වියට්නාම් සින්ඩ්‍රෝමය සියැසින් දුටුවෙමි
Posted on February 2nd, 2016

වෛද් රුවන් එම් ජයතුංග

වියට්නාම් යුද්දයට සම්බන්ධ වූ අැමරිකානු  සොල්දාදුවන් බොහෝ දෙනෙකු මානසික අසමතුලිතතාවයෙන් පෙලෙති. ඔවුන් අතර විශාදය , මත්ද්‍රව්‍ය භාවිතය, පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව , දිවි නසාගැනීමට තිබෙන යොමුව ඉහලය​. වියට්නාම් යුද්දය අවසන්වී දශක ගනනාවක් ගතවූවද වියට්නාම් යුද සින්ඩ්‍රෝමය අවසන් වී නොමැත​. මේ නිසා වියට්නාම් යුද්දයට සම්බන්ධ වූ වෙතරානුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙනම රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන තිබේ.

වියට්නාම් යුද්දයට  ගිය අැමරිකානු සොල්දාදුවන් ගේ ප්‍රතිකාරයන් සබැඳිව වැඩ කිරීමට මට හැකි විය​. එම මගේ වෘත්තීය දිවියේ විශේෂ අත්දැකීමකි. මුලින්ම මා නිරීක්‍ෂකයෙකු ලෙස කැන්සාස් හි කොල්මරි ඔනීල් වෙතරානු රෝහලේ වියට්නාම් යුද්දයට සම්බන්ධ වූ අැමරිකානු සොල්දාදුවන්ට සිදු කෙරෙන මනෝ ප්‍රතිකාර වලට සහභාගි වූයෙමි.

මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා කොල්මරි ඔනීල් වෙතරානු රෝහලේ වියට්නාම් වෙතරානුවන්ට ප්‍රතිකාර කරන ලාංකික  වෛද්‍යවරයෙකි. මෙම රෝහලේ විවිධ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම භාවිතා කෙරේ.

vietnamsyndrome

කෝට්ස්විල් ප්රතිකාර මධ්යස්ථානයේ මට හමුවූ හිටපු වියට්නාම් සොල්දාදුවෙක් 

වයස අවුරුදු 18 දී වියට්නාම් යුද්දයට ගිය ඩිලන් කැන්සාස් හි ෆාම් බෝයි හෙවත් ගොවිපළක හැදී වැඩුනු කොකේසියානුවෙකි. ඔහු කැන්සාස් වලින් පිටතට අඩිය තබා නැත​. මුලින්ම පිට රටකට ගියේ වියට්නාමයටය​. බෘස් ස්ප්‍රිංටීන් කීවාක් මෙන් ඒ කහ මිනිසා මරා දැමීමටය​.

වියට්නාමයට ගිය ඩිලන් යුද්දයේ කැත යථාර්ථය සියැසින් දුටුවේය​. සොල්දාදුවන් නිරායුධ ගම් වැසියන් මරා දමනු ඔහු දුටුවේය​. එසේම මිනිසුන් වද බන්ධනයට ලක් කිරීම, ස්ත්‍රී දූෂණ යුද්දයේ නාමයෙන් කෙරෙනු ඔහු අත් දුටුවේය​.

වියට්නාමයට ගිය ඩිලන් යළි ඇමරිකාවට ආවේ වෙනත් මිනිසෙකු ලෙසටය​.  ගොවිපළක හැදී වැඩුනු ගොපළු කොල්ලාගේ අහිංසකත්වය මරාගෙන වෙනත් පෞරුෂයක් ඔහු තුලින් ගොඩ නැගෙමින් තිබුණි. ඩිලන්ට ගොවිපලේ වැඩ කිරීමට හෝ රැකියාවකට යාමට උනන්දුවක් නොවීය​. බලාගත් අත බලාගෙන ඔහු කාලය ගත කලේය​. ඔහුගේ මනෝ ලෝකයට බාධා වන විට ඔහු අතිශයින් කිපුනේය​. ගෙදර බඩු භාණ්ඩ පොලවේ ගැසීය​. දෙමාපියන්ට පරුෂ වචනයෙන් බැන වැදුනේය​. සවස් කාලයේ තැබෑරුමට ගොස් සිහිසන් වන තෙක් විස්කි බීවේය​. මිනිසුන් සමග දබර කර ගත්තේය​. පලාතේ ශෙරීෆ්වරයා සාමය කඩ වන අයුරින් ක්‍රියා කිරීම නිසා ඩිලන්ව කිහිප වතාවක් අත් අඩංගුවට ගෙන තිබුණි. වරක් පියාගේ රයිෆලයෙන් වෙඩි තබාගෙන මිය යාමට ඔහු තැත් කලේය​.

1975 වසරේ වියට්නාම් යුද්දය අවසන් වූවද එම යුද්දය ඩිලන් ගේ මනස තුලින් තවමත් අවසන් වී නැත​. ඔහු වසර තිහකට අධික කාලයක් මනස් යුද්දයක යෙදී සිටියි. මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා සහ මා ඉදිරියේ ඩිලන් හිස් බැල්මකින් යුතුව වාඩිවී සිටියි.

මම ඔහුව නිරීක්‍ෂණය කරමි. ඩෙනිම් රෙද්දෙන් මැසූ ඔහුගේ කලිසමත් උඩ ජැකට්ටුවත් මගේ නිරීක්‍ෂනයට ලක්වේ. මට ඔහු සිහි ගැන්වෙන්නේ මහළු වයසට පා තබන ලද කෙනී රොජස් කෙනෙකු මෙනි. එහෙත් මේ කෙනී රොජස් කම්බැට් පී.ටී.එස්.ඩී හෙවත් සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලේ.

තමාගේ නියමිත ඖෂධ  ප්‍රලේඛණය මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා අතින් ලබා ගන්නා ඩිලන් “තැංක්‍ යූ ඩොක් “කියා කාමරයෙන් ඉවතට යයි.

” මොකක් ද ඔහු ගැන සිතන්නේ ” මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා මගෙන් අසයි.

” ඔහුට ඊ.එම්.ඩී.ආර් ප්‍රතිකාරය බොහෝ විට උපකාරී වේ කියා සිතමි ” මම පිළිතුරු දෙමි.

නවීනතම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වන ඊ.එම්.ඩී.ආර් ප්‍රතිකාරය ඒ වන විට අැමරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් ද පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට පිළිගෙන තිබිණි.   ( Eye Movement Desensitization and Reprocessing (EMDR) therapy is an integrative psychotherapy approach that has been extensively researched and proven effective for the treatment of trauma. EMDR is a set of standardized protocols that incorporates elements from many different treatment approaches. To date, EMDR therapy has helped millions of people of all ages relieve many types of psychological stress.)

“අපි ඔහුව ටෙරීට යොමු කරමු ” වෛද්‍ය මහසෙන් කියයි.

ටෙරී ද වියට්නාම් යුද්දයට ගිය හිටපු සොල්දාදුවෙකි. ඔහු කොල්මරි ඔනීල් වෙතරානු රෝහලේ මනෝ චිකිත්සකයෙකි. එසේම ඊ.එම්.ඩී.ආර් ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ පුහුණුව ලබා තිබේ.

ඊ.එම්.ඩී.ආර් ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීම සඳහා මම ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලට ගියෙමි. ඇමරිකාවේ ප්‍රකට මනෝ විද්‍යාඥවරියක වන සුසන් රොජර්ස් යටතේ මට පුහුණු වීමට නියමිතය​. විදුහල්පතිනිය වෙත යන සිසුවෙකු සේ මා ඇයගේ කාර්‍යාලයට ගියෙමි.

“ඔබ ගැන ආචාර්‍ය ෆ්‍රරැන්සින් ශැපිරෝ දිග ඊමේල් එකක් එවා තිබුණා ” සුසන් රොජර්ස් මිත්‍රශීලී හඞකින් මට පවසන්නීය​.

ආචාර්‍ය ෆ්‍රරැන්සින් ශැපිරෝ ඊ.එම්.ඩී.ආර් ප්‍රතිකාර ක්‍රමය සොයා ගත් විද්වත්වරියයි. ඇය නූතන සිග්මන් ෆ්‍රොයිඩ්‍ ය​. ෆිලඩෙල්ෆියාවේදී මගේ ආහාර සහ නවාතැන් සඳහා ආචාර්‍ය ෆ්‍රරැන්සින් ශැපිරෝ චෙක්පතක් එවා තිබේ. එය සුසන් රොජර්ස්  මගේ අතට දෙන්නීය​. මම සැනසුම් සුසුමක් හෙලමි. ආහාර සහ නවාතැන් මිනිසෙකුගේ මූලික අවශ්‍යතා වෙති. එහෙත් ඇමරිකාවේ මේ අවශ්‍යතා වියදම් සහිතය​.

“ඔබ අපගේ ප්‍රතිකාර කණ්ඩායමේ කෙනෙකු ලෙසට වැඩ කිරීමේ අවසර මම රෝහලෙන් ලබා ගත්තා හෙට උදේ නවයට අප ඔබව බලාපොරොත්තු වෙනවා ” ඇය වැඩිදුරටත් කීවාය​.

වියට්නාම් වෙතරානුවන් සඳහා  ඊ.එම්.ඩී.ආර් ප්‍රතිකාර ක්‍රමය යොදා ගැනීමට , ඔවුන් ගේ කණ්ඩායම් ප්‍රතිකාර සඳහා සහභාගි වීමට මනෝ විද්‍යාඥ  සුසන් රොජර්ස් ගේ ආවරණය යටතේ මට අවකාශය ලැබුණි.

ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලේදී වියට්නාම් යුද වෙතරානුවෙකු වූ හර්බර්ට් ජේක් මට මුණ ගැසුනි. ඔහුගේ කතාව මම ඔහු මට කී ආකාරයටම ලියමි.

” වියට්නාමයට යන විට මගේ වයස අවුරුදු 18 කි. සුදු ඇමරිකානුවන් වූ අප ලෝකයේ උසස්ම ජාතිය ලෙස සිතුවෙමු. අපගේ රට බලවත් ය​. පොහොසත් ය එම නිසා අප විශේෂ ජන කණ්ඩායමකි යන හැඟීම අප තුල විය​.

වියට්නාමයට ගිය අප වියට්නාම් වැසියන් දුටුවේ උප මනුෂ්‍ය කොට්ටාශයක් ලෙසටය​. එම නිසා ඔවුන් ගේ ජීවිත පිළිබඳ සහ කම්පනීය අවබෝධයක් අප තුල නොවීය​.  වියට්නාමයේදී මම රේඩියෝ ඔපරේටර්වරයෙකු වූයෙමි. එම කාලයේදී රේඩියෝ පණිවිඩ යවා ගුවන් යානා මගින් වියට්නාම් ගම්මාන වලට මම නේපාම් ගිනි බෝම්බ හෙළුවෙමි. ගම්මාන පිටින් දැවී අළුවී යනු මම සියැසින් දැක තිබේ. මගේ දෙනෙත් ඉදිරියේ මිනිසුන් කාන්තාවන් ළදරුවන් පිලිස්සී කරවී යනු මම දුටුවෙමි. එහෙත් මට ප්ශ්චාත්තාපයක් නොවීය​. කහ මිනිසා උප මිනිස් කොටසක් බව මම සිතුවෙමි. අප ඔවුන් හැඳින්වූයේ ගුක්ස් යන වර්ගවාදී පදයෙනි.

යළි ඇමරිකාවට පැමිනි මම වෙලඳ ඒජන්තවරයෙකු ලෙස සේවය කලෙමි.  මම හොඳින් ජීවත් වූයෙමි. නමුත් ක්‍රම ක්‍රමයෙන් මා මහළු වන විට මගේ මනස ඉදිරියේ වියට්නාම් සිදුවීම් දර්ශනය වන්නට පටන් ගත්තේය​. මට නේපාම් සුවඳ දැනුනි.

ඔබ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපලාගේ ඇපකොලිප්ස් නව් චිත්‍රපට බලා තිබේද ? එහි කර්නල් බිල් කිල්ගෝරේ මෙසේ පවසන්නේය​.

උදෑසන අවදි වන විට මට නේපාම් සුවඳ දැනේ. එම සුවඳට මම ප්‍රිය කරමි. එම සුවඳ ජයග්‍රහනයේ සුවඳයි. එහෙත් කර්නල් බිල් කිල්ගෝරේ වැරදිය​. නේපාම් සුවඳ මට පරාජයේ සුවඳක් විය​. එය මගේ ආත්මය දවන්නා වූ සුවඳ විය​.

මම ජීවිතයේ හැටවන කඩයිම පසු කොට තිබේ. දැන් මම සීයා කෙනෙකි. මගේ කුඩා මුනපුරන් ගේ මුහුණු දකින විට මෙවැනි කුඩා ජීවිත කී දාහක් මම වියට්නාමයේදී විනාශ කලේද යන්න මට සිහිපත් වේ. එවිට මට දැඩි කණගාුවක් සහ පශ්චාත්තාපයක් දැනේ. මිනිස් ජීවිතයක් යනු ආදරයෙන් සහ ගෞරවයෙන් සැලකිය යුතු වස්තුවක් බව දැන් මට වැටහේ.

හිටපු ලාන්ස් කෝප්‍රල් (ඇමරිකානු හමුදාව ) හර්බට් ජේක් පශ්චාත් යුද විශාදයෙන් පෙලේ. ඔහු ඊ.එම්.ඩී.ආර් ප්‍රතිකාර ක්‍රමයෙන් බොහෝ සුව ලැබුවේය​.

හිටපු සොල්දාදුවෙකු වන එඩී කළු ඇමරිකානුවෙකි. හෙතෙම මෙසේ කියයි.

“කළු සොල්දාදුවන් ලෙස අප සුදු සොල්දාදුවන් සමග පොදු සතුරෙකුට ( වියට්කොං ගරිල්ලන්ට) විරුද්ධව සටන් කලද සමහර සුදු සොල්දාදුවෝ සහ නිලධාරීන් අපට නිගර් යන පදයෙන් අපහාස කොට අපව වාර්ගික ප්‍රභේධකරණයකට ලක් කලහ​. එම නිසා වියට්නාමයේදී අප සතුරු පෙරමුණු දෙකකට එනම් වියට්කොං ගරිල්ලන්ට සහ වර්ගවාදයට එරෙහිව සටන් කලෙමු. එහෙත් අපගේ සොහොයුරන් බොහෝ දෙනෙකු මේ සතුරන් හමුවේදී පැරදී විනාශව ගියහ​.

වියට්නාම් යුද්දයේදී මම සී සී කඩ පුපුරා ගිය මිනිස් අවයව කොටස් ඉටි බෑග් වලට අඩුක් කලෙමි. මිය යන තරුණ සොල්දාදුවන් දුටුවෙමි. වියට්නාමයේදී මම නිරය දුටුවෙමි.

යුද්දයේදී මම ජීවිතය බේරගත්තද මට සතුටක් නොවීය​. මම විස්කි ; කොකේන් ; මරිජුවානා හරහා සතුට සෙව්වෙමි. රාතී නින්දේදී මට හෙලිකොප්ටවල අවර පෙති හඞ ඇසේ. සොල්දාදුවන් ගේ විලාප හඞත් සමග මම ඇහැරෙමි. මගේ ජීවිතය දැන් ගතවන්නේ වෙතරානු රෝහල් මධ්‍යස්ථාන වලය​. මට නිවසක් නැත​. මම මහ මාර්ග වල ඉබාගාතේ යමි. වසර අටක් පෙන්සිල්වේනියාවේ නරකතම සිරගෙවල් වල ගත කලෙමි. වියට්නාමය මගේ ජීවිතය විනාශ කලේය​”

වියට්නාම් වෙතරානුවන් ගේ කතා වලට සවන් දෙන මට ලංකාවේ මා විසින් ප්‍රතිකාර කල සොල්දාදුවන් මතක් වේ. විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ගොදුරු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන්ට ඖෂධ සහ මනෝ ප්‍රතිකාර කලෙමි. සමහර වෛද්‍යවරු මෙන්ම යුද හමුදාවේ ඉහල නිලධාරීන් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් තුල තිබේ යන්න පවා පිළි ගැනීමට මැළි වූහ​. ඔවුන්ට අනුව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ඇමරිකානු රෝගයකි. එහෙත් යථාර්ථය ඔවුන් ගේ මුළාසියට සමපාත නොවීය​.

සොල්දාදුවන් යුද පෙරමුනේ දිවි නසා ගන්නා විට , තම ඒකකයේ වෙනත් සොල්දාදුවන්ට , නිලධාරීන්ට වෙඩි තබා මරා දමන විට, නිවාඩුවට නිවසට ආ විට අමානුශිකව බිරිඳට ළමුන්ට පහර දෙන විට, හමුදාව අතහැර පළා යන විට , හමුදාව අතහැර පළා ගිය කොටස් මිනී මරන විට , මංකොල්ල කන විට , ආමි ජිනේලා , ආමි මධුරලා , සන් බබාලා ,ආයුද සහිතව සමාජයේ සැරිසරන විට ඔවුන් තම සිහිනෙන් අවදි වී අප කරා ආහ​. ඒ වන විට සමාජයට බොහෝ හාණි වී තිබුණි.

වියට්නාම් සින්ඩ්‍රෝමය ඇමරිකා එක්සත් ජනපදයට බලපෑ ලෙස අපගේ තිස් අවුරුදු ඊලාම් යුද්දය විසින් ජනිත කල පලාලි සින්ඩ්‍රෝමයේ දුර්විපාක අපගේ හිටපු සොල්දාදුවන්ට බල පවත්ත්වනු ඇත​. ඔවුන් ගේ මානසික  සුවය ප්‍රවර්ධනය,   පුනරුත්ථාපනය   වෙනුවෙන් අපගේ සෞඛ්‍ය සේවා සූදානම් ද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress