මේ ශ්‍රීලනිපයේ ගමනක අවසානයද?
Posted on February 17th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායකයන් 1951 දී එජාපයෙන් ඉවත්ව ශ්‍රීලනිපය පිහිටවූයේ රටේ අති මහත් පීඩිත ජනයාගේ දැවෙන ප්‍රශ්න වලට එජාපයෙන් පිටිවහලක් නොලැබෙන බව ඉඳුරා අවබෝධ කරගත් බැවිනි. 1948 දී නිදහස ලබා එජාපය රටේ පාලනය ලබා ගත්තත් අධිරාජ්‍යවාදයේ අඳුරු සෙවනැලි වලින් ගැලවීමට නම් තවත් බොහෝ යායුතු යැයි තීරනය කල එතුමා එදා නිර්භය ලෙස ගත් තීරනය නොවන්නට අද රටේ සාමාන්‍ය ජනතාවගේ තත්වය බොහෝ අසුබවාදී වන්නට තිබිනි.

1952 මැතිවරනයනේ ආසන 9කුත් ඉනික්බිති 1956 මැතිවරනයනේ ආසන 51 ලබා විශිෂ්ඨ ජයග්‍රහනයක් ලැබු ශ්‍රීලනිප ය යටතේ රටේ වැඩ කරන පංතියේ ජනතාවට ප්‍රතිලාබ රැසක් ලබාදෙමින් රට නව දිශානතියකට යොමු කිරීමේ ආරම්භක පියවර තැබුවේය.

එය දැවැන්ත ක්‍රියාවලියකි. එවකට බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කල ප්‍රධාන අාරක්ෂක කඳවුරු ශ්‍රීලංකා රජයට පවරා ගැනීමේ සිට ජනසතුකරනය, සිංහල රාජ්‍ය භාෂාව කිරීම, නොබැඳි විදේශ ප්‍රතිපත්තිය, සේවක අර්ථ සාධක අර්මුදල ස්ථාපිත කිරීම, ලංකා ගමනාගමන මන්ඩලය පිහිටුවීම, කුඹුරු පනත සම්මත සම්මත කිරීම හරහා ග්‍රාමීය ගොවි ජනතාව වඩාත් ශක්තිමත් කිරීම, පොදු ජනතාව සඳහා වඩාත් ශක්තිමත් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් සැපයීම ආදී වශයෙන් අවුරුදු 4 ක කෙටි පාලන කාලයක් තුල සාමාන්‍ය ජනතාවගේ සුබසාධනය සඳහා කල කාර්යභාරය අතිමහත්ය. එකල බන්ඩාරනායක-චෙල්වනායකම් ගිවිසුමට විරුද්ධව එජාපය සිංහල බෞද්ධ ජනතාව උසි ගන්වා එය කඩාකප්පල් නොකරන්නට ශ්‍රී ලංකාවේ අනාගතය වර්තමානයට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට තිබිනි. එතුමන්ගේ ඝාතනයෙන් පසු බලයට පැමිණියේ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියයි.  1960-65 ත් 1970-77ත් අතර වර්ෂ 12 ක කාලයක් අගමැතිදුරය දැරු ඇය එම ප්‍රගතිශීලී වැඩසටහන් තව දුරටත් ඉදිරියට රැගෙන ගියාය. ඒ අතර නව ව්‍යවස්ථාවක් සම්මත කර ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්නයෙන් වෙන්වී නිදහස් ජනරජයක් ලෙස ප්‍රකාශ කිරීමේ සිට බැංකු, රක්ෂන සහ විදේශ වත්කම් ජනසතුකරනය,  ඉඩම් අයිතිය සීමාකර ඉඩම් නොමැති දුප්පත් ග්‍රාමීය ජනයා අතර ඒවා බෙදා දීම, වගා සංග්‍රාමය, නොබැඳි සමුලුව පවත්වා නොබැඳි රටවල් අතර මනා සංහිඳියාවක් ඇති කිරීම ආදිය ප්‍රධානය. ඒ අතරේ 1971 දී ජවිපෙ කැරැල්ලට සාර්ථකව මුහුන දී ජය ගත්තාය.

ශ්‍රීලනිපයට කනකොකා හඬන්නේ 1977 න් පසුවය. ඒ ජේආර් ජයවර්ධනගේ අවුරුදු17 සාපයට පක්ෂය ගොදුරුවීමෙන්ය. සිරිමා බන්ඩාරනායකගේ සිවිල් අයිතිවාසිකම්අහෝසි කර ඇයව ඡන්ද සටනේ තම ප්‍රතිවාදියා නොවෙන ලෙස ගෙදරට කර තබන්නේ ඇය තමන්ගේ එකම එක ප්‍රතිවාදියා බව ජේආර් ඒකාන්තයෙන් දැන සිටි නිසාය. එජාපයේ නූල් සූත්තර හරහා ශ්‍රීලනිපය සීසී කඩගොස් අවුරුදු 17ක නිද්‍රාවකට පත්වන්නේය. එම කාලය රටේ පොදු ජනතාවගේද කරුමය විය. සාමාන්‍ය පීඩිත ජනයාගේ අයීතීන් එකිනෙක අහෝසි වී යද්දී ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ප්‍රබල විපක්ෂයක් නොමැති වී යද්දී ඒ හිඩැස පුරවන්නට ජවිපෙ ආයුද අතට ගත්තේත් එම කාලය තුලය. ජවිපෙ, ශ්‍රීලනිප සාමාජිකයින් ඝාතනය කලද පසුකාලීනව ඔවුන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉදිරිපත්වූයේද ශ්‍රීලනිපයි.

මේ සියල්ල සිදුවන්නේ 1978 ඒකාධිපති වියරු ව්‍යවස්ථාවට පින්සිදු වන්නටය. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමේ සිට පක්ෂ අභ්‍යයන්තරයේ මෙතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය අහෝසීවීයාම දක්වා දුරදිග යන්නකි. විධායක ජනාධිපති ක්‍රමය ඇතිවී පක්ෂ සභාපති ජනපති අපේක්ෂකයා වන්නේය. ජනාධිපතිට කල නොහැක්කක් නොමැත. එලෙසම පක්ෂය තුලත් ඔහුගේ හෝ ඇයගේ අනසක පැතිරෙන්නේය. ලැයිස්තු පහසුකම යටතේ ජනතා ප්‍රසාදය නොලැබූ ඕනෑම කෙනෙකුට මන්ත්‍රී කෙනෙකු වීමටත් ඇමති කෙනෙකු වීමටත් භාග්‍ය හිමිවන්නේ මේ 1978 ව්‍යවස්ථාවට පින්සිදු වන්නටය. පක්ෂ තුල නායකත්වය සඳහා ඇති තරඟය අහෝසිවී වඩාත් දුර්වලයා අගමැති වන්නේත් මින් පසුවය. පක්ෂය තුල වඩාත් පැරණි සාමාජිකයාගේ බලය අහෝසිවී පිටතින් කඩාවැටෙනවුන් රජ කරන්නට පටන් ගන්නේත්, පක්ෂ ප්‍රතිපත්තීන් කුනු බක්කියට ගොස් කලවන් ප්‍රතිපත්ති ආරුඩ වන්නේත් මින් පසුවය. මෙම අර්බුධය ජේ ආර් ජයවර්ධන පාලන කාලයෙන් පසු ප්‍රධාන පක්ෂ දෙකට එකසේ බලපෑවත් මෙයින් වඩාත් අමාරුවේ වැටුනේ ජේ ආර් යුගයෙන් පසු වැඩි කලක් බලයේ සිටි ශ්‍රීලනිපයටය. පලමුව පක්ෂයේ වාමවාදී ස්වරූපය වෙනස් වී ජේආර් ගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට පක්ෂය මාරුවී යන්නේ  චන්ද්‍රිකා ගේ පාලන සමයේදීය. ඒ හා සමගම එම ක්‍රමයේ සියලුම අලුකුත්තේරුකම් පක්ෂයට ආරුඩ වන්නේය. යුද ජයග්‍රහනයෙන් පසු විපක්ෂයට ඇති ඉල්ලුම අඩුවීමත් නිසා මහින්ද රාජපක්ෂ ආන්ඩුවද සුුුපුරුදු ගමනේම ගියේය. සෑම දෙයටම ඔහියියා කියා තමන්ගේ බඩ පමනක් ගැන සිතන දේශපාලයින් මැද අනිකුත් ජනාධිපතිවරුන් මෙන්ම මහින්ද රාජපක්ෂද සිතුවේ තමන්ට අභියෝගයක් නොමැති බවයි.

දැන් ජනපති මතෛර්‍රීපාල ගේ දේශපාලන කරනමත් ඉන්පසු ඔහු විධායක බලතල සහිත ජනාධිපති දුරයට පත්වීමත් ඉනික්බිති  පක්ෂ නායකයා වීමත් නිසා ශ්‍රීලනිපය පත්වී තිබෙන්නේ බලවත් අර්බූදයකටය. ඒ සමගම ආණ්ඩුවේ ඇමති සහ වෙනත් වරදාන ලබාගෙන එජාප රජයේ කොටස් කරුවන් වීම නිසාද  මේ අර්බුදය තවත් උග්‍ර අතට හැරී ඇත. මේ පක්ෂ දෙක තුලම වරින්වර කරනම් ගසා ඇති එස්බී දිසානායක, සරත් අමුනුගම වැනි අයවලුන්ට ගානක් නැත. ඔවුන්ගේ අවශ්‍යතාවය කිසිම හිරිකිතයකින් තොරව හුදෙක් තම මඩිය රැක ගැනීමට බලය අැති තැනට ගොනු වීමය. කෙසේවුවද ජනපති මතෛ්‍රීපාල එජාපය වෙත තම කෙලෙහි ගුනය ප්‍රකාශකිරීම සඳහා තවදුරටත්  ශ්‍රීලනිපය දුර්වලකර එජාපයහි සේවකයා ලෙස තබනු ඇත. විවිධ නම් වලින් අර්ථ කථනය කලත් සැබෑ සත්‍ය එයයි. මේ සඳහා පලමුව පක්ෂයේ විප්ලවකරුවන් දමනය කල යුතුයි. ඒ සඳහා යොදා ගැනෙන්නේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයයි.  සැබෑ ලෙසම රාජපක්ෂ ආන්ඩුවේ මූල්‍ය අපරාධ සිදුවූයේනම් එම රජයේම අවුරුදු 10 ක් මහින්ද රාජපක්ෂ සමග නිලතල දැරූ තවත් කොටසකට කිසිදු චෝදනාවක් නැත්තේ ඇයිද යන්න අවබෝධ කරගත හැක. සැබෑ ලෙසම මෙය දීර්ඝ කාලීනව ශ්‍රීලනිපය දුර්වල කිරීමේ ජේ ආර් 2 වැඩ සටහනයි. දුර්වල විපක්ෂයක් පවත්වා ගැනීමේ අරමුනයි.

යහපාලන ආන්ඩුව බලයට පත්වී කල පලමුකාර්යයම ප්‍රජාතන්ත්‍ර විරෝධීය. ඒ හුදෙක් තම බලය තහවුරු කරගැනීම සඳහා ජනමතයට පයින්ගසා ජනතාව විසින් ප්‍රතික්ශේපවුන පිිලුන්වූ දේශපාලකයින් පාර්ලිමේන්තුවට වැද්දාගෙන තනතුරුවලින් පුදදීමය. අදවන විට එය ප්‍රාදේශීය මට්ටම දක්වා දුරගොස් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන් මගක් තෝරා ගැනීම කෙතරම් ප්‍රඥාගොචරදැයි ලෝක ඉතිහාසයෙන් ඔීනෑතරම් උදාහරන ගතහැකිවුවත් අපට එය ප්‍රායෝගිකව අත්විඳිය හැකිවූ අවස්ථාවක් ගිලිහී ගියේය. අහම්බයෙන් හෝ  1988-90 ජවිපෙ ආණ්ඩුවක් බිහිවූයේනම් ඒ රස අපට ලැබෙන්නට ඉඩ තිබුනි.

දෙමල ජාතික සංධානයේ, විපක්ෂයේ කාර්යභාරය ඉතා උකටලී එකකි. ඔවුන් රඟපාන්නේ ‘එලුවාගේඅහවල් එක වැටෙන’ කම් සිටි නරියාගේ කාර්යබාරයයි.  ජනතා විමුක්ති පෙරමුනද එජාපය සුද්ධ කිරීමේ කටයුත්තේ යෙදී සිටී. මෙයින් අමාරුවේ වැටී සිටින්නේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට නිලලත් ප්‍රරබල විපක්ෂයක කාර්යභාරය සිදුකිරීමට කෙනෙක් අද නැත. වර්ථමාන තත්වය පිලිබඳ සමහරු ඉතා උද්දාමයෙන් යුතුව කතා කරති. ඔවුන් බොහෝ දෙනාට 1977-1994 යුගය අමතකවී ඇතිසේය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිවූවිට එයට එරෙහිව ගොඩනැගෙන විකල්පයන් පිලිබඳ අනන්තවත් අත්දැකීම් ලබා තිබුනත් අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා ජාතියකි. මේ අප උද්දාමයන් යුතුව කල්ගෙවන්නේ ‘ අපායේ ඉන්ටවල් එක’ වීමට බැරි නැත. පලමු දඩයම ඉවරවූ විට අදාල කාලයේදී දැනට පුරසාරම් දොඩමින් ආන්ඩුවේ නිලතල දරන ඉතිරි නඩය පස්සේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය ලුහු බඳිනු ඇත. ඔවුන්ට ඉතිරිවන්නේ එක්කෝ එජාපයට එකතුවන්නටය නැතහොත් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමටය. ජනතාවට සිදුවන්නේ හිසේ අත්ගසාගෙන හූල්ලන්නටය.

තේජා ගොඩකන්දෙආරච්චි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress