අතීතය සිහිකොට වර්තමානය පසක් කර ගනිමු!
Posted on February 6th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

සිංහලයාට පැය 24න් අතීතය අමතක වේ යැයි කීවේ වේලුපිල්ලේ පිරබාහරන්ය. ඔහුගේ ක්‍රියාකලාපය කෙසේ වෙතත් ඒ කතාවටනම් ගෞරව පුද කල යුතුය.

68 වන නිදහස සමරන මේ මොහොතේ විද්යුත් හා අනිකුත් මාධ්‍ය තුලිනුත් සමහරුන් කීවේ දැන් සුදු වෑන්වලින්පැහැර ගැනීම් නැති බවය. ජනමාධ්‍යවේදීන්ට හිරිහැර නැති බවය. දෙමල හෝ මුස්ලිම් ජාතිකයෙකුට නිදහසේ ඕනෑ තැනක යා හැකි බවය. දැන් නිදහස අගයන ගාන්ධි යුගයේ අනුගාමිකයන් පාලකයන් වශයෙන් අපට ලැබී ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ එකම එක ඒකාධිපති පාලකයා මහින්ද රාජපක්ෂය. අප ඔහුගෙන් නිදහස් වීමු. දැන් කිසි බියක් නැත. අපට ඉදිරියේදී කල්පවෘක්ෂය පහල වනු ඇත.

එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායකයන් එජාපයෙන් ඉවත්වී ශ්‍රීලනිප ය පිහිටුවා සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයන් ඒ වටා ගොනුකර අනිකුත් වාමාංශික පක්ෂ වලද සහාය ඇතිව පීඩිත පංතියේ ජනතාවට රැකවරනය දෙන මහාබලවේගයක් රටතුල නිර්මානය කලේය. එවකට ලෝක දේශපාලන තත්වයත් රටතුල  පැවති වාතාවරනයත් සැලකිල්ලට ගනිමින් සිංහල භාෂාවත් බෞද්ධාගමත් ආරක්ෂාකර ගැනීම පරම අරමුන විය. එතුමන්ගේ හදිසි අභාවයෙන් පසුව පක්ෂ නායකත්වයට පැමිනි සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය 1970 සමගි පෙරමුන ආණ්ඩුව පිහිටුවා කල කාර්යභාරය ඓතිහාසිකය. ආචාර්ය එන්. එම්. පෙරේරා කොල්වින් ආර් ඩි සිල්වා හෙක්ටර් කොබ්බෑකඩුව මෛත්‍රීපාල සේනානායක  වැනි වියතුන් ගෙන් සමන්විතවූ ඇමති මන්ඩලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කැපී පෙනෙන අද්විතීය කාර්යභාරයක් සිදුකලේය. අධිරාජ්‍යවාදයේ අවසන් බැමි වලින් මිදී නිදහස් නිවහල් ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්වුයේ 1972 දීය. බ්‍රිතාන්‍ය වැවිලි සමාගම් ජනසතු කරන ලද අතර ඉඩම් අයිතිය අක්කර 50 ට සීමාකර ඉතිරිය ඉඩම් අහිමි ග්‍රාමීය දුප්පත් ජනයා අතර බෙදාදෙන ලදී. 1973 වසරේ ලෝක ආහාර අර්බුදයට හා ලෝක වෙලඳපලේ තෙල් මිළ ඉහලයාම ට මුහුනදීම සඳහා රටපුරා ගෙනගිය වගා සංග්‍රාමය මගින් අස්සක් මුල්ලක් නෑර වගා බිම් බිහිවිය. සෑම ගෙවත්තකම පාසැල් භූමියකම හිස් ඉඩමක්ම කුමක්හෝ වගා කිරීම අනිවාර්ය විය. කෘෂිකර්මාන්තයේ මෙන්ම අනිකුත් දේශීය කර්මාන්ත වල නවෝදයක් ඇතිවිය. රජය විසින් අනුගමනය කල නොබැඳි ප්‍රතිපත්තිය හේතුවෙන් ජාත්‍යයන්තරයේ සහාය සමබරව පවත්වා ගැනීමට හැකිවිය. ටයර් වානේ රෙදිපිලි නිමැවුම් වැනි දැවැන්ත කර්මාන්ත ශාලා විදේශීය පරිත්‍යාගයෙන් අපට ලැබුනේ මේ යුගයේය.

එහෙත් සියලු දෙයක්ම අප පහසුවෙන් අමතක කර දැමුවෙමු. 1977 දී ජේ ආර් ජයවර්ධන කල්ප වෘක්ෂය රැගෙන අප වෙත පැමිණියේය.  ධාන්‍ය ඇට රාත්තල්අටක් නොමිලයේ දෙන බවත් අපව ධර්ම රාජ්‍යයක් කරා රැගෙන යන බවත් කීවේය. අප ඔහුට 5/6 බලයක් ලබා දී ආචාර්ය එන්. එම්. පෙරේරා කොල්වින් ආර් ඩි සිල්වලා දේශපාලනයෙන් විශ්‍රාම ගන්වා ගෙදර යැව්වෙමු.

පලමුවෙන්ම ජේ ආර් කලේ සතියක් පොලීසියට නිවාඩු දී තම පාක්ෂිකයන්ට හිතුමතයේ විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර කිරීමට අවසර දීමය. පසුව එය ද්‍රවිඩ ජතිකයන්ට හිරිහැර කිරීම දක්වා දිගුවිය. දෙවනුව ව්‍යවස්ථාව වෙනස්කර ‘අතිගරු ජනාධිපති උතුමානන්’ නමින් සිංහාසනාරූඩ වී අනාගත රජුන් ඒකාධිපතියන් නිර්මානය කිරිමේ පලමු අඩිතාලම දැම්මේය. වෘත්තිකයන්ගේ පරම හිමිකමක්වු වැඩවර්ජනය කිරීමේ අයිතිය අමුවේ උල්ලංඝනය කරමින් 40,000 පමන 80′ ජුලි වර්ජකයින් ගෙදර යැව්වේය. එසේම 1980 දශකයේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියත් සමගම කරලියට ආ ගාමිණී දිසානායකගේ ස්විස් බැංකු ගිණුම්, ඔස්ට්‍රේලියාවේ ඇපල් වතු ජන සමාජය කැළඹවීය. 1981 දී යාපනය සංවර්ධන සභා චන්ද මකොල්ලයත් යාපනය පුස්ථකාලයට ගිනිතැබීමත් ලැයිස්තුවට අයත්ය. 1982 දී පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගැනීම සඳහා වංචනික ලෙස ජනමත විචාරනයක් පවත්වා චන්ද අයිතිය ගැන ජනතාව තුල තිබූ  විශ්වාසය බින්දුවට දැම්මේය. 83 කලු ජුලිය නිර්මානය කර ද්‍රවිඩයින් සමූල ඝාතනය කලේය. ඒ පිට දමා ජවිපෙ තහනම් කර තවත් සිවිල් අරගලයකට මග පෑදුවේය. ගැටඹේ පන්සලට කටුකම්බි ගසා ස්වාමීන් වහන්සේලාට හිරිහැර කලේය. ඇත්ත පත්තර කාර්යාලයට සීල්තිබ්බේය. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ට පහර දුන්නේය. ඇමති මන්ඩලයෙන් දින රහිත අස්වීමේලිපි ලබා ගත්තේය. මේ ඔහුගේ ක්‍රියාකලාපයෙන් කොටසකි. ඉන්පසු පාලනය ආර්. ප්‍රේමදාස අතට මාරුවී ගියේය. පාරේ තැන තැන ගිනිගෙන දැවෙන මලසිරුරු සුලබ දසුනක් විය. මුහුන වසාගත් ගෝනි බිල්ලෙකුගේ සුලු අංගචලනයකින් මරණය තීරනය කෙරෙන යුගයක් විය. දිනක මරා දැමෙන සංඛ්‍යාව පුවත්පත් වල පලවුයේ ක්‍රිකට් තරඟයක ලකුනු ප්‍රමානය ලෙසය. අඩුවූයේ සුදුවෑන් සංස්කෘතිය පමනි. රෝහන විජේවීර මරා දැමුවේ මුලු ශ්‍රී ලංකාවටම පෙන්වා වෙඩි තබා පනපිටින් පුලුස්සා දැමීමෙනි. එකල ඒ වෙනුවෙන් කතා කරන්නට විදේශීයවත් දේශීයවත් මානව හිමිකම් සංවිධාන හෝ වෙනයම් කිසිම සංවිධානයක්  අපට සිටියේ නැත. ජනපති ආර් ප්‍රේමදාස  තමන්ට එරෙහිව ආ දෝෂාභියෝගය සටකපටකමින් ජය ගත්තේය.  ඊලඟට යුද්ධය පවතිද්දී ආයුධ ගණුදෙනු, යුධ පෙරමුනේ දිවි පරදුවට තබා සටන් වදින සෙබලුන්ගේ ආහාර වේලෙන් පවා ගසා කෑ හැටි රටට රහසක් නොවේ. 1990 දශකය මුල් භාගයේදී රජය සතු පොල් ඉඩම්, තේ ඉඩම් අක්කරය රු.1.57 ට,රු.1.64 ට මිලට ගත් තොරතුරු පුවත් පත්වල පලවිය. ප්‍රේමදාස ජනාධිපති තම බෑණාට උඩවැඩියා වවන්නට 99 අවුරුදු බද්දට ලබාදුන් නුවර එළිය නගරයේ ඉඩම් ද, ඔහු මියගිය පසු, ඔහු කල් ගෙවූ අරලිය ගහ මැදුරේ තිබී අතුරුදන් වූ වටිනා චිත්‍ර ද ගැන කලක් කතාබහට ලක්වුනි.

මහින්ද රාජපක්ෂ පාලනය විවේචනය කරන්නවුන් ජේ ආර් සහ ප්‍රේමදාස පාලනය ගැන කියන්නේ කුමක්ද? සත්‍ය නම් ආර්. ප්‍රේමදාස ජනපති අහඹුලෙස මිය නොගියේ නම් ඔහුට විරුද්ධව නැගී සිටින්නට සමතෙක් නොසිටින බවය. ජනපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක ගැනද කිව යුතුය. වික්ටර් අයිවන් ‘චෞර රැජින’ පොත ලිව්වේ ඇය ගැනය. මේ සියලු දෙන විසින් අන්ත දූෂිත තත්වයට පත්කල සමාජයක මහින්ද රාජපක්ෂගෙන් පමණක් සාධාරනය බලාපොරොත්තු වන්නේ කෙසේද?

අප ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම් රහිත යුගයන් පසුකර ඇත. එහෙත් එම බලවේග පරාජය කරන්නට    බලමුලු බඳින්නට අපට  සහයට කිසිවෙක් සිටියේ නැත. අපම ඒවා විඳ දරා ගත්තෙමු. එහෙත් මෙවර අපට උදව් කිරීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර සංවිධානද  ඕනෑ තරම් තිබේ.මෙහි රහස කුමක්ද? එය විමර්ශනය කල යුත්තකි.

එකල එජාප රජයකින් වන කිසියම්ම උපද්‍රවයකදී ජනතාවගේ පිහිටට අාවේ ශ්‍රිලනිපය ඇතුලු වාමාංශික පක්ෂයි. එහෙත් ඒ කාර්යභාරය වර්තමාන විපක්ෂය විසින් කල යුතුව ඇතත් පෙනෙන්නට ඇත්තේ ඔවුන් ද්‍රවිඩ ජනයාගේ අයිතීන් ගැන පමණක් පෙනී සිටින බවයි. එදා ආසන 8 ට බැස එජාපයේ නූල් සූත්තරවලට මැදිවූ ශ්‍රිලනිපය අවුරුදු 17ක් විපක්ෂයට වී සිටියේය. අද ශ්‍රීලනිප ය ඉතිහාසයේ කවරදාටවත් වඩා බලවත් අනතුරට ලක්ව තිබේ. ඒ ශ්‍රිලනිපය තුලින්ම ශ්‍රිලනිපය දියකර හැරීමෙනි. ජනපති මතෛ්‍රීපාල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ වැඩ පිලිවෙල ආරම්භ කලේ  ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමෙනි ඒ ශ්‍රිලනිපයේ අඩකට වරදාන ප්‍රදානය කර විලංගු ලා යතුර එජාපයේ අතට දීමෙන්ය.

දැන් දැන් සාධාරන සමාජයක් ඇති කිරීම සඳහා උරදුන් ක්‍රියාකාරීන් එජාප යේ ගුණ වර්නනා කිරීමෙන් නොනැවතී එජාප යේ අතීත ක්‍රියාවලියද වනන්නට පටන්ගෙන තිබේ. ඔවුන්ට අතීතය අමතකවී  ඇත්ද?නොඑසේනම් අපට අතීතය මතක නැතැයි සිතනවාද?

අනාගතය අපැහැදිලිය.එහෙත් කෙටි කාලීන මතකයක් ඇති ජාතියකට එය ප්‍රශ්නයක් ද නොවේ.ඇත්තේ ඊලඟ මොහොතේ අවදිවී කාට හෝ ජාතියේ අනාගතය බාර කිරීම පමණි.

තේජා ගොඩකන්දෙආරච්චි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress