දොස්තරලාගේ වර්ජන
Posted on February 17th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
දොස්තරලා හෙදියෝ වර්ජනය කිරීමට නම් දැරුවෝ වෙති. වෛද්‍යවරයෙකු ලෙස 1994 – 2009 කාල පරාසය තුල මමද වර්ජන කිහිපයකට සහභාගි වූ බව හෙළි කරමි.
ඉන්ටර්න්වරයෙකු ලෙස මාතලේ මූලික රෝහලේ සේවය කල 1994-1995 අතර කාලයේ වර්ජන කරන්නට අපට ඉඩක් නොවීය. නමුත් මේ කාලයේ දිවයින පුරා පැතිරී ගිය හෙදියන් ගේ වර්ජනයක් මතු විය. හෙදියෝ රෝගී උවටැනින් අයින්ව අකුරට රාජකාරී කලහ . එම නිසා රෝගින්ට සේලයින් දීම , එන්නත් දීම පවා කෙරුනේ ආහාර ජාලයේ යටම කොටසේ සිටින ඉන්ටර්න්වරු හෙවත් සීමාවාසික වෛද්‍යවරුන් අතිනි.
ඒ කාලයේ පළාත් සෞඛ්‍ය බලධාරියෙක් හෙදියන් ගේ වැඩ කොටසත් කිරීම නිසා සීමාවාසික වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ගෙවන බව කී හෙයින් අප දිවා රාත්‍රියේ වෙහෙසවී අතිකාල කලෙමු. එහෙත් අපට ගෙවූ අතිකාල මුදලක් නොවීය.
1995 මම මුල් පත්වීම ගෙන ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට ගියෙමි. මෙම රෝහල මිණිපේ දිස්ත්‍රිකයේ තිබෙන රෝහලකි. ටික කාලයක් සේවය කරන විට මට පෙනී ගියේ ප්‍රාදේශීය දේශපාලාඥයන් රෝහලටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් අනිසි බලපෑම් කරන බවය.
වරක් බාහිර රෝගී අංශයේදී එක් ප්රාදේශ්ය සභා මන්ත්‍රීවරයෙක් රෝහලේ කම්කරුවන් දෙදෙනෙකුට තර්ජනය කරනු මට ඇසුණි. මෙය සමථයකට පත් කිරීමට ගිය මටද මන්ත්‍රීවරයා රැස්පොට් දැමීය. එකල වයස අවුරුදු 29 ක තරුණ වෛද්‍යවරයෙකු වූ මට දේශපාලකයන් ගේ රැස්පොට් වගක් නොවීය. මම ප්‍රාදේශීය මන්ත්‍රීවරයා බෙල්ලෙන් අල්ලගෙන පහරක් දීමට යත්ම සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතාත් ඩිස්පැන්සරියේ රන්ජිතුත් මගේ අතේ එල්ලීම නිසා මන්ත්‍රීවරයාගේ මුහුනත් තහඩුව බේරුනි.
මන්ත්‍රීවරයා යන්නට ගිය අතර ඔහු විසින් කරන ලද ක්‍රියාවට විරෝධයක් වශයෙන් මම රෝහලේ වර්ජනයක් ආරම්භ කලෙමි. මා සමග මුළු රෝහල් කාර්ය මණ්ඩලයද එලියට ආහ. අවසානයේ මන්ත්‍රීවරයා හසලක පොලිස් ස්ථානාධිපති අබේසිංහ මහතා ඉදිරියේ රෝහල් කාර්ය මණ්ඩලයෙන් සමාව ගැනීමෙන් පසු වර්ජනය නිම විය.
අද කාලයේ නවක වෛද්‍යවරුන්ට මා විසින් එදා කල ක්‍රියාව කිරීම මම අනුමත නොකරමි. ප්‍රාදේශීය මන්ත්‍රීවරයා නූගත් මැරයෙක් වුවත් ඔහුගේ බෙල්ලෙන් අල්ලා පහර දීමට යාම ගැන අද මට ඇත්තේ පශ්චාත්තාපයකි. සංවාදයෙන් එය විසඳා ගත හැකිව තිබුණි. එකල මෙන් නොව අද කාලයේ සෞඛ්‍ය බලදාරීන් දේශපාලනීකරණයවී අවසන් ය. ඒ කාලයේ මෙන් දේශපාලකයන්ට හිස නොනැමූ වෛද්‍ය එල් බී දෙනුවර වැනි සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු අද දිනයේ නොමැත. එසේම දේශපාලකයන් මිනීමරුවන් වෙති. ඔවුන් මුහුණට මුහුණ නොගැටී කුලී මිනීමරුවන් එවති.
ඒ කාලයේ මට නිසාන් මාච් වර්ගයේ දොර දෙකේ කාරයක් තිබුණි. එම මෝටර් රථයේ නැගී මගේ සුරතලා වූ රිංගෝ නම් ඇල්සේෂන් බල්ලා සමග මම කිසිදු බියක් සැකක් නොමැතිව දිවා රෑ ප්‍රදේශයේ කරක් ගැසුවෙමි. එහෙත් මන්ත්‍රීවරයා ඉන්පසු මා සමග ගැටුමට නාවේය.
එසේම මම මිණිපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලෙස සේවය කරන ලද කාලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කම්කරුවන් බඳවා ගැනීම සඳහා මුළු මහනුවර දිස්ත්‍රික්කය පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල වල සම්මුඛ පරීක්ෂණය තිබූ අතර මැදමහනුවර, මාඩුගොඩ වැනි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට ආර්. බී හේරත් නම් මන්ත්‍රීවරයා ඔහුගේ හෙන්චයියන් ගේ නම් ලයිස්තු දී ඔවුන්ට සම්මුඛ පරීක්ෂණයෙන් වැඩි ලකුණු දීමට බල කලද හෙතෙම මගේ කාර්යාලයට අඩියක්වත් නොතිබ්බේය. මම හසලක ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකුද අධීක්ෂණයට ගෙන ඉතා සාධාරන ලෙස සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයෙමි.
මම මීගමුව රෝහලෙ සේවය කල කාලයේ මා මිතුරු වෛද්‍ය ලිලිත් ප්‍රසන්න ලියනගේ ගේ බල කිරීම මත රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ (GMOA ) මීගමුව ශාකාවේ මොකක්දෝ තනතුරක් ද දැරුවෙමි. ඒ නිසා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් දියත් කරන ලද වර්ජන වලට සහභාගි වීමට සිදු විය. එහෙත් අප හදිසි අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කලෙමු.
වරක් මීගමුව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී පී සිවරාජා මහතාට එදිරිව මුළු රෝහලම වර්ජනයට බැස්සේය. වෛද්‍ය සිවරාජා මහතා සමග අපට ආරෝවක් නොතිබුණි. එහෙත් බහුතරයගේ තීරණයට හිස නවා අපද වර්ජනයට සහභාගී වූයෙමු. එදින රෝහල හිස් ය. අපට කම්මැලි දැණුනු නිසා මම , ලිලිත්, පීරා , ගෝවී , සමන් , රාම් මනෝහර් යන වෛද්‍යවරු පිරිස සමග මීගමුවේ මෝර වලේ නෑමට ගියෙමු.
දිය නෑමෙන් පසු අප දිවා ආහාරය ගැනීමට බීච් හෝටලයකට ගියෙමු. දිවා ආහාරය සූදානම් වන තෙක් අප පිරිස බියර් බෝතල් කීපයක් ඇණවුම් කරන ලදි. ඒ අතරවාරයේ රෝහලේ පවතින වර්ජනය නිසා හිතේ අමාරුවෙන් දෝ වෛද්‍ය සිවරාජාද ඒ හෝටලයට විත් බියර් බෝතලයක් තොලගානවා මම දුටිමි. අප වහාම ගොස් වෛද්‍ය සිවරාජා අපගේ මේසයට කැඳවාගෙන ආවෙමු. වර්ජනය කලේ වෛද්‍ය සිවරාජා සමග තරහකින් නොව බව කියා අප ඔහුගේ හිත හැදුවෙමු. අවසානයේදී වෛද්‍ය සිවරාජාත් වර්ජකයනුත් බියර් බී දිවා ආහාරය ගෙන එකට රෝහලට පැමිනියහ.
මම උතුරු කොලඹ ශික්ෂණ රෝහල හෙවත් රාගම රෝහලේ සේවය කරන කාලයේ දී හෙදියන් සහ ඇටෙන්ඩන්වරුන් අතර නිල ඇඳුම් ඝට්ටනය නිසා හෙද වැඩ වර්ජනයක් පැණ නැගිනි. වරක් මම විශේෂඥ උගුර කන හා නාසය වෛද්‍ය ඩී. එස්. සී පෙරේරා මහතා සමග රෝහලට එමින් සිටියෙමි. රෝහල් බිත්තියක තීන්තෙන් ” ඔබට සිවුර අපට ගවුම” කියා විශාල අකුරින් ලියා තිබුණි. මෙය දුටු අප දෙදෙනාට සිනහව නවත්වා ගනු නොහැකි විය (හෙදියන් කමත්වා). මෙය ලියන ලද්දේ ශල්‍යාගාරයේ සිටි ඇටෙන්ඩන්වරයෙක් බව පසුව හෙලි විය.
එසේම රාගම රෝහලේ වරක් වෛද්‍යවරුන් ගේ වැඩවර්ජනයක් විය. නමුත් අප ශල්‍යාගාරයේ සේවයන් නොකඩවා කලෙමු. එම නිසා සමහර හෙදියන් විහිලුවට අපට හොරිකඩයන් කියා බී .බී. ක්‍රීම් අවශ්‍යද කියා ඇසුවෝය. මේ වර්ජනය ගැන සමහර වෛද්‍යවරු නොදැනුවත්ව සිටියේද යත් එක් වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයක් කරන ගමන් ” අනේ මිස් අද ස්ට්‍රයික් එක මොකක් නිසාද දන්නේ නෑ නේද ? කියා සහායක හෙදියකගෙන් විමසුවේය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Wednesday, February 17th, 2016.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.