අධිකරණ ඇමතිට ශාසනය භාර දීමේ විද්‍යාත්මක හේතුව
Posted on January 21st, 2016

ලසන්ත වික්‍රමසිංහ යුතුකම සංවාද කවය www.yuthukama.com

නව රජය විසින් කැබිනට් මණ්ඩලය පත් කළේ ඔවුන් පවසන පරිදි විද්‍යාත්මක ක්‍රමයකටය. විජයදාස රාජපක්ෂ මහතාට අධිකරණ අමාත්‍ය ධූරයට අමතරව බුද්ධ ශාසන අමාත්‍ය ධූරයත් ලබා දුන් විට මා තුළ පසුබෑමක් හට ගත්තේය. ඒ රජය විසින් බුද්ධ ශාසන අමාත්‍යංශය ඉතාම විද්‍යානුකූල ලෙස ලබා දුන් බැවිනි. එකල එම විද්‍යාත්මක හේතුව මා හට දැනුනේ, එය එසේමදැයි යන කුකුසක්ද සමඟ බව කිව යුතුය. විජයදාසට අධිකරණ ඇමති ධූරය සමඟ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ලබා දීම අතිශය විද්‍යානුකූල බව දැන් මට වඩාත් පසක් වී ඇත.

ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා විජයදාස යම් දායකත්වයක් සපයනු ඇත. අවම වශයෙන් ව්‍යවස්ථාවට වන්නේ මොනවාදැයිවත් විජයදාස දැනුවත් වනු ඇත. ලංකාව ඒකීය රටක් විතු යුතු යැයි විජයදාස සිතන්නේ නැත. ලංකාව ෆෙඩරල් රටක් විය යුතු යැයි විජදාස සිතන්නේය. එනිසා මේ රජය විසින් ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා විජයදාස සම්බන්ධ කැරගැනුම විද්‍යාත්මකය.

නමුත් ඔහුට ඒ සමඟම බුද්ධ ශාසන අමාත්‍යාංශය භාර දෙන්නේ ඇයි? ඔහු බණ ටිකකුත් දන්නා නිසාද? නොඑසේනම් තමන් රහතන් වහන්සේ නමක් යැයි ප්‍රකාශ කරන සමන්තභද්‍ර හිමියන්ගේ ශ්‍රාවකයෙකු නිසාද?නැත. ඒ හේතූන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ලබා දීමට තරම් “විද්‍යාත්මක” නොවේ.

ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ විට මෙරට ගෞරවනීය භික්ෂුන් වහන්සේලා උන් වහන්සේලාගේ අතීත උරුමය සපථ කරමින් වහා ක්‍රියාත්මක විය. “මව්බිම අනතුරේ- මහ සඟරුවන පෙරමුණේ” මැයෙන් සත්‍ය ක්‍රියාවක් පසුගිය ජනවාරි අටවන දින එනම් සිරිසේන විසින් ඇති කළ වෙනසට වසරක් පිරෙන දින කොළඹ කොටුවේදී පැවැත්වීය. එහි සංවිධාන කටයුතු සිදු කරමින් පවතින අතර තුර ජනවාරි 6වන දින පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුරුවන්ගේ දුරකතනයට කතා කළ සිරිසේන තමන් හමුවන ලෙස ඉල්ලීමක් ක්ළේය. ක්‍රියාකාරී භික්ෂූන් වහසේලා කිහිප නමක් සමඟ උන් වහන්සේ පසුවදා සිරිසේන හමු විය. උන් වහන්සේලා ඉදිරිපත් කළ ගැටළු වලට බලාපොරොත්තු වූ පරිදිම සිරිසේනගෙන් කිසිදු නිශ්චිත පිළිතුරක් නොලැබින. මෙහිදී අපට වැදගත් වන්නේ මෙම හමු වීම නොව, භික්ෂූන් වහසේලා නියමිත වේලාවට කළ යුතු කාර්‍යය ඉටු කළ කල්හි පාලකයින් ඉන් තැතිගත් බවයි. මේ අවදි වීම නතර කර දැමුමට ඔවුනට වුවමනා වූ බවයි. එම සත්‍යග්‍රහය ඉතා සාර්ථක ලෙස කොළඹ කොටුවේදී පැවතුනි. ඉන් දින කිහිපයකට පසු රජය විසින් ථෙරවාදී භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ආණ්ඩුව මින් සැබෑ ලෙසම බලාපොරොත්තු වූයේ කුමක්ද? මාගේ අදහස නම් ආණ්ඩුවේ මූලිකම අභිප්‍රාය වූයේ එම පනතේ නමින්ම කියැවෙන පරිදි භික්ෂු විනය පිලිබඳ කතිකාවක් රට තුළ ඇති කිරීමයි. යමෙක් එහි ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ හැකිය. වරද ඇත්තේ අරමුණෙහි නොව, යටිඅරමුණෙහිය. රජයට මේ පනතට කුමක් සිදු වූවත් කම් නැති බව මගේ හැඟිමයි. ඔවුනට අවශ්‍ය අර ප්‍රධාන අත්‍යාවශ්‍ය සංවාදය වන ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ හැකිවන ලෙස, දෙමළ ජාතිවාදයට යටත් වූ ව්‍යවස්ථා වෙනස් කම් සහ රණ විරුවන් හිරේ දමා දෙමළ ජාතිවාදය පිනවන රජයේ පාහර ක්‍රියාවන් පිලිබඳ කතිකාවන් යට දමා රජයට කෙරුනත් කම් නැති නොකෙරුනත් කම් නැති පනතක් පිලිබඳ කතිකාවක් සංඝ සමාජය ප්‍රමුඛ මහා සමාජය තුළ ඇති කිරීමය.

පවතින ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රනිල් සහ සිරිසේන ගෙනෙන්නට යන නව ව්‍යවස්ථාට සැකසීමේ ක්‍රියාදාමයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවැසිය. සිරිසේනගේ විධායක බල මහිමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් මේ කුපාඩි යෝජනවාට අත උස්සවා ගැනීම ඔවුන්ගේ ආසන්නම ඉලක්කයයි. රට තුළ ඒ සඳහා විශාල විරෝධතාවක් විශේෂයෙන් සංඝයා වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් ඇති වී ජනතාව දැනුවත් වුවහොත් දේශපාලනික වශයෙන් අර කුපාඩින්ට අත එසවීම අපහසු කාර්යයක් බවට පත් වේ. සංඝයා වහන්සේලාට වෙනත් ගැටළුවක් ගැන සාකච්ඡා කරන්නට සැලැස්වීම ආණ්ඩුවේ මූලික උපායයි. එමඟින් අර ව්‍යවස්ථා කුපාඩිකම පිලිබඳ කතිකාව යට යවා ගත හැකිය. දාන මාන, පිංකම්, පිරිවෙන්වල උගැන්වීම්, සහ නොයෙකුත් ශාසනික සේවාවන් කරන අතරතුරය භික්ෂුන් වහන්සේලාට මෙවැනි දේශපාලන කාර්යයන් සඳහා අවදානය යොමු කළ හැක්කේ. උන්වහන්සේලාටම වෙසෙසින් බලපාන කතිකාවක් ඇති කිරීම තුලින් ආණ්ඩුවට සංඝයා වහසේලා ඒ කතිකාව තුළ සිර කළ හැකිය. රනිල් එජාපයේ මන්ත්‍රීන්ට ව්‍යවස්ථාව පිලිබද රූපවාහිනී සංවාදවලට නොයන ලෙස දැනුම් දීම නිසා බොහෝ රූපවාහිනී නාලිකාවලට සිය දේශපාලන වැඩසටහන්හි තේමාව ව්‍යවස්ථාවෙන් පිට යොදා ගන්නට සිදු විය. මින් පැහැදිලි වන්නේ රජයට අවශ්‍ය ව්‍යවස්ථා වැඩේ ගැන කතිකාවක් ඇති වීම වැලැක්වීම බවයි.

අධිකරණ ඇමතිට බුද්ධ ශාසනය භාර දෙන්නේ ව්‍යවස්ථාව හරහා රටට හතුරුකමක් කරන විට ඊට එරෙහිවන භික්ෂූන් වහන්සේලා උපක්‍රමික ලෙස පාලනය කළ හැකි ක්‍රමවේදයන් හා දින වකවානුන් ව්‍යවස්ථා කුපාඩි කටයුතු සමඟ මනා ලෙස ගලප්පවා ගැනුමටයි. මෙම ථෙරවාදී භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සැකසෙන්නට ඇත්තේ විජයදාසගේ මූලිකත්වයෙන් විය යුතුය. නමුත් එය ඔහු විසින්ම ඉදිරිපත් නොකිරීමට පරිස්සම් වේ. එය ජනමාධ්‍ය ඇමති විසින් ඉදිරිපත් කරයි. එය විද්‍යාත්මක නැති වුවත් විජයදාස විසින්ම එය ඉදිරිපත් කළහොත් ඉහත අප කී විද්‍යාත්මක හේතුව වඩා පැහැදිලි ලෙස එළියට පෙනෙතැයි සිතූ නිසා භික්ෂු විනය පනත අවිද්‍යාත්මක ලෙස ජනමාධ්‍ය ඇමති ගයන්ත ලව්වා ගෙන එන ලදී. ඒ නයින් ගත් කළ එයද විද්‍යාත්මකය.

රටේ උරුමය සහ සම්ප්‍රදාය නියෝජනය විය යුතු මූලික නීතිය වන ව්‍යවස්ථාව දෙමළ ජාතිවාදයට යට කරන්නට සැරසෙන විට ඊට එරෙහිව නැගී සිටීමේ උරුමය දරන ලාංකික භික්ෂුව උපායශීලී ලෙස පාලනය කිරීම සඳහා රජය විසින් ගණන් බලා ඇත්තේ ඇමති මණ්ඩලය පත් කරන විටදීම වීම මොවුන්ගේ සැලසුම්හි දිග පළල සහ භයානකකම හෙළිකරන්නකි.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress