ලොව වටා රෝහල් සහ වාට්ටු
Posted on January 20th, 2016

වෛද් රුවන් එම් ජයතුංග

යූක්‍රයීනයේ රෝහල් පිරිසිදුය​. නමුත් බටහිර ලෝකයේ රටවල රෝහල් මෙන් තරු පහේ දිලිසෙන ගතියක් නම් නොමැත​. අප විනිට්සා නගරයේ පිරගෝව් රෝහල් සංකීර්ණයේ සායනික පුහුණුව ලැබුවෙමු.

පිරගෝව් යනු ක්‍රිමියන් යුද්දය කාලයේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහුගේ සිරුරද බෙහෙත් ගල්වා විනිට්සා නගරයේ ඔහුට අයත් වූ විලාවක ප්‍රදර්ශනයට තබා තිබේ. මෙම විලාව හෙවත් සුවිසල් ගෘහය දැන් කෞතුකාගාරයකි.

පිරගෝව් රෝහල් සංකීර්ණයේ ප්‍රධාන වෛද්‍යවරුන්ට වඩා සැනිතාරිකාවන් හෙවත් රෝහල පිරිසිදුකරන්නියන් සැරය​. අප වෛද්‍ය මහාචාර්‍යවරුන්ටත් වඩා සැනිතාරිකාවන් ට බිය වූයෙමු. ඔවුන් ගේ කටවල් සැරය​. පාවහන් දමාගෙන හෝ හිස් වැසුම් සුදු වෛද්‍ය ඔවර්කෝට් නොමැතිව වාට්ටුවකට අඩිය තැබුවොත් සුනේසුන්‍ ය​. මේ රෝහල් වල පාවන් ගලවා තාපච්කි නමින් හඳුන්වන සෙරෙප්පු විශේශයක් දමාගෙන යා යුතුය​. මේ නීතිය කාටත් පොදුය​. සැනිතාරිකාවන් දිනකට තුන් වරක් පමණ රෝහල් වාට්ටු සෝදා පවිත්‍ර කරති.

hospitawardඑකදාස් නමසිය බර ගනන් වල ලංකාවේ ප්රධාන රෝහලක වාට්ටුවක්. කාලේ ඒවා පිරිසිදුය​. 

වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී නිවාඩු සමයක වරක් මම එංගලන්තයේ විටිංටන්  රෝහලට ගියෙමි. විටිංටන්  රෝහල සුපිරි හෝටලයක් මෙන් දිස් විය​. රෝහල් උපකරණ, ඇඳන් දිස්නය  ගෙන දෙයි.

මට ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි කොල්මරි ඔනීල් රෝහල මතක් වේ. වරක් විශේසඥ මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා සමගින් මම රෝහලේ චාරිකාවක නිරත වූයෙමි. වෛද්‍ය මහසෙන් ද සිල්වා මා දන්නා තරමට වියට්නාම් යුධ වෙතරානුවන්ට  ප්‍රතිකාර කරන එකම ලාංකික මනෝ වෛද්‍යවරයා විය යුතුය​. දහවල් ආහාරය සඳහා වෛද්‍ය මහසෙන් මාද රැගෙන කොල්මරි ඔනීල් රෝහලේ වෛද්‍යවරුන් ගේ කැෆටේ‍රියාවට ගියේය​. එය ගලධාරී හෝටලයේ බෆේ එක මෙන් විය​. විවිධ ආහාර වර්ග රෝහල් කැෆටේ‍රියාවේ තිබුණි. මම ඉතා ආශාවෙන් කැන්සාස් රිබ්ස් සහ මැකරෝනි අනුභව කලෙමි.

ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලේ කැෆටේ‍රියාවද මේ හා සමාන විය​. එකල මාගේ බොස් වූ මනෝ විද්‍යාඥ සුසන් රොජස් දිවා ආහාරය ගැනීම සඳහා මා කැටුව කැෆටේ‍රියාවට යන්නීය​. ඇය දිවා ආහාරය ලෙස තක්කාලි සුප් සමග  එළවළු බොහෝ ගණනකින් සමන්විත සැලඩ් එකක් පමණක් ගන්නා අතර මම පෙන්සිල්වේනියාවට ආවේනික ආහාර වර්ග වල රස බලමි.

වරක් මම ලොස් ඇන්ජලීස් වල ඔරේන්ජ් කවුන්ටිහි කුඩා රෝහලකට ගියෙමි. එහි පිරිසිදු සහ ක්‍රමවත් බව මගේ නෙත ගැටුණි.

ඕස්ටෙ‍්‍රලියාවේ බ්‍රිස්බර්න් හි Princess Alexandra රෝහල  ද යුරොපියානු සහ උතුරු ඇමරිකානු රෝහල් වලට නොදෙවෙනි වේ. පිරිසුදුකම මින් මුල් තැනක් ගනියි. රෝහලට එන මිනිසුන්ද එම පවිත්‍රතාව එලෙස තබා ගැනීමට උපකාරී වෙති.

ලංකාවේ රජයේ රෝහල් වල මට තිබූ මූලික ප්‍රශ්නය මැස්සන්‍ ය​. වරක් මාතලේ මූලික රෝහලේ මෝචරියේ එකල ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහ මිනියක් කපමින් සිටියේය​. රෝගියා අපේ වාට්ටුවේ නිසා මටද පශ්චාත් මරණයට සහභාගි වන ලෙසට නියෝග ලැබුණි. මමද වෛද්‍ය සිරිමල් ජයසිංහට මිනිය කැපීමට සහය වූයෙමි. රෝගියාගේ වකුගඩු වල සැරව පිරී තිබුණි. මැස්සෝ තොග ගනනේ අප වටා පියාසර කරමින් සිටියහ​. මාගේ විශාලතම බිය සහ පිළිකුල වූයේ ශීතකරණ නොමැති නිසා අඩක් කුණුවූ ඕජස් ගලන මෘත ශරීරයේ වසන මැස්සන් යළිත් මගේ කටේ හෝ තොල් මත වසයි ද යන්නයි.

රෝහල් වාට්ටුවල මැස්සන්ට ක්‍රමක් ක්‍රමයෙන් මම පුරුදු වූයෙමි. කළුබෝවිල රෝහලේ රෝහල් බිම ගිනි වතුර දමා සෝදන නිසා උදේ කාලයට මැස්සන් මඳක් අඩු විය​. නමුත් දහවල් වන විට මැස්සෝ වාට්ටු ආක්‍රමණය කරති. කළුබෝවිල රෝහලේ ශල්‍යාගාරයේ මැස්සන් සිටීම ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් මහතාට පෙනෙන්නට බැරිය​. ශල්‍යාගාරයේ මැස්සන් පියාඹන විට වෛද්‍ය  නයිල්ස් ශල්‍යකර්මය අතරමග නවතා මැස්සන් අල්ලයි. මෙය අපට විනෝද ජනක විය​. වෛද්‍ය  නයිල්ස්  මැස්සන් ඇල්ලීමේ රුසියෙකි. ඔහු සමහර විට උඩ පැන මැස්සන් ඇල්ලීය​.

කළුබෝවිල රෝහලේ ඒ කාලයේ (1993) බල්ලන් ගෙන් අඩුවක් ද නොවීය​. සමහර බල්ලන් වාට්ටුවලද ලැග සිටියහ​. එක් දිනක් මා රෝහලට යන විට බල්ලන් රෝහල තුල සෙම හලාගෙන වැටී සිටියහ​. මේ ගැන මම නේවාසික වෛද්‍ය අඹවත්ත ගෙන් ඇසුවෙමි. ඔහු මට කරුණු පැහැදිළි කලේය​. බල්ලන් මර්ධනයට බල්ලන්ට වස දමා තිබේ. බල්ලෝ උග්‍ර දුක් විඳ මිය ගියහ​. එය වේදනාකාරී දසුනක් විය​.

වරක් වැසි දිනයක මාතලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවට යන විට වාට්ටුවට යන මග අසුරාගෙන එළදෙනක් ලැග සිටියාය​. ඇය වටා ගොම තළි දක්නට ලැබුණි. මම ජහ ජහ කීවද එළදෙන යන්න්තම් මා දෙස බලා නිසලව වැතිර සිටියාය​. ඌ මාව ගනනකටවත් ගත්තේ නැත​. එම නිසා මා වෙනත් මගකින් තෙමීගෙන වාට්ටුවට ගියෙමි.

මීගමුව රෝහලේ වෛද්‍ය නිල නිවාසයේ සිට ශල්‍යාගාරයට යන කෙටිම මග තිබුනේ ළමා වාට්ටුවේ කොරිඩෝව හරහාය​. වැසිකිළියද  ඒ ලඟ තිබුනි. මව්වරු සමහරක් විට ළමුන්ට මළපහ කෙරෙව්වේ වැසිකිලියේ නොව මේ කොරොඩෝවේය​. උදෑසනම ශල්‍යාගාරයට යන අපට කක්කා බෙටි පෑගේ. ඒ මන් ද යත් කොරොඩෝවේ විදුළි බුබුළ යම් අයෙකු විසින් ගලවාගෙන තිබීම නිසාය​.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතගේ කාරුණික අනුග්‍රහයෙන්  කොරොඩෝවේ විදුළි බුබුළ යළි සවි කෙරුනද දවස් දෙක තුනකින් එය යළි අතුරුදහන් වේ. රාත්‍රියට රෝගින් බැලීමට යන අපිට චිරි චිරි හඞින් කක්කා පෑගේ. පාවහන් වලට පෑගුනු අසූචි ඉවත් කිරීමට අප රෝහලේ මැද මිදුලේ තිබෙන තණකොළ ගොල්ලට ගොස් තණකොළ වල පාවහන් අතුල්ලමු.

වරක් එක් වෛද්‍යවරයෙක්  අසූචි පෑගී ලෙස්සා වැටුණි. කරුමයට මෙන් ඔහු වැටී තිබුනේ දියරමය කක්කා ගොඩක් උඩටය​. අසූචි නෑවී සිටි ඔහු වාට්ටුවට යාම පසෙක තබා ත්‍රී රෝද රථයකින් ගෙදර ගියේය​.  ත්‍රී රෝද රියැදුරා රථය පදවන ලද්දේ එක අතකින් හැඞ්ල් එකද අනෙක් අතින් නාස් කුහර වසාගෙන බව පසුව අපට ආරංචි විය​.

ලංකාවේ රජයේ රෝහල් වල වැසිකිළි අපාය සිහි ගන්වයි. රාගම රෝහලේ නිර්වින්දනයට නියමිත රෝගීන් ශල්‍යකර්මයට පෙර හමුවී රෝග විස්තර ලබා ගන්නා ලෙස එකල මගේ බොසිය වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මැඩම් නීතියක් දමා තිබූ නිසා මම වාට්ටු වලට ගොස් රෝගීන් හමු වූයෙමි. වාට්ටු වල අවසාන ඇඳන් පේලියේ බොහෝ විට සිටින්නේ කන්ටැක්ස් නැති රෝගීන් ය​. (කන්ටැක්ස් ඇති රෝගීන් වාට්ටුවේ රෝගින් බලන මේසයට ලංව ඇති ඇඳන් වල සිටිති.ඔවුන් බොහෝ විට වෛද්‍යවරුන් ගේ හෙදියන් ගේ රෝහල් වල නිලධාරීන් ගේ ඥාතී හෝ දැන ඇඳුනුම්කම ඇති අය වෙති.  )

වාට්ටු වල අවසාන ඇඳන් පේලියේ   සිටින  කන්ටැක්ස් නැති රෝගීන් බොහෝ විට දුප්පත් ය​. එසේත් නැතහොත් ඇවිද ගැනීමට අපහසු ඇඳිවතේ මළ මුත්‍ර පහ කර ගන්නා රෝගීන් වෙති. ඔවුන් අසලට වෙද හෙද කාර්‍ය මණ්ඩලය යන්නේ බොහෝ විට වෝඩ් රවුන්ඩ්ස් වලදී පමණි.

වාට්ටු වල අවසාන ඇඳන් පේලිය වැසිකිලියට ආසන්න නිසා ඉතා හොඳින් මුත්‍රා අසූචී ගඳ දැනේ. එක් දිනක් හෙදියක් අවසාන ඇඳන් පේලියේ සිටි මහළු ලෙඩෙකුට බැන වැදුනාය​. ඒ පෙරදා රාතියේ ඔහු වැසිකිලියට නොගොස් ඇඳ උඩ සිට බිමට  මුත්‍රා කිරීම නිසාය​. ලංකාවේ රජයේ  වල මේ ආවේනික ගන්ධය ඇස් වසාගෙන මට දැන් වූවද මතකයට ගෙන ආ හැක​.  එය බෙහෙත් , කාර්බෝලික් , මුත්‍රා , අසූචි ගන්ධයන් ගේ සම්මිශ්‍රණයකි.

කැනඩාවේ නෝත් යෝක් ජෙනරල් , සෙන්ට් මයික්,  සනි බෘක් , මවුන්ට් සයනයි යන රෝහල් වලට මා ගොස් තිබේ. එම රෝහල් වල වැසිකිලි ඉතා පිරිසිදුය​. නියමිත කාල සටහනක් අනුව ඒවා පිරිසිදු කෙරේ. වැසිකිලි පිරිසිදු කරන්නන්ද ඉතා පිරිසිදුය​.

යම් දිනක ලංකාවේ රජයේ රෝහල් මේ මට්ටමට එනු ඇතැයි මා උදෙක් ම බලාපොරොත්තු වෙමි. මේ සඳහා හොඳ නායකත්වයක් සෞඛ්‍යය අංශ වලින් මෙන්ම රෝගීන් ගේ පාර්ශවයෙන් ද කැපවීමක් තිබිය යුතුය​. මෙය මුදල් හෝ සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ආකල්ප පිළිබඳ ප්‍රශ්නයකි.

මම එක් උදාහරණයක් පෙන්වා දෙමි. මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරන නිලධාරී ලෙස සේවය කල කාලයේ නිතරම මාදම්පේ රෝහලට ගියෙමි. එවකට මාදම්පේ රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා වූයේ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාය​. වෛද්‍ය ජයනාත් බුත්පිටිය එස් – 5 ක්‍රමය යොදාගෙන කුණු පිරී තිබූ මාදම්පේ රෝහල පිරිසිදු අලංකාර රෝහලක් බවට හැරවීය​. එම රෝහලේ කුණු තැනින් තැන දැමිය නොහැක​. වැසිකිළි පිරිසිදුය​. රෝහලට එන රෝගීන්ට රෝහල පිරිසිදුව තබා ගැනීමට නිබඳවම උපදෙස් දේ. මේ ක්‍රමය මගින් මාදම්පේ රෝහල ලංකාවේ රජයේ රෝහල් වල සාමාන්‍ය තත්වයෙන් මුදවාගෙන ලස්සන රෝහලක් කිරීමට වෛද්‍ය ජයනාත් බුත්පිටිය සමත් විය​.

වෛද් රුවන් එම් ජයතුංග 

3 Responses to “ලොව වටා රෝහල් සහ වාට්ටු”

  1. Dham Says:

    Not only hospitals, every place in Sri Lanka can be maintained to be clean and neat if there is a will.

    Not only physical cleanliness, whole of Sri Lanka can be cleared of corruption, nepotism and cowardliness can also be irradiated by leadership similar to that of Jayanath Buthpitiya.
    It only takes few months to see the results, whether that leadership has arrived.
    There is no need to give 2nd chance to any politician. It will be visible in few months. If not visible must kick out them regardless of previous good deeds or bad deeds.

    MR Palanaya is not that. Current “Yahapalanaya” is not that. These two Palanayas distorted the meaning of noble words “patriotism” and “good governance” and gave a totally opposite meaning to these words.

    We can’t dwell on “war” forever.
    We can’t dwell on MR’s faults forever.
    We can’t blame parties and politicians forever.
    We can’t blame on LTTE, Tamils, Muslims, Catholics forever.
    We can’t blame India, USA forever.
    It is out fault.

    We need a leader who stop this blame games and do some work.

    Where is that leadership ?

  2. aloy Says:

    If our students can go and get education in medical colleges of Ukraine and serve very well in our country why not the private SAITAM in SL. Dr. Ruwan is a shining example

  3. Christie Says:

    Let Malabe Private Medical School be given the opportunity to function as a Medical School. The canteen there is pretty good.
    By the way Hospitals were pretty clean up to the Sixties. The laborers werethe not educated, but now most of the laborers are tto much educated and are political appointments since our great 1956 revolution.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress