කතානායකගේ කතාව
Posted on February 13th, 2016

නලින් ද සිල්වා 

කතානායක යනු ඉංගිරිසි ආකෘතියේ පාර්ලිමේන්තුවක වැදගත් ධුරයකි. ඒ තනතුර දරන්නාගේ මූලික වගකීම පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැකීම ය. එහෙත් කරු ජයසූරිය කතාකරන්නේ ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ කිරීම ගැන ය. ඔහුට අනුව ශ්‍රී ල නි ප දෙකඩ කිරීමට හවුල්වීම පාපකර්මයකි. ඔහු එයින් කියන්නේ ඔහු ශ්‍රි ල නි පක්‍ෂය රැකීමට ක්‍රියාකරන බව ය. කතානායක පාප කර්මය ගැන කියන කතාවට දීකිිරට බළල්ලුත් සාක්කි කීවාක් මෙන් නියෝජ්‍ය ඇමති මුස්තාෆා ද සාක්‍ෂි ය. පොඩි අඩුපාඩුවකට තිබුණේ මුස්තාෆාගේ පාප අර්ථදැක්වීම් ඉස්ලාම් ආගමට එකඟවීමත් කරු ජයසූරියගේ පාපකර්ම බෞද්ධ සංස්කෘතියෙන් නිර්ණය වීමත් ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ශ්‍රී ල නි ප කැඩීම පාපකර්මයක් ලෙස ලියැවුණේ කවදා දැයි නො දනිමි. ඇතැම් විට අර ථෙරවාදී කතිකාවක් පනත් කෙටුම්පතෙහි එසේ තිබෙනවා විය හැකි ය.  මේ අතර මෛත්‍රිපාල සිරිසේන ශී්‍ර ල නි ප ගැන මෛත්‍රියෙන් කියන්නේ තමා ශ්‍රී ල නි ප නොකඩන බව ය. එහෙත් මේ දෙදෙනාම අමතක කරන කරුණක් නම් එදා ආප්ප රාත්‍රියෙහි දී ආප්ප කුමරු ශ්‍රී ල නි පක්‍ෂය මරාදැමූ බව ය. ඒ අර හුසේන් කුමරු ලංකාවට පැමිණ ආණ්ඩුවට ජෙනීවා යෝජනාව ගැන මතක්කිරීමට කලකට පෙර ය. හුසේන් කුමරු ආප්ප කෑ බවක් පුවත්පතක සඳහන් නො විණි. ආප්ප කුමරුට වඩා හුසේන් කුමරු බටහිර රාජ්‍යතාන්ත්‍රික ක්‍රමෝපායන් දනියි. අගමැති ද දනියි. අධිකරණයෙහි විදේශීය සහභාගීත්වය යන්න නිර්වචන කෙරෙනුයේ හුසේන් කුමරු හා අගමැති විසිනි.

අද පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය නොලැබෙන බව කතානායක ද දනියි. මන්ත්‍රීවරුන්ට සාධාරණ ලෙස කාලය බෙදාදීම කතානාායකගේ වගකීම වෙයි. එසේ කාලය බෙදන්නේ කෙසේ දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි හෝ ස්ථාවර නියෝගවල සඳහන් නො වෙයි. ඒ ලේඛනවල විපක්‍ෂ නායක ධුරයක් ගැන ද නො කියැවෙයි. විප’ක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගැන කියනුම කවරේ ද? මේ සියල්ල ඉංගිරිසි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කෙරෙමින් සකස් වී ඇත. සම්ප්‍රදාය අනුව එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන්ට හිමිවන කාලය එහි නායකත්වය විසින් තීරණය කෙරෙයි.  

එහෙත් පසුගිය මැතිවරණය පැවැත්වූයේ විකෘති තත්ත්වයකිනි. එය අන් කිසිවකටත් වඩා ඉන්දියාව විසින් මෙහෙයවනු ලැබූ ආප්ප මැතිවරණයක් විය. අප සංධාන නායකයන්ට වෙන ම පක්‍ෂයකින් තරග කරන ලෙස කී නමුත් සුපුරුදු පරිදි ඔවුහු අපට කන් නො දුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔවුනට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සංධාන නායකයන් යටතේ කටයුතු කිරීමට සිදු වී ඇත. මේ සම්ප්‍රදාය වත්මන් තත්ත්වය යටතේ කෙතෙක් දුරට අනුගමනය කළ යුතු ද?

මන්ත්‍රීවරුන් පක්‍ෂවල හෝ ස්වාධීන කණ්ඩායම්වල හෝ මන්ත්‍රීවරුන් වනුයේ මැතිවරණ කොමසාරිස්ට මිස කතානායකට නො වේ. කතානායකට අනුව මන්ත්‍රීවරු මහජනයා විසින් තෝරාපත්කරනු ලැබූ අය පමණක් වෙති. පාර්ලිමේන්තුවේ දී එ ජා ප මන්ත්‍රීවරුන් ආදි වශයෙන් මන්ත්‍රීවරු හඳුන්වා දෙනු නො ලැබෙති. කතානායකවරයා පක්‍ෂ නායකවරුන්ගේ රැස්වීම් තබන්නේ පහසුව සඳහා මිස ස්ථාවර නියෝගවලින් එසේ කිරීමට බල කෙරෙන නිසා නො වේ. මේ සම්ප්‍රදාය තවදුරටත් රැකිය යුතු නොවන්නේ අද පැහැදිලිව ම ඒ සම්ප්‍රදායේ කටයුතු කිරීමේ දී ප්‍රශ්න පැන නගින බැවිනි. විපක්‍ෂයේ මන්ත්‍රීවරු පනහක් පමණ සංධානයේ ලේකම්ගෙන් දේශපාලන මගපෙන්වීමක් බලාපොරොත්තු නො වෙති. 

අද කළ යුත්තේ කතානායක පක්‍ෂ නායකයන්ගේ නොව කණ්ඩායම් නායකයන්ගේ රැස්වීම් කැඳවීම ය. කාලය කණ්ඩායම්වලට වෙන්කිරීම ය. අද පාර්ලිමේන්තුවේ පැහැදිලි ව ම පක්‍ෂ ක්‍රමය ක්‍රියාත්මක නො වේ. එහි දී නව සම්ප්‍රදායක් ඇති කර ගත යුතු ය. බුදුන් වහන්සේ විනය නීති පැනවූයේ ඒ ඒ අවස්ථාව අනුව ය. කතානායක බෞද්ධ යැයි කියැවෙයි. ඔහුට බුදුන් වහන්සේ අනුගමනය කරමින් නව සම්ප්‍රදායක් බිහි කළ හැකි ය. ඒ ථෙරවාදයට පමණක් නොව ස්ථාවර නියෝගවලට ද පටහැණි නො වේ. 

නලින් ද සිල්වා 

 

2016 පෙබරවාරි 13

2 Responses to “කතානායකගේ කතාව”

  1. Christie Says:

    එය අන් කිසිවකටත් වඩා ඉන්දියාව විසින් මෙහෙයවනු ලැබූ ආප්ප මැතිවරණයක් විය. ” Thanks Dr Nalin. Indian Empire has been involved in all elections in the island. Specially 1956, 2005, 2010 and 2015.

  2. Kumari Says:

    Watch this to find out about Indian CIPA. https://www.youtube.com/watch?v=ZfLJ1IfQtjw

    As Mr. Weerawansa says the President, Prime Minister, part of the SLFP, Leader of the Opposition and the JVP all are part of the regime change. How come the Speaker accept all of the same group slotted into different roles as comprising of different aspects of the government?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress