන්සෙලාගේ ප්‍රේමරත්නද ඝාතනයට පත්විය. මහජන ශිෂ්‍ය සම්මේලනයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුවූ ජවිපෙ ඝාතන තර්ජනවලට ලක්වී සිටි පොල්ගොල්ලේ රංජිත් අලහකෝන් 83/84 වාණිජ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර පසුව ඔහු 1990 මියගියේ හෘදයාබාධයකිනි.

dharman16011611.ජවිපෙ විසින් පොලිස් කොස්තාපල්වරයෙකු 1988 මාර්තු මස මරා දැමීමෙන් පසු ජවිපෙ කැරළිකරුවන් තිදෙනෙකු ඝාතනයෙන් පසු මහමඟ ගිණිතබා තිබූ ඔවුන්ගේ සිරුරු අභියස සිටින ගම්වැසියන් කිහිපදෙනෙක්.

කැලණිය සරසවියේදී 86/90 භීෂණ සමයේදී ඝාතනයට ලක්වූ සහ අතුරුදහන්වූ සිසුන් 64 අතර පහත අයද වේ. ජයසේන දිසානායක- බදුල්ල: 85/86 මානව ශ්‍රාස්ත්‍ර පීඨය(ජවිපෙ මගින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55‍ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙනගිය අතර එහිදී තවත් ප්‍රහාරකයෙකුවු සුමිත් පෙරේරා හෙවත් කළුවා සමඟ ඝාතනයට ලක්විය. මෙහිදී පොලිසියේ තිදෙනෙකුද මරුමුවට පත්විය. ජයසේන කැලණිය ටයර් සංස්ථා හමුදා මුරපොලෙන් ආයුධ පැහැර ගැනීමේදී ඝාතනයට පත්වු බව තවත් මතයකි), නිහාල් ජයවීර – ගාල්ල: 85/86 සමාජ විද්‍යා පීඨය, ටී. බෝගහකුඹුර- හඟුරන්කෙත: 85/86 සමාජ විද්‍යා පීඨය, එස්. පුංචිබණ්ඩා- වලපනේ: 86/87 මානව ශ්‍රාස්ත්‍ර පීඨය, උපාලි සමන්කුමාර – කෝට්ටේගොඩ : 83/84 විද්‍යා පීඨය(ගිනි උපාලි ලෙසින් ප්‍රචලිතය), සුනිල්- බදුල්ල: මානව ශ්‍රාස්ත්‍ර පීඨය( සරසවි වසා තිබියදී බදුල්ලේ පාසැලක ගුරුවරයෙකු වශයෙන් තාවකාලිකව සේවය කරමින් සිටියදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදි. කළින් පැවිදි නම සිරිරත්න හිමිය. විද්‍යා පිඨයේ වහලක් උඩ නැග වරෙක අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උපවාසයක්ද පැවැත්වීය).

dharman160116122වැනි කැරැල්ලේ පරාජයෙන් පසු අතුරුදහන්වූ සහ ඝාතනයට ලක්වූ භික්ෂූන් පිළිබදව ආචාර්ය විලේගොඩ අරි‍යදේව හිමි භික්ෂු ක්‍රියාකාරිකයින් සමඟ 1990 මාර්තු මස කැළණි සරසවියේ පැවැත්වූ සාකච්ඡාවක්. වාව්වේ ධම්මරක්ඛිත හිමි(වර්තමානයේ පාලි සරසවියේ මහාචාර්ය),නාරංගොඩ සීවලී සහ කළුපහන පියරතන හිමි ඇතුළු කිහිප දෙනෙක් මෙහි වේ.

පුංචිබණ්ඩා බී. රත්නසිරි – මාතලේ: 84/85 මානව ශ්‍රාස්ත්‍ර පීඨය(ලග්ගල මහා විද්‍යාලයෙන් සරසවියට තේරූ ප්‍රථම සිසුවාය. ජවිපෙ මෙහෙයුමකට යමින් සිටියදී බෝම්බයක් සමගින් නාවුලදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවි‍පලේ වධකාගාරයේ තබා පසුව රත්තොට මුවන්දෙනිය පන්සල අසළ කපා කොටා වෙඩිතබා ඝාතනය කර වැළලූ 28 දෙනාගේ සමූහ මිනී වළේ ඔහුගේ සිරුරද  ඇත), කෑගල්ලේ වික්‍රමසිංහ:  83/84 විද්‍යා පීඨය, ශාන්ත- කෝට්ටේගොඩ : 84/85 විද්‍යා පීඨය, තිලක් ප්‍රසන්න : 85/86 මානව ශ්‍රාස්ත්‍ර පීඨය, ඊ.එම්. සෝමචන්ද්‍ර- එප්පාවල: සමාජ විද්‍යා පීඨයේ 83/84 කණ්ඩායමේ සාමාජිකයෙකි. එප්පාවල පදිංචිවූ අතර අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඝාතනය කර පුළුස්සා දමා තිබිණි.  ගාමිණී නවරත්ත- කුරුණෑගල හුණුපොල:83/84 සමාජ විද්‍යා පීඨය, සනත් හෙට්ටිආරච්චි – අම්පාර 82/83 සමාජ විද්‍යා පීඨය, අම්පාරේ චන්ද්‍රරේ-බණ්ඩාරවෙළ: 82/83 සමාජ විද්‍යා පීඨය, පල්ලියගුරු 84/85 මානව ශ්‍රාස්ත්‍ර පීඨය.

රන්සෑගොඩ ධම්මාලෝක හිමි : කැලණි සරසවියේ මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය ලැබූ ධම්මාලෝක හිමියන් 1989 පෙබරවාරි මස බසයෙන් ගමන් කරමින් සිටියදී කොට්ටවගම කැප්පෙටිපොල විද්‍යාලය අසළදී බස්සවා ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලදී පසුව නාකියදෙණිය තලංගහ හමුදා කඳවුරට ගෙන ගියේය. උන් වහන්සේගේ සිරුර 1989 පෙබරවාරි 21 ඝාතනයකර හිනිදුම කල්වාරි දේවස්ථානය අසලදී පුළුස්සා දමා තිබියදී හමුවිය, තංගල්ලේ ආනන්ද හිමි-85/86 මානව ශ්‍රාස්ත්‍ර පීඨය, ඕපල්ලේ ඥානසිරි හිමි-85/86 මානව ශ්‍රාස්ත්‍ර පීඨය, ගම්පහ පඤ්ඥානන්ද හිමි -86/87 මානව ශ්‍රාස්ත්‍ර පීඨයවලල්ලාවිට චන්ද්‍රසිරි හිමි – කළුතර: 85/86 මානව ශ්‍රාස්ත්‍ර පීඨය(නුගේගොඩ සුභද්‍රාරාමයේ මූලික අධ්‍යාපනය ලැබීය), ධම්මතිස්ස හිමි – 85/86 මානව ශ්‍රාස්ත්‍ර පීඨය, දිද්දෙණියේ සරණවංශ හිමි – 84/85 මානව ශ්‍රාස්ත්‍ර පීඨය, කඩුගන්නාවේ සීවලී හිමි – 83/84 මානව ශ්‍රාස්ත්‍ර පීඨය(පොල්ගොල්ලේදී ඝාතනයට පත්විය), සොරණාතොට සරණතිස්ස හිමි – 86/87 මානව ශ්‍රාස්ත්‍ර පීඨය, බදුල්ලේ ගුණසිරි හිමි – 83/84 මානව ශ්‍රාස්ත්‍ර පීඨය(බදුල්ලේදි පැහැරගෙන ගොස් හාලිඇල වධකාගාරයට ගෙනයෑමෙන් පසු ඝාතනයට ලක්විය) වේ.

ජවිපෙ 2වැනි කැරැල්ලේ අවසාන භාගයේදී සහ 1990 මුල්භාගයේදී යළි සරසවියට පැමිණි සිසුන් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනුනේ කැලණිය සරසවිය අවට ප්‍රදේශයේදීය. ප්‍රේමදාස ජනාධිපතිවූ පසු කැලණි සරසවි සිසුන් කිහිප දෙනෙකුට රැකියාවන් ලබාදුන් අතර ඔවුන් ආරක්ෂක හමුදා වාහනවල නැගී සිසුන් අත්අඩංගුවට ගැනීමට සහාය විය. ඒ අතර වන්නිනායක සහ ජයතිස්ස ඇතුළු පිරිසක් විය. කැරැල්ලේ පරාජයෙන් පසු කැලණි සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය යළි නගාසිටුවීමට පුරෝගාමි නායකත්වයක් ලබාදුන්නේ කළුපහන පියරතන හිමි ඇතුළු පිරිසකි. සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමටද, පලල් බුද්ධිමය සංවාදයකට මඟ පැදීමකට එය හේතුපාදක විය. ඇලපිලියාවේ ධම්මාරාම හිමි, විජිත බණ්ඩාර, කපිල වික්‍රමතිලක ඇතුළු කිහිප දෙනෙක්ම එම ක්‍රියාවලියට දායකවූහ.

කැලණි සරසවියෙන් සමුගත් සිසුහු නිදහස් අධ්‍යාපනය පමණක් වෙනුවෙන් නොව දේශය සහ ජනතාව වෙනුවෙන් සිය දේශපාලන භාවිතය විදහා පෑහ. ඉපදෙන සෑම මිනිසෙකුම මියයාම විශ්ව නියමයක් වුවද මිනිස් හදවත් තුළ සදාතනික මතක සටනක් තැබීමට සමත් වන්නෝ පුරාවෘතයක් වැනිය. ජනතාවගේ උස් පරමාර්ථ වෙනුවෙන් ඔවුහු සිය ජීවිත මුදාහලේ හෙට දවස යහපත් කිරීමේ පරාර්ථකාමිත්වයෙනි.  කැලණි සරසවියේ 1986/90සමයේ ඝාතනයට ලක්වූ සිසුන්ගේ ඔබ දන්නා ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර.දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected] (The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384) 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress