මහා සංඝ රත්නයේ ව්‍යවස්ථා යෝජනා රාජරත්න සභාගත කරයි
Posted on January 16th, 2016

මතුගම සෙනෙවිරුවන්

සිරිමාවෝ බණ්ඩාරනායක රජය නවසිය හැටේ සහ හැටපහ අතර කාලය තුළ ජනතාවට පිරිමහින ප්‍රගතිශීලී වැඩ කොටස් රාශියක් ඉටුකළහ. ඒ අතරින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත්වීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය  ක්‍රියාමාර්ග දියත් කිරීම ප්‍රධාන වේ.  මැතිණියගේ නායකත්වයෙන්  විශාල වැඩ කොටසක් ඉටු කෙරුණද ඇතැම් අනවශ්‍ය තීන්දු තීරණ නිසා රජය අප්‍රසාදයට පත් විය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කල යෝජනාවෙන් සිරිමා  රජය පරාජයට පත් වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ පණතට විරුද්ධව කේ.එම්.පී.රාජරත්න මහතා චන්දය භාවිතා කලේය.ඊට හේතුව ඔහු දැක්වූ ස්වාධීන මතයයි. 1965 මැතිවරණයෙන් රාජරත්න මහතා පරාජයට පත්වීමට ආසන්නම හේතුව එය නොවේ. ඔහු යටතේම දේශපාලනයේ අත් පොත් තැබූ පර්සි සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂය උදව් කිරීමයි.රාජරත්න මහතා නොකී කතාවකට මාධ්‍ය විසින් ප්‍රසිද්ධිය ලබා දීම නිසා ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම එ.ජා.ප යේ එක් පියවරක් විය. කෙසේ වෙතත් අළුතෙන් පත්වූ ඩඩ්ලි සේනානායක රජයේ හිත දිනාගෙන සිටි රාජරත්න මහතා නිසා වැලිමඩ සහ ඌව පරණගම සිටි ඔහුගේ හිතවතුන්ද එක්සත් ජාතික පක්ෂයට ළබැඳිව කටයුතු කළ බව රාජරත්න මහතාගේ සමීපතමයෙකු වන මුහන්දිරම්ලාගේ කළුබණ්ඩා මහතා පවසයි.රාජරත්න මහතා දේශපාලනයෙන් සමුගෙන අධිනීතිඥවරයෙකු ලෙසට කටයුතු කළ අවදිය දක්වාම ඔහු සෙවණැල්ලක් මෙන් සිටි හිතෛෂි වන්තයෙකි.

ජාතික විමුක්ති පෙරමුණෙන් තරඟ කළද  සිරිමා රජයේ මන්ත්‍රීවරයෙකු වූ රාජරත්න මහතා වැලිමඩ ආසනයට සරිලන සේවයක් කිරීමටද අමතක නොකලේය. තමා අධ්‍යාපනය ලැබූ පළමු විදුහල වූ දඹවින්න විදුහල වැලිමඩ මධ්‍යමහා විද්‍යාලය බොරලන්ද විදුහල දිග්ගහපිටිය විදුහල වැනි විද්‍යාල රාශියකටම අඩුපාඩුවක් වූ ගොඩනැගිලි පහසුකම් ඇති කර දීමට ඔහුට පිළිවන් විය. බණ්ඩාරවෙල ගුරු විදුහල ආරම්භ කරන ලද්දේ ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩු කාලයේදීය. ඒ සඳහා රාජරත්න මහතාගේ දායකත්වය ඉතා ඉහළින්ම විය.හැටේ දශකයට ප්‍රථම වැලිමඩ ප්‍රදේශය සාම්ප්‍රදායික ගොවිතැනින් යැපුණු ග්‍රාමීය පළාතක් විය. රාජරත්න මහතාගේ පියා වන ගංඇතිගේ අප්පුහාමි මහතා ඌව කොළතැන්න නමින් තේ කම්හලක් ආරම්භ කොට ඉංග්‍රීසීන් අභිබවා ගියේ මේ ආර්ථිකය වෙනස් කරන්නටයි.රාජරත්න මහතා මේ ඉඩම් ඇතැම් විට සිය හිතවතුන්ට බෙදා දුන්නේ නොමිලේ බව මුහන්දිරම් මහතා පවසයි. මැතිවරණ වලට වියදම් කිරීට ඇතැම් විට මේ ඉඩ කඩම් විකුණා දැමීය. වැලිමඩ ප්‍රදේශයේ අල වගාව නැන්වීමට රාජරත්න මහතා මුල් වූ බවද සාම්ප්‍රදායික ගොවියා ඉදිරියට ගෙන ඒමට කැපවූ බවද අද බොහෝ දෙනට අමතකය.ඔහුගෙන් ඉඩම් ලබාගෙන ගොවිතැනින් පොහොසත් වූ අය රාජරත්න මහතාට විරුද්ධව චන්දය භාවිතා  කලේ කළ ගුණ නොදත් පුද්ගලයනි මෙනි. ඒ පක්ෂ දේශපාලනයේ ස්වභාවයයි.

1970 වසරේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පත් වූ රාජරත්න මහතා එහිදී ඉදිරිපත් කළ අදහස් මගින් රට තුළ මෙන්ම රජය  තුළද විශේෂ වෙනසක් ඇති කරන්නට සමත් විය. ස්ත්‍රී දූෂකයන්ට සහ මිනී මරුවන්ට මැති සභයට පැමිණීමට හැකි වන පරිදි පනතක් සම්මත කිරීමට උත්සාහ දරද්දී එයට සහමුලින්ම විරුද්ධ වූයේ කේ.එම්.පී.රාජරත්න මහතාය. මේ එදා ඔහු කළ කතාවයි.

අප වෙත ඉදිරිපත් කරන ලද පළමු වැනි පණත ගෙනාවේ මීනීමරුවන්ටත් ස්ත්‍රී දූෂකයන්ටත් මැති සභයට එන්න පුලුවන් තත්ත්වයක් ඇති කිරීම සඳහාය. ඒ පණත ප්‍රගතිශීලී පණතකැයි යමෙක් කියනවානම් ඔහු පිස්සෙක් මුග්ධයෙක් බේබද්දෙක් වන්ට ඕනෑ. ඒ පණත තරම් මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මැති ඇමතිවරුන්ට චන්ද දායකයන්ට හා ඔවුන්ගේ බුද්ධියට අවමාන කළ පණතක් මේ රටේ ඉදිරිපත් වී නැහැ.1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරන  කල්හි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් පත් කරන ලදී. මේ මණ්ඩලයය විසින් ගෙනා යෝජනා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සම්මත විය යුතු විය. මෙහිදී රජරත්න මහතා කළ කතා මගින් පැහැදිලි කරන ලද්දේ ව්‍යවස්ථා සම්පදානය සඳහා භික්ෂූන් වන්සේලාට ද අයිතියක් තිබෙන බවයි. 1970 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී දිනමිණ පත්‍රයේ පළවූ වාර්තාවන් උපුටා දක්වමින් කතා කල රාජරත්න මහතා අස්ගිරි මල්වතු අමර පුර සහ රාමඤ්ඤ යන ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය විසින්  ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු යෝජනා ගැන පළ කරන ලද අදහස් රාශියක් සෙනට් මන්ත්‍රී මන්ඩලය ඉදිරියේ සභාගත කළේය.  1970 ඔක්කෝබර් මස 17 දාතම සහිතව එය සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ තිස් වන වෙළුමට ඇතුලත් කර තිබේ. එහිදී  අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගොඩමුන්නේ ධම්මා නන්ද මල්වතු විහාරයේ මහානායක අතිපූජ්‍ය මඩුගල්ලේ ධම්මසිද්ධි ප්‍රමුඛ කොට ගත් උභය විහාරීය මහා සංඝ රත්නය  විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතර තිබූ වටිනා අදහස් කීපයක් මෙසේ දැක්විය හැකිය.

1/ රජයේ ප්‍රධානියා සේනා සම්මත ජනාධිපති විය යුතුය.

2/ සිංහල බෞද්ධ රටක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති නිසාද බහුතර ජනතාව සිංහල බෞද්ධයන් වන නිසාද රටේ ප්‍රධනියා  බෞද්ධයෙක් ම විය යුතුය යන සම්මතය අවුරුදු දෙදහසකට වැඩි කලක පටන් පැවති නිසාද ජනාධිපතිවරයා සිංහල බෞද්ධයෙකු විය යුතුය.

3/ අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ද්විපයෙහි ජනතාවගේ සදාචාරය සභ්‍යත්වය සංස්කෘතිය සාහිත්‍යය කලාශිල්ප අධ්‍යාත්මික ගුණ වගාව යනාදිය සංවර්ධනය කිරීමේලා උපයෝගී වූ අසහාය බලවේගය බවට සිද්ධානත්ව පවත්නා බුද්ධ ශාසනයද එහි කටයුතුද සංඝයා වහන්සේලාද පූජනීය වස්තූ සහ විහාරස්ථනයන්ද වත් පිළිවෙත් පුද පූජා අඛණ්ඩව පැවැත්වීමට සලස්වා තිබෙන විධිවිධානයන්ද සිංහල රජ කාලයේ මෙන්ම අනාගතයෙහි ද ස්ථීරව පැවැත්වීමට සහ ආරක්ෂා කිරීමද මෙම රජය විසින් කළ යුතු වේ.

4/ ආගමික කටයුතු පිළිබඳව බුද්ධගමට සහ සංඝයා වහන්සේලාටද බෞද්ධයන්ටද අවුරුදු දහස් ගණනක් මුලුල්ලේ හිමිව තිබුණ විදේශීය පාලන යුගයෙහි නැතිවී ගිය සාධාරණ හිමි කම් වරප්‍රසාද හා විශේෂ සහනයන් මේ රජය විසින් තහවුරු කරනු ලැබේ.ඒ සඳහා අවශ්‍ය විධිවිදාන සැලැස්වීමේදී මේ රටේ පවත්නා ආගම් බුද්ධාගම හා සම තත්ත්වයෙන් නොසලකනු ලැබිය යුතුය.

5/ සංඝයා වහන්සේලාගේ විනය කර්ම චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර නිකාය පාලක සංඝ සභා නොහොත් පාලක මණ්ඩලය එහි අභ්‍යන්තර කටයුතු යන මේවා කෙරෙහි බලපානා අණ පණත් රෙගුලාසි ව්‍යවස්ථා ආඥා ව්‍යවස්ථාදායක මණ්ඩලය හෙවත් රජය විසින් නොපැනවිය යුතුය.

රාජරත්න මහතා විසින් සභාගත කළ අනෙක් යෝජනා අතර ශ්‍රීලංකා රාමඤ්ඤ නිකායේ කාරක  සංඝ සභා රැස්වීමේදී ගත් තීරණයක්ද විය.1970 /9/20 දිනමිණ පත්‍රයේ පළවූ එය යොජනා 11 කින් සමන්විත විය.එම යෝජනා සකස් කරන ලද්දේ රාමඤ්ඤ මහා නිකායේ මහා නායකව සිටි දීපේගොඩ චන්ද විමල හිමියන් සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේලා ගේ මූලිකත්වයෙනි. එම යොජනා අතරින් කීපයක් මෙසේය.

1/ ලංකාවේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය යුතුය. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව අභිනව ආණ්ඩුක්‍රම පනතින් ප්‍රකාශයට පත් විය යුතුය. ප්‍රජා පාලනය පිලිබඳ බෞද්ධ මූල ධර්ම පදනම් කොට අභිනව ආණ්ඩු ක්‍රම පණත සකස් විය යුතුය.

2/ ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති ධූරයද අග්‍රාමාතය  පදවියද සිංහල බෞද්ධයෙකු සතු විය යුතුය. අභිනව ජන රජය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ඒකීය පාලන ක්‍රමයක් විය යුතුය.

3/ 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය වැනි බුද්ධ ශාසනයද බෞද්ධ සංස්කෘතියට අයත් අංගෝපාංගයන්ද ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාවක් ආණ්ඩුක්‍රම පණතෙහි අතුලත් විය යුතුය.

4/ බෝ පත් සතර සහිත පැරණි සිංහ කොඩිය අභිනව ජනරජයේ කොඩිය විය යුතුය.

5/ නව ආණ්ඩුක්‍රම පනත යටතේ රාජ්‍යෝපදේශක මන්ඩලයක් පිහිටු විය යුතුය. අභිනව ජනරජය යටතේ ධර්මාමාත්‍ය පදවියක් ඇති කොට සියලු ආගමික කටයුතු ඒ හා සම්බන්ධ කටයුතුය.

6/ සිංහලයාට අයත් සාධාරණ තැන ලාබා දෙනු පිණිස තාවකාලිකව හෝ ජාතින්ගේ අනුපාතය අනුව පොදු අයිතිවාසිකම් බෙදී යන නීති රීති අභිනව ආණ්ඩුක්‍රම පනතෙහි ඇතුලත් විය යුතුය.

රාමඤ්ඤ නිකායට පසු අමරපුර නිකායට අයත් මහා සංඝරත්නය රැස්වී ආණ්ඩුක්‍රම මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාද සභාගත කෙරිණ. ඒ වායින් සමහරක් මෙසේය.

1/ බුද්ධාගම රාජ්‍ය ආගම කල යුතු අතර සිංහල භාෂාව නියම වශයෙන්ම රාජ්‍ය භාෂාව කළ යුතුය.

2/ පක්ෂ දේශපාලනය අහෝසි කළ යුතු අතර මහජන චන්දයෙන් තෝරා පත් කෙරෙන සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකු පත් කළ යුතුය.

ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට අමතරව රත්තොට ප්‍රාදේශිය මහා සංඝ සභාව  වයඹ පළාතේ ත්‍රෛනිකායික සංඝ සභාව   වැනි සංඝ සභාවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉතා වැදගත් යෝජනා කීපයක්ද රාජරත්න මහතා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සභා ගත කරන ලද්දේය. ඒ යෝජනා අතර ද ඉතා වැදගත් අදහස් රාශියක් විය. ඒ මෙසේය.

1/ තෙරුවන් සන්තක දේපළ අන්සතු වීම වළක්වන නීති රීති සකස් විය යුතුය.

2/තුන් නිකායේ පාලක මූලස්ථාන මගින් ඒ ඒ නිකායික භික්ෂූන් පිළිබඳව පොදු නීති මාලා ( කතිකාවත්) සම්පාදනය කරවා සම්මත කළ යුතුය.

3/ අලුත් ජන රජයට අනුශාසනා කිරීමට රාජ්‍යානුශාසනා උත්තරීතර මණ්ඩලයක් පිහිටවනු ලැබිය යුතුය.

4/ 1958 පනවන ලද කුඹුරු පනතින් සඟසතු දේපල වලට හානි වී ඇති හෙයින් එසේ නොවන පරිදි අඳ ගොවියාගෙන් ඒවා මුදා ගැනීම සඳහා නීති සම්පාදනය කල යුතුය.

5 / ජන රජය බෞද්ධ ප්‍රතිපත්ති පසුබිම් කොට ගත් බෞද්ධ රාජ්‍යයක් ලෙස පිහිටුවීමට කටයුතු කළ යුතුය.

මෙම යෝජනා සියල්ලේම සාරංශය වශයෙන් ගත් කල්හි ලංකාව බෞද්ධ රටක් බවට  නැවත පත් කිරීම මහා සංඝරත්නයේ මූලික අභිලාශයයි. රාජ්‍ය නායකයා බෞද්ධයෙකු වීමත් ප්‍රධාන භාෂාව සිංහල වීමත් කඩ කල නොහැකි කොන්දෙසි වේ. ඒකීය රාජ්‍ය සංකල්පයද මෙයට ඇතුළත් වේ.ත්‍රෛයිනිකායික මහා  සංඝ රත්නය තුළින් මතු වූ මේ යෝජනා පත්‍රවල පළ වූ නමුත් ආණ්ඩු ක්‍රම සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් වූ නමුත් එතරම් සැලකිල්ලකින් ඒ දෙස බැලීමක් එකළ නොවූ බව පෙනේ. නමුත් මේවා සභාගත කොට එයට පිළිගැනීමත් ලබා දී ඇත්තේ කේ.එම්. පී.රාජරත්න මහතා විසිනි. රෙජිනෝල්ඩ් පෙරේරා වැනි සෙනෙට් මන්ත්‍රී වරුන් මෙම යෝජනා වලට  කලේ කල අකලේ යයි සිනාසුණ ආකාරයද සෙනෙට් වාර්තා වල දක්වා තිබේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදනයේදී අතීත රජදරුවන්ගේ සිට භික්ෂූන් වහන්සේලා ගේ දායකත්වය සහ අනුශාසක්තවය ලැබුණු බව ප්‍රකට කිරීමට මෙම සභාගත කිරීම බෙහෙවින්ම වැදගත් වූ බව කිව යුතුය.වසර හතලිස් පහකට පසුව  වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයක් සිදු කිරීමට අර අඳී. කලින් සකස් කරන ලද කෙටුම්පතකට මහජන අදහස් එහෙන් මෙහෙන් ලබා ගෙන ආණ්ඩු ක්‍රම සම්පාදකයන්ගේ වුවමනාවන් සම්මත කර ගැනිම මෙහි අභිප්‍රායයි. මහානායක හිමිවරුන් ගෙන් විශේෂ යෝජනා ලබා ගැනීමක් මෙහිදී සිදු වන්නේ නැත. එම නිසා අතීත ආදර්ශයන් පදනම් කොට ගෙන   ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය යෙන්ම සිදු විය යුත්තේය. කේ.එම්.පී.රාජරත්න මහතා එදා සිදු කළ සභාගත කිරීමට වටිනාකමක් සහ ගෞරවයක් හිමිවන්නේ එවිටයි..

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “මහා සංඝ රත්නයේ ව්‍යවස්ථා යෝජනා රාජරත්න සභාගත කරයි”

  1. Christie Says:

    Leave religions alone.

    I miht be wrong but as far as I know Rajaratnawas anotherinhala leader who was funded by the Indian colonial parasites.

  2. Jag Says:

    Buddhism has become more important in today’s Sri Lankan society. Some people have forgotten the fact that it was ”Buddhism” that moulded our society throughout centuries. This is the time that Sinhala Buddhists get together without party politics and claim their rightful place in the country.

    As far as the common man knows, Hon. K.M.P. Rajaratne was a great exemplary Sinhala Buddhist leader who did not bow down to money or power. He did not make popular decisions to become popular but he followed his heart serving his people. This is the reason he chose not to affiliate with the main two parties that had people on foreign pay roll.

    Insulting this great man without knowing facts is an insult to all Singhalese Buddhists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress