පූජ්‍ය පක්ෂය පූජක පක්ෂය බවට පත් කරන කතිකාවත් පණත
Posted on January 23rd, 2016

මතුගම සෙනෙවිරුවන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා රජය මේ අවස්ථාවේ දී විශාල පරිශ්‍රමයක් යොදමින් සිටී. ජනතාවගේ අදහස් විමසීමද ආරම්භ කර ඇත. ඒ අතර ථේරවාදී භික්ෂු කතිකාවත් පණතක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 2010 වසරේ පමණ සිට සාකච්ඡා කරමින් පැවති මෙම කතිකාවත් පිළිබඳ නීතිය කඩිමුඩියේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ගෙනෙනු ලැබුවේ කුමකටද යන්න ප්‍රශ්ණයක් ලෙසට මතු වී ඇත.

ලංකාවේ භික්ෂූන් වහන්සේලා බහුතරයක් අතර නව ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව මතයක් නිර්මාණයව නොමැත. කාරක සංඝ සභාවල හෝ මේ සම්බන්ධව සාකච්ඡා කළ බවක් දැන ගන්නට නැත. නමුත් 1972 ජන රජ ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේ දී ඇති වූ උනන්දුව මත අස්ගිරි මල් වතු මහා විහාරයෙන්ද රාමඤ්ඤ අමරපුර ආදී නිකායන්වල මහා සංඝ රත්නයෙන්ද විවෘත සංදේශ කීපයක් ආණ්ඩු ක්‍රම යෝජනා වශයෙන් රජයට ඉදිරිපත් වුණි .එම යෝජනා 1970 වසරේ ඔක්තෝබර් මාසයේදී  සෙනෙට් මණ්ඩලය ඉදිරියේදී සභාගත කෙරුණි. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා නොයෙකුත් යෝජනා වරින් වර ඉදිරිපත් වී තිබේ.  බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභා වාර්තාව එසේම චන්ද්‍රිකා රජයේ ජනාධිපති කොමිෂන් වාර්තාව වැනි වාර්තා තුළ බුද්ධ ශසනයේ ප්‍රගමනය උදෙසා කල යුතු වැඩ කොටස් රාශියක් අන්තර්ගතව තිබුණි.කතිකාවත් බලාත්මක කීරීම සඳහා පියවර ගත යුතුයයිද සංඝාධිකරණයක් පිටහිටවිය යුතු යැයිද කියවෙන යෝජනා සාකච්ඡාවට බදුන් විය.එහෙත් වරින් වර පත්වන රජයයන් මේ යෝජනා ගැන සැලකිල්ලක් දැක්වීමට මැලි විය. නමුත් මුස්ලිම් ජනතාවට මෙන්ම දෙමළ ජනතාවට ආවේණික ඇතැම් සිරිත් පණත් මගින් සම්මත කර දීමටද ඔවුන් සඳහා උසාවි පිහිටුවීම සඳහාද නීති රීති සකස් කිරීමද සිදු වී තිබේ. එසේ තිබියදී කතිකාවත් පණතක් හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න සැකයට කරුණක් බවට පත් වී ඇත.එයට හේතුව මහාසංඝරත්නය අතර මෙම පණතේ අන්තර්ගතය ගැඹුරින් සාකච්ඡාවට ලක්ව නොතිබීමයි. බහුතරයක් භික්ෂූන් වහන්සේලා ගේ මතය වන්නේ ආණ්ඩුක්‍රම පණත කෙරෙහි ආධානය වෙනතකට යොමු කරලීමට මෙම පණත ගෙනා බවයි. දැනටමත් මේ කතිකාවත් පණතට විශාල විරෝධයක් එල්ල වී ඇත. මේ ප්‍රශ්ණය සම්බන්ධව භික්ෂූන් වහන්සේලා පවා දෙකට බෙදී ඇත. එය ශෝචනීය කරුණකි. මේ බෙදීම්  චෝදනා අතරේ ආණ්ඩු ක්‍රමයට මහජන අදහස් ගැනීමද අවසන් වනු ඇත. එවිට භික්ෂූන් වහන්සේලා ගේ නියෝජනය එයට නෙලැබී යයි. මෙම උපක්‍රමය රජයේ කූඨ අදහසක් බව නිසැකය.

භික්ෂූන් වහන්සේලා සම්බන්ධව අතීතයේ පටන්ම කරන ලද සැලකිල්ල ඉමහත්ය. පැරණි භික්ෂු සමාජයේ පවා වැරදි කරන භික්ෂූන් වහන්සේලා සිටියහ. ඒ තත්ත්වය පාලනය උදෙසා විනය නීති පනවා ගෙන තිබුණි. මේවා ඇතැම් ශිලා ලේඛණ වල ද සටහන්ව තිබේ. උදාහරණයක් වශයෙන් දහවන ශත වර්ෂයට අයත් පස්වන කසුප් රජුගේ අනුරාධපුර පුවරු ලිපිය දැක්විය හැකිය.එහි මෙම කාරණය සඳහන් වන්නේ මෙලෙසය.

නිකායෙහි සංඝයා හිඳ විසඳා නිම විය යුතු සංඝයා විසින් නොනිමවන කල්හි සම්දරුවන් හා රැස්ව විචාරා නිමවා පැමිණි පැමිණි සෙයින් දඬුවම් කරනු මැනවි. සංඝයා කැඳ හෝ බත් ආමර්ෂණය කොට කරන විවාදයක් ඇතොත් සම්දරුවන් යවා භික්ෂූන් සන්හුන් කොට හඹු ගන්වනු මිස බලහත්කාරයෙන් හඹු නොගැන්විය යුතු.

භික්ෂූන් වහන්සේලා අරභයා නීති රීති පැනවීමේ දී උන්වහන්සේලා රැස්ව හිඳ කතිකා කර නොගත හොත්  පමණක් රජයෙන් නීති පැනවීමේ වැදගත්කම මෙම සෙල් ලිපියේ අවධාරණය කර තිබේ. පෙර සිරිත එයයි. යම් විරෝධතාවයක් ඇතොත් බලයෙන් මෙන් රජයේ නීති රීති ක්‍රියාත්මක කිරීම මෙහිදී අත් හිටුවා තිබේ. නිකායෙහි ඇතුළත් නීති රීති අනුව මහා සංඝයා අරභයා විනය ක්‍රියාකිරීමේ බලය සංඝයාටම පවරා තිබීම බුද්ධ නීතියටද අනුකූලය.

නමුත් 1815 න් පසුව ලක්දිව නීති රීති රෝම ලන්දේසි නීති අනුවද ඉංග්‍රීසි නීතිය අනුවද පසුව මේ සියල්ලගේම සම්මිශ්‍රණයෙන් පොදු නීතියකින්ද හැසිරවීමේ ප්‍රතිඵලයක් වශයෙන් විනය නීති රීති ඒ ඒ නිකායන්ට අනුව ක්‍රියාත්මක කිරීමේ අපහසුවක් නිර්මාණයව ඇත. දැන් මේ පනවන්නට යන්නේ එම විනය නීති වලට යම් බලාත්මක බවක් ඇති කරදීමටයි. මුස්ලිම් වකුෆ් නීතිය 1931 වර්ෂයේදී ගෙනා පසු ඔවුන්ගේ රීති ඔවුන්ටම විසඳා ගන්නට ඉඩදී ඇත. ඒවා පසුව තවත් දුරට සංශෝධනය වී කාති උසාවි පවත්වා ගැනීම දක්වා වර්ධනව ඇත.දෙමළ සමූහයන්ට අයත් නීති රීති ද එසේමය. නමුත් බෞද්ධයා නියෝජනය කරන බුද්ධ ශාසනය මෙම ආගමික නිකායන්ට වඩා ඉහළින් තිබෙන බැවින් පණත් වල අවශ්‍යතාවයක් තිබේද යන්න ප්‍රශ්ණයක් වශයෙන් නැගේ. ඉංග්‍රීසි නීතිය මගින් කෙළ පැමිණි නීති විශාරදයන්  බුද්ධ ශාසනයට හිමි තැන වටහා ගන්නට හෝ එම වරප්‍රසාදය තහවුරු කරවන්නට හෝ සමත් ව්‍යවස්ථා නීතියක් ගැන මෙතෙක් සිතා බලා නැත. එසේ සිතුවා නම් මෙවැනි කතිකාවත් පණත් ගෙන එන්නේ නැත.මේ කතාකාව් පණත සම්මත වීමෙන් සුදු වන්නේ පූජ්‍ය පක්ෂය පූජක පක්ෂය බවට පත්කිරීමකි.එසේත් නැති නම් අන්‍යආගමිකයන්ට හිමි තැන සංඝයාවහන්සේලාටද ලබා දීමකි. නව බුද්ධ ශාසන ඇමති වරයාද නීතිඥයෙකි. ඔහුද සාම්ප්‍රදායික ලෙසට හිතන්නෙකු මිස එයින් පිට නිර්මාණ ශීලියෙකු ලෙසට කටයුතු කරන්නෙකු බව නොපෙනේ.එසේම ඔහුගේ ආධිපත්‍ය මගින් මහා විහාරය තුළින් එන අදහස් යටපත් කරවා තිබේ. මහා විහාරයේ නඩු වලට පෙනී සිටින නීතිඥයෙක් වශයෙන් මහා සංඝ රත්නය ඔහු කෙරේ තැබූ විශ්වාසය අයුතු ලෙස දේශපාලනිකව යොදා ගැනීම බරපතල ඛේදවාදකයකි.

වත්මන් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය වෙන්ව තිබෙන්නේ බුද්ධාගම ගැන දැක්වීමටයි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේය. එය සුරක්ෂිත කොට පෝෂණය කරන්නේය යනුවෙන් පමණක් එහි දක්වා තිබේ. මේ වගන්තියෙන් පමණක් බුද්ධ ශාසනය සුරැකෙන්නේ නැත. ඒ වෙනුවට බැහැරින් අණ පණත් සම්මත කර ගැනීමට සිදුව තිබෙන්නේ ආණ්ඩු ක්‍රම නීතියේ එම අඩුව ඇති නිසාය. එම නිසා කළ යුත්තේ නවවන වගන්තියට බුද්ධ ශාසනයේ අර්ථ නිරූපණයත් එසේම විනය නීති ඇතුලත් පෙර සිරිතත් ඇතුළත් කිරිමයි. නීතිය ඉදිරියේ පළමු වන ලියවිල්ල ආණ්ඩුක්‍රම නීතියයි. දෙවැන්න පෙර වාර්තාගත නීතියයි. තෙවැන්න සමත් විනිසුරුවන් විසින් දුන් තීන්දු තීරණයි. සතර වැන්න සිරිත් නීතියයි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල ගැන්වීම මෙහිදී ප්‍රධාන වේ.එම ශක්තිමත් කිරීම  තුළ ඒ ඒ නිකායන්ට තිබෙන විනය නීති පණවා ගන්නටද ක්‍රියාත්මක කරන්නටද එයින් බලය ලැබේ. එහිදී ගිහියන් විසින් මැදිහත්ව දඬුවම් පැමිණවීමක් සිදු නොවේ. භික්ෂූන් විසින් විනය විචාරාගත් තීරණය රජය විසින් අනුමත කිරීම පමණක් එහිදී සිදු වේ. එවිට වරද කරුවන් බවට පත් වූ භික්ෂූන් වහන්සේලාට එයට විරෝධය පා විවෘත අධිකරණය ඉදිරියට යෑමට නොහැකිය. මෙම ක්‍රියාදාමය තව දුරටත් ශක්තිමත් කිරීම උදෙසා සංඝාධිකරණයක් පමණක් අවශ්‍ය බවද මෙහිදී කිව යුතුය.

මේ සරල සංසිද්දීය බොහෝ දෙනෙකුට නොතේරෙන්නේ ඔවුන් වෙලා තිබෙන විදේශ ගැති මානසික තත්ත්වය නිසාවෙනි. එසේත් නැතහොත් ඉංග්‍රීසි නීතියට ඇති වහල් බව හේතු වෙනි. මේ වහල් අන්ධකාරය නිමවා බුද්ධ ශාසනයට අලුත් ආලෝකයක් ලබා ගන්නට නම් නව ආණ්ඩු ක්‍රම නීතියට අනු වගන්ති කීපයක් එකතු කොට අර්ථ නිරූපණය කළ යුතුය. මේ සංශෝධන කළ යුතු බවට රජයට බල කළ යුතු වන්නේය.ඒ සඳහා බේදයකින් තොරව සංඝ සමාජය එකතු විය යුතුය. රජයේ කපටි උපක්‍රමයන්ට රැවටීම මගින් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් අනතුරේ වැටෙන බව සිහි තබා ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress