නවගත්තේගම මාමා ?
Posted on February 7th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

තරුණ සහ නවක වෛද්‍යවරුන් ලෙස අප බොහෝ කවටකම් කලෙමු. එය රාජකාරී ආතතිය මකා ගැනීම සඳහා විය යුතුය​. සමහර විහිළු අහිංසක ඒවාය. සමහර විහිළු බරපතලය​. වරක් හලාවත රෝහලේදී ශල්‍යකර්මයක් අවසන් වීමෙන් පසු රාත්‍රී දෙගොඩහරිජාමේ තේ බීම සඳහා හලාවත ටවුමේ පිහිටි නයිට්  කඩයකට අප ගියෙමු. අප අතර සිටි තෙන්නේ හොඳ විහිළු සපයන්නෙකි. නයිට්  කඩය අසල මධ්‍යම වයසේ ගැමියෙකු රාත්‍රී බස් රථය එන තෙක් රැඳී සිටියේය​. ඔහු අසලට ගිය තෙන්නේ “අනේ බුදු මාමේ මේ කොහේද යන්නේ”  කියා විමසීය​. ගැමියා වික්‍ෂිප්ත වූවද කොල්ලන් ගේ විකාර තේරුම් ගෙන අවස්ථානුකූලව උත්තර දුන්නේය​. ඉන් පසු තෙන්නේ “මේ තමයි අපේ මාමා ඉඩම් කඩම් විකුණලා මට උගන්වපු මාමා කියා ” ගැමියාව බදාගෙන තොත්තුවක් දුන්නේය​. ඉන් පසු අපි තෙන්නේ ගේ   ව්‍යාජ මාමා සමග නයිට් කඩයට ගියෙමු.

mama

තෙන්නේ කඩයේ තිබූ සියළු කෑම ඇණවුම් කලේය​. රාත්‍රී ආහාරයත් නොමැතිව සිටි ගැමියා බඩපුරා කෑම කෑවේය​. මාමේ කන්න කන්න කියා තෙන්නේ මාමාට කෑම බෙදුවේය​. ඒ අතර තෙන්නේ තම මාමා ගැන ගුණකථනයක් ද කලේය​​. මාමා ධනවතෙකි. ඥාතී දරුවන්ට ඉගැන්වීම සඳහා ඉඩම් දේපළ විකුනුවේය​. අවසානයේදී ඔහු දුප්පතෙකු විය​. දැන් ඥාතී දරුවන් මාමා දෙස බලන්නේවත් නැත​.

මාමාව අමතක කිරීම ගැන තෙන්නේ මාමාගෙන් සමාව ඉල්ලා සිටියේය​. කඩයේ සිටි  අවශේශ පුද්ගලයෝ මේ අරුම පුදුම මාමා බෑණා  දෙස බලා සිටියහ​. අපද මේ ජවනිකාව ඇත්තක් ලෙස හඟවමින් මාමාට සහ බෑණාට  පෝර දැමුවෙමු. මෙවැනි යහපත් මාමෙක් අමතක කිරීම ගැන තෙන්නේට දොස් පැවරුවෙමු. කඩයේ මුදලාලිද ගනුදෙනු කරන අතරමග හොරෙන් අපේ කතාවට සවන් දුන්නේය​. අකෘතඥ බෑණා කෙරෙහි මුදලාලි බලා සිටියේ ජුගුප්සාවෙනි.

මාමා සිටින්නේ නවගත්තේගම රාත්‍රී බසය එන තෙක් ය​. අප රාත්‍රී බසය එන තෙක් මමා සමග සිටියෙමු. ඒ අතරවාරයේ තෙන්නේ නැන්දාට දෙන්න කියා නයිට් කඩයෙන්

මිලට ගත් එළවළු රොටී පාර්සලයක් ද ගැමියා අත තැබීය​. හෙතෙම ඒවා ඉතා සතුටින් භාර ගත්තේය​.

නවගත්තේගම රාත්‍රී බසය පැමිණි වහාම තෙන්නේ කොන්දොස්තරට මුදල් ගෙවා නවගත්තේගමට ටිකට් පතක් ගෙන මාමා අත තැබීය​. එසේම මාමාව ප්‍රවේසමෙන් නවගත්තේගමට ගෙනියන ලෙස  කොන්දොස්තරට කීවේය​. ඉන්පසු අප මාමාගෙන් සමු ගෙන යළිත් ඒකාකාරී ජීවිතයක් තිබෙන රෝහලට පැමිණියෙමු.

මෙම සත්‍ය කතාව විවිධාකාර ලෙස පුද්ගලයන්ට අර්ථ කථනය කල හැකිය​. එහෙත් එය අහිංසක විහිළුවකි. නවගත්තේගම ගැමියාද ඊට මනා සේ රුකුල් දුන්නේ මේ තරුණ කණ්ඩායමේ විගඩම් වැඩ අවබෝධ වීම නිසා විය යුතුය​. ඉන් කිසිවෙකුටත් හානියක් නොවීය​. අවස්ථානුකූලව හැසිරෙමින් අපට විනෝදය සැපයූ නවගත්තේගම මාමාට අප ඉතා කෘතඥ වූයෙමු. එසේම​ මාස ගනනක්ම අප  මෙම මාමා ගැන වරින් වර කතා කරමින් රෝහල් විඩාව දුරුකර ගත්තෙමු.

තෙන්නේ පසු කාලයක පොලොන්නරුව රෝහලට ගියේය​. මාමා තවම නවගත්තේගම සිටිනවා විය යුතුය​.

වෛද් රුවන් එම් ජයතුංග 

One Response to “නවගත්තේගම මාමා ?”

  1. Dr.K Says:

    විහිලුවට හරි මාමලට සලකන බෑනලා සිටින බව අහන එකත් සතුටක්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress