අරුසියා
Posted on February 25th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

 බරපතල පිළිස්සුම් තුවාල ලැබූ තරුණියක් හයේ වාට්ටුවට ගෙනත් තිබෙන බව සිස්ටර් රණසිංහ ඉන්ටකොම් හුවමාරුව හරහා මා අමතමින් කියා සිටියාය​. මම වහ වහා වාට්ටුවට ගියෙමි. ඇය මුස්ලිම් තරුණියකි. ශරීරයෙන් 65 % වඩා පිළිස්සී තිබේ. ඇයගේ තත්වය බරපතළය​. මම ඉක්මනින් ඇයට පිට ගැස්මට එන්නතක් මෙන්ම වේදනා නාශක පෙතඩීන් මාත්‍රාවක් ද දුන්නෙමි. එසේම සේලයින් ශිරා ගත කිරීම ආරම්භ කලෙමි. ඇයගේ ශිරා ඇකිලී තිබූ හෙයින් ශිරාවක් පාදා ගැනීම අසීරු විය​. අවසානයේදී මම පාදයේ ශිරාවක් පාදා ගෙන එයට කැනුලාවක් දැමුවෙමි.
මුලින්ම ඇයව රෝහලට ගෙන ආ ඤාති සහෝදරයා මට කීවේ කෑම උයන විට භූමිතෙල් ලිප පෙරලී ඇය පිලිස්සුන බවයි . එහෙත් මම එම කතාව විශ්වාස නොකලෙමි. ඇයගේ ශරීරය පිලිස්සී තිබූ අයුරින් මෙය ගිනි තබා ගැනීමක් විය හැකි බව මම සිතුවෙමි. කෙසේ නමුත් රෝගියා ගැන රෝහල් පොලිසියටද දැන්වූයෙමි.
රෝගී තරුණියගේ තත්වය බරපතළ නිසා මම වාට්ටුවේම රැඳී සිටියෙමි. ඇය වයස දහ හතක් පමණ වූ රූමත් තරුණියකි.  පිළිස්සුම් තුවාල බොහෝ වේදනා සහගතය​. සමහර විට වේදනාව , ආසාදනය සහ විජලනය මරණය ඉක්මන් කල හැකිය​. මම ඇයට ප්‍රතිජීවක දුනිමි. මධ්‍යම රාත්‍රිය වන විට ඇය මා ඇමතුවාය​.
” ඩොක්ටර් මම ගිනි තියාගත්තා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන කෙනෙක් එක්ක යාළු වෙච්ච නිසා. මම කලේ මෝඩ වැඩක්. අනේ ඩොක්ටර් මට මැරෙන්න දෙන්න එපා මගේ ජීවිතය බේරගන්න ” ඇය ඉතා අසරණ හඞකින් කීවාය​.
 මම හැකි උපරිමය කරන බවට ඇයට පොරොන්දු වූයෙමි.
මම බොහෝ පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් දැක තිබේ. ඔවුන් නොමැරී බේරුනේ කළාතුරකිනි. බොහෝ රෝගීහු සති දෙක තුනක් යාමට පෙර මිය යති. වරක් ඉතා දරුණු පිළිස්සුම්  ලැබූ පුද්ගලයෙකු ජීවත් වූයේ පැය විසි හතරකටත් වඩා අඩු කාලයකි. මානසික රෝගියෙකු වූ ඔහු බූමිතෙල් හිස වත් කොට තමන්ටම ගිනි තියාගන්නා ලදි. රෝහලට ගෙනෙන විට ඔහුට හුස්ම වැටෙමින් තිබුනද ඔහුගේ පුරුෂ ලිංගයෙන් භාගයක් පමණ පිලිස්සී කරවී තිබුණි. තවද වරක් රත්තොට පැත්තේ වත්තකින් ගිනි තියා ගන්නා ලද කාන්තාවක් ගෙන එන විට ඇයගේ මුළු ඇඟ පුරා ගොම ගා තිබුණි. මෙය ඔවුන්ට අනුව ප්‍රථමාධාරයකි. එහෙත් පිටගැස්ම අවධානම මෙන්ම ආසාධනය තීව්‍ර කරන මෙම අනුවන ප්‍රථමාධාරය නිසා රෝගියාට බෙහෙත් කිරීමට ප්‍රථම හෙදියන්ට රෝගියා මුලින්ම නැහැවීමට සිදු විය​.
තරුණිය වේදනාවෙන් අඞන්නට වූ නිසා ඇයට යළිත් වේදනා නාශක දීමට සිදු විය​. ඇයගේ නම අරුසියාය​. වේදනා නාශක දීමෙන් පසු ඇය නිදා ගත්තාය​. පසු දින ඇයගේ පියා ආවේය​. තම දියණියගේ තත්වය දුටු පියා බොහෝ වේලාවක් ඇඞුවේය​. අරුසියාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය සියළුමදේ අප කලෙමු. අපගේ ඉල්ලීම පිට ඔවුන් මදුරු දැලක් ද ගෙන ආවේ මැස්සන් ඇඟ මත වැසීම වැලැක්වීමටය​.
දින දෙකක් පමණ යන විට ඇයගේ පිළිස්සුන සම දුඹුරුවන්ව යන ලදි. අර රූමත් තරුණිය වෙනුවට ඇඳ මත ඉන්නේ ආසාදනය වීම නිසා ගඳ ගසන විරූපව ගිය මනුෂ්‍ය ශරීර කූඩුවකි. අනිත්‍යතාව අප ඇස් ඉදිරියේම විද්‍යාමාන විය​. එහෙත් අප සැම වෙනසකින් තොරව ඇයට වෙද හෙදකම් කලෙමු. අරුසියාගේ ජීවිතය අවධානම් බව අප තේරුම් ගතිමු. එහෙත් දෛවය කුමන මාර්ගයක් ගනීද යන්න අප නොදන්නෙමු. එම නිසා අරුසියාගේ තත්වය ගැන අපෙන් නිතර අසන පියාට අප දුන්නේ අස්පෂ්ට පිළිතුරුය​.
අරුසියා දැන් කතා කරන්නේ ඉතා අඩුවෙනි. වේදනා නාශක නිසා ඇය බොහෝ වේලාවක් නිදාගනී. තම ශරීරය ජාරාවට පත්ව යනවා ඇය දකින්නීය​. අරුසියා ආහාර ගැනීමද අඩු කොට තිබෙන බවද හෙදිය කීවාය​. එම නිසා සේලයින් සහ ඩෙක්ස්ට්‍රෝස් දියරය ඇයට ලබා දෙන ලදි.
අරුසියා රෝහල් ගත කිරීමෙන් දින දහයකට පසුව මට සවස් වරුවක ඇය සිටි වාට්ටුවෙන් ඇමතුමක් ආවේය​. කතා කලේ හෙදියකි. අරුසියා මිය ගොසිනි. මම වාට්ටුවට ගියෙමි. ඇය ඇඳ මත නිසලව වැතිර සිටියාය​. ඇයගේ දෙනෙත් මඳක් ඇරී තිබේ. මම විදුළි පන්දම ඇයගේ දෙනෙත් වෙත යොමු කලෙමි. අරුසියාගේ කණිනිකාව ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ නැත​. ඇයගේ හෘධය ස්පන්ධනය නොවේ. ඇය ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නැත​. මම අරුසියාගේ ඇඳ ඉහපත ගෙන ඇයගේ මරණය ස්ථිර කොට තව පැය දෙකක් මෘත ශරීරය වාට්ටුවේ තබාගෙන ඉන් පසුව මෝචරියට ගෙන යන ලෙසට හෙදියට විධාන කලෙමි. එක් ඇටෙන්ඩන්වරියක් ඉස්කිරිමක් ඇද ඉන් පසුව අරුසියාගේ නිසල ශරීරය බෙඩ් ශීට් එකකින් වැසුවාය​.
මම පිරිමි වාට්ටුවට ගියේ මරණය විසින් ඇති කරන නලංගුව පහ කර ගැනීම සඳහාය​. වේදනාව සහ මරණය වෛද්‍යවරයෙකුගේ රෝහල් ජීවිතයේ අනිවාර්‍ය දසුන් වෙති.
අරුසියාගේ මරණින් මාස අටකට පමණ පසු මම මාතලේ ටවුම වෙත යමින් සිටියෙමි. හදිසියෙන්ම මගේ මෝටර් රථයේ ටයරයක හුලං ගියේය ​. මම පාර අද්දර වූ ටයර් කඩයකට ගියෙමි. ටයර් කඩයේ සිටි තරුණයා ජැක්කුව ගසා ටයරය මාරු කරන තෙක් මම කඩයේ තිබූ පුටුවක වාඩිව සිටියෙමි. කඩය ඇතුලේ සිට මධ්‍යම වයසේ පුරුෂයෙකු අවේය​. ඔහු මා සමග සිනාසී ” සර්ට මාව අඳුනගන්න පුලුවන්ද කියා ඇසුවේය​. මට ඔහු ගැන නිච්චියක් නොවීය​.
” සර් මම තමයි අරුසියාගේ තාත්තා ” ඔහු කීවේය​.
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress