දැදිගම වී රුද්‍රිගු නම් අසහාය පරිවර්තකයා
Posted on February 25th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
දැදිගම වී රුද්‍රිගු සම්භාව්‍ය රුසියන් ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කල විශිෂ්ට පරිවර්තකයෙකි. මට එතුමාව හමුවී නැතත් මගේ පියා රුද්‍රිගු මහතාව දැන සිටියේය. දැදිගම වී රුද්‍රිගු මහතා සෝවියට් දේශයේ වෛද්‍ය උපාධියක් හදාරා තිබුනද එතුමා වෛද්‍ය වෘත්තිය වෙනුවට තෝරා ගත්තේ සාහිත්‍යයි. රුද්‍රිගු මහතා සාමාන්‍ය පරිවර්තකයෙකු නොවේ. එතුමා තුල විශිෂ්ඨ ගනයේ සාහිත්‍යධරයෙකු සිටියේය. එම නිසා මූලකෘතියට ඉතා සමාන ආකාරයට මුල් කෘතියේ ජීව ගුණය එලෙසටම පාඨකයාට සමර්පණය කිරීමේ අනර්ඝ හැකියාව එතුමා සතු විය.
දැදිගම වී රුද්රිගු විසින් පරිවර්තනය කරන ලද කෘති බොහෝ ගනනකි. ඔහුගේ රුසියානු භාෂා දැණුම ප්‍රශස්තය. එතුමා රුසියානු සාහිත්‍ය පරිශීලනය කලේ වෙනත් විදේශීය බසකින් නොව රුසියානු භාෂාවෙනි. එසේම රුසියානු සහ සෝවියට් සංස්කෘතිය පිළිබඳවද එතුමාට උසස් දැණුමක් තිබුනේය. එම නිසා තොල්ස්තෝයි, පුෂ්කින්, දොස්තයෙව්ස්කි , ගෝගොල් , නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි යනාදී සාහිත්‍ය පතාකයන් ගේ නිර්මාණ කිසිදු විකෘතියකට ලක් නොකොට එලෙසින්ම සිංහල පාඨකයන්ට දීමට රුද්‍රිගු ශූරීන්ට හැකි විය. එසේම ඔහුගේ සිංහල බස පිළිබඳ දැණුමද විශිෂ්ඨ විය. මෙම භාෂා දෙකේ හැකියාවන් මත සංකලනයෙන් දැදිගම වී රුද්‍රිගු නම් සාහිත්‍යධර පරිවර්තකයා ඔපවත් වූයේය.
දැදිගම වී රුද්‍රිගු මහතා විවහා වී සිටියේ රුසියානු කාන්තාවක් සමගය. සෝවියට් දේශය ඔහුගේ දෙවන නිවහන විය. ඔහුට පුතුන් දෙදෙනෙකු විය. දැදිගම වී රුද්‍රිගු මහතා මිය ගියේ අනූව දශකයේදීය. මොස්කව් වල තිබූ එතුමාගේ අවමගුලට සහභාගි වූ මා මිත්‍ර අනුර ඇතුලත්මුදලි පසුව මට පැවසුවේ දැදිගම වී රුද්‍රිගු මහතා වෙනුවෙන් ලංකාවේ තානාපති කාර්‍යාලය මෙන්ම ලංකාවේ සාහිත්‍යධාරීන්ද හරවත් යමක් නොකල බවයි. ඇත්ත පුවත්පතේ පමණක් එතුමා පිළිබඳව සුළු විස්තරයක් පළ විය.
දැදිගම වී රුද්‍රිගු යන නාමය සිංහල පාඨකයන්ට අමතක කල නොහැකි නාමයකි. දැදිගම වී රුද්රිගු විසින් පරිවර්තනය කරන ලද නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබුණු හැටි , චිංගීස් අයිත්මාතව්ගේ පළමු ගුරුවරයා (ගුරු ගීතය) ,අම්මා සහ මිහිකත , මැක්සීම් ගෝර්කි ගේ අම්මා ,බොරිස් පලවෝයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් , වී. කරලෙන්කෝ ගේ අඳ වාදකයා ,නේස්තුර්හ් ගේ මිනිසාගේ සම්භවය යන කෘතීන් සිංහල පාඨකයන් විසින් ඉමහත් සෙනෙහසින් වැළඳගත් කෘතීන් වෙති.
පහත දැක්වෙන්නේ දැදිගම වී. රුද්රිගු විසින් පරිවර්තනය කරන ලද චිංගීස් අයිත්මාතොව් ගේ අම්මා සහ මිහිකත” කෘතියේ ‘තල්ගනායී’ නම් අම්මා සමඟ පෘථිවි මාතාව කළ සංවාදය ඔහු විසින් සිංහලට පෙරලා තිබූ අපූර්ව ආකාරයයි.
මේ ලෝකයේ ජීවත්වන ජනයිනි. නුඹලාට ඕනෑ මොනවා ද? පෘථිවිය ද? මෙන්න මා තමයි පෘථිවිය. මම සියලු දෙනාට ම එක හා සමානයි. නුඹලා ගේ කලහවලින් මට පලක් නෑ. මට අවශ්‍ය වෙන්නේ නුඹලාගේ මිත්රත්වයයි, නුඹලාගේ ශ්රමයයි. පෙරළුෑ බිමට එක ධාන්‍ය ඇටයක් දීපල්ලා. මම නුඹලාට ධාන්‍ය සියයක් ලබා දෙන්නම්. කුඩා පැළයක් සිටුවාපල්ලා, මම නුඹලාට මහ ගොඩක් පලතුරු දෙන්නම්. සතුන් ඇතිකරපල්ලා, මම උන්ට තණ ආහාර සපයන්නම්, ගෙවල් හදාපල්ලා, මම තාප්ප හා බිත්ති වෙන්නම්. විවාහ වී දරුවන් ඇති කරපල්ලා, මම නුඹලා සියලු දෙනාට ම සුන්දර නිවහනක් වෙන්නම්. මම අනන්තය වෙමි. සීමා රහිත වෙමි. මා ගැඹුරුයි. උසයි. නුඹලා සියලු දෙනාට ම මගේ ඇකයේ ඉඩ තිබේ”
සෝවියට් ළමා පොත්ද එතුමා පරිවර්තනය කලේ ළමා මනසට ගෝචර වන ලෙසටය. ලස්සන වසීලිස්සා එක් නිදර්ශනයකි. එසේම දැදිගම වී රුද්‍රිගු රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වාදීමේලා කරන ලද සේවය විශාලය. නමුත් මෙම අසහාය සාහිත්‍යධර පරිවර්තකයා ජීවත්ව සිටි කාලයේ ඔහු උපන් දේශයන් කිසිදු ඇගයීමක් නොලද්දේය. 2002 වසරේදී මා විසින් ලියන ලද ඉවාන් ගේ ලෝකය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය) නම් නවකතාව පිදෙන්නේ දිවංගත දැදිගම වී රුද්‍රිගු මහතාටය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
February 25th, 2016 at 11:13 pm
මගේ ඉල්ලීම ඉටු කරමින් දැදිගම වී රිද්රිගු නම් කීර්තිමත් සිංහල-රුසියන් සාහිත්‍යධරයා ගැන ලිවිම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.